මාරවිල මාර රෝහලේ වෛද්‍ය බූරුවෙක් ගර්භාශ සැත්කමට ආ මවගේ අත කපලා !

(06.08.2019 – mawbima.lk)

උදරයේ සැත්කමක් සඳහා පැමිණි මවකගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාර්තා වේ.

මේ අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ මාදම්පේ පදිංචි මවක වන පැට්‍රීෂියා ලීලාවතී (78) මහත්මියයි. මේ මව ගර්භාශය ඉවත් කර ගැනීමේ සැත්කම කිරීම සඳහා මාරවිල රෝහලට දෙපයින් ඇවිදගෙන පැමිණ ඇත්තේ පසුගිය මස විසි වැනි දිනයි. ඉන් දින දෙකකට පසු මේ සැත්කම කර ඇති අතර අත ඉවත් කර ඇත්තේ විසි දෙවැනි දිනයි. එදින සිට මේ දක්වා මේ මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මේ වනවිට මේ මව දැඩි සත්කාර ඒකකයේ සිට තෙවරක් හලාවත හා කුරුණෑගල රෝහල් වෙත ගෙන ගොස් ඇත්තේ සී.ටී. පරීක්ෂණයක් හා රුධිරය මාරු කර ගැනීම සඳහායි. තම මවට වෙනත් කිසිදු රෝගයක් නොතිබූ අතර මේ තත්ත්වය ඇති වූයේ මාරවිල රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් නිසා බව මේ මවගේ පුත්‍රයකු වන උපේන්ද්‍ර අල්මේදා මහතා පැවැසීය.

මේ සිදුවීමට අමතරව පෙරේදා (04 දා) තවත් සිදුවීමක් වී ඇත. මේ සිදුවීම වන්නේ පපුවේ වේදනාවකින් පැමිණි මවක් උදරය පලා සැත්කමට භාජන කිරීමට උත්සාහ කිරීමකි. මෙහිදී මේ කාන්තාවගේ සහෝදරයා පැමිණ ඒ අවස්ථාවේ සැත්කම් කිරීමට උත්සාහ කළ වෛද්‍යවරයාගෙන් උදරයේ සැත්කමක් කරන්නේ කුමක් නිසාදැයි විමසීම හේතුවෙන් මේ සැත්කම නැවතී තිබේ. මෙහිදී අදාළ ආධුනික වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් හේතුව නොදන්නා අතර මේ සැත්කම කිරීමට උපදෙස් දුන්නේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා බවයි. මේ තත්ත්වයට මුහුණ දී ඇත්තේ පී.ආර්. ශාන්ති නමැති දෙදරු මවකි. මැයගේ සහෝදරයා වෛද්‍යවරයකු වීම හේතුවෙන් සැත්කම කිරීම සඳහා අනුමැතිය නොදීම මත මේ මවගේ ජීවිතය බේරී තිබේ. මේ සඳහා උපදෙස් දුන් විශේෂඥ වෛද්‍යවරයා පෙරේදා (04 දා) මාරවිල මූලික රෝහලේ සේවය කළ යුතුව ඇති වුවත් ඔහු රාජකාරියට වාර්තා නොකිරීම හා නිවාඩු වාර්තා කර නොතිබීම හේතුවෙන් මේ තත්ත්වය සිදුව තිබේ. මේ පිළිබඳව රෝහල් කළමනාකාරිත්වය දැනුවත් කිරීමෙන් පසු මේ මව මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

ජීවිතය බේරුණු මවට කිසිදු සැත්කමක් කර නොමැත. මැයට තිබී ඇත්තේ කල්ගත වූ රක්තපාතික අග්න්‍යාස ප්‍රදාහය නමැති රෝගී තත්ත්වයයි.

මේ පිළිබඳව කළ විමසීමේදී මාරවිල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය නිර්මලා ලෝගනාදන් මහත්මිය ප්‍රකාශ කළේ දෙවැනි සිදුවීම තමාට වාර්තා වී ඇති අතර අනෙක් සිදුවීම වාර්තා වී නොමැති බවයි. මේ පිළිබඳව සොයා බලා පරීක්ෂණයක් කරන බව ප්‍රකාශ කළ වෛද්‍ය අධිකාරිවරිය දින දෙකකින් වැඩිදුර තොරතුරක් දෙන බවද පැවැසුවාය. මේ සිදුවීම් දෙක පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මේ රෝගීන්ගේ ඥාතීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

– හලාවත ප්‍රසාද් පූර්ණමාල්

+++++++++++++++++++++

ගර්භාෂය ඉවත් කරන්න රෝහලට ඇතුළත් වූ කාන්තාවගේ අතක් ඉවත් කරන්න වූ හේතුව පැහැදිළි කරයි

(07.08.2019 – nethnews.lk)

ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුලත් කර සිටි කාන්තාවකගේ අතක් සිරුරෙන් ඉවත් කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්ථාපනය කර ඇති පරීක්ෂණ ඒකකය වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් මාරවිල රෝහල වෙත යැවීමට නියමිතයි.

මාරවිල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලොගනාදන් ද මේ පිළිබඳ කරුණු දැක්වූවා :

“වයස අවුරුදු 78 ක් වයසැති පැටී‍්‍රෂියා ලීලාවතී මහත්මිය පසුගිය ජුලි 20 වැනිදා ගර්භාෂය ඉවත් කිරීමේ (VHNR) ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇයටත්, ඇයගේ පුත‍්‍රයාටත් අවවාද කර තිබුණේ අදාළ රෝගියාගේ වයස සහ වෙනත් රෝගී තත්වයන් පිළිබඳ සැළකිල්ලට ගෙන එම ශල්‍යකර්මය සිදු කිරීමේ අවදානමක් පවතින බවයි.

නමුත් රෝගියා සහ ඇගේ පවුලේ සාමාජිකයන් සාකච්ඡා කර වෛද්‍යවරුන් වෙත දැනුම් දුන්නේ එම ශල්‍යකර්මය සිදු කිරීමට තම කැමැත්ත පල කරන බවයි.

ඒ අනුව ජුලි 22 දින පැටී‍්‍රෂියා ලීලාවතී මහත්මියගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කෙරුණු අතර ඉන් පසුව, වෛද්‍යවරුන් පෙර දැනුම් දුන් පරිදිම අවදානම් සහගත තත්වයක් උද්ගතවූ නිසා රෝගියාව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.

ඉන් කෙටි වේලාවකට පසු වෛද්‍යවරුන් නිරීක්ෂණය කළේ රෝගී කාන්තාවගේ එක් අතක අස්වාභාවික බවකි. ඉන්පසු සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වුණේ, ලේ කැටියක් සිරවීම නිසා එක් අතක පැහැය නිල් පාටට හැරී අකර්මණ්‍ය තත්වයකට පත්ව ඇති බවයි.

දැඩි සත්කාර ඒකකයේ සිදු කරන ප‍්‍රතිකාරයන් කරන අතරතුර ජුලි 24 වැනිදා එම අකර්මණ්‍ය අත සිරුරෙන් ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදු කෙරුණා. ඒ රෝගියා තුළ පැවති ජීවිත අවදානම සමනය කිරීම සඳහායි. මෙම අවසන් ශල්‍යකර්මය සිදු කර මේ වන විට දින 14 ක් ගතවී ඇති අතර, තවමත් රෝගී කාන්තාව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර, ඇගේ තත්වය යහපත් අතට පත්වෙමින් පවතී.”

මෙම සිදුවීම පිළිබඳ මාරවිල රෝහල මගින් ද පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලොගානන්දන් සඳහන් කළා ෴

+++++++++++++++++++++

රෝහලට ඇතුළත් කළ කතකගේ අතක් කපා ඉවත් කිරීම ගැන පරීක්ෂණ

(08.08.2019 – mawbima.lk)

ගර්භාශය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගේ අතක් සිරුරෙන් ඉවත් කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණ ඒකකය වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් මාරවිල රෝහල වෙත යැවීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

– උදයන්ති මුණසිංහ

+++++++++++++++++++++++++++++++++++

බඩේ කැක්කුමට ප්‍රතිකාර ගන්න ආ මවක් දින හයකට පසු ජීවිතක්‍ෂයට

(08.08.2019 – mawbima.lk)

බඩේ කැක්කුමක් සඳහා පැමිණි මවක් දින හයකට පසු මියයෑමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ දේවිකා ප්‍රියදර්ශනී (42) නමැති සිවුදරු මවකි.

මේ මව මාරවිල මූලික රෝහලට ඇතුළත්ව ඇත්තේ පසුගිය 23 වැනි දින වන අතර මරණයට පත්ව ඇත්තේ 29 වැනි දිනයි. තම බිරියට දින හයක කාලයක් නිසි ප්‍රතිකාරයක් කිරීමට මාරවිල රෝහල අසමත්වූ අතර දින හයකට පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට සූදානම් කර සිටියදී බිරිය මියගිය බව ඇගේ ස්වාමියා වූ කීර්ති සරත් මහතා පැවැසීය.

“මගේ නෝනා රෝහලට ආවේ ඇවිදගෙන. එයාට තිබුණේ සුළු බඩේ කැක්කුමක්. නමුත් ඒ තත්ත්වය එන්න එන්නම වැඩි වුණා. මම මේ ගැන ‍දොස්තර මහත්වරු එක්ක කතා කළත් ඒ අය ගණන් ගත්තේ නැහැ. අන්තිම දවසේ අමාරුව වැඩි වුණාම මම කෑ ගහපු නිසා කොළඹට මාරු කරන්න තීරණය කළා. ඒ තීරණය කරලත් පැය හයක් නෝනාව රෝහලේ තියාගෙන හිටියා. මම අහද්දී කිව්වා ගිලන් රථයක් නැහැ කියලා. මම කිව්වා මම පෞද්ගලික වාහනයක් ගෙනල්ලා ගෙනියන්නම් කියලා. ඒකට ඉඩ දුන්නෙත් නැහැ. අන්තිමට මේ අය නෝනා අමාරුවෙන් ඉද්දී කෑමට යනවා කියලා ගියා. ඒ අයගේ ඔක්කොම දේවල් කරගෙන එද්දී නෝනාට වෙන්න ඕනෑ තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි.”

තම දියණිය අම්මා ඉල්ලා අඬන අතර තමාට දියණිය බලා ගැනීමට සිදුව ඇති අතර රැකියාවක් සඳහා යෑමට හෝ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද කීර්ති සරත් මහතා පැවැසීය.

“මරණ පරීක්‍ෂණය තිබ්බේ මාරවිල මූලික රෝහලේ. එතැනදී දැනගන්න ලැබුණා මගේ බිරියගේ ලෙඩේ ගැන. ඒ අය ඡායාරූප පෙන්නලා කිව්වෙ බඩවැල් දෙකක් එකට සම්බන්ධ වෙලා මේ ගැටලුව ඇතිවෙලා තිබෙන බව. මේ තත්ත්වය සුළු දෙයක් කියල තමයි එතැනින් කිව්වේ. මම කියන්නේ මේ වගේ දේවල් නැවත නොවෙන්න විධිමත් පරීක්‍ෂණයක් කරන්න කියලයි.”

මේ සිදුවීම පිළිබඳ මාරවිල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය නිර්මලා ලෝගනාදන් මහත්මියගෙන් කළ විමසීමේදී කියා සිටියේ, පසුගිය දින කීපය තුළ වූ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එකතු කරමින් සිටින බවයි.

ඒ අතර මේ සිදුවීමත් ඇති බව ඇය පැවැසුවාය. මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන බව පැවැසූ වෛද්‍ය නිර්මලා ලෝගනාදන් මහත්මිය තවත් පැමිණිලි ඇත්නම් තමන්ට යොමු කළ හැකි බව පැවැසුවාය.

හලාවත – ප්‍රසාද් පූර්ණමාල්

***************************************

පිරිමි දරුවකු අපයෝජනයට ලක්කළ වල් ‍දොස්තර වසර හතක් සිපිරිගෙට

(06.08.2019 – mawbima.lk)

කකුලේ දණහිසෙන් පහළ ප්‍රදේශයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට තම වැඩිමහල් සොහොයුරාද සමඟ රත්නපුර ගිලීමලේ ග්‍රාමීය රෝහලට ගිය වයස අවුරුදු 15 ක් වන බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ වෛද්‍යවරයකුට බරපතළ වැඩ සහිත වසර 7 ක සිරදඬුවමක් නියම කොට වින්දිත දරුවාට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක ලිහිල් සිර දඬුවමක් ගෙවන ලෙසටද රත්නපුර අංක 2 මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා නියෝග කළේය.

මෙසේ සිරදඬුවම් නියම වූයේ එවකට එම රෝහල භාර වෛද්‍යවරයාව සිටි අනුර ලියනආරච්චි නමැති විත්තිකරුවකුටය.

මේ බාලවයස්කාර ළමයා 2006.8.10 වැනි දින තම වැඩිමහල් සොහොයුරාද සමඟ ගිලීමලේ රෝහලට ගිය අවස්ථාවේ රෝහලේ වෛද්‍යවරයා සිට නැති අතර එහි කම්කරුවකු පවසා ඇත්තේ වෛද්‍යවරයා බංගලාවට ගිය බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා එම වෛද්‍යවරයාගේ බංගලාවට ගිය අතරතුර වෛද්‍යවරයා ප්‍රමාද වීම නිසා ඔහුගේ සොයුරා කිසියම් දෙයක් මිලට ගැනීමට අසල කඩයකට ගොස් ඇති අතරේ විත්තිකාර වෛද්‍යවරයා පැමිණ මෙම බාලවයස්කාර ළමයා ඔහුගේ බංගලාවේ ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන කාමරයට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීම පසෙක තබා එම ළමයාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇත.

මෙම සිදුවීම පොලිසියට නොකියන ලෙසට එම වෛද්‍යවරයා ඔවුන්ට තර්ජනය කර ඇත. මාසයකට පමණ පසු මෙම ළමයා මෙම සිදුවීම ඔහුගේ මවට පැවැසීමෙන් අනතුරුව මව විසින් රත්නපුර පොලිසිය වෙත ඒ බව පැමිණිලි කර ඇති අතර රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමාගේ උපදෙස් මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ පො.පරීක්ෂක පුෂ්පා මහත්මිය විසින් අදාළ පරීක්ෂණ ආරම්භ කර මෙම ළමයා ලබාදුන් තොරතුරුවලට අදාළ සියලු සාක්ෂි තහවුරු කරගෙන අධිකරණය වෙත සැකකාර වෛද්‍යවරයා ඉදිරිපත් කරන ලදුව ඔහුට මෙම වරදට අධි චෝදනා ඉදිරිපත් කෙරිණි.

මීට පෙර විත්තියේ සාක්ෂි විමසන අවස්ථාවකදී වෛද්‍යවරියක වන සැකකාර වෛද්‍යවරයාගේ බිරියද සාක්ෂි දුන්නාය.

පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරු වැරැදිකරු කරමින් ඉහත දඬුවම නියම කළේය.

විත්තිකරුට දඬුවම් ලබාදීමට පෙර ගරු අධිකරණය ඇමැතූ රජයේ අධිනීතිඥ රුවිනි ඉද්දමල්ගොඩ මෙනෙවිය දරුවන්ට මෙවැනි අපරාධ සිදුකරන පුද්ගලයන්ට මුළුමහත් ජන සමාජයම වෙනුවෙන් උපරිම දඬුවම් දිය යුතු බව කීවාය.

විත්තිකරුට නියම කළ සිර දඬුවමට අමතරව රුපියල් 5,000 ක දඩයක් ගෙවීමටද නියම කළ අතර එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව තවත් මාස 3 ක සිරදඬුවමකට යටත් කිරීමටද නියම කළේය.

මෙහි විමර්ශන කටයුතු රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක පුෂ්පා මහත්මිය විසින් සිදුකළ අතර පොලිස් සැරයන් ගම්ලත් (42597) මහතා සාක්කි මෙහෙයවීය ෴

***************************************

ගාල්ල බන්ධනාගාරයේ ලොක්කකු පාතාලයට දුන් කොන්ත්‍රාත්තුවකට?

(06.08.2019 – mawbima.lk)

කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනය, ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨයකුගේ කොන්ත්‍රාත්තුවක් මත දකුණේ පාතාලය විසින් කරන ලද්දක් බවට ආරක්ෂක අංශවලට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව වාර්තා වේ.

අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති ජේලර්වරයා ඉකුත් 03 දා සවස අම්බලන්ගොඩ, කුලීගොඩදී වෙඩි තබා ඝාතනය කර තිබිණි. මෙම ඝාතනය පිටුපස ඇත්තේද හෙරොයින් ජාවාරමට අමතරව බන්ධනාගාරගත වන පාතාලයේ කෙරුමන්ට බන්ධනාගාරය තුළදී තමන්ගේ පාතාල ක්‍රියාකාරකම් අවහිරයකින් තොරව පවත්වාගෙන යෑමට ඉඩ සලසා ගැනීමට අදාළ කාරණා බවද පොලිසිය තහවුරු කරගෙන තිබේ.

දකුණේ පාතාල නායක නො. 06, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසී, හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35), අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සහ තවත් ඝාතනයන් රැසක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී. මෙම නඩු දෙකටම අදාළව ඔහුට මේ වන විට ඇප නියම වී ඇතත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට මෙතෙක් නොහැකි වී ඇත. ඇප මත නිදහස්ව සිටිනවාට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වර්තමානයේ පාතාලයන්ගේ උපක්‍රමයක් වී තිබෙන අතර සිය ආරක්ෂාව මෙන්ම පාතාල ක්‍රියාකාරකම්වලට බන්ධනාගාරය ඉතා හොඳ තෝතැන්නක් බව ඔවුන්ගේ මතයයි.

2014 වර්ෂයේ සිට බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවය කළ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) එහිදී පෙන්වූ රාජකාරිමය දක්ෂතාවන් මත ඉහළ මට්ටමේ බන්ධනාගාරයක් වන ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා ලෙස පත්ව ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් සනාථවේ. කොළඹ මැගසින් බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව මත රඳවා සිටින ලසිත් මධුසංක (27) හෙවත් පොඩි ලැසී, ඔහුට එරෙහිව ගාල්ල හා බළපිටිය අධිකරණවල විභාග වන නඩු සඳහා ඊට පෙර දින ගාල්ල බන්ධනාගාරයට ගෙන ගොස් රඳවා තබන අතර එහිදී ඔහුට ගාල්ල බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයකුගේ යටතේ විශේෂ සැලකිලි ලැබෙන බව කියයි.

නඩුවෙන් පසුවද යම් යම් හේතු දක්වමින් දින දෙකක් හෝ තුනක් පොඩි ලැසී, ගාල්ල බන්ධනාගාරයේ රඳවා තබාගන්නා බව ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් අතර ප්‍රසිද්ධ රහසකි. එම දින කීපය තුළ ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ අනුහසින් පොඩි ලැසීට ඕනෑ තරම් දුරකථන පහසුකම් ලැබෙන බවද දැනගන්නට ඇත. පොඩි ලැසී, සිය හෙරොයින් ජාවාරම මෙන්ම තමන්ට එරෙහි වන පුද්ගලයන් තම ගෝලයන් යොදවා ඝාතනය කරන්නේ මේ ආකාරයෙන් බන්ධනාගාරයේ සිට බවද කියති. ඊට සන්තෝසම් වශයෙන් හෙරොයින් ජාවාරම හරහා පෙඩි ලැසී උපයන ධනයෙන් සැලකිය යුතු කොටසක් ගාල්ල බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයකුගේ ගිණුමට බැර වන බවද කියති.

මෙම ක්‍රියාවට දැඩිලෙස, ඝාතනයට ලක් වූ තිළිණ රුවන් තිහාර ජයරත්න එරෙහි වන අතර අදාළ ඉහළ නිලධාරියා ඒ සමඟම ඔහු සමඟ ප්‍රබල ගැටුම් ඇතිකරගෙන තිබේ. ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විශාල පිරිසක් තිළිණ රුවන් තිහාර ජයරත්න සමඟ එකතු වීම දෙදෙනා අතර අරගලය තව තවත් තීව්‍ර කර ඇත. බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයකුගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පෙත්සම් හා පැමිණිලි රැසක් ලැබෙන අතර ඒවා තිළිණ රුවන් තිහාර ජයරත්න විසින් යොමුකර තිබෙන බවට බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයකු තුළ හට ගන්නා සැකය, දෙදෙනා මහ වෛරක්කාරයන් බවට පත්කර තිබේ.

මීටියාගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් පාතාල නායක පොඩි ලැසීගේ කුඩු තිප්පොළක් 2018.10.19 දින වටලා පොඩි ලැසීගේ ගෝලයකු අත්අඩංගුවට ගන්නේ ගාල්ල බන්ධනාගාරයේ ඉහළ නිලධාරියා හා නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා අතර මෙම ගැටුම සීතල යුද්ධයක් බවට පත්ව තිබූ වකවානුවේදීය. ඒ වන විට ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා වශයෙන් සේවය කරමින් සිටි තිළිණ රුවන් තිහාර ජයරත්න 2018.03.19 දින කුකුළු මස් මිලදී ගැනීම සඳහා කුඩු තිප්පළ ආසන්නයේ පිහිටි සත්ත්ව ගොවිපළක් වෙත ගොස් තිබුණු බව කියයි. අදාළ දිනයේ ඔහු එහි පැමිණියේ කුමක් සඳහාද යන්න මීටියාගොඩ පොලිසියේ සැකයට භාජනය වී ඔහු අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබේ. පසුව සිදධිය සැලවීමත් සමඟ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයා, ඔහුට එරෙහිව බන්ධනාගාර මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර තිළිණ රුවන් තිහාර ජයරත්න වැඩ තහනමකටද ලක්කර තිබේ.

ඊට පසුව ඔහු නැවත මීටියාගොඩ පොලිසියේ අත්අඩංගුවට පත්වන අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු බවට සැකකර ඔහුට එරෙහිව බළපිටිය අධිකරණයේ නඩු පවරනු ලබයි. බන්ධනාගාර පරීක්ෂණයෙන් හා නඩුවෙන් නිදහස් වන තිළිණ රුවන්ට නැවත රක්ෂාව ලැබෙන්නේ කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ලෙස මීට මාස 04කට පමණ පෙරදීය.

ගාල්ල බන්ධනාගාරයේ සේවය කළ යුගයේ ගොඩනඟාගත් සම්බන්ධතා මත ගාල්ල බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයකුගේ විවිධ අක්‍රමිකතා වෙනදාට වඩා තිළිණ රුවන් තිහාර ජයරත්නට ලැබෙන අතර එම නිලධාරියාට එරෙහිව ඔහුගේ ක්‍රියාකාරකම් එන්න එන්න වැඩිවී තිබේ. පසුගිය මාස කිහිපය වන විට එය උච්චතම අවස්ථාවට පත්ව තිබුණු බවද කියයි.

ගාල්ල බන්ධනාගාරයේ එම නිලධාරියාට අයත් බව කියන විශාල නිවාස 03 ක් හා ගාල්ල, කලහේ, ප්‍රදේශයේ ඔහු විසින් ඉදිකරමින් සිටින බව කියන සුවිසල් මන්දිරය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වාර්තා වන්නේ තිළිණ රුවන් තිහාර ජයරත්න හරහා බවට බන්ධනාගාර ඉහළ නිලධාරියා සැකකර තිබේ. එම ජ්‍යෙෂ්ඨයා බන්ධනාගාර රැකියාවෙන් උපායාගත හැකි මට්ටමට වඩා 50 ගුණයකට අධික ධන සම්භාරයක හිමිකරුවකු වීම සම්බන්ධයෙන් බන්ධනාගාර කේෂ්ත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබූ බවද රහසක් නොවේ.

එයට අමතරව පාතාලයේ නායකයන්ට ගාල්ල බන්ධනාගාරය තුළදී පහසුකම් සැලසීමට නොහැකිවී ඇත්තේ එසේම ලබාදෙන පහසුකම් අඩු කරන්නට සිදුවී ඇත්තේ තිළිණ රුවන් තිහාර ජයරත්නගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බවටද මතයක් පාතාලය තුළ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයකු විසින් ගොඩනඟන්නට සමත්ව තිබූ බව ගාල්ල බන්ධනාගාරයේ සෙසු නිලධාරීන් බහුතරයකගේ අදහස වී ඇත. මේ නිසාම ගාල්ල බන්ධනාගාරය එම නිලධාරියාගේ සේවය ගාල්ල බන්ධනාගාරයට අහිමි වේදෝ යන බියක් දකුණේ පාතාලය තුළ වර්ධනය වෙමින් තිබූ බවද දැනගන්නට තිබේ.

මේ හේතුව මත ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨයකු තමන්ට තිළිණ රුවන් තිහාර ජයරත්නගෙන් ඉතා කරදර බව පොඩි ලැසීට පවසා තිබෙන බවද ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීහු කියති. තිළිණ රුවන් තිහාර ජයරත්න ඉවත් කිරීමේ තීන්දුවක් මේ අනුව පොඩි ලැසී ගන්නට ඇතැයි ගාල්ල බන්ධනාගාර නිලධාරීහු ප්‍රකාශ කරති.

සුප්‍රකට ඇවන්ගාඩ් සිද්ධියට අදාළව මෑතකදී සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු රඳවා තබා ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේය.

ඔහු අසනීප තත්ත්වයෙන් පසු වන්නේ යැයි පවසා ගාල්ල, කරාපිටිය රෝහලට යොමු කිරීමට ගාල්ල බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයකු දැරූ උත්සාහයක් ගාල්ල බන්ධනාගාර වෛද්‍යවරයා විසින් ව්‍යර්ථ කර තිබේ. වෛද්‍යවරයා නොමැති අවස්ථාවල ඊට අදාළ බලය පැවරෙන ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනිය මඟින් නැවත වරක් අදාළ රැඳවියා කරාපිටිය රෝහලට යොමු කිරීමට එම නිලධාරියා උත්සාහ දරා තිබෙන බව පවසන ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් මේ වෙනුවෙන් රැඳවියාගේ පවුලේ අයගෙන් ලක්ෂ ගණනක මුදලක් එම නිලධාරියා විසින් ලබාගෙන තිබෙන බවටද සැක පළ කරයි.

මේ වන විට ඝාතනයේ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාව වේ ෴

***************************************

නවක වදයේ මුවාවෙන් ලිංගික අපයෝජන දිගටම – වසර දෙකක කාලය තුල සිසුන් 2000 ආසන්න පිරිසක් විශ්ව විද්‍යාල හැර ගිහින්

(05.08.2019 – nethnews.lk)

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන පිළිබඳ දිගින් දිගටම තොරතුරු වාර්තා වුනා. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිදුකරන මෙම අමානුෂික ක්‍රියාවන් නිසා පසුගිය වසර දෙකක කාලය තුල සිසුන් 1989 දෙනෙකු විශ්ව විද්‍යාල හැරගොස් ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරන අතර ඇතැම් විට එම සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේම මේ හේතුවෙන් සිය දිවි නසාගැනීම් ඇතුළු මරණ ද 16 ක් වාර්තා වී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරන අතර අලූතින් විශ්ව විද්‍යාල වෙත පැමිණෙන සිසුන්ට හා සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයන්ට ලක්කරමින් නින්දා සහ හිරිහැර කිරීමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් පවතින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

තවද නවක වදය හේතුකොට ගෙන රාජ්‍ය විශ්ව විද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් බොහෝ පිරිසක් ශාරීරික, මානසික හා ලිංගික වධහිංසාවන්ට ලක්වන බවත්, එමගින් සිය දිවි නසාගැනීම්, තුවාල, මානසික අවපීඩනය මෙන්ම වෙනත් මානසික ආබාධයන්ට ද ලක්වන බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා ෴

***************************************

කුසගින්න නිසා දිවිනසා ගැනීමට ගිය මවට සහ දියණියට ජර්මනියේ ලාංකිකයෙකුගෙන් ආධාර උපකාර

(05.08.2019 – nethnews.lk)

කුසගින්න දරාගත නොහැකිව දිවිනසා ගැනීමට උත්සහ කරනු ලැබ පොලිසිය විසින් බේරා ගැනුණු ගල්ගමුවේ මවට සහ දියණියට නෙත් නිවුස් කළ අනාවරණයකින් පසු සහන හිමි වුණා.

ජර්මනියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු විසින් ලබාදුන් මුදල් ආධාර ඔවුන් වෙත රැගෙන ගොස් දුන්නේ ද නෙත් නිවුස් නියෝජිතයින් විසින්.

එහිදී මෙම මව සඳහන් කළේ, නෙත් එෆ්.එම් රේඩියෝවේ මෙම පුවත විකාශය කිරීමෙන් පසු මේ වන විට තමන්ට සහ දියණියට විවිධ ආධාර උපකාර ලැබෙමින් ඇති බවයි. ඒ සියලු දෙනාටම සියලුම උපකාර වෙනුවෙන් ස්තූතිය පුද කරන බවත් සඳහන් කළා.

කුසගින්නෙන් පෙලෙන මෙම මව සහ දියණිය වෙනුවෙන් පරිත්‍යාගශීලි වූ ජර්මනියේ වෙසෙන ලාල් ගුණවර්ධන මහතා ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා.

එහිදී “අපි විදෙස් රටවල ජීවත් වුණත් ලංකාව ගැන සොයනවා… නෙත් එෆ්. එම් අහනවා. මේ මාධ්‍ය හරහා ගොඩාක් වැදගත් දේවල් ගැන දැනුවත් වෙලා තියෙනවා. මෙවැනි අසරණ අයට පිහිටවීමට නෙත් එෆ්. එම් රේඩියෝව මට කිහිප වරක්ම අවස්ථාව උදා කර දී තිබෙනවා.” යනුවෙන් සඳහන් කළා.

සහන හිමි වූ මව 38 වන වියේ පසුවන්නියක්. දියණියගේ වයස අවුරුදු 10 ක්.

***************************************

අයවැයෙන් යෝජිත VAT සහන සැප්තැම්බර් සිට

(06.08.2019 – 15:24 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

ඊට අදාළ ව ඉදිරිපත් කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට සහ එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන, ආපන ශාලා ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ.

එසේ ම විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා සහ නැව් ආනයනය කිරීම ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උප කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දෙනු ලබන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ප්‍රධාන කොන්ත්‍රාත්කරුට ද ලබා දෙනු ලැබේ.

මීට අමතරව සැකසුම් නොකරන ද මැණික් ආනයනය කිරීමේ දී ද බදු නිදහස හිමි වන අතර පිරිපහදු නොකළ පාම් තෙල් යොදාගෙන දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් බද්දෙන් නිදහස් කෙරේ.

එකතු කළ අගය මත බද්ද අය කිරීම ද සංශෝධනය කරනු ලැබේ.

බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළඹෙන මාසයේ 15, 20 සහ මාසයේ අවසාන දින එකතු කළ අගය මත බදු ගෙවීම් යෙදී තිබීමෙන් බදු ගෙවන්නට සේම බදු පරිපාලනයට ද සිදුව තිබූ අපහසුතාව වළක්වාලමින් බදු ගෙවීමේ දිනය එළඹෙන මාසයේ 20 වැනි දින ලෙස සංශෝධනය කෙරේ.

සහාධිපත්‍ය (Condominium) නිවාස සැපයීමේ දී පනවා තිබූ එකතු කළ අගය මත බදු ද සංශෝධනය කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 25 ට අඩු නිවාසවලින් යුතු නිවාස ව්‍යාපෘති සඳහා VAT බදු අය නොකෙරේ.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක කිරීමට පෙර නොතාරිස් ආඥා පනත අනුව විකිණීමේ ගිවිසුමක් මගින් ලියා අත්සන් කර ඇති හෝ අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබා ගෙන ඇති සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීමේ දී ද එකතු කළ අගය මත බද්ද අය නොකරේ.

මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන ලද සහල්වලින් සැකසූ නිවුඩු තෙල් සැපයීම ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර ඇත.

එසේම 2019 අයවැය මගින් යෝජනා කළ පරිදි අපනයන අභිමුඛ ආයෝජන මණ්ඩල සමාගම් ඇඳුම් දේශීයව විකිණීමේ දී ඒකක මත අය කෙරෙන එකතු කළ අගය මත බදු ප්‍රමාණය ඒකකයට 75/= සිට 100/= දක්වා ඉහළ දැමේ.

මෙම නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *