සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන විමල්ගේ හෙළිදරව්ව

(14.07.2019 – 22:31 +0530 – sinhala.adaderana.lk)

බුද්ධි අංශ ප්‍රධානීන් සහ සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වැලිඔය ප්‍රදේශයේ පැවති හමුවකදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්නන් පිළිබඳව චෝදනා එල්ල කර සිටි ඒ මහතා එළඹෙන සතියේ තේරීම් කාරක සභාවට රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගෙන්වීමට සිටින බවත් මින් පෙර කිසිදු අවස්ථාවක ඔහුගේ රූපය ප්‍රසිද්ධ කර නොමැති බව පැවසීය.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා යනු එක්තරා ආකාරයක රහස් ජීවිතයක් ගත කරන අයෙකු බවත් තේරීම් කාරක සභාවට ගෙන්වීමට පෙර ඔහුගේ ඡායාරූපයක් වෙබ් අඩවිවල පල කිරීමේ සූදානමක් පවතින බවත් විමල් වීරවංශ මහතා පවසයි.

මෙසේ සංවේදී බුද්ධි තොරතුරු අනාවරණය කිරීම මඟින් මිළඟ වහබ් අන්තවාදී ප්‍රහාරයට මඟ පාදා දීමට රජය උත්සාහ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

බුද්ධි නිලධාරීන්ගේ ජීවිත අනතුරේ – ආචාර්ය විජයදාස රාජපක්ෂ

(15.07.2019 – 10:28 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සැබැවින්ම සිදුවන්නේ මෙරට බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මීරිගම රද්දල්ගොඩ විහාරස්ථානයේ ඊයේ (14) පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ත්‍රස්තවාදය සිදු කල අය හා එයට උදව් කළ දේශපාලන නායකයින් නොමැතිව, වත්මන් ආණ්ඩුව ගෙන යා නොහැකි නිසා, ඒ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබා දී තේරීම් කාරක සභාවක් හරහා බුද්ධි අංශ නිලධාරීන් විනාශ කිරීමේ උත්සහයක නියැලී සිටින බව ද රාජපක්ෂ මහතා පැවසීය.

2001 දී අගමැතිවරයා වශයෙන් පත්ව වත්මන් අගමැතිවරයා පළමු රාජකාරිය ලෙස මිලේනියම් සිටිවල තිබු නිල බුද්ධි අංශය වටලා දැමු බව ද සඳහන් කළ විජේදාස රාජපක්ෂ මාධ්‍යයට බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම තුළින් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිලධාරීන් 38 ක් ඝාතනය කළ බව ද කියා සිටියේය.

අද දිනයේ දීත් අගමැතිවරයා සිදු කරනු ලබන්නේ මෙය බව ද සඳහන් කළ විජේදාස රාජපක්ෂ මහතා, ලබන 24 වන දා කැඳවා ඇත්තේ මෙවැනි දෙයක් සිදු කිරීමට බවත්, බුද්ධි අංශය විසින් තොරතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දුන් බවත් පැවසීය.

අප්‍රේල් මස 09 වන දින පොලිස්පතිවරයාට ගැසට් නිවේදනයක් මඟින් දැනුම් දුන් බවත් පැවසු මන්ත්‍රිවරයා, එයින් ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුව ඇති බව ද කියා සිටියේය.

බුද්ධි අංශ ලැයිස්තුව ත්‍රස්තවාදීන්ගේ අතට පත් වීමෙන් මෙතෙක් කිසිවෙකු නොදැන සිටි එම නිලධාරීන්ගේ ජීවිත අනතුරට පත්වන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහි වගකීම ආරක්ෂක අමාත්‍යවරයා හෝ ආණ්ඩුව විසින් නොගන්නා බව පැවසු මන්ත්‍රීවරයා, අපේ ජීවිතවලට ඇති වගකීම කුමක් ද යන්න ගැටළුවක් බව ද කියා සිටියේය.

***************************************

සංඝයා වහන්සේගෙන් සමාව ගන්න රන්ජන්ට පැය 24 ක්

(14.07.2019 – 23:17 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පාර්ශව රැසකින් විරෝධය එල්ලවීමට පටන්ගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේලා අවමානයට පත්වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කෙරුණි.

“මේ අයට ලොකු ඇරියස් එකක් තිබෙනවා.
දරුවෝ පන්සලට දුන්නම අපයෝජනය කරලා.
පන්සලට එන කුඩා ඇබිත්තයන්ට තමන්ට සිදු වුණු දේ සිදු කරනවා.
සමාජයට එන්නේ වෛරයෙන්.
කෑගහන ස්වාමින් වහන්සේලා එහෙම තමයි.
90% ක්ම ලිංගික අතවරයන්ට ලක්වෙලා.”

යනුවෙන් එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා සහ පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් අද (14) පොලීසිය වෙත පැමිණිලි සිදු කළේය.

එහිදී පූජ්‍ය සිංහලේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පංඥාලෝක හිමි ප්‍රකාශ කළේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංඝයා වහන්සේගෙන් සමාව ගැනීමට පැය 24 ක කාලයක් අමාත්‍යවරයාට ලබා දෙන බවයි.

මේ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම මහජන නියෝජිතයින්ද රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ප්‍රකාශ කළේය.

අපේ ජන බල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතා විසින් බෞද්ධ සමාජයට පහර දී බෞද්ධයන් හා කිතුණුවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට ඔහු සූදානම් බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන් සමස්ථ සංඝරත්නයෙන් රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි.

වාචාල කතා කාරයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ තැනක් ලැබී ඇති බව අමාත්‍ය පාඨලී චම්පික මහතා කියා සිටියේය.

https://www.youtube.com/watch?v=LuTExShfNi0#t=5

+++++++++++++++++++++

13.07.2019
https://www.youtube.com/watch?v=6vlCYNyOS-4

+++++++++++++++++++++

13.07.2019

+++++++++++++++++++++

+++++++++++++++++++++

14.07.2019

+++++++++++++++++++++

සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි

(15.07.2019 – 15:10 +0530 – lankadeepa.lk)

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද (15) රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

එසේම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දක්වා ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ :

+++++++++++++++++++++

බාල වයස්කාර දැරියක් දූෂණය කර බවට රංජන්ට එරෙහිව පැමිණිල්ලක්

(15.07.2019 – 19:27 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක මහතා ට එරෙහිව පොලිසියට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අදත් (15) පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කර ඇත.

සමාජ ජාල මාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙරට සංඝරත්නය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයකට මේ වන විට පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව ඊයේ (14) පොලිසියට පැමිණිලි තුනක්ද ඉදිරිපත් කෙරුණි.

“අපේ ජනබල පක්ෂය”පක්ෂයේ නියෝජිතයින් අද දින රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකිරීමට පොලිසියට පැමිණ සිටියේ සුනඛයෙකු ද සමගින්.

මේ අතර රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා බාල වයස්කාර දැරියක් දූෂණය කර ඇතැයි චෝදනා කරමින් ජාතික ළමාආරක්ෂක අධිකාරියට අද දින පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරුණි.

මෙවන් පසුබිමක මහා සංඝරත්නය සහ මහජන නියෝජතයින් රැසක් අද දිනයේත් රන්ජන් රාමනායක මහතා ගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කළේය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ මහා සංඝරත්නය විෂයෙහි ඔහු දැක්වූ අදහස් පිළිබඳව පැහැදිලි කිරීමක් එළඹෙන ජූලි 21 වනදාට පෙර තමන් වෙත ලිඛිතව යොමු කරන ලෙසයි.

අදාළ ප්‍රකාශයේ සඳහන් කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ද තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් දැනුම් දී තිබේ.

+++++++++++++++++++++

රන්ජන්ට කට උත්තර නැතිවෙන්න පේෂල මනෝජ් ගෙන් අවවාදයක් (16.07.2019)

https://www.youtube.com/watch?v=Cj1yMR4KM9s

+++++++++++++++++++++

ගොන්ජගෙ කට

***************************************

මුස්ලිම් විවාහ-දික්කසාද නීතිය ඉක්මනින් සංශෝධනය විය යුතුයි

(15.07.2019 – 10:46 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනය විය යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත අද (15) භාර දීමට මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ඉදිරියේදී ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධනය විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත.

මුස්ලිම් විවාහයකදී කාන්තා හා පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම, විවාහ ලියාපදිංචියේ දී කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම, ක්වාසි අධිකරණ සඳහා කාන්තා නියෝජනය ඇතුළත් කිරීම ඇතුළු කරුණු 11 ක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට එහිදී තීරණය කෙරුණි.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කොට මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබද යෝජනාවලියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට සකස් කර ඇති අතර එය අධිකරණ අමාත්‍යවරිය වෙත භාර දීමට නියමිතයි ෴

***************************************

දුලීකා මාරපන දේවිය හෙළි කල සංවේදී කතාව (11.07.2019)

https://www.youtube.com/watch?v=zXrbGt2ja-w

***************************************

ජනපතිට දැන් කිසිම පිහිටක් නෑ.. ආයෙ ඡන්දයකින් දිනන්න බෑ.. ඔහුගෙ කතා අපට විශ්වාස නෑ.. අපේ අපේක්‍ෂකට සහාය දී ගෞරවයෙන් පැන්ෂන් යන්න… – පොහොට්ටුව කියයි..

(15.07.2019 – 13:20 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් රිෂාඩ් බදියුදීන් ඇතුළු අන්තවාදී දේශපාලනඥයන් ගලවා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ මෙහෙයුම අවසන් අදියරට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

රිෂාඩ්ට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු වී නැතැයි අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනුයේ ඒ නිසා බව පැවසූ රණතුංග මහතා තේරීම් කාරක සභාව අවසන් වාර්තාවක් දී නොමැති අවස්ථාවක රිෂාඩ්ට චරිත සහතික දීමට අගමැතිවරයාට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටාන ආසනයේ කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය :

ජනාධිපතිවරණය පැවැත්වීමට තව තියෙන්නේ දින 120 ක පමණ කාලයක්. ජනාධිපතිවරණය ළං වෙන්න වෙන්න එක එක පිල්ලි මතු වෙනවා. ප්‍රාදේශීය සභාවකටවත් තේරී පත්වෙන්න බැරි වෙච්ච අයත් ජනාධිපති හීන දකිමින් ඉන්නවා. 2015 ජනාධිපතිවරණයේ දී බලගතු මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කරන්න සිරිසේන මහත්තයාට පුළුවන් වෙච්ච හින්දා හැමෝම හිතනවා තමන්ටත් දිනන්න පුළුවන් කියලා.

කිරිඇල්ල මහත්තයාගේ වචනයෙන් කිව්වොත් ඕනේ ගොනෙකුට ජනාධිපති වෙන්න පුළුවන් කියලයි මේ අය හිතාගෙන ඉන්නේ. ඒ අදහස වැරැදියි. 2015 දී මේ රටේ ජනතාව වෙනසකට ගියේ ඒ වෙනකොට මතු වෙලා තිබුණු හේතු කාරණා නිසයි. හැබැයි ජනතාව දැන් දන්නවා ලැබුණු දෙයක් නැති බව. වෙච්ච එකම දේ තමයි දියුණුවේ මාර්ගයට අවතීර්ණ වෙලා තිබුණු රට ආපස්සට හැරවීම පමණයි.

ඒ නිසා ජනාධිපති හීන දකින අයට අපි කියන්න කැමැතියි මේ පාර දිනන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා කියන එක. මොකද ජනතාව දැන් ප්‍රාර්ථනා කරන වෙනස රට වෙනුවෙන් කරන්න පුළුවන් පොහොට්ටුවට පමණක් නිසා. ජනාධිපති හීන දකින අපේක්ෂකයන්ට වගේම හීනෙන් ජනාධිපති ආර්යාවන් වෙලා ඉන්න භාර්යාවන්ටත් කියන්න තියෙන්නේ ඕවා හැබෑ වෙන හීන නෙමේ කියන එකයි.

මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ භාර්යාව දැන්ම ඉඳන් ජනාධිපති ආර්යාවගේ සළුපිලි ඇඳගෙන ඉන්න බව. එතුමියගේ නැන්දම්මා වෙච්ච හේමා ප්‍රේමදාස මහත්මිය ‘ආර්යාවගේ උණ’ අරගෙන හැසිරෙච්ච විදිය අපට අමතක නැහැ. මේ විගඩම් දකින අපිට හිතෙන්නේ මේ අය දැන් මෙහෙම නම් හරියට ජනාධිපති පුටුවේ ඉඳගත්තොත් ජනතාවට මොනවා වෙයිද කියලයි.

දැන් කාට කාටත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අමතක වීගෙන යන බවක් පේනවා. ත්‍රස්තවාදයට, අන්තවාදයට උඩගෙඩි දුන් මුස්ලිම් දේශපාලනඥයන් දැන් හැසිරෙන්නේ හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු වගෙයි. එදා රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවා නම් මේ උපාසක මහත්තුරුන්ගේ සිල් රෙදි ගැලවෙන හැටි බලන්න තිබුණා.

මේ අය බේර ගත්තේ රනිල් වික්‍රමසිංහයි. ඒක තමයි දැන් රනිල් කියන්නේ රිෂාඩ් වැරැදිකාරයෙක් නෙමේ කියලා. එහෙම කියන්න රනිල්ට තියෙන අයිතිය මොකක්ද? රනිල් මේ රටේ අගමැති මිසක් පොලිස්පති නෙමෙයි. හොරාගේ අම්මගෙන් පේන අහන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරලා විශ්වාසභංගය අහකට දැම්මේ රිෂාඩ්ව බේර ගන්න කියන එක ජනතාවට රහසක් නෙමෙයි.

රනිල් දන්නවා ඕනෙම දෙයක් ගැන කතාබහ තියෙන්නේ මාසයයි, දෙකයි කියලා. ඒ නිසා මාස දෙකක් කල්මරන්න තේරීම් කාරක සභාව පත් කළා. ඒකේ වාර්තාවක් දීලත් නැතුව, පරීක්ෂණ ඉවර වෙලත් නැතුව දැන් රනිල් කියනවා රිෂාඩ් සුදනා කියලා. රනිල් මහත්තයෝ ඔයාලා රිෂාඩ්ලා බේරලා සතුටින් ඉන්න , හැබැයි අපේ ආණ්ඩුවක් ආපු ගමන් ඔය සිද්ධි සේරම මුල ඉඳන් අගට හොයන බව මතක තියා ගන්න.

අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට රට පුරාම ලොකු විරෝධයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සිරිකොතේ වැසිකිලි හෝදන තත්ත්වයට වැටිලා තියෙන නිසා ඒ අයගේ කාඩරයන් පක්ෂය අතහැර යනවා. අනුර කුමාර උන්නැහේ රනිල් හාමුවත් බේරගෙන පාක්ෂිකයනුත් රවට්ටන්න ගහපු සුපිරි ගේමක් තමයි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කියන්නේ.

එදා අපිට මතකයි ඔක්තෝබර් පෙරළිය වෙලාවේ රනිල් අගමැති පුටුවේ වාඩි කරවන්න අනුර කුමාර ගත්තු මහන්සිය. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය එක්ක දවස් ගණන් සාකච්ඡා කරලා විශ්වාසභංග සම්මත කරලා, උසාවි ගිහින් හාමුව ආයෙත් පුටුවට ගෙනාවා. හැබැයි මේ පාර ගෙනාපු විශ්වාසභංග යෝජනාව ගැන කිසිම පක්ෂයක් එක්ක සාකච්ඡා කරලා නැහැ.

දැන් අහනවා අපි මොකටද කා එක්කවත් සාකච්ඡා කරන්නේ කියලා. එතකොට අනුර කුමාර මහත්තයෝ එදා සාකච්ඡා කළේ මොකටද? හාමුට තියෙන බයටද? දෙමළ ජාතික සන්ධානයට කප්පම් දීලා විශ්වාසභංග යෝජනාව දිනාගන්න රනිල්ට පාර හදලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා ඒ දීපු කප්පමට ජනතා විමුක්ති පෙරමුණත් වගකියන්න ඕනේ.

ආණ්ඩුවයි ජනාධිපතියි හැමදාම රණ්ඩු වෙනවා. හැබැයි එකට කැබිනට් මණ්ඩලයේ වාඩි වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපෘතිවලට කෝටි ගණන් මුදල් වෙන් කරන කොට ජනාධිපති සද්ද නැහැ. බොරුවට එළියට ඇවිත් ජනතාවට කියනවා ආණ්ඩුව වැඩක් නැහැ කියලා. හැබැයි උන්නැහෙට අමතක වෙලා තියෙනවා ඒ වැඩකට නැති ආණ්ඩුවේ ප්‍රධානියා තමා බව.

එක පැත්තකින් ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යනකොට එයාගේ ආණ්ඩුවේම අය යෝජනාවක් ගේනවා මරණ දඬුවම අහෝසි කරන්න. ජනාධිපතිවරයා කියනවා ඒ යෝජනාව ගේන දවස ශෝක දිනයක් කරනවා කියලා. අපට මතකයි මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කළත් ආයේ රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියපු හැටි. කැබිනට් එකට එන්නේ නැහැ කිව්ව හැටිත් අපට මතකයි.

ඒ නිසා සිරිසේන මහත්තයාගේ කතා අපි විශ්වාස කරන්නේ නැහැ. එතුමට දැන් පිළිසරණක් නැහැ. ආයෙත් මේ රටේ ඡන්දයකින් දිනන්නත් එතුමට පුළුවන්කමක් නැහැ. කරන්න තියෙන එකම දේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහයෝගය දීලා ගෞරවණීයව විශ්‍රාම යන එක විතරයි. අවුරුදු පහක්ම රට ආපස්සට ඇදගෙන යාමේ චෝදනාවෙන් ගැලවෙන්න එතුමට බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඉන්දික අනුරුද්ධ, හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිශ්චන්ද්‍ර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

***************************************

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ගැටී දෙදෙනෙක් රෝහලේ

(15.07.2019 – 13:13 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – කැස්බෑව ප්‍රධාන මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේ දී වෑන් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා පානදුර රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ කුඩා දැරියක් සිට ඇති අතර අනතුරෙන් ඇයට හානියක් සිදුව නැහැ.

බණ්ඩාරගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

https://www.youtube.com/watch?v=YOdoCyR54Kw#t=5

***************************************

හෙල්මට් පැළඳ අකුරු කරන දරුවන් පිරිසකගේ ඛේදනිය කතාව – “ලඟම පාසල තෙමෙන පාසල”

(14.07.2019 – 21:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රධාන පාසලකට යන ඔබේ දරුවා කෙතරම් සුවපහසු පන්ති කාමරයක සිට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අධ්‍යාපනය ලබනවාද?

මේ, පාසල් පන්ති කාමරයේ වහලය තම හිසට කඩාවැටේයැයි බියෙන් යතුරුපැදි හිස් වැසුම් පැළඳ අකුරු කරන දරුවන් පිරිසකගේ ඛේදනිය කතාවයි.

***************************************

දිවි ඇතිතෙක් රියදුරු බලපත්‍රය අහෝසි වන නීතියක්

(14.07.2019 – 19:25 +0530 – sinhala.adaderana.lk)

බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි දෙකක් සඳහා,මෝටර් වාහන පනතේ නව සංශෝධනයට අනුව රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතින බව පොලිසිය පවසයි.

ඒ අනුව මගී ප්‍රවාහන රියදුරෙකු බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් හෝ බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකළහොත් මින් ඉදිරියට මෙලෙස ජීවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය අවලංගු කිරිමේ හැකියාව පවතියි.

2019 අංක 10 දරණ මෝටර් වාහන සංශෝධන පනතේ 216 වන වගන්තිය සංශෝධනය වී ඇති අතර ඒ අනුව බීමත්ව රිය පදවා වරදකරුවෙක් වීමට අදාලව නිර්ණායක 3 ක් යටතේ දඬුවම් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අනුව සාමාන්‍ය පෞද්ගලික වාහනයක රියදුරෙක් බීමත්ව රිය පදවා වරදකරු වුවහොත් රුපියල් 25,000කට නොඅඩු හා රුපියල් 30,000කට නොවැඩි දඩ මුදලකට හෝ මාස 3 කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම, නැතිනම් එම දඩුවම් දෙකටම යටත් කර තිබේ.

ඊට අමතරව අදාල පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය මාස 12 කට නොවැඩි කාලයක් සදහා අත්හිටුවිමටද හැකියාව පවතියි.

මගී ප්‍රවාහන රථයක රියදුරෙකු බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් රුපියල් 25,000 කට නොඅඩු හා රුපියල් 30,000 කට නොවැඩි දඩ මුදලකට හෝ මාස 6 කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමක් හෝ එම දඩුවම් දෙකටම යටත් කර තිබේ.

එමෙන්ම අදාල පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පැවතීමද විශේෂත්වයක්.

අවසාන වරද වශයෙන් මෙහි දක්වා ඇත්තේ බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරිමයි.

ඊට වරදකරුවෙක් වන්නෙකු රුපියල් 100,000 කට නොඅඩු හා රුපියල් 150,000 කට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු 2 කට නොඅඩු හා අවුරුදු 10 කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම හෝ එම දඩුවම් දෙකටම යටත් කර තිබේ.

මෙහිදීද අදාල රියදුරුගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතියි ෴

***************************************

සියනෑවේ මහා බොදු සමුළුව (14.07.2019) (පැය 3 යි මිනිත්තු 9)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *