අධ්‍යාපනය විනාශ කරන උපාධි කඩ හැම තැනම.. සිසුන් අමාරුවේ… ICBTට නඩු දමයි..

(23.07.2019 – 08:40 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

අධ්‍යාපනය විනාශ කරන උපාධි කඩ හැම තැනම. සිසුන් අමාරුවේ. බම්බලපිටිය ICBT කැම්පස් ආයතනයත් එවැනි අධ්‍යාපන ආයතනයක්..

විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීම මෙරට දෙමව්පියන්ගේ මෙන්ම දුවා දරුවන්ගේද සිහිනයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයින් 175000 ට ආසන්න සංඛ්‍යාවක් අතුරින් රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවකාශ ලැබෙන්නේ 26000 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවකට පමණකි. ඒ අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අපේක්‍ෂා කරනු ලබන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට එනම් සුදුසුකම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4/5 කට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවකාශ අහිමි වී ඇත. දැනට අප රට තුල ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල සංඛ්‍යාව 14 ක් වන අතර එම විශ්ව විද්‍යාල 14 තුළ අධ්‍යාපනය ලැබීමට අවකාශ ඇත්තේ සුදුසුකම් ලබන ශිෂ්‍ය ප්‍රමාණයෙන් 1/5 කට පමණි. ඒ අනුව වසරකට සුදුසුකම් ලබන ශිෂ්‍යයින්ගෙන් 4/5 ක් එනම් ශිෂ්‍යන් අති විශාල සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇති අපේක්‍ෂාවන් ඉටු කර ගත නොහැකිව කළකිරීමෙන් පසුවේ.

මෙම හේතුව නිසා මෙරට හතුපිපෙන්නාක් මෙන් පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ වී ඇති බව අප සැවොම දන්නා කාරණයකි. එහෙත් එම විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පිළිබදව ඇති තත්වය නම් සැබැවින්ම කණගාටුදායකය.

සිසුන්ට තොගපිටින් උපාධි ප්‍රදානය කරනු ලබන බම්බලපිටිය සිය මූලස්ථානය කරගනිමින් කොළඔ, නුගේගොඩ, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර, යාපනය, මඩකලපුව යන නගරවල ශාඛා පවත්වාගෙන යමින් උපාධි ලබා දීමේ ව්‍යාපාරයේ නිරතවන ICBT කැම්පස් ආයතනය (International College of Business and Technology) ( https://www.icbt.lk/ ) අද වන විට ප්‍රමිතියෙන් තොර තත්වයට පත්ව ඇත.

මෙම ආයතනයේ හිමිකරුවන් වන්නේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයයි. සෙලින්කෝ සමාගම් සමූහයේ සභාපතිවරයා යම් ආයතනයක් ආරම්භ කරනවිට සිය සමාගම් ජාලය යටතේ පවතින සමාගම් වල මුදල් ඊට යොදා ගනී. මෙම ආයතනය ආරම්භ කළේද ඒ ආකාරයටමය.

ICBT ආයතනය පුද්ගලික අධ්‍යාපන ක්ෂ්ත්‍රය‍ට පැමිණ වසර කිහිපයකින් බම්බලපිටියේ ඉඩමක් මිලදීගෙන ගොඩනැගිල්ලක් ඉදිකරනු ලබයි. පවතින නීති රීතිවලට අනුව යම් ගොඩනැගිල්ලක සිසුන් සදහා දේශණ පැවැත්වීමට නම් සපුරාලිය යුතු කොන්දේසි සමූහයකි. එම කොන්දේසි සාදා තිබෙන්නේ සිසුන්ගේ ආරක්ෂාව සදහා නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. එම කොන්දේසි සපුරාලීමට අපොහොසත් වූ ICBT කැම්පස් ආයතනය නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දෙන්නේ මෙම ස්ථානයේ සිසුන් සදහා දේශණ නොපවත්වන බවයි. එම ආයතනය එහිදී සදහන් කරන්නේ මෙම ස්ථානය තම සමාගමකට අයත් සමාගමක මූළස්ථානයක් සදහා භාවිතා කරන බවයි. එහෙත් වර්තමානයේ මෙම අධ්‍යාපන ආයතනය මෙකී ගොඩනැගිල්ලේ සිසුන් සදහා දේශණ පවත්වනු ලබයි.තවම මෙම ගොඩනැගිල්ල සදහා කොළඔ නගරසභාවෙන් අනුකූලතා සහතිකය ලබා ගෙන නැත. රජයට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් සිසුන්ට උපාධි ලබා දෙන මෙවැනි ආයතන පිළිබදව ජනතාව ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද? යන්න තීරණය කිරීම ජනතාවටම භාර කරන අතර මෙම ගොඩනැගිල්ල තුළ දේශණපැවැත්වීම අනතුරුදායක වන බව පමණක් අප සදහන් කරමු. මන්ද? යත් කිසියම් අනතුරක් වූ පසු පමණක් ඒ ගැන වාර්තා කිරීම හා සොයා බැලීම ප්‍රමාණවත් නොවන බව පාස්කු ප්‍රහාරයෙන් පසුව රටම දන්නා කාරණයක් වන නිසාය.

ශ්‍රී ලංකාවේ වලංගු නීතියට අනුව උසස් ජාතික පාඨමාලාවන් (HND) පවත්වා සහතිකපත් නිකුත් කළ හැක්කේ රජයේ අධ්‍යාපන ආයතනවලට පමණකි. දේශීය පෞද්ගලික ආයතනවලට උසස් ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා ගෙන යාම සහ සහතිකපත් නිකුත් කිරීම නීති විරෝධීවේ. එහෙත් ICBT කැම්පස් ආයතනය සිසුන් හා දෙමාපියන් මුලා කරමින් උසස් ජාතික පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. ICBT කැම්පස් යන ආයතනය විසින් කරගෙන යනු ලබන මෙම නීතිවිරෝධී ක්‍රියා නවතා දමන ලෙස තෘතීයික අධ්‍යාපන කොමිසම (TERTIARY AND VOCATIONAL EDUCATION COMMISSION) ICBT කැම්පස් ආයතනයට කිහිපවරක් දැනුම් දුන්නද මෙම ආයතනය තවම ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා සහතිකපත් නිකුත් කරනු ලබයි. මෙම හේතුව නිසා අපහසුතාවයට පත්වන්නේ සිසුන් හා දෙමාපියන්ය. විදේශයක උසස් අධ්‍යාපනය සදහා හෝ රැකියාවක් සදහා මෙරටින් පිටව යන සිසුන් ICBT කැම්පස් ආයතනයෙන් නිකුත් කරන ලද සහතිකපත් තෘතියික අධ්‍යාපන කොමිසමෙන් සහතික කිරීම සදහා ඉදිරිපත් කල විට ICBT කැම්පස් ආයතනයට ජාතික පාඨමාලාවන් පැවැත්වීම සදහා බලයක් නොමැති බැවින් එසේ සහතිකපත් සහතික කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ පිළිබදව සිසුන් විසින් බම්බලපිටිය පොලීසිය වෙත පැමිණිලිකර ඇත.

ICBT කැම්පස් ආයතනය පිළිබදව ඇති තවත් චෝදනාවක් වන්නේ ඉහළ කළමනාකාරිත්වත්වය ඇතුලු බොහෝ දේශකයන්ට නියමිත සුදුසුකම් නොමැති වීමයි.

මෙම අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක වෙළද ලෙස කටයුතු කරන අනුර ගමගේ යන අය විසින් ප්‍රධාන විධායක නිළධාරිවරයාගේ ලේකම්වරියට ලිංගික හිංසනයක් කිරීමක් පිළිබදව බම්බලපිටිය පොලීසිය විසින් අධිකරණයේ නඩුවක් පවරා ඇත. (නඩු අංක B/81339) ඇපමත මුදාහැර සිටින අනුර ගමගේ යන අය තවමත් ICBT කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂක වෙළද ලෙස කටයුතු කරනු ලබයි. ICBT කැම්පස් ආයතනයේ පාඨාමාලාවන් පිළිබදව විමසීමට සිසු සිසුවියන් මුලින්ම හමුවන්නේ මෙම පුද්ගලයාය. තම දුවා දරුවන් උසස් අධ්‍යාපනය සදහා මෙරට දෙමාපියන් යොමු කරන්නේ මෙවැනි ආයතනවලට වන නිසා අප මීට වඩා ඒ පිළිබදව සොයා බැලිය යුතු නොවේද?

අනෙක් කාරණය වන්නේ ICBT කැම්පස් ආයතනය ආරම්භ කරන අවස්ථාවේදී ගෝල්ඩන් කී සමාගම සතුව කොටස් තිබුනද ගෝල්ඩන් කී සමාගමේ වත්කම් විකුණා තැන්පත්කරුවනට මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කල නිසා ICBT කැම්පස් ආයතනයේ සභාපතිවරයා වන ජගත් අල්විස් විසින් CEG EDUCATION HOLDINGS (PVT) Ltd නමින් සමාගමක් ආරම්භ කරමින් ගෝල්ඩන් කී සමාගමේ කොටස් එම සමාගමට පවරා ඇත. මෙම සිදුවීම අධිකරණයට කරන ලද බරපතල අපහාසයක් වන අතර ගෝල්ඩන් කී තැන්පත් කරුවනට කරන ලද විශාල අසාධාරණයකි.

ICBT කැම්පස් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන් වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය සතුටුදායක නොවන බැවින් ඩුබායි, ඕමාන්, කටාර්, බහරේන්, ආදී රටවල ICBT කැම්පස් ආයතනය විසින් පවත්වා ගෙන ගිය පාඨමාලාවන් තහනම් කිරීමට එම රටවල් කටයුතු කර ඇත.

නිදහස් අධ්‍යාපනය අහිමි වූ ළමුන් දෙමාපියන් විසින් විශාල මුදලක් ගෙවා මෙවැනි උසස් අධ්‍යාපන ආයතනවලට යොමු කලද එම ආයතනවල තත්වය මෙසේ නම් ඊට වගකිව යුත්තේ කවුද? අසරණ දෙමාපියන්ද? සිසුන්ද? නැත්නම් රජයද යන්න තවම ගැටලුවකි.

පුද්ගලික විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය උසස් මට්ටමකට පවත්වාගෙන යෑම සඳහා ඉහළම මට්ටමේ නියාමන ආයතනයක් තිබිය යුතුය යන්න අපගේ එක් යෝජනාවකි. එවැනි නියාමන ආයතන ලෝකයේ බොහෝ රටවල පිහිටුවා ඇති අතර එසේ කිරීමෙන් එවැනි ආයතනවලට විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දීම මෙන්ම නිරන්තරයෙන් එම විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය අධ්‍යයනය කරමින් ප්‍රමිතිය හීන වූ අවස්ථාවක එම විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑමේ බලපත්‍රය අහිමි කිරීමට හැක. මෙරට පාලකයින්ටද ICBT කැම්පස් ආයතනය වැනි ආයතන තහනම් කිරීම පිළිබදවද සිතා බැලීමට දැන් කාලය එළඔ ඇත.

මෙරට අසරණ දෙමාපියන් හා සිසුන් අන්දවන බම්බලපිටියේ පිහිටි ICBT කැම්පස් ආයතනය හා වෙනත් එවැනි අධ්‍යාපන ආයතන පිළිබදව තවත් තොරතුරු අප සංවිධානය විසින් හෙළි කිරීමට නියමිත අතර ICBT කැම්පස් ආයතනයට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමටද අප බලාපොරොත්තු වෙමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

***************************************

A/L විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ට පණිවිඩයක්

(23.07.2019 – 07:54 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ ද ලබාදීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලු සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රසියල්ල මේ වන විටත් පාසල් වෙත යොමුකර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ද ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමුකර ඇති බව සදහන්.

ලබන බදාදා දිනෙන් පසුව පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන අතර ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන්ට එමගින් ද ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බව සනත් පුජිත මහතා සදහන් කළේය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැරණි සහ නව නිර්දේශ අනුව පැවැත්වෙන අතර ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

උසස් පෙළ විභාගය අගෝස්තු පස් වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ ෴

***************************************

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර හමුවක්

(23.07.2019 – 12:52 +0530 – sinhala.adaderana.lk)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේය.

සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගී වී ඇත.

අමෙරිකානු තානාපති කාර්යාලයේ ඉල්ලීමක් මත මෙම හමුව සිදුව ඇති අතර රටේ වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරටයා පැවසුවේ ෴

+++++++++++++++++++++

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරකයින් ගැන තොරතුරු දුන් ලොරි රථ හිමිකරුට රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක්

(23.07.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ, ලොරි රථයකින් මීගමුව – කටුවාපිටියේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ලොරි රථයේ හිමිකරුට රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.

තොරතුරු ලබාදීමෙන් පසු ඔහු මුහුණදී සිටින ආර්ථික අපහසුතා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පසුගියදා කරුණු අනාවරණ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන ආයතනයෙන් ඉවත්ව සිටින තමන්ට ලොරි රථයේ කල්බදු වාරිකද ගෙවාගැනීමට නොහැකිව සිටින බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටි ආරක්ෂක අංශ, ත්‍රස්තවාදීන් භාවිත කළ උපකරණ තොගයක් සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක තිබී සොයාගනු ලැබුවේ මොහු ලබාදුන් තොරතුරුවලට අනුවයි.

ඒ අනුව එක් තොරතුරකට ලක්ෂ 25 බැගින් තොරතුරු දෙකක් සපයා දුන් මෙම පුද්ගලයාට ලක්ෂ 50 ක ත්‍යාග මුදල ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

***************************************

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක්

(23.07.2019 – 14:58 +0530 – hirunews.lk/sinhala)

විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගය සමත්වූ සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද නියෝග කළා.

ඒ, විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 16 දෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය අද ලබාදුන්නේ ෴

***************************************

දුම්රිය බලඇණියට නව බලවේග කට්ටලයක් සහ එන්ජිමක් එක්වෙයි

(23.07.2019 – 14:07 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්ලමේන්තුවේ දුම්රිය බල ඇණිය වර්ධනය කරමින් ඉන්දියාවෙන් ගෙන්වූ එස් 13 වර්ගයේ නව බලවේග කට්ටලයක් සහ එම් 11 වර්ගයේ නව එන්ජිමක් එක් කර තිබෙනවා.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇනවුම් කර ඇති මුළු ද්විත්ව බලවේග කට්ටල සංඛ්‍යාව 6ක් බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම බලවේග කට්ටලය සමඟ ඉන් 4 ක් දැනටමත් මෙරටට ගෙන්වා අවසන්.

තවත් දුම්රිය එන්ජිමක් සහ බලවේග කට්ටලයක් සති තුනක් ඇතුළත ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත ළඟාවීමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කළා ෴

***************************************

මන්ත්‍රී ඉෂාක් රහුමාන්ගේ ඥාතියෙකුට චෝදනාවක්

(23.07.2019 – 12:45 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි ඉපැරණි නටබුන් සහිත ප්‍රදේශයක් ඩෝසර් කර පළතුරු වගා කර ඇති බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විශේෂ හෙළිදරව්වක් කරමින් සඳහන් කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී දයාරතන හිමියන් කියා සිටියේ එය සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ගේ ඥාතියෙකු විසින් බවයි ෴

***************************************

තැපැල් වර්ජනය අවසන් – ලිපි මළු ලක්ෂ 5 ක් අතරමඟ

(23.07.2019 – 07:40 +0530 – hirunews.lk/sinhala)

අසනීප නිවාඩු වාර්තා කර තැපැල් සේවකයින් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට දින දෙකක් හෝ තුනක කාලයක් ගත වනු ඇති බවයි.

වැටුප් සහ උසස් වීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම, පසුගිය 18 වන දා ද ඔවුන් දින දෙකක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා ෴

***************************************

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැක්කේ අධිකරණ තීන්දුවකින් පමණයි

(22.07.2019 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ අධිකරණ තීන්දුවකින් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

පොහොට්ටු රජයකදී දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් – බැසිල් රාජපක්ෂ

(23.07.2019 – 16:20 +0530 – sinhala.adaderana.lk)

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ආර්ථික නිෂ්පාදන කි‍්‍රයාවලිය රාජ්‍ය, පුද්ගලක මෙන්ම සමුපකාර අංශය යටතේත් දියුණු කිරීමේ ප‍්‍රතිපත්තිමය තිරණයකට එළැඹෙන බවද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් ජනතාවගේ ආර්ථිකය නැංවීමේ අදහසින් අලෙවි හා නිෂ්පාදන ව්‍යාපෘති සමුපකාර අංශය හරහා ඉදිරියට ගෙන යාමටත්, ඒ සඳහා රජයේ අනුග‍්‍රහය ලබාදෙමින් ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම රටේ වත්මන් ආර්ථික ප‍්‍රශ්න විසදීමේ විකල්පයක් ලෙස පෙනීයන බවද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (23) බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති හමුවකදීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය මඟින් ඉදිරියේ එළි දැක්වීමට නියමිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනය සඳහා සහෝදර දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සහ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් සහෝදර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ වැඩපිළීවෙලක් මේ දිනවල පක්ෂය මඟින් කි‍්‍රයාත්මක කර තිබේ.

මෙලෙස සාකච්ඡා පැවැත්වූ දේශපාලන පක්ෂ 10 ක් සමඟ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීම මේ මස 26 වැනිදා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට දේශපාලන පක්ෂ 26 ක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර අද දින හෙළබිම ජනතා පක්ෂය, එක්සත් ජනතා පක්ෂය, අපේ ජන උරුමය පක්ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, ශී‍්‍ර ලංකා ජන බල පක්ෂය, ලංකා ජන සරණ පක්ෂය, ඊලචර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව, හා නව භූමි පුත‍්‍ර පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ප‍්‍රතිපත්ති යෝජනාව සඳහා ඇතුළත් කිරීම සඳහා යෝජනා හා අදහස් ඉදිරිපත් කළ අතර කමිටු 26 ක් යටතේ ප‍්‍රතිපත්ති සැකසීම සඳුකෙරෙන බැවින් එම කමිටු සඳහා පක්ෂවල නියෝජිතයෙක් පත්කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය ෴

***************************************

සත්ත්ව සුබසාධන පනත සම්මත කිරීම කඩිනමින් කරන්න – පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

(23.07.2019 – 14:45 +0530 – sinhala.adaderana.lk)

සත්ත්වයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා වු සත්ත්ව සුබසාධන පනත සම්මත කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ පනත අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය සම්මත කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

සත්ත්ව හිංසනයට එරෙහි අදාළ පනත සම්මත කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සදහන් කළේය.

ඊයේ (22) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසීය.

අදාල පනත ක්‍රියාත්මක කිරීම ශිෂ්ඨවත් සමාජයකට ඉතාමත් වැදගත් පනතක් බවද උන්වහන්සේ පවසයි.

උන් වහන්සේ වැඩිදුරටත් පැවසුවේ මිනිසා වශයෙන් අප ජීවත් විය යුත්තේ අපගේ සහෝදර සත්වයන් සමඟ බවයි ෴

***************************************

ඉන්දියාවෙන් ලංකාවට ගෙනා S 13 සහ M 11 සුපිරි දුම්රිය වැඩ්ඩෝ කොළඹ වරායෙන් ගොඩබෑ හැටි… (23.07.2019)

https://www.facebook.com/Official.Arjuna.Ranatunga/videos/327660694845658/

ඉන්දියාවෙන් කොළඹ වරායට ආ අලුත්ම අලුත් යකඩ යක්කු

(23.07.2019 – biz.adaderana.lk)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක්ව තිබේ. ඉන්දියාවෙන් ගෙන් වූ එම බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම මේ වන විට කොළඹ වරායට ගොඩ බා තිබෙන අතර ඒවා මෙරට ගෙන්වා ඇත්තේ ඉන්දීය ණය ආධාර යටතේය.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇණවුම් කෙරෙන මුළු ද්විත්ව බලවේග කට්ටල ගණන 6කි. අද (23) දින ගොඩබෑ බලවේග කට්ටලය සමඟ එයින් දැනටමත් 4 ක් මෙරටට ගෙන්වා තිබේ. M 11 එංජින් (Locomotive) 10 ක් ගෙන්වීමට අපේක්ෂිත අතර අද ගොඩබෑ එංජින් සමඟ එයින් 4 ක් මේ වන විට මෙරටට ගෙන්වා තිබේ.

තවත් දුම්රිය එන්ජිමක් සහ බලවේග කට්ටලයක් තවත් සති 03 ක් ඇතුලත ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත ලගා වීමට නියමිතව ඇත.

මීට අමතරව චීනයෙන් ඇණවුම් කළ උඩරට මාර්ගයේ ධාවනයට යෙදෙන S 14 බලවේග කට්ටල 9 ක් ගෙන්වීමට අපේක්ෂා කරයි. එම බලවේග කට්ටලවල පළමුවැන්න චීනයේ ෂැන්ඩාවෝ වරායේ සිට කොළඹ වරාය වෙත ඉදිරියේදී පැමිණීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *