මව්බිම අරාජිත කිරීමේ කුමන්ත‍්‍රණය – රියර් අදිමිරාල් ආචාර්ය සරත් වීරසේකර

(28.07.2019 – divaina.com)

අපි අපේ වසර 2500 ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත් වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය අයුරු, සැතපුමකට අඟල් 3/4 ක බෑවුමක් සහිත යෝධ ඇල තැනූ අයුරු, ජ්‍යොමිතික ඉතාමත් සමමිතික අයුරින් රුවන්වැලි සෑය, අභයගිරිය තැනවූ අයුරු, මාදුරුඔය ජලාශයේ අතිශය නිවැරදි සථානයේම බිසෝකොටුව නිර්මාණය කර ඇති අයුරු, යනාදිය ඒ අභිමානවත් ඉතිහාසයේ සංකේතයයි.

එදා අප ලොව ජය ගත් ජාතියක් විය. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම දූත මෙහෙවර ලෙස සඳහන් වී ඇත්තේ දේවානම්පියතිස්ස රජු පාඨලී පුත‍්‍ර නගරයේ සිටි ධර්මාශෝක රජු හමුවීමට දූත පිරිසක් යැවූ සිද්ධියයි. රෝම අධිරාජයා හමුවීමටත් අපේ රටේ තානාපතිවරු ගොස් තිබේ. වසර 1000 කට පෙර අපගේ වෙළඳ නෞකා කොල්ලකෑ බුරුමයේ රජුට විරුද්ධව බුරුමයට නාවික හමුදා ප‍්‍රහාරයක් එල්ල කළේ පළවන පරාක‍්‍රමබාහු රජතුමාය. ත‍්‍රීකුණාමලේ සිට මඩකලපුව දක්වා නැව් තටාංගන 5 ක් ඉදිකොට නෞකා 300 ක් සාදා නැවියන් 30000 ක් බඳවා, අද්මිරාල් වරු දෙදෙනෙක් පත්කොට (කිත්තිනගරගිරි, ආදිත්‍ය දමිලාධිකාරි) ත‍්‍රිකුණාමල වරාය හෙවත් කොඩියාර්බේ වලින් පිටවී සඳ, තරු, ග‍්‍රහයන් උපයෝගීකොට බුරුමයට ගොස් කොල්ලකෑ බඩු සමග වන්දි ද ලබාගෙන නැවත කොඩියාර්බේ වලට පැමිණි බැව් ශිලා ලිපි වල සඳහන් වේ.

6 වන පරාක‍්‍රමබාහු රජු දකුණු ඉන්දියාවේ රාවන් වලවරායා, අපට කළ අරියාදුවක් හේතුවෙන් දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කොට වසර 45 ක් යන තුරු ඔවුන්ගෙන් අප බදු මුදල් ලබාගත් බවද පොත පතේ සඳහන් වේ. එසේනම් අප ලොව සිටි දියුණුම ජාතියක් වූ අතර ශක්තිමත් නාවික හමුදාවක් තිබූ රටක්ද විය. නමුත් පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි පාලන යටතේ සිංහලයාට අත්වූ ඉරණම පිළිබඳව අප දැනුවත්ව සිටිමු. එයටද මූලික වූයේ එවකට අපේ රටේ සිටි අතලොස්සක් වූ දේශද්‍රෝහි සිංහලයන්ගේ ක‍්‍රියා කලාපයයි. සිංහලයන්ගේ කොඳු නාරටිය බිඳ දැමූ එම වකවානුවෙන් පසු 1948 දී අපට නිදහස ලැබෙන විට අපට සිටියේ ඉංග‍්‍රීසින් අනුකරණය කරන නායකයින් පිරිසකි. අපට පසුව නිදහස ලැබූ සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් සමඟ සංසන්දනය කරන විට අද අප පත්ව සිටින ඛේදනීය තත්වයට වගකිව යුත්තේ එදා මෙදා තුර රට පාලනය කළ අපේම දේශපාලනඥයෝ මිස වෙන කවුරුන් ද ? වෙනත් රටවල් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන, යම් යම් ස්වයංවාරණ පනවමින් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන විට අප කලේ විවෘත ආර්ථිකය ගෙඩි පිටින් ක‍්‍රියාත්මක කිරීමය. දේශීය කෘෂි කර්මාන්තය, පේෂ කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සියල්ලම ඇස් ඉදිරිපිට කඩා වැටුණේ ඒ අමනෝඥ ප‍්‍රතිපත්තියෙනි. අද අප ලෝකයාට ණය වුණු, දූෂිත හිඟන රටක් බවට පත්ව තිබේ.

අපේ රට මොන තරම් අගාධයට පත් ව තිබුණද අවංක නිර්භීත සෘජු නායකත්වයක් යටතේ නැවතත් ලොව දියුණුම රටක් බවට පත් කළ හැකි බව අප විශ්වාස කරමු. එසේ අප විශ්වාස කරන්නේ ඇයි ? ඒ අප මව්බිම සතුව තවමත් පවතින ස්වභාවික සම්පත් නිසාම නොවේ. එයට හේතුව මෙතෙක් දුරට අප රටේ පවත්වා ගෙන ආ ‘ස්ථාපිත ආයතන’ බොහෝ දුරට තවමත් එසේම පවතින නිසාය. උදා. ලෙස නිවාසය තුළ අපේ පවුල සෑදී ඇත්තේ එවන් පොදු සම්මුතියකිනි. මව පියාට ගරු කරන්නීය. දරුවෝ දෙමව්පියන්ට වදී. බාල සොයුරු සොහොයුරියන් වැඩිමහල් සොයුරාට / සොයුරියට ගරු කරයි. ගෘහස්ථ ප‍්‍රශ්නයකදී මව හෝ පියා හෝ දෙන අවවාදය දරුවන් පිළිගනී. පවුල තුළ විනයක් තිබේ.

අපේ පාසල් පද්ධතිය නිර්මාණය වී ඇත්තේ අධ්‍යාපනය පමණක් නොව විනය, හික්මීම මුල් කර ගත් සම්මුතියකිනි. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සුදු වර්ණ පාසල් නිල ඇඳුමින් සැරසී සිටි. ගුරුවරියන් සාරි යෙන්ද ගුරුවරයන් සුදු ඇඳුමින් ද පාසලට පැමිණෙයි. ළමයි ගුරුවර ගුරුවරියන්ට වඳිති. ගරු කරති. අදටත් අප පවා මග තොට දී අපට උගැන්වූ ගුරුවරයෙක් ගුරුවරියක් හමුවූ විට තැන නො තැන නොබලා වඳින්නේ ඒ ගෞරවනීය සම්ප‍්‍රදායට අනුවයි.

සංඝ සමාජය ද නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් පැරණි සම්ප‍්‍රදායට අනුවය. එදා රටකල රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ සංඝරත්නයයි. වර්තමානයේද ජනපති, අගමැති, මැති ඇමතිවරු තම ප‍්‍රථම පත්වීම ලද වහාම ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් හමුවීමට යන්නේ එම සම්ප‍්‍රදායට අනුවය. රට අනතුරේ වැටෙන විට, අවදානමකට ලක්වන විට එදා සිට අද දක්වා ප‍්‍රථමයෙන් ඉදිරිපත් වුණේ ගරුතර සංඝ රත්නයයි. ථේරපුත්තාභයගේ සිට, ධාතුසේන රජු කුඩා කල රැකබලාගත් මහානාම හිමි, කැප්පෙටිපොළට අසිපත දී ‘‘රාජද්‍රෝහි උනාට කමක් නැහැ දේශද්‍රෝහි වන්න එපා’’ යෑයි කී ඉහගම හිමි, බි‍්‍රතාන්‍යයන්ගෙන් වෙඩි පහර කා අපවත් වූ කුඩාපොල හිමි, ඉංග‍්‍රීසින්ගේ කොඩිය බිම ඇද දමා පෑගූ වාරියපොල සුමංගල හිමි, ගැමුණු – සද්ධාතිස්ස ගැටුම සමථයකට පත් කළ මහාතිස්ස හිමි, ඒ පිළිබඳව උදාහරණ කිහිපයකි.

තවත් මෙවන් බොහෝ ආයතන ගැන සඳහන් කළ හැකි අතර මේ රට නැවත දියුණු අභිමානවත් රටක් බවට පත්කළ හැක්කේ තවමත් එම ස්ථාපිත ආයතන බොහෝ දුරට සුරක්ෂිතව තිබෙන බැවිනි. අපේ රටේ සම්පත් වලට අමතරව එවන් ‘විභවයක්’ අප ජන සමාජය තුළ තවමත් පවතින බැවිනි. මෙම තත්ත්වය කුහක බටහිරයන්ගේ, ඊනියා ලිබරල් වාදීන්ගේ සහ දේශද්‍රෝහි අමන සිංහලයින්ගේ ඇසට කටු අනින්නාක් මෙනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ රට සදාකාලිකව අරාජික කිරීමටයි. එවිට කුමන බලවේග මෙරට යටත් කර ගැනීමට හැදුවත් එයට විරුද්ධ වීමට රටේ කිසිවකුත් ඉදිරිපත් නොවේ. එම කොන්ත‍්‍රාත්තුව එනම් ස්ථාපිත ආයතන විනාශ කිරීමේ න්‍යාය බාරගෙන ඇත්තේ වර්තමාන රජයේ අනුග‍්‍රහයෙන් මංගල සමරවීර, රන්ජන් රාමනායක වැනි දීන පුද්ගලයින්ය.

මංගල සමරවීර ඇමතිවරයා ගුරුවරුන්ට දෙමාපියන්ට වඳින්න එපා යැයි දරුවන්ට පවසයි. එම සම්ප‍්‍රදායට ගරහමින් තමන් ට වඳින්න එන දරුවා ද හරවා යවයි. මෙම ප‍්‍රතිපත්තිය හමුවේ, පවුල තුළ, මවට පියාට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන සංස්කෘතිය හෑල්ලුවට පත් කරයි. පවුල තුළ එකිනෙකා අතර ඇති සමගිය, ආදරය බිඳ දමයි. එවිට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති එම ‘ස්ථාපිත ආයතනය’ බිඳ වැටේ. දරුවන් නන්නත්තාර වී අයාලේ යයි.

මේ ක‍්‍රියාවත් සමඟම පාසල් සිසු සිසුවියන්ට කිසිම සීමාවකට යටත් නොකොට ‘ටැබ්’ ලබා දෙයි. පවුල් සංස්ථාව බිඳ වැටී ඇත්නම් මවට, පියාට වැඩිහිටි සොයුරා සොයුරිය ට ගරු නොකරන දරුවා අන්තර්ජාලය හරහා ටැබ් එක තුලින් නරඹන්නේ ඉගෙන ගත යුතු දේ නොව, මොළය විකෘති කරන කාමාශාව වර්ධනය කරන අසභ්‍ය දේය. වාරණයකින් තොරව, උපදෙස් හෝ හසුරුවීමකින් තොරව එම පහසුකම දීමෙන් වැරදි පාරේ යන දරුවන් හරි පාරේ යන දරුවන්ට වඩා වැඩිය.

ඉන්පසු පාසල් දරුවන්ට නිල ඇඳුමින් නොව, තමන් කැමති ඇඳුමකින් සැරසී ඒමටත්, ගුරුවරියන්ට තමන් කැමති ආකාරයේ ඇඳුම් ඇඳ පාසලට පැමිණීමටත් අවසර දෙයි. පාසලක් තුල තිබිය යුතු හික්මීම, විනය යනාදිය එවන් තත්ත්වයක් තුළ පවත්වාගෙන යා හැකිද යන්න අප විසින් අවබෝධ කර ගතයුතු වේ. ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් දැනටමත් ඉවත් කර ඇති වාතාවරණයක් තුළ මවට පියාට ගුරුවරයාට ගරු නොකරන, අන්තර්ජාලයට විවෘතව මනස විකෘත කර ගත් දරුවෙක් කිසිදාක ‘දේශපේ‍්‍රමී’ හෙවත් තමා ජනිත වූ දේශයට ආදරය කරන පුද්ගලයෙක් බවට පත් නොවේ. අප එදා විශ්වකර්ම වැඩ කලෙත් ලෝකය ජය ගත්තෙත් අපේ මුතුන් මිත්තන් දේශපේ‍්‍රමී වූ බැවිනි. දේශපේ‍්‍රමයෙන් තොර සමාජයක් තිබෙන රටක සිදු විය නොහැක්කේ කුමක්ද ? මංගල සමරවීර වැන්නන්ගේ න්‍යායයන්ට අනුව කිසිම පාලනයකින් තොරව දරුවන්ට ටැබ් ලබාදී හන්දියක් හන්දියක් ගානේ බියර් හල් විවෘත කළ විට හයිටි රාජ්‍යයට සිදු වූ දේ අපේ රටට වීමට වැඩි කල් ගත නොවේ.

රන්ජන් රාමනායකට භාරදී ඇත්තේ අනෙක් ස්ථාපිත ආයතනයක් වූ සංඝ සමාජයට නිග‍්‍රහ කොට අපහාස කොට ජනතාව සංඝයා කෙරෙන් ඈත් කොට එම ස්ථාපිත ආයතනය කඩා බිඳ දැමිමේ කොන්ත‍්‍රාත්තුවයි. අපේ රටේ ඉතිහාසය තුළ ආර්ය සංඝරත්නයේ භූමිකාව ගැන තබා රටේ ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්නා රංජන් රාමනායක වැන්නෙකු එම කාර්යයට යොදා ගැනීම ඉතා පහසු බව ඕනෑම කෙනෙකු දනී. මැහුම් දැමීමක් ගැන කතා කළ හැක්කේ එහි වේදනාව දන්නා පුද්ගලයෙකුට පමණි. එබැවින් ශිෂ්ට සමාජයක කිසිවකුත් නොහැසිරෙන ආකාරයෙන් හැසිරෙමින් ගරුතර සංඝරත්නයට මෙසේ දැඩි ලෙස අපහාස කිරීමේ අරමුණ වන්නේ එම සංඝ සංස්ථාව බිඳ දමා එය ජනතාවගේ පිළිකුලට භාජනය කොට සංඝයා වහන්සේලාට රටේ තිබෙන ගෞරවය, භක්තිය නැති කිරීමයි. එවිට සංගයා වහන්සේ ගේ උපදෙස් ජනතාව නොපිලිගනී. රංජන් රාමනායක වැන්නෙකුට කොතරම් උත්සාහ කලත් එම ‘භාරධූර කාර්යය’ කළ නොහැකි බව කුඩා දරුවකුට වුව අවබෝධ වන කරුණකි. ඉතා මිහිරි හඬින් බණ දෙසන තුන්සූත‍්‍රය කටපාඩමින් කියන කුඩා සාමණේරවරුන් අප කොතෙකුත් දැක තිබේ. අපචාරයන්ට ගොදුරු වන දරුවෙක්ට එසේ කුඩා වයසින්ම ධර්ම කටයුතු වලට යෙදීමට මනස සකසා ගත හැකිද ? රංජන් රාමනායක සංඝයා වහන්සේලාට කළ එම නිග‍්‍රහයට දඬුවම් විදිය යුතුය. අධිකරණය නමැති ස්ථාපිත ආයතනයටද රංජන් රාමනායක අපහාස කර තිබේ. විනිසුරු කරුවන් ඔහුට කුමන විදිහේ දඬුවමක් දෙනු ඇත්දැයි අප බලා සිටිමු. හොඳම දඬුවම වන්නේ වසර 10 කට වඩා සිර දඬුවම් විඳින සිරකරුවන් සිටින සිර කුටියකට සතියක කාලයකට යැවීමය. ඉන්පසු ඔහු ලිංගික අපචාර ගැන කිසිදාක තම මුව විවර නොකරනු ඇත.

රටේ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත එසේ මංගල සමරවීර, රංජන් රාමනායක වැනි රට, ජාතිය, ආගම කෙරෙහි කිසිම ඇල්මක් ගරුත්වයක් නොමැති පුද්ගලයින් එසේ ANTI ESTABLISHMENT THEORY ය හෙවත් ‘ස්ථාපිත ආයතනය විනාශ කිරීමේ’ ක‍්‍රියාවලියේ යෙදෙන විට වර්තමානයේ හදිසියේ මතුවූ ප‍්‍රවණතාවයක් සම්බන්ධයෙන් ද ඔවුන් තම අවධානය යොමුකර ඇතිබව පෙනී යයි.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු සිංහල කතෝලික ප‍්‍රජාව හා සිංහල බෞද්ධ ප‍්‍රජාව ඒකරාශී විය. සමගි විය. එසේම දෙමළ හින්දු බැතිමතුන් ද ඔවුන් සමඟ එක් විය. එසේ එක්වූයේ මුස්ලිම් ප‍්‍රජාවට නොව මුස්ලිම් අන්තවාදයට විරුද්ධවය. වර්තමාන රජයට අනුව එය ඉතා භයානක තත්වයකි. එය ඉදිරි මැතිවරණයේදී තමන්ට ඉතා අවාසිසහගත තත්වයක් බව ඔවුන් දනී. එබැවින් ඒ සමගිය බිඳ දැමීම ද ඔවුන්ගේ උක්ත සැලසුමේ ප‍්‍රධාන අංගයකි.

රන්ජන් රාමනායක වැනි කතෝලික ආගම අදහන පුද්ගලයෙක් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නිග‍්‍රහ කිරීමෙන් සංස්ථාපිත ආයතනය විනාශ කිරීම මෙන්ම බෞද්ධ / කතෝලික ඝට්ටනයක්ද ඇතිවිය හැකි යැයි ඔවුන් සිතුවා විය හැකිය. නමුත් එය එසේ නොවන්නේ බුද්ධිමත් කතෝලිකයින් සිටින බැවිනි. ලංකාවේ කතෝලිකයන්ගේ සිළුමිණ බදුවූ මැල්කම් රංජිත් කාදිනල් තුමාට ගරහන විටදී ද උන්වහන්සේ ආරක්ෂා කිරීමට මුලින් ඉදිරිපත් වූයේ බෞද්ධයින් සහ බෞද්ධ භික්ෂූන්ය. එබැවින් ජාතියේ වාසනාවට එසේ දැනට ශක්තිමත්ව ස්ථාපිතව ඇති බෞද්ධ / කතෝලික / ක‍්‍රිස්තියානි සමගිය ලෙහෙසියෙන් බිඳ දැමීමට නොහැකි තත්වයකට දැන් පත්ව තිබේ.

දැන් ඉතිරිව ඇත්තේ බෞද්ධ හින්දු සමගිය බිඳ දැමීමයි. එම සමගිය ගැන මහත්සේ උරන වී ඇති දෙමළ සංධානය ත‍්‍රිකුණාමලයේ කන්නියා උනුවතුර ලිං අසල රඟ දැක්වූයේ එම සමගිය විනාශ කිරීමේ නාට්‍යයයි. එම පරිශ‍්‍රයේ අනුරාධපුර යුගයට අයත් දාගැබෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන විට එහි කෝවිලක් තිබුනේ යැයි ද්‍රවිඩ සංවිධානයේ ගජේන්ද්‍ර කුමාර, ශ‍්‍රී ධරන්, යෝගෙශ්වරන් යන පුද්ගලයින් කණ්ඩායමක් සමඟ පැමිණ කෝලහාල කළේ තම ආගමට ඇති ලැදියාව නිසා නොව හින්දු බෞද්ධ ගැටුමක් ඇති කොට වර්තමානයේ නිර්මාණය වී ඇති එම සමගිය බිඳ දැමීමටයි. 2011 සැප්තැම්බර් මස 9 වන දින අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් බෞද්ධ නටඹුන් ඇති පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට ඇති මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු වලට කිසිම බියක් සැකක් නොමැතිව බාධා කිරීමට යාපනයේ සිට පැමිණීමට මෙම ජාතිවාදී ද්‍රවිඩයන්ට නිදහස ලැබුනේ වර්තමාන රජයේ කුහක ප‍්‍රතිපත්තිය නිසාය. ඒ සුළු ජාතියක ඡන්දවලට ඔවුන් රටේ අභිමානය ඉතා නින්දිත අයුරින් පාවා දී ඇති නිසාය.

එසේනම් අද අපේ මව් බිම මුහුණපා සිටින තර්ජනය වන්නේ, වසර ගණනාවක් තිස්සේ අප රටේ පැවති මෙම ස්ථාපිත ආයතන විනාශ කිරීමේ වර්තමාන පාලකයින් ගේ න්‍යායයි. බුද්ධි අංශ නිකරුනේ සිරිකොතටත් ජාතික ආරක්ෂාව වල පල්ලටත් ඇද දමා යුද්ධයට සහභාගී වූ රණවිරුවන් ට නිකරුනේ යුධ අපරාධ චෝදනා එල්ල කරමින්, සිංහල බෞද්ධ, කතෝලික, දෙමළ හින්දු ජනතාව අතර තිබෙන සමගිය කඩාබිඳ දැමීමට කටයුතු කරමින් උක්ත සදහන් කර ඇති පරිදි ස්ථාපිත ආයතන විනාශ කර දැමූ විට මේ රට ඕනෑම විදේශීය බලවේගයකට නතූ විය හැක. මන්ද එයට විරුද්ධ වීමට කිසිදු දේශහිතෛෂීයෙක් රටේ ඉතුරු නොවන බැවිනි. එබැවින් රංජන් රාමනායකලා සහ මංගල සමරවීරලා මේ කරන්නේ එම කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීම බව අප සියලු දෙනා දැනගත යුතූය. එය කෙසේ හෝ වලක්වා ලීම අප කාගේත් යුතුකම වේ ෴

***************************************

අනුරාධපුරයේ උත්සවයකට කෝටි 20 ක්.. කැබිනට්ටුවේ අනුමතයි..

(27.07.2019 – 03:26 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය :

“පාස්කු දින මිලේච්ච ප‍්‍රහාරයට මාස තුනක් පිරුණා. ඒ වගේම ජූලි විසිතුන් වෙනි දා හරියටම කළු ජූලියට වසර 36 ක් වෙනවා. ආණ්ඩුව පහුගිය සති දෙක ඇතුළත සුදු ජූලියකුත් නිර්මාණය කළා. කලූ ජූලිය සුදු ජූලිය කියලා මොන විදිහට එළියට ආවත් මේ හැම ජූලියකම තාත්තා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන දේ සැඟවිය නොහැකි කාරණයක්. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් අහිංසක දමිළ සහෝදරයන් ඝාතනය කරමින් රටම මස් මඩුවක් කරපු සිදුවීම. එකල කලු ජූලිය රටේ දිගුකාලීන යුද්ධයකට පාර කැපුවා. ඡන්ද නාමලේඛන අතේ තියාගෙන තමයි ගෙයින් ගෙට ගියේ. රුපියල් සියයක වැටුප් වැඩිවීමක් ඉල්ලා ජූලි 15 දා වැඩවැරපු රාජ්‍ය සේවක වෘත්තීය සමිති නායකයන් දඩයම් කළා. දැන් කළු ජුලිය සුදු ජූලියක් කරන්න හදන්නේ රටම මළ ජූලියක් කරපු මේ රජයයි.

ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කැබිනට් රැස්වීමට පෙර කටුවාපිටියේ පල්ලියේ දී කාදිනල්තුමා පැවැත්වූ දේශනයට සංයමයෙන් ඇහුම්කන් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. පුරවැසියෙක් විදිහට අහිංසකව කරන ඉල්ලීමක්. එයින් යමක් පසක් වෙයි කියා විශ්වාස කරනවා. පාස්කු ප‍්‍රහාරය ගැන එක්තරා නාලිකාවක විකාශනය වුණා මඩකලපු පල්ලියේ ප‍්‍රහාරයට ලක් වූ දියණියක් පිළිබඳව. පපුවේ මැහුම් දහතුනක්. ඒ දියණිය තමන්ගේ මව බලන්න දිනපතා සුසාන භූමියට යනවා. මේ අයට ආණ්ඩුවෙන් සත පහක් වන්දි විදිහට ලැබිලා නැහැ. ඒ දියණියගේ පියා පුවත්පතකට කියා තිබුණා කාදිනල්තුමා දුන්න රු. 50000 විතරයි ලැබුණේ කියලා. මේ විදිහට මව අහිමි වුණු දරුවෝ ඉන්නවා. කොයි තරම් අසංවේදී ආණ්ඩුවක්ද? පියා අහිමි වුණු දරුවෝ ඉන්නවා. දරුවෝ අහිමි වුනු දෙමවුපියෝ ඉන්නවා. සමහර දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙලා. රටම කම්පනයට පත්වෙලා. ආණ්ඩුවේ අර්බුදය වසා ගන්න අනික් පාර්ශ්වවලට දොස් පවරා ගන්න එක විතරයි කරන්නෙ. මේ වන විටත් අත්අඩංගුවට ගත් අයත් නිදහස් කරලා.

අන්තවාදය ගොබ දමමින් මතුවෙන බව ආණ්ඩුව දැනගෙන සිටියා. ඒ අන්තවාදය ත‍්‍රස්තවාදයක් වෙන බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණා. ඒ ත‍්‍රස්තවාදීන් නිශ්චිත දිනවල නිශ්චිත ස්ථානවලට පහර දෙන බව විදේශ සේවා දැනුම් දී තිබුණා. ඒ නිසා මේ මහා ප‍්‍රහාරයෙන් ආණ්ඩුවට කර අරින්න බැහැ. ආණ්ඩුව මේ සිද්ධියට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. අඩුම තරමේ එක් මියගිය අයකු වෙනුවෙන් ලක්ෂ 50 ක වන්දියක් ගෙවන්න කියලා. ලක්ෂ 50 ක වන්දියක් ගෙවන්න තියා මේ ආණ්ඩුව තවමත් සත පහක් නොදුන්නු මිනිස්සු සිටිනවා. සමහරුන්ට කීයක්වත් ගෙවා නැහැ. මේ අසමත් රාජ්‍යය අපි නිමා කළ යුතුයි. යේමනය, ඇෆ්ගනිස්තානය වැනි රටවල් තමයි අසමත් රටවල් අතරින් ඉදිරියෙන් ඉන්නෙ. මුල ඉඳලා බැලුවොත් අපි ඉන්නෙ 146 වැනි ස්ථානයේ. අගරදගුරුතුමා නිරවුල් භාෂාවෙන් එදා කිව්වෙ ප‍්‍රතිපත්තියක් නැති නායකයින් ගෙදර යවලා කරන්න පුළුවන් කෙනෙකුට භාර දෙන්න කියලයි. ඔක්තෝම්බර් 09 ට පෙර ජනාධිපතිවරණය කැඳවූ යුතුයි. කිසිලෙසකින්වත් ජනාධිපතිවරණ දිනය වෙනස් කරන්න බැහැ. මේ අසමත් රාජ්‍යයේ පීඩනයෙන් මිදෙන්න මුළු රටම බලා ගෙන සිටිනවා.

ආණ්ඩුව අලුතෙන් චක‍්‍රලේඛණයක් නිකුත් කරමින් රජයේ වියදම් සීමාකරණය කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට දැනුම්දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද දින පුවත්පත් වාර්තා කරලා තියෙනවා. මීට කලින් ප‍්‍රාග්ධන වියදම් සියයට 15 කින් කපා හරින්න කියලා චක‍්‍රලේඛනයකුත් නිකුත් කරා. මේ විදිහට ජනතා සේවය සඳහා යොදන මුදල් කප්පාදු කර ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය සඳහා කෙරෙන වියදම්වලට කිසිම පැකිලීමක් නැතිව මුදල් වෙන් කරනවා. ගිය සතියේ කැබිනට් රැස්වීම් අවස්ථාවේ අනුරාධපුරයේ පත්වන්න යන තවත් උත්සවයක් වෙනුවෙන් ප‍්‍රචාරක වියදම් කියලා කෝටි 20 ක මුදලක් අනුමත කරගන්න ආණ්ඩුව පියවර ගත්තා. ඒ වගේම ගම්පෙරළියට කෝටි 43 ක් වෙන් කරගත්තා. මේවට කිසිම බියක් පැකිලීමක් ලැජ්ජාවක් නැහැ. ජුනි මස 20 වැනිදා වන විට අපේක්ෂිත රාජ්‍ය ආදායම සියයකට 23 අඩුවෙලා. මිනිස්සුන්ගේ බොටුව හිරකරලා භාණ්ඩාගාරයට මුදල් අරන් මැතිවරණ ප‍්‍රචාරණයට වියදම් කරන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ. ජනතාව ගැන අනුකම්පාවක් නැහැ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට නායකත්වය දෙන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත විපක්ෂය ම පාස්කු සිද්ධියට මුහුණ දුන් අය වෙනුවෙන් කණගාටුව ප‍්‍රකාශ කරනවා. මේක ආණ්ඩුවේ අමානුෂික කි‍්‍රයාවක්. අඩුම තරමේ මාස හතරක් ගත වෙන්නටත් පෙර සංවේදීව කටයුතු කරන්න. දැන් කවුරුත් නිදහස්. මේ අසංවේදී ආණ්ඩුව අහිංසක ජනතාව දෙස බලා අපරාධකරුවන්ට නිසි දඬුවම් දිය යුතුයි. කාදිනල්තුමා කිව්වා වගේ රතුපලස් යට මේවා හංගන්න එපා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන්න ආණ්ඩුව මූලිකත්වය ගත යුතුයි. අවසානයේ වැරදිකරුවන් වෙන්නෙ කවුරුන්ද? වැරදිකරුවන් වෙන්නෙ කාදිනල්තුමා. කටුවාපිටිය දේවස්ථානයේ පියතුමන්ලා, මඩකලපුව, කොච්චිකඬේ දේවස්ථානවල පියතුමන්ලා. අවසානයේ ආණ්ඩුවෙන් අහන්න ඉඩ තියෙනවා ඇයි පල්ලිවලදී දේවමෙහෙයන් පැවැත්වූයේ කියලා. ආණ්ඩුව ඒවාට හරියට දක්‍ෂයි. කළු ජූලි සුදු ජූලියක් කළා වගේම ඒ දෙයත් කරයි.”

– චමින්ද කරුණාරත්න

***************************************

පාස්කු ප්‍රහාරය පිළිබඳව බොදු බලේ දුන් සාක්කිය

(26.07.2019 – YouTube > Colombo Today)

Bodu Bala Sena (BBS) CEO Dilantha Vithanage requested the Parliamentary Select Committee probing the Easter Sunday attacks

***************************************

ඉංගිරියේ ප්‍රධාන පෙළේ බුරුසු අපනයන කර්මාන්තශාලාවක ගින්නක්

(28.07.2019 – 13:23 +0530 – sinhala.adaderana.lk)

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බුරුසු අපනයන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත.

අද (28) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විටත් ගින්න පැතිර යන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ වන විට හොරණ, පානදුර, කළුතර ප්‍රදේශ භාර ගිනි නිවීම් අංශ එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව වාර්තා වෙයි.

ගින්න හේතුවෙන් කර්මාන්තශාලාවේ යන්ත්‍රවලට විශාල හානියක් සිදුව ඇති බව ද වාර්තා වෙයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

+++++++++++++++++++++

***************************************

28.07.2019

***************************************

මලික් අසීස් සමානයි සහරාන් – සුදත්ත හිමි

(28.07.2019 – 08:36 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥ මලික් අසීස් මහතා පසුගිය 26 දිනයේදී ලබා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සිය අදහස් පළ කළේය.

ඒ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාකිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ මලික් අසීස් මහතා අදහස් දක්වමින්, සහරාන් සම්බන්ධ EER 8/17 ලිපි ගොනුව 2017.06.07 දින නීතීපතිවරයා වෙත ලැබුණු බවත් එය එම මාසයේම 16 දින තමන් වෙත ලැබුණු බවත් කියා සිටියා.

මේ අතර සහරාන් සම්බන්ධ එවන් ගොනුවක් නීතිපතිවරයා වෙත ලැබුණේද යන්න පසුගියදා නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සිදු කළ විමසීමේදී නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය උන්වහන්සේට පවසා ඇත්තේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවයි.

ඒ අනුව ඇය විසින් කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව අධිනීතිඥ මලික් අසීස්ගේ සාක්ෂි දීමෙන් පැහැදිලි වන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසා සිටියි.

ඒ අනුව ලිපි ගොනුව සම්බන්ධව තමන් කළ ප්‍රකාශය සාවද්‍ය නොවන බවත් තේරීම් කාරක සභාව හමුවේ එය ඔප්පු වූ බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

රජයේ අධි නීතීඥ මලික් අසීස් මහතා චේතනාන්විතවම මෙම ලිපි ගොනුව පිළිබඳ උපදෙස් ලබා දීම ප්‍රමාද කර ඇති බවත් මලික් අසීස් සහරාන්ට සමාන වන බවත් සුදත්ත හිමි කියා සිටියි.

2017 දී මලික් අසීස් විසින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේනම් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබු බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

එළඹෙන සඳුදා මලික් අසීස් මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම් විරහිතව කටයුතු කළ සියලු දෙනාට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් සුදත්ත හිමි පවසා සිටියේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

11.07.2019

+++++++++++++++++++++

සිංහලේ සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(27.07.2019 – 23:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැලැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මලික් අෂීස් අත්අඩංගුවට ගත යුතු බව පවසමින් සිංහලේ සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම අවස්ථාවට බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුගල්ලේ සිරිජිනානන්ද හිමියන් සහ සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එක්ව සිටියා.

+++++++++++++++++++++++++++++++++++

28.07.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *