පොලීසිය බදියුදීන්ට පක්ෂග්‍රාහී බවට චෝදනාවක්

(01.08.2019 – 11:03 +0530 – sinhala.adaderana.lk)

වර්තමාන ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් මහතාට නැවත වරක් අමාත්‍යධූරයක් ලබාදීම මහජන මතය නොසලකා හැරීමක් බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සදහන් කළේය.

රිෂාඩ් බදියුදීන් මහතාට ඇති චෝදනා ඉදිරියේ ඔහු අත්අඩංගුවට නොගැනීම මඟින් පොලීසිය පක්ෂග්‍රාහීව ක්‍රියාකරනවාය යන චෝදනාව මහජනයා වෙතින් ඉදිරිපත් වී ඇති බව උන්වහන්සේ පවසයි.

විපක්ෂය විසින් මේ සඳහා විශ්වාසභංගයක් ගෙන විත් බදියුදීන් මහතාට එරෙහිව කටුයුතු කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වගකීම බවත් සෝභිත හිමි ප්‍රකාශ කරයි.

***************************************

ලී වෙළඳ සැලක ඉදිරිපස වීදුරුවක් සවි කිරීමට යාමේදී සිදුවූ අනතුර : පැය භාගයක ප්‍රමාදයෙන් ජීවිතය අහිමිවේ

(31.07.2019 – 14:10 +0530 – sinhala.adaderana.lk)

කැස්බෑව-හොරණ ප්‍රධාන මාර්ගයේ ලී වෙළඳ සැලක ඉදිරිපස වීදුරුවක් සවි කිරීමට යාමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (30) මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ වෙළඳ සැලක ඉදිරිපස වීදුරුවක් සවි කිරීමට යාමේදී එම වීරුව ගැලවී මියගිය පුද්ගලයාගේ වම් අතේ භාහුවේ වැදීමෙන්ය.

මෙම වීදුරුව වැදීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ මෙම පුද්ගලයා රෝහල් ගත කිරීම සඳහා පැය භාගයක පමණ කාලයක් ගතව ඇති බව අප වාර්තා කරු පවසයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.

අදාළ අනතුර සිදුවන අකාරය සහ එම අනතුරින් පසු තුවාල ලැබූ පුද්ගලයා මිය යන ආකාරයද මෙම වෙළඳසැලේ සවිකරු තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ ලී වෙළඳ සැලේ හිමිකරු වන 34 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වෙයි.

https://www.youtube.com/watch?v=eYQ-01tQtqI#t=5

***************************************

ඉක්මන් වු පැනිල්ල

(01.08.2019 – 13:06 +0530 – sinhala.adaderana.lk)

වැලිමඩ නගරයේ, මුස්ලිම් පල්ලිය ඉදිරිපිට ඇති පදික මාරුවේදී සිදුවූ අනතුරකින් තරුණයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදු ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ 17 හැවිරිදි බොරලන්ද, ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ තරුණයෙකි.

අදාළ තරුණයා මේ වන විට වැලිමඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ත්‍රීරෝද රථය පැදවූ පුද්ගලයා වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදුවන අකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

***************************************

අළුත්ගම ෆේස්බුක් මත් සාදයක් වටලයි.!

(01.08.2019 – nethnews.lk)

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා හමුවී අළුත්ගම ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක සංවිධානය කර පවත්වාගෙන ගිය මත් සාදයක් වටලා අයිස්, හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය සමග තරුණයන් 8 දෙනකු කළුතර කොට්ඨාස විස මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

අලූත්ගම ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක සමාජජාල මගින් සංවිධානය කරන සාදයක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත කළුතර කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය, කළුතර උතුර සහ කළුතර දකුණ පොලිස් ස්ථානවලට අනුයුක්ත විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.

අළුත්ගම, කළුවාමෝදර පිහිටි මෙම සාදය පැවැත්වූ නිවාඩු නිකේතනය පසුගියදා අලූයම 4.00 ට පමණ පොලිස් කණ්ඩායම් වටලන අවස්ථාවේදී තදින්ම මත්වී සිටි තරුණයන් 30 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් සියලූදෙනා වයස 19 ත් 25 ත් අතර වයසේ පසුවූවන් බව පොලිසිය පවසයි.

එම තරුණ පිරිස පරීක්ෂා කිරීමේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයන් 5 දෙනෙකුද හෙරොයින් ළඟ තබාගත් එක් තරුණකුද, ගංජා ළඟ තබාගත් තරුණයන් දෙදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම සාදයට සහභාගී වී සිටි අනෙකුත් තරුණයන්ද මත් පෙති වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇත ෴

***************************************

31.07.2019

+++++++++++++++++++++++++++++++++++

31.07.2019

+++++++++++++++++++++++++++++++++++

31.07.2019

+++++++++++++++++++++++++++++++++++

ඇමෙරිකාවේ බිහිසුණු කුමන්ත්‍රණය මෙන්න..

(02.08.2019 – 15:00 +0530 – lankacnews.com)

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සිදුකළ කතාව මෙහි දැක්වෙයි :

දෙමළ බෙදුම්වාදය අවසන් නිසා අපි වහාබ් අන්තවාදය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා කියලා මුජිබර් රහුමාන් අමාත්‍යතුමා අපිට චෝදනා කරමින් තමයි එතුමාගේ කතාව අවසන් කළේ. එතුමාගේ කතාවේ අවසානයෙන් මගේ කතාව පටන් ගන්න මම කැමතියි. ඔබතුමා කියන විදියට අපි මේ වහාබ් අන්තවාදය ගැන මවන්නේ බොරු බිල්ලෙක් නම්, අපි කියනව වහාබ් අන්තවාදය මේ රටේ විනාශයක් කරලා නැත්නම්, ඔබතුමා හිතන්නේ වහබ් අන්තවාදීන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා කියන්න එකක් දැන් බොරුවක්ද? මුස්ලිම් කාන්තාවන් අපිව සොයාගෙන පැමිණ අඩ අඩා අපිට කියන කතාව බොරුද? මුස්ලිම් කාන්තාවන් මාධ්‍ය ඉදිරියට ගොස් තමන්ට මේ අන්තවාදීන් නිසා අත්වී ඇති ඉරණම ගැන කියන කතා බොරුද? වහාබ් අන්තවාදය ඇරඹුණේ කෙසේද? අද එය ලෝකයේ තිබෙන්නේ කොතනද? ලෝකයේ අරන් යන්නේ කොතනටද කියන විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ වහාබ් අන්තවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදවත් ඔබතුමත් එක්ක ඕනෑම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් තුළදී මා විවාදයකට ලෑස්ති කියලා අභියෝගයක් විදිහට මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. අපි එතනදි කතා කරද්දී කව්ද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා මුළු රටම බලා ගන්න පුළුවන්. පහුගිය මාස තුන ඇතුළත අසාත් සාලි මහතා රවුෆ් හකීම් ඇමතිතුමා රිෂාඩ් බදුර්ඩීන් ඇමතුමත් එක්ක අපි මේ කාරණාව විවාද කළා. තමුන්නාන්සේට ශීලාචාරව විවාදයට සූදානම් අපි ලෑස්ති විවාදයක් කරන්න.

පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවා කවුද ?

පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ තවදුරටත් හදිසි නීතිය දිගු කරන්න කතා කරන මේ මොහොතේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ අපරාධකරුවා තවමත් හෙළි කර ගෙන තිබේද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. කවුද මේ සැබෑ අපරාධකරුවා? මේ රූකඩ නැටුමේ නැටවෙන රූකඩ නම් තමුන්නාන්සේලා අල්ලගෙන තියෙනවා. හැබැයි ඊට උඩින් ඉන්න රූකඩ නටවන්න අය නම් අත්අඩංගුවට ගැනීම සිදුවෙලා නෑ. ශ්‍රී ලංකාවේ ඉන්න රූකඩ නටවන කට්ටිය වගේම මේ රූකඩ නටවන්නන් නටවන සැබෑ චූදිතයා වන්නේ ඇමෙරිකාවයි.

මුස්ලිම් කතෝලික ගැටුමක් මේ රටේ ඇති කරලා ශ්‍රී ලංකාව ඇතුලට ඇමරිකානු හමුදාව ගොඩබස්සා ගැනීමේ සැලසුම ගැන අපි දිගින් දිගටම කතා කළා. ඒක සාර්ථක නොවුණට පස්සේ හලාවතදී කුලියාපිටියේ දී මිනුවන්ගොඩදී කෘතිමව ප්‍රශ්න ඇති කරලා සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කරන්න උත්සාහ කළා. අද වන තුරු කිසිවෙක් අත්අඩංගුවට අරගෙන නෑ. අපි මේ සභාවේ කිව්වා මුහුණු බැඳගෙන පිටපළාත් වලින් ඇවිල්ලා මේ පහර දීම් සිදු කළේ කියලා. මිනුවන්ගොඩ මුස්ලිම්යැයි නම හැඟෙන සිංහල කඩ ගණනාවක් මේ අන්තවාදීන් විනාශ කරන්න කටයුතු කිරීමෙන් පේනවා පිටින් ඇවිල්ලා පහරදීමක් සිදුවෙලා තියෙන්නෙ කියලා. අද වනතුරු එළි වුනේ නෑ. සහරාන්ගේ බිරිඳගෙ කටඋත්තරයේ කියනවා කාන්තා සුදු ඇඳුම් තොගයක් ගෙනාවා ගෙදරට කියලා. සිවුරු දරාගෙන ඉන්න මුස්ලිම් අය අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. සහරාන්ලා එක පැත්තකින් බෝම්බ ගහනවා. අනෙක් පැත්තෙන් සුදු ඇඳුම් ඇඳ ගත්තා අය පන්සලේ උත්සවයේදී බෝම්බ පුපුරවා ගන්නවා. සිවුරු දරාගෙන ඉන්න අය ගිහිල්ලා මුස්ලිම් අයට පහර දෙනවා. සිංහල මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු මේ හැමෝම එකිනෙකා මරා ගන්න ගිනිජාලාවක් ඇති කරලා ඒ ගිනිජාලාව නිවන්න එන පිරිස විදියට, ඒ ගින්නේ ගිනි නිවන හමුදාව විදිහට ඇමෙරිකානු හමුදාව පත් කරගැනීමයි සැලැස්ම.

ඇමෙරිකාවේ සැලැස්ම මෙන්න

ඇමෙරිකාවේ මේ සැලැස්ම පිළිබඳව ලෝකයේ පිළිගත් න්‍යායක් තියෙනවා. The Shock Doctrine. කැනේඩියානු සමාජ විශ්ලේෂණයෙක් වන Naomi Klein විසින් The Shock Doctrine කියලා පොතක් නිකුත් කලා 2007 වගේ වසරක. ඒ පොතේ කතා කරන්නේ ඇමෙරිකාව ලෝකයේ යම්කිසි රටක් ආපදාවට ලක් වුනාම ඒ වියසනය පදනම් කරගෙන ඒ රට ඇතුලට රිංග ගැනීම ගැනයි. ඒ වගේම රටේ වියසනයක් නැත්නම් වියසනයක් හදලා රට ඇතුලට ගොඩ බැහැ ගන්නවා. 1997 දී ඉන්දුනීසියානු ආර්ථිකය කඩා වැටීම සඳහා ඇමෙරිකාවේ සෝරෝස් කොටස් වෙළඳපොළෙන් එක වරම ඉවත් වෙනවා. එය පදනම් කරගෙන ඇමෙරිකාව ගොඩබැහැලා ඉන්දුනීසියාවේ කොටසක් ලෙසින් තිබුන නැගෙනහිර ටිමෝරය වෙනම රටක් බවට පත් කරන්නට කටයුතු කළා. 2001 දී ඇෆ්ගනිස්ථානයට ගොඩබැස්සේ ඔසාමා බිල්ලාඩන් ඉන්නවා අපි එයා අල්ලන්න යනවා යැයි ලෝකයට කියමින්. හැබැයි ඒ රටේ ඔසාමා බිල්ලාඩන් හිටියේ නැහැ. බුෂ්ලට අයත් පෞද්ගලික තෙල් සමාගමකට ඇෆ්ගනිස්ථානය හරහා තෙල් නල එලීමට තලෙයිබාන් ආණ්ඩුව අවසර දුන්නේ නෑ. ඒ නිසා එරට අල්ලගෙන එම ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ තෙල්නල ටික එලා ගැනීමේ කටයුතු සිදු කර ගත්තා. 2003 දී ඉරාකය ආක්‍රමණය කරද්දී ලෝකයටම කිව්වේ සමූල ඝාතණ අවි ඉරාකය සතුව තිබෙනවා කියලයි. අනුව ඉරාකය ආක්‍රමණය කළා. අල්ලගත්ත සමූල ඝාතක අවියක් නම් නැහැ. නමුත් ඉරාකයේ සරුතෙලින් ටික නම් අදටත් ඇමෙරිකානු සමාගම් විසින් අත්පත් කරගෙන ඉන්නවා.

ඇමෙරිකාව ලංකාවට එන්න හදන්නේ ඇයි ?

මොවුන් අද ලංකාවට එන්න හදන්නේ ඇයි. විශේෂයෙන් කියන්න අවශ්‍යයි සෝෆා ගිවිසුම හරහා ඇමෙරිකානු කඳවුරු තනන්නට හදන්නෙ විශේෂ කරුණු හතරක් නිසයි. පළමු හේතුව තමයි ඇමෙරිකානු යුධ විශේෂඥයෙකු වන අද්මිරාල් කප්ලාන් කියනවා මේ සියවසයේ ලෝකයේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරේ වැදගත්ම රට එහි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. මෙම සියවසේ ලොව වැදගත්ම රට ශ්‍රී ලංකාවයි. සමහරු කියනවා ලිං මැඩියෝ වගේ ඉදගෙන අපි ලංකාව හරි වැදගත් කියලා හිතාගෙන ඉන්නවා නමුත් ලංකාව කියලා රටක් තියෙනවා කියලා වත් ඇමෙරිකාව දන්නේ නැහැ කියලා. නමුත් මම නොවෙයි ඇමෙරිකානු යුද විශේෂඥයන් කියන්නේ ලංකාවේ ඇති වැදගත්කම. මොන්සූන් කියන පොතේ මේ පිළිබඳව සටහන් කර තිබෙනවා. ඉතින් ලොව වැදගත්ම රට ලංකාව නම් ලංකාවේ කඳවුරු ඉදි කරනවා හැර වෙන කොයි මුල්ලක කඳවුරු ඉදි කරන්න ද කියන ප්‍රශ්නය මතුවෙනවා.

1965 දී ඇමරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධාන කදවුර පිහිටුවා ගන්නේ දියේගො ගර්ෂියා දූපත් සමූහයේ. මෙම දුපත් සමූහය එදා මුරුසියට අයත්ව තිබුණා. එදා මුරුසිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මුරුසියෙන් මෙම දුපත් සමූහය ඉවත් කරළා ඇමරිකාවට බදු දීමට බ්‍රිතාන්‍ය කටයුතු කළා. 1968 මුරුසියට නිදහස ලැබෙන්නේ ඉන් අනතුරුවයි. මුරුසිය එදා ඉඳන්ම උත්සාහ කළේ මේ තමන්ට අයත් ව තිබූ දූපත් සමූහය යළි තමන්ට අත්පත් කරගන්නට. ඔවුන්ගේ අඛණ්ඩ සටනේ ප්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රශ්න නිරාකරණය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට පවරනවා. ජාත්‍යන්තර අධිකරණය 2019 පෙබරවාරි 22 තීන්දුවක් දෙනවා. තීන්දුවෙන් කියනවා දියේගො ගර්ෂියා දූපත් සමූහය මුරුසියට යළි භාර දෙන තුරු මුරුසිය ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ කියලා. ඒ දූපත් සමූහය මුරුසියට දුන් විට ඇමෙරිකාවට කකුල ගසා ගන්නට තැනක් නැහැ. කඳවුරු අකුලාගෙන යන්න වෙනව. මේ අකුලාගෙන යන කඳවුරු ස්ථාපිත කිරීමට සුදුසුම තැන ලංකාවයි. දියේගො ගර්ෂියාවට උඩින් තිබෙන්නේ මාලදිවයින. මාලදිවයිනට උඩින් තිබෙන්නේ ශ්‍රී ලංකාව. එමනිසා දියේගො ගර්ෂියාවේ සිට පහසුවෙන්ම පැමිණිය හැකි තැන ලෙසට ඔවුන් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මෙම සියවසේ ලෝකයේ නැගී එන ලෝක බලවතුන් වන්නේ ඉන්දියාව සහ චීනයයි. ලංකාව තියෙන්නේ ඉන්දියාවට කිලෝමීටර් තිස් දෙකක් නොදුරින්. අනෙක් පසින් චීනයේ ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය තුළ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ හරියට ස්ථාපිත වීමෙන් ඇමරිකාවට චීනය හා ඉන්දියාව කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකියි. මේ නිසා සැබෑ මර්මස්ථානය කුමක් ද කියන කාරණය ඇමරිකාව හඳුනාගෙන තියෙනවා.

හතරවන කාරණය අතිශ්‍යයින්ම තීරණාත්මකයි. චීනයට තියන ලොකුම ආර්ථික ප්‍රශ්නය හඳුන්වන්නේ මලක්කා දෙගිඩියාව ලෙසයි. චීනයට එන තෙල්ද ඇතුළු සැපයුම් වලින් සියයට අසූවක්ම එන්නෙ මලක්කා සමුද්‍ර සන්ධිය හරහායි. මලක්කා සමුද්‍ර සන්ධියේ මුහුද අයත් වන්නේ ඉන්දුනීසියාව සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් වලටයි. මේවා ඇමරිකානු හිතවාදී රටවල්. කෙදිනක හෝ ඇමරිකාව සහ චීනය අතර යුද්ධයකදී මෙම රටවල් කිව්වොත් අපේ මුහුද හරහා ඔබේ නැව් වලට යන්න තහනම් කියලා චීනයට, එවිට චීනය කන්න නැතුව තෙල් නැතුව ආර්ථිකය කඩා වැටෙනවා. මෙන්න මේ නිසා මලක්කා සමුද්‍ර සන්ධියට විකල්පයක් සොයා ගැනීම තමයි චීනයට තියෙන ලොකුම ජාතික ආරක්ෂක ගැටලුව. මේකට උත්තරයක් දැන් හමුවෙලා. තායිලන්තයේ ක්‍රා කියන ප්‍රදේශය හරහා ඇළ කැපීම තමයි පිළිතුර. සූවස් ඇළ වගේ, පැනමා ඇළ වගේ, ක්‍රා ඇළ කැපුවොත් එක් පසෙකින් මලක්කා දෙගිඩියාවෙන් මිදෙන්නට චීනයට අවස්ථාව ලැබෙනවා. අනික් පසින් චීනයට ඇති මුහුදු ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 1100 කින් අඩු වෙනවා. මේ මාර්ගය කැපුවාට පස්සේ සිංගප්පූරු වරාය පාළු වරායක් බවට පත්වෙලා මුහුදු සේද මාවතේ මර්මස්ථාන ය බවට පත්වන්නේ හම්බන්තොට වරායයි. එහෙම නම් මුහුදු සේද මාවතේ මර්මස්ථානයේ තියෙන ශ්‍රී ලංකාව තමන්ගේ පාලනයට නතු කර ගත හැකි නම් චීනය තමන්ට පාලනය කරගත හැකි තැනක් බවට පත්කර ගැනීමට ඇමරිකාවට හැකියාව ලැබෙනවා.

මෙන්න මේ කාරණා හතර නිසයි ඇමරිකාව ලංකාවට ගොඩබසින්නට හදන්නේ. සභානායක තුමන්ට මේ කාරණා පිළිබඳ අවබෝධයක් නොමැති බව ඉඩම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන කතා කරද්දී පෙන්නුවා. ගරු සභානායකතුමනි ඔබතුමා ලටත් අපටත් පක්ෂවලට බෙදිලා රණ්ඩු වෙන්න හරි අපිට අපේ කියල රටක් තියෙන්න ඕනෑ. අන් අයගේ බලපෑමෙන් තොරව පාලනය කළ හැකි ස්වාධීන වූ රටත් තිබෙන්නට ඕනෑ. ඊයේ රට රැක ගැනීමේ කාර්යභාරයේ දී පක්ෂ භේද ජාති භේද ආගම් භේද සියල්ල පසෙක තබා මේ සමස්ත 225 ක් වූ පාර්ලිමේන්තු කණ්ඩායම ම එක මිටියට එකට සිතට ගත යුතු යැයි යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල

01.08.2019

***************************************

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ඉදිරියට ගේනවා – එස්.බී.දිසානායක

(01.08.2019 – 17:52 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නැවතත් විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ පරිවර්තන කේන්ද්‍රෙය් අද (01) පෙවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සතොස ආයතනයේ සේවය කරන ආරක්ෂක නිලධාරීන්ට බව සඳහන් කරමින් සතොස ආයතනයෙන් මාසිකව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් මුදල් ලබා ගන්නා බව එහ්දී දිසානායක මහතා පැවසීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“අමාරුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ. රිෂාඩ්ගේ ධනස්කන්ධය සත්‍යය යටපත් කරලා තියෙනවා.

පොලිසිය රිෂාඩ්ව කිසි වරදකින් නිර්දෝෂී කරලා නැහැ.

තේරීම් කාරක සභාව මඟින් ඔහුව නිර්දෝෂී කරලත් නැහැ.

ජනාධිපතිතුමා ඔහුට නැවත ඇමතිකම දීම ගැනත් අපි විරුද්ධයි.

එදා වගේම අදත් රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංගය ඉදිරියට ගේනවා.

ඒ භයානක සොරාට විරුද්ධව අපිට කරන්න පුළුවන් හැමදේම කරනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 11 දින පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීම වෙනුවෙන් මේ වන තෙක් ආරාධනා ලැබී නැති බවත් කෙසේ නමුත් අපේක්ෂකයාට හදවතින්ම සුභ පතන බවත්ය.

එසේම බොහෝ දුරට අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක් විය හැකි බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවත් එස් බී දිසානායක මහතා පැවසීය.

එසේම මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප.ය හැටියට අපේක්ෂකයා වෙනුවෙන් සහාය ලබා දෙන බවත් ඒ මහතා පැවසීය ෴

***************************************

නීතිපති දෙපාර්තමේන්තුව තව්හිද් ජමාත් තහනම් කරන්න අවුරුදු 1½ ක් කිසිම පියවරක් අරන් නෑ. මේ අතපසුවීම ගැන ආණ්ඩුවේ පියවර කුමක්ද? – බිමල් රත්නායක අසයි

(01.08.2019 – divaina.com)

තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන්නැයි 2017 වසරේදී ත‍්‍රස්ත විමර්ශන අංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතත්, ඊට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (31 දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එහිදී බිමල් රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය :

“ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවේදී හෙළිවුණු තොරතුරු ඉතා වැදගත්. තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස ඉල්ලා ත‍්‍රස්ත විමර්ශන අංශයේ ප‍්‍රධානියා 2017 දී නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යවා තිබෙනවා. බෝම්බ ගහන්නේ 2019 අපේ‍්‍රල් 21. මේ අය අවුරුදු එකහමාරක් තිස්සේ කිසිවක් කරලා නෑ.

එදා මේ සංවිධානය තහනම් කරලා සහරාන්ලා අත්අඩංගුවට ගත්තා නම් මේ ප‍්‍රහාරය වළක්වා ගන්න තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ වගකීම් විරහිතභාවය ගැන කවුද ප‍්‍රශ්න කරන්නේ? 2017 දී ඉල්ලපු ඒ ඉල්ලීමට කිසිදු පැහැදිලි කිරීමක් ප‍්‍රතිචාරයක් දක්වා නෑ. 2018 ජුනි මාසයේදීත් නැවත සිහිකැඳවීමක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, ඒකටත් ප‍්‍රතිචාරයක් දක්වා නෑ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව හැමෝටම නඩු දානවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවට කවුද නඩු දාන්නේ?”

සභානායක – මේක බරපතළ අතපසුවීමක්. මා එය පිළිගන්නව. මේ තේරීම් කාරක සභාව නිසා තමයි මේවා හෙළිදරව් වුණේ. ඔබතුමා කියන එක ඇත්ත. තේරීම් කාරක සභාව නිසා තමයි මේ තිරය පිටුපස සිද්ධීන් අනාවරණය වෙන්නේ.

බිමල් රත්නායක – දැන් මේ අතපසුකිරීමට ආණ්ඩුව ගන්නා නීතිමය ක‍්‍රියාමාර්ගය කුමක්ද?

සභානායක – මං මේක අගමැතිතුමාගේ අවධානයට යොමු කරවන්නම්. ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිසා තමයි තිරය පිටුපස ඇත්ත කතාව එළියට ආවේ. අනික් එක 2017 සහරාන්ට විරුද්ධව නඩු පවරලා තියෙනවා කාත්තන්කුඩි ප‍්‍රදේශයේ. ඇත්ත වශයෙන්ම සහරාන් පිටිපස්සේ බුද්ධි අංශ ප‍්‍රධානියා පන්නමින් සිටියේ. නමුත් අවාසනාවකට ඔහු ප‍්‍රභූවරයෙක් ඝාතනය කිරීමට යනවයි කියලා නඩුවකට පැටලිලා ඒ වැඩ කටයුත්ත අඩාල කරවූවා. ඒ ප‍්‍රශ්න නිසා මේ පරීක්‍ෂණ කටයුතු ඇනහිටියා. මේ ප‍්‍රශ්නය නිසා ඒ සෑම වැඩපිළිවෙළක්ම ඇන හිටියා.

බිමල් රත්නායක – 2017 දී මේක වෙලා තිබෙන්නේ. එතකොට නාලක සිල්වා හිටියානේ මේ ගැන නීතිමය පියවර ගන්න. පොලිස්පති, ආරක්‍ෂක ලේකම් අත්අඩංගුවට ගත්තා වගේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ වගකිවයුතු අයට එරෙහිව කි‍්‍රයා කරන්න.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *