ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක්…

(02.08.2019 – 16:40 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණය කැදවීමට දින 69 යි.. ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක්…

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය :

අද මේ රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ ජනාධිපතිවරණය කියන මාතෘකාවයි. ජනාධිපතිවරණයට තව දින 113 යි ඉතිරි වෙලා තිබෙන්නේ. දවස් 83 කින් මෙපිට නාමයෝජනා භාරගත යුතුව තිබෙනවා. දින 69 කින් නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය නිවේදනය කළ යුතුව තිබෙනවා. පළාත් සභා ඡන්දයක් ගැන සිහිනෙන්වත් නොසිතපු ඇතැමුන් දැන් පළාත් සභා ඡන්දයක් ගැන කතා කරනවා. නින්දෙන් ඇහැරිලා වගේ පළාත් සභා ඡන්දයක් පැවැත්වීමට සූදානම් වෙලා ජනාධිපතිවරණය කල්දාන්නයි හදන්නේ. නමුත් කිසි ලෙසකින්වත් ජනාධිපතිවරණය කල්දාන්න කාටවත් බැහැ.

මේ රටට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ අපේක්‍ෂකයෙක්, ජනාධිපතිවරයෙක් නෙමෙයි. මේ රටට අවශ්‍ය නායකයෙක්. හොඳ කශේරුකාවක්, එක පොදු නීතියක්, නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය වෙලා තිබෙන්නෙ. වත්මන් රජය විසින් විදේශීයකරණය කළ රාජ්‍ය සම්පත් නැවත ජාතිය සතු කර ගැනීම සඳහා අවශ්‍ය දැක්මක් සහිත නායකයෙක් අවශ්‍යයි. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයට ලක් විය යුතුයි. ඒ සඳහා දැක්මක්, නිසි නායකත්වයක් අවශ්‍යයි. තව නොබෝ දිනකින් රටට ආදරය කරන සියලු බලවේග එකට එකතු වෙලා අවශ්‍ය සුදුසුම නායකයා රටට තෑගි කරනවා. දැන් සමහර අපේක්‍ෂකයෝ පාසල් ළමුන්ට සපත්තු කුට්ටම් දෙන්නත් සූදානම්. නමුත් අපේ අපේක්‍ෂකයා රට සියලුම අංශවලින් ශක්තිමත් කරන නායකයෙක්. එම අපේක්‍ෂකයා ඉතා ගෞරවයෙන් 11 වැනිදා රටට ඉදිරිපත් කරනවා.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකත්වය තිබුණා. එහිදී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ගත වූ වසර හතරහමාර තුළ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ සහ පිරිස් මේ රටේ දැඩි පීඩන කොන්දේසි මැද අරගලයක් කළා. රට වෙනුවෙන් නොයෙක් අපහාස වින්ඳා. නමුත් මේ අරගලය කිසි කෙනෙක් අත්හැරියේ නැහැ. වරප්‍රසාදවලට යට වුණේ නැහැ. මහින්ද රාජපක්‍ෂ නායකත්වයෙන් යුත් සන්ධානය ගොඩනැගීමේ අවසාන අදිරය එදා අවතීර්ණ වුණා. ඉදිරි දින කිහිපය ඇතුළත නව සන්ධානය එළිදක්වනවා. සියලුම පක්‍ෂ අනුමත කළ නව ව්‍යවස්ථාව හදා අවසන්. පොදුජන ඒකාබද්ධ පෙරමුණේ නව සන්ධානය ඉතිහාසයේ පුළුල්ම සන්ධානයයි. සියලුම නායකයන් ප්‍රතිපත්තිමය වශයෙන් සන්ධානය ගොඩනැඟීම සඳහා එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ සන්ධානය නිර්මාණය කර ගැනීමේදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් විශාල කැපකිරීමක් අපි හැමෝම සිදුකළා. එම අස්වන්න නෙළන්න අපට පුළුවන්කම ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග වූ සන්ධානය, එකඟතාව බිඳ වැටී නැහැ. ඒ සාකච්ඡා පැවැත්වෙනවා. ජනාධිපතිවරුන් දෙපළ පෞද්ගලිකව මුණ ගැසී අවසාන කෙටුම්පත පිළිබඳව එකඟත්වය ලබා ගැනීමෙන් පසුව ඊළඟ පියවරට යනවා. ඒ සාකච්ඡාව නුදුරේදීම පැවැත්වෙයි කියා විශ්වාස කරනවා. ශ්‍රීලනිපය ඇතුළේ සුළු පිරිසක් යළිත් එජාපය තුරුළට යෑමට උත්සාහ දරනවා. ඒ දීන දේශපාලන උත්සාහය පරාජය කිරීමට ශ්‍රීලනිප බහුතරයට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

අපේ කුමන ප්‍රතිවිරෝධතා කොපමණ තිබුණත් 05 වැනිදාට ගොඩනංවන බව කියන එජාපය ප්‍රමුඛ සන්ධානයට සුබපතනවා. මේ සන්ධානය ගැන පැහැදිලි කරගත යුතුයි. මේ සන්ධානය තමයි දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව තුළ සිටින පක්‍ෂම, ජනවාරි 08 වැනිදා හංසයා ලාංඡනයකින් ආ අය නිල සන්ධානයකින් පැමිණීම. මේක අලුත් දෙයක් නෙමෙයි. සමහර ගම්වල ප්‍රාදේශීය ලේකම්වරුන් කරනවා ගමේ විවාහ නොවූ පැරණි ජෝඩු නීත්‍යානුකූලව විවාහ කරවනවා. මේ සන්ධානෙත් අපට පේන්නේ එහෙමයි. එම නිසා කිසිම අලුත් දෙයක් ලැබෙන්නෙ නැහැ.

මේ සන්ධානයේ ඉන්නේ රනිල්, සජිත්, කරූ, රාවුෆ්, රිෂාඞ්, මනෝ ගනේෂන්, දිගම්බරම්, පාඨලී. මේ සියල්ලම එකට ඉඳගෙන පසුගිය පෙබරවාරි 10 වැනිදා එකට තරග කරලා ඡන්ද කීයද ගත්තෙ? ආණ්ඩුවේ මුළු බර යොදලා ගත්තේ ඡන්ද ලක්‍ෂ 36 යි. මීට වඩා මේ කණ්ඩායම ජනප්‍රිය වුණේ ජනවාරි 08 වැනිදා පමණයි. එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියන එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. මේ රට අර්බුදයෙන් ගොඩනඟන්න නම් ඕනෑම පක්‍ෂයකින් ශක්තිමත් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි. දැන් සිරිකොත යුද්ධයක් පටන් අරන්. අපි ඉතාම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අපේක්‍ෂකයා වෙනුවෙන් රණ්ඩු වෙන්න එපා. අපිව ආදර්ශයට ගන්න. එනිසා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සියලුම දෙනාට එකට ඉඳගෙන හොඳම අපේක්‍ෂකයෙක් දෙන්න. අපට දේශපාලන පරඬැල් අවශ්‍ය නැහැ.

මාධ්‍ය ඒකකය
ඩලස් අලහප්පෙරුම

***************************************

ජල ගැලුම් නිම්න උද්‍යානයේ වන විනාශය ගැන ‘හිරු CIA’ හෙළිදරව්ව ඵලදරයි

(02.08.2019 – 20:19 +0530 – hirunews.lk/sinhala)

සෝමාවතිය ජල ගැලුම් නිම්න උද්‍යානයේ අක්කර 3000 ක් පමණ අනවසරයෙන් වගා කළ පුද්ගලයින් වහා ඉවත් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම ජාතික වනෝද්‍යානයේ අනවසරයෙන් සිදු කරන වන විනාශය පිළිබද පසුගියදා හිරු CIA තුළින්ද රටට හෙළි කළා.

සෝමාවතිය ජල ගැලුම් නිම්න උද්‍යානය තුළ කුඹුරු අස්වද්දන මුවාවෙන් ක්‍රමක්‍රමයෙන් වන උද්‍යානයේ විශාල ගස්වලට හානි කරමින් ජාතික වනෝද්‍යානය තුළ සිදු කරගෙන ගිය විනාශය පිළිබඳ පසුගිය ජූලි 10 වැනිදා පළමුවරට රටට අනාවරණ කරන්නට හිරු CIA සමත් වුණා.

ජාතික වනෝද්‍යානය තුළ සිදු කර තිබූ විනාශයන් පිළිබද ක්‍රියාත්මක වූ බලධාරීන් ඊට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණා.

ඒ අනුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ජාතික වනෝද්‍යානය තුළ වගා සිදු කරන සියලු දෙනා ඉවත් කරන ලෙසයි.

***************************************

පොදුජන පෙරමුණට එක්වන බවට මන්ත්‍රී ඩිලාන්ගෙන් අනතුරු ඇඟවීමක්

(02.08.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala)

නිදහස් පක්ෂය නිවැරදි මාවතට නොඑන්නේ නම් තමන් ඉන් ඉවත්ව පොදුජන පෙරමුණට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

අද බදුල්ලේදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළා.

***************************************

අනුමත කළ කුරුණෑගල DIGගේ ස්ථාන මාරුව, අවලංගු කෙරේ

(02.08.2019 – 19:43 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට ලබාදී තිබූ ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් කොමිසමේ සාමාජිකයින් මෙම තීරණයට එළඹි බවයි.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමලය කොට්ඨාශය වෙත මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම ඊයේ අනුමැතිය ලබාදෙනු ලැබුවේ වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය සැලකිල්ලට ගනිමින්.

එහෙත් මේ මොහොතේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා හැර සෙසු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 17 දෙනෙකුට පමණක් ස්ථාන මාරු ලබාදීමට අද රැස්වූ ජාතික පොලිස් කොමිසම අනුමැතිය පළ කර තිබෙනවා ෴

***************************************

අරාබි බැංකුවකින් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ ගිණුමකට බැරවීම ගැන විමර්ශනයක්

(02.08.2019 – 18:18 +0530 – lankadeepa.lk)

පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් සැකකටයුතු ලෙස රුපියල් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ බැංකු ගිණුමකට බැරවීමේ සිද්ධියකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කෝට්ඨාසය ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් මොහොමඩ් මිහයිල් මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කර ඇත.

අංක 15, ඩී මෙල් මාවත, ඕෆ් කොරි රෝඩ්, දෙහිවල පදිංචි මොහොමඩ් ෆවුෂාන් නැමැති අයකුට අයත් මෙරට යකඩ ආශි‍්‍රත නිමැයුම් කර්මාන්තායතනයක් ලෙස පිහිටුවා ඇති අංක 183, 1/2, ගාලුපාර, දෙහිවල ලිපිනයේ පෙරික් ලංකා පුද්ගලික සමාගම නමින් ඉකුත් 2019 අපේ‍්‍රල් මස 24 වැනිදා National Bank of R. A. K. (P S C), PO 5300, R A S AL KHAMAIL UAE, UAE වශයෙන් සඳහන් විදේශීය බැංකුවකින් රුපියල් මිලියන 10 ක මුදලක් සැකකටයුතු ලෙස මෙම සමාගමේ ගිණුමට ලැබී ඇති බවත් මෙම මොහොමඞ් ෆවුෂාන් නැමැත්තාගේ ව්‍යාපාර කටයුතු මෙන්ම පෞද්ගලික ගණුදෙනු ද අතිශය සැකකටයුතු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, පෙරික් ලංකා පුද්ගලික සමාගමේ සහ එහි අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් සියලුම බැංකු ගිණුම් වාර්තා කැඳවීම සඳහා නියෝග ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණී.

මෙම බී වාර්තාවට අනුව ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම්වලට අදාළ මූල්‍ය වාර්තාවන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස එම මූල්‍ය ආයතනවල කළමණාකරුවන් වෙත නියෝග කළේය ෴

***************************************

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

(02.08.2019 – colombotoday.com)

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් බිහිවිය හැකි බව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් අරූස් පවසනවා.

Colombo Today වෙත විශේෂ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු පලකල අදහස්…

***************************************

එක්නැලිගොඩ නඩුවට සැකපිට තවත් රණශුර හමුදා බුද්ධි අංශ විරුවෙක් අත්අඩංගුවට

(02.08.2019 – colombotoday.com)

මාධ්‍යවේදියෙක් ලෙස හඳුන්වන, තවත් පිරිසක් කොටි ඔත්තුකරුවෙකු ලෙස සැලකෙන ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තා අතුරුදහන්කර මරාදැමීමේ චෝදනා මත රණශුර පදක්කමට හිමිකම් කියන යුධ හමුදා බුද්ධි බලකායේ සාජන් පෙරේරා නැමති නිලධාරියෙකු අද (02) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම නිලධාරියා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අද දහවල් වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානමින් සිටියේය.

මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නැගෙනහිර ප්‍රධානියා ලෙස කොටි ත්‍රස්තවාදීන් මෙරටින් අතුගා දැමීමට අති විශාල සේවයක් කල කර්නල් ශම්මි කරුණාරත්න මහතා ඇතුළු බුද්ධි බලකා රණවිරුවන් විශාල ප්‍රමාණයක් මීට ඉහතදී අත්අඩංගුවට පත් විය.

මෙලෙස බුද්ධි අංශ රණවිරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය කලින් හඳුනා ගැනීමට නොහැකි වූ බවට ද විවිධ පාර්ශව චෝදනා චෝදනා කර සිටියේය.

ප්‍රදීප් එක්නැලිගොඩ සිද්ධිය එක්සත් ජාතික පක්ෂය 2015 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් ද විය.

කෙසේ වෙතත් මරණයට පත්විදැයි නොදන්නා පුද්ගලයෙකු මරණයට පත් කලායැයි යුධ හමුදා බුද්ධි බලකා විරුවන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිනීමැරුම් චෝදනා එල්ලකිරීම හෝමාගම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්න කිරීමට ද ලක්විය.

මෙම නඩුවිභාගය සඳහා සහබාගි වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහේස්ත්‍රාත්වරයා සමග පිළිසඳරක නිරතවීම හේතුවෙන් වසර 19 ක සිරදඬුවමකට ලක්වීමටද හේතු විය ෴

***************************************

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?

(01.08.2019 – colombotoday.com)

විල්පත්තු පරිවාර රක්ෂිතයක් වන මරිච්චිකට්ටි රක්ෂිත වනාන්තරයේ කොටසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා එළිකරමින් තිබෙන බව වාර්තා වෙනවා.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ අනුහසින් රක්ෂිත ප්‍රදේශය එළිකර ‘ජාසිම් සිටි’ නැමති නිවාස ව්‍යාපෘතියක් 2014 වසරේ සිදුකර ඇති ස්ථානයට යාබද වනාන්තර ප්‍රදේශය මේ වනවිට එළිකර නිවාස සැදීම සඳහා අත්තිවාරම් කැපීම ආරම්බ කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ කිසිදු අයුරකින් කැලෑ එළිකිරීම නවතාලමින් ජනාධිපතිවරයා විසින් මීට ඉහතදී විශේෂ නියෝගයක් කර ඇති අතර එම නියෝග නොසලකා හරිමින් වනාන්තරය විනාශ කරමින් නිවාස ව්‍යාපෘතිය සිදු කරමින් පවතියි.

***************************************

විදේශිකයාගේ මුළු නිවාඩුවම බේරාදුන් ආදර්ශමත් ත්‍රිරෝද රථ රියදුරා…

(03.08.2019 – webgossip.lk)

විදේශිකයාගේ මුළු නිවාඩුවම බේරූ ආදර්ශමත් රියදුරා..විදේශිකයන් නොමැතිව සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී තිබෙන අවස්ථාවක අපේ රටේ හොඳ මිනිසුන් සිටින බව ලෝකයට දැනුම් දීමට හැකි සෑම මොහොතක්ම ප්‍රයෝජනයට ගත යුතුයි

රුපියල් 360,000 ක් පමණ වටිනා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් විදේශිකයාට ලබාදුන් ආදර්ශමත් ත්‍රිරෝද රථ රියැදුරකු ගැන ඊයේ (02) රාත්‍රියේ දඹුල්ල නගරයෙන් අපිට අහන්න ලැබෙනවා . ඔහු නමින් සුනිල් ශාන්ත මහතාය.

ඉතාලි ජාතිකයෙකු වූ ලුකස් නැමැති සංචාරකයකු ඊයේ දින පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයට ඇවිත් සීගිරිය – දඹුල්ල සංචාරය කොට සුනිල් ශාන්ත මහතාගේ ත්‍රිරෝද රථයකට නැඟ ලැගුම්හලට හා රාත්‍රී ආහාර ගැනීමට ගිහින් තිබෙනවා.

විදේශිකයාගේ ගමන් අවශ්‍යතාව සපුරා දීලා සුනිල් මහතා සිය නිවසට ගොස් පැයක පමණ කාලයක් ගත කරලා නැවතත් රාත්‍රියේ දඹුල්ල නගරයට ඇවිත් තියෙනවා ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු වගයක් මිලදී ගන්න.

බඩුමුට්ටු ටිකත් අරගන ඔහු ඉන්ධන පිරවුම් හලකට ගිහින් සිය ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට යන අවස්ථාවේදී සිය ත්‍රීරෝද රථයේ ඇතුළත බිම මෙම මුදල් පසුම්බිය වැටී තියෙනවා දැකලා තියෙනවා.
මෙම මුදල් පසුම්බිය අතට ගෙන විවෘත කර බැලූ ඔහු දැක තිබෙනවා විදේශීය මුදල් නෝට්ටු රැසක් පසුම්බිය ඇතුලේ තිබෙනවා. එහි ලංකා මුදලින් වටිනාකම රු. 360,000 කට ආසන්න මුදලක් තිබුණු බව සුනිල් මහතා පවසනවා.

පසුව මෙම මුදල් පසුම්බිය වෙනත් කිසිවෙකුගේ නොව තමා සමග පස්වරුවේ ගමන් කළ විදේශිකයාගේ විය යුතු යැයි සැක සිතූ ඔහු මේ බව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට දන්වා ලැගුම් හලට පිටත්වෙලා තිබෙනවා.

ඒ විට ලැගුම්හලේ ගේට්ටු වසා දමා තිබුණද ලැගුම්හලේ අයිතිකරුට කතාකොට විදේශිකයා ලැගුම් ගෙන සිටින කාමරයට ගොස් ඔහුට කතා කොට සුනිල් ශාන්ත මහතා එම මුදල් පසුම්බිය ‌ඔහුට බාරදී තිබෙනවා.

https://www.youtube.com/watch?v=o6wLNarJrts

***************************************

සියලුම ජනපති අපේක්ෂකයන්ට මහා සංඝ රත්නයෙන් පොදු නිර්ණායකයන් පැනවේ

(03.08.2019 – nethnews.lk)

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබෙනවා. අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට පාළනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කරන බවයි.

උන්වහන්සේ කියා සිටියේ මේ වන විට රටට ගැළපෙනම පුද්ගලයා තෝරා ගැනීම සියළු දෙනාගේ වගකීම බවයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ගුණාංග සම්බන්ධයෙන් සියළු පක්ෂ වෙත ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් දැනුවත් කිරීමක් සිදු කරන බවද අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කළා.

***************************************

අර්බුද නිසා එජාපයට සන්ධානගතවීමට ඉඩක් නැහැ – මහින්දානන්ද කියයි

(03.08.2019 – nethnews.lk)

එක්සත් ජාතික පක්‍ෂයට සන්ධානගතවීමට හෝ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ තීරණවලට එක්සත් ජාතික පක්‍ෂයේ බහුතරයක් විරෝධය දැක්වීම ඊට හේතුව බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයා කියාසිටියේ.

මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ ගෙයින් ගෙට යාමේ ප‍්‍රචාරණ වැඩසටහන නාවලපිටියෙන් අද ආරම්භ කරමින්. මෙම ප‍්‍රචාරණ වැඩසටහන සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා මෙලෙස අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *