නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු රිමාන්ඩ්

(06.08.2019 – 18:24 +0530 – hirunews.lk/sinhala)

නවකවදය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴

+++++++++++++++++++++

රුහුණේ චන්ඩි පොලිසිටය බයේ හඬා වැටෙයි..

(07.08.2019 – webgossip.lk)

රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවට වාර්තා වෙනවා.

මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ 1998 අංක 20 දරණ නවක වධ පනත අනුවයි.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කිරීමට යාමෙදි ඔවුන් පොලිස් නිළධාරීන් ඉදිරියේ දැඩි ලෙස කලබල වී හඬා වැටී තිබෙන අතර එහිදි එක් සිසුවෙකු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී අසනීප වී ඇති බවට වාර්තා වෙනවා.

එම අවස්ථාවේ බන්ධනාගාර නිළධාරීන් ක්‍රියාත්මක වී ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසූවා.

මෙම චූදිත ශිෂ්‍යයන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවකවදය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා තිබෙනවා.

මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා ඔවුන්ව රිමාන්ඩ් භාරයේ තබන්න කියලා පොලිසිය ඉල්ලා තිබෙනවා. ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන තිබෙනවා ෴

***************************************

හිරිහැර ඇත්නම් පැමිණිලි කරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

(06.08.2019 – 17:21 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු ජනතාවට සිදුවන විවිධ හිරිහැර සහ නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, පොලිස් විශේෂ පරීක්ෂණ ඒකකය සහ පොලිස්පතිට කියන්න වැඩසටහනට පැමිණිලි කළ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් හිරිහැරයකට ලක් කිරීමක් හෝ එවැනි බියවැද්දීමකට ලක්වූයේ නම් අදාළ අංශවලට පැමිණිලි කරන ලෙසයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය නිරන්තරයෙන් බැඳී සිටින බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

***************************************

කටුවාපිටිය නොසන්සුන් – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

(06.08.2019 – 16:36 +0530 – sinhala.adaderana.lk)

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට යන මාර්ගයේ පිහිටි පිළිරුවකට අද (06) අළුයම කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මෙම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

මේ අතර මෙම ස්ථානය වෙත අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී උන්වහන්සේ විසින් මෙම තත්ත්වය පාලනය කිරීහ සඳහා මෙහි සිටි සියලු ජනතාවට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණෙන ලෙස ඉල්ලීමක් කළේය.

පසුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි ජනතාව අමතිමින් කාදිනල් හිමිපාන්න ඉල්ලා සිටියේය ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ජනතාව ඉවසීමෙන් කටයුතු කරන ජනතාවක් ලෙස ලෝකයටම ඔප්පු කර පෙන්වූ බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණි සිටි ජනතාව අමතිමින් සඳහන් කළේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් කටාන, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ආසන්නයේ සාමකාමි විරෝධතාවක් පවත්වා පැවැත් විය.

අද (06) පෙරවරුවේ මෙම විරෝධතාව සඳහා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර දේවස්ථානයට යන මාර්ගයේ පිහිටි පිළිරුවකට අද අළුයම කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

+++++++++++++++++++++

නුගවෙල ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට එක් අයෙකු අත්අඩංගුවට

(07.08.2019 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මීරිගම – මීගමුව ප්‍රධාන මාර්ගයේ නුගවෙල මංසන්ධියේ පිහිටි ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාවකට අලාභහානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහුගෙන් මේ වනවිට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 25 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා.

කටාන – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසළ පිහිටි මෙම ප්‍රතිමාවට ඊයේ මෙලෙස හානිකර තිබූ අතර, ප්‍රදේශවාසීන් ඊට එරෙහිව විරෝධතාවක ද නිරතවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 10 ක් යොදවා විමර්ශන සිදුකරන බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.

මේ අතර යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය හේතුවෙන් එම කෝවිලට සහ ප්‍රදේශය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම රාජකාරි සඳහා යොදවා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද රාජකාරියේ යොදවා තිබෙනවා.

නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය ඊයේ දිනයේ ආරම්භ වූ අතර, එය ලබන මස 1 වනදා දක්වා පැවැත්වෙනු ඇති ෴

***************************************

ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 40 වංචාවක්

(06.08.2019 – 18:09 +0530 – lankadeepa.lk)

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කෙරෙන කොළඹ නැගෙනහිර නගර සඳහා වූ ‘විශේෂ ජල ව්‍යපෘතියෙන්’ එම මණ්ඩලයේ සභාපතිවරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් රුපියල් කෝටි 40 කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

මෙම ව්‍යපෘතියට අදාළව ඉකුත් 2013 වර්ෂයේ පුවත්පත් දැන්විම් මගින් ටෙන්ඩර් කැඳවා කොන්ත‍්‍රාත්කරුවන් බඳවා ගනු ලැබ ඇති බවත්, එම කොන්ත‍්‍රාත්කරුවන් වෙත අදාළ වංචා කළ මුදල් ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා වූ කේ. ඒ. අන්සාර් සහ අදාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ එස්. ඒ. රශීඞ් යන අයවලුන් ගේ අනුදැනුම මත සිදුවී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ ෴

***************************************

පල්ලිවලින් ගත් කඩු – පිහි ආපසු දෙයි

(06.08.2019 – 15:15 +0530 – lankadeepa.lk)

පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත.

හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.

ඒ අනුව කඩු හා පිහි 76 ක් පොරෝ 13 ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.

වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි ෴

***************************************

ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක්.. සූදානමින් සිටින්න..

(07.08.2019 – 03:22 +0530 – lankacnews.com)

STOP USA සංවිධානය විසින් මහනුවරදී පැවැත්වූ සම්මන්ත්‍රණය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ දේශනය මෙහි දැක්වෙයි :

ඇමරිකාවේ සැබෑ ප්‍රතිපත්තිය කුමක්ද ?

මේ දිනවල අමෙරිකානු තානාපතිතුමිය කඩියකුටත් වඩා කඩිසරයි. මහනුවරට එනව, මහනායක හිමිවරුන් බැහැ දකිනවා. නැගෙනහිරට යනවා, මහා දැවැන්ත ශාලාවක් විවෘත කරනවා. ගාල්ලට දුවනවා රාජ්‍ය නොවන සංවිධානවලට වැඩමුළු කරනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා අදහස් දක්වනවා. මැති ඇමතිවරු නිරන්තරයෙන්ම හමු වෙනවා. එතුමියගේ කල්ක්‍රියාව දකිද්දි අපට මතක් වන්නේ 1980 දශකයේ ලංකාවේ සිටිය ඉන්දියානු තානාපති ජේ ඒ ඩික්සිත් මහතාවයි. ඒ කාලේ අපට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ රට පාලනය කරන්නේ ජනපති ජයවර්ධනද නැතිනම් මේ ඩික්සිත් මහත්තයා ද කියලා. අදත් අපිට ඔය ප්‍රශ්නය මතුවෙනවා. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රී-රනිල් ජෝඩුවද එහෙමත් නැතිනම් ඇමරිකානු තානාපතිවරිය ද කියල හිතෙන මට්ටමට එතුමිය අද මෙරට පාලනයට ඇඟිලි ගහලා තියෙනවා. පාලනයට ඇඟිලි ගහලා විතරක් නිකන් ඉන්නේ නැහැ අනාගතයේ බිහි වන අප ආණ්ඩුවට ද අනතුරු අඟවනවා. පුංචි තර්ජනයකුත් කරනවා මේ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අනාගත ආණ්ඩු බැඳිලා ඉන්නවා කියලා. තර්ජනයෙන් පස්සෙ නම් ලඟදි පෙම්හසුනක් එවලා තිබුණා. එහිදී කියනවා ‘අපි මේ මිලියන 480 දෙන්නේ ණයක් නොව ප්‍රධානයක් විදිහටයි. ඔය ගොල්ලන්ගේ මහලොකු යාලුවෝ කියන අය ණය නේද දුන්නෙ. අපි එහෙම ණය උගුල්වල හිර කරන්නේ නැහැ. ආදරයෙන් දෙන දේටත් ඔහොම කියන එක නරකයි නේද’ කියලා අහල තිබුනා.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය කියන්නේ ‘dollar for dollar’. තමන්ට වාසියක් නැති නම් එක ඩොලරයක් වත් වැය කරන්නේ නැහැ. ඇමරිකාව මිලියන 480 ක තෑග්ගක් දෙන්නෙ ට්‍රෝජන් අශ්වයකු ලෙසයි. මේ මුදලින් ඔවුන් උත්සාහ කරන්නේ ඇමරිකානු ආර්ථික කොරිඩෝවට අදාළ ඉඩම් ටික නිදහස් කරගන්නත් එහි ප්‍රවාහන සහ යටිතල පහසුකම් සැදීමටත් පමණයි. මෙය ඇමරිකාව ඇමරිකාව වෙනුවෙන්ම කරන ආයෝජනයක් මිස ලංකාවේ ජනතාවට මින් සතපහක ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඇමරිකානු තානාපතිතුමිය ඔය ඩොලර් මිලියන 480 ම අකුලාගෙන ගිහිල්ලා අපේ පාඩුවේ අපේ දුප්පත්කමේ අපිට ගිලිලා ඉන්න ඉඩ දුන්නත් අප නම් ඇමෙරිකාව සමග තරහ වන්නේ නැහැ.

රටවල් වැනසූ අමෙරිකානු උපාය

අද මේ ඇමරිකාව ලංකාව තුළට රිංග ගන්න හදන උත්සාහය ගැන අපූරු පොතක් තියෙනවා. නයෝමි ක්ලේන් කියන කැනේඩියානු ගත් කතුවරිය ලියලා තියනවා ‘The Shock Doctrine’ කියලා පොතක්. මේ පොතේ කියලා තියෙනවා කොහේ හෝ රටක යම් ප්‍රශ්නයක් තියෙද්දී එම රටට අප රිංගාගත යුතු රටක් යැයි ඇමරිකාව තීරණය කර තිබෙනවා නම් රටට උදව් කරන්න යැයි කියමින් එම රට තුළට රිංගා ගන්නවා. රටකට සිදුවන ස්වභාවික වියසන යනාදිය මේ සඳහා ඔවුන් ඉවහල් කර ගන්නවා. වියසනයක් නොමැතිනම් වියසනයක් හදලා එම වියසනය විසඳන්න ඔන්න රිංග ගන්නවා.

මේ සඳහා අප හොද උදාහරණ ටිකක් කියෙනවා. මේ අයට අවශ්‍ය වුනා ඉන්දුනීසියාවෙන් කෑල්ලක් කඩල නැගෙනහිර තිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න. සෝරෝස් කියන ප්‍රධාන ආයෝජකයා ඇතුළු ඇමරිකානු ආයෝජකයන්ට උපදෙස් දුන්නා ඉන්දුනීසියාවෙන් එළියට යන්න. ඔවුන් ආයෝජන අරන් ඉවතට යද්දී ඉන්දුනීසියාවේ ආර්ථිකය කඩා වැටුනා. උදෑසන බස් රථයෙන් ගමන් කරද්දී තිබුණු බස් ගාස්තුව නෙවෙයි ආපසු ගෙදර එද්දි; බස් ගාස්තුව දෙගුණයක් වෙලා. ඒ විදිහට ජනතාවට කන්න නැති තරම් වට්ටලා රටේ ආර්ථිකය ගොඩනගන්න කියලා ඇවිල්ලා මේ අය නැගෙනහිර ටිමෝරයට නිදහස දෙන සැලැස්ම ක්‍රියාත්මක කළා. 2001 දී ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු හමුදා ගියේ එරට තුළ ඔසාමා බිල්ලාඩන් සැඟවී සිටින බව කියමින්. නමුත් එරටින් අල්ලාගත් බිල්ලාඩන් කෙනෙක් නම් නැහැ. නමුත් එවකට ඇමෙරිකාවේ ජනපති ජෝර්ජ් බුෂ්ගේ පුද්ගලික සමාගමකට ඇෆ්ගනිස්ථානය හරහාත් තෙල් නල එළීමට එරට රජය ඉඩ දුන්නේ නැහැ. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසුව ඔවුන් ඒ වැඩේනම් කරගත්තා. 2003 දී ඉරාකයට රිංගගත්ත ඉරාකයේ සමූලඝාතන අවි තියෙනවා කියලා. අද වන තුරුත් ඉරාකයෙන් අල්ලාගත් සමූලඝාතන අවියක් නම් නැහැ. ඒ රටේ තිබූ සරුසාර තෙල් ළිං සමූහයම මේ වන විට ඇමෙරිකානු සමාගම් විසින් අල්ලා ගෙන තියෙනවා. එනිසා හේතු හදාගෙන රටකට රිංගන්න ඇමරිකාව හරිම දක්ෂයි කියන එක පේනවා.

ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක්

ඇමරිකාවේ පළමුවෙනි උත්සාහය වුණේ සහරාන්ගේ බෝම්බය පත්තු කරලා සිංහල මිනිහා ලවා මුස්ලිම් මිනිහට ගහලා කලබැගෑනියක් ඇති කරලා එම කලබැගෑනිය විසඳීම සඳහා රට අස්සට රිංගා ගැනීමයි. ඇමරිකානු හමුදාව ගෙනල්ලා උතුරු මුහුදේ නැව් පිටින් නතර කරගෙන හිටියා. හැබැයි අපි ගැහුවෙ නැහැ. ඇමරිකාව අමාරුවේ වැටුනා. ‘මුන්ට මෙච්චර දෙයක් කරලත් ගහන්න බැරිද යකෝ?’ කියලා හිතලා ගහන විදිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න හලාවතදී මුස්ලිම්වරුන්ට ගැහුවා. කුලියපිටියෙ දී ගැහුවා මිනුවන්ගොඩදී ගැහුවා. ඒත් අපි ගැහුවෙ නැහැ. දැන් මොවුන්ට හරි ප්‍රශ්නයක් සිංහල මිනිසුන් කුපිත කරවන්නේ කොහොමද කියලා. එනිසා ජනපතිවරණයෙන් පරාජය අරගෙන මේ ගිවිසුම් හකුළා ගෙන යන්න ඇමරිකාව සූදානම් නැහැ. ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක් ඇමරිකාව ඇතිකරනවා – ඇති කරනවාමයි. එයට සූදානමින් ඉන්නැයි අප අනතුරු අඟවනවා.

ලංකාව තුලට පිවිසීමට ඇමරිකාවට අවශ්‍ය ඇයි ?

ඇයි මේ ඇමරිකාව ලංකාව අස්සට රිංග ගන්න මෙතරම් ම උත්සාහ දරන්නේ. සමහරු නම් අපට කියන්නේ අප ළිං මැඩියන් කියලයි. ලංකාව හරි ලොකු රටක් කියලා අප හිතන් ඉන්නවා ලු. ඇමරිකාවේ ජනාධිපති ලංකාව තියෙනවද කියලවත් දන්නේ නැතිලු. අපි ලිං මැඩියෝ යැයි කියන උන්ට අප කියනවා ‘යකුනේ අප නොව නුඹලයි ලිං මැඩියෝ’. ලංකාව මේ ලෝකෙ වැදගත්ම රට කියලා කියන්නේ අප නොව ඇමරිකාවමයි. හේතු 4 ක් තියෙනවා ඇමරිකාවට ලංකාව තුලට රිංගා ගන්නට.

2010 දී ඇමෙරිකානු යුධ විශේෂඥයෙකු වන අද්මිරාල් කප්ලාන් පොතක් ලියනවා ‘මොන්සූන්’ කියලා. එම පොතේ කියනවා මේ සියවස ආසියාවේ සියවසයි. ලෝකයේ බලය අල්ලා ගනු ලබන්නේ ආසියාවයි. මේ සියවසයේ ලෝකයේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරේ වැදගත්ම රට එහි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. මෙම සියවසේ ලොව වැදගත්ම රට අන් කවරක්වත් නොව රට ශ්‍රී ලංකාවයි කියලා.

2009 දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබඳ පොතක් නිකුත් කරනවා. එහි ඇමරිකානු ආණ්ඩුවට කියනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න දාගෙන ලංකා ආණ්ඩුවත් සමග හැප්පිලා ලංකාව තරහ කරගන්න එපා. මන්ද ලංකාව ආසියාවේ හරිමැද පිහිටි ඉන්දියානු සාගරයේ වැදගත්ම රටයි කියලා.

1965 දී ඇමරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධාන කදවුර පිහිටුවා ගන්නේ දියේගො ගර්ෂියා දූපත් සමූහයේ. මෙම දුපත් සමූහය එදා මුරුසියට අයත්ව තිබුණා. එදා මුරුසිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මුරුසියෙන් මෙම දුපත් සමූහය ඉවත් කරළා ඇමරිකාවට බදු දීමට බ්‍රිතාන්‍ය කටයුතු කළා. 1968 මුරුසියට නිදහස ලැබෙන්නේ ඉන් අනතුරුවයි. මුරුසිය එදා ඉඳන්ම උත්සාහ කළේ මේ තමන්ට අයත් ව තිබූ දූපත් සමූහය යළි තමන්ට අත්පත් කරගන්නට. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට පවරනවා. ජාත්‍යන්තර අධිකරණය 2019 පෙබරවාරි මාසයේ තීන්දුවෙන් කියනවා දියේගො ගර්ෂියා දූපත් සමූහය මුරුසියට යළි භාර දෙන තුරු මුරුසිය ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ කියලා. ඒ දූපත් සමූහය මුරුසියට දුන් විට ඇමෙරිකාවට කඳවුරු අකුලාගෙන යන්න වෙනව. මේ අකුලාගෙන යන කඳවුරු ස්ථාපිත කිරීමට සුදුසුම තැන ලංකාවයි. දියේගො ගර්ෂියාවට උඩින් තිබෙන්නේ මාලදිවයින. මාලදිවයිනට උඩින් තිබෙන්නේ ශ්‍රී ලංකාව. එමනිසා දියේගො ගර්ෂියාවේ සිට පහසුවෙන්ම පැමිණිය හැකි තැන ලෙසට ඔවුන් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මෙම සියවසේ ලෝකයේ නැගී එන ලෝක බලවතුන් වන්නේ ඉන්දියාව සහ චීනයයි. ලංකාව තියෙන්නේ ඉන්දියාවට කිලෝමීටර් තිස් දෙකක් නොදුරින්. අනෙක් පසින් චීනයේ ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය තුළ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ හරියට ස්ථාපිත වීමෙන් ඇමරිකාවට චීනය හා ඉන්දියාව කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකියි.

පසුගිය කාලේ තායිලන්තය සමඟ චීනය සාකච්ඡා කළා ක්‍රා කියන ඇළ මාර්ගය කපන්න. චීනයට එන තෙල්ද ඇතුළු සැපයුම් වලින් සියයට අසූවක්ම එන්නෙ මලක්කා සමුද්‍ර සන්ධිය හරහායි. මලක්කා සමුද්‍ර සන්ධියේ මුහුද අයත් වන්නේ ඉන්දුනීසියාව සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් වලටයි. මේවා ඇමරිකානු හිතවාදී රටවල්. කෙදිනක හෝ මෙම රටවල් කිව්වොත් ‘අපේ මුහුද හරහා ඔබේ නැව් වලට යන්න තහනම්’ කියලා චීනයට, එවිට චීනය කන්න නැතුව තෙල් නැතුව ආර්ථිකය කඩා වැටෙනවා. චීනයට තියන මෙම භීතියට ජාත්‍යන්තර ආරක්ෂක අංශ කියන්නේ ‘මලක්කා දෙගිඩියාව’ කියලයි. මෙන්න මේ නිසා මලක්කා සමුද්‍ර සන්ධියට විකල්පයක් වශයෙන් තායිලන්තය හරහා ඇළ මාර්ගයක් කපනවා. චීනයට ඇති මුහුදු ගමන් මාර්ගයේ දුරත් එවිට කිලෝමීටර් 1200 කින් පමණ අඩු වෙනවා. මේ මාර්ගය කැපුවාට පස්සේ සිංගප්පූරු වරාය මගහැරලා හම්බන්තොට වරාය කිට්ටුවෙන් මෙම මුහුදු මාර්ගය වැටෙන්නේ. එවිට ආසියාවේ සාගර කේන්ද්‍රය විදිහට නාවික කේන්ද්‍රය විදිහට අද සිංගප්පූරු වරායට හිමිතැන අනාගතයේදී හිමිවන්නේ හම්බන්තොට වරායටයි. එහෙම නම් චීනාගේ බලය කඩන්නට චීනගෙ මර්මස්ථාන බවට පත්වීමට නියමිත ලංකාව තුළ ඇමරිකානු හමුදා කඳවුරු දා ගත යුතුයි.

සැබෑ ලිං මැඩියන් කවුරුන්ද ?

මෙන්න මේ කාරණා හතර නිසයි ඇමරිකාවට ලංකාව වැදගත් වෙලා තියෙන්නේ. මේ සිය වශයෙන් ලෝකයේ වැදගත්ම රට ලංකාවයි කියලා කියන්නේ අප නොව ඇමෙරිකානු ආණ්ඩුවමයි. ඒ සඳහා ලේඛන දෙකක් මා උදාහරණ වශයෙන් දැක්වූවා. ඒ නිසා අප ළිං මැඩියන් ලෙසින් බොරුවට බය වෙලා දඟලනවා යැයි කියන අයට අපට කියන්නට වෙන්නේ මේ පොත පත කියවා ලෝකේ සිදුවන්නේ කුමක්දැයි ඉගෙන ගන්න කියලයි.

ඇමරිකානු හමුදාවට අප බය ඇයි ?

ඇමරිකානු හමුදා එනවාට අප බය ඇයි. ඇමරිකානු හමුදාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එම හමුදාව ඇතුලේ තියෙන ලිංගික අතවර. තමන්ගේ සහෝදර සෙබළුන්ට සෙබළියන්ට ඇමරිකානු හමුදා භටයන් අතින් සිදුවන ලිංගික අතවර. ලිංගික අතවර පාලනය කිරීම සඳහා මේ පිළිබඳ වාර්තාවක් දෙවසරකට වරක් ප්‍රසිද්ධ කරන්න යැයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළා. 2018 තමයි අවසන් වාර්තාව ආවේ. 2018 වසර තුළදී පමණක් හමුදාවේ 20,500 ක් සෙබල සෙබළියන්ට තවත් අයුරකින් කියනවා නම් සෙබළියන් 13,000 ට සෙබළුන් 7,500 ට අනෙකුත් සහෝදර සෙබළුන්ගෙන් ලිංගික අතවර සිදුවෙලා තිබෙනවා. ඇමරිකානු හමුදාවේ සෑම සෙබළියන් දහ දෙනකුගෙන්ම එක් කෙනෙක් 2018 වර්ෂයේ දී ලිංගික අතවරයට ගොදුරු වී තිබෙනවා. මේ සෙබළිය යුධ පුහුණුව ලත් ආත්මාරක්ෂක සටන් ක්‍රම දන්න හැඩි දැඩි සෙබළියන්. එවැනි සෙබළියන්ගේ ඉරණමත් මෙය නම් අහිංසක අපේ දියණියන්ගේ ඉරණම කෙසේ වේවිදැයි අපට සිතා ගන්නට සිදු වෙනවා.

2016 වසර හා බලද්දී 2018 වන විට ලිංගික අතවර කිරීම් 25% වැඩිවෙලා තිබෙනවා. දිනෙන් දින පිරිහෙන ම්ලේච්ඡ හමුදාවක් තමයි ශ්‍රී ලංකාවට ගොඩ බස්සවන්න හදන්නේ. මේ ම්ලේච්ඡ හමුදාවේ හිරිහැර වලට ගොදුරු වන ආසියානු රටවල් තුනක් තියෙනවා. ඒ තමයි දැනටමත් සෝෆා ගිවිසුම් අත්සන් කරලා ඇමෙරිකානු හමුදා ගොඩබස්වා ගෙන සිටින ඉරාකය, දකුණු කොරියාව සහ ජපානය. ජපානයේ ලොකුම ඇමෙරිකානු හමුදා කදවුර තියෙන්නෙ ඔකිනාවා වලයි. මේ වන විට ඇමරිකානු හමුදා අතින් ඔකිනාවා වැසියන් 29 දෙනකු ඝාතනය වී තියෙනවා. හතළිස් හත් දෙනකු දූෂණය වී තිබෙනවා. මංකොල්ලකෑම 368 සිදුවෙලා තියෙනවා. පහරදීම් එක්දහස් හයසියයක් සිදුවෙලා තියෙනවා. බලවත් ජපානය තුළයි මේවා සිද්ධ වෙන්නේ.

2002 දී දොළොස් ඇවිරිදි පාසල් දැරියක් ඔකිනාවා හිදී පාසල ඇරී ගෙදර එන විට වාහනයකින් ඇවිත් පැහැරගන්නවා. එම රථයේ සිටියේ ඇමෙරිකානු භටයන් තිදෙනෙක්. ඔවුන් එම දැරිය වෙරළට රැගෙන ගිහිල්ලා සිහිසුන් වන තුරා දූෂණය කරනවා. සිහිසුන් ඇය මියගියා යැයි සිතා අතහැර දමා යනවා. පසුව සිහිය ලබන ඇය රෝහල්ගත කරනවා. ඇය හඬමින් ඇයට සිදුවූ සියල්ල හෙළි කරනවා. මුළු ජපානය ම එකම හඬින් කියනවා ඇමරිකානු හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. ජපන් ආණ්ඩුව ද එයට එකඟ වෙනවා. නමුත් ඇමරිකාව එයට බැහැ කියනවා. සෝෆා ගිවිසුම වෙනස් කරන්නට ජපානය යෝජනා කරනවා. ඇමරිකාව බැහැයි කියනවා. ලොව දෙවෙනියට විශාලම ආර්ථිකය සහිත ජපානයේ ඉරණම එය නම් මේ පුංචි දුප්පත් ලංකාව ගහන ගිවිසුම අනාගතයේ කිසිදිනක වෙනස් කරගන්නට හැකි වන්නේ නැහැ.

එමෙන්ම ඔකිනාවා හි මත්පැන් හලකදී කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳ නඩුවක් ඇමරිකානු සෙබළෙකුට පැවරෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත් වී එම නඩුවේ සියලු සාක්ෂිකරුවන් බියගන්වා නැතිනම් මුදල් දී මිලදී අරගෙන මෙම සෙබලා නිදහස් කරගැනීමට කටයුතු කරනවා.

මව්බිම වෙනුවෙන් අමරිකානු මහ කළුගලේ හිස ගසා ගත්තෙමු

ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවට පැමිනියහොත් ඉතාම භයානක තත්වයක් තමයි සිදුවන්නේ. අපට ඇමරිකානු හමුදා ගොඩ බැස්සට පස්සේ හරවා යවන්නට බැහැ. නමුත් ඔබ මතක තියාගන්න අපේ මේ ඇමෙරිකානු සටන සුබවාදී ලකුණු පෙන්වන සටනක්. ඇමරිකානු රජයේ වුවමනාවට තමයි අපේ ඉඩම් අයිතිය ගොවීන්ට දීලා එම ඉඩම් ඇමරිකානු සමාගම් ගොවීන්ගෙන් වැඩි මිලට මිලදී ගැනීමේ පළමු පියවර විදිහට ඉඩම් අයිතිය ගොවීන්ට ලබාදෙන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමේ පනත ගෙන ආවේ රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත ලෙසට. කළුගලේ හැප්පුනාම ඔලුව පැලෙනවා මිසක ගල පුපුරන්නේ නැහැ කියලයි අප අහල තිබුනෙ. ඇමරිකාව මහ කළු ගලක් ලෙසින් පෙනුනත් අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙය අභියෝගයට ලක් කළා. අපේ තර්ක පිළිඅරගෙන මේ පනත් කෙටුම්පත අත්හිටුවන්නට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රමය වැරදි බව තීරණය කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා. මිත්‍රවරුණි ඇමරිකානු විරෝධී අපේ අරගලය කුලුඳුල් ජයග්‍රහණය වාර්තා කරලා ඉවරයි.

ඒ නිසා අපේ පුංචි දියණියන් ඇමෙරිකානු හමුදා අතින් කිලිටි වෙන මියෙන පොඩිවෙන මල් කැකුළු බවට පත්වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් – මේ රටේ පාලකයා අප නොව ඇමරිකාව විසින් තීරණය කරන යුගයක් උදා වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් – අප මුතුන් මිත්තන් අපට ලබාදුන් උරුමය ඊළඟ පරම්පරාවට ද භාර දීමට අවශ්‍ය නම් – අප මේ ඇමරිකානු ආක්‍රමණය නතර කළ යුතුයි; විතරක් නොවෙයි ‘අපට නතර කිරීමටද හැකියි’ කියන එක අප ඉතාම විශ්වාසයෙන් කියනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

“ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමෙරිකානු උගුල පරදවමු!” STOP USA, සම්මන්ත්‍රණ හා එක්වෙමින් පිවිතුරු ‌හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව

(06.08.2019 – YouTube > Udaya Gammanpila)

https://youtu.be/tPWvqjcy78I
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *