පාස්කු ප්‍රහාරය හම්බන්තොට වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක් – ආචාර්ය විජේදාස රාජපක්ෂ

(30.07.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරය හම්බන්තොට චීන වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාවට බාධාවක් වන මෙම ගිවිසුම අහෝසි කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ඉඩම් විකිණීම රනිල්ගේ ප්‍රයත්නය. රනිල්ට මතක් කරනවා. ජනතා ඉඩම් කොල්ලකෑම මහබැංකුව කොල්ලකෑම තරම් පහසු නැහැ. ඕන අභියෝගයකට සූදානම්. ජනපතිවරණයට ඉදිරිපත් වුණොත්. ඇප නැතිව ගෙදර යවනවා.

පාස්කු බෝම්බයට ත්‍රස්තවාදීන් පාවිච්චි කළා. අමෙරිකාව සහ යුරෝපයේ කුමන්ත්‍රණයක්. ඒ රටවල් ආණ්ඩුවට අනතුරු ඇඟවූවා. හම්බන්තොට වරාය චීන සමාගමකට දුන්නොත්. රටට අනාගතයක් නැහැ කියලා.

ජාතිවාදී ගැටුම් ඇතිවුණා. මේ සියල්ල හම්බන්තොට ගිවිසුමේ ප්‍රතිඵල. ජාතික ආරක්ෂාවට බාධාවක්. ගිවිසුම අහෝසි කළ යුතුයි. විකුණද්දි ණය ඩොලර් බිලියන 60 යි. දැන් ඩොලර් බිලියන 85 ඉක්මවලා. මෙරට විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක්. රනිල් ප්‍රමුඛ නඩය කරනවා.”

+++++++++++++++++++++

***************************************

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දකී

(30.07.2019 – 18:33 +0530 – sinhala.adaderana.lk)

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක තිබේ.

අද (30) පෙරවරුවේ මහනුවරට ගිය ඒ මහතා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

මෙහිදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි අනුශාසනාවක් ද සිදුකළේය.

මේ අතර සාමය, සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුව අද පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී ආරම්භ වුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව සඳහා සර්ව ආගමික නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියි.

මෙම සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා එක්ව සිටියි.

+++++++++++++++++++++

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි… මහ නාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි.. ආ හෙලිකොප්ටරයෙන් වහලවල් ගැලවෙයි…

(30.07.2019 – 22:14 +0530 – lankacnews.com)

සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය.

මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත දෙන්නට උත්සාය කලේ සාමාන්‍ය හෝ ගරු කිරීමකින් තොරවයි.

ඉන් පසු ඔහු මහ නාහිමියන්ගේ අසුනේම අසුන් ගන්නට උත්සාහ ගත් අතර අසල සිටි පිරිස විසින් එය නුවලකනු ලැබීය.

මහ ලේකම්වරයා පැමිණි හෙලිකොප්ටරය හේතුවෙන් මහනුවර ප‍්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල් ගැලවී ගොස් තිබින.

ඔහුගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අදාල සමුළුව අද පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ.

+++++++++++++++++++++

***************************************

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් චෝදනාවක්

(30.07.2019 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු සහරාන් හෂීම්ගේ සහෝදරයාවන රිල්වාන් හෂීම්ට ප්‍රතිකාර කළ බවට පැවසෙන වෛද්‍යවරයා සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවූ බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.

එහි සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදාළ චෝදනාව සිදු කළා.

***************************************

අගෝස්තු 11 න් පසු එජාප ප්‍රබලයෙකු සමඟ කණ්ඩායමක් එක්වන බව පොදුජන පෙරමුණ කියයි

(30.07.2019 – 19:48 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු 11 වනදා පැවැත්වෙන ජාතික සමුළුවෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු සමඟ තවත් කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

බත්තරමුල්ල – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ විනිමය පාලන පනත සම්මත කිරීම මගින් මේ වනවිට ගැටළු රැසක් මතුවී ඇති බවයි.

***************************************

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ගැන සාකච්ඡාවට වෛද්‍ය සභාව රැස්වේ

(30.07.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබාගත් සිසුන් අසූ දෙදෙනෙකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා වෛද්‍ය සභාව අනිද්දා රැස්වනවා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ එදින මෙම නියෝගයට අමතරව පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලයන්ගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාව මගින් පවත්වන කඩඉම් විභාගයෙන් සමත්වන්නේ නම් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරන ලෙස ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබාගත් සිසුන් අසූ දෙදෙනෙකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබාගත් සිසුන් තුන්දෙනෙකු ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.

සති තුනක් ඇතුලත එම ලියාපදිංචි කටයුතු සිදුකරන ලෙසද එහිදී නියෝග කෙරුණා.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණ නියෝගයක් ලබාදී තිබුණේ පසුගිය වසරේ ජනවාරි මස 31 වනදායි.

එම නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්මක් ගොනු කර තිබූ අතර එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව අදාළ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමට එරෙහිවයි සයිටම් සිසුන් 3 දෙනෙකු යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණේ.

මෙහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි නොකිරීම මගින් වෛද්‍ය සභාව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන් තුන් දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළා.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිපියක් භාරදුන්නේ, පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන එමින් ස්වාධීන ආයතන දුර්වල කිරීමේ ආණ්ඩුවේ උත්සහය පිළිබඳ කරුණු දක්වමින් ෴

***************************************

ගලේවෙලදී ළිඳක් පවිත්‍ර කිරීමට ගිය අයෙකු මරුට

(30.07.2019 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල – පට්ටිවිල ප්‍රදේශයේදී ළිඳක් පවිත්‍ර කිරීමට ගිය පුුද්ගලයෙකු ස්වසන අපහසුතාවයට ලක්වීමෙන් මියගොස් තිබෙනවා.

ඔහු ගලේවෙල – රංවැඩියාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කම්කරුවෙක්.

***************************************

මාව අරන් ගිහින් නිරුවත් කළා – නවකවදයට මුහුණ දුන් රුහුණු සරසවියේ සිසුවෙකුගේ අනාවරණයක්

(31.07.2019 – 09:21 +0530 – sinhala.adaderana.lk)

රුහුණු සරසවියේ අමානුෂික ලෙස නවක වදය ක්‍රියාත්මක කෙරෙන බවට මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සිසුවෙකු අනාවරණයක් කළේය.

ඊයේ (30) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම සිසුවා පවසා සිටියේ, තමා නිදා සිටිය දී රැගෙන ගොස් නාන කාමරය ළඟ දී තමා නිරුවත් කළ බවයි.

තමාගේ ඇඟ මිරිකා දමන බවත් සඳහන් කරන මෙම සිසුවා, තමාව නිරුවතින්ම කොමන් රූම් එකක් තුළට දැමු බව ද පැවසීය.

එය තුළ දී තමාට මෙන්ම මෙම සිදුවීම සිදුවු තවත් අය සිටින බව ද පැවසු මෙම සිසුවා, ඒ තුළින් තමාට නොයෙක් ලෙඩ රෝග වැළඳුණු බව ද සඳහන් කළේය.

බස් රථයක හෝ ගමන් කළ නොහැකි තත්ත්වයක් ඉන් අනතුරුව ඇතිවු බවත් තමාගේ ශරීරය ටිකෙන් ටික වෙනස් වු බවත් පැවසු මෙම සිසුවා, HIV ටෙස්ට් එකක් පවා තමා සිදු කල බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් මාතර පොලීසියට 2019.03.21 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පැවසු මෙම සිසුවා, දෙපාරක් මෙම වැරදි සිදුකල අයට කැඳවීම් සිදු කර ඇතැත් ඔවුන් සහභාගී නොවන බව ද කියා සිටියේය.

ඒ සඳහා පෙනී සිටින්නේ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති පමණක් බවද පැවසු සිසුවා, මෙය සංවිධානාත්මක සිදු කරන බවත්, උද්ඝෝෂණ සඳහා සිසුන් ගෙන්වා ගැනීමට මෙය සිදු කරන බවත් පැවසීය.

නිදහස් අධ්‍යාපනයක් මොවුන් තුළ නොමැති බවත්, මෙම තත්ත්වය තුළ තමාගේ මව මොළයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් හේතුවෙන් මිය යන බවත් මවට මෙය දරා ගැනීමට නොහැකි වු බවත් පැවසු මෙම සිසුවා, උපකුලපති පවා මෙයට විදිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

පීඨාධිපතිට තර්ජන – රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය වසා දැමේ

(31.07.2019 – 16:09 +0530 – hirunews.lk/sinhala)

පීඨාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

එහි උප කුලපති මහාචාර්ය සුජීව අමරසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එලියකන්ද නේවාසිකාගාරය තුළ නවක වදය ලබාදෙන බවට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිදුකළ පරීක්ෂාවකදී සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට මෙලෙස තර්ජනය කර ඇති බවයි.

ඒ අනුව විද්‍යා පීඨය වසා දැමීමට තීරණය කර ඇති අතර, අද පස්වරු 6 ට පෙර සිසුන්ට වැල්ලමඩම පරිශ්‍රයෙන් ඉවත්වන ලෙසද නියෝග කර තිබුණා.

මේ අතර නවක සරසවි සිසුන්ට අමානුෂික ලෙස ලිංගික නවක වදය ලබාදෙන තත්වයක් රුහුණු විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක බව එහි සිසුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ඊයේ අනාවරණ කළා ෴

***************************************

මඩකළපු විශ්වවිද්‍යාලයට එවූ මුදල් බැංකුව remittance ලෙස සටහන් කිරීම අපට අදාළ නැහැ – හිස්බුල්ලා

(30.07.2019 – biz.adaderana.lk)

මඩකළපුව විශ්වවිද්‍යාලය සඳහා විදේශයන්ගෙන් මුදල් ලැබීමේ දී ඒවා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ බවට බැංකුව විසින් සඳහන් කර තිබීම තමන්ට අදාළ කරුණක් නොවන බවත්, තමන් ද ඒ බව දැනගත්තේ නොබෝදා මහ බැංකු නිලධාරීන් විසින් පාර්ලිමේන්තු කාරක සභාවේ දී කරුණු දක්වන ලද අවස්ථාවේ දී බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා පවසයි. අද (30) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අවධාරණය කළේය.

“ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. සල්ලි එවන්න ඕන විදියට අපි විස්තර දුන්නා. swift ක්‍රමය ගැන තොරතුරු දුන්නා. ඒ ගොල්ලෝ සල්ලි එව්වා. මහ බැංකුව රිලීස් කළා. ලංකා බැංකුවට ආවා. ලංකා බැංකුවත් රිලීස් කළා. අපිට ආවා. වෙන වෙන ක්‍රම තියෙනවා නම් අපිට දැනුම් දෙන්න ඕනේ, මහ බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන්. එක පාරක් ආපුවාම අයින් කර ගත්තා කියමු. අවුරුදු 2ක් 7 පාරක් ඇවිල්ලා තියෙනවා. ඒක ඒ ගොල්ලන්ගේ වගකීම. ඒක අපේ වගකීමක් නෙමෙයි. ඒගොල්ලෝ අපිට කියන්න ඕනේ මේ විදියට එවන්න ඕනේ කියලා. අපි බැංකුවට සල්ලි එවන්න ඕනේ ක්‍රමය ඇහුවම අපිට දුන්නා swift ක්‍රමය. ඒ විදියට සල්ලි ආවා. වෙන මොනවා හරි ක්‍රමයක් තියෙනවා නම්, ඒගොල්ලෝ අපිට දෙන්න ඕනේ” යැයි හිස්බුල්ලා මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න හමුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ පවසන ලදී :

ප්‍රශ්නය – swift ක්‍රමයට මුදල් එවීමේ දී එහි හේතුව සඳහන් කර නැතිනම්, ඒවා විදේශ විනිමය විදියට සිස්ටම් එකේ අප්ඩේට් වෙන බව ඔබතුමා පුද්ගලිකව දැනගෙන හිටියාද ?

පිළිතුර – අපි හේතුව හොඳටම කියලා තියෙනවා. මොනවටද සල්ලි ආවේ කියලා දන්නේ නැතුව, සල්ලි දෙනවාද බැංකුවෙන්. අපි උසස් අධ්‍යාපන ආයතන හදන්න, මේක BOI ආයතනයක්, BOI අනුමැතිය තියෙනවා, සියලු අනුමැතීන් අරගෙන තියෙනවා, උපි උසස් අධ්‍යාපන ආයතනයක් හදනවා කියලා බැංකුවට අපි කියලා තියෙනවා, ඒකට සල්ලි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සල්ලි ගත්තේ හේතුව පැහැදිලිව කියලා.

ප්‍රශ්නය – swift ක්‍රමයට සල්ලි එවීමේ දී හේතුව සඳහන් කළ යුතු වන්නේ නැහැ. ඒක ලංකා බැංකුවේ අප්ඩේට් වෙන්නේ remittance එකක් විදියට. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත් වෙලා හිටියාද?

පිළිතුර – ඒක අපිට සම්බන්ධයක් නැහැ. මමත් මේක foreign remittance විදියට දාලා තියෙනවා කියලා දැනගත්තේ එදා (පාර්ලිමේන්තු කාරක සභාවේදී) මහ බැංකුවේ නිලධාරීන් කියන කොට. ඒක බැංකුව remittance කළා කියලා අපි දන්නේ නැහැනේ. මොනවාද remittance කියලා මාර්ක් කරලා තියෙන්නේ, මොන විදියට මහ බැංකුවට දැනුම් දීලා තියෙනවාද කියලා, අපි දන්නේ නැහැ.

***************************************

හැමෝගෙම ආදරය දිනූ අරුණ පාසලේ ක්‍රීඩා පුහුණුවේදී බිම ඇදවැටී ජීවිතයෙන් සමුගනී

(31.07.2019 – 10:02 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද මහා විද්‍යාලයේ සිසුවෙකු ක්‍රීඩා පුහුණුවීම් අතරතුර බිම ඇදවැටීමෙන් රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලැබූ අරුණ ධනංජය නමැති 17 හැවිරිදි ශිෂ්‍යයෙක්.

පසුව අනාවරණ වී ඇත්තේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම සිසුවා මියගොස් ඇති බවයි.

ඔහුගේ වැඩිමල් සොයුරාද මෙලෙස හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මේ ආකරයෙන්ම මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිරිබත්ගොඩ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබුනා.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

https://www.youtube.com/watch?v=AcrMyKjzzsw
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව අනතුරට ලක්වන ආකාරය මාර්ගයේ ඉදිරියෙන් පැමිණි රථයක සවිකර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

***************************************

රත්නපුර දේශීය ආදායම් ගොඩනැගිල්ලේ ගින්නක්

(31.07.2019 – 11:11 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දේශීය ආදායම් ගොඩනැගිල්ලේ අද අලුයම ගින්නක් හට ගෙන තිබෙනවා. ඉහළ මහලේ සිදුවූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හට ගෙන ඇති බවටයි සැක පළ කරන්නේ.

ගින්නෙන් දේශීය ආදායම් කාර්යාල ගොඩනැගිල්ලට මෙන්ම පරිගණක පද්ධතියට ද හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *