පැල්මඩුල්ලේ මැණික් කොල්ලයට 5 ක් අල්ලයි – ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුත් ඒ අතර

(07.08.2019 – 07:47 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 3 ක මැණික්, මුදල් සහ රන් ආභරණ පැල්මඩුල්ල ප්‍රදේශයේ ආයතනයකින් කොල්ලකෑමේ සිද්ධියට ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුන් ඇතුලු පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 28 වනදා එම ආයතනයට පැමිණි සැකකරුවන් එහි තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් 604 ක්, මුදලින් රුපියල් හාරලක්ෂ 47,000 ක් සහ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ පවුම් 62 ක්, සොරාගෙන ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, ඒ අනුව රත්නපුරයේ මැණික් වෙන්දේසි සිදුකරන ස්ථානවලට ඔත්තුකරුවන් යොදවා තොරතුරු ලබාගෙන තිබුණා.

එහිදී ලද තොරතුරක් අනුව රත්නපුර නගරයේ මැණික් වෙන්දේසියකට එම ආයතනයෙන් සොරකම් කරන ලද මැණිකක් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර ඇති අතර, අදාළ පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව කොල්ලය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වුණා.

කොල්ලයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු පසුව අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන් අදාළ සිද්ධියට යොදාගත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් බලංගොඩ, කිරිඳිවැල, ලුණුගම්වෙහෙර සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.

***************************************

නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්න

(06.08.2019 – 21:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගත් නීතිපති දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා මැදිහත්වියයුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේදි.

***************************************

බලන්ගොඩ උඩවෙල සණස බැංකුවේ තැන්පතු කෝටි පහළොවක මුදල් සොරාගෙන සැඟව සිටි බැංකු කළමණාකාරිණිය ගණුදෙනු කරැවෝ අල්ලා පොලිසියට භාර දෙති..

(07.08.2019 – 08:40 +0530 – lankacnews.com)

බලන්ගොඩ උඩවෙල සණස බැංකුවේ ගණුදෙනු කරුවන් විසින් එම බැංකවේ තැම්පත් කර තිබු රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් මිට වසරකට පමණ පෙර එහි කළමණාකාරිණිය විසින් වංචා කර ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි.

එම සණස බැංකුවෙ ගණුදෙනු කරුවන් විසින් එම කළමණාකාරිණිය බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේ නිවසක සිටියදි අල්ලාගෙන බලන්ගොඩ පොලිසිය වෙත භාර දි තිබේ.

එම ගණුදෙනු කරුවන්ට එම කළමණාකාරිණියගේ සැමියා බලන්ගොඩ ප්‍රදේශයේ දි හමු වි තිබෙන අතර ඔහුගෙන් කළමණාකාරිණිය පිළිබඳව තොරතුරු විමසා කළමණාකාරිණිය සිටින ස්ථානය සොයාගෙන ඇය අල්ලා එම ස්වාමියාද සමග පොලිසියට භාර දුන් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

මුදල් අහිමි වු ගණුදෙනු කරුවන් විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් වසරක පමණ කාලයක සිට පින්නවල පොලිසිය වෙත පැමිණි කර තිබුණි.

පසුව අදාල සැකකාර බැංකු කළමණාකාරිණිය සහ ඇගේ සැමියා බලන්ගොඩ පොලිසිය විසින් 06 දා සවස පින්නවල පොලිසිය වෙත භර දුන් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

– සම්පත් ප්‍රියනන්දන

+++++++++++++++++++++

කෝටි 15 ක් වංචා කළැයි උඩවෙල සණස බැංකු කළමනාකාරිනිය රිමාන්ඩ්

(08.08.2019 – divaina.com)

බළන්ගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ රුපියල් කෝටි 15 කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එහි කළමනාකාරවරිය වූ ඒ. කේ. මංගලිකා චිත‍්‍රාංගනී කරුණාරත්න නැමැත්තිය මේ මස 20 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් බී. ජයරුවන් දිසානායක මහතා ඊයේ (7 දා) නියෝග කළේය.

මෙම බැංකුවේ තැන්පත්කරුවන් 300 කට වැඩි පිරිසකගේ මුදල් වංචා කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත්තේ පෙරේදා (6 දා) ය. මාස 9 කට අධික කාලයක් සැකකාරිය පොලිසිය මගහරිමින් සිටියාය. සැකකාරිය පොලිසිය මගින් අධිකරණය වෙත කැඳවාගෙන එන අවස්ථාවේදී ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් උසාවි භූමියේ රැඳී සිටියහ.

මෙම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නීතිඥ දේශබන්දු සූරියපටබැඳි, භානු මුනිප‍්‍රිය යන මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

මෙහිදී විත්තිකාරිය වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටි අතර මේ පිළිබඳව ඔබට යමක් ප‍්‍රකාශ කිරීමට තිබේදැයි මහෙස්ත‍්‍රාත්වරයා විමසූ අවස්ථාවේ සැකකාරිය විගණනය සිදුකර වංචාකර ඇති මුදල තමා වෙත දැන්වූ පසු එම මුදල ගෙවන බවත් ගනුදෙනුකරුවන් ප‍්‍රකාශ කරන තරම් කෝටි 15 ක මුදලක් තමා වංචාකර නොමැති බවත් පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළාය.

එහිදී යම් මුදලක් මෙවර ගෙවන්නේදැයි මහෙස්ත‍්‍රාත්වරයා යළි විමසූ විට ‘‘දැන් ගෙවන්නේ නැහැ’’ යනුවෙන් ඇය කෙටි පිළිතුරක් දුන්නාය.

නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉතා අසරණ ගනුදෙනුකරුවන් ඉතිරි කිරීමේ චේතනාවෙන් බැංකුව විශ්වාස කර මුදල් තැන්පත් කළත් බලධාරීන් නිසි අධීක්‍ෂණයක් නොකිරීම නිසා මෙම තැනැත්තිය හිතුවක්කාරී ලෙස කටයුතු කර ඇති බව පෙනෙන බවයි. පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පොලිසිය විසින් ගොනුකර තිබෙන බවද නීතිඥවරු පැවසූහ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීම පින්නවල පොලිසියේ ස්ථානාධිපති පො.ප. එස්. පී. අමරතුංග සහ උ.පො.ප. එම්. එල්. සමරවීර යන මහත්වරු සිදුකරනු ලැබූහ.

***************************************

***************************************

***************************************

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදු වු අනතුරකින් තිදෙනෙක් මරුට

(07.08.2019 – 21:34 +0530 – sinhala.adaderana.lk)

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී මහනුවර දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් සහ කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී රිය අනතුරක් සිදු වී ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් කළ රියදුර, කාන්තාවන් තිදෙනෙකු හා තවත් පිරිම පුද්ගලයකු බරපතල තුවාල ලබා වතුපිට රෝහලට ඇතුලත් කිරීමේදී ඉන් රියදුරු හා කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 22 ක් වු වෑන් රථයේ රියදුරු, අවුරුදු 47 ක් වු ඔහුගේ මව සහ අවුරුදු 52 ක් වු තවත් කාන්තාවක්.

මෙම පිරිස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් දෙදෙනා වෑන් රථයේ රියදුරුගේ පියා සහ සහෝදරිය වේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (08) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=ndkCLO2qzOU

***************************************

විපක්ෂ නායකවරයාට ඉල්ලීමක්

(07.08.2019 – 19:57 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස රජයට බල කර සිටින්නැයි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සියලු කතෝලික මහජන නියෝජිතයින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව තමන් එම යෝජනාව ඉදිරිපත් කරන බව විපක්ෂ නායකවරයා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට සඳහන් කළේය.

පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන කතෝලික හා ක්‍රිස්තියානි මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (07) පෙරවරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක නිල නිවසේදීය.

මේ අතර මොරටුව නගරසභා ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ප්‍රදේශවාසින් පිරිසක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම අද පස්වරුවේ සිදුකෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

***************************************

එස්. බී. දිසානායක මහතා ගෙන් අනාවරණයක්

(07.08.2019 – 19:35 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා අද අනාවරණ කළේය.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.බී.දිසානායක මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

මෙම මාධ්‍ය හමුව පැවති ස්ථානයට උතුරු නැගෙනහිර පළාත් සභාවේ පළමු මහ ඇමති වරදරාජා පෙරුමාල් මහතා ද පැමිණි සිටියේය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය දරන ආණ්ඩුවක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

සන්ධානය ගොඩනැගීමේ කටයුතු අගෝස්තු 16 වන විට අවසන් – ඩලස් අලහප්පෙරුම

(07.08.2019 – 19:18 +0530 – sinhala.adaderana.lk)

විපක්ෂයේ පුළුල් සන්ධානය ගොඩනැගීමට අදාළ වැඩකටයුතු අගෝස්තු 16 වනදා වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඊයේ (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට සහභාගී විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර පැවති සකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති හා විපක්ෂ නායකවරයා ඉතා සාර්ථක සාකච්ඡාවකින් පසුව එකඟතා කීපයකට පැමිණ ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් ඒ අනුව තවත් සාකච්ඡා වට දෙක තුනක් පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ විරෝධී අපේක්ෂකයෙකුට එකඟතාවය ලබා දෙන්න මෛත්‍රීපාල සිරිසේන මහතාත් බොහෝ විට ඉදිරි මැතිවරණයට තරඟ කරන්න තීරණය කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

පොහොට්ටුවත් සමඟ එකඟතාවයක් නොමැති බවත්, එකඟතාවයක් ඇති වෙන්නේ අපේක්ෂකයා සමඟ බවත් පැවසු මුතුහෙට්ටිගම මහතා, පැවසීය.

තව මාස 3 ක් ඇති බවත් ඒ කාලය තුළ ජනාධිපතිවරයාගේ ඊළඟ පියවර කුමක් ද යන්න පිළිබඳව පවසන බවත් කියා සිටි මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකන් යන්නේ නැති බවත් ලක්ෂ 20 ක හෝ 25ක ඡන්දත් අරන් යන බවත් මේ ඡන්දය ඉතා තීරණාත්මක බවද සඳහන් කළේය.

අභියෝගයක් ඇති බවත් ඉදිරි සාකච්ඡාවලදී සාධාරණ තීරණයක් ගන්න බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන ආකාරයට එකඟත්වයකට පැමිණියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද කියා සිටියේය.

ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ හා පොදු ජන පෙරමුණ එකඟත්වයකට යා යුතු බව තම විශ්වාසය බව මෙහිදී අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා පැවසීය.

පක්ෂ දෙක එකතු වී ගන්නා තීරණය නිසැකයෙන්ම අවසන් තීරණය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

***************************************

උකුසු ඇසට හසු වූ ජපාන රැකියා ජාවාරමක්

August 7, 2019 08:53 pm

උකුස්සා පසුගියදා තිස්සමහාරාමයට යන්නේ, නීති විරෝධී රැකියා ඒජන්සියක් පිළිබඳ ලැබුණු තොරතුරුවලට අනුවයි.

මෙය පවත්වාගෙන යන්නේ, යෝධකණ්ඩිය ප්‍රදේශයේයි.

ජපන් රැකියා ලබාදෙන බවට පවසමින් අදාළ ඒජන්සියේ හිමිකරුවන් ජපන් භාෂාව පිළිබඳ පංති පවත්වනු ලබයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් බව පවසමින් පැමිණි පුද්ගලයෙකු විසින් එම පන්තිය සිත්ගන්නා අයුරින් මෙහෙයවනු ලැබුවේ මේ ආකාරයෙන්ය.

පන්තිය පවත්වන පුද්ගලයා – “දැන ඕගොල්ලන්ට රැකියා 270 ක් අපි අතේ තියාගෙන ඉන්නවා. අපිට දාන්න මිනිස්සු නැතුව. හැබැයි ඒකට දැන් මෙහෙ ඉන්න විදිහට නිකන් කොන්ඩේ දාලා එහෙම බෑ. කියුටෙක්ස් ගාලා, ලිප්ස්ටික් ගාලා ලස්සනට ඉන්න ඕනේ. ජපානයේ ඕගොල්ලන්ගේ තරුණ කාලේ අවුරුදු දහඅටේ විස්සේ අයට වඩා අර අවුරුදු හැත්තෑවේ අසූවේ ආච්චි අම්මල මේකප් කරනවා. ඕගොල්ලන්ට දෙලක්ෂ පනස් දාහයි පඩිය. ඇග්රිමන්ට් එක ආවාට පස්සේ අපි ඕගොල්ලන්ව යොමුකරනවා විදේශ සේවා නියුක්ති කාර්යංශයට. ඇග්රිමන්ට් එකයි වීසා එකයි ඉදිරිපත් කළාට පස්සේ ඕගොල්ලන්ට හදනවා ටැක්ස් එකක් රු. ලක්ෂ 08 ක.“

මෙම පන්තිය පවත්වාගෙන යන කාන්තාවගෙන් අප ජපන් රැකියා පිළිබද විමසීමක් කළේය.

උකුස්සා – “මොනවගේ ජොබ්ද දන්නේ නෑ සෙට් වෙන්නේ. කොම්පැනිවලට දාන්නේ වාහන කොම්පැනි , බයික් කොම්පැනි“

උකුස්සා – පඩිය කොහොමද දන්නේ නෑ?

පන්තිය පවත්වාගෙන යන කාන්තාව – පඩිය ලක්ෂ 04 යි. ටික ටික වැඩිවෙනවා. ඒ කියන්නේ පැය අටකට තමයි

ඉන්පසු පිටතට පැමිණ ඇය පැවසුවේ ලක්ෂ විස්සක් පමණ වියදම් කළ හැකිනම් පහසුවෙන් ජපානයට යා හැකි බවයි.

උකුස්සා – විභාගය නොලියා යන්න ක්‍රමයක් නැද්ද?

පන්තිය පවත්වාගෙන යන කාන්තාව – ලක්ෂ විස්සක් පහලොවක් ගෙවලා එහෙම යවන්නේ කොහොමහරි කෝස් එක කරවලා. එතකොට ඒගොල්ලෝ ඉක්මනට යවනවා. තියාගන්නේ නෑ. කොම්පැනි හොඳ ඒවට දානවා. ඒවා සර්මයි එක්කන් යන්නේ.

මොවුන් සූදානම් වන්නේ ජපන් රැකියා දෙන බවට පවසමින් මෙරට තරුණ තරුණියන් මං මුලා කිරීමට නොවේ ද?

බලධරයිනි, මෙවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගැනීම ඔබලාගේ වගකීමක් නොවන්නේ ද ?

https://www.youtube.com/watch?v=YYYVqk7sefU

***************************************

කිසිදා පාසලක් නොදුටු දරුවන්

(07.08.2019 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ටැබ් පරිගණක හරහා ඉගෙනුම් සිදුකිරීමට පාසල් දරුවන් හුරු කරවීමට රජය සැලසුම් සකස් කරන මෙවන් යුගයක පාසලක් දැක හෝ නොමැති දරුවන් පිරිසක් අපට හමු වුණා.

ඒ තිස්සමහාරාම දිවුල්පල්ලම ප්‍රදේශයෙන්.

තිස්සමහාරාම – දිවුල්පල්ලම කොඩිගහවැව් ඉස්මත්තේ ඇති මෙම පැල්පත මාපියන් සමග පිරිමි දරුවන් 06 දෙනෙකුට සෙවන සලසන ස්ථානයක්.

වසර 15 ක් පුරා මෙම පවුල මෙහි ජීවිතය ගත කරන අතර ඔවුන් සියල්ලන් ජීවත් වන්නේ පියා මසුන් විකුණා හරි හම්බකරන සොච්චම් මුදලින්.

වේලක් හැර වේලක් පැල්පතේ ආහාරයක් පිසෙන අතර එය රස බැලීම සදහා මේවනවිට පවුලේ දරුවන් 06 දෙනාගෙන් ඉතිරිව ඇත්තේ තිදෙනෙකු පමණයි.

කිසිදු දිනක පාසලක් දැක හෝ නොමැති මෙම දරුවන්ගෙන් තිදෙනෙකු පසුගිය කාලයේ ප්‍රදේශයේ සිදුවු සුළු සොරකම් කිහිපයක් හේතුවෙන් මේ වනවිට පසුවන්නේ පරිවාස භාරයේයි.

දැඩි ලෙස අබලන්ව පවතින පැල්පතේ බොහෝ තැන්වලින් අහස පෙනෙන අතර වැසි වැටෙන විට මොවුන් පත්වන්නේ දැඩි අපහසුතාවකටයි.

කොඩිගහවැව් ඉස්මත්තේ දිනපතා දුව පැන ඇවිදින මෙම දරුවන්ගේ බාලයාට විලිවසාගැනීමට වස්ත්‍රයක් මිලදී ගැනීමට තම ආර්ථිකය ශක්තිමත් නොමැති බව ඔවුන්ගේ පියා පවසනවා.

ජනතාවගේ සුභ සිද්ධිය සදහා සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඕනෑම ප්‍රදේශයක ස්ථිපිතව සිටිය ද මෙම දරුවන් පිළිබදව ඔවුන්ගේ අවධානය යොමු නොවීම පුදුමයට කරුණක්.

කිසිදු දිනක පාසලක් දැක නොමැති මෙම දරුවන් අනෙක් දරුවන් පාසල් යන දෙස බලා සෝසුසුම් හෙළන වාර අපමනයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *