මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ඖෂධ රැසක හිඟයක්

(01.08.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ රැසක හිඟයක් පවතින බවට අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම රෝහලේ වෛද්‍යවරුන් කරුණු අනාවරණය කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ්‍යවරයා පවසන්නේ කිසිදු ඖෂධ හිඟයක් නොමැති බවයි.

දිවයින පුරා බොහෝ රෝහල් මුහුණපා සිටින ඖෂධ හිඟය පිළිබඳ අප තොරතුරු අනාවරණය කළේ ඊයේ දිනයි.

මහරගම අපේක්ෂා රෝහලේ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් එහි වෛද්‍යවරු අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කරුණු අනාවරණ කළා.

+++++++++++++++++++++

02.08.2019 – අනිල් ජාසිංහගේ ලෝකය

***************************************

සොහොන් බිමක් වූ විහාර බිම

(01.08.2019 – 21:01 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ ඉතිරිව පවතින පුරා විද්‍යා ස්ථාන අතුරින් මුහුදු මහා විහාරය අතිශය වටිනා පුරා විද්‍යාත්මක බිමක්.

ජන ප්‍රවාදයේ සදහන් අයුරින් කැලණිතිස්ස රජ සමයේ මහ මුහුද ගොඩගැලු අවස්ථාවේ ස්ව කැමැත්තෙන් මුහුදට බිළි වුයේ කැලණිතිස්ස රජුගේ දේවී නම් දූ කුමරියයි.

ඇය සයුරට බට රන් ආලේපිත නෞකාව අතීතයේ සොරොව්තොට නොහොත් මේ වනවිට මුහුදු මහා විහාරය පවතින ස්ථානයෙන් ගොඩබිමට ළඟා වී ඇති බව පුරා වෘත්තයන්හි සඳහන්.

විහාරයක් සහිත ස්ථානයකින් ගොඩ බැසීම හේතුවෙන් පසුකාලීනව දේවී කුමරිය ‘විහාර මහා දේවිය’ නමින් ප්‍රචලිත වුණා.

පුරා විද්‍යා දෙපාර්තමේන්තු ලිපි ලේඛන අනුව 1951.01.26 වැනි දින අංක 10205 දරණ ගැසට් පත්‍රය මගින් මුහුදු මහා විහාරය අක්කර 72 රූඩ් 03 පර්චස් 13 ක වපසරියකින් යුත් පුරා විද්‍යා ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහෙත් යළි 1965.05.28 අංක 14407 දරණ ගැසට් පත්‍රයට අනුව දැක්වෙන්නේ මුහුදු මහා විහාරයට වෙන් කළ පුරා විද්‍යා ප්‍රදේශය අක්කර 30 රූඩ් 03 පර්චස් 02 ක භූමි ප්‍රමාණයක් බවයි.

මේ වනවිට සීඝ්‍රයෙන් සිදුවන අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් හරහා මුහුදු මහා විහාරයට දෙවන වර ගැසට් කළ අක්කර 30 ක භූමියත් මේ වනවිට අහිමි වී ඇති බව විහාරාධිපති හිමියන් හිරු සී.අයි.ඒ.හමුවේ ප්‍රකාශ කළා.

***************************************

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර සහ ප්‍රේමසිරි පරණමානට වසර 5 ක සිරදඩුවම්

(02.08.2019 – 11:57 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට හම්බන්තොට මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 5 ක සිරදඩුවම් නියම කළා.

ඒ හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව ලබාදෙමින්.

මීට අමතරව, එම නඩුවේ පළමු විත්තිකරු වන ප්‍රේමසිරි පරණමාන ද වරදකරුවෙකු කරමින් ඔහුට ද බරපතල වැඩ සහිතව වසර 5 ක සිරදඩුවමක් නියම කරනු ලැබුවා.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් තුන්දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි හම්බන්තොට මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් නියෝග කළේ.

2014 වසරේ අප්‍රේල් 17 වනදා එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ආදී චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබුණා.

චෝදනා 29 ක් යටතේ පළවන සහ පස්වන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබූ අතර, එම සියලූ චෝදනාවන්ට වරදකරු වූ හම්බන්තොට නගරාධිපතිවරයා සහ පළමු විත්තිකරුට රුපියල් දෙලක්ෂ 60,000 ක දඩ මුදලක් නියම කිරීමටයි විනිසුරුවරයා පියවර ගනු ලැබුවේ. එසේම, පැමිණිලිකරුවන්ට රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුවන්ට නියෝග කෙරුණා.

https://www.youtube.com/watch?v=J_Nut5njOdw

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

හම්බන්තොට නගරාධිපති, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

(02.08.2019 – 19:33 +0530 – hirunews.lk/sinhala)

වසර 5 ක බරපතල සිර දඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ පේමසිරි පරණමාන අද පස්වරුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

ඒ, හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවට ඔවුන් වරදකරුවන් වීමෙන් අනතුරුවයි.

2014 වසරේ අප්‍රේල් 17 වනදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ආදී චෝදනාවලට අදාළව එම නඩුව පවරා තිබුණා.

විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව පැවති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් නඩුවේ දෙවන, තුන්වන හා හතර වන විත්තිකරුවන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර, නඩුවේ 5 වන විත්තිකරු වූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්දු ප්‍රනාන්දු සහ පළ වන විත්තිකරු වූ පේමසිරි පරණමාන යන අයට දඬුවම් නියම කළා.

චෝදනා 29 ක් යටතේ ඔවුන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර, චෝදනා දෙකකට හැර සියළු චෝදනාවලට මහාධිකරණය මගින් ඔවුන් වරදකරුවන් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට වසර 5 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා චෝදනා 27 ට අදාළව එක් එක් චෝදනා සඳහා රුපියල් 5000 බැගින් රුපියල් එක්ලක්ෂ 30,000 ක දඩ මුදලක් ද නියම කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම පැමිණිලිකරුවන්ට රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

***************************************

ගෝඨාභයට නව විදෙස් ගමන් බලපත්‍රයක්

(02.08.2019 – 12:38 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව ගමන් බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ආගමන විගමන පාලක පසන් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය මත එම ගමන් බලපත්‍රය පසුගිය මැයි 7 වනදා නිකුත් කරන ලද බවයි.

එහිදී සිදුවූයේ ඔහුගේ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම බව ද ආගමන විගමන පාලකවරයා අවධාරණය කළා. ඔහු කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය සහිත ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේදී ඔහුගේ අනෙකුත් පුරවැසිභාවයන් ඊට අදාළ නොවන බවයි.

ද්විත්ව පුරවැසිභාවය බල පවත්වන්නේ මැතිවරණය සදහා ඉදිරිපත් වීමට පමණක් බවත්, 19 වන සංශෝධනයට පෙර ඒ සදහා ද ප්‍රතිපාදන පැවති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිල වශයෙන් ඉවත් කර ගෙන ඇති බවට වන ප්‍රකාශන සහතිකයක් ඊයේ සමාජ මාධ්‍ය වෙත ද නිකුත් කර තිබුණා ෴

***************************************

රතන හිමියන්ගෙන් තවත් චෝදනාවක්

(02.08.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට අන්තවාදි ත්‍රස්තවාදය පතුරුවන ආයතන පිළිබද පරික්ෂණ සිදු නොකර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂිම්ගේ අනුගාමිකයින් සහ පවුලේ අය අත්අඩංගුවට ගැනිමෙන් පමණක් අන්තවාදය නතර කර නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සහ විවිධ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී ඇති රිෂාඩ් බදියුදීන් යළි සිය අමාත්‍ය ධුරයේ දිවුරුම්දීම හේතුවෙන් ඔහුට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ ෴

+++++++++++++++++++++

රට ආදරය කරන ආණ්ඩුවක් හදන්න පුළුල් ජනමතයක් ගොඩනඟනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(02.08.2019 – 13:32 +0530 – lankadeepa.lk)

රටට ආදරේ කරන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම සඳහා රටේ පුළුල් ජනමතයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (02) පැවසුහ.

අලුතින් බිහිකරනු ලබන ආණ්ඩුවෙන් ෂරියා නීති ප්‍රචාරය සඳහා යොදා ගනු ලබන බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අනිවාර්යෙන්ම රජයට පවරා ගන්නා බවද රතන හිමියෝ කීහ.

රාජගිරිය පිහිටි සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවක් දී අතුරලියේ රතන හිමියෝ මේ බව සඳහන් කළහ.

වත්මන් ආණ්ඩුව වද පීදුණු ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුවේ ආයු කාලය තවත් මාස තුනකින් අවසන් වන බවත් රතන හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

+++++++++++++++++++++

බෝම්බ පිස්සන්ගේ හැසිරීමට වඩා හිස්බුල්ලාගේ හැසිරීම බරපතළයි

(02.08.2019 – 17:13 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි මාස කිපයෙන් පසුව බිහිවෙන නව ආණ්ඩුවක් යටතේ BATTICALOA CAMPUS පුද්ගලික ආයතනය නියත වශයෙන්ම රජයට පවරාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරළියේ රතන හිමියන් පවසයි.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වාහන්සේ ඒ බව සඳහන් කළේය.

ලොව පුරාවටම මෙවැනි මණ්ඩප සඳහා මුදල් ලබා දී ඇති අතර බෝම්බ ප්‍රහාරකයන්ට වඩා හිස්බුල්ලා මහතාගේ හැසිරීම බරපතළ බවත් පසුගිය සමයේ ඉඩම් ලබා ගැනීම සඳහා ඔහු තමන්ගේ ආණ්ඩුකාර ධුරය භාවිත කර ඇති බවටත් රතන හිමි චෝදනා එල්ල කරයි.

මෙම ආණ්ඩුවට පවතින්නේ තව මාස කිහිපයක් බවත් එම කාලය තුළ පමණක් හිස්බුල්ලා මහතාට මෙසේ ක්‍රියා කළ හැකි බවත් ඒ හිමියන් චෝදනා එල්ල කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙන් පොදු නීතියක් යටතට රට ගෙනා හැකි නායකයෙක් රටට අවශ්‍ය බවත් රතන හිමි ප්‍රකාශ කරයි ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=rxSml8Cm0HM

***************************************

විදෙස් පුවත් : සෞදි කතුන්ට පනවා තිබු නීති ලිහිල් වෙයි

(02.08.2019 – 13:32 +0530 – sinhala.adaderana.lk)

පුරුෂයින්ගේ අවසරයකින් තොරව විදේශගතවීමට සෞදි කාන්තාවන්ට අවසර හිමි වී ඇත.

ඒ එරට පාලක මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයකට අනුවයි.

සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාලකයා බවට පත්වීමත් සමග එරට පැවති දැඩි නීති රීති ලිහිල් කිරීමට කටයුතු කළේය.

කාන්තාවන්ට අහිමිවී තිබූ වරප්‍රසාද රැසක් යළි ලබාදීමටත් සල්මාන් කුමරු පියවර ගත්තේය.

රිය ධාවනය, පොදු කීඩාංගණවල සිට පාපන්දු තරග නැරඹීම එලෙස කාන්තාවට හිමිවූ වරප්‍රසාද අතර වෙයි.

මේ අතර පුරුෂයින්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 21 ට වැඩි කාන්තාවන්ට විදේශගගත වීමට අවසර ලබා දීමටත් නව නීතියක් මගින් අවස්ථාව උදාකර දී ඇත.

එමෙන්ම විවාහ, දරු උපත් හා දික්කසාද ලියාපදිංචි කිරීමටත් කාන්තාවන්ට අවසර ලබාදී ඇති බව සඳහන්.

කාන්තාවන් හා පුරුෂයන්ට සමානව සැලකීමේ පදනම මත මෙම නව නීතිය ක්‍රියාත්මක කර ඇත.

පෙර පැවති නීතියට අනුව කාන්තාවන්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ විදෙස් ගතවීමට සිය පියාගෙන්, සැමියාගෙන් හෝ වෙනත් ඥාති පුරුෂයෙකුගෙන් අවසර ලබා ගත යුතු වුණි.

මේ අතර කාන්තාවන්ට නව රැකියා අවස්ථා උදාවන පරිඳි සේවක රෙගුලාසි සම්පාදනය කිරීමටත් සෞදි බලධාරින් පියවර ගෙන ඇත.

ඒ අනුව ස්ත්‍රී පුරුෂ භාවය, වයස හෝ ආබාධිත බව හේතුවෙන් වෙනස්කමකට ලක් නොවී රැකියාවක නිරත වීමට සියළු සෞදි වැසියන්ට අවස්ථාව උදාවනු ඇත.

2030 වර්ෂය වන විට එරට ආර්ථිකය පරිවර්තනයකට ලක් කිරීම සඳහා වන සැලසුමක් මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් 2016 වර්ෂයේදී හඳුන්වා දුන්නේය.

එම සැලසුමට අනුව එරට ශ්‍රම බලකාය සඳහා කාන්තා දායකත්වය සියයට විසි දෙකේ සිට සියයට 30 දක්වා ඉහළ දැමීමට නියමිතයි ෴

***************************************

සහරාන් කපටිකමින් මඟහැර ගියා

(02.08.2019 – 12:22 +0530 – lankadeepa.lk)

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය තව්හීත් ජමාත් ත‍්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් අල්ලා ගැනීමට උත්සාහ දැරුවත් ඔහු කපටිකමින් මඟහැර ගිය බව එම කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පාස්කු ඉරුදින ප‍්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ඊයේ (01) පැවැසීය.

සහරාන් සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාට යැවූ ලිපියේ අඩුපාඩු තිබිය හැකි බව කී පොලිස් අධිකාරිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වේ ඒ වන විට තිබූ තොරතුරු යැයිද ප‍්‍රකාශ කළේය.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එක්තරා අංශයකින් අයිඑස් ත‍්‍රස්තවාදීන් ගැන පැය 24 පුරා විමසිල්ලෙන් සිටි බවද ඔහු කීය.

පාස්කු ඉරුදින ප‍්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි නියෝජ්‍ය සභාපති ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පෙරවරුවේ රැස්වූහ.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

ආශු මාරසිංහ මහතා:-

ඔබ ත‍්‍රස්ත විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ලෙස පත් වුණේ කවදාද?

විශාන්ත මහතා:-

2016.5.12 දින

ආශු මාරසිංහ මහතා:-

ත‍්‍රස්තවාදී විමර්ශන අංශය අන්තවාදය ගැන හොයන්න ගත්තේ කවදාද?

විශාන්ත මහතා:-

2017 මුල්භාගයේදී. ඊට මුල් වුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා.

ආශු මාරසිංහ මහතා:-

අයිඑස්අයිඑස් ගැනත් සොයා බැලූවද?

විශාන්ත මහතා:-

ඔව්. පැය 24 පුරා විමසිල්ලෙන් සිටියා. පසුව පොලිස්පතිට වාර්තාවක් දෙනවා.

ආශු මාරසිංහ මහතා:-

සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තු දෙකක් තිබුණා. ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයි?

විශාන්ත මහතා:-

ඔහු අල්ලන්න කණ්ඩායම් කිහිපයක් යැව්වා. නමුත් අල්ල ගන්න බැරිවුණා.

නලින්ද ජයතිස්ස මහතා:-

ඔබලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලූවද?

විශාන්ත මහතා:-

ඔව්. සහරාන් අල්ලන්න හා එන්.ටී.ජේ. එක තහනම් කරන්න උපදෙස් ඉල්ලූවා.

නලින්ද ජයතිස්ස මහතා:-

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස නීතිපතිට යැවූ ලිපියේ අඩුපාඩු තිබුණද?

විශාන්ත මහතා:-

ඔව්. වෙන්න පුළුවන්. අපි යැව්වේ තිබුණු තොරතුරු.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

පැහැදිලි විමර්ශන සාක්‍ෂි තිබුණේ නැහැ කියලා අද මෙතැන සාක්‍ෂි දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රකාශ කළා.

විශාන්ත මහතා:-

ප‍්‍රකාශ ගන්න තරම් සුදුසු සාක්‍ෂිකරුවන් සොයන්න බැරිවුණා. අපට ලැබුණු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. සහරාන් අල්ල ගන්න තිබුණා. නමුත් ඔහු කපටිකමින් මඟහැරියා.

ආශු මාරසිංහ මහතා:-

ඔබලා හා යුද හමුදාව අතර ගැටුමක් තිබුණද? මොකද යුද හමුදාපති එහෙම දෙයක් පැවසුවා.

විශාන්ත මහතා:-

නැහැ එහෙම ගැටුමක් තිබුණේ නැහැ. අප හමුදා බුද්ධි අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය :

මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේ 1997 දීයි. මෙහි වසර 22 ක් සේවය කරනවා. කොළඹ මහාධිකරණ හතක අධීක්‍ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කරනවා.

කාතන්කුඩියේ සහලාන් මවුලවි නීතිපති දෙපාර්තමේන්තුවට ඇවිත් මේ වාර්තාව බාරදුන්නා. මම මේ වාර්තාව එවකට නීතිපති ජයන්ත ජයසූරිය මහතාට බාරදුන්නා. මේකෙ විස්තර දැකලා ජයසූරිය මහත්තයාත් සලිත වුණා. පසුව අප ලිපිය පොලිස්පතිවරයාට බාරදුන්නා. ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඊට පසුව සහලාන් මවුලවි තවත් ලිපියක් අපට එවා තිබුණා. දිනක් සහලාන් මවුලවි මට දුරකතනයෙන් කතා කර සාකච්ඡාක් දිය හැකි දැයි විමසුවා.

මා මේ පිළිබඳව පොලිස්පතිට දැනුම් දුන්නා. නමුත් කිසිම ප‍්‍රතිචාරයක් පොලිස්පතිගෙන් හෝ විමර්ශන අංශවලින් ලැබුණේ නැහැ. නීතිපති මේ ගැන සැළකිල්ලෙන් හිටියා. පොලිස්පති පිළිතුරක් එව්වේ නැහැ. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන පැවැත්වූවා නම් පොලිස්පතිට ඒක කියන්න තිබුණා. එහෙම කිව්වා නම් මම සහලාන් මවුලවි අනිවාර්යෙන්ම ඒ අංශයට යොමු කරනවා. මවුලවි අපට දුන් ලිපියට පියවර රැසක් ගත්තා. එතුමා ත‍්‍රස්තවාදය ගැන කියන්නේ නැහැ. එන්ටීජේ අන්තවාදය පෝෂණය කරනවා කිව්වා. නමුත් පොලිසිය ඔහුගෙන් කටඋත්තරයක්වත් ලිව්වේ නැහැ.

අප වැඩ කරන්නේ විශාල පීඩනයක් මැදයි. අසම්පූර්ණ ගොනුවක් එවලා අපට චෝදනා කිරීම අසාධාරණයි. එම්.පී. 103 ගොනුව ගැන මම පොලිස්පතිට පෞද්ගලිකව කිව්වා. මෙන්න එයාලා එවපු ලිපි ගොනුව. මේකෙන් තව්හීත් ජමාත් තහනම් කරන්න පුළුවන්ද? අවිධිමත් මළ ගොනුවක් එවලා පියවර ගන්නවාලූ. ත‍්‍රස්තවාදීන් නම් කාගෙන්වත් අහන්න ඕනද? ටීඅයිඩී එකට එයාලා අත්අඩංගුවට ගන්න පුළුවන්.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

මේ තොරතුරු ප‍්‍රමාණවත් නැතිනම් තවදුරටත් තොරතුරු ගන්න තිබුණා.

දිලීප පීරිස් මහතා:-

මේ වගේ ලිපි ගොනුවක් මම දැකපු පළමු අවස්ථාව මේකයි. ත‍්‍රස්තවාදී අංශය භූමියට යන්න ඕනෑ. එහෙම නැතිව මෙයාලා අපට මොකක්ද කියන්නෙ. මම මේ ෆයිල් එක පොලිස්පතිට යැව්වේ එහි බරපතලකම තේරුම් ගත්ත නිසයි.

කාතන්කුඩි පොලිස් ස්ථානාධිපති කැඳවලා මම මේ ගැන ප‍්‍රශ්න කළා. මේවාට පියවර ගන්නෙ නැත්තේ ඇයි කියල ඇහුවා. දේශපාලනය නිසා හිරවී සිටින බවක් ඔහු ඇඟෙව්වා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

අප කාටවත් චෝදනා කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ අඩු පාඩුවක්. පද්ධතිය ගැන ගැටලූවක්. ලිපි ගොනු අතර සම්බන්ධීකරණයේ අඩුවක් දැක්කද?

දිලීප පීරිස් මහතා:-

මේ සිද්ධියේදී එක කාලයකට පසු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය නිහඬයි. බෝම්බ ගිය දවසේ මට කල්පනා වුණා මීට වඩා දෙයක් කරන්න තිබුණ නම් හොඳයි කියලා.

නලින්ද ජයතිස්ස මහතා:-

නීතිපති දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි ඒකකය ආරම්භ කළේ කවදාද?

දිලීප් පීරිස් මහතා:-

වසර විස්සකට පමණ පෙර

නලින්ද ජයතිස්ස මහතා:-

ලිපි එහාට මෙහාට යොමු කරනවා හැරෙන්නට නීතිපති දෙපාර්තමේන්තුවට වෙන පියවරක් ගත නොහැකිද?

දිලීප පීරිස් මහතා:-

පුළුවන්. විවිධ පුද්ගලයන් කැඳවීමටත් කටයුතු කළා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

මොනදේ කිව්වත් ගොඩක් අය මෙතැනදී අසාර්ථක වී තිබෙනවා.

රවුෆ් හකීම් මහතා:-

එක එක්කෙනාට චෝදනා කරනවාට වඩා ක‍්‍රමවේදය නිවැරදි කර ගැනීම වැදගත්.

මහාචාර්ය ආශු මාසිංහ මහතා:-

සහලාන් මවුලවි ෆයිල් එකක් අතින් ගෙනත් දුන්නු නිසා අවධානය යොමුවුණා කිව්වා. එතකොට අවධානය යොමු වන්නේ අතින් දුන්නොත් විතරද?

දිලීප පීරිස් මහතා:-

සහලාන් මවුලවි කාතන්කුඩියේ ඉඳලා තකහනියේ ඇවිල්ලා, දීපු නිසා මම ටිකක් ඒක සංවේදී වුණා. ඕන නම් ඔහුට මේක තැපෑලෙන් එවන්නත් තිබුණා.

ෆේස් බුක් පිටු බලලා අපට නඩු දාන්න පුළුවන්ද?

මහාචාර්ය ආශු මාරසිංහ මහතා:-

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉල්ලූවේ උපදෙස්. ඔබලාට ඒ උපදෙස් දෙන්න තිබුණා.

දිලීප පීරිස් මහතා:-

ඒකට අපේ උපදෙස් අවශ්‍ය නැහැ. අයිසීසීටීආර් පනතට වඩා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රබලයි. මෙතැන තියෙන්නේ එස්.ටී.ජේ. වෙබ් අඩවියේ පත‍්‍රිකායි. එහෙමනම් විශේෂඥ සාක්‍ෂියක් ගේන්න ඕන සාක්‍ෂිමය අනුපිළිවෙළක් තිබුණේ නැහැ.

සරත් ෆොන්සේකා මහතා:-

වැඩි විස්තර නැති නිසා ඔබ ගත්තේ නැහැ. නමුත් මවුලවි කාතන්කුඩියේ ඉඳලා ආපු නිසා ඔබගේ පපුවට වැදුණා. නමුත් ෆයිල් දෙකේම තිබුණේ එක විෂයයක්. ෆයිල් දෙකක් වුණාට විෂය එකයි.

දිලීප පීරිස් මහතා :-

අප මේක පොලිස්පතිට යැව්වා. නමුත් පොලිස්පති අපට මොකුත්ම කිව්වේ නැහැ. පොලිස්පති නිහඬයි.

සරත් ෆොන්සේකා මහතා:-

වැඬේ අවුල් වුණාම සම්බන්ධීකරණය ඇතිවෙලා වැඩක් නැහැ.

දිලීප පීරිස් මහතා:-

ඔව් ඒක හරි.

ආශු මාරසිංහ මහතා:-

අන්තවාදීන් ගැන තවත් ෆයිල් තිබුණාද?

දිලීප පීරිස් මහතා:

අන්තවාදී බෞද්ධ පිරිසකුත් ඉන්නවා. එහෙම පැමිණිලිත් තියෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි මහතා සාක්‍ෂි දෙමින් මෙසේ පැවැසීය :

මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේ 1998 දියි. අපරාධ අංශයට අනුයුක්තව රාජකාරි කරනවා. විශේෂ අධිකරණයේ නඩු මෙහෙයවන්නා ලෙස කටයුතු කරනවා.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

ඩබල් ඊ.ආර්. ෆයිල් එක ගැන විස්තරයක් කරන්න.

නවාවි මහතා:-

ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයෙන් අපට ආවේ ලිපි කිහිපයක්. ඒකට ගොනුවක් කියන්න බැහැ. මේ ගොනුව නවාවි විසින් මලික්ට දුන්නේ ඇයිද කියල ප‍්‍රශ්නයක් ඇති වී තියෙනවා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

මේ සභාවට එහෙම ප‍්‍රශ්නයක් නැහැ.

නවාවි මහතා

සහරාන් ඒ කතා පවත්වලා තිබුණේ දෙමළ භාෂාවෙන්. මම මේක මලික් අසිස් මහතාට යොමු කළේ වටහා ගැනීමේ පහසුව සැලකිල්ලට ගෙනයි. පොලිසියට සාක්ෂි තියෙනවා නම් නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ. අදාළ අය අත්අඩංගුවට ගන්න පුළුවන්.

ආශු මාරසිංහ මහතා:-

අඩුපාඩු තියෙනවා නම් ඒ අයට ඒක කියන්න තිබුණා.

නවාවි මහතා

එහෙම කියන්න අවශ්‍ය නැහැ.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

මේක ගමේ ගහගත්තු දෙයක් නොවෙයි. බරපතළ සිද්ධියක්. ඇයි මේක පස්සෙ ගියේ නැත්තෙ?

නවාවි මහතා:-

අපරාධ විමර්ශනයක මුල් අදියර විය යුත්තේ පැමිණිල්ලක් සටහන්කර ගැනීමයි. මෙතැන ඒක වෙලා නැහැ.

ආශු මාරසිංහ මහතා:-

මලික් අසිස් මේ ගැන ඔබ සමග සාකච්ඡා කළාද?

නවාවි මහතා:-

මගේ මතකය හැටියට නැහැ. පමාවක් ගැන මට කවුරුත් කිව්වේ නැහැ.

ආශු මාරසිංහ මහතා:-

මලික් ඔබ නැතිව දප්ලූල ද ලිවේරාගෙන් උපදෙස් ගත්තාද?

නවාවි මහතා:-

එහෙම වෙන්නේ නැහැ.

ආශු මාරසිංහ මහතා:-

ඔබලා ටීඅයිඞී එකට උපදෙස් දීමෙන් වැළකී සිටියාද?

නවාවි මහතා:-

මට තේරෙන්නෙ අනෙක් පැත්ත. ඇයි අපට විස්තර ඉදිරිපත් නොකළේ.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

ටීඅයිඞී එකට උපදෙස් දුන්නා නම් අපේ‍්‍රල් ප‍්‍රහාරය ඇති වන්නේත් නැහැ. සාක්‍ෂිකාරයා ටිකක් හොයාගන්න කියලා උපදෙස් දෙන්න තිබුණා. සාක්ෂි හොයාගෙන වරෙල්ලා කියන්න තිබුණා. එහෙම වෙලා නැහැ.

නවාවි මහතා:-

මුල් පැමිණිල්ලවත් ගොනුව සමග ඉදිරිපත් කළේ නැහැ. අප ටීඅයිඞී එකට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක විශේෂ ආයතනයක්.

නලින්ද ජයතිස්ස මහතා:-

පොලිසිය එවන සියලූ ලිපිගොනු අසම්පූර්ණද?

නවාවි මහතා:-

එහෙම නැහැ. මේක අසම්පූර්ණ ගොනුවක්.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

ඔබලාගෙන් කිසිම අඩුපාඩුවක් වෙලා නැති බවද ඔබ මේ කියන්නේ.

නවාවි මහතා:-

මට ඒකට ඔව් හා නැහැ කියලා උත්තරයක් දෙන්න බැහැ.

සුමන්තිරන් මහතා:-

ඔබෙන් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන්.

(නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් අතර සාකච්ඡාවක්)

නවාවි මහතා:-

නැහැ. එහෙම අඩුපාඩුවක් වෙලා නැහැ.

සුමන්තිරන් මහතා:-

මෙතැනදි නීතිපති දෙපාර්තමේන්තුව හොඳින් කටයුතු කළාද?

නවාවි මහතා:-

ඔව්.

ආශු මාරසිංහ මහතා:-

නීතිපති උපදෙස් දුන්නා නම් අද සහරානුත් ඉන්නවා ඒ සිද්ධියෙන් මැරුණු අයත් ඉන්නවා.

නවාවි මහතා:-

මම ඒක ප‍්‍රතික්‍ෂේප කරනවා. මීට කලින් සහරාන් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු දෙකක් තිබුණා. නමුත් ඇල්ලූවේ නැහැ. පළමු විවෘත වරෙන්තු නිකුත් කළේ මඩකළපු මහේස්ත‍්‍රාත්. දෙවැනි වරෙන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් නිකුත් කළා. නමුත් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සහරාන් ඇල්ලූවේ නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් නොදුන්නු නිසා බෝම්බ පිපිරුවා කියන එක ද්වේශ සහගත ප‍්‍රකාශයක්.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 6 වැනිදා යළි රැස්වීමට නියමිතය.

***************************************

කොළඔ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට රජයේ කිසිඳු සහායක් ලැබෙන්නේ නැහැ

(02.08.2019 – saaravita.lk)

කොළඹ ජාත්‍යන්තර උළෙල අගෝස්තු මස 03 වැනිදා සිට එල්ෆින්ස්ටන් රඟහලේදී

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *