‘රියලිටි ෂෝ’වල සින්දු වෙනස් කිරීම තහනම් – කතෘ භාග ගෙවියයුතුයි

(26.07.2019 – 12:55 +0530 – lankadeepa.lk)

කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ වාණිජ පරමාර්ථයෙන් දුරකතන මාධ්‍ය තුළ (රින්ගින් ටෝන්) ලෙස භාවිත කරන විට ද එහි අයිතිකරුවන්ට කර්තෘභාගය ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ප්‍රතිභා පූර්ණ දක්ෂයන් තෝරා ගැනීම සඳහා පවත්වන ගීතමය තරගවලදී (රියලිටි ෂෝ) සම්පූර්ණ ගීතයම භාවිතා කරන්නේ නම් එම ගීතයේ කිසිදු වෙනස් කිරීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ගාස්තුවක්ද මෙම ගැසට් නිවේදනයට අනුව ගෙවිය යුතු වේ.

2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා, තාක්ෂණ පර්යේෂණ ඇමතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ ෴

***************************************

තෙවරක් ලංකාවට පැමිණ සහරාන් හමුවූ අනුගාමිකයෙක් සිංගප්පුරුවේදී අල්ලයි

(26.07.2019 – nethnews.lk)

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ සිංගප්පුරු ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනු ලබන 36 හැවිරිදි කුටුබ්දින් හාජා නජිමුදීන් නම් මෙම සිංගප්පුරු ජාතිකයා සහරාන හෂීම් ගේ අන්තවාදී දේශන වලට අන්තර්ජාලය ඔස්සේ සවන්දී ඇති අතර අවස්ථා ගණනාවකදී ඔහු සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

2015 වර්ෂයේ මැයි මාසයේ සිට 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය අතර කාලසීමාවේදී කුටුබ්දින් හාජා නජිමුදීන් අවස්ථා තුනකදී සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති අතර එම අවස්ථාවලදී ඔහු සහරාන් හෂීම් මුණගැසී තිබෙන බවට කරුණු අනාවරණය කර ගෙන ඇත. ඊට අමතරව සහරාන් නායකත්වය දැරූ ජාතික තව්හිත් ජමාත් සංවිධානයට මුල්‍යම ආධාර පවා මෙම පුද්ගලයා ලබාදී ඇත.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයට කුටුබ්දින් හාජා නජිමුදින්ගේ සම්බන්ධකම් පවතිනවාද යන්න මෙතෙක් සිදුකර තිබෙන විමර්ශන වලදී හෙළිවී නොමැත.

2013 වර්ෂය්දී සිට මෙම සැකකරු ඉස්ලාම් අන්තවාදී සංවිධානය සමග එක්වීමේ දැඩි උනන්දුවකින් පසුවූ පුද්ගලයෙක් බවට හෙළිවී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු වන 47 හැවිදිරි සුදිර්මාන් සමිකින් යන අය හාජා සමග ISIS සංවිධානය සමග එක්වීම සඳහා සිරියාව බලා යාමට සුදානම්ව සිටි අයෙක් බවයි හෙළිවී ඇත්තේ.

කෙසේ වුවත් කුටුබ්දින් හාජා නජිමුදීන් දිගින් දිගටම ISIS සංවිධානයට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *