ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්… ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්…

(28.07.2019 – divaina.com)

  • ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්… ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්… විජිතපුර බලකොටුවේ රටම ගොඩගන්න තරම් වස්තුව…
  • මුස්ලිම් දේශපාලනඥයකුගේ ඥාතියෙක් කරගෙන යන ගල්කොරිය පිහිටා ඇත්තේ බැලුම්ගල පාමුල…

නෙත නොගැටිය යුතු මහා අපරාධයකි. ජාතියට පණ පෙවූ විජිතපුර බලකොටුවත් අන්තවාදී භූමි කොල්ලකරුවන් විසින් පහුරු ගා සමතලා කර තිබේ. රජ මාළිගාවලට සෙවණ දුන් පෙති උළුකැට, පවුරු බැඳි ගඩොල් කුට්ටි, ගල් කණුවල කැබලි තැලී, පොඩි වී සීසී කඩ විසිරී තිබිණි. ඒ මත පොල්, අඹ, පේර පැළ සාර සොබාවට වැඩෙමින් තිබේ. වගා බිම සිත් පිනවන්නකි. එහෙත් ඒ වගාවට යට වූ භූමියේ ප්‍රෞඪත්වය සිහිපත් වන විට හදවත පිච්චිණි.

අවුරුදු දෙදහසකට පමණ පෙර පඬුවස්දේව රජුගේ බිසව භද්දකච්චායනාගේ සොහොයුරකු වන විජිත විසින්, විජිතග‍්‍රාමය ගොඩනඟා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ක‍්‍රි. පූ. 205 දී රජ කළ අසේල රජු පරදා අනුරාධපුර රාජධානිය යටත් කරගෙන වසර හතළිස් හතරක් පාලනය කළ ආක‍්‍රමණික එළාරගේ ප‍්‍රධානතම බලකොටුව වූයේ ද විජිතපුරයයි. ආරක්‍ෂක උපක‍්‍රම හා මර උගුල්වලින් පිරුණු විජිතපුර බලකොටුව දිය, මඩ අගල්වලට අමතරව ප‍්‍රාකාර බිත්ති තුනකින් ද වට වී තිබිණි. එක් ප‍්‍රාකාර බිත්තියක් රියන් දහ අටකින් උස් වී තිබිණි. බලකොටුවේ සතර දෙසින් පිහිටි සිව් මහා දොරටු ශක්තිමත් යකඩයෙන් නිමවා තිබිණි. ආරෝහ සන්නාහයෙන් සැරසුණු යුද භටයන් දහස් ගණනක් එම බලකොටුවේ ආරක්‍ෂාවට යොදවා තිබිණි. ඉතිහාසයේ සඳහන් පරිදි එළාර බලකොටුවලින් විජිතරපුරය දෙවැනි වන්නේ අනුරාධපුරයට පමණි. එමෙන්ම එළාර පාලනය අවසාන කිරීමට රුහුණු රටේ රජකම් කළ කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත් දුටුගැමුණු කුමාරයා දියත් කළ යුද්ධයේ දී දරුණුතම සටන පැවතියේ ද විජිතපුරයේදීය.

දස මහා යෝධයන්, ලක්‍ෂ ගණනක සෙබළ බළ මුළු, මහා සංඝරත්නය පෙරටු කරගෙන රුහුණු මාගම් පුරයෙන් සටනට පිවිසි දුටුගැමුණු රජතුමාට එළාරගේ සුළු හා ප‍්‍රබල බලකොටු විනාශ කිරීමට වැඩි කාලයක් ගත නොවිණි. විශාල වශයෙන් ජීවිත පූජා සිදු නොවිණි. එළාරගේ ප‍්‍රබල නායකයන් විනාශ කර ගම්, නගර තම අණසකට නතු කරගනිමින් මහවැලි නදිය පසු කරගෙන අනුරාධපුරය කරා යනෙන මඟෙහිදී දැවැන්තම ප‍්‍රහාරය එල්ල වූයේ විජිතපුර බලකොටුවට ආසන්න බිමේදීය. යුද ප‍්‍රහාර දරාගත නොහැකිව බලකොටු බිඳවැටුණු පසු පලා ආ එළාරගේ සෙනෙවියන් සහ සියලු සෙබළ බළමුළු තරකොට මහලු එළාර ඉදිරියට ඇදෙන දුටුගැමුණු සේනාවට ප‍්‍රහාරදීමට සියලු වෙර වීරිය යෙදුවේ විජිතපුර බලකොටුවේ සිටය.

එහෙත් දිවි දෙවැනි කොටගත් දුටුගැමුණු සේනාව මහා සංඝයාගේ පිරිත් සජ්ඣායනා මැද එළාර හමුදාවට දැවැන්ත ලෙස ප‍්‍රහාර එල්ල කළහ. දෙපිරිසේම සටන්කරුවන් විශාල පිරිසක් මියගියහ. එහෙත් පසු නොබැසි දුටුගැමුණු සේනාව එකවරම විජිතපුර බලකොටුවේ සිව් මහා දොරටු ආක‍්‍රමණය කළහ. එම දොරටු අතහැර බලකොටුව තුළට පලා ගිය එළාරගේ සේනාව ආරක්‍ෂිත පවුර බිඳීමට වෙර වීරිය දරන දුටුගැමුණු සේනාව දෙසට පවුර උඩ සිට උණු යකඩ දිය සහ ගිනියම් තෙල් විසි කළහ. එළාරගේ දුනු හේවායෝ, පවුරේ සිට ඊතල විදිමින් ඔවුන් දෙසට එන ආක‍්‍රමණය වැළැක්වීමට දැඩි ප‍්‍රයත්නයක් දරූහ. පවුරු බිඳීමට පහර දුන් කණ්ඩුල ඇතාගේ සිරුර මතට උණු යකඩ දිය හැලී දැඩි ලෙස තුවාල විය. එහෙත් කඩිනමින් ප‍්‍රතිකාර ලබාදීමත් සමඟ සුවපත් වූ කණ්ඩුල ඇතා දැවැන්ත ප‍්‍රහාරයක් එල්ලකොට යෝධ පවුර බිඳ දැමුවේය. බිඳුණු පවුරෙන් නගරයට ඇතුළු වූ දස මහා යෝධයෝ එළාරගේ හමුදාවට දරුණු ලෙස පහර දී විජිතපුර බළකොටුවේ බලය අත්පත් කරගත්හ. එළාරගේ විසි මහා යෝධයන්ගෙන් ඉතිරි වූ පිරිසත් සමඟ මර බියෙන් දැවුණු මහලු එළාර විජිතපුරයේ සිට උමං මාර්ගයක් ඔස්සේ අනුරාධපුරයට පලා ගියහ.

මාස හතරක් පුරාවට පැවති ද්වන්ධ සටනෙන් ජය අත්පත් කරගත් දුටුගැමුණු රජතුමා විජිතපුරය සිංහල හුරුවට අලුතින්ම නිර්මාණය කළේය. මහරහතුන් වහන්සේට, සංඝයා වහන්සේට වැඩ හිඳීමට මහා වෙහෙර විහාර ඉඳිකෙරිණි. වගා සංග‍්‍රාමයට ජලය රැස් කිරීමට වැව් අමුණු ඉදිකෙරිණි. අවසානයේ විජිතපුරය බත බුලතින් සරුසාර ස්වයංපෝෂිත ප‍්‍රදේශයක් විය. දුටුගැමුණු යුගයෙන් පසු පාලනය කළ සිංහල රජවරු යටතේ ද විජිතපුරයේ විශාල වෙහෙර විහාර ඉදිකර ඇති බව ඉතිහාසයේ කියැවේ. එමෙන්ම පසුකාලීනව ධාතුසේන රජතුමා විසින් කලාවැව නිර්මාණය කිරීමේදී විජිතපුර බලකොටුවේ විශාල භූමි භාගයක් යට වී ගිය බව ද සැබෑය. ඊට පසුකාලීනව ද විවිධ පරිවර්තනයන්ට ගොදුරු වූ විජිතපුර බලකොටුවේ ගොඩනැඟිලි සහ භූමිය විනාශ වී ගියේය.

මීට වසර කිහිපයකට පෙර අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දේශපාලනඥයකුගේ ඕනෑකමට විජිතපුර බලකොටුව පිහිටි භූමිය ඩෝසර් කර කලාවැව ඉහත්තෑවේ රක්‍ෂිතය තුළ සංචාරක හෝටලයකට තට්ටු හතරක ගොඩනැඟිල්ලක් ඉදිකෙරිණි. එම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පැනනැඟුණු ගැටලුකාරී තත්ත්වය මත අවසානයේ ව්‍යාපෘතිය නතර කර එම භූමියේ ධීවර ගම්මානයක් ඉදිකරන ලදී. එම ව්‍යාපෘතියට යට වී විජිතපුර විශාල නටබුන් තලාවක් විනාශ වී ගිය බවද නොකිවමනාය. වර්තමාන රජයේ ඇමැතිවරයකු විසින් ද මීට මාස කිහිපයකට පෙර විජිතපුර බලකොටුවේ පුරාවස්තු විසිරුණු ඉතිරි භූමි භාගයෙන් කොටසක් ද ඩෝසර් කරමින් නව ගම්මානයක් ඉදිකර ඇති බව මුළු රටම දන්නා කතාවකි.

ඉපැරැණි රාජධානි ඩෝසර් කර ගම්මාන ඉදිකිරීමට මෙරට දේශපාලනඥයන් අතීතයේ සිටම මහත් උනන්දුවක් දක්වන බව සැබෑය. ඒ රජවරු නිධන් කොට ඇති වස්තු සම්භාරයට ඇති පෙරේතකම නිසාය. අද අන්තවාදීන් විසින් ඩෝසර් කර පොල්, අඹ, පේර වගා කර ඇත්තේ ද ශේෂ වී ඇති විජිතපුර බලකොටුවේ අන්තිම බිම් අඟලයේය. එනම් බැලුම්ගල පිහිටි ගල් රැනේ කොමාරියා ගල්යාය පාමුල කලාවැව රක්‍ෂිතය තුළය. ජය ගඟ ආරම්භක ස්ථානයේය. අලිමංකඩක් වශයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රදේශයකි. අක්කර දෙකකට වැඩි වපසරියකින් යුත් එම භූමිය එළිපෙහෙළි කරමින් වගා කටයුතු සිදු කිරීමට භාවිත කර ඇත්තේ අසල්වැසි සිංහල වැසියෙකි. අවසානයේ ඔහු එම ඉඩම ප‍්‍රදේශයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ ඥාතියකුට මුදලට විකුණා ඇත. ඔහු ගුරුවරයෙකි. පසුව එම ගුරුවරයා විසින් මුදලට ගත් භූමියේ ප‍්‍රතාපවත් රුක්ෂයන් කපා ඉවත් කොට පොළොව ඩොසර් කර, කටුකම්බි වැටකින් හතර වටේ ආවරණය කොට අඹ, පොල්, පේර වගා කිරීමට කටයුතු කර තිබිණි. වගා බිමේ ආරක්‍ෂාවට දෙමළ පුද්ගලයෙක් ද නතර කර තිබිණි. ඔහු ෂන්මුගදාසන්ය. දැන හෝ නොදැන සිදුකර ඇති පුරාවස්තු විනාශයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉපලෝගම පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ එම වත්තේ වැඩට සිටි ෂන්මුගදාසන් සහ අයිතිකාර ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප‍්‍රදේශවාසීන් පවසන ආකාරයට පොල්, අඹ, පේර වගා කිරීමට පොළව ඩෝසර කිරීමට ඇවැසි නැත. එහෙත් මේ බිම සම්පූර්ණයෙන්ම ඩොසර් කර ඇත. එම පහුරු ගෑම තුළ වගා කටයුත්තකට ඔබ්බට ගිය යටිකූට්ටු අරමුණක් ඇති බව ද ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. කෙසේ හෝ එම රක්‍ෂිත කොල්ලයට සහ පුරාවස්තු විනාශයට එරෙහිව පුරාවිද්‍යා නිලධාරීන් මැදිහත්වී වැරැදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යෑමට ක‍්‍රියාකිරීම ගැන පැසසිය යුතුය. එමෙන්ම එම ඉසව්වේම පවත්වාගෙන යන ගල්කොරියට එරෙහිව ද පුරාවිද්‍යා නිලධාරීන් ඉදිරිපත් වී ගල් පලන මෝල්ලුන්ව නීතිය ඉදිරියට කුදලාගෙන යන්නේ නම් එය ද බොහෝ අගනේය.

එහෙත් අවුරුදු තුන, හතරක කාලයක් තිස්සේ සිට පවත්වාගෙන යන ගල් කොරියට එරෙහිව කිසිදු නීතියක් ක‍්‍රියාත්මක වී නැත. එමෙන්ම පසුගිය පාස්කු දින සිදු වූ අන්තවාදී ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු, රට පුරා සිදු කරන ලද සෝදිසි කිරීම් අතරතුරදී එම ගල්කොරිය තුළ තිබී ඩෙටනේටර් විශාල තොගයක් සහ වෙඩි බෙහෙත් තොගයක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ගල් පැලීමට එතරම් විශාල වෙඩි බෙහෙත් තොගයක් ඇවැසි නොවන බවද සැබෑය. එහෙත් පොලිස් අත්අඩංගුවට පත් එම වෙඩි බෙහෙත් තොගය සහ ඩෙටනේටර් තොගය සම්බන්ධයෙන් නීතිය කෙසේ ක‍්‍රියාත්මක වූයේද යන්න අපි නොදනිමු. එම ගල් කොරිය පවත්වාගෙන යනු ලබන්නේ ද පෙර සඳහන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ ඥාතියෙක් බව ද ප‍්‍රදේශවාසීහු අපට කීහ. එම ඉඩම ද සිංහල ජාතිකයෙක් විසින් හේනක් කරගෙන ගොස් පසුව දේශපාලන ඥාතියාට මුදලට විකුණා ඇත. මුදලට අලෙවි කෙරුණ ද එම ඉඩම් කැබැලිවලට කිසිදු නීතිමය ලියැවිල්ලක් නැති බව ද ප‍්‍රදේශවාසීහු පැවසූහ. එම සියලු ඉඩම් කලාවැව රක්‍ෂිතය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්ය.

ගල්කොරිය පිහිටා ඇත්තේ ද විජිතපුර ප‍්‍රධාන බැලුම්ගල පාමුලය. එම බැලුම්ගල සහිත ගල් රෑන ගලේවෙල බම්බාවේ කන්දේ සිට පුල්මුඩේ දක්වා විහිදී යන විශාල ගල් කඳු යායකි. විජිතපුර එළාර බලකොටුවේ නැගෙනහිර පවුර වශයෙන්ද එම ගල් රෑන භාවිතා කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම ගල් රෑනේ තිබී කටාරම් කෙටූ ලෙන් සමූහයක් ද සොයාගෙන ඇත. ආක‍්‍රමණික එළාර ඇතුළු සොළීන් අනුරාධපුරයට පලා ගිය උමං මාර්ගය පිහිටා ඇත්තේ ද ගල් රෑනේ නැගෙනහිර දිසාවේ පිහිටි ගල්ළිඳයාය ප‍්‍රදේශයේය. එම උමං මාර්ගය අනුරාධපුර නගරය දක්වා විහිදී ඇති බවද ප‍්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි. මේ වන විට පුරාවිද්‍යා නිලධාරීන් විසින් ගල්ළිඳයාය ප‍්‍රදේශයෙන් එම උමං මාර්ගයේ දොරටුව සොයාගෙන ඇත. එහෙත් තවම කැණීම් කටයුතු ආරම්භ වී නැත.

එළාර රජුගේ වස්තු සම්භාරය රැගෙන ගිය ගැල් සිය ගණනක් එම උමඟ තුළ සිර වී තිබෙන බව ද ප‍්‍රදේශවාසීහු අපට කීහ. නිධන් හොරු විසින් විටින්, විට පොළොව හාරමින් මතු කර ගන්නේ ද එම වස්තු සම්භාරයේ කොටස් බව ද ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. එමෙන්ම මේ ප‍්‍රදේශය පුරා තැනින් තැන මුරගල්, මල්ආසන, කොරවක් ගල්, ගල්දොරටු, ශ‍්‍රී පතුල් ගල් බහිරව රූප, සඳකඩපහණ, විශාල ගල්කණු කැසිකිළි ගල්, විශාල ගොඩනැඟිලිවල පාදම් කොටස් බහුල වශයෙන් හමු වී ඇත. බැලුම්ගල අවට ප‍්‍රදේශයක විහාරස්ථානයක නටබුන් විශාල ප‍්‍රමාණයක් වනගතව තිබේ. එම බැලුම්ගල යට ගබඩාවක් ඇති බවත්, එම ගබඩාව විශාල ගලකින් වසා තිබීම නිසා එය විවෘත කළ නොහැකි බවද ප‍්‍රදේශවාසීහු අපට කීහ. එම ගබඩාවේ තැන්පත් වස්තු සම්භාරය සහ එළාර පලා ගිය උමඟේ ගැල් තුළ සිරවී ඇති වස්තු සම්භාරය ගොඩගැනීමට හැකි නම් එය රටට විශාල ධන නිධානයක් වනවාට සැක නැති බව ද ප‍්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි. මුස්ලිම් දේශපාලන ඥාතීන් ඩෝසර් කර වගා කටයුතු කරගෙන යන්නේද, ගල්කොරි පවත්වාගෙන යන්නේද මේ සා විශාල වස්තු සම්භාරයක් මිහිදන් වූ ඓතිහාසික භූමියකය.

එවැනි ඓතිහාසික භූමියක් ඩෝසර් කර වගා කටයුතු ආරම්භ කර ඇති ගුරුවරයාට සහ වත්තේ මුරකරුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වී ඇති බව සැබෑය. එහෙත් ඓතිහාසික භූමියක ගල්කොරියක් පවත්වාගෙන යන ගල් මෝල්ලුන්ට එරෙහිව තවමත් නීතිය ක‍්‍රියාත්මක වී නැත. වගා බිමේ පොළොව ඩෝසර් කිරීමෙන් සිදු වූ විනාශයට සමාන විනාශයක් ගල් කොරියෙන් සිදුවන බව ද මන්දබුද්ධික නොවන මිනිසුන්ට තේරුම් ගැනීමට අසීරු නැත. එහෙත් සිදුවෙමින් ඇත්තේ අලි මංකඩවල් ඉතිරි කර කක්කුටු බෙන වැසීමය. මෙරට සිංහල දේශපාලනඥයන් සහ නිලධාරීන් කාලයක සිට සිදු කරගෙන ගියේ ද කක්කුටු බෙන වසා සිංහලයන්ම ඇන්දවීමය. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් අන්‍ය ආගමික අහිගුණ්ඨිකයන්ගේ පදයට නටන දීන රිලවුන්ගේ තත්ත්වයට ඇද දැමීම ය. තවදුරටත් අන්තවාදී අහිගුණ්ඨිකයන්ගේ වෙළෙඳ භාණ්ඩයක් වන්නේද? සිංහලයෙක් ලෙස සෘජුව හිඳගන්නේද? යන්න ඔබ තීරණය කළ යුතුය. විජිතපුර බලකොටුව සූරාගෙන ඉදිරියට ඇදෙන අන්තවාදී භූමි කොල්ලකරුවන් අනුරාධපුර මහමෙව්නාවට ඇතුළුවීමට පෙර ඒ තීරණය ගත යුතුය. ප‍්‍රමාදය පසුතැවිල්ලට පමණක් නොව ජාතිය සමූල ඝාතනයට ද පත් විය හැකි බරපතළ තත්ත්වයකි.

එමෙන්ම සිහළ උරුමය සැඟවුණු රක්‍ෂිත භූමි සුද්ධ පවිත‍්‍ර කොට අන්‍ය ආගමිකයන්ට විකුණා සිදු කර ගන්නේ තමන්ගේ වළ තමන් විසින්ම හාරා ගැනීමක් බව බත් කන කකුල් දෙකේ හරක් ද තේරුම්ගත යුතුය.

තරංග රත්නවීර
කැකිරාව – සුදත් ඒකනායක

***************************************

යාපනයේ තිස්ස විහාරය සතු ඉඩම් දෙමළ ජනතාවට දීමේ සැලැස්මක්

(28.07.2019 – divaina.com)

දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ දී ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ උතුරේ දඹකොළ පටුනට පැමිණි යාත‍්‍රාවකිනි. රජු මේ දර්ශනය දැක ප‍්‍රීතියෙන් මත්ව කරවටක් මුහුදට බැස ශ‍්‍රී මහා බෝධි ශාඛාව තම දෝතට ගත් ආකාරය වංශ කතා වල විචිත‍්‍රවත්ව සඳහන් වෙයි. මෙම ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන පැමිණි සංඝ මිත්තා තෙරණින් වහන්සේ සහ සොළොස් කුල පිරිවර තුන් දිනක් දඹකොළ පටුනේ ගත කර පසුව අනුරාධපුරයට ගමන් ආරම්භ කළ අතර දඹකොළ පටුනට නැගෙනහිර දෙසින් වූ ස්ථානයක කඳවුරු ලා පෙරවරු දානය වැළඳූ ආකාරය පිළිබඳ සිංහල බෝධිවංශය දක්වා ඇත. එහි සඳහන් වන්නේ මෙසේය :

“දශබලධාරී වූ බුදුරජාණන් වහන්සේගේ සිනිඳු වූ ඔජාවත් වූ රශ්මිමාලා විහිදුවන්නා වූ මහා බෝධින් වහන්සේ වේදැයි ප‍්‍රසන්න වූ සිත් ඇතිව මහා බෝධින් වහන්සේ ඔසවා මුදුන් මස්තකයෙහි පිහිටුවා මිනිසත් බව ලැබීම සඵලය යි සිතමින් බෝධිගුප්ත කුමාරයන් ප‍්‍රධාන කොට ඇති සොලොස් ජාති සම්පන්න කුලයන් හා සමග හිසින් ගෙනවුත් ගොඩ නැගී සමුද්‍ර තීරයෙහි සිත්කලු මණ්ඩපයට වඩා සියලු ලංකාද්වීපයෙහි රාජ්‍ය යෙන් මහා බෝධින් වහන්සේට පූජා කොට සොළොස් කුලයන්ගේ අතට රාජ්‍යය හැර තුමූ දෙරටුපාල තනතුරෙහි සිට තුන් දවසක් මුළුල්ලෙහි අනේක ප‍්‍රකාර වූ පූජා කරවූහ. ඉක්බිත්තෙන් දවසෙක සරහා පිළියෙල කරන ලද රථයක් මත්තෙහි තබා මහත් වූ පූජා සත්කාර කෙරෙමින් නැගෙනහිර තිස්ස විහාරය පිහිටන්නා වූ ස්ථානයට ගෙනවුත් සංඝයා වහන්සේට පෙරවරු වළඳවා මිහිඳු තෙරුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ස්ථානයෙහි සර්වඥයන් වහන්සේ විසින් කළා වූ නයින් ගේ දමනය අසා බුදුන් විසින් වැඩ හිඳීම ආදියෙන් ප‍්‍රයෝජන ලැබූ ස්ථානයන්හි දාගැබ් ආදියෙන් සත්කාර කරමි යි සලකුණු කරවා එතැනින් ගෙනවුත් තිවක්ක බ‍්‍රාහ්මණයාගේ ගම්දොර තබා පූජා කොට මෙසේ ඒ ඒ තන්හි පූජා කෙරෙමින්.”

බෝධි වංශයේ දක්වා ඇති පරිදි දඹකොළ පටුනේ එක් විහාරයක්ද නැගෙනහිර දෙසින් තිස්ස විහාරයද ප‍්‍රාචීන විහාරයද යනුවෙන් යාපන අර්ධද්වීපයේ විහාරස්ථාන තුනක් කරවා ඇත. යාපන අර්ධද්වීපය නොහොත් ත‍්‍රි භූමිය රාම නම් කුමාරයෙකුට පැවරූ ආකාරය බුද්ධ රාජාවලියේද සඳහන්ව ඇත. මේ කියන තිස්ස විහාරය අද පිහිටා තිබෙන්නේ කන්කසන්තුරේ නමින් හඳුන්වන දුම්රිය ස්ථානයට යාබද පෙදෙසෙහිය. තයියඞ්ඩි යනුවෙන් මේ පෙදෙස වර්තමාන සිතියම්හි දක්වා තිබේ. සිංහල රජ දවසෙන් පසුව උතුරේ පරංගි ආධිපත්‍යත් ලන්දේසි සහ ඉංග‍්‍රීසි ආධිපත්‍යත් නිසා එහි විසූ සිංහලයන්ට නරක දසාවක් උදාවිය. ඔවුහු තම උතුරු භූමි උරුමය අතහැර වන්නියට සහ උතුර මැද පළාත්වලට සංක‍්‍රමණය වූහ. නැතහොත් උඩරට ඥාතීන් සොයා ගියහ. හිරිගල් බහුල ශුෂ්ක පෙදෙසක් වන මේ පෙදෙසේ ඇතැම් තැන් වල ගොවිතැන්ද කළ හැකිය. කුඩා කුඩා විල් සහිත වැලිගමුව නම් රටක් ගැන කඩයිම් පොතේ දක්වන විස්තර අනුව එහි සිංහලයන් රාශියක් දිවි ගෙවූ හැටි අනාවරණය වෙයි. මේ වැලිගමු රට ඕලන්ද සිතියම් වල එලෙසම දක්නට ලැබුණත් පසුකාලීන ඉංග‍්‍රීසි සිතියම් වලට වලිකාමම් යනුවෙන් බිඳී දක්වා ඇත්තේය.

කන්කසන්තුරේ තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් කොටසේ තිබෙන තිස්ස විහාරය නැවත සංවර්ධනයට බඳුන් වන්නේ නවසිය හතළිහ දශකයේ දීය. සේරුවිල නාගදීපය වැනි වෙහෙර විහාර සොයා දකුණේ සිට පැමිණි යතිවරයන් වහන්සේ යළිත් මේ රටේ බෞද්ධ උරුමය ගොඩ නැගීමේ උත්සුක වූහ. මේ කියන තිස්ස විහාරයද සොයා පැමිණ කළුතර උතුරේ ශීලාධාර හිමියන් සහ කළුතර පඤ්ඤානන්ද හිමියන් බෝධීන් වහන්සේ පිහිටා සිටි මේ පුදබිම අනාවරණය කර ගත්හ. පැරණි තිස්ස විහාර භූමියේ කුටියක දුෂ්කරව වැඩ හිඳිමින් නැවත තිස්ස විහාරය ගොඩ නැංවීමට ක‍්‍රියාකළහ. 1954 දී මුල් වරට වෙසක් උත්සවයක් පවත්වමින් සිංහලයන්ගේ ශක්තිය ගෙන හැර පෑහ. මේ කාලයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරයට සමීප ඉඩමක සින්නක්කර අයිතිය ඒබ‍්‍රහම් පෙරේරා නම් වූ සැදැහැවතෙකු විසින් ශීලාධාර හිමියන්ට පවරා දී ඇත. 1946 දී ලියන ලද එම ඔප්පුවේ පැහැදිලිව තිස්ස විහාරය යන නාමය සටහන්ව තිබේ. තිස්ස විහාරය 1956 වර්ෂයේ මිනුම්දෝරු සිතියම් වලට එක් වන්නේ මේ අන්දමටයි. මේ සිතියම් වල අක්කර 15 ක පමණ වපසරියක් පුරා ඉඩ කඩම් මේ පුදබිමට අයත් ව තිබූ සැටි හෙළි වෙයි. එහි ස්ථූප සලකුණ දක්වා මිනුම්දෝරු අංශ වලින් ලකුණු කර තිබෙන්නේ මේ බෞද්ධ උරුමයයි. තවද බෝධීන් වහන්සේ සතර නමක් පමණ ඉතා සරුවට මෙහි වැඩ සිට ඇත.

මේ තත්ත්වය මෙසේ වුවද පනස් ගණන්වල අග භාගයේදී ඇතිවූ දෙමළ කෝලාහල නිසා සිංහලයන්ට උතුරේ විසීම කළ නොහැකි විය. තයිඞ්ඩි දකුණ යනුවෙන් හඳුන්වන වලිකාමම් උතුරේ දිසාපති කොට්ඨාසයේ සිංහල කලඞ්ඩි (කයිඩ්ඩි විය හැකිය) නොහොත් උලූතන් කලඩ්ඩි යනුවෙන් වෙන් කොට ගත් තිස්ස විහාරය අවට සිටි සිංහලයන්ද යාපනයේ බේකරි කරමින් වෙළෙඳ ව්‍යාපාර කරමින් සිටි බොහෝ දෙනකුට එහි විසීම අන්තරාදායක විය. මේ නිසා තිස්ස විහාරයේ ස්වාමීන් වහන්සේද නැවත සිය මුල් විහාරය වන කළුතර සුමිත‍්‍රාරාමයට වැඩම කළහ. 1959 සිට ඇරඹුණු කාල වකවානුවේදී නැවත මේ විහාරස්ථානයට ආලෝකයක් ඇති නොවීය. එහෙත් 1971 වර්ෂයේ ඇඳි මිනුම්දෝරු සිතියම් වලද මේ විහාරය තිබූ බවට පැහැදිලිව සලකුණු වී තිබේ. එම සිතියම් වල විහාරස්ථානය ඇරුණු කොට සිංහල කලඞ්ඩි නම් ඉඩමේ වෙනත් ඉදි කිරීමක් නොවිණ. එහෙත් 1983 න් පසු යළි දෙමළ කොටි ව්‍යාපාරය (පුලිය පාදෙයි) ඇරඹීමත් යාපනයේ විසූ හය දහසකට ආසන්න සිංහලයන්ට කිසිසේතම් හිතකර නොවීය. 1971 වන විට කන්කසන්තුරේ වලිකාමම් උතුර පෙදෙස් පමණක් සිංහලයන් 453 දෙනකු ජීවත්ව සිට ඇත. තිස්ස විහාරයද කඩා බිඳ දමන ලද අතර එහි ළිඳ පමණක් ඉතුරු විය. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසු එහි සිංහලයන් දහසකට අධික ප‍්‍රමාණයක් එහි සේවය කළහ. එසේම යාපනයේ ඉස්පිරිතාල පාර කස්තූරියා පාර ස්ටැන්ලි පාර ආදී නම් වලින් හඳුන්වන ස්ථාන වල දකුණෙන් ගිය සිංහලයන්ගේ වාසස්ථාන එමට විය. මේ සියලු සෙනඟ 1987 න් පසු යළි දකුණට අවතැන් වන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා උත්සන්න වීම නිසාවෙනි.

වර්ෂයේ යුද්ධය අවසන් වීමත් සමගම යළි නැවත පදිංචි කිරීම ඇරඹිණ. දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් යළි පදිංචි කිරීම ඉක්මන් වුවද සිංහලයන් පදිංචි කිරීමේ කිසිම බලාපොරෙත්තුවක් තිබූ බවත් නොපෙණුනි. එම නිසා යාපනයේ විසූ සිංහල පවුල් 150 ක් පමණ යාපනයේ දුම්රිය ස්ථානයේ ලැගුම් ගෙන කළ අරගලය නිසා ඔවුන්ට නාවකුක්ලියෙන් පසුකාලයෙකදී ඉඩම් හිමි විය. එයටද දෙමළ ජාතික සන්ධානයෙන් අපමණ හිරිහැර වූ බව අපි දනිමු. එසේම කන්කසන්තුරේ තිස්ස විහාරය අවට සිටි සිංහලයන්හටද කිසිම ලෙසකින් යළි ඉඩම් නොලැබිණි. තිස්ස විහාරය පෙදෙස යාපනයේ ආඥාපති යටතේ හමුදා කඳවුරක් ලෙසට පැවති අතර 1987 න් පසු තිස්ස විහාරයට අයත් සිංහල කලඩ්ඩි නම් ඉඩමේ දෙමළ ජනතාවට පදිංචි කරවීමට දිසාපති වරුන් විසින් ඔප්පු හදා දී තිබුණි. 1956 සිට පැහැදිලිව විහාරස්ථානය සතු ඉඩමක් ලෙස පැවති භූමිය බලෙන් අද අත්පත් කරගන්නට ඇතැම් දෙමළ පිරිස් උත්සාහ කරනුයේ මේ හොර ඔප්පු බලපත‍්‍ර පෙන්වමිනි. නමුත් කළුතර පඤ්ඤානන්ද හිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන් යුද්ධයෙන් පසු කන්කසන්තුරේට ගොස් පළමුව විහාරයේ තිබූ ළිඳ හඳුනාගෙන භූමිය නිශ්චිත කොට ගෙන අනතුරුව තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් වරයා හමු වී සිතියම් වල සඳහන් සිංහල කලඞ්ඩි භූමිය ඉල්ලා සිටියද ඔප්පු ඉදිරිපත් කළ අයට පමණක් ඉඩම් දෙන බව පවසා තිබුණි. නමුත් දෙමළ පිරිස් සිංහලයන් සිටි භූමිවල පදිංචි කරවන්නේ ඔප්පු හදා දීමෙනි.

මෑතක සිට පලාලි ගුවන් තොටේ සිට සෘජු ගුවන් ගමන් ඉන්දියාවට පිටත් වෙයි. එසේම එම ගුවන් කඳවුරට යාබද ඉඩම් වල කර්මාන්ත පුරයක් ඇරඹීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරයි. බොහෝ විට ඒවා ඉන්දියාව හෝ ඇමරිකාව සම්බන්ධ ස්ථාන බවට පත් වෙනු ඇත. මෑතකදී ඇමරිකානු නියෝජිතයන් දෙදෙනකු මේ ස්ථාන පරීක්ෂාවට පැමිණි බවට මාධ්‍ය වර්තා පළ විය. ඒ තත්ත්වය තුළ තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් කොටසේ සිංහලයන් පදිංචි කරවීම ඔවුන් රුස්සන්නේ නැති බවට සැකයක් නැත. දෙමළ ජාතික සන්ධානයේ බල කිරීම මත කන්කසන්තුරේ නාවික කඳවුරද ඉවත් කිරීමට අගමැතිවරයා පොරොන්දු වී ඇති බවට මාධ්‍ය වාර්තා පළවුණි. ඇමරිකානු න්‍යාය පත‍්‍ර ඉන්දියානු න්‍යාය පත‍්‍ර ඔස්සේ දුවන දෙමළ සහ සිංහල දේශපාලඥයන් නිසා උතුරේ සහ දකුණේ සංහිඳියාව බිඳ වැටෙන ආකාරයට මෙය හොඳ නිදසුනකි. දෙමළ කොටි ව්‍යාපාරයට කලින් යාපනයේ සහ නැගෙනහිර පෙදෙස් වල සිංහලයන් සමග දෙමළ ජනතාව සතුටින් ජීවත් වූහ. ලංකා භූමිය සිංහලයන්ගේ බව මේ ඉන්දියානු දෙමළ වැසියන් දනී. ඉංග‍්‍රීසී නීතිය යටතේ ඉඩම් ඔප්පු ලැබී යාපනයේ සින්නක්කර ඉඩම් අයිතිය හිමිව ජීවත් වන බවත් ඔවුන් දනී. එසේ තිබියදීත් කෝවිලට පන්සලට ගිය දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් බිඳවන්ට කටයුතු සලස්වන්නේ ලංකාවේ ඇමරිකානු නියෝජිතයන් සහ ඉන්දියානු නියෝජිතයන් ලෙසට කටයුතු කරන රනිල් වික‍්‍රමසිංහ, සම්බන්ධන්, සුමන්තිරන්, රාජිත සේනාරත්න වැන්නවුන්ය. යාපනයේ තිස්ස විහාරයේ ඉඩකඩම් පිළිබඳ පැහැදිලි සාක්ෂි තිබියදීත් තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් ශ‍්‍රී වාසී මේ ප‍්‍රශ්නය දිගින් දිගටම ඇද ගෙන යන්නේ ඒ නිසාය.

කන්කසන්තුරේ හමුදා කඳවුර ඉවත් කරලීමට ප‍්‍රථම උතුරේ හිටපු හමුදා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ නායකත්වයෙන් යළි තිස්ස විහාරය සෑදීමට මුල් ගල් තැබිණ. තිස්ස විහාරයට හිමි භූමියේ සලකුණු වන බෝධීන් වහන්සේ අතරින් එක් බෝධියක් කපා ගිනි තබා විනාශ කර තිබුණද අනෙක් බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව තිබේ. එම තැන් වෙන් කොට පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන් එහි වැඩ සිටුවාලීමට ගත් වෙහෙස දැන් පළ දරමින් ඇත. දකුණේ මහා සංඝ රත්නය සමගින් බෞද්ධ ජනතාව පිරිත් කරමින් දුම්රියේ කන්කසන්තුරේට වැඩම කරන ලද්දේ මේ ප‍්‍රබෝධය නිසාවෙනි. කෙසේ වෙතත් දේවානම්පියතිස්ස රජු විසින් උතුරේ ඇති කළ බෞද්ධ රාජ්‍යය වෝහාරික තිස්ස මෙන්ම කණිෂ්ඨ තිස්ස රජවරුන් විසින් වැඩි දියුණු කරන ලද බව අප දනිමු. එය අවිචින්නව ඉදිරියට ගෙන යා හැක්කේ වර්තමානයේ අප ඉදිරියේ තිබෙන බෞද්ධ උරුමය රැක ගතහොත් පමණකි. එයට මේ කාලයයි.

– මතුගම සෙනෙවිරුවන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *