රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියයි

(07.08.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයා පැවසූ පරිදි රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

***************************************

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන වාද විවාද

(07.08.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ අද පැවති කල්තැබීමේ විවාදයේදී මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා.

***************************************

විසඳුම් නොමැතිව කොළඹ කුණු ප්‍රශ්නය උග්‍ර වේ – පුත්තලමට යැවීම ගැනත් දෙගිඩියාවක්

(07.08.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

වත්තල – කෙරවළපිටිය කසල අංගනයට කසළ බැහැර කිරීම මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පෙරේදා සිට නතර කිරීමත් සමඟ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ එක්රැස් වූ කසළ ඉවත් කිරීම මේ වනවිට බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙනවා.

අප වාර්තාකරුවන් සදහන් කළේ නගරයේ බොහෝ ස්ථානවල කැලි කසල ගොඩ ගැසී ඇති බවයි.

මේ අතර, ලබන 11 වනදා සිට පුත්තලම – අරුවක්කාලු කසල අංගනයට කසල රැගෙන යාමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය පාලක සභවේ සභාපති නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඔහු කියා සිටියේ ඊට අදාළව කොන්ත්‍රාත් සමාගමක් සමග ගිවිසුමකට ද අත්සන් තැබූ බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට කොළඹ මහනගර සභාව තුළ කසල මෙටි‍්‍රක් ටොන් 2200 ක් ගොඩ ගැසී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටළුව විසදීම සම්බන්ධයෙන් කොළඹ නාගරික කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිට නගර සභා පරිශ්‍රයේ සාකච්ඡා කිහිපයක් ද පැවැත්වුණා.

පුත්තලම – අරුවක්කාලු කසළ අංගනයට කසල රැගෙන යාමට තීරණය කළත්, ඒ සඳහා ප්‍රවාහන පහසුකම් නොමැතිවීමේ ගැටළුවක් ද මතුව තිබෙනවා.

ඒ අනුවයි පෞද්ගලික සමාගමක් හරහා මෙම කසළ පුත්තලම – අරුවක්කාලු කසළ අංගනයට රැගෙන යාමට ගිවිසුම් අත්සන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, එතෙක් කෙරවළපිටිය කසල අංගනයට කසල බැහැර කිරිමට ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවෙන් අවසර ඉල්ලා ඇති බවද කොළඹ නගර මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය පාලක සභවේ සභාපති නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර පෙරේරා මහතා සහන් කළා.

ඊට ප්‍රතිචාර නොලැබුණහොත් ලබන 11 වනදා දක්වා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කැළි කසළ එක් රැස්වී තිබෙනු ඇති බවයි ඔහු සදහන් කළේ.

කොළඹ මහනගර සභාව මුදල් ලබා දී අරුවක්කාලු කසල අංගනයට කසල බැහැර කිරීමට බලාපොරොත්තු වුවත්, එම කසල අංගනය පාලනය වන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව ඊට පැහැදිලි එකගතාවක් පළ කර නැහැ.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතා ද අද කොළඹ මහනගර සභාවේ පැවති සාකච්ඡාවක් සදහා එක්ව සිටියා.

***************************************

සහරාන් යටතේ පුහුණුව ලැබූ තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට

(07.08.2019 – 14:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තුන්දෙනෙකු, රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

මොවුන් තහනම් සංවිධාන වන ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් යන සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති කදුරුවෙල, මාවනැල්ල – දනාගම සහ වරකාපොල – තුල්හිරිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවට ද හෙළි වී තිබෙනවා.

මේ අතර, ගත වූ දින කිහිපයේ සහරාන් සමග පුහුණුව ලැබූ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානයේ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

මේ අතර, ත්‍රස්ත කණ්ඩායම් නායක සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් 14 දෙනෙකු මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් අද නියෝග කළා.

කල්මුණේ, අට්ටාලච්චේන, සයින්දමුරුදු සහ සමන්තුරේ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 15 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් අයෙකු ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

***************************************

හික්කඩුවේ රිය අනතුරකින් පසු බස් රථයකට ප්‍රදේශවාසීන් පහරදෙයි

(07.08.2019 – 11:16 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව – කුමාරකන්ද මංසන්ධිය අසළදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මියයාමත් සමඟ කුපිතවූ ප්‍රදේශවාසීන් එම බස් රථයට අලාභහානි සිදුකර තිබෙනවා.

ගාල්ල සිට ඇල්පිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් 51 හැවිරිදි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්වුණේ ඊයේ පස්වරුවේයි.

ඒ සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් එම බස් රථයට අලාභ හානි සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අනතුරුව බස් රථය හික්කඩුව පොලීසිය භාරයට ගෙන ඇති අතර, රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://www.youtube.com/watch?v=vwG99OBEZMw#t=5

***************************************

වෙලම්බඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්

(07.08.2019 – 09:35 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයක තිබී අත්අඩංගුවට ගත් මන්නා පිහි 76 ක් සහ පොරෝ 13 ක් යළි එම දේවස්ථානය වෙත භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල බණ්ඩාරගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ නඩු භාණ්ඩ ලේඛනයට ඇතුලත් කර තිබූ අදාළ උපකරණ තොගය කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව මෙලෙස භාරදීමට වැඩබලන ස්ථානාධිපතිවරයා සූදානම් වී ඇති බවයි.

හජ්ජි උත්සවය සඳහා ගවයන් ඝාතනය කිරීමට මෙම උපකරණ අවශ්‍ය බව පවසමින් අදාළ මුස්ලිම් දේවස්ථානයේ භාරකාර මණ්ඩලය ඒවා යළි ඉල්ලා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා ෴

***************************************

වසන්ත කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකට නාවික හා ගුවන් හමුදාවේ ඉහලම තනතුරු

(07.08.2019 – 09:49 +0530 – hirunews.lk/sinhala)

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරු දක්වා උසස් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම ගෞරවනීය නිල ඔවුන් වෙත පිරිනමා ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගිය 5 වනදා නිකුත් කළ බවයි රජයේ මුද්‍රණාලය සඳහන් කළේ.

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සිදුකළ සේවය ඇගයීම සඳහා ඔවුන්ට මෙම තනතුර පිරිනමා තිබෙනවා.

මෙය මෙරට නාවික හමුදාපතිවරයෙකු සහ ගුවන් හමුදාපතිවරයෙකු ලැබූ උසස්ම ගෞරවනීය නාමයන් වීමද විශේෂත්වයක්. මෙම තනතුරු යුද හමුදාවේ ‘ෆීල්ඩ් මාර්ෂල්’ තනතුර හා සමාන වනවා.

2015 වසරේ මාර්තු 22 වනදා හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද ‘ෆීල්ඩ් මාර්ෂල්’ තනතුරෙන් පිදුම් ලැබුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *