හිස්බුල්ලාට තහනම් සංවිධානයකින් කෝටි 1757 ක්

(19.07.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala)

‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ හෙවත් ‘මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය’ සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, එම ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු දක්වමින්.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ නම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළවයි.

ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය අධිකරණයට දැනුම් දුන්නේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ අදාළ විශ්වවිද්‍යාලය ඉදිකෙරෙන අක්කර 35 ක ඉඩම මහවැලි අධිකරිය විසින් 2013 වසරේදී ‘ශ්‍රී ලංකා හීරා පදනම’ වෙත ග්‍රාමීය පුහුණු මධස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ලබා දී ඇතිබව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අංක 10/18 ලේක්ඩ්‍රයිව්, කොළඹ 8 ලිපිනයේ පවත්වාගෙන යන ‘ශ්‍රී ලංකා හීරා පදනම’ සහ ‘බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ්’ යන සමාගම් වෙත සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානයක් විසින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් ලබා දී ඇති බවට කරුණු ඉදිරිපත්ව ඇති බවයි.

එම මුදල්වල නීත්‍යනුකූලභාවය සහ අදාළ මුදල් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදවා ඇද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදුකරන බව, මූල්‍ය අපරාධ කොට්ඨාසය එහිදී දැනුම් දුන්නා.

කෙසේ වෙතත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ 2016 වර්ෂයේ මාර්තු මස 4 වැනිදා සිට 2017 වර්ෂයේ ජූනි 7 වැනිදා තෙක් ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් කොල්ලු පිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 3640 ක මුදලක් ලැබී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන මොහොමඩ් හිස්බුල්ලා අහමඩ් සහ මොහොමඩ් අහමඩ් ශිරාස් හිස්බුල්ලා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාදෙන ලෙස අදාළ බැංකු නිලධාරීන්ට නියෝගයක් ලබාදෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

ඊට අදාළ නියෝගය ලබාදුන් මහේස්ත්‍රාත්වරිය වැඩිදුර විමර්ශන සිදුකර කරුණු වාර්තා කරන ලෙසද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

***************************************

පොල් ගස් නගින මවගේ දියණියක අපයෝජනය කළ අයෙකු පහරදීමකින් මරුට

(19.07.2019 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ළමා අපයෝජකයෙකු පහරදීමකින් මරුට

දස හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු එම දැරියගේ පියා සහ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද අලුයම මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම – හබරත්තාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි දෙදරු පියෙක්.

පොල් ගස් නැග දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් 5 දෙනෙකු ජීවත් කරවන ගල්කිරියාගම – දිරිය කාන්තාවක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මීට පෙර අනාවරණ කළා.

ඇයගේ එක් දියණියක් සැකකරු සහ තවත් අයෙකු අපයෝජනය කර තිබුණා.

අනතුරුව ප්‍රදේශයෙන් පලාගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නිවසක් පිටුපස සැගවී සිටින බවට ප්‍රදේශවාසීන්ට තොරතුරු ලැබී තිබුණා.

පසුව අදාළ දැරියගේ පියා සහ තරුණයින් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහු අල්ලාගෙන අතවර කළ ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇති වූ පහරදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

කළගෙඩිහේන සිද්ධියට අදාළ ඩිෆෙන්ඩර් රථය පොලීසිය සොයාගනී

(19.07.2019 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කෝට්ඨාශයට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ආරක්ෂකයින් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය ද මහරගම – ඇල්හේන පාරේ නිවසක තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, පහරදීමේ සිදුවීමට අදාල අනෙක් ප්‍රාඩෝ රථය දිවයිනේ ප්‍රකට ඉංජිනේරුවරයෙක් වන දිනේෂ් නුවන් අමරතුංග යන අයගේ බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා ජීප් රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී වේගයෙන් ගමන්කිරීමට ඉඩ ලබානොදීමේ සිදුවීමක් සම්බන්ධවයි.

එහිදී ඉදිරියෙන් ගමන්කල වෑන් රථය තම ප්‍රභූවරයාගේ රථයට ඉස්සර කිරීමට ඉඩ ලබානොදුන් බව පවසමින් මෙම ඩිෆෙන්ඩර් රථය වෑන් රථයේ මග හරස්කරමින් නවතා එහි රියදුරා සමග බහින්බස්ව වෑන් රථයේ දොර විවෘත කිරීමට නොහැකිවීම හේතුවෙන් එහි ආරක්ෂකයන් වෑන්රථයට පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.

මෙලෙස ආරක්ෂකයන් පහරදුන් CAG–0550 අංකය දරන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථය අංක 37 ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවට තොරතුරු අනාවරණය වුණා.

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් සහ ගණිතඥයෙක් වන වන ඔහු නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදි විභාග සදහා වැඩමුළු පවත්වන පුද්ගලයෙක්ද වනවා.

වෑන් රථයේ රියදුරු පවසන්නේ පහරදීමේ සිදුවීම වන අවස්ථාවේ දිනේෂ් නුවන් අමරතුංග යන අය ප්‍රාඩෝ රථය තුළ සිටි බවයි.

අදාල පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

පහරදීමට ලක්වූ වෑන් රථයේ හිමිකරු අද පස්වරුවේ එම කොට්ඨාශය වෙත පැමිණ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන්නා.

+++++++++++++++++++++

කළගෙඩිහේනේ දී වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාළ VIP ඩිෆෙන්ඩරය සමඟ 2 ක් අත්අඩංගුවට

(19.07.2019 – 21:48 +0530 – sinhala.adaderana.lk)

කොළඹ-නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට පහර දුන් ප්‍රභූ රථයක් ලෙස සැළකෙන ඩිෆෙන්ඩර් රථය මහරගම ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන ඇති අතර අදාළ රථය පොලිස් බාරයට ගෙන ඇත.

WP CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථය මෙසේ පොලිස් බාරයට ගෙන ඇත.

මේ අතර අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් මතුගම හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 45 සහ 32 වියෙහි පසුවන්නන්ය.

කොළඹ-නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ රථ ලෙස සැළකෙන ජීප් රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ සිදු කළ පහර දීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

ඒ ඔස්සේ සිදු කළ විමර්ශන අතරතුර දී මෙම ඩිෆෙන්ඩර් රථය සොයාගෙන ඇත.

ඊයේ (18) ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කළ බව වෑන් රථයේ රියදුරු පැවසීය.

තම වෑන් රථයට පිටුපසින් පැමිණි අදාල ජිප් රථ දෙක ප්‍රභූ රථ ලෙස අගවමින් වේගයෙන් පැමිණ තම වෑන් රථයට අවහිර වන ලෙස නවතා පහරදීම සිදු කර ඇති බව ඔහු පැවසීය.

ඩිෆෙන්ඩර් රථයේ පැමිණි පිරිස ප්‍රභූ ආරක්ෂක ඇඳුමකට සමාන ඇදුමකින් සැරසී සිට ඇති අතර ප්‍රාඩෝ රථයේ පසුපස අසුනේ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කරමින් සිටි බව වෑන් රථයේ රියදුරු පැවසීය.

සුදු පැහැති ප්‍රාඩෝ රථයේ අංකය ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 වන අතර සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙහි අංකය ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 බවට හඳුනා ගැණුනි

ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 දරණ ප්‍රාඩෝ ජිප් රථය අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග නමැත්තෙකුට අයත් බවට අද දෙරණ කළ විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකි වුණි.

ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය අංක 34, ගාල්ලේගම, ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග නමැත්තෙකුට අයත් බවට අද දෙරණ අනාවරණය කර ගැණුනි ෴

+++++++++++++++++++++

දිනේෂ් නුවන් අමරතුංග ගේ නීතිය (19.07.2019)

+++++++++++++++++++++

කළගෙඩිහේන සිද්ධිය සම්බන්ධයෙන් 4ක් රිමාන්ඩ්

(20.07.2019 – 19:28 +0530 – lankadeepa.lk)

නිට්ටඹුව – කළගෙඩිහේන නුවර පාරේදී වෑන් රථ රියදුරෙකුට හා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය.

එදිනම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය. ඉකුත් 16 වැනි දින ගාල්ල හබරාදුව පදිංචි ව්‍යාපාරිකයකු පවුලේ අය සමග නුවර දළදා මාලිගාව බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට ඉස්සර කර ධාවනය කිරීමට ඉඩ නොදුන්නැයි උරණ වී එම වෑන් රථයට මග හරස්කර රියදුරුට තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කර අනතුරුව වෑන් රථයට පහර දී පලාගොස් තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය මහරගම ඇල්හේන ප්‍රදේශයේ නිවසක ගරාජයක සඟවා තිබියදී ඊයේ රාත්‍රී (19) මහරගම පොලිසිය විසින් සොයාගැණිනි.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ තල්ගස්දොල් මාදම්පිටිය පදිංචි සඳුන් පුෂ්පකුමාර (44), කලුතර කිතුලෑව ලාගොස්වත්ත පදිංචි මාකස් පීටර් රුවන් ප්‍රසන්න (26), මතුගම බදුගම පදිංචි ගාමිණී විජේසූරිය (45) හා පොළොන්නරුව අරලගන්විල පදිංචි ප්‍රසන්න බණ්ඩාර යන අයයි ෴

***************************************

හිරු සී.අයි.ඒ. : ලක්ෂ ගණනක බදු ආදායමක් රජයට අහිමි කළ විදේශ මත්පැන් ජවරාම

(19.07.2019 – 20:17 +0530 – hirunews.lk/sinhala)

රජයට රුපියල් ලක්ෂ ගණනක බදු ආදායම් අහිමිකරමින්, තීරු බදු රහිතව ගුවන් මගීන්ට ලබාදෙන විදේශීය මත්පැන් නීති විරෝධීව මෙරටදී අලෙවිකරන දෙමටගොඩ පිහිටි සුරා සැලක් හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු අනුව අද වටලනු ලැබුවා.

ඒ, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින්.

ගුවන් මගීන් මෙරටට පැමිණීමේදී මිලදී ගත හැකි තීරු බදු රහිත විදේශීය මත්පැන් මහා පරිමාණයෙන් නිතීවිරෝධීව එක් රැස්කරන කොළඹ – දෙමටගොඩ ප්‍රදේශයේ දේශීය සුරා සැලක් පිළිබද හිරු සී.අයි.ඒ. තොරතුරු අනාවරණය කර ගත්තා.

මෙරට නීතිය අනුව මෙවැනි සුරාසැල්වල අලෙවි කළ හැක්කේ මෙරට නිෂ්පාදිත මත්පැන් සහ තීරු බදු ගෙවා මිලදී ගන්නා විදේශීය මත්පැන් පමණයි.

එහෙත් මෙහි කලක පටන් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන විදේශීය මත්පැන් තැරැව්කරුවන් හරහා මෙහි පැමිණෙන ගණුදෙනුකරුවන්ට අලෙවිකරනා බවයි අප අනාවරණය කර ගත්තේ.

ඒ අනුව රජයට රුපියල් ලක්ෂ ගණනින් බදු ආදායම් අහිමිකරමින් සිදුකර ගෙන ගිය මෙම විදෙස් මත්පැන් වැටලීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකය සමග හිරු සී.අයි.ඒ.සැලසුමක් දියත් කළා.

ඒ අනුව තැරැව්කරුවෙකු සමග අදාල සුරා සැලවෙත ගොස් අප විදෙස් මත්පැන් බෝතල් ඇණවුම් කළා.

ඇණවුමට අනුව අපගේ රථයට සුරා සැල් සේවකයින් මෙලෙස මත්පැන් ලබාදීමෙන් පසු අදාල වැටලීම සිදුකෙරුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *