පොහොට්ටුව සන්ධානගතවීම 26 දා

(22.07.2019 – 09:14 +0530 – lankaleadnews.com)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ දේශපාලන පක්‍ෂ රැසක සහයෝගයෙන් ලබන 26 වැනිදා නව සන්ධානය ගොඩනැගෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ගොඩනැගෙන එම සන්ධානයට ප‍්‍රථමයෙන් දේශපාලන පක්‍ෂ 15 ක් පමණ අත්සන් තැබීමට නියමිතය.

මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට සිකුරාදා (19 දා) වනවිට දේශපාලන පක්‍ෂ 26 ක් එකඟත්වය පළකර තිබූ බවත් එම පක්‍ෂ අතර පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට සහයෝගය ලබාදුන් පක්‍ෂ කිහිපයක් ද වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නායකත්වය පක්‍ෂයේ ජාතික මහා සම්මේලනය පැවැත්වෙන ලබන 11 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නිල වශයෙන් භාරදීමට නියමිතය.

පක්‍ෂ නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා රටට හෙළිකෙරෙනු ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන සියලුම පක්‍ෂවල එකඟතාවයෙන් ජනාධිපති අපේක්‍ෂකයා නම් කෙරෙනු ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී අගෝස්තු 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීමෙන් පසු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමග නම් කරනු ලබන ජනාධිපති අපේක්‍ෂකයා අගෝස්තු 12 වැනිදා අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන්වහන්සේ, රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබාගැනීමට පිටත්ව යති.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ හා සහයෝගය ලබාදෙන සියලු දේශපාලන පක්‍ෂවල නායකයන් හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ද සහභාගිවීමට නියමිතය ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මහින්දට ඉන්දියාවෙන් සම්මානයක්

(22.07.2019 – 08:51 +0530 – lankaleadnews.com)

ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල (21) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දියාවේ වෘත්තිකයින් සඳහා සෑම වර්ෂයකම මෙම “World Icon Award” සම්මාන උළෙල පවත්වන අතර 2018 වර්ෂයේ සම්මාන උළෙල තායිලන්තයේ පැවති අතර මෙම වර්ෂයේ සම්මාන උළෙල ලංකාවේ පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත.

මෙහිදී ලංකාවේ තෝරාගත් වෘත්තිකයින් 10 දෙනෙකු සඳහාද සම්මාන ලබා දුන් අතර 30 වසරක යුද්ධය නිමා කර ලොවට ආදර්ශයක් දීම වෙනුවෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත විශේෂ සම්මානයක් පිරිණමන ලදී.

රොහාන් වැලිවිට
විපක්‍ෂ නායක මාධ්‍ය ලේකම්

***************************************

රූපවාහිනියට අලුත් සභාපතිවරයෙක් පත් කරයි.. සුලං කිරිල්ලී යන්න බෑ කියයි.. රූපවාහිනියට සභාපතිලා දෙකයි..

(22.07.2019 – 15:50 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරේ.

මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ජනමාධ්‍යය රාජ්‍ය ඇමති රුවන් විජේවර්දන මහතා විසිනි.

ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ සභාපති සුලංකිරිල්ලී චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනි මහත්මියට ඉවත් වෙන ලෙස ඇමතිවරයා දන්වා තිබුණද ඇය දිගින් දිගටම බලහත්කාරයෙන් එම තනතුරේ රැදී සිටියාය.

සංස්ථාවේ අකාරක්ෂයම පරිපාලනය හේතුවෙන් සංස්ථාවේ කටයුතු ද අඩාල වීම නිසා මෙම තීරණය ගන්නා බව ජන මාධ්‍ය ඇමතිවරයා සත්‍යාංගනීට ලිඛිතව අන්වා තිබුණි.

නව සභාපතිවරයෙකු පත්කල ද ඉනෝකා සත්‍යංගනී මහත්මිය තවමත් සභාපති ධූරයෙන් ඉවත් නොවන බව පවසමින් ධූරයේ තවදුරටත් රැදී සිටින බව සංස්ථාවේ සේවකයෝ කියති.

ඉතිහාසයේ පළමු වරට රූපවාහිනියේ වැටුප් ගෙවීම පවා ප්‍රමාද විය ෴

+++++++++++++++++++++

ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙන්නෙක්

(22.07.2019 – 17:05 +0530 – sinhala.adaderana.lk)

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින්නේ, ඉනෝකා සත්‍යාංගනී මහත්මිය වන අතර, කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් පසුගිය ජූලි මස 18 වන දින ලිපියක් නිකුත් කරමින් සංජීව විජේගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

කෙසේ වෙතත් මෙම පත්වීම අනුව, අද (22) දිනයේ දී නව පත්වීමේ වැඩ බාර ගැනීමට සංජීව විජේගුණවර්ධන මහතා රූපවාහිනී පරිශ්‍රයට ගොස් තිබේ.

මෙම අවස්ථාවේ දී තමා ධූරයෙන් ඉවත් කර ඇතැයි කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව පවසමින් රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය, සංජීව විජේගුණවර්ධන මහතාට අසුන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන්, ජුලි මස 8 වන දින ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දී නොමැති බවයි.

මීට පෙරද රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් සුදර්ශන ගුණවර්ධන සහ ශාන් විජේතුංග යෝජනා කළ නමුත් ඒ නම් ද ප්‍රතික්ෂේප වී තිබුණි.

***************************************

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට ඩිෆෙන්ඩර් ගණිතයා අධිකරණයට භාර වෙයි

(22.07.2019 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග අධිකරණයට භාර වෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිද්ධියෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොසිටි ගණිත දේශකයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග අද අධිකරණයට භාර වුණා.

ඊට අමතරව තවත් තුන්දෙනෙකු මොහුත් සමඟ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ අතර මීට පෙර ඒ සම්බන්ධයෙන් පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනු හතර දෙනාද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 8 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ නියෝග කළේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

“බොරු කියන්නත්, මිනිස්සු රවටන්නත් අති දක්ෂයෙක්” V.I.P ඇක්ෂන් දැමූ ටියුෂන් ගුරා ගැන හෙළිදරව්වක්.!

(23.07.2019 – nethgossip.lk)

කළගෙඩිහේන ප්‍රදේශයේදි මාර්ගයක සිදුවූ කලහකාරී සිදුවීමක් පසුගිය දිනවල ආන්දෝළනයට තුඩු දුන්නා. මෙම සිදුවීමට මූලිකත්වය ගත් දිනේෂ් නුවන් අමරතුංග නම් පුද්ගලයා උසාවියට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

මේ අතර මෙම පුද්ගලයා කලක පටන් ව්‍යාජ ප්‍රතිරූප මවා දක්වමින් මාධ්‍යයන් පවා මිලට ගනිමින් වංචා සිදු කළ පුද්ගලයෙකි. මෙම පුද්ගලයාගේ වංචා මීට බොහෝ කලකට නෙත් FM බැලුම්ගල කණ්ඩායම විසින් හෙළිදරව් කළේය.

මේ අතර එම පුද්ගලයාගේ අතීත මිතුරෙකු තැබූ ෆේස්බුක් සටහනක් මේවන විට කතාබහට ලක්ව තිබෙනවා.

එම සටහන පහතින්,

සබරගමු කැම්පස් එකේ කොල්ලෙක්
පෙත්තා නොහොත් ‘ශ්‍රී මුචලින්ද අමරතුංග’

අවුරුදු පහළොවකට දාසයකට කලින් සිඳුවීමක්… කතාව මේ ලෝකේ තේරුමක් නැති උනාට සෑහෙන්න දිගයි. හොඳේ.

ඌට මම විහිලුවට කිවුවේ “ශ්‍රී මුචලින්ද අමරතුංගය”. ඌ රැග් සීසන් එකේ පටන්ම දෙසා බෑ පට්ට කෙබර ඒ සා විසාලය.!

අපි කැම්පස් ඉන්න කාලෙ දුෂ්කර පාසල්වල සාමාන්‍ය පෙළ ළමයින්ට වාර්ෂික සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වූවා. ඉතින් අපේ බැච් එකෙන් ගණිතය සම්මන්ත්‍රණය කරන්න ස්වේච්ඡාවෙන්ම බාර ගත්තේ “පෙත්තා”. මගේ නාමකරණය අනූව නම් “ශ්‍රී මුචලින්දයා”….!
පෙත්තාගේ චරිත ලක්ෂණ, වාග් විලාසය අනූව ඌ ටියුෂන් වලටම හරියන “සක්විතියෙක්”. ඌ ඒ කාලේ වෙනකොටත් හොරණ-ඉංගිරිය අවට ටියුෂන් කරමින් හිටියා.
දවසක් රෑ, මේ පෙත්තා ආවා යූනියක් රූම් එකට අපේ යූනියන් අයියාව මුණගැහෙන්න.
“අයියේ… මට භාර දෙන්න seminar කරන වැඩේ.. මම මොණරාගල විතරක් නෙමෙයි රත්නපුර, හොරණ, කළුතර වගේ පැති වලත් seminar කරන්නම්..”

අපි යූනියන් එකක් විදියට ඒ කාලේ හිටියේ ලොකු project එකක…ඒ project වල හැටියට අපිට ඒ කාලේ අවශ්‍යතාවයක් තිබුණා කැට වලට සල්ලි පුරවන මිනිස්සුන්ගේ ළමයින්ට ක්ෂණික ප්‍රතිලාභ විදියට අපෙන් යමක් ලැබෙන ක්‍රමයක් හදන්නත්… ඉතින් අපේ යූනියන් අයියා මුචලින්දයාගේ ප්‍රෝපසල් එකට OK එක දීලා ඇහුවා…

“හරි උඹට මොනවාද ඕනි..?”
“මට යූනියන් එකෙන් ලියුමක් දෙන්න දුෂ්කර පාසල්වල seminar කරන්න විදුහල්පතිවරුන්ගෙන් අවසර ඉල්ලලා…ඉතුරු ටික ඔක්කෝම මං බලා ගන්නම්”

මට මතක විදියට එක ලියුමකුත්, අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගන්න ලිපි කිහිපයකුත් දුන්නා මම එපා කියලා ඉඟි කරද්දිත්…! මොකද “මුචලින්ද” කරන වැඩෙන් “ඇණකොණ්ඩා” වෙන්නේ අපි නිසා…

කොහොමින් කොහොම හරි letters ටික ගත්ත බුවා සම්පූර්ණයෙන්ම වාෂ්පයි..! ආගිය අතක් නැති උනා…
අපි seminar කරන්න බාර ගත්ත මොණරාගල පාසලේ seminar එක පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ තවත් දවස් දෙකකින්..! මූ අද එයි…. හෙට එයි කියලා බලා ගෙන හිටියා..! පොර නෑ…!
අවසානයේදී මම අපේ මුචලින්දයාගේ ගෙදරට කතා කරා… තරුණ යුවතියක් අඬාගෙන උත්තර දුන්නා “අයියාට සෙංගමාලේ… මාස කීපෙකට යුනිවර්සිටි එන්න වෙන්නේ නෑ…”
කොහොමින් කොහොම හරි මම seminar එක කරා…

දවසක් අපේ යූනියන් අයියා බෝඩ් මීටින් එකක් ඉවර වෙලා ලහියේ දුවගෙන එන ගමන් අහනවා “උඹ දන්නවාද අර සෙංගමාලේ හැදුනා කියපු එකා දාගෙන තියෙන ගුස්පිය..? ආන්න ඌ ක්‍රිමිනල් කේස් එකක් දාගෙන කූඩුවේ… ඉස්කෝලෙක සර් කෙනෙක්ට වෙඩි තියන්න ගිහිල්ලා..!”
ඉතිං පෙත්තා රිමාන්ඩ්..! මම දන්න විදියට ඌට කැම්පස් එකෙනුත් අවුරුදු තුනක පංති තහනමක් දීලා තිබුණා…හැබැයි මම දැනුවත්ව ඒකේ ප්‍රධාන චෝදනාව වෙලා තිබුණේ උපකුලපතිවරයාගේ අත්සන හොරට ගැසීම…!!
හැබැයි වෙඩි කේස් එක ටිකක් දිග කේස් එකක්..

කොහොම හරි, මට මූව ආයෙත් හදිස්සියේම මුණ ගැහෙනවා අවුරුදු කීපයකට පස්සේ final year එකේ අවසන් කාලයේදී…
මම ඇහුවා උගෙන් උඹ කොහේද බං ගිහින් හිටියේ..? මූ කියාපි…
“මම දැන් පොලිසියේ වැඩනේ…”

හිසේ සිට පාදාන්තය දක්වා බැලුවත් මුගේ කොණ්ඩෙන් වත් මේස්, සපත්තුවලින් වත් මට නම් දැනුනේ නෑ මූ පොලිසියට බැඳෙන්න ඇති කියලා… එතකොටම මට තේරුනා මූ මේ තාක් කාලෙකට අල්ලපු ජල්ලි සහ කරපු දේවල්වල හැටියට අවුරුදු කීපයක්ම පොලිසි, උසාවිවල ලගින්නට ඇති නිසා මුචලින්දයා මේ සා විසාල නයෙක් අරින විත්තිය….!
කොයි එකටත් මම ඇහුවා මොන පොලිසියේද වැඩ කියලා…
මූ කියාපි head quartes කියලා…
මම ශ්‍රී මුචලින්දයා එක්ක වෙන වල් පල් ටිකක් කතා කර කර ඉඳලා එක පාරටම ඇහුවා “ගිය සතියේ ගින්නෙන් සෑහෙන්න විනාසයි නේද කියලා..” මූ උඩ බිම බලන්න ගත්තා….
මම එහෙම ඇහුවේ, ඊට දවස් කීපයකට උඩදී police head quartes වල ගින්නක් ඇතිවෙලා දැඩි විනාශයක් ඇති වෙලා තිබුණා.. ඒක ඒ දවස්වල පත්තරේ headline එක..! තමන් වැඩ කරන පොලිසිය ගිනි ගත්තාත් දන්නේ නැති පොලිස්කාරයෙක් තමයි ඔය “ශ්‍රී මුචලින්දයා” හෙවත් පෙත්තා…!

ඉතින් කොහොම හරි මම ඇහුවා ඌ මොකටද හදිසියේම කැම්පස් ආවේ කියලා… ඌ කියාපි “අවුරුදු තුනක නිවාඩුවක් ඉල්ලුවා ජොබ් කරන නිසා – දැන් අවුරුදු දෙකහාමාරක් ඉවරයි… දැන් මට ආයේ ස්ටඩි පටන් ගන්න ඕනි. ඒක ගැන කථා කරන්න ආවේ… හැබැයි බෝඩ් එකෙන් කියනවා අවුරුදු තුනම නිවාඩු අරන් එන්න කියලා… උඹට මේක කතා කරන්න චාන්ස් එකක් ආවොත් කතා කරපං” කියලා…!

මට නම් හිතුනේම මූ අවුරුදු තුනක් හිරේට නියම වෙලා ඉඳලා යහපත් කල්ක්‍රියාව නිසා අවුරුදු දෙකහමාරෙන් නිදහස් වෙලා ඇවිල්ලා කියලමයි…! මොකද අපි දන්නේ උපකුලපතිගේ අත්සන ගහලා කූඨ ලේඛණ හදපු එක විතරක් උනාට, මම කලින් කියපු වලිය දා ගත්තු වෙලාවෙදි ගිණි අවි පරිහරණය, මරණ තර්ජන එල්ල කිරීම, මිනී මැරීමට තැත් කිරීම ආදී බොහෝ චෝදනා ශ්‍රී මුචලින්දට තිබුනා කියලා ආරංචියි…!

කොහොම හරි මුචලින්දයාට මාස ගණනක් ගියාට පස්සේ නැවැත ස්ටඩි ආරම්භ කරන්නට සරසවියෙන් ඉඩ දුන්නා…! මූ මගේ ඉස්සරහට එන හැම වෙලාවකම මට පේන්නේ මම ආසම ෆිල්ම් එකක් වන “Catch me if you can” movie එකේ ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ pilot කෙනෙක්, දොස්තර කෙනෙක් විදියට කරන රඟපෑම…!

තවත් කාලයක් ගියා…! දවසක් රෑ 1.00 ට විතර අපේ ජුන්නෙක්ගෙන් දුරකථන ඇමතුමක් එනවා..
“මොකෝ උට්ටෝ මේ රෑ හදිස්සියක්ද…?”
“අයියේ…අර බොලාගේ බැච් එකේ හිටපු පෙත්තා මන්ත්‍රීකෙනෙක් ද..?”

මම ඇහුවා ඒ මොකද කියලා…

“අද අපි කැම්පස් එකේ අන්තිම දවස… රෑ පාටි එකට පෙත්තා ඇවිල්ලා බැස්සේ බොඩි ගාඩ්ලා සෙට් එකක් එක්ක.. ඌ ගාවට කිට්ටු වෙන්නත් බොඩි ගාඩ්ලාගෙන් අවසර ගන්න වෙච්ච සීන් එකක් තිබුණේ…”

ඕන්න ඔහොමයි කැම්පස් කාලෙත් “ශ්‍රී මුචලින්දයා” සල්ලි වලට ගත්ත බොඩි ගාඩ් සෙට් බස්සලා “VIP නාඩගම” නැටුවේ..!

කොහොමින් කොහොම හරි තවත් ටිකකාලයක් ගත උනා….මම දවසක් හයිලෙවල් පාරේ කලුඅග්ගල හරියේ වගේ එනකොට පාරේ අයිනේ ගෙදරක ගහලා තියෙනවා ලොකු කටවුට් එකක්…! කටවුට් එකේ බැබැළි බැබළි ඉන්නවා දැකලා පුරුදු මූණක්… හප්පට සිරි…! “ශ්‍රී මුචලින්දයා” කටවුට් එකේ..! යටින් ගහලා තියෙනවා “ශ්‍රී නුවන් පදනම”
ඒක උගේ ශාඛාවක්…!

ඉතිං මම තව ටිකක් හෙවුවා අපේ “ශ්‍රී මුචලින්දයාගේ” වැඩ පිළිවෙල…මොකද ඔයාකාර පදනම් පිහිටුවා ගත්තු හැම එකාම “සුද්දෝ- ධනලා”…. වෙන විදියකට කියනවා නම් අපේ ධනය සුද්ද කරන එවුන් බහුතරයක් ඔය පදනම් දා ගෙන එන්නේ…

තවත් දවසක මම අහම්බෙන් දකිනවා ඉරිදා පත්තරේ මේන්න මෙහෙම Advertisement එකක්..
“රුපියල් 5 ට පරිගණකයක් – දිනකට රුපියල් 5 බැගින් ගෙවා ඔබත් පරිගණකයක් ලබාගන්න..! ශ්‍රී නුවන් පදනමේ ප්‍රජා සේවයක්”

(ඔය වචනම නොවුනත් ඔය අදහස ඇතිව තිබුණු දෙයක් තමයි ඒකේ තිබුණේ)

ඊට පස්සේ මම පොඩ්ඩක් ඉඳලා හිටලා හොයලා බැලුවා ශ්‍රී මුචලින්දයාගේ වැඩ පිළිවෙල…ඒ කාලෙදී මුචලින්දයා ඔෆිස් එකේ සහ ෆේස්බුක් පිටුවල කීර්තිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ඇමතිවරු සමඟ ඉන්න ෆොටෝ දාලා තිබුණා…
මට තේරුණා සක්විති රණසිංහ ………..ගේ ෆොටෝ එක ඔෆිස් එකේ ගහගෙන කීර්තිමත් මාධ්‍යවේදියෙක් වන ………… හරහා තමන්ගේ මගෝඩි වැඩ මාර්කට් කරගත්ත ආකාරයටම අපේ මුචලින්දයාත් ගේමක් ගහන විත්තිය…

තවත් ටික කාලයක් ගත උනා.. එක්තරා ප්‍රසිද්ධ වාමාංශික පුවත්පතක තනි පිටුවක ඇඩ්වටීස්මන්ට් එකක් යනවා… ඒකේ තිබුණු විස්තරේ මෙහෙමයි…!

අපේ ශ්‍රී මුචලින්දයා සබරගමු සරසවියේ ඉගෙනුම ලබමින් සිටින විට දැක්වූ විශේෂ දක්ෂතා නිසා ජර්මනියේ සරසවියකින් ශිෂ්‍යත්වයක් ලැබුණාය.. ජර්මනියේ අවුරුදු තුනක් ඉගෙන ගෙන ශ්‍රී මුචලින්දයා තමන්ගේ පරිගණක ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරාය කියලා…
යකෝ…! අපිටත් නොකියා මූ කැම්පස් එකෙන් අවුරුදු තුනක් අතුරුදහන් වෙලා ගිහින් තියෙන්නේ ජර්මනියට ඉංජිනේරු උපාධියක් ගන්න…! ඕන්න ඔහොමයි මුචලින්දයාගේ මාර්කටින් වැඩ…
කොහොම හරි ඒ පත්තරේ අපේ මුචලින්දයා ගැන, එයා දවසට රුපියල් පහක් අය කරලා දෙන පරිගණකය ගැන , සමාජ සේවා ගැන හෙන වර්ණනාවක් තිබුණා…!

කොහොමින් කොහොම හරි තවත් ටික කාලයක් ගියා…. අහම්බෙන් වගේ මට බැලුම්ගල වැඩසටහනක් අහන්න ලැබුණා….ඒ වැඩසටහනට හේතුපාදක වෙලා තිබුණෙත් දවසට රුපියල් පහේ කම්පියුටර් කතාව..!
මෙන්න බොලේ හොරණ, ඉංගිරිය , පාදුක්ක පැත්තේ ගෑණු මූට හොඳටෝම බැණ බැණ මුගේ රුපියල් පහේ කම්පියුටරේ ගැන පට්ට වර්ණනාවක් දෙනවා…මම දන්නේ නෑ මූ ඒ කේස් ටිකෙන් මොන දහංගැටයක් ගහලා බේරුනාද කියලා….

ඔය සිද්දිවලින් පස්සේ ආයෙත් මූ මතුවෙන්නේ දෙරණේ කරපු ගණිත වැඩසටහනක් එක්ක…

මම කලිනුත් කිවුවේ, මූචලින්දයා දැක්කම මට මතක් වෙන්නේ catch me if you can movie එක කියලා. මූ එපමණට අණ්ඩපාල…!

අනිත් අයට තියෙන ප්‍රශ්න වැල මූ පේරේද..?
ඕකා ඇත්තටම පොලිසියේ වැඩ කරාද…?
සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ද..?
රුපියල් පහට කොම්පියුටර් දුන්නාද…?
ජර්මනියේ හිටියේ කොයි කාලෙද…?
මූ පේරේ ලෙචෙක් ද…?
මූ LLB ද… නීති විශාරදයෙක්ද…
මූ අයින්ස්ටයින් වගේ පොරක් ද..
මුගේ රොබොටික්ස් කම්පැණිය මොකක්ද ?

කියන ප්‍රශ්න වැලටම මට දිය හැකි එකම සාධාරණ පිළිතුර “ශ්‍රී මුචලින්ද අමරතුංග” යන්න පමණි…

ඒවගේම.. මූ ජනාධිපති වෙනවාට එක පයින්ම කැමති ජනතාව අතර මූට “කුප්පි” දැමූ විශාල පිරිසක් සිටින අතර උන් සේරම “සිරි මුචලින්දයාගෙන්” බලාපොරොත්තු වෙන්නේ ඌ කවදාවත් අත නොහරින “වනිතා කටයුතු” ඇමතිකමයි.

උපුටා ගැනීම : Surendra Silva

+++++++++++++++++++++

https://www.facebook.com/sri.nuwan.amarathunga58

***************************************

බ්‍රිතාන්‍ය කසල බහාලුම් 111 ක් තවමත් කොළඹ වරායේ

(22.07.2019 – 13:32 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ සිට නීතිවිරෝධීව පරිසරයට හානිකර කසළ බහලුම් 241 ක් මෙරටට ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් කසළ බහලුම් 111 ක් තවමත් කොළඹ වරායේ රඳවා ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

එමෙන්ම කසළ බහලුම් 130 ක් මේ වනවිට වරායෙන් නිදහස් කර ඇති බවද ඔහු කියා සිටියා.

2017 වසරේදී පමණ මෙරටට ගෙන්වා ඇති කසළ බහලුම් 102 ක් වරායේ අංගන දෙකක තිබියදී රේගුව මගින් ඉකුත්දා පළමුවරට සොයාගැනීමෙන් පසුව සිදුකළ විමර්ශනවලින් මේවායේ කසළ අඩංගු බවට අනාවරණ වුණා .

+++++++++++++++++++++++++++++++++++

ප්‍රතිඅපනයනයට ගෙනාවේ රෝහල් මෙට්ට නොවෙයි, වරායේ බහාලුම් සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ – හේලීස් අවධාරණය කරයි

(22.07.2019 – biz.adaderana.lk)

මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ රඳවා තිබෙන බහාලුම් 102 ක් සම්බන්ධයෙන් තම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව හේලීස් ෆ්‍රී සෝන් පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවක දී එහි නිලධාරීහූ මේ බව කියා සිටියෝය. මෙම මාධ්‍ය හමුවේ දී හේලීස් ෆ්‍රී සෝන් වෙනුවෙන් හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න, අසංක රත්නායක (අධ්‍යක්ෂ) සහ අමල් රොද්‍රිගෝ (අධ්‍යක්ෂ) යන මහත්වරුන් අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා පැවසුවේ හේලීස් ෆ්‍රී සෝන් අංගනයේ ගබඩා කර ඇති, ආනයනය කරන ලද භාවිතා කරන ලද මෙට්ට, කිසිදු ආකාරයකින් රෝහල්වලින් ඉවත් කරන ලද ඒවා නොවන බවයි. එසේම මෙට්ට, කාපට් හා ස්පොන්ජ් යන අමුද්‍රව්‍ය හැරෙන්නට වෙනත් කිසිදු ද්‍රව්‍යයක් මෙම අංගනය තුළ නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය. විශේෂයෙන්ම හේලීස් ෆ්‍රී සෝන් අංගනය තුළ රෝහල් අපද්‍රව්‍ය ඇති බවට එල්ල වන චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය.

මේ සම්බන්ධයෙන් හේලීස් ෆ්‍රී සෝන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ :

හේලීස් ෆ්‍රී සෝන් සමාගම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවට කසළ ආනයනය කළේ යයි එල්ලවන චෝදනා සියල්ල හේලීස් ෆ්‍රී සෝන් සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කර සිටියේය. මේ වන විට හේලීස් ෆ්‍රී සෝන් අංගණයේ ගබඩා කර ඇති භාවිත කරන ලද මෙට්ට බහාලුම් 130 ක් සම්බන්ධව මාධ්‍ය මගින් ගෙන යන පදනම් විරහිත චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එම සමාගම සඳහන් කළේ එම මෙට්ට ආනයනය කරන ලද්දේ Ceylon Metal Processing Corporation සමාගම බවත් ඒවායේ සැබෑ හිමිකරු වන්නේ එම සමාගම බවත්ය.

හේලීස් ෆ්‍රී සෝන් යනු අනෙකුත් ගෝලීය වෙළඳ කලාපවල මෙන් ප්‍රතිඅපනයනය සඳහා ගබඩාකරණ සහ අගය එකතු කිරීමේ සේවා සැපයීමේ අරමුණින් 2013 අංක 1 දරන පනත යටතේ ස්ථාපනය කර ඇති නීත්‍යනුකුල ආයතනයකි.

නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන ETL COLOMBO සමාගම මගින් Ceylon Metal Processing Corporation සමාගමට අයත් භාවිතා කරන ලද මෙට්ට තොගයක් පිරි සැකසුම් කර ප්‍රතිඅපනයනය කිරීම සඳහා හේලීස් ෆ්‍රී සෝන් සමාගම තෝරා ගැනුණි. එසේ එවන භාණ්ඩ හේලීස් ෆ්‍රී සෝන් සමාගම වෙතට එවීමේදී නිත්‍යානුකුලව එම භාණ්ඩ වල ආනයන කරු ලෙස හේලීස් ෆ්‍රී සෝන් සමාගම නම් කල යුතුව තිබිණ. ඉන් ඔබ්බට හේලීස් ෆ්‍රී සෝන් සමාගමට මෙම භාණ්ඩ සඳහා කිසිදු නෛතික හිමිකාරිත්වයක් නොමැති බව එම ආයතනය සඳහන් කර සිටියේය.

එම ආයතනය තවදුරටත් ප්‍රකාශ කළේ, ප්‍රශ්නගත බහාලුම් හේලීස් ෆ්‍රී සෝන් අංගණයේ ගබඩා කිරීමට තමන් එකඟ වූයේ එම බහාලුම් 130 තුළ කිසිදු හානිකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට ලියකියවිලි මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව බවය.

එම බහාලුම් 130 න් 29 ක් මේවන විටත් හේලීස් ෆ්‍රී සෝන් ආයතනය විසින් පිරිසැකසුම් කර ප්‍රතිඅපනයනය කර ඇත. මෙම මෙට්ට වෙන් කර ඒවායේ වැස්ම, ස්පන්‍ය, ලොම් රෙදි සහ වානේ ඉවත් කර ඒවා වෙන්-වෙන්ව ඇසුරුම් කර Ceylon Metals සමාගමේ අවශ්‍යතාව පරිදි ප්‍රතිඅපනයනය කිරීම මෙම පිරිසැකසුම් ක්‍රියාවලියට ඇතුළත් වේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත තමන් එම ඉතිරි මෙට්ට සිය වියදමින් කඩිනමින් පිරිසැකසුම් කර ප්‍රතිඅපනයනය කිරීම සඳහා කටයුතු කරන බව එම ආයතනය සඳහන් කළේය.

කොළඹ වරායේ ඇති බහාලුම් 102 සමග කිසිදු සම්බන්ධයක් නැත

කොළඹ වරායේ ඇති බහාලුම් 102 සම්බන්ධව අදහස් පළ කරමින් හේලීස් ෆ්‍රී සෝන් ආයතනය ප්‍රකාශ කළේ, තම ආයතනය සහ ඉහත සඳහන් බහාලුම් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය. හේලීස් ෆ්‍රී සෝන් ආයතනයේ අධ්‍යක්ෂ අසංක රත්නායක මහතා, “මේ වන විට කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් 102 සම්බන්ධව කිසිදු ආකාරයක සබඳතාවක් තම ආයතනයට නොමැත” යනුවෙන් ප්‍රකාශ කළේය. “අප එම බහාලුම්වල ආනයනකරු හෝ භාරකරු හෝ ගබඩාකරණ සේවා සම්පාදකයා හෝ නොවේ.”

මේ අතර හේලීස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ, “ආචාරධර්ම උපරිම අයුරින් ආරක්ෂා කරන සමාජ වගකීමකින් යුතුව කටයුතු කරන සමාගමක් ලෙස තමන් මවු රටට කසළ ආනයනය කිරීම වැනි ආචාරධර්ම වලට පටහැනි කිසිදු ක්‍රියාවක නිරත නොවන” බවය.

ආයෝජන මණ්ඩලය මෙතෙක් තමන්ට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළ හේලීස් ෆ්‍රී සෝන් ආයතනය සිය අංගණයේ ගබඩාකර ඇති භාවිතා කරන ලද මෙට්ට පිරිසැකසුම් කිරීමේ දීර්ඝ ක්‍රියාවලිය තුළ ආයෝජන මණ්ඩලය සමග සමීපව කටයුතු කරන බව ද අවධාරණය කළේය.

තවද, හේලීස් ෆ්‍රී සෝන් අංගණයේ ගබඩා කර ඇති මෙට්ට මගින් කිසිදු පාරිසරික අවදානමක් ඇති නොවන පරිදි කටයුතු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමග ද සමීපව කටයුතු කරන බව එම ආයතනය සඳහන් කළේය.

වසර 140 ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන හේලීස් සමාගම මෙරට අපනයන ආදායමෙන් 3.53% කට දායකත්වය ලබාදෙයි. හේලීස් සමාගම 2017 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුමක් වාර්තා කළ අතර මෙරට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් අතරින් එම කඩඉම පසුකළ ප්‍රථම සමාගම වන්නේය. එම සමූහය 2018/19 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 220 ක පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය. හේලීස් සමූහය අඛණ්ඩව මෙරට වඩාත් ගෞරවාන්විත සමාගම් අතර ප්‍රමුඛස්ථානය රැක ගැනීමට සමත්ව සිටින අතර වසර ගණනක පටන් LMD ප්‍රමුඛ සමාගම් 100 අතර පළමු ස්ථානයේ රැඳෙයි. 2016 වසරේදී විශිෂ්ටත ම ආයතනික පුරවැසියාට පිරිනැමෙන “ග්‍රෑන්ඩ් ස්ලෑම්” සම්මානය ද හිමිකර ගැනීමට එම සමාගම සමත් විය. තිරසර බව සහ ආචාර ධර්ම රැක ගැනීම සඳහා දක්වන ලද කැපවීම නිසාම වසර පහක් පුරා විශිෂ්ටත ම ආයතනික පුරවැසි සම්මානය හිමිකර ගැනීම වෙනුවෙන් පිරිනැමුණු එම සම්මානය දිනා ගත් පළමු සමාගම ලෙස හේලීස් සමාගම ඉතිහාසයට එක් වන්නේය.

මේ අතර ලංකා ආයෝජන මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධයෙන් කියා සිටින්නේ 2018 ජනවාරි මාසයේ දී මෙම සමාගමට දැඩි අවවාද කළ බවත්, ගිවිසුම් ප්‍රකාරව එකී භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රතිඅපනයනය කිරීමටත්, අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙස දැන් වූ බවත්ය. ලංකා ආයෝජන මණ්ඩලය මේ සම්බන්ධයේ කළ කරුණු පැහැදිලි කිරීම පහත දැක්වේ :

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කරුණු පැහැදිලි කිරීම

පසුගිය දිනවලදී මාධ්‍ය මගින් අනාවරණය කරන ලද භාවිතා කරන ලද භාණ්ඩ ඇතුලත් බහාලුම් 102 ක් ආනයනය කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් විසින් නොවේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් වන හේලීස් ෆ්‍රී සෝන් (Hayleys Fee Zone) සමාගම වර්ෂ 2013 අංක 1 දරන පනත යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. ඒ අනුව වර්ෂ 2014 මැයි මස සිට ඔවුන් ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුල අන්තර් වෙළඳ කටයුතු කරගෙන යනු ලැබේ.

වර්ෂ 2017 ඔක්තෝබර් මාසයේ දී හේලීස් සමාගම ප්‍රතිඅපනයනය කිරීම සඳහා පාවිච්චි කරන ලද මෙට්ට සහ බුමුතුරුණු ඇතුලත් බහාලුම් 130 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලදී. මෙයින් බහාලුම් 29 ක් මේවන විටත් ප්‍රතිඅපනයනය කරන ඇත. කෙසේ වෙතත් 2018 ජනවාරි වන විටත් ඉතිරි බහාලුම්වල ඇති භාණ්ඩ ප්‍රතිඅපනයනය නොකර අපනයන සැකසුම් කලාපය තුල ගබඩා කර තිබෙන බවට ආයෝජන මණ්ඩලයේ නිරීක්‍ෂණයට භාජනය විය. ඒ අනුව ආයෝජන මණ්ඩලය විසින් හේලීස් සමාගමට දැඩි අවවාද කරමින් කියා සිටියේ ගිවිසුම් ප්‍රකාරව එකී භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රතිඅපනයනය කිරීමටත් අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙසයි. ඊට සමගාමීව ආයෝජන මණ්ඩලය විසින් සමාගමේ සියලුම ආනයන තාවකාලිකව තහනම්කොට 2018 පෙබරවාරි අවසන් වීමට පෙර ඉතුරු සියලුම භාණ්ඩ ප්‍රතිඅපනයනය කරන ලෙස සමාගමට දන්වන ලදී.

කෙසේවෙතත් සමාගම එය කිරීමට අපොහොසත්වී ඇති අතර විටින් විට ඒ සදහා නොයෙකුත් තාක්‍ෂණික සහ වෙනත් හේතූන් ඉදිරිපත් කරමින් සිටී.

හේලීස් සමාගම පොරොන්දු වූ පරිදි මෙම භාණ්ඩ ප්‍රතිඅපනයන කිරීමට අපොහොසත් වීම නිසා ඒ සම්බන්ධව දැඩි පියවර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය කටයුතු කරන ලදී.

+++++++++++++++++++++++++++++++++++

කසල ආනයනය තහනම් කරන්නැයි, අධිකරණයට පෙත්සමක්

(22.07.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවල සිට කැළි කසල සහ අපද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයායි.

විදේශ රටක සිට ආනයනය කරන ලද රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කසල බහාලුම් සිය ගණනක් මෙරට ගබඩා කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි අදාළ පෙත්සම මගින් පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත්, වරායේ දැනට රදවා ඇති කසල බහාලුම් 102 කට තම ආයතනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රථම වරට හේලීස් ෆ්‍රීසෝන් සමාගම ප්‍රකාශ කළා.

***************************************

ලක්ෂ 3 ක මුදල් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

(22.07.2019 – 12:08 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලුවූ පුද්ගලයෙකු එහි තිබූ රුපියල් ලක්ෂ 3 කට ආසන්න මුදලක් සොරාගෙන තිබෙනවා.

ඊයේ අලුයම 2.20 ට පමණ සැකකරු වෙළඳසැලට ඇතුලුවී මුදල් සොරාගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

රෙදි කැබැල්ලකින් හිස ආවරණය කරගත් සැකකරු වෙළඳසැලෙහි ඉදිරිපස දොර කඩා ඊට ඇතුලුවී තිබෙනවා.

මෙම පුද්ගලයා මුදල් සොරකම් කරන ආකාරය එහි තිබූ CCTV කැමරාවල සටහන් වී ඇති අතර බණ්ඩාරගම පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ සිදු කරනවා.

***************************************

ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

(22.07.2019 – 19:46 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේ දී රාජපක්ෂ පාලනයක් බිහි විය හැකි බැවින් ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර යෝජිත සියලු ගිවිසුම් ඊට පෙර අත්සන් කරගන්නා ලෙස එරට බුද්ධි මණ්ඩලයක් වන “ද හෙරිටේජ් ෆවුන්ඩේෂන්” අමෙරිකානු රජයට දැනුම් දි ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද (22) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

අමෙරිකානු බුද්ධි මණ්ඩලයක් මගින් අපූරු උපදෙසක් අමෙරිකානු ආණ්ඩුවට ලබාදී ඇති බව පැවසු මන්ත්‍රීවරයා පැවසුවේ එම අපූරු උපදෙස වන්නේ ඊළඟ මැතිවරණයෙන් රාජපක්ෂලා බලයට එන බවත් ඊට පෙර ගිවිසුම් සියල්ල අත්සන් කර ගන්නා ලෙස යන්න බවයි.

අමෙරිකාවයි ශ්‍රී ලංකා ආණ්ඩුවයි අලුත් ගිවිසුමක් අත්සන් කරන්න සුධානම් වන බවද මන්ත්‍රීවරයා මෙහිදි පැහැදිලි කළේය.

2017 අත්සන් කළ ‘එක්සා’ ගිවිසුම 2019 දි නැවත අලුත් කිරීමට ආණ්ඩුව සුදානම් වන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

අදාල අමේරිකානු බුද්ධි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිද අදාල ගිවිසුම් අත්සන් කිරීමට අග්‍රාමාත්‍යවරයා කැමැත් පල කර ඇති බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

කෙසේ නමුත් ආදාල ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ හමුදාව කැමැත්ත ලබා දීලා නොමැති බවද එහි සඳහන් වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

දියාරු පෙන්දෝ නායකයෝ කළාට වැඩක් නෑ – රතන හිමි

(22.07.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

බැටික්ලෝ කැම්පස් ආයතනයට සෞදි ආරබියේ තහනම් සංවිධානවලින් මුදල් ආධාර ලබාදී ඇතැයි තහවුරු වීම නිසා එහි නිර්මාතෘ, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

කෝටි 1757 පිළිබඳව වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කළ බවද රතන හිමියන් පවසයි.

සෞදි ආරබියේ ආයතන ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් ලබාදෙනවා බවත් අල්කයිඩා, තලෙයිබාන් ආයතනවලින් මෙවැනි විශ්ව විද්‍යාල නිර්මානය කරන බවත් රතන හිමයන් පැවසීය.

මෙවැනි කරුණු සඳහා සහරාන්ගේ සම්බන්ධය පිළිබඳව කරුණු වමසීම අදාල නොවන බවත් හිස්බුල්ලා වෙනුවෙන් මුස්ලිම් පක්ෂ එක්වූවා නම් අන්තවාදී ගොදුරෙන් රට ගලවා ගන්නට ජනතාවට එක්විය නොහැක්කේ කුමක් නිසාද යන්න බවත් රතන හිමියන් විමසීය.

අධිකරණය තුලින් තහවුරු වී ඇත්නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත යුතු බවත් රතන හිමියන් අවධාරණය කළේය.

කොන්ද පණ නැති,ආත්ම ශක්තියක් නොමැති බල ලෝභී නිවට දේශපාලනඥයන්ට මීට එරෙහිව මුහුණ දෙන්නට නොහැකි බවත් කොටි ත්‍රස්තවාදයට වඩා දස ගුණයකින් භයානක ත්‍රස්තවාදයකට මුහුණ දීමට නම් අනාගත නායකයා කොන්ද පණ ඇති බිය නොබියව මුහුණ දීමට හැකි නායකයෙක් විය යුතු බවත් රතන හිමයන් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

22.07.2019

***************************************

කැමරාවට පස්ස හැරවු සොරකම – CCTV දර්ශන සහිතයි

(22.07.2019 – 13:10 +0530 – sinhala.adaderana.lk)

මීරිගම ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි සැලක පසුගිය දා සොරකමක් සිදුව තිබේ.

පසුගිය 20 වන දා මෙය සිදුව ඇති අතර, එහිදී රූපලාවන්‍ය ඖෂධ සහිත පෙට්ටි කීපයක් වයස් ගත වු පිරිමි පුද්ගලයෙක් විසින් සොරා ගන්නා ආකාරය වෙළඳ සැලේ වු CCTV කැමරාවෙහි ඉතා පැහැදිලි ලෙස සනිටුහන්ව ඇත.

මෙම පුද්ගලයා වෙළඳසැල් හිමියාට නිය ආලේපන අවශ්‍ය බව පවසා ඔහු ඒවා ගෙන ඒමට යන අවස්ථාවේ දී මෙම සොරකම සිදු කරනු ලබයි.

ඉතා සූක්ෂම ලෙස ලබා ගන්නා පෙට්ටි කීපයක් තමාගේ අතේ පැළඳ සිටි රබර් පටියක් ආධාරයෙන් එකිනෙක එකට සිටින සේ බැඳ දමන මෙම පුද්ගලයා පසුව සරම තුළ සඟවා ගෙන වෙළඳ සැලෙන් පිටව යයි.

මෙම දර්ශන නැරඹීමෙන් අනතුරුව මේ ගැන වෙළඳ සැල් හිමියා විසින් මීරිගම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් කිසිදු සැකකරුවෙක් හඳුනා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී නොමැත.

***************************************

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැක්කේ අධිකරණ තීන්දුවකින් පමණයි

(22.07.2019 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ අධිකරණ තීන්දුවකින් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

සියනෑවේ මහා බොදු සමුළුව (වේයන්ගොඩ) (14.07.2019)

***************************************

Peo Legend > Premakeerthi De Alwis
(Full Episode) (22.06.2019) (91 min.s)

https://www.youtube.com/watch?v=ZvjII232E5k
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *