ගෝටාගේ වියත්මගට දැඩි බාධා..

(30.07.2019 – 16:40 +0530 – lankacnews.com)

‘රට සහ හෙට’ මැයෙන් වියත්මග සංවිධානය මගින් කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේ පැවති සම්මන්ත‍්‍රණයේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය :

ගෝඨාභය රාජපක්‍ෂ මහතා සභාපතිත්වය දරන වියත්මග සම්මන්ත්‍රණ රටපුරා පවත්වන්නේ දැඩි බාධා මධ්‍යයේයි. නමුත් ඒ බාධා මධ්‍යයේ දැනුම පිපාසයෙන් සිටින ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. මේ රට අද තිබෙන්නේ දැඩි ව්‍යාකූල තත්ත්වයකයි. රටේ නායකත්ව අර්බුදයක් තිබෙනවා. 2009 දී තිස් වසරක් තිස්සේ තිබූ යුද්ධය අවසන් කළා. 2014 වසර වන විට අප රට මුළු ලෝකයේ අවධානයට ලක් වූ රටක්ව තිබුණා. නමුත් අවාසනාවකට අද අප රටේ යථාර්ථය එදාට වඩා වෙනස්. 2014 දී ආර්ථික සංවර්ධන වේගය තිබුණේ සියයට 7.3 යි. ඒ වෙලාවේ මහ බැංකුව පුරෝකථනය කළා ඉතිරි වසර පහ ඇතුළත සියයට 8 ක පවත්වාගෙන යන්න හැකියාව තිබෙනවා කියලා. ඒ ආකාරයට ගියා නම් මේ වන විට ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 127 ක ආර්ථිකයක් විය යුතුව තිබුණා. නමුත් යථාර්තය එහෙම වුණේ නැහැ. බලපෙරළියෙන් පසුව වසරින් වසර ආර්ථික සංවර්ධන වේගය කඩාවැටුණා. දැන් සියයට 3 ක ආර්ථික සංවර්ධන වේගයක් තිබෙන්නෙ.

මේ රජය බලයට ගෙනාවේ ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතිවයි. නමුත් බලයට ගෙනාවේ රටක් පාලනය කළ හැකි පාලකයන් නෙමෙයි. අවශ්‍ය වුණේ මහින්ද රාජපක්‍ෂ රජය පලවා හැරීම පමණයි. ඔවුන්ට කිසි සැලැස්මක් නැහැ. ඔවුන් අවධානය යොමු කළේ මේ වසර පහ වගේම ඊළඟ වසර පහත් බලයේ ඉන්නයි. දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කළා. එහි ප්‍රතිඵලයක් රට දුර්වල වුණා. රාජ්‍ය සේවය අකර්මණ්‍ය වුණා. රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමෙන් වැළකුණා. මේ රාජ්‍ය සේවයෙන් කිසි වැඩක් කර ගන්නේ බැරි ඒ නිසයි. වත්මන් රජය බලයට ඒමට මූලික තේමා පාඨය කර ගත්තේ මහින්ද රාජපක්‍ෂ රජයේ දූෂණයයි. එම රජය අතිශයින් දූෂිතයි කියා රටේ මතයක් ඇති කළා. ජනතාව ඒවා පිළිගත්තා. ලැම්බෝගිනි, ඩුබායි ගිණුම්, රත්තරන් අශ්වයන් ගැන කතා කළා. ඒ දූෂණය යහපාලන රජය නැති කරනවා කියා බලයට ආවා.

නමුත් මේ අයගේ දූෂණය වෙනස්. යහපාලනර රජය හොරකම් කළේ එළිපිට නෙමෙයි. සුදු කරපටි හොරකම් තමයි කළේ. දින 50 ක් ඇතුළත බැඳුම්කර හොරකම සිදුකළා. ඉතාමත්ම සංකීර්ණව සිදුකළ හොරකමක්. රටේ සාමාන්‍ය ජනතාවට ඒවා තේරුම් ගන්න බැහැ. පළමු හොරකම කෝටි 2000 යි. ඒ වගේම විදේශීය ශ්‍රමිකයන්ට ඩොලර් 60 ක් පමණයි රක්‍ෂණ ගාස්තු වශයෙන් මේ රජයට බලයට ඒමට පෙර තිබුණේ. එම රක්‍ෂණය ආයතන තුනකින් ලබා ගැනීමට තිබූ රක්‍ෂණය එක ආයතනයක් බවට පත් කරගෙන ඩොලර් 100 ක් දක්වා වැඩි කරලා ඩොලර් 40 ක් අහිංසක විදේශීය ශ්‍රමිකයන්ගෙන් ගසාකෑවා. මහපොළ ව්‍යාපෘතියෙන් හොරකම් කළා. අයවැයත් භාවිතා කළා හොරකම් කරන්න. මෙවැනි සුදු කරපටි හොරකම් තවත් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

මාර්තු මස විදුලි අර්බුදයක් ආවා. දිනකට පැය කිහිපයක් විදුලිය කප්පාදු කළා. තුර්කි නැවක් ගෙනැත් විදුලි අර්බුදයට විසඳුමක් දුන්නා. මේක පිටුපස මහා මාෆියාවක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය සමයේ විදුලි කප්පාදුවක් තිබුණද? හිටපු රජය කෙරළවලපිටිය, ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ බලාගාර හැදුවා. 2015 න් පසුව තිබූ සියලුම විදුලි බලාගාර සැලසුම් අවලංගු කළා. ඒ අවලංගු කිරීම තුළින් හොරකම් කළා. විදුලි අවශ්‍යතාවට අනුව විදුලිය මිලදී ගත්තා. හදිසි විදුලිය ගත්තේ ටෙන්ඩර් නැතිවයි. 2019 මෙගාවොට් 720 ක් මිලදී ගන්න අවශ්‍යයි. දැන් ආණ්ඩුව දෙගුණයක් ගෙවලා විදුලිය මිලදී ගන්නවා. එහි වන්දි ගෙවන්නෙ කවුද? මේ රටේ ජනතාවයි.

මේ ආණ්ඩුව ගැන දේශීය විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසක් නැහැ. රටේ ආර්ථිකයේ කැඩපත කොටස් වෙළෙඳ පොළයි. ආයෝජකයන්ගේ විශ්වාසය තිබෙන්නේ කොටස් වෙළෙඳ පොළ ඉහළ යෑම තුළින් පමණයි. මේ රජය කොටස් වෙළෙඳ පොළ පහළට දැම්මා. මහින්ද රාජපක්‍ෂ රජය තුළ කොටස් වෙළෙඳ පොළ ඉහළට ගියා. මේ රජය පසුගිය රජයේ ණය ගැන කතා කරනවා. රාජපක්‍ෂ යුගයේ ණය අරන් රටට වැඩක් කළා. යුද්ධය අවසන් කළා. රට සංවර්ධනය කළා. වරාය, ගුවන් තොටුපළ, විදුලි බලාගාර ඇතුළු සංවර්ධනයක් රටේ ඇති වුණා. ඒ කළ දේවල් ඇහැට පේන්න තිබෙනවා. 2005 දී රටේ සමස්ත ණය තිබුණේ රුපියල් බිලියන 2200 යි. වසර නමයක් තුළ රුපියල් බිලියන 5900 ක් ණයට අර ගත්තා. නමුත් 2014 සිට 2018 වසර අවසානය දක්වා රුපියල් බිලියන 6600 ක් ණයට අරන් තිබෙනවා. නමුත් කළ සංවර්ධනයක් තිබෙනවාද? ණයබර වැඩි කරනවාට සමානව ජනතාවගෙන් බදු අය කරනවා.

ඇවන්ගාඞ් ආයතනයෙන් රටට පාඩුවක් නැහැ. එහෙම වුණා නම් කියන්නේ කුහකකම නිසයි. ඇවන්ගාඞ් කියන්නේ සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයන් මෙල්ල කිරීමට ඇති කළ ව්‍යාපාරයක්. නෞකාවල ආරක්‍ෂාවට තිබූ අවි ආයුධ තබා ගැනීම තුළින් කෝටි ගණනක් රටට ආවා. විශ්‍රාමික ආරක්‍ෂක අංශවල සාමාජිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිවුණා. අපේ රටේ ව්‍යාපාර විනාශ කළා. එහෙම කරන විට රටක් විදිහට ඉදිරියට යන්නෙ කොහොමද? දැන් කසළ ගොඩක් ගැන කතා වෙනවා. ඒක වුණේ 2012 කියලා සමහරු කියනවා. වගකීම ගත යුත්තේ අදාළ සමාගමයි. නීතියෙන් බේරිලා කටයුතු කරන්න බැහැ. නමුත් මේ අය කරන වැරදි පිටපටවන්නේ පසුගිය රජයටයි. මේ රජයේ බැරිකම වසා ගන්නේ පසුගිය ආණ්ඩුවට චෝදනා කරලයි.

යුද්ධය අවසන් කිරීමෙන් පසු අපි ආඩම්බරයෙන් ජීවත් වුණා. දැන් අපේ රට ගැන ආඩම්බරයක් නැහැ. පාලකයන් විදේශීය නායකයන්ගේ වහල්ලු බවට පත්වෙලා. යමක් ලැබෙනවා නම් ඕනෑම රටක් ඉදිරියේ දණගහන්න සූදානම්. මේ දීනත්වය නිසයි අපේ රට විදේශීය රටවල්වලට යටත් වෙන්න යන්නේ. සල්ලි දෙනවා නම් අම්මා අප්පා හරි විකුණනවා. අද අපි ඇමරිකාවේ වහලෙක් බවට පත්වෙලා. මීට පෙර ඇමරිකාව අප රට ගැන හොයා බැලුවේ නැහැ. දැන් මේ අත්සන් කිරීමට යන ගිවිසුම්වලට රටට අත්වන ඉරණම භයානකයි. අපිට මීට පෙර තිබුණා නිවැරදි රජයක්. අපි මේ යථාර්ථය ගැන දිගින් දිගටම කතා කළ යුතු නැහැ. මේ ආණ්ඩුව වෙනස් කළ යුතුයි. ආණ්ඩුව වෙනස් කරලා ජනතාවට අවශ්‍ය ජීවත් විය හැකි පරිසරයක් බිහි කළ යුතුයි. රටේ ජීවත්වන සෑම පුරවැසියෙක්ටම ජීවත් විය හැකි සුරක්‍ෂිත පරිසරයක්, අනාගතයක්, ආදායමක් සකස් කළ යුතුයි. ඉදිරි රජයක් තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් නිර්මාණය කරනවා. එවැනි දක්‍ෂ නායකත්වයකට රට භාරදීමට සියලුම දෙනා ඒකරාශී විය යුතු කාලය එළැඹ තිබෙනවා.

– වියත්මග මාධ්‍ය ඒකකය

+++++++++++++++++++++

***************************************

අගෝස්තු 1 දා සිට ගාලු කුමාරිය අලුත් වෙයි

(30.07.2019 – 16:35 +0530 – lankadeepa.lk)

ලබන 1 දා සිට මරදාන – බෙලිඅත්ත සහ බෙලිඅත්ත – මරදාන අතර ධාවනය කෙරෙන ගාලු කුමාරි දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ එස් – 13 වර්ගයේ නවීන ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.

මෙම නවීන බලවේග කට්ටල දුම්රියට වායු සමනය කළ මැදිරි දෙකක් ද එක්කර තිබෙන බව නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.සී.රංජිත් පත්මලාල් මහතා පැවසීය.

දැනට මෙම ගාලු කුමාරි දුම්රිය සඳහා යොදවා තිබෙන්නේ එස් – 12 වර්ගයේ බලවේග කට්ටල දුම්රියකි. නව දුම්රිය සඳහා වායු සමනය කළ මැදිරි දෙකක් ද ඇතුළත් වේ ෴

***************************************

නරක් වූ පලතුරු යොදා බීම සැකසූ අවන්හල් 2 කට දඩ

(30.07.2019 – 12:44 +0530 – lankadeepa.lk)

පිටකොටුවේ ඉවත දමන නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් දෙකක හිමිකරුවන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා රුපියල් 5,000 බැගින් දඩයක්ද නියම කර, දැඩි ලෙස අවවාද කළ බව කොළඹ මහනගර සභාවේ නාගරික ආහාර පරීක්ෂණ ලාල් කුමාර මහතා පැවසීය.

නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් වැටලීම සඳහා කොළඹ මහනගර සභාව ආරම්භ කළ මෙහෙයුමකදී, කොටුව දුම්රියපළ ඉදිරිපිට පාලම යට පවත්වාගෙන ගොස් තිබූ මෙම බීම අවන්හල් හඳුනාගෙන නඩු පැවරූ බවද ඒ මහතා කීය.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාට ලැබී තිබූ පැමිණිලි ගණනාවක් මත ඒ මහතාගේ උපදෙස් පරිදි පිටකොටුවේ අවන්හල් 40 ක් පරීක්ෂා කළ බවද කුමාර මහතා පැවසීය.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පිටකොටුව, ඕල්කට් මාවතේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් පවත්වාගෙන ගිය හෝටල් 7 කට නඩු පැවරූ බවද හෙතෙම කීවේය ෴

***************************************

ඇමතිගේ ඡායාරූපය පෙළපොතට දැමීම ගැන ජනපති කොමිසමට පැමිණිළි කළ අධ්‍යක්ෂකට මාරුවක්

(30.07.2019 – gossiplankanews.com)

පාසල් පෙළපොත්වලට අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළකිරීම පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ සැපයුම් අධ්‍යක්‍ෂවරයාට නීතිවිරෝධී ස්ථාන මාරුවමක් ලබාදී තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

අකිල විරාජ් අධ්‍යාපන ඇමතියා

මේ පිළිබද ඊයේ (29) රජයේ වංචා, දූෂණ සොයන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ බවත්, මෙම ස්ථාන මාරුවීම අවලංගු නොකළහොත් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් ඒකාබද්ධ කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

සැපයුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ අදාළ නිලධාරීයා අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධාරියකු බවත්, ඔහු මේ වනවිට කාර්යභාරයක් නොමැති නිලධාරියෙකු බවට පත්කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයා තම නිරවද්‍යතාවය තහවුරු නොකර නිලධාරීන් දඩයම් කිරීමේ පිළිවෙතක නිරත වන බවත්, අධ්‍යාපනය තුළ සිදු වූ වංචා, දූෂණ පිළිබඳ සාක්ෂි ලබාදෙන නිලධාරින් දඩයම් කිරීම හරහා ගැටලු රැසක් නිර්මාණය වන බවත් ලේකම්වරයා පැවසීය.

මේ හේතුවෙන් වහාම අදාළ නිලධාරියාගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට අධ්‍යාපන ලේකම්වරයා කටයුතු කළ යුතු බවත්, එම ස්ථාන මාරු ලබාදී තිබෙනුයේ අධ්‍යාපන ලේකම්වරයා විසින් බවත් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය ෴

***************************************

බල්ලාට ගැසූ පාරේ ගිය පුද්ගලයා ගෙහිමියාගෙන් මැරුම් කයි

(29.07.2019 – gossiplankanews.com)

අසල නිවෙසක ඇතිදැඩි කළ බල්ලෙකු පාරේ යමින් සිටි අයෙකු සපා කෑමට පැමිණි අවස්ථාවේ නිවැසියන් හා පාරේ යමින් සිටි අය අතර ඇතිවූ බහින්බස් වීමක් පහරදීමක් දක්වා දුරදිග යාමෙන් පාරේ ගමන් කළ අය මරණයට පත්වීමේ සිදුවීමක් පොල්ගහවෙලින් වාර්තාවෙයි.

මරණයට පත්වී ඇත්තේ පොල්ගහවෙල කැන්දගොල්ලවත්තේ පදිංචි එල්. ආරියවංශ නමැති එක්දරු පියෙකි. ඔහු තම බිරිද හා දියණිය සමග හිතවතෙකුගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදී මෙම සිද්ධිය වී තිබේ.

බල්ලා සපා කෑමට පැමිණි අවස්ථාවේ ඔහු ගල් කැටයක් ගෙන බල්ලා එළවා දමන විට නිවසේ සිටි තරුණයන් දෙදෙනකු ඔහුට බැණ වැදි ඇත. ආරවුල දුරදිග ගොස් තරුණයන් දෙදෙනා පාර් ගිය අයට අතින් පයින් හා පොලු වලින් පහර දි තිබේ. පහර කා බරපතළ තුවාල ලද අය පොල්ගහවෙල රෝහලටත් එයින් පසු කරුණෑගල රෝහලටත් ඇතුළත් කළ පසු ඔහු රෝහලේදී මියගොස් ඇත.

මරණය පිළිබඳ සැකපිට පොල්ගහවෙල කොස්වත්ත පුහුරියේ තරුණයෝ දෙදෙනෙක් පොල්ගහවෙල පොලීසීය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් එක් අයෙකු යුද හමුදා සෙබළෙකු බව පැවසේ. සැකකරුවන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය ෴

***************************************

තහනම් කළ සංවිධානය යටතේ අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ඥාතියෙක් කොටු

(30.07.2019 – nethnews.lk)

නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) රාත්‍රි 10.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඒ ලැබුණු තොරතුරකට අනුවයි.

තහනම් කරන ලද අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් යන අය විසින් නුවරඑළිය ප්‍රදේශයේ මෙම අවි ආයුධ පුහුණුවීම් හා දේශණ පවත්වා තිබුණා.

සැකකරු වයස අවුරුදු 28 ක් වූ අංක 382/02, කැකුණගොල්ල කටුපොත පදිංචි මොහොම්මදු අබ්දුල් කාදර් අසීම් නැමැත්තෙක්.

මෙම සැකකරු සහරාන් යන අයගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන අතර මෙම සැකකරුගේ මවගේ සහෝදරිය විවාහවී සිටින්නේ නවුපර් මව්ලවී සමග බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

අද උපන් සිගිති බිළිඳියටත් කාතිවරයා කැමත්තෙන් විවාහයක්.. මුස්ලිම් විවාහ පනතේ භයානක කම මෙන්න..

(30.07.2019 – 22:39 +0530 – lankacnews.com)

‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ සම්මන්ත්‍රණයේ දී පිවිතුරු ‌හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

ල රිෂාඩ්ලා, සාලිලා,හිස්බුල්ලලා, සාෆිලා ගැන අපි නිතරම අහනවා. ඒ නිසා මම හිතුවා අද අපි කතා කරන්න අවශ්‍යයි මේ අපේ රටේ, මහත් ආඩම්බරයෙන් ශිෂ්ටාචාරය ගැන කතා කරන රටේ, තියෙන අශිෂ්ඨ නීතියක් පිළිබඳව. අපි මෙහෙම නීතියක් එක්ක ජීවත් වෙනවා කියන කාරණය පිළිබඳ තමුන්නාන්සේලා දැනුවත් කරන්න අවශ්‍යයි. ඒ තමයි මේ රටේ 1951 සිට ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත. මේ පනත වෙනස් කරන්න ඕනෑ කියන හඬ පාස්කු ‌බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මුලින්ම රටට කිව්වේ විමල් වීරවංශ මන්ත්‍රිතුමාත් මමත් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තියලා. අද අපි නගපු ඒ පුංචි ගිනිදැල්ල මහා ගිනි ජාලාවක් බවට පත්වෙලා අන්තවාදීන්ගේ හිස් මොළ රත්කරන තත්වෙට පත්වෙලා. අටලුගම මුස්ලිම් කාන්තාවන්ගේ අඳෝනාව ආවේ, බදුල්ලෙන් මුස්ලිම් කාන්තාවන් එලියට ඇවිල්ල මාධ්‍යයට දුක කියන්න එඩිය ආවේ ෆේරියල් අශ්රොෆ් මැතිනිය වැනි අයට තවදුරටත් බලා සිට නොහැකිව මුස්ලිම් කාන්තාවන්ගේ නායකත්වය දෙන්න අධිෂ්ඨානය ආවේ අපි මේ වහාබ් අන්තවාදයට එරෙහිව මේ පොළොවේ බීජයක් පැල කරපු නිසයි.

විවාහය ද? පාසල ද?

මොකක්ද මේ පනත. බොහෝ දෙනෙක් නම් දන්නෙ අපිට එකයි ඒගොල්ලන්ට හතරයි කියලා. කසාද බඳින විට අපිට එක බිරිදක් වුණාට මුස්ලිම් අයට හතරදෙනෙක් බඳින්න පුළුවන් කියලා තමයි මුස්ලිම් විවාහ නීතිය ගැන බොහෝ දෙනා දන්නේ. ඒකත් ඇත්ත තමයි. ඉන්න බිරිඳගෙන් අහන්නෙවත් නැතිව, ඉන්න බිරිඳට දැනුම් දෙන්නෙත් නැතුව, තවත් බිරින්දෑවරු තුනක් දක්වා ගේන්න මුස්ලිම් අයට නීතියෙන් ඉඩක් දීලා තියනවා.

තමුන්නාන්සේලාට මතක ඇති මැයි මාසයේ මුල් සතියේ විශේෂ කාර්ය බලකාය ගිහිල්ලා මීගමුවේ පොරුතොට සැකකටයුතු නිවසක් වට කලා ජනතාව දුන් ඔත්තුවක් මත. දැවැන්ත ගොඩනැගිල්ලක්. ගෙදර ගෘහමූලිකයා ආවාම ඔහුගෙන් මුලින්ම අහනවා මේ මොකක්ද? මේ මගේ ගෙදර කියලා ඔහු පිළිතුරු දෙනවා. හමුදාවත් පුදුම වෙලා අහනවා කවුද මේ ගෙදර ඉන්නේ කියලා. මගේ පවුලේ අය විතරයි. පවුලෙ කීයක් ඉන්නවද? නෝනලා 4 යි ළමයි 28 යි. රස්සාව ? රස්සාවක් කරන්න බෑනේ දෙයි හමුදුරුවනේ ළමයි 28 යි නෝනලා 4 යි බලාගන්න කොට. රස්සාවක් කරන්නේ නෑ පල්ලියෙන් ගෙදර වියදමට සල්ලි දෙනවා. ඒ බිරින්දෑවරු හතර දෙනෙක් ලබාගැනීමේ ආනිසංස. ඒක අපි හැමෝම දන්නවා.

හොඳයි ඔබ දන්නවද ලංකාවේ ඕනෑම විවාහයකදී, ඔබත් මමත් විවාහ වෙද්දි, අපි කියනවා අහවල් තැනැත්තිය මගේ බිරිද ලෙස භාරගන්නට මම කැමැතියි කියලා. එවිට බිරිඳ කිව්වා උදය ගම්මන්පිලව මගේ සැමියා විදිහට භාර ගන්න කැමතියි කියලා. නමුත් අහිංසක මුස්ලිම් කාන්තාවන්ගේ ඒ අයිතිය නෑ. මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ පොතේ මනමාලිට අස්සන් කරන්න තැනක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ තාත්තට හෝ පිරිමි භාරකරුවට. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මිත්‍රවරුනේ. අපේ විවාහ නීතිය හැටියට නම් විවාහ වෙන්නට අවුරුදු 18 සම්පූර්ණ කළ යුතුය. නමුත් මුස්ලිම් විවාහ නීතියේ වසර දොළහකට වැඩි ඕනෑම දියණියක් කසාද බන්දන්න තාත්තට අයිතිය තියෙනවා.

මට මීට සති තුනකට කලින් මැදපෙරදිග ඉඳන් කාන්තාවක් එවුවා පණිවිඩයක්. ඇය කියනවා මම කන්තලේ වනේසා කියන මුස්ලිම් ගමේ. මගේ පුතාගේ පන්තියෙ ඉන්න අවුරුදු 12 ක දියණියකගේ තාත්තා දුවගේ කැමැත්තකින් තොරව අවුරුදු හතලිස් ගානක වැඩිහිටි මුස්ලිම් මනුෂ්‍යයෙකුට බන්දන්න යනවා. ඒ දුව අඬඅඬා, පන්තියේ කියනවා, අනේ මට කසාද බඳින්න බෑ. මට මේව තේරෙන්නෙ නෑ. මට ඉස්කෝලෙ එන්ට ඕනෑ, මට විභාග වලට ලියන්ඩ ඕනෑ, මට ඕගොල්ලො එක්ක සෙල්ලම් කරන්න ඕනෑ, අනේ මාව බන්දලා දෙන එක නතර කරන්න කියලා. මේ පුතා අඬ අඬා පිටරට ඉන්න අම්මත් එක්ක තමන්ගේ යෙහෙළියගේ ඉරණම ගැන කියනවා. අම්මා මට මොනව හරි කරන්න පුළුවන් වෙයි කියලා හිතලා මට මේ පණිවිඩය එවනවා. මේ ආදරණීය අම්මාට මං පිළිතුරක් යැව්වා අනේ අම්මේ මමත් අසරණයි, මේ තාත්තා කැමති නම් දුව කෙතරම් පුංචි වුනත් දුව කෙතරම් අකමැති වුනත් දුවට සෙල්ලම් කරන්න පාසල් යන්න ඕන වුනත්. කසාද බන්දල දීම අපේ රටේ හැටියට නීත්‍යනුකූලයි. කරන්න දෙයක් නෑ. අම්මේ අපි මේ නීතිය වෙනස් කරගන්න සටන් කරනවා. ඔබ දන්න හිතමිතුරන්ට මේ නීතිය වෙනස් කරන සටනට සහයෝගය දෙන්න කියන්න.

කාතිවරයා කැමති නම් අද උපන් සිගිති බිළිඳියටත් විවාහයක් ?

ඒ විතරක් නෙවෙයි මුස්ලිම් විවාහ නීතිය අනුව කාතිවරයා කියලා කෙනෙක් ඉන්නවා. ප්‍රදේශයේම මුස්ලිම් පිරිමි කෙනෙක් පත් කරනවා විවාහ නීතියේ පරිපාලකයා විදිහට. මේ කාතිවරයා කැමති නම් අද උපන් සිගිති බිළිඳියක් වුවත් කසාද බැන්ඳිය හැකියි. ආරාබියේ නෙවෙයි මිත්‍රවරුනේ සිරිත් පිරි ලංකාවේ. අද උපන් දියණියක් කසාද බන්දන්න පුළුවන් තාත්තා කැමති නම්. අද නැගෙනහිර පළාතේ ග්‍රාමිය ප්‍රදේශ වල තාත්තා ලස්සන ගැහැණු ළමයෙක් දැක්කම තාත්තට දෙවැනි විවාහය කරගන්න ඕන උනාම තාත්තා මොකද කරන්නේ. අපේ වගේ නෙවෙයි මුස්ලිම් විවාහ නීතියේ දෑවැද්ද දෙන්නේ මනමාලයා විසින් මනමාලිගේ පැත්තට. අත්සන ගහන තාත්තට. තාත්තට දෙවෙනි විවාහයක් කරගන්න දැන් සල්ලි ඕන. මොකද කරන්නේ. පාසල් යන දියණිය කනෙන් ඇදන් ඇවිල්ලා කාට හරි වැඩිහිටි මනුස්සයෙක්ට බන්දලා දීලා මහර් කියන දැවැද්ද අරගෙන ඒ දෑවැද්ද තමන්ගේ හිත ගිය දියණියගේ තාත්තට දීලා ඒ ගෙදර ඉන්න පුංචි කෙල්ල ගෙදරට අරන් එනවා. නීත්‍යනුකූලයි. අද උපන් දියණියක් බන්දන්න පුළුවන් තරම් අශීලාචාර නීතියක් තියෙන රටක අපි ඉන්නෙ. ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියලා අපි ආඩම්බරයෙන් කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ගිහින් කියනවා අපේ රටේ සාක්ෂරතාව ඉතා ඉහළයි අවුරුදු දහතුනක් අනිවාර්ය පාසල් අධ්‍යාපනය දෙනවා කියලා. පාසල් නොගිය සිඟිති දියණියක් කසාද බන්දන්න නීතියෙන් අවසර දෙනවා නම් කෝ මෙතන වසර 13 නේ අනිවාර්ය පාසල් අධ්‍යාපණය.

ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනේ දික්කසාදයේදී සැමියා බිරිඳට තුන් වතාවක් ‘තලාක් කලාක් තලාක්’ කියලා කිව්වොත් කසදය ඉවරයි. කිසිම හේතුවක් දක්වන්න අවශ්‍ය නැහැ. උදේ පාන්දර හිනාවුනේ නෑ කියලා හිතුණොත් ඒ හොඳටෝම ඇති. දැන් පොඩ්ඩක් නීතිය වෙනස් කරල තියෙනවා. සැමියට දික්කසාද වෙන්න ඕනේ නම් කතිවරයාට දැනුම් දෙන්න ඕන. එයා පළමු දින 30 තුළ මේ දෙන්නව සමගි කරන්න බලන්න ඕන. සමගි කරන්න බැරි නම් කතිවරයා ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරියේ බිරිඳ හිටියත් නැතත් ‘තලාක් කලාක් තලාක්’ කියලා කව්වම කසදේ හමාරයි. හැබැයි බිරිඳට එහෙම දික්කසාද වෙන්න බෑ. බිරිඳ කාතිවරයා ඉදිරියේ සැමියා තමන්ට කෘර ලෙස සලකනවා කියල ඔප්පු කරල පෙන්නන්න අවශ්‍යයි. කාතිවරයා කියන්නේ කවුද? ප්‍රදේශයේ ඉන්න තම සැමියගේ යාළුවෙක්. ඒ කාතිවරයා තවත් පිරිමි මුස්ලිම්වරු තිදෙනෙක් තෝරා ගන්නනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. මේ අය ඉදිරියේ තමන්ගෙ නඩුව කියන්න ඕන. හැබැයි නීතීඥවරු ගෙනියන්න බෑ. කාතිවරයෙක් විදිහට කාන්තාවකට පත්වෙන් බෑ. අර තුන්දෙනාටත් කාන්තාවකට පත්වෙන්න බෑ. මේ කාන්තාවන් උසුලු විසුලු වලට ලක්වෙලා තමන්ගේ දික්කසාද වුවමනාව අකුල ගන්න සිදුවෙනවා.

සාලිට පිළිතුරක්

ඒ නිසා අද එය මේ විවාහ නීතිය වෙනස් විය යුතුයි කියලා අපි කිව්වාම අසාද් සාලි මහත්මයා අපිට කියනවා ‘උඹලගේ වැඩක් උඹලා බලාගනිල්ලා අපේ නීතියේ අපි බලා ගන්නම්’ කියලා. අපි සාලි මහත්මයාට මතක් කරනවා මුස්ලිම්වරු ලංකාවට ආවේ බිරින්දෑවරු අරගෙන නෙවෙයි. ඔය බැන්දේ සිංහල අපේ අය. ඔය අපේ නැන්දලා, ඔය අපේ අක්කලා, ඔය අපේ නංගිලා ඒ අයට අමානුෂිකව සලකනවා නම් අපේ පපුව කකියනවා. අපේ නැන්දලා අක්කලා නංගිලා ගැන අපිට කැක්කුමක් නැත්නම් කාටද කැක්කුමක් තියෙන්නේ කියලා අපි සාලි මහත්තයාගෙන් අහන්න කැමතියි. ඒ නිසා අපේ සහෝදරියන්ට තවදුරටත් අමානුෂිකව සලකන්න මේ පිංබිමේ ඉඩදෙන්නේ නෑ කියලා අපි අසාත් සාලිට ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි.

මුස්ලිම් සමාජය සහ මේ ආණ්ඩුව වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට

ඒ නිසා අපි කියනවා එක පිරිමියාට එක බිරිඳයි. කසාද වයස අවුරුදු 18 යි. මනමාලිගෙ කැමැත්ත විවාහයට අනිවාර්යයි. සාධාරණ හේතුවක් නැතිව දික්කසාද කරන්න කාටවත් බෑ. කාතිවරුන් විදිහට කාන්තාවන්ට වැඩ කරන්න අයිතිය තිබිය යුතුයි. කාති උසාවියේ නීතිඥයන් හරහා කරුණු දැක්වීමේ අයිතිය තිබිය යුතුයි. මේ යොජනාව 2009 අපේ ආණ්ඩුවෙන් මේ අශීලාචාර නීතිය වෙනස් කරන්න කමිටුවක් පත් කළා. මුස්ලිම් ලෝකයේ ඉන්න ඉහලම විද්වතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුෆ් ඒකට පත් කළා. කමිටුව රැස් වුණාම මේකට විද්වතුන් ඔක්කෝම ඒකඟයි. රවුෆ් හකීම් මුස්ලිම් ක්‍රොම්රසයේ නායකයත් එකඟයි. නමුත් උලමාවරුන් විරුද්ධ වෙච්ච නිසා මේ වැඩේ කරන්න බැරි වුණා. 2017 කමිටුව කියනවා අපි පක්ෂයි බහුතරය විරුද්ධයි වැඩේ කරන්න බෑ කියලා. අද ඒ නිසා මෙය නීතිය ක්‍රියාත්මක කරගන්න බැරුව හිර වෙලා තියෙනවා. මේකෙන් පේන්නේ මොකක්ද අද සලීම් මර්ෂුෆ් වැනි විද්දවතුන්ට රවුෆ් හකීම් වැනි දේශපාලන නායකයින් ට මුස්ලිම් සමාජයට බලපෑමක් කරන්න බෑ. මුස්ලිම් සමාජය වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවෙලා ඉවරයි. අද ඔවුන් බේරාගැනීමේ සටනයි අපි මේ පටන් අරන් තියෙන්නේ. මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි අපේ හාමුදුරුවරු ද මේ ආණ්ඩුව ද වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා ඉවරයි.

සහරාන් පරලෝකයේ ඉදන් හිතන හැටි

රිෂාඩ් බදුර්ඩින්ට නිශ්චිත චෝදනා 10 ක් එක්ක අපි විශ්වාසබංග යෝජනවක් භාර දුන්නා. මොකද උනේ කුණු ලොන්ඩරියක් දැම්මා තේරීම්කාරක සභාව කියලා. අපිට කිව්වා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්නේ කියලා. අපි විශාල ෆයිල් දෙකක් අරන් ගිහිල්ලා බාරදුන්නා. පොලීසිය රිෂාඩ් බදුර්ඩින්ගෙන් ඒක ප්‍රකශයක් ගන්නේ නෑ. කිසිම විමර්ශනයක් කරන්නේ නැහැ. පොලිසිය තේරීම් කාරක සභාවට දැනුම් දෙනවා ඔහු වරදක් කළ බවට අපිට සාක්ෂි ලැබී නැත. ඔහු නිදහස්. මෙහෙයුම ගිහිල්ලා සහරාන් පරලෝකයේ ඉදන් මෙහෙම හිතනවා ඇති, අපරාදේ මම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත්තේ, ‌බෝම්බය සෙට් කරලා රිමෝට් කොන්ට්‍රෙල් එකකින් ඕක පුපුරවා හැරියා නම් මටත් මේවගේ නිදහස් වෙලා ශෝක් එකට ගෙදරට වෙලා ඉන්න තිබුණා කියලා.

මේ යන යැවිල්ලේ හැටියට අපේ හාමුදුරුවනේ කාදිනල්තුමායි පල්ලි ගිය අයයි වැරදිකරුවන් වෙලා මේ සියල්ලන් නිදහස් වෙනවා සිකුරුයි. ඒ නිසා නුදුරු මාස හතර ඇතුලත පත්වෙන අපේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ ජනාධිපති කොමිසමක් පත් කරනවා, අපක්ෂපාතීව විමර්ශනය කරලා, වැරදි කල සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් කරනවා. තුවාල වූ සෑම සිතක්ම සුවපත් කරනවා. ඒ ප්‍රතිඥාව අපි ලබාදෙන මේ අවස්ථාවේදී.

අපි මේ සටන නවත්වන්නේ නැහැ

අපි මුස්ලිම් සමාජයට කියන්නේ මුස්ලිම් සමාජය අද උණු ජල හැලියක තැම්බි තැම්බි පිච්චි පිච්චි ඉන්නේ. ඒ ලෝදිය හැලියෙන් වතුර බින්දු කිහිපයක් අපේ ඇගට විසිවීමක් විතරයි අප්‍රේල් මාසේ විසි එක් වෙනිදා උනේ. ඔබයි පිඩාවට පත්වෙලා ඉන්නේ. ඔබට අවශ්‍ය ආත්ම ශක්තිය ලබා දෙන්න අපි ලෑස්තියි. මේ වහාබ් අන්තවාදය කෙතරම් මඩ ගැහුවත් කෙතරම් තර්ජන ගර්ජන කරත් එය පරාජය කර අවසන් වන තුරු අපි මේ සටන නවත්වන්නේ නැහැ.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *