ගොංජගෙ ප්‍රකාශය ගැන විවිධ අදහස්

(17.07.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

රංජන්ගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පූජ්‍ය පක්ෂය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදහස් පළ කළා.

+++++++++++++++++++++

රන්ජන්ට විනය පරීක්ෂණයක් – අගමැතිට පැයක් කරුණු කියයි

(17.07.2019 – 19:15 +0530 – hirunews.lk/sinhala)

භික්ෂුන් වහන්සේට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අග්‍රාමාත්‍යවරයා හමුවේ අද පැයක පමණ කාලයක් කරුණු පැහැදිළි කළා.

පස්වරු 3.30 ට පමණ අරලියගහ මන්දිරයට පැමිණි ඔහු පස්වරු 4.30 ට පමණ ඉන් පිටව ගියා.

භික්ෂුන් වහන්සේට අපහාස වන අන්දමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලිඛිතව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දැනුම් දී තිබුණා.

ඒ අනුවයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද අග්‍රාමාත්‍යවරයා මුණගැසුනේ.

මේ අතර, රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිලිබඳ රාවණා බලය සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේ අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර අනුරාධපුරයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව විනය පියවර ගැනීම සඳහා කටයුතු කරනු ඇති බවයි.

+++++++++++++++++++++

17.07.2019

+++++++++++++++++++++

රන්ජන් ගැන කියන්න රාවණා බලය සහ සිංහලේ සිරිකොතට

(18.07.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානය සහ සිංහලේ සංවිධානය සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් හමු වී සාකච්ඡා කළා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයේ බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් මහ ලේකම්වරයාගේ අවධානය යොමු කළ බවයි එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධතිස්ස හිමියන් කියා සිටියේ.

අනතුරුව උන්වහන්සේලා මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණියේ මීට පෙර සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහායී.

එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද එම ස්ථානයට පැමිණ සිටි අතර, එහිදී රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු පිරිස සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සංවාදයක්ද ඇතිවුණා.

+++++++++++++++++++++

පොදුජන පෙරමුණෙන් චෝදනාවක්

(19.07.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

භික්ෂූන් වහන්සේලාට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව කිසිදු විනය පියවරක් අග්‍රාමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

+++++++++++++++++++++

රංජන් මහ සංඝ රත්නයෙන් සමාව ගනී

(19.07.2019 – 20:01 +0530 – hirunews.lk/sinhala)

භික්ෂූන්වහන්සේ සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශය පිළිබඳ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අද අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් බැහැදැක දෙපා නැමද සමාව අයද තිබෙනවා.

භික්ෂූන්වහන්සේට අපහාසවන අන්දමින් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ විමසා බැලීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අස්ගිරි විහාරය වෙත කැඳවා තිබුණා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා අද පස්වරුවේ අස්ගිරි විහාරයට පැමිණි අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් ඇතුළු අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව සමඟ සාකච්ඡාවක නිරත වුණා.

එම සාකච්ඡාව පැය 2 කට ආසන්න කාලයක් පැවැත්වී තිබෙනවා.

+++++++++++++++++++++

මහා සංඝරත්නයට අපහාස කළ රාජ්‍ය ඇමති රන්ජන් දෙපා වැඳ සමාව ගනී

(19.07.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද අස්ගිරි පාර්ශවයේ මහා නායක හා අනු නායක හිමිවරුන් ඉදිරියේ සමාව අයැඳ සිටියේය.

ඔහු සඳහන් කළේ, තම ප්‍රකාශයෙන් කිසියම් වැරැද්දක් මහා සංඝරත්නයට වූයේ නම් ඊට සමාව දෙන ලෙසයි.

අස්ගිරි පාර්ශ්වය සිදුකළ කැදවීමට අනුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (19) මහනුවර අස්ගිරි මහා විහාරය වෙත පැමිණියේය.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියන්, අනු නා හිමිවරුන් සහ කාරක සංඝ සභාව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මහා සංඝරත්නයෙන් සමාව අයැද සිටියේය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් මහජන නියෝජිතයන් සහ ආගමික නායකයින් මෙලෙස අදහස් පළ කළේය.

කුරුණෑගල රදගු රුහැරල් ඇන්තනී පෙරේරා හිමිපාණන් :

“දේශපාලනඥයින් ආගමික සංහිඳියාව වෙනුවෙන්. කටයුතු කළ යුතු අතර එය අවහිර නොකළ යුතුයි.”

රුහුණු රට භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදූවේ ජිනරතන හිමියන් :

“බෞද්ධ හා අබෞද්ධයින් අතර ගැටුමක් නිර්මාණය කරන්න. කතෝලික පිරිස් හා දෙමළ සංවිධාන විරසක කරන්න හදනවා.”

යථාර්ථය සංවිධානයේ මහ ලේකම් ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කිරිඉබ්බන්ආර විජිත හිමියන් :

“මහා සංඝරත්නය තීන්දුවක් අරගෙන තිබෙනවා. මේ ප්‍රකාශය රන්ජන්ගේ ප්‍රකාශයක්ද. විදේශ බලවේගයක්ද පිළිබඳ සැක මතුවෙනවා. රන්ජන් රාමනායක මතක තබා ගත යුතුයි.

මහජනතාව ඔබට ඡන්දය දෙන්නේ නැහැ. මේ අය පාර්ලිමේන්තු යවලා අපි වැරැද්දක් කළා. මහා සංඝරත්නයේ වැරදි හොයන්න. ඔහු බුදු හාමුදුරුවෝ නොවෙයි.

සංඝරත්නයේ ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර. ඔබේ ලිංගිකත්වය පිළිබඳ අපත් හොඳට දන්නවා. අසූචි එක්ක නැගිටින රන්ජන්ට අපි කියන්නේ. අනිත් අයගේ ඇඟේ අසූචි ගාන්න එපා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *