පල්ලෙවෙල විෂ මත්පැන් සිද්ධියේ හිමිකරු සහ සහයකයා රිමාන්ඩ් – සාම්පල රස පරීක්ෂකට

(05.08.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවමින් පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය හිරු පුවත් අනාවරණයෙන් පසු පොලීසිය ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහි තිබී නිෂ්පාදනය කරන ලද මත්පැන් සහ ඊට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ඒවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කර තිබෙනවා.

මේ අතර, එම ස්ථානයෙන් මත්පැන් පානය 9 දෙනෙකු පමණ මේ වනවිට මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු මෙම ස්ථානයේ හිමිකරු සහ තවමත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ප්‍රදේශවාසීන් ද චෝදනා කළේ පොලීසිය මේ පිළිබදව නිසි විමර්ශනයක් මීට පෙර සිදුකළේ නම් මෙවන් තත්ත්වයක් ඇති නොවනු ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවයි.

+++++++++++++++++++++

හිරු පුවත් අනාවරණය කළ පල්ලෙවෙල, විෂ මත්පැන්පළේ හිමිකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට – මරණ 8 දක්වා ඉහළ යයි

(04.08.2019 – 17:05 +0530 – hirunews.lk/sinhala)

හිරු පුවත් අනාවරණයෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැදවමින් පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පල්ලෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයෙන් මත්පැන් පානය කොට මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අනාවරණ කළේ ඊයේ දිනයේයි. එම ස්ථානයෙන් මත්පැන් පානය කළ බවට පැවසෙන පුද්ගලයින් 9 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා.

සිද්ධිය අනාවරණ කරන විට පුද්ගලයින් 7 දෙනෙකු මෙම ස්ථානයෙන් මත්පැන් පානය කොට මිය ගොස් සිටි බවට තොරතුරු ලැබී තිබූ අතර අනෙක් මරණය අද දහවල් වාර්තා වූයේ මීරිගම – බාදුරාගොඩ – උඩුඋල්ල ප්‍රදේශයෙන්.

මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ අන්නාසි වගා කර ඇති ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

මේ අතර, මෙලෙස මත්පැන් පානය කොට මිය ගිය පුද්ගලයෙකුගේ දේහය රැගෙන ගම්වාසීන් පිරිසක් අද මීරිගම – දිවුලපිටිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක ද නිරත වුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ පල්ලෙවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බවයි.

මෙම මත්පැන් අලෙවි කරන ස්ථානය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පල්ලෙවෙල පොලීසියට චෝදනා කරනවා.

+++++++++++++++++++++

පල්ලෙවෙල නීතිවිරෝධී මත්පැන් බීමෙන් මියගිය ගණන තවත් ඉහළට

(05.08.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

පල්ලෙවෙල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක මත්පැන් පානය කිරීමෙන් 12 දෙනකු මිය යාමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව පල්ලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදන චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු නවයක සැකකරුවකු බවට පත්ව සිටින අයෙක්.

මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක මත්පැන් පානය කළ පිරිසක් හදිසියේ රෝගී වී මිය යාමේ පුවත පළමුවෙන්ම වාර්තා වූයේ ඉකුත් සෙනසුරාදායි.

ගෙවුණු දෙදින තුළ පමණක් එම ස්ථානයේන් මත්පැන් පානය කළ පුද්ගලයන් 11 දෙනකු මිය ගොස් තිබුණි.

ඒ අතරින් එක් පුද්ගලයකුගේ මළ සිරුරු සොයාගැනුණේ ඒ ආසන්නයේ වත්තෙමුල්ල ප්‍රදේශයේ කැලෑබද ඉඩමක තිබියදීයි.

මිය ගිය ගණන තවත් ඉහළ නංවමින් රොගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයකුද අද මිය ගියේය.

සිද්ධියෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් ගණන 20 කට අධිකයි.

විජලන තත්ත්වයකින් සහ හෘදයේ ඇතිවූ අබාධ හේතුවෙන් අදාළ පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණවලින් අණාවරණ වී තිබේ.

එහෙත් ප්‍රෙද්ශවාසීන් පවසන ආකාරයට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැහැ.

කෙසේ වෙතත් මේ සිද්ධීය වාර්තා වීමෙන් අනතුරුව මෙම නීතීවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරු මෙන්ම එහි සහායකයෙකු පල්ලෙවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සැකකරුවන් සමඟ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ලීටර් 08 කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

නමුත් සිය පොලිස් වසම තුළ දිගු කලක පටන් සිදුවූ ජාවාරම , පුද්ගලයින් 12 දෙනෙක් නීතිවිරෝධි මත්පැන් විෂවීමෙන් මිය යනතෙක්ම පල්ලේවල පොලිසීයේ ඇස නොගැටීම ගැන ගම්වාසීන් විමතිය පළ කරයි.

එහෙත් මේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය කාංචන අජිත් නම් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිටත් නඩු 09 ක් පවතින බවත් එම නඩු 09ම නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ නඩු බවත් පල්ලේවෙල පොලිසීය අප කල විමසීමකදී සඳහන් කළේය.

එමෙන්ම මෙම මත්පැන් බෙදාහරිනු ලැබූ ඇලිපිටියේගෙදර සුභසිංහ නැමැති සැකකරුටද අත්තනගල්ල අධිකරණයේ නඩු 09 ක් පවතින බව පොලිසීය පවසයි.

මෙලෙස නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අධිකරණයට ඉදිරිපත් කෙරුණු තැනැත්තෙක් තවදුරටත් කිසිදු පැකිළිමකින් තොරව ජාවාරම ඉදිරියට සිදුකරගෙන ගොස් ඇත්තේ කාගේ සහායක් ඇතිවද යන්න පිළිබඳව ප්‍රෙද්ශවාසීන් තුළ ඇත්තේ දැඩි සැකයක්.

මේ අතර නීතිවිරෝධි මත්පැන් පානය කර හදිසියේ රෝගී වී මිය ගිය වත්තෙමුල්ල ප්‍රෙද්ශයේ පුද්ගලයාගේ දේහය ගම්වාසීන් අද මීරිගම දිවුලපිටිය මාර්ගයට රැගෙන අවේය.

ඉන්පසු එම දේහය අවසන් කටයුතු සදහා සුසානභූමිය වෙත රැගෙන යන අතරතුර ප්‍රධාන ජාවාරම්කරු මත්පැන් අලෙවිකල බව පැවසෙන ස්ථානයට දේහය රැගෙනවිත් ජනතාව සිය විරෝධය පළ කළේය.

එලෙස විරෝධය පැවැත්වෙන අතරතුර පල්ලේවල ප්‍රදේශයේ මියගිය අනෙක් පුද්ගලයාගේ ඥාතීන්ද එම තැනැත්තාගේ දේහය රැගෙන විත් විරෝධය පළකළ අතර එහිදී ප්‍රධාන ජාවාරම්කරුවන්ගේ ඥාතීන් බව පැවසෙන පිරිසක් සමග බහින්බස්වීමක් ඇති වුණි ෴

+++++++++++++++++++++

***************************************

නිධන් හොරකමක යෙදනවාදැයි සජිත් ගැන සැකයක් – පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන්

(04.08.2019 – 20:52 +0530 – hirunews.lk/sinhala)

නිවාස වැඩසටහන් මුවාවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිධන් හොරකමක යෙදනවාදැයි සැකයක් පවතින බැවින් ඊට ඔහු පිළිතුරු ලබා දියයුතු බව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

ඇමරිකානු තානාපති කාර්යාලයේ නිවේදනයට වැරදි අර්ථ කථන දී ඇති බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය කියයි

(04.08.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අවදානම් නිවේදනය ඇතැම් පාර්ශව විසින් වැරදි ලෙස අර්ථ කථනය කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ගෙන යන තොරතුරු සාවද්‍ය බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන වැසියන්ට නිකුත් කර ඇති අවදානම් නිවේදනය සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් පැහැදිලි කිරීමක් කර තිබුණා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දී තිබුණේ අදාළ නිවේදනය ජනතාව රැස්වන උත්සව සහ අවස්ථා සඳහා සාමාන්‍ය යහභාවිතයක් ලෙස සිදුකෙරෙන සිහිපත් කිරීමක් බවයි.

ශ්‍රී ලංකාවට අමතරව දෙවන මට්ටමේ ආරක්ෂක තත්ත්වයක් ඉන්දියාව, ප්‍රංශය, රුසියාව, චීනය ආදී රටවල් වෙනුවෙන් ද ඇමරිකාව නිකුත් කර ඇති බවයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

විමල් වීරවංශ මහතා – කඩුවෙල ආසන බල මණ්ඩල රැස්වීමේදී – 04.08.2019

***************************************

භික්ෂූන් වහන්සේලාට එරෙහි ප්‍රකාශ ගැන බෙල්ලන්විල හිමියන්ගෙන් ප්‍රතිචාරයක්

(04.08.2019 – 19:08 +0530 – hirunews.lk/sinhala)

භික්ෂූන් වහන්සේලා සිරගත කර සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ පිරිස් උන්වහන්සේලා කාන්තාවන්ට සම්බන්ධ කර පහර ගැසීමට උත්සාහ කරන බව ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ අද පැවති ‘යතිවර සමරු පහය’ ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින්.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ සංහිදියාව සහ සාමය වෙනුවෙන් පෙනී සිටින ආගමික නායකයින් විවේචනය කරනු ලබන සිය නියෝජිතයන් ඉවත් කර දඩුවම් ලබාදීමට පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බවයි.

***************************************

ජේ.එම්.අයි. තහනම් සංවිධානයේ අනුරාධපුර නායකයා අත්අඩංගුවට

(04.08.2019 – 17:41 +0530 – hirunews.lk/sinhala)

ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග තහනම් කරනු ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් හෙවත් ජේ.එම්.අයි. සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ මොහොම්මදු ස්මයිල් මොහොම්මද් සල්මාන් නැමැත්තා අම්පාර පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් මොහු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.

මේ අතර, ජේ.එම්.අයි. සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔලුවිල් විශ්වවිද්‍යාලය තුළ එම සංවිධානයේ මත වාද ප්‍රවර්ධනය කළ ශිෂ්‍යයෙකු ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා ෴

+++++++++++++++++++++++++++++++++++

සහරාන් සමග අවි පුහුණුව ලැබූ තිදෙනෙක් අල්ලයි

(05.08.2019 – 17:49 +0530 – hirunews.lk/sinhala)

සහරාන් සමග නුවරඑළියේ සහ හම්බන්තොටදී අවි පුහුණුව ලැබූ NTJ සහ JMI සාමාජිකයින් තිදෙනෙක් අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා ෴

+++++++++++++++++++++

***************************************

නුවරඑළියේදී ප්‍රපාතයකට පෙරළුණු තිරිගු පිටි කන්ටෙයිනර් රථය

(05.08.2019 – 16:43 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ සිට ඩයගම දක්වා තිරිගු පිටි ප්‍රවාහනය කරමින් සිටි කන්ටෙයිනර් රථයක් මර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු කියාසිටියේ අද (05) උදෑසන 8.30 පමණ ලිදුල බෙයාර්විල් වත්ත ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට හේතුව වී ඇත්තේ කන්ටේනර් රථයේ වේගය පාලනය කරගැනිමට නොහැකි වීමෙන් බවයි මුලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් එම රථයේ රියදුරු ඇතුළු තවත් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

***************************************

නිවාඩු සමයත් සමඟ උඩරට සංචාරයට අතිරේක දුම්රියක්

(05.08.2019 – 15:11 +0530 – hirunews.lk/sinhala)

පාසල් නිවාඩු සමයේදී උඩරට සංචාරය සඳහා අතිරේක දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා එස් 12 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් හෙට සිට ධාවනය කෙරෙනු ඇති.

පෙරවරු 07:05 ට එම දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර, යළි එම දුම්රිය පසුදින පෙරවරු 07:30 ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම විශේෂ දුම්රියට අමතරව තවත් දුම්රිය වාර කිහිපයක් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය කෙරෙනවා ෴

***************************************

තනතුරේ හයියෙන් සිරකරුවන්ගෙන් වැඩ ගන්න බෝගම්බර බන්ධනාගාර අධිකාරීවරයා

(03.08.2019 – 19:17 +0530 – hirunews.lk/sinhala)

තම තනතුර පාවිච්චි කරමින් සිකරුවන් සිය පෞද්ගලික අවශ්‍යතා අවශ්‍යතා වෙනුවෙන් යොමු කිරීමට බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයා කටයුතු කරන ආකාරය අද දෙරණ උකුස්සාට අනාවරණය විය.

පල්ලේකැලේ බෝගම්බර සිරගෙදරින් නිලධාරියෙකු සමඟ පිටතට පැමිණි සිරකරුවන් දෙදෙනෙක් ශ්‍රී නරේන්ද්‍රසිංහ මාර්ගය ඔස්සේ ගමන්කරන ආකාරය පිළිබඳ සැක සිතූ උකුස්සා මොවුන් පසුපස හඹා ගියේය.

පසුව ඔවුන් ඇතුළු වෙන්නේ, අංක 50/03 දරන ලිපිනය සහිත නිවසටයි.

පසුව සිරකරු ඇඳුම මාරුකරගත් මොවුන් මුහුණු ආවරණය කර ගන්නා ආකාරය අපට දැක ගත හැකි විය.

අප වැඩිදුරටත් කළ සොයාබැලීමේ අනාවරණ වූයේ මොවුන් අතින් අදාළ නිවසේ ඉදිකිරීමක් සිදුවන බවයි.

ඔවුන්ගේ ආරක්ෂාවට පැමිණි බන්ධනාගාර නිලධාරියා ද එහි සිටින අතර දහවල් කාලය වන විට තවත් බන්ධනාගාර නිලධාරියෙකු මෙම ස්ථානයට පැමිණෙයි.

අප තවදුරටත් කළ සොයාබැලීමකදී අනාවරණ වන්නේ, ඔහු බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයා බවයි.

මේ අධිකාරීවරයා අදාළ සිරකරුවන් පිටතට ගෙන ඇත්තේ, තම නිල නිවසේ වැඩ කටයුතු කිරීම සඳහා බවට පවසමින්.

කෙසේ වෙතත් ඔහුගේ නිල නිවස පිහිටා තිබෙන්නේ, පල්ලේකැලේ කුණ්ඩසාලේ සාසා නිවාස සංකීර්ණයේයි.

එහි මේ වන විට කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නැති බවත් අපට අනාවරණය විය.

තම තනතුර පාවිච්චි කරමින් සිකරුවන් මෙලෙස පෞද්ගලික අවශ්‍යතා අවශ්‍යතා වෙනුවෙන් යොමුකිරීමට බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයාට බලය දී ඇත්තේ කවු ද ?

මේ පිළිබඳව අද දෙරණ උකුස්සා ඉදිරියටත් අවධානයෙන්…

***************************************

e-payment භාවිතයේ දී ආරක්ෂාකාරී වන්නැයි මහ බැංකුවෙන් අවවාදයක්

(05.08.2019 – biz.adaderana.lk)

විද්‍යුත් ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම් වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන්ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිතා කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමටව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්‍රම සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. මෙම පහසුකම් අඛණ්ඩව භුක්ති විඳීම සඳහා ගනුදෙනුකරුවන් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමේදී සුදුසු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ.

ඒ අනුව, ගනුදෙනුකරුවන් තම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත් හෝ විද්‍යුත්-පසුම්බි (e-Wallet) වලට ප්‍රවේශ වීමට සහ භාවිතා කිරීමට යොදා ගනු ලබන රහස්‍ය තොරතුරු අන් අයට ලබා දීමේදී ප්‍රවේශම් විය යුතුය. ගනුදෙනුකරුවන්ගේ ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත්, විද්‍යුත් පසුම්බි හෝ වෙනත් විද්‍යුත් ගෙවීම් ක්‍රම වෙත ප්‍රවේශ වීමට, භාවිතා කිරීමට හෝ ගනුදෙනු වල සත්යෙභාවය සහතික කිරීමට භාවිතා කළ හැකි ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් අංක, හර හෝ බැර ගෙවීම් කාඩ්පත් වල අඩංගු කාඩ්පත් අංක, ගෙවීම් කාඩ්පත් වල පිටුපස ඇති අංක (CVV) සහ එහි කල් ඉකුත් වීමේ දිනය වැනි විස්තර, ජාතික හැඳුනුම්පත් අංකය, අන්තර්ජාල හෝ ජංගම බැංකු හෝ විද්‍යුත් පසුම්බි සඳහා භාවිතා කරන මුරපද, පුද්ගලික හැඳුනුම් අංක (PIN), ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්-වරක් පමණක් භාවිතා කල හැකි මුරපද (OTP), ගනුදෙනු වල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන අගයන් සඳහන් වන කෙටි පණිවිඩ සහ වෙනත් ඕනෑම තොරතුරු රහස්‍ය තොරතුරු ලෙස සැලකේ. මෙවැනි තොරතුරු ගනුදෙනුකරුගේ අනන්යභතාවය තහවුරු කර ගැනීමට භාවිතා වන අතර එමගින් මූල්‍ය ගනුදෙනු වල ආරක්ෂාව වැඩි කිරීම මෙන්ම ගනුදෙනුකරුගේ අරමුදල් සුරක්ෂිත වීමද සිදුවේ. මුරපද, පුද්ගලික හැඳුනුම් අංක, එක් වරක් පමණක් භාවිතා කරන මුරපද, ගනුදෙනුවල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන කෙටි පණිවිඩ හෝ ගනුදෙනුවල සත්‍යභාවය සහතික කර ගත හැකි වෙනත් තොරතුරු කිසිදු පාර්ශ්වයකට දැන ගැනීමට සැලැස්වීම නොකළ යුතු අතර ඒවා නියමිත කාර්යයන් සඳහා පමණක් භාවිතා කළ යුතුය. වංචනික පාර්ශ්වයන්ට මෙවැනි තොරතුරු භාවිතා කොට ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට ප්‍රවේශ වීමටත්, ගනුදෙනුකරුගේ අරමුදල් අවභාවිතා කිරීමටත් හැකි බැවින් මෙවැනි ආරක්ෂක පිලිවෙත් අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් ගනුදෙනුකරුවන්ගේ අරමුදල් වල සුරක්ෂිතභාවය අඩු වේ.

වංචනික ලෙස සිදුවන විද්‍යුත් ගනුදෙනු වැලැක්වීමට උපකාර වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්රොලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග එක්ව දැනටමත් නියමයන් නිර්දේශ කර ඇත. ඒ අනුව, බලපත්‍රලාභී මූල්‍ය ආයතන සියලු විද්යුත් ගෙවීම් සඳහා කෙටි පණිවිඩ සේවා (SMS) මගින් දැනුම් දීමේ හෝ වෙනත් තත්කාලීන දැනුම් දීමේ පහසුකමක් ලබා දිය යුතු අතර ඊඑම්වී (EMV) චිප් පදනම් කරගත් ගෙවීම් කාඩ්පත් ද නිකුත් කල යුතුය. ගෙවීම් කාඩ්පත් ආශ්‍රිතව වංචනික ක්‍රියාවන් වැලැක්වීම සඳහා වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ක්‍රමවේද ඊඑම්වී චිප් පදනම් කර ගත් කාඩ්පත් වල ඇතුලත් කර ඇත.

අනවසර ලෙස සිදුවන විද්‍යුත් ගනුදෙනු වලක්වා ගැනීම සඳහා, විද්‍යුත් ගෙවීම් පිළිබඳ තත්කාලීන දැනුම් දීමේ පහසුකම් සඳහා ලියාපදිංචි වන ලෙසත්, ඊඑම්වී චිප් පදනම් කරගත් ගෙවීම් කාඩ්පත් අදාළ බලපත්‍රලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වලින් නොපමාව ලබා ගන්නා ලෙසත් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන රහස්‍ය තොරතුරු අන් අය වෙත ලබා දීමේදී ප්‍රවේශම් වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *