මුදලට යට නොවු ගුරු දෙවිවරු

(28.07.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk)

පාසලේ ඉගැන්වීමට වඩා ටියුෂන් ඉගැන්වීමට මුල් තැන දෙන ගුරුවරුන් පිළිබඳ අසන්නට ලැබෙන මේ කාලයේදීත්, මුදල් පසෙකලා සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන ගුරුවරුන් මෙරට තුළ හිඟ නැත.

බලංගොඩ ප්‍රදේශයේ පාසලකින් වාර්තා වූ මේ පුවත ඒ බව කියාපාන කදිම නිදසුනක්.

බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සෑම දිනකම අලුයම හුළු පන්දම් ආලෝකයෙන් පාසල වෙත පැමිණෙන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහායි.

ඉතා දුෂ්කර පාසලක් වන මෙහි පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 128 දෙනකු අධ්‍යාපනය හදාරනු ලබයි.

මෙහි සිටින එකම ඉංග්‍රීසි ගුරුවරයා, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සිටින සේවකයෙක් සහ මේ පාසලේම අධ්‍යාපනය හැදෑරූ සිසුවියක් එක්ව මේ දරුවන් 128 දෙනාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙලෙස කැපවන්නේ රුපියලක මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරමින්.

වසර දෙකහමාරක පමණ කාලයක සිට මේ දරුවන් සෑම දිනකම අලුයම 4.30 ට පාසලට පැමිණ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන අතර මේ වනවිට ඔවුන් සියලු දෙනා ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරුවයි.

ඇතැම් ගුරුවරුන් පාසල් අධ්‍යාපනය පසෙකලා ටියුෂන් වලට මුල් තැන දෙන පසුබිමක ස්වෙච්චාවෙන් දරුවන් වෙනුවෙන් සිය කාලය කැප කරන මෙවැනි ගුරුවරුන් සමස්ත සමාජයටම ආදර්ශයක් නොවන්නේද ?

+++++++++++++++++++++

ජාත්‍යන්තර භාෂාවෙන් ලොව දිනන්න වෙලාවටත් කළින් දරුවන්ට අකුරු කරවන බලංගොඩ ගුරුපියා

(28.07.2019 – 21:07 +0530 – hirunews.lk/sinhala)

අකුරු කරන්නට නම් වේලාව නොවරදවා පාසල් එන්නැයි කිව්වත් වේලාවටත් කලින් දරුවන් පාසල වෙත ගෙන්වාගෙන ජාත්‍යාන්තර භාෂාව කියාදෙන අපූරු ගුරුවරයෙක් පිළිබදව බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.

මේ ගුරුවරයාගේ අසීමිත කැපවීම නිසා බලංගොඩ – වීරසේකර විද්‍යාලයේ දරුවන් අද මුළු දිස්ත්‍රික්කයේම දක්ෂතම දරුවන් බවට පත්ව තිබෙනවා.

බලංගොඩ – වැලිගෙපොල – පොල්ලමොර වීරසේකර විද්‍යාලයේ දරුවන් මීට වසර දෙකහමාරක කාලය පටන් පාසල් යන්නේ ඉර අවදීවීමටත් ප්‍රථමව පන්දම් එළි ආධාරයෙන්.

මේ වන විට පොල්ලමොර – වීරසේකර පාසල ආරම්භ වන්නේ අළුයම 5 ට වන අතර සියලු දරුවන් සහභාගීවන ඉංග්‍රීසි පන්තියක් උදෑසන 7 දක්වා පැවැත්වෙනවා.

එය ආරම්භ වූයේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයා වන G.L. වීරරත්න මහතාගේ අදහසකට අනුවයි.

ඔහුගේ මෙම කාර්යට විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකු වන අජන්ත උදුගොඩ මහතාද සහය වනවා.

මෙම පාසල ඉංග්‍රීසි තරඟවලින් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණ රැසකින් ජයග්‍රහණය කර ඇති අතර ජාත්‍යාන්තර පාසල් සමග ජාතික මට්ටමින්ද තරඟ වදිනවා.

කෙසේ වෙතත් මෙවන් අති දක්ෂ දරුවන් සිටින ගම්බද පාසලට බලධාරීන් දක්වන්නේ කුඩම්මාගේ සැළකිලිවීම අතිශය කණගාටුවට කරුණක්.

***************************************

කොහුවල සිදු වු වෙඩි තැබීම ගැන විශේෂ පොලිස් කණ්ඩායම් 3 කින් පරීක්ෂණ

(28.07.2019 – 18:54 +0530 – sinhala.adaderana.lk)

කොහුවල ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අදාළ වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

අද (28) අලුයම සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු ජීප් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මිය ගියේය.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි මාදිවෙල උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සදහන් කළේය.

https://www.youtube.com/watch?v=d9UN2-xZE3g#t=5

+++++++++++++++++++++

ඝාතනයක සැකකරුවන්ට පලායාමට උපකාර කළ අයෙක් අත්අඩංගුවට

(30.07.2019 – 16:48 +0530 – lankadeepa.lk)

නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන්ට පලායාමට ආධාර අනුබල ලබාදුන් කෝට්ටේ නගර සභාවේ රියදුරකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

ඝාතනයට පැමිණි සැකකරුවන් පැළඳ සිටි බව කියන ආරක්ෂක හිස් වැසුම් දෙක සැකකාර රියැදුරුගේ නිවස ඉදිරිපිට කොම්පෝස්ට් බදුනක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය දෙල්කද ප්‍රදේශයේ අතුරු මාර්ගයක සඟවා ආරක්ෂක හිස් වැසුම් දෙක සැකකාර රියදුරුට දී එය සඟවා තබන ලෙස පවසා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරුව ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන අත්තිඩිය දක්වා ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

එම පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවකු වූ හතේ කණුවේ බබී නමැත්තාද සිට ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් නගරසභා රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

***************************************

පලාත් සභා මැතිවරණය ඔක්තොම්බරයේ.. දකුණු ආසියාවේ සුවිශාලම පක්‍ෂය පොහොට්ටුවයි..

(29.07.2019 – 16:40 +0530 – lankacnews.com)

වසර අගදී ජනාධිපතිවරණයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ඊට ද ජයග්‍රාහීව මුහුණ දිමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කර ඊළඟට එන ජනාධිපතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇති බව පැවසූ රණතුංග මහතා තමන්ගේ අරමුණ හැකි ඉක්මණනින් මැතිවරණයක් ලබාගැනීම බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසනයේ නීතිඥ සංගමය ආරම්භ කිරීමේ උත්සවයට පසුගිය දා (25) සහභාගී වෙමිනි. අධිකරණ කලාපයක් ආවරණය වන පරිදි දේශපාලන පක්ෂ නීතීඥ සංගමයක් මෙරට බිහිවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මෙන්ම 2015 මහ මැතිවරණයේදිත් මිනුවන්ගොඩ ආසනයේ නීතිඥ මහත්ම මහත්මීන් අපට විශාල සහයෝගයක් දැක්වූවා. නාම යෝජනා සකස් කිරීම ඇතුළු කරුණු කාරණා රාශියකදී තමුන්නාන්සේලා අපට විශාල ශක්තියක් වුණා. මිනුවන්ගොඩ අධිකරණ බල සීමාව තුළ මෙවැනි නීතිඥ සංගමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා වගේම තමුන්නාන්සේලාට මම සුබ පතනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරලා සුළු කාලයක් ගත වන විට දකුණු ආසියාවේ සුවිශාලතම පක්ෂය බවට අද පත්ව තිබෙනවා. පක්ෂය හදලා දිස්ත්‍රික් සහ ආසන බල මණ්ඩල හදලා, කාන්තා සහ තරුණ සංවිධාන හදලා විශාල වැඩකොටසක් මේ වන විට කරලා තිබෙනවා. ඒ වගේම ඉතාම කෙටි කලක් තුළ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා.

ඒ ජයග්‍රහණයත් සමඟ ඉදිරි වැඩපිළිවෙළ සකස් කරගන්න අපට දැන් අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ වසර තීරණාත්මක වසරක්. වසර අග දි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරණය කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවකුත් අහන්නට ලැබෙනවා. එහෙම වුණොත් ඔක්තෝම්බර් මාසයේ දි පමණ අපට පළාත් සභා මැතිවරණයට මුහුණ දෙන්නට සිදුවෙයි.

අද වන විට රටේ පවතින තත්ත්වයත් සමඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය වසර දෙකක් කල්දැම්මා. පළාත් සභා මැතිවරණයත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ කල්දමමින් ඉන්නවා. ආණ්ඩුව මැතිවරණ කල්දමන්නෙම ඒවා ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් නැති බව දන්න නිසයි.

අද රට පත්වෙලා තිබෙන තත්ත්වය ගැන තමුන්නාන්සේලාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මහ බැංකු හොරකම ගැන දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද හැමදාම මොකක් හරි හොරකමක්, මගඩියක් එළියට එන නිසා. හැබැයි මහ බැංකු හොරකමත් සමඟ බැංකු පොලී අනුපාත වැඩිවෙලා ආර්ථිකය කඩා වැටිලා මිනිස්සුන්ට ව්‍යාපාර කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.

ජාතික ආරක්ෂාව බිඳ වැටී තිබෙනවා. බුද්ධි අංශ අඩපණ වීමත් සමඟ ජාතික ආරක්ෂාව අනතුරේ වැටිලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය ගත්තත් විශාල පසුබෑමක් දක්නට ලැබෙනවා. මහින්ද මහත්තයා එදා රට භාර ගත්තේ සුනාමියෙන් විනාශ වූ රටක්. මහින්ද මහත්තයා යුද්ධයත් ඉවර කරලා රටත් සංවර්ධනය කරලා මිනිස්සුන්ට සුවසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කළා.

අපේ අඩුපාඩු තිබුණා. අපි නැහැ කියන්නේ නැහැ. මර්වින් සිල්වා, සජින් වාස් වගේ අය අපේ ආණ්ඩුවේ ප්‍රතිරූපය විනාශ කරපු බව අපි පිළිගන්නවා. යුද්ධයෙන් පසුව අපට ලැබුණු බලයත් එක්ක සමහර මහජන නියොජිතයෝ බලය අවභාවිත කරපු ආකාරය අපි දැක්කා. සමහර අවස්ථාවල මේවා සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මිනිස්සු තීරණය කළා ආණ්ඩුවට රිද්දන්න ඕනේ කියලා.

ඒ අය කළේ ජනාධිපතිවරණයේදී අනෙක් පැත්තට ඡන්දය ගහපු එක. හැබැයි ඡන්ද ප්‍රතිඵලය එනකොටම මිනිස්සුන්ට තමන් කරපු වැරැද්දේ තරම තේරෙන්න ගත්තා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසර හතරක් යනකොට මිනිස්සුන්ට මහින්ද මහත්තයාගේ අගය වැටහිලා තිබෙනවා. ඒ නිසා දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නිතියේ ආධිපත්‍ය සුරකින් සෘජු නායකත්වයකට රට භාර දෙන්නයි.

ඒ සඳහා තමයි මේ රටේ වෘත්තිකයෝ, නිතියට ගරු කරන සියලුදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ. මට එතුමා නම් කරන්න බැහැ. නමුත් ජනතාවගේ ඉල්ලීම නිසා මම එතුමාගේ නම දිස්ත්‍රික් කමිටුවේ යෝජනාවක් ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයාට දන්වලා යවලා තිබෙනවා. අගෝස්තු 11 වෙනිදට අපි විශ්වාස කරනවා රටේ ජනතාවගේ පැතුම ඉටුවෙයි කියලා.

නොයෙකුත් අභියෝග මැදයි මේ කටයුතු කෙරෙන්නේ. ගෝඨාභය මහත්මයට විරුද්ධව ඇමෙරිකාවේ පැමිණිලි දුසිමකට වැඩිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපි දැක්කා මාර්තු 31 වැනි දා දක්වා පුරවැසිභාවය ඉවත් කරගත් ලයිස්තුවේ ගෝඨාභය මහත්මයාගේ නම නැහැ කියලා පුවත්පත් වාර්තා කරලා තිබෙනවා. නමුත් ඒ කවුරුත් කියන්නේ නැහැ ගෝඨාභය මහත්මයා පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ඉල්ලීම කළෙත් මාර්තු 31 න් පස්සෙයි කියලා.

නමුත් මාර්තු 31 දක්වා ලයිස්තුවේ නම නැහැ කියලා උලුප්පලා දක්වන්න හදන්නේ ගෝඨාභය මහත්මයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියන මතවාදය රටේ හදන්නයි. සමහරු දැන් කියනවා 225 ම එපා කියලා. මේවත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ වගේ මේ ජනාධිපතිවරණයේදිත් රට තුළ විවිධාකාර මත හදන්නයි. මේවට අහුවෙන්න හොඳ නැහැ.

ජනාධිපතිවරණය ළං වෙන කොට ජනාධිපති භූතයෝ මතු වෙමින් තිබෙනවා. පල්ලෙවත්ත එන්නේ ආර්ථිකය හදන්නලු. නාගානන්ද එන්නේ රටේ ව්‍යවස්ථාව හදන්න. ධම්මික පෙරේරා එන්නේ තාක්ෂණය ගැන කතා කරමින්. මේ හදන්නේ රටේ ආණ්ඩු විරෝධය වෙනත් තැනකට යොමු කරන්නයි. රන්ජන්ලා, මංගලලා බුද්ධාගමට ගහන්නෙත් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බෞද්ධ ක්‍රිස්තියාන බේදයක් හදන්නයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති නිතිඥ සරල කරුණාරත්න මහතා.

2015 ජනාධිපතිවරණයෙන් පස්සේ රට තුළ මතුව ඇති වාතාවරණය අපි කාටත් රහසක් නොවෙයි. රටේ ආර්ථීකය, ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය වගේ කරුණු සම්බන්ධයෙන් නිතිඥවරුන් වශයෙන් තමුන්නාන්සේලා කවුරුත් හොඳින් දැනුවත් වෙලා ඉන්නවාට කිසිම සැකයක් නැහැ. රට පත්වෙලා තිබෙන මේ අවාසනාවන්ත තත්ත්වයේ දි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වාත්තිකයන් වශයෙන් අපට යුතුකමක් තිබෙනවා.

අද වන විට ජනතාවට එදා වේල කාලා ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මම එහෙම කියන්නේ නීතිඥයකු වශයෙන් මං ගාවට එන සේවාදායකයන් පත්වෙලා ඉන්න අසරණ තත්ත්වය ඇස්දෙකින්ම දැකපු නිසයි. දවසක් මං ගාවට එක සේවාදායකයෙක් ආවේ තමන්ගේ දරුවාගේ කැටේ කඩලා ඒ සල්ලි ටික දරුවගෙම මේස් කකුලක දාගෙනයි. ඒ පුද්ගලයා මට කිව්වා බස් එකේ එන්න මුදල් නැති නිසා හැතැප්ම දහයක් පයින් ආවා කියලා.

මේක තමයි අද රටේ ඇති වෙලා තිබෙන තත්ත්වය. අපි කාටත් මේක රහසක් නෙමෙයි. ඒ නිසා වහාම මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. තවදුරටත් රටක් වශයෙන් මේ වගේ ඉදිරියට යන්න අපට බැහැ. රටට වගකියන, සෘජු නායකත්වයක් අපේ ජනතාව වෙනුවෙන් පත්කර ගන්න ඕනේ. ඒ සඳහා අපි පෙරමුණ ගමු. වෘත්තිකයන් වශයෙන් අපේ යුතුකම ඉටු කරමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සංගමයේ ජාතික සංවිධායක නීතිඥ සරණ කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

***************************************

රන් මාල කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(29.07.2019 – 17:44 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක රන් මාල කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණ දිශාව භාර අපරාධ කොට්ඨාශය විසින් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පසුගිය මාස 6 ක පමණ කාලයක සිට බොරලැස්ගමුව, පිළියන්දල, මිරිහාන, මහරගම, ගල්කිස්ස සහ දෙහිවල ප්‍රදේශවල මහමග යමින් සිටි කාන්තාවන්ගේ රන් මාල කොල්ලකා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව හෙරොයින් ග්‍රෑම් 2 ක් ද සමග සැකකරු ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු රන් මාල කොල්ලකෑම්වලට යොදාගත් යතුරුපැදියක් ද සොයා ගැනුනා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් දින 7 ක රැඳවුම් නියෝග මත පරීක්ෂණ සිදුකරනවා.

මෙම සැකකරු දෙහිවල ගුවන් පාලම අසලදී සහ සොයිසාපුර ප්‍රදේශයේදී රන් මාල කොල්ලකන ආකාරය CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.

https://www.youtube.com/watch?v=B9LUF8QPJMM#t=5

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=ufefuVJwFJE#t=5
ගල්කිස්ස, ගඟදර පාර ප්‍රදේශයේදී … (08.07.2019) (මේත් ඌ මද?)

***************************************

දෙවන පාසල් වාරය අගෝස්තු මස 01 වන දායින් අවසන්

(29.07.2019 – 17:01 +0530 – hirunews.lk/sinhala)

2019 වර්ෂය සදහා දෙවන පාසල් වාරය ලබන මස (අගෝස්තු) පළවැනිදා (01) යින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවන පාසල් වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස දෙවන (02) දායි ෴

***************************************

අධිනීතිඥ අසීස්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට පැමිණිලි

(29.07.2019 – 19:16 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි ලබාදුන් රජයේ අධිනීතිඥ මලික් අසීස් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අද (29) නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කෙරුණි.

සිංහලේ ජාතික සංවිධානය හා නව සිංහල රාවය ජාතික සංවිධානය විසින්.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාකිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පසුගිය දිනක නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ මලික් අසීස් මහතා සාක්ෂි ලබාදීම සිදු කළේය.

සහරාන් සම්බන්ධ ලිපි ගොනුවක් 2017 ජූනි මාසයේ දිනක තමා හට ලැබුණු බව පැවසූ ඒ මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් නොගත් බව එහිදී පිළිගත්තේය.

ඒ අනුව සිංහලේ ජාතික සංවිධානය අද නීතිපති දෙපාර්තමේන්තුව හමුවට ගොස් රජයේ අධිනීතීඥ මලික් අසීස් සම්බන්ධයෙන් විමර්ශනයක් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ලිපියක් මගින් ඉල්ලීමක් කළේය.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව ද සිය රාජකාරිය චේතාන්විතවම පැහැර හැර ඇති බැවින් ඊට අදාළ නිලධාරියා හා හිටපු නීතිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලමින් නව සිංහල රාවය ජාතික සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *