කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක් වතුර කපයි

(23.07.2019 – 12:48 +0530 – sinhala.adaderana.lk)

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද (23) පස්වරු 06.00 සිට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව එම මණ්ඩලය සදහන් කළේය.

ඒ අනුව හෙට (24) පෙරවරු 10.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලටත් මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.

මීට අමතරව කොළඹ 3, 4, 5, 6 සහ හෝකන්දර යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය ෴

***************************************

පාට කන්නාඩි වලින් නොබලා රට හදන හැටි : රටට ආදරේ කවුරුත් ඇසිය යුතු විමල්ගේ කතාව

(23.07.2019 – Youtube > Wimal Weerawansa)

  • එදා අගමැති රනිල් ‘පෝට්සිටි ව්‍යාපෘතිය’ නතර කරන බවට තක්කඩි කතා කීවා
  • එයාගේ රතු කමිසධාරී මල්ලිලා ‘පෝට්සිටිය හදන්න ලංකාවෙම කළුගල් මදි වෙයි’ වැනි සෘණාත්මක කතා කීවා
  • එහෙම කියලා මේ අය හැදුවේ මේ රටේ අනාගත පරම්පරාවේ කකුල්වලින් අදින්න
  • ‘වරාය නගරය’ මේ බාල දේශපාලන ලක්ෂණවලින් මිදිලා ජාතික ප්‍රතිපත්තියක් යටතේ අපේ රට හදන්නේ කොහොමද? කියන පැනයට පිළිතුරු සපයන නිදසුනක්…

***************************************

අගමැති සහ තානාපතිනිය කියන බය හිතෙන කතාව

(23.07.2019 – YouTube > Udaya Gammanpila)

2019.07.22 දින පිවිතුරු ‌හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් :

***************************************

ළඟම පාසල – මැරෙන පාසල : ලොවක් දිනන්න අකුරු කරන්න මරු කටට යන රටේ අනාගතය

(23.07.2019 – 22:44 +0530 – hirunews.lk/sinhala)

මාස තුනක පමණ කලක සිට කහවත්ත, හොරහින්ඇල්ල සුමන විද්‍යාලයේ ගොඩනැගිලි දැඩි අනාරක්ෂිත තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් එම දරුවන්ට ඉගෙනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවට දෙමාපියන් චෝදනා කරනවා.

මේ අතර වැලිගම, දෙනිපිටිය ජනතාව චෝදනා කරන්නේ, තම ප්‍රදේශයේ ඇති පාසල ගුරු හිඟය හේතුවෙන් වැසී යාමේ තත්ත්වයට පත්ව ඇති බවයි.

කහවත්ත, හොරහින්ඇල්ල සුමන විද්‍යාලයේ තුන ශ්‍රේණිය දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට ඇති ගොඩනැගිල්ලේ තත්ත්වයයි මේ.

දෙමාපියන් පවසන්නේ මෙම ගොඩනැලිල්ල දිරාපත් වී ඇති බැවින් වහළය කඩා වැටීමේ අවදානමකට පත්ව ඇති බවයි.

මෙම තත්ත්වය මත දරුවන්ට මිදුලේ අධ්‍යයන කටයුතුවල නිරතවීමට සිදුව ඇති අතර, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊට ද බාධා එල්ල වී තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

අභිරහසක් ඉතිරි කරමින් මියගිය 9 හැවිරිදි විජයකාන්තන්

(23.07.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

සමාජය තුළ මිනිසුන් වෛද්‍ය වෘත්තිය දේවත්වයෙහිලා සැලකුවද, ඇතැමුන්ගේ වගකිම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් එම වෘත්තියේ ගෞරවය කෙලෙසි යනවා සේම වටිනා මිනිස් ජීවිත පවා අහිමිවන අවස්ථා වරින් වර අසන්නට ලැබෙනවා.

එවැනි වු තවත් එක් අනුවේදනිය කතාවක් මඩකලපුවෙන් අපට වාර්ථා වුණා.

මේ මඩකලපුව වන්දාරමුල්ල ප්‍රදේශයේ විසු 9 හැවිරිදි විජයකාන්තන් විදුලක්ෂන්.

පසුගිය මාර්තු මස පළමුවෙනිදා සිය පියාගේ ලොරි රථය ගෙවත්තේ ගාල් කරන අවස්ථාවේ එයට නැගීමට උත්සහ කළ විදුලක්ෂන් එයින් ඇද වැටී තුවාල ලබා රොහල් ගත කරන්නේ කාටත් සිතාගැනීමටවත් නොහැකි මොහොතකයි.

හිසේ සුළු තුවාල සහිතව පළමුව චෙන්කල්අඩි ප්‍රාථමික රෝහලට ඇතුළත් කරන විදුලක්ෂන්ව පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව මහ රෝහලට ඇතුළත් කරනු ලබනවා.

එහි දින 18 ක් නේවාසිකව ප්‍රතිකාර ලබනා විදුලක්ෂන් 19 වන දින එක්වරම ජීවිතාක්ෂයට පත්වෙන්නේ කාටත් අභිරහසක් ඉතිරි කරමින්.

***************************************

ඥානසාර හිමියන්ගෙන් හෙළිදරව්වක්

(23.07.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව, මද්‍රසා පාසල් නියාමනය කිරීමට පනතක් සම්මත කිරීමේ සූදානමක් පවතින බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙය සම්මත කිරීමට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ තමන් ඇතුළු භික්ෂූන් වහන්සේ සමග සාකච්ඡා කළ යුතු බවයි.

+++++++++++++++++++++

***************************************

එංගලන්තයේ කුණු ගැන පැමිණිල්ලක්

(23.07.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බව කියන සමාගම් වලට සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ ආයතන වලට එරෙහිව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිලි කළා.

එංගලන්තයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වූ සහ ඒ සඳහා සේවා සැපයූ පෞද්ගලික ආයතන 3 කට එරෙහිව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුවට, ආයෝජන මණ්ඩලයට සහ මධ්‍යම පරිසර අධිකාරියට යන රාජ්‍ය ආයතන වලට එරෙහිව පැමිණිලි කර ඇත්තේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්.

+++++++++++++++++++++

අබලි ද්‍රව්‍ය ආනයනය කිරීම ගැන මංගල රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි

(23.07.2019 – 20:58 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට අද (23) නියෝග කළේ ය.

විදේශ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය කර තිබේ.

දැනට අනාවරණ වී ඇති පරිදි මෙරට සමාගමක් මගින් නාගරික අබලි ද්‍රව්‍ය මෙලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

ඕනෑම රටකට නාගරික අබලි ද්‍රව්‍ය ආනයනය කරන්නේ නම් ඊට අදාළ රටේ පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතු ය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසියම් පාර්ශ්වයක් අදාළ නීති රෙගුලාසිවලට පටහැනිව ක්‍රියාකර ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි ෴

+++++++++++++++++++++

කුණු ගැන රේගුව ජනපතිට ලියයි

(23.07.2019 – nethnews.lk)

ශ්‍රී ලංකාවට ගෙන එන ලදුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ගොඩගසා තිබෙන බ්‍රිතාන්‍ය අපද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා රේගු සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා. විදේශ කැලි කසල ශ්‍රී ලංකාවට ගෙන්වීමට පහසුකම් සලසා ඇති නීතියේ ඇති හිඩැස් වහා නිවැරදි කරන්නැයි ඉල්ලමින් මුදල් අමාත්‍යවරයා වෙත ද ලිපියක් යැවූ බවයි ඔවුන් පවසන්නේ.

මේ, එහි ප්‍රධාන ලේකම් ජේ ඒ ගුණතිලක මහතා :

මීට පෙර වියට්නාමයෙන් ගෙන්වූ ගම්මිරිස්, ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෙස ප්‍රතිඅපනයනය කර ඇත්තේ ද ශ්‍රී ලංකාවට විදේශ අපද්‍රව්‍ය රැගෙන ආ නීතියේ හිඩැස් යොදා ගනිමින් බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා ෴

***************************************

ජගත් සංවිධාන නියෝජිතයෙකු හමුවට විනිසුරුවරුන් කැඳවීමක් ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි

(23.07.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් තෝරාගත් නඩු කිහිපයක විභාග කටයුතු සිදුකරන මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කථානායකවරයාගේ අවධානය යොමු කරනු ලැබුවා.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ විමල් වීරවංශ යන මහත්වරු මැදිහත්ව අදහස් පළ කළා.

***************************************

දුලබ කළු ජගුවරයෙකු දෙහිවල සත්තු වත්තට

(23.07.2019 – 16:12 +0530 – hirunews.lk/sinhala)

වඳ වීමේ තර්ජනයට ලක්ව, සියයට හයක් පමණ ලොවපුරා සිටින කළු දිවියෙකු අද (23) දෙහිවල ජාතික සත්ව උද්‍යානයට රැගෙනවිත් තිබෙනවා.

අවුරුදු දෙකක් වයසැති මෙම කළු දිවියා, නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්නවා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

අද (23) දිනයේ සිට මෙම සත්වයා මහජන ප්‍රදර්ශනයට තැබෙන බවයි වාර්තාවන්නේ.

***************************************

ගම්පෙරළිය ප්‍රචාරණ කරන්න රුපියල් කෝටි 49 ක් – බන්දුල ගුණවර්ධන

(23.07.2019 – 21:51 +0530 – sinhala.adaderana.lk)

නුදුරේදී බිහිවන තම ආණ්ඩුවක් යටතේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවයි.

එහි නියෝජිතයින් අද (23) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවලදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව රජයේ මුදල් විශාල ලෙස අවභාවිත කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටින බවයි.

අද විපක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් . පීරිස් මහතා පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්දයෙන් රජය දැන සිටි බවත් මේ වන විට සිදු වන පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවද ඒ මහතා පැවසීය.

එහිද අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ගම්පෙරළිය වැඩසටහණේ ප්‍රචාරණ කටයුතු සඳහා කොටි 49 ක් වෙන් කර ගෙන ඇති බවයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සඳහා රුපියල් බිලියන 200 ක් වෙන් කර ගෙන ඇති බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

මෙය විශාල මුදල් අයතා පරිහණයක් බවද බන්දුල මන්ත්‍රීවරයා පැහැදිල කළේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධය හමුවේදි අදහස් දැක්වු පක්ෂ පරිපාලක ලේකම් රේණුක පෙරේරා මහතා පැවසුවේ අමාත්‍යංශ වල වියදමින් අමාත්‍යවරු සිය ප්‍රචාරණ කටයුතු සිදු කරන බවයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රෙස්න මහතා පැවසුවේ අගෝස්තු මස 11වනදාට සිය පක්ෂයේ අපෙක්ෂකයා පිලිබඳ කරුණූ ඉදිරිපත් කරන බවයි.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශ මහතා පැවසුවේ තම පක්ෂයේ කිසිදු සමාජිකයෙක් එක්සත් ජාතික පක්ෂයට නොයන බවයි.

***************************************

අද දෙරණ උකුස්සා : මසකට මිලියන 100 ක් බදුගෙවන ශ්‍රී ලංකන් ගුවන් යානයේ කෑලි කඩා හැලෙන හැටි

(23.07.2019 – 19:31 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2013 වසරේදී ඇණවුම් කළ එයාර් බස් A350 යානා 4 ක් අවලංගු කරන්නේ 2016 ඔක්තෝබර් මාසයේදීයි.

එහි ප්‍රතිඵලයක් ලෙස වසර 10 ක් පැරණි එයාර් බස් A330-200 වර්ගයේ ගුවන් යානයක් බදු පදනම යටතේ ලබාගැනීමට ශ්‍රී ලංකන් ගුවන්සේවයට සිදුවෙයි.

පසුගිය වසරේදී ඔක්තෝබර් මසදී කොළඹට ගෙන ආ එම යානය කටුනායක ගුවන් තොටුපළට සීමාවූයේ එය ව්‍යාපාරික ගුවන් ගමන්වලට නුසුදුසු වීම හේතුවෙන්.

ශ්‍රී ලංකන් ගුවන්සේවය සතු A330-200 වර්ගයේ ගුවන්යානා සැසදිමේදී A330-200 4R-ALS යානය සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව පවතින්නේ ඉතාම අවම මට්ටමකයි.

සාමාන්‍ය යානා මසකට ගුවන් ගමන් පැය 400 ක් ආවරණය කරද්දී මෙම යානය ගුවන් පැය 60කට සීමා වෙයි.

යානයේ පවතින දුර්වල තත්ත්වයට අද දෙරණ උකුස්සා තබන කදිම උදාහරණයක් මේ.

පසුගියදා මාලේ බලා පියාසර කරන A330-200 ගුවන් යානයේ ඇතුළත කොටස් මෙලෙස කඩා වැටෙන්නේ මගීන් දැඩි අපහසුතාවට පත්කරමින්.

යානයේ ආසන සහ ආහාර පාන රැදිවීමේ කොටස් මෙලෙස කඩාවැටීමට ලක්වෙයි.

විදේශිකයින් මෙහිදී අදහස් දැක්වුයේ මෙලෙසිනි.

“අපි ඇත්තටම සතුටු නැහැ. ගුවන්යානයේ තත්ත්වය සම්බන්ධයෙන්. ගුවන්යානයේ තත්ත්වය ඉතාම නරකයි. ඒක හරිම අවුලක්. ඒ වගේම තමයි ආසන හරියාකාරයෙන් සකසා ගැනීමට බැහැ.”

මේ වන විට සුදු අලියෙකු බවට පත්ව ඇති A330-200 ගුවන් යානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුකළ පාඩුව අතිමහත්.

එපමණක් නොව ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර තුළ ගොඩනගා ගත් කීර්ති නාමයට ද එමගින් දැඩිව හානි සිදුව තිබේ.

අදාළ තීරණ ගැනීම සඳහා මැදිහත් වූ ප්‍රධානීන් මේ පාඩුවට වගකියන්නේ ද?

නැතිනම් ඔවුන් තනතුරුවලට පත්කළ දේශපාලන අධිකාරිය මේ විනාශයට වග කියන්නේ ද?

මේ පිළිබද උකුස්සා අවධානයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *