රනිල් වික්‍රමසිංහ මොනතරම් කට්ටද කිව්වොත් වරාය වික්කෙව්වෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් ලවා – මහින්ද රාජපක්ෂ

(26.07.2019 – 13:07 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීය.

මෙම ගිවිසුම්වලට එළඹුනේ අද (26) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් අද අවබෝධතා ගිවිසුමකට එළඹුණේය.

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේ පැවති උත්සවයකදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා ගිවිසුම්වල අත්සන් තැබීය.

ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, ලංකා කම්කරු එක්සත් පෙරමුණ මහලේකම් එස්. සතාෂිවම් යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

විනයාගමූර්ති මුරලිදරන් මහතා තමිළ එක්සත් නිදහස් පෙරමුණේ නායකයා ලෙසත් සර්වනබවනාදන් දුෂ්ෂන්ත් මහතා ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමට එළඹීය.

මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීඩ්, ලිබරල් පක්ෂයේ ප්‍රධාන ලේකම් කමල් නිෂ්ෂංක, නව සිහල උරුමයේ ප්‍රධාන ලේකම් සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන්ද අද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ලේකම් අරුණ ද සොයිසා , එක්සත් ලංකා මහ සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ත කුලතුංග හා භූමි පුත්‍ර පක්ෂයේ ප්‍රධාන සභාපති සරත් විජේරත්න යන මහත්වරුන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීය.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, මේ රටේ සිංහල, මුස්ලිම්, බර්ග යන සියලු ජාතීන්ට හා ආගමිකයින්ට ජීවත් වීමේ අයිතිය ගැන සැකයක් ඇතිව තිබෙන බවයි.

අද ආණ්ඩුවට මොනදේ පැවසුවත් නෑසෙනවා සේ සිටින බවද පැවසු රාජපක්ෂ මහතා, සියලු දෙනාටම අද මෙම ආණ්ඩුව පරාජය කිරීමට යුතුකමක් ඇති බව ද කියා සිටියේය.

ආණ්ඩුව අද වන විට රට විකුණා දමා ඇති බවත්, රට විනාශ කර ඇති බවත් පැවසු රාජපක්ෂ මහතා, තමන් සෑදු වරායට බැන බැන රනිල් වික්‍රමසිංහ කොච්චර කට්ටද කියනවා නම් ‘වරාය වික්කේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් ලවා’ බව ද පැවසීය.

‘කනවා නම් දෙගොල්ලෝම කනවා කියලා වැඩේ දුන්නා’ යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ දුන්න බවද පැවසු රාජපක්ෂ මහතා, අර්ජුන රණතුංග මහතා බෑ කියද්දී වෙනත් අයෙක් ඒ සඳහා යොදා ගත් බව සඳහන් කළේය.

කෙසේ වෙතත් 19 වන සංශෝධනය හඳුන්වා දුන් ජනාධිපතිවරයාම අද වන විට එය දැක නැති බව පවසන බව ද කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, 19 ගෙනා සැබෑ හේතු මත එක්සත් ජාතික පක්ෂයටම අද එය පාරා වළල්ලක් වී ඇතැයි ද පැවසීය.

ආණ්ඩුවට කිසිදු අවස්ථාවක මේ ව්‍යවස්ථාව නැවත වෙනස් කිරීමට අයිතියක් නැති බවත්,එය වෙනස් කිරීමේ අයිතිය ඇත්තේ ඊළඟට පිහිටුවන අපේ ආණ්ඩුවට බවත් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

***************************************

බස් නැවතුමේ නිදා සිටි පුද්ගලයෙකුට බීමතින් සිටි වේලා සටහන්කරුගෙන් අමානුෂික පහරදීමක්

(26.07.2019 – 10:56 +0530 – sinhala.adaderana.lk)

ගලේවෙල, කලාවැව හන්දියේ කුඩා බස් නැවතුමක නිදාගෙන සිටි පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණි කිසියම් පුද්ගලයකු විසින් පහරදී ඝාතනය කර තිබේ.

අද (26) අළුයම ඝාතනය ඇති බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා ඉතා අමානුෂික ලෙස අලුයම 2.30 ට පමණ ඝාතනය කරන ආකාරයත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඒ අසල බලාසිටි ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම ඝාතනය සිදුකරන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල නගරයේ කාලයක් තිස්සේ විවිධ වෙළඳසැල්වල කම්කරු වැඩ කරමින් හා නගරයේ ඇති වැසිකිළි පද්ධතිය සෝදා පවිත් කිරීම් කටයුතු සිදුකරමින් සිටි රත්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මෙම පුද්ගලයාට පහර දුන් බවට සැක කරන මධ්‍යය පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දඹුල්ල බස් නැවතුම්පලේ වේලා සටහන්කරුවෙකු වන ටි. එම්. රතනපාල නමැති පුද්ගලයෙකු සැකපිට රූපරාමු පරීක්ෂාකොට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ හිසේ ඇති තුවාල හේතුවෙන් ගලේවෙල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය.

ආරක්ෂිත කැමරාවේ සටහන්ව ඇති පරිදි මෙම මියගිය පුද්ගලයා බස් නැවතුම්පොළේ නිදාගෙන සිටියදී මාර්ගස්ථ මගී ප්රකවාහන අධිකාරියේ සේවය කරන වේලා සටහන්කරු පොල්ලක් රැගෙන ගොස් එම ස්ථානයෙන් මෙම පුද්ගලයා පහරදී පලවා හරින ආකාරයද නැවත එම පුද්ගලයා සහ වේලා සටහන්කරු අතර පොරබදා ගන්නා දර්ශනත් ඇතුලත් වන බව පොලිසිය කියයි.

පසුව වේලා සටහන්කරු ඉතා අමානුෂික ආකාරයෙන් මෙම පුද්ගලයට අතින් පයින් පහර දී ගෙල පයින් පාගා හිස කොන්ක්‍රීට් කානුවක් මතට තබා පහරදී කළුගල්වලින් හිසට පහරදී ඝාතනය කොට ඇතැයි ගලේවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මෙම පහර දීම පිළිබඳව රූපරාමු පරීක්ෂාකර බැලීමේදී පුද්ගලයන් දෙදෙනෙකු ඒ දෙස බලාගෙන සිටින බවත් බේරා ගැනීමට හෝ මැදිහත්වීමක් කිසිදු ආකාරයකින් සිදු නොකොට නැවත ඔවුන් දෙදෙනා පහර කෑ පුද්ගලයා මියයාමත් සමඟ පිටව යන බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවය කරන මෙම පුද්ගලයා බස් නැවතුම්පොළේ නිදාගෙන සිටීම නිසා උරණ වී මෙම පහරදීම සිදු කොට තිබෙන බවත් ඔහු අධික බීමතින් එම අවස්ථාවේ සිට ඇතැයි හෙළි වී ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලේවෙල පොලීසිය විසින් සිදු කරයි.

මෙම අමානුෂික පහර දීමේ සම්පූර්ණ දර්ශන අප සතු වුවත් මාධ්‍ය සදාචාරයට ගරු කරමින් එම දර්ශන ප්‍රචාරය නොකිරීමට අද දෙරණ අපි තීරණය කළෙමු.

***************************************

හිස්බුල්ලාට ලැබුණ මුදල් ගැන හොයන්න මහ බැංකුවට බලයක් නෑ

(26.07.2019 – 13:22 +0530 – sinhala.adaderana.lk)

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට 2017 වසරට පෙර මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් නව විදේශ විනිමය පනත යටතේ පරීක්ෂණ පැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ආර්. ජයරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (26) සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද දිනයේදී පළමුව සාක්ෂි ලබාදෙනු ලැබුවේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්.

+++++++++++++++++++++

මඩකලපු විශ්වවිද්‍යාලයට ලැබුණු රු. බිලියන 3 ක් බැංකුව සටහන් කර ඇත්තේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලද මුදල් හැටියට – මහ බැංකුවේ විදේශ විනිමය ප්‍රධානී අනාවරණය කරයි

(26.07.2019 – biz.adaderana.lk)

ආන්දෝලනයට ලක්ව ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබී තිබෙන රුපියල් බිලියන 3 ක මුදල්, මෙරට බැංකුව විසින් වාර්තා කර ඇත්තේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ වශයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ආර්. ජයරත්න මහතා පවසයි. අද (26) දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – හිස්බුල්ලා මහතා සම්බන්ධ ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනය සම්බන්ධ මුදල් ගනුදෙනු ප්‍රශ්නවලදී, ඔබතුමා සඳහන් කළ කාරණයක් තමයි මේ සමහර ගනුදෙනු සඳහා නීතිමය පියවර ගන්න බැරි වුණේ දැනට පවතින විනිමය පාලන පනතේ තිබෙන අඩුපාඩු නිසා කියන එක?

පිළිතුර – මම කලින් කාරක සභාවේ දී පවසා සිටියේ, ඒ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු 2017 නොවැම්බර් 20 ට පෙර සිදුවූ කරුණු. 2017 නොවැම්බර් 20 ට කලින් තිබුණේ විනිමය පාලන පනත. අද වන විට, ඉවත් කරන ලද විනිමය පාලන පනත යටතේ පියවරක් ගැනීමේ නීතිමය ඉඩක් නැහැ. පැවති විනිමය පාලන පනත යටතේ ඒ පැවති කාලයේ තමයි මේ මුදල් ලැබී තිබුණේ එදා ලංකා බැංකුවව පැවසූ ආකාරයට.

ලංකා බැංකුවට ඒ ගොල්ලෝ කියලා තිබ්බේ නැහැ මේක ණයක් කියලා. මම ඊයෙත් ‘කම්පලයන්ස් ඔෆිසර්’ට කතා කළා, මේ වන තෙක් මේක ණයක් කියලා ලංකා බැංකුව දන්නේ නැහැ. මේක ණයක් වශයෙන් ගත්ත එකක් බව ලංකා බැංකුව නිල වශයෙන් පිළිගන්නේ නැහැ.

එදා පැවති විනිමය පාලන පනත යටතේ ණයක් ලබා ගන්නවා නම්, අපි ‘ජෙනරල් පර්මිෂන්’ එකක් දීලා තිබ්බා 2013 සිට 2015 දක්වා සහ 2015 මැද සිට 2017 දක්වා. ඒ ‘ජෙනරල් පර්මිෂන්’ එක තුළ ආවා නම්, බැංකුව මීට වඩා දේවල් කරන්න ඕනේ. ණයක් වශයෙන් නම්, External Commercial Borrowings Scheme කියලා ණයක් ලබා ගැනීමේ ක්‍රමයක් තිබුණා. එහෙම නම්, ඒ බැංකුවට මේක ණයක් කියන්න ඕනේ, ණය ගිවිසුමේ කොපියක් දෙන්න ඕනේ. කොන්දේසි දෙන්න ඕනේ. මේක ආපහු ගෙවන්නේ කොහොමද කියන එක දෙන්න ඕනේ. එහෙම ආවා නම්, එදා ණයක් වශයෙන් ගත්තා නම්, ඒක ආපසු ගෙවන්න ‘ජෙනරල් පර්මිෂන්’ එකෙන් ඉඩ තියෙන්නේ. මේක ආපසු ගෙවන්න බැංකුවට ‘ජෙනරල් පර්මිෂන්’ එකක් නැහැ.

ප්‍රශ්නය – එතකොට මේ මුදල් එන්නේ කවර ආකාරයෙන් ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් තියෙන නීතිරීති රාමුව තුල මොන ආකාරයෙන් පැමිණි මුදල්ද සම්බන්ධයෙන් නිර්වචනයක් අවශ්‍ය වෙනවා?

පිළිතුර – මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවෙන් තොරතුරු විමසීමක් කළා. මුදල් ලැබීම ‘swift මැසේජ්’ හරහා ලැබී තිබෙන්නේ. සාමාන්‍යෙයන් ‘swift මැසේජ්’ එකේ මුදල් එවන කාරණාව දාන්න ඕනේ. නමුත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ නිසා ඒ කිසිදු ‘මැසේජ්’ එකකවත් purpose එක සඳහන් කරලා නැහැ.

Personal Transfers වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ලංකා බැංකුවේ තියෙන තොරතුරු පද්ධතියේ හැටියට එහෙම purpose එකක් හඳුනා ගන්නේ නැති නිසා ඒගොල්ලෝ ඒක Workers’ Remittances විදියට තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒක වරදක්. Personal Transfers කියලා Category එකක් ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ නැහැ.

ඔය ප්‍රශ්නේ මම ඇහුවා. ගනුදෙනු ගණනාවක් තිබෙනවා. ලංකා බැංකුව මේ බව වාර්තා කරන්න ඕනේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවට. නමුත් ඒ ගොල්ලන්ගේ පද්ධතියේ තාක්ෂණික හේතුවක් නිසා ගනුදෙනු රාශියක් වාර්තා කරලා නැහැ.

ප්‍රශ්නය – Workers’ Remittances අර්ථ දක්වලා තියෙන්නේ විදේශ රැකියා කරන අය එවන මුදල් විදියට?

පිළිතුර – ඒගොල්ලෝ කාණ්ඩයත් දක්වා නැති සියල්ල දාන්නේ Worker Remittances විදියට. ඇත්තටම ලංකා බැංකුව වැරදියි මෙතනදී, ඒගොල්ලන්ගේ පද්ධතියේ මේ බව දක්වන්න තැනක් නැහැ. Personal Transfers කියලා එන්නේ. ඒගොල්ලෝ නැති ඒවා ඔක්කෝම Workers’ Remittances විදියට දානවා. මම ඇහුවා මේ වගේ විශාල මුදලක් Workers’ Remittances වෙන්න පුළුවන්ද කියලා? ඒගොල්ලන්ගේ පද්ධතියේ යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසා මේ බව වාර්තා වෙලා තිබ්බේ නැහැ. මම මේ පිළිබඳ දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ෂනයක් පටන්ගත්තා ඇයි එහෙම වාර්තා නොකළේ සහ දැන් ඒ සම්බන්ධයෙන් ලංකා බැංකුව අභ්‍යන්ත විගණනයක් කරනවා කියලා මට දැනුම් දීලා තිබෙනවා. වාර 7 කදී ‘බැටික්ලෝ කැම්පස්’ එකට, වාර 15 කදී ‘හීරා පදනම’ට මුදල් ලැබී තිබෙනවා ෴

***************************************

සුජානි දීපිකා රණසිංහ දේවියගේ ජල දානය

(24.07.2019 – sinhala.adaderana.lk)

වසර 15 ක් පුරා ගම්මාන තුනක තුනිසීයකට අධික පිරිසකට නොමිලේ ජලය ලබදෙන පවුලක් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලිහිණිපිටිය ප්‍රදේශයෙන් හමුවිය.

සැතපුම් තුන හතරක සිට ත්‍රී රෝද රථවලින් හා පාගමනින් පැමිණෙන පිරිස් සඳහා කිසිඳු පැකිලීමකින් තොරව ඇති තරම් ජලය ලබාදෙන ඇය නමින් සුජානි දීපිකා රණසිංහය.

කිසිඳු මුදලක් අය නොකර සිදුකරනු ලබන මේ සමාජ සත්කාරය සම්බන්ධයෙන් අදහස් දැක්වු සුජානි මහත්මිය කියා සිටියේ ජලය නොමැතිව අකරහඩුව හා ලිහිණිපිටිය ගම්මාවවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

වසර ගනනක් තිස්සේ දිනකට ලීටර් හාරදහසක් පමණ සිය වියදමින් විදුලි ජල පොම්පයක් මගින් ලබා දෙන ඇය ඇතුළු පවුලේ සැම , නියං කාලවල දි සිය ජලය නෑමට හො වෙනත් අවශ්‍යතා සපුරා නොගනී. එම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔවුන් බෝවතැන්න ජලාශයට යන බවද සුජානි මහත්මිය කියා සිටියාය.

ගම්මාන කිහිපයක ජිවත්වන සිය ජනතාව වෙනුවෙන් නොකඩවා වසර පහලවක් තිස්සේ ජලය ලබාදෙන්නේ හද පිරි සතුටින් බවත් එය මහත් වු කුසල කර්මයක් බවත් ඇය පවසයි.

දිනකට ප්ලාස්ටික් කෑන්, කළ මෙන්ම කුඩා ප්‍රමාණයේ ජල බදුන්ද සහිතව සුජානි මහත්මියගේ නිවස ආසන්නයේ රැදි සිටින බොහෝ පිරිසක් කියා සිටියේ සුජානි මහත්මිය ඇතුළු පවුලේ සැම බෝසත් පාරමිතාවක් පුරන තරමේ කුසලයක් දිනපතා සිදුකරගන්නා බවයි.

***************************************

නීතිපතිවරයා තේරීම්කාරක සභාවෙන් පිටව යයි

(26.07.2019 – 16:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි නීතිපතිවරයා කළ කරුණු පැහැදිලි කිරීමෙන් පසු අදාළ තත්ත්වය තේරීම් කාරක සභාව පිළිගැනීම නිසා ඔහු එම ස්ථානයෙන් පිටව ගියා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටිනවා.

තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම මගින් තම රාජකාරිවලට ගැටලූ මතුවිය හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව තමන් මීට පෙර කතානායකවරයා ද ලිඛිතව දැනුවත් කළ බවයි ඔහු කියා සිටියේ.

පසුව, තේරිම්කාරක සභාවේ කටයුතු මිනිත්තු 15 කට කල් තැබුණු අතර, යළි රැස්වූ අවස්ථාවේ නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගන්නා බව තේරීම්කාරක සභාවේ නියොජිතයින් කියා සිටියා.

ඒ අනුව නීතිපතිවරයා තේරීම්කාරක සභාවෙන් පිටව ගිය අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කළා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

සරසවි සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු නිකුත් කෙරේ

(26.07.2019 – 15:15 +0530 – hirunews.lk/sinhala)

Detailed information of Course Selection
University Admission – Academic Year 2018/2019
Based on the GCE (A/L) Examination in 2018

2018 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළව විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු මේ වනවිට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් සුදුසුකම් ලබා ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කිරීමට අපේක්ෂකයන්ට හැකියාව පවතින බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් සුදුසුකම් ලබා ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කිරීමට අපේක්ෂකයන්ට හැකියාව පවතින බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මෙවර සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 30,830 දෙනෙකු තෝරා ගෙන ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සිසුන් 645 ක වැඩිවීමක් ෴

***************************************

පිළිකා රෝගයට ගොදුරු වී පාදයක් අහිමිවූ දැරිය කුඩා සහෝදරයාත් රැක ගනිමින් විභාගය ලියයි

(26.07.2019 – 20:32 +0530 – hirunews.lk/sinhala)

තම සහෝදරයා රැක බලා ගැනීමට නිවසේ කිසිවෙකු නොමැති වීම හේතුවෙන් ඔහුවද රැගෙන පාසල් වාර විභාගයට සහභාගි වූ දැරියක් පිළිබඳ ගාල්ල – උඩලමත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ජී. මාරිඅම්මා නම් මෙම දැරියට තම සහෝදරය සමග මෙලෙස තම වාර විභාගය සදහා පෙනී සිටීමට පසුගියදා සිදුව තිබුණේ ඔහුව රැක බලා ගැනීමට නිවසේ කිසිවෙකුත් නොමැති පසුබිමක් තුළයි.

විදුහල්පතිවරයා ලබාදුන් කාරුණික අවස්ථාව මත එදින සිංහළ විෂය සදහා විභාගයට මුහුණදීමට මෙම දැරිය තම සහෝදරයා ද සමග පාසලට පැමිණියා.

සුළු ආහාරයක් ලබාදීමෙන් හය හතර නොදත් තම සහෝදරයාගේ දඟකාර බව මදකට නතර කරගැනීමෙන් අනතුරුවයි මාරි අම්මා දැරිය විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම ආරම්භ කලේ.

ක්‍රීඩා ඇතුළු විවිධ තරඟ සදහා ඉදිරිපත්ව විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබාගත් මෙම දැරිය පාසලේ ඉගෙනුම් කටයුතුවලදී ද උසස් දක්ෂතා දක්වා තිබුනා.

උපතින් කිසිදු ආබාධයක් රහිතව උපන් මාරිඅම්මා දැරියට තම එක් කකුළක් අහිමි වන්නේ පිළිකා රෝගයට ගොදුරුවීමත් සමගයි.

පාදය අහිමිවීමෙන් උකටලීව තම ජීවිත ගමන අතරමග නතරකිරීමට අකමැති වු මේ දැරිය කෘත්‍රීම පාදය ආධාරයක් කරගනිමින් යළි තම අධ්‍යාපන කටයුතුවල සාර්ථකව නිරත වුනා.

දැඩි දිළිඳුභාවයකින් යුතු මෙම දැරියගේ මව්පියන් සිය පවුල නඩත්තුකරන්නේ වතු කම්කරුවන් ලෙස උපයන මුදලින්.

දෛවය එකක් පරදා එකක් තම ජීවිතයට කම්කටොළු ගෙන එද්දී මාරිඅම්මා දැරිය තම අධිෂ්ඨානය හිරු ප්‍රවෘත්ති හමුවේ මෙලෙස පැවසුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *