මම දැන් අසරණයි – ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ

(21.07.2019 – 12:08 +0530 – lankadeepa.lk)

ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ දැඩිසේ රෝගාතුරවී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් එක් පාදයක කොටසක් කපා ඉවත්කර ඇති බවට ආරංචිය ලැබුණේ මෙම සිද්ධිය සිදුවී කලකට පසුවය. එහෙත් ප්‍රමාදවී හෝ එම කලාකරුවාගේ සුවදුක් බැලීම සඳහා ලංකාදීප ‘රසවින්දන’ වෙනුවෙන් මම අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයෙහි පදිංචි ඔහු සොයා ගියෙමි.

පොල්වත්ත හන්දියට පැමිණ ඔහුගේ නිවස ගැන විමසන විට එහි සිටි ත්‍රීවිල් ටැක්සි මේ රියැදුරු මහත්මයකු පැමිණ අපේ නළු මහත්මයා කකුලට බෙහෙත් දමන්නට ළඟපාත ඩිස්පෙන්සරියට ගිය බව පැවසීය. එම ඩිස්පෙන්සරිය පෙන්වීම සඳහා මා සමග එහි යාමට තරම් ඔහු කාරුණික විය.

ගාමිණි අම්බලන්ගොඩ කකුලට බෙහෙත් දමාගෙන කිහිලිකරුවක වාරුවෙන් ඩිස්පෙන්සරියෙන් පිටතට පැමිණෙන විට ‘රජගහේ නාඩගම’ ‘රාජකපුරු’ ආදී වේදිකා නාට්‍යවලත් ආදරණීය පූර්ණිමා ‘ආදර වසන්තේ’ ආදි ටෙලි නාට්‍ය රැසක අපූරු රංගනයකට යෙදුණු මේ කලාකරුවාට සිදුවෙච්ච ඇබැද්දිය ගැන මම පුදුමයට පත්වීමි.

ගාමිණි නිවසට පැමිණ අසුන් ගත්තේ රෝද පුටුවකය. මා නිහඩවම ඔහුගේ මුහුණ දිහා බලාගෙන සිටියේ ඔබට මොකද වුණේ? යන ප්‍රශ්නය ඉඟියෙන් විමසමිනි.

“ගාල්ලේ පැවති සංදර්ශනයකට සහභාගි වෙන්න තරංග ලර්නර්ස් අධිපති මහත්මයත් සමග එතුමාගේ වාහනයෙන් ගියා. ඒ යන ගමනේ අතරමගදී මට වමනය ආවා. මම වාහනයෙන් බැහැලා වමනය කරනකොට මාව කැරකිලා ගොහින් බිම වැටුණා. මගේ වම් කකුල බිම ඇනුණා. මගේ හිතවතා ඉක්මනට මාව කරාපිටිය රෝහලට ඇතුල් කළා. රෝහලට ඇතුල් කරනකොට බිමට ඇනුණ පාදයේ ඇඟිලි කිහිපයක් පණ නැතුව වගේ කඩාගෙන වැටුණා.

මගේ ප්‍රෙෂර් වැඩිවෙලා ෂුගර් වැඩිවෙලා රෝගී තත්ත්වය අවදානම් කියලා ඉක්මනටම මාව ඔපරේෂන් තියටර් එකට ගත්තා. මගේ ජීවිතය බේරා ගන්නට වෛද්‍යවරුන් විසින් එම පාදයේ ඇඟිලි තුනක් කපලා තිබුණා. ඊට පසුවදා වෛද්‍යවරුන් පවසා සිටියා තවමත් පෙර පැවති තත්ත්වය පවතින නිසා එම පාදයෙන් තව කොටසක් කපා ඉවත් කළ යුතු බව. පසුව එම කොටසත් කපා ඉවත් කළා. තුන්වැනි දිනයේ වෛද්‍යවරුන් මාව පරීක්ෂා කර බලා එම පාදයේ විලුඹ කොටස ඉතිරි කරලා අනික් කොටසත් කපා ඉවත් කර දැම්මා. කොහොම හරි මගේ ජීවිතය යම්තම් බේරුණා.”

එසේ කියා සිටි ගාමිණි අම්බලන්ගොඩ මහතා දිගු වේලාවක් කල්පනා කරමින් මොනවාදේ මුමුණන්නට විය.

“මට සිද්ධවෙච්ච මේ ඇබැද්දිය අරංචිවෙලා වේදිකා සහ ටෙලිනාට්‍ය වලට සම්බන්ධ හිතවත් ශිල්පීන් කිහිප දෙනෙක්ම කරාපිටිය රෝහලට ඇවිත් මාව බැලුවා. ඊට පස්සේ ගෙදරටත් ආවා. ඒ සියලුම දෙනා මට සෑහෙන්න උදව් කළා. මම මෙච්චර වෙලා කල්පනා කළේ ඒ හිතවතුන් පිරිසගේ නම් ටික කියන්න. දැන් හිත හරියට කලබලයි. ඒ නිසා ඔක්කොම නම් මතකයට එන්නේ නැහැ. එක නමක්වත් නොකියවුණොත් ඒක මහා වරදක් වෙනවා.

මට කෝලම් නාට්‍ය ශිල්පය ඉගැන්වූ අම්බලන්ගොඩ හරිශ්චන්ද්‍ර මහත්මයා කෝලම් සංදර්ශනයක් පවත්වලා එයින් ලැබුණු ආදායම මට පරිත්‍යාග කළා. බෙල්වුඞ් කලායතනයේ මා සමග ඉගෙනගත් මිතුරියක් දැන් සිටින්නේ පිටරටක. ඇයත් මට මුදල් ටිකක් එවලා තිබුණා. මේ සියලුම දෙනාට මහත් පින්. ඒ උපකාරවල පිහිටෙන් තමයි මම තවමත් ප්‍රතිකාර ගන්නේ. පොල්වත්ත හන්දියේ ඩිස්පෙන්සරියේ වෛද්‍යතුමියටත් මහත් පින්. ගාල්ලේ කරාපිටිය රෝහලෙන් කකුලට බෙහෙත් දමන්න ගියා නම් වාහනයකට වරකට රුපියල් පන්දාහක් විතර ගෙවන්න වෙනවා.”

අපේ කතාබහ අතරතුරදී ගාමිණි අම්බලන්ගොඩ නිතර නිතර කියා සිටියේ ඒ ඒ පුද්ගලයන්ගේ නම් ගම් සහ දින වකවානු අමතකව ගොස් ඇති බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී ගාමිණිට ටෙලි නාට්‍යවල රඟපාන්නට ශක්තියක් තිබේද යන්න ගැන මම හෙමිහිට විමසීමි.

“මම දැන් හිතාගෙන ඉන්නේ රඟපෑමෙන් සමුගන්නයි. මගේ මේ අසනීප තත්ත්වය තිබියදීම හිරිරාජ් කෞෂල්‍ය මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයේ එක් දර්ශනයකට රඟපාන්න මාව එක්කරගෙන ගියා. පුටුවක වාඩිවෙලා කළ රඟපෑමක්. මාව හොඳටම සුවපත් වූවායින් පසුව නිර්මාණයකට දායක වෙන්නට ආරාධනා කළොත් සලකා බලනවා. මම දැන් අසරණයි. මම අවිවාහකයි. මගේ අක්කා විවාහ වෙනතුරු මම විවාහය කල් දමමින් සිටියා. දැන් මට වයස අවුරුදු 64 යි. අක්කට බැහැ දැන් මාව බලාගන්න. මම හොඳටම සුවපත් වූ වහාම මමයි අක්කයි මහනුවර පදිංචියට යන්නට තීරණය කරලා ඉවරයි. ‘බාප්පයි නැන්දයි අපි බලා ගන්නම්’ කියලා මහනුවර පදිංචිව සිටින මගේ අයියගේ දුව අපට එන්නට කියලා තියෙනවා. පොල්වත්තේ ගේදොර අසල්වැසියන් අත්හැරලා යාමත් දුකයි. වේදිකා නාට්‍යයක් පෙන්වන්න ඈත පළාතකට එකම වාහනයෙන් යනකොට සරත් කුලතුංග, ජනක් ප්‍රේමලාල්, රවින්ද්‍ර යසස් කට්ටිය එකතුවෙලා මාව අවුස්සපු හැටි මගෙන් හොඳ ඒවායින් ටිකක් අහගත්තු හැටි මට මේ වෙලාවේ මතක් වෙනවා. මගේ හිතවතුන් මිත්‍රයින් ඉඳහිට හෝ හමුවෙනවා නම් ඒ තරම් සතුටක් තවත් නැහැ. මගේ සෞඛ්‍ය තත්ත්වයට ගැලපෙන සහ සුදුසු චරිතයක් ලැබුණොත් මම බාරගන්නම්. මේ අසරණ වූ වෙලාවේ මට සිහිපත් වෙනවා රසිකයින් මාව මුණගැසුණු අවස්ථාවලදී මේ අපේ නළු මහත්මයා නේද? කියලා අහපු හැටි ඔවුන්ට ආදරෙයි. රසිකයින්ගේ ආදරය විතරයි මං හම්බ කරපු වස්තුවකට මං ළඟ තියෙන්නේ.

ජාතික තරුණ සේවා සභාවට බැඳිලා බෙල්වුඩ් කාලයතනයෙන් නැටුම් කලාව ප්‍රගුණ කරලා එම ආයතනයට පින් සිද්ධවෙන්න අපි කණ්ඩායමට ලෝකයේ රටවල් 15 ක පමණ සංචාරය කරමින් ප්‍රසංග ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් ගුරු මහත්වරුන්ට මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා.

මගේ දුරකතන අංකය : 077 769 9808

සටහන හා ඡායාරූප : අමරදාස සිල්වා

***************************************

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය දැයෙන් සමු ගනියි

(22.07.2019 – 07:24 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහත්මිය 71 වන වියේ පසු විය.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි ඇය දැනට මාස කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වෙයි.

මේ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් සඳහන් කළේය ෴

+++++++++++++++++++++

ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි

(22.07.2019 – 07:15 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන නිවේදිකාවක, හඬකැවීම් ශිල්පිනියක සහ ගේය පද රචිකාවියක වන කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඇය 71 වන වියේ පසුවුණා.

මාස 6 ක කාලයක සිට හෘදරෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳි ඇය ඊයේ රාත්‍රියේ අසාද්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකිරීමට රැගෙන යන අවස්ථාවේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතියෙකු ප්‍රකාශ කළේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කඩවත – ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

1972 වසරේ සහන නිවේදිකාවක ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැඳුණු කුසුම් පීරිස් ඒ ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස 1986 වසරේ ගුවන් විදුලියේ ස්ථිර සේවයට එක්වනවා.

නිවේදිකාවක ලෙස කටයුතු කරන අතරතුර නෙරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය ගායන කරන නිසංසලේ මා තනියෙන් ගීතය රචනා කරමින් ගේය පද රචනයට ද එක්වූ කුසුම් පීරිස්, ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, හිත මිතුරු සුළඟ, අසුරු සැනින් එක මොහොතකදී, දිගු නෙත් හසරැල්ලේ, සිතුවිලි සිරවී, හිත ගාව දඟ කළා ආදී ගීත රැසක් රචනා කළා.

එමෙන්ම ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසකින්ද ඇය පිදුම් ලබා තිබෙනවා ෴

+++++++++++++++++++++

ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස් සමුගනී

(22.07.2019 – gossiplankanews.com)

ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය ඊයේ රාත්‍රී ජීවිතයෙන් සමුගත්තාය. කලෙක සිට පිළිකා රෝග තත්වයෙන් පීඩා විඳි ඇය මියයන විට 71 වන වියේ පසු විය. ගුවන් විදුලි නිවේදිකාවක් ගිත රාචිකාවියක් සහ හඬ කැවීම් ශිල්පිණියක් වු කුසුම් පීරිස් මහත්මිය 70 දශකයේ ගුවන් විදුලියට සම්බන්ධවී ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දීර්ඝ කාලීන සේවයෙන් අනතුරුව විශ්‍රාම සුවයෙන් සිටියාය. වැඩසටහන් ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය,නාට්‍ය සඳහා හඬ කැවීම් ආදී කටයුතු රැසක ඇය නිරත විය. ඇගේ ළගන්නාසුලු කටහඩ එක්තරා කලෙක දිවයිනේ ප්‍රසිද්ධ වෙසක් තොරණ විස්තර සඳහා නැතිවම බැරි විය.

අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, සිතුවිලි සිරවී හදවත පතුලේ , ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇත්තේ ඇයයි.

සිරස,හිරු ගුවන්විදුලි නාලිකාවන්හි ආරම්භක නිවේදිකා තමාලි පීරිස් යනු කුසුම් පීරිස් මහත්මියගේ දියණියකි.

ඇගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බව පවුලේ ඥාතීන් දන්වා තිබේ ෴

+++++++++++++++++++++

පරව නොයන කුසුම ඔබයි

(26.07.2019 – 13:17 +0530 – lankadeepa.lk)

“හෙට දිනයේ නැවත හමුවන බලාපොරොත්තුවෙන් මේ
ආයුබෝවන් කියන්නේ කුසුම් පීරිස්. ආ..යු..බෝ..ව..න්”

එදා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ වැඩසටහනක් අවසානයේදී සිය ආදරණීය ශ්‍රාවකයින්ට එසේ ආයුබෝවන් කී කුසුම් පීරිස් නම්වූ එම නිවේදිකාව අද මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවටම ආයුබෝවන් කියා සමුඅරන් ගොසිනි.

කුසුම් පීරිස් නිවේදිකාව ගුවන් විදුලියට සම්බන්ධ වූ අලුත ඇය ශ්‍රාවකයින් ඇමතුවේ කුසුම් පී. ජයලත් නමිනි. ඇය පාසල් සමයේ ශිෂ්‍යාවක ලෙස පෙනී සිට ඇත්තේ කුසුම් පියසීලි ජයලත් නමිනි.

මෙයට වසර ගණනාවකට පෙර ඉරිදා ලංකාදීප “සඳැල්ල” අතිරේකය වෙනුවෙන් මා ඇය සමග පැවති සාකච්ඡාවේදී සිය පාසල් ජීවිතය ගැන සඳහන් කර සිටියේ ඉතාමත් ගෞරවයෙනි. මං උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන්. අපේ සිනමා නිළි රැජිණ මාලිනි ෆොන්සේකා, චිත්‍රපට අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමරත්න, චිත්‍රපට කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඞ් කරුණාරත්න, චිත්‍රපට නිළි නිලන්ති හීන්දෙනිය, චිත්‍රපට නළු විමල් කුමාර ද කොස්තා ආදී විශාල පිරිසක් ඉගෙන ගත්තේ අපේ ඉස්කෝලේ. වේදිකා නාට්‍ය ලෝකයේ දැවැන්තයෙක්ව සිටි පතිරාජ ඇල්.ඇස්. දයානන්ද සිටියේ මගේ පන්තියේ.

සිය පාසල් සමය තවදුරටත් සිහිපත් කරමින්, මාලනී ෆොන්සේකා සිසුවියක ලෙස සිටියදී ගුරුකුලය ඉදිරිපත් කළ නාට්‍යයක සළුපිළි වලින් සැරසී නැටුමක් ඉදිරිපත් කළ බවත් ඇත්තටම ඇය එදා පුංචි සුරංගනාවියක් වගෙයි. ඒ ඇය තවත් කෙනෙක් අගය කළ හැටිය.

තවකෙක් අගය කරන්නටත් සුන්දරත්වයෙන් පිරුණු ආදරයක් ඒ සිත තුළ පිරී තිබිය යුතුය. ඇගේ අදහස වූයේ ආදරය තරම් තවත් උතුම් වස්තුවක් මේ මිහිපිට නැති තරම්ය. එසේ සිතන ඇයට දෙවියන් උතුම් වරමක් නොදී සිටින්නේ නැත. පාසල සමයේදීම අන්තර් පාඨශාලීය කවි ගායනා තරඟ වලින් ජයග්‍රහණ අත්කර ගන්නට හැකියාව ඇයට ලැබී ඇත්තේද එම දේව වරම අනුව යැයි විශ්වාස කළ හැකිය. එපමණක් නොවේ ඇයට ලැබී තිබුණු කටහඬද දෙවියන් විසින් දෙන ලද තවත් දායාදයක් විය හැක.

ගුවන් විදුලියෙන් ප්‍රචාරයවූ කාන්තා සංග්‍රහය වැඩසටහන තුළින් ප්‍රචාරය වූ කෙටිකතාවක පෙම්වතියකගේ චරිතය රඟපෑවා අපට මතකය. ඇය එහිදී පෙම්වතියගේ විරහ වේදනාව ඉදිරිපත් කරන කල අසන්නාගේ දෑසින් කඳුළු දෝරේ ගලා ගිය අවස්ථා අප අසා ඇත. සෙනෙහෙබර මවකගේ හඬින් කතා කරන කළ අසන්නාගේ හිතට දැනෙන සැනසිලි සුවය කොතරම්දැයි කියන්නට වචන මදිවෙනවා නිසැකය. මේ නිසා එකල අගේ කටහඬට පෙම්කළ තරුණ තරුණියන් බොහෝ පිරිසක් සිටි බව එදා ඇය මා සමග පැවසූ හැටි තවමත් මතකය.

ආසියාවේ දීර්ඝතම ගුවන් විදුලි නාට්‍යය වූ “මුවන්පැලැස්ස” නාට්‍යයේ එන සිනිදි චරිතය රඟපාමින් ඇය ගුවන් විදුලි ශ්‍රාවකයින්ගේ ආදරයට පාත්‍රවූ හැටිත් අපට අමතක කළ නොහැකිය.

“මගේ ප්‍රථම ගීතය ලිව්වා නොවෙයි ලියැවුණා” සිය ගීත රචනය ගැන ඇය කියා සිටියේ එහෙමයි. එක්තරා හැන්දෑවක ගුවන් විදුලියේ විවේකාගාරයේ තනිවී සිටිනවිට මං පෑන අතට ගත්තා. නිසංසලේ මා තනියෙන් තනියට ඔබෙ හිත ළඟටම ඇවිදින්.” ඒ මොහොතේ ඒ වචන පේළිය ඉබේටම ලියැවුණා. පසුව සම්පූර්ණ කළා. මේ පද රචනය නෙරංජලා සරෝජිනීට දුන්නම එය ගීතයක් හැටියට අබේවර්ධන බාලසූරිය සමග ගායනා කළා.

කුසුම් පීරිස් අතින් ලියැවුණු ගීත අතර යමුනා විනෝදනී ගයන “අසුරු සැණින් එක මොහොතකදී ” බණ්ඩාර අතාවුද ගයන “සිහිනයකි ඔබ නිසල මැදියම් රෑ” එඞ්වඞ් ජයකොඩි ගයන “ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ,” සඳහන් කළ හැකිය. මේ සෑම ගීතයකින්ම ස්පර්ශ කර සිටින්නේ ඇය පැවසූ පරිදි උතුම් ආදරය නොවේද?

ඇගේ අතින් ලියැවුණු රූපා ඉන්දුමතී ගයන “ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් දෙනයන හැඳින්නෙමි” ගීතය ගැන ඇය එදා සඳහන් කර සිටියේ මෙහෙමයි. මම ඉතා දැඩි ලෙස රෝගාතුරව රෝහලේ සිටියදී මාව සනීප කරගන්නට මුළු හදින්ම කැපවී ක්‍රියා කළ මගේ මහත්මයා නෙල්සන් පීරිස්ට උපහාරයක් හැටියටයි ඒ ගීතය මගේ අතින් ලියැවුණේ. මගේ මවගේත් මගේ පියාගේත් සෙනෙහස මං එයා තුළින් දුටුවා. එයා තමයි මගේ ඉටුදෙවියා.

අද ඒ ඉටුදෙවියා තනිවී සිටී. ගුවන් විදුලි මාධ්‍ය ජීවිතයේදී ඇගෙන් ගුවන් විදුලිය ආලෝකවත් වූවා යැයි යමෙකු පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. එමෙන්ම ඇය දැයෙන් සමුගෙන ගියත් ඇගේ පෑන් තුඩින් ලියැවුණු පද වැල්හි ස්පර්ශව ඇති ආදරයේ සුවඳ සදාකල්හිම පවතිනු ඇත. කුසුම් ඔබ පරව නොයන කුසුමකි. ඔබට නිවන් සුව ලැබේවායි අපේ පැතුමයි.

– අමරදාස සිල්වා.

***************************************

භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ ගැන කණගාටුයි – කාදිනල් හිමියන්

(22.07.2019 – 07:19 +0530 – sinhala.adaderana.lk)

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඔවුන් වර්තමානයේ අනාගමික සංස්කෘතියකට අනුව කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙන්නේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තුන්මසක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සංවිධානය කර තිබු ආගමික උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපුර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස තමන් යළිත් වරක් ආණ්ඩුවේ බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ජාත්‍යන්තරයට හිස නැමීම නායකයින්ගේ පුරුද්දක් – කාදිනල් හිමි

(22.07.2019 – 22:02 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තරයට හිස නමමින් ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ අඩාල කිරීමට වගකිවයුත්තන් උත්සාහ කරන්නේදැයි සැකයක් මතුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තෙමසක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඊයේ (21) සංවිධාන කර තිබු ආගමික වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට තෙමසක් සපිරීම නිමිත්තෙන් ප්‍රහාරයෙන් මිය ගිය අයට පිං අනුමෝදන් කිරීමින් බෝධිපූජා පිංකමක් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් කාදිනල් හිමියන් මෙසේ ප්‍රකාශ කළේය :

“බොදුනු සංස්කෘතිය තුළ ආගම් ඇදහීමට ලැබී ඇති නිදහස අපිට ආඩම්බරයක්.

මම ලැජ්ජා වෙනවා කතෝලික කියාගන්නා මන්ත්‍රිවරයා භික්ෂුන්ට එරෙහිව කරපු අපහාසයට. අපිටත් ප්‍රශ්නයක් එයා කතෝලිකයෙක්ද කියලා.

පාස්කු ප්‍රහාරය ගැන විවිධ කොමිෂන් සභා වාර්තා දුන්නලු. එක වාර්තාවක්වත් හෙළිදරව් කරලා නෑ. තවමත් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ විමර්ශනයක් කරලා සත්‍ය හෙළිදරව් කරන්න කියලා.

ජාත්‍යන්තරයට හිස නැමීම නායකයින්ගේ පුරුද්දක්. ඒ නිසායි මේ සිද්ධිය යට ගියේ.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය පොඩි රටවල් පාලනය කරන්න හදලා තියෙන සංවිධානයක්. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය බොරුවක්.

මාවනැල්ලේ බුදු පිළිම කැඩු සිදුවීමෙන් පස්සෙ බෝම්බ හදන තැන් අහුවුණාම එක්සත් ජාතීන්ගේ ආයතනවලට කීකරුවෙලා පරීක්ෂණ පවත්වන්න දුන්නෙ නෑ.

අපි ලොකු වේදනාවකින් ඉන්නේ. මාස 3 ක් ගිහිනුත් කිසිම වාර්තාවක් ලැබුණේ නෑ.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *