කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : සාෆිට එරෙහිව මව්වරුන් 50 ක් මානව හිමිකම් කොමිසමට

(08.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 50 දෙනෙකු පමණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට ඇතැම් පාර්ශව බාධා එල්ල කරමින් සිටින බවයි.

එමෙන්ම, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සුරකිමු දේශය ජාතික සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් 12 දෙනෙකු මේ මස 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිදුවීමට අදාළව අනෙක් සැකකරුවන් පස් දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

එමෙන්ම, නඩුව යළි කැඳවන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ මුදල් සහ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියෝග කළා.

මේ අතර, සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්‍රහාරකයන්ගේ රුපියල් මිලියන 134 ක බැංකු ගිණුම් මේ වනවිටත් අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඔවුන්ගේ රුපියල් බිලියනයක පමණ දේපල හඳුනාගෙන ඇති බව ද ඔවුන් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණා.

+++++++++++++++++++++

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ – පොලිස් අධිකාරීගේ ස්ථාන මාරු අනුමත කරයි

(08.08.2019 – 22:05 +0530 – lankadeepa.lk)

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට දී තිබූ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කර ඔවුන්ට ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) තීරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරීවරයා කුරුණෑගල දිසාවේ සිටියහොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට බාධා ඇතිවන බැවින් ඔවුන් ස්ථාන මාරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව එම නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා පසුගිය මස 27 වැනි දා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා (01) ඔවුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ අතර සිකුරාදා (02) එම ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබිණි.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) යළිත් රැස්වූ අවස්ථාවේ දී එම ස්ථාන මාරු වෙනස්කමකට භාජනය කර යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කන්තලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) අනුමැතිය ලබා දී තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනා සාෆි සම්බන්ධ විමර්ශනයේ දී විනයානුකූල නොවන අයුරින් කටයුතු කර ඇති බවට තමන් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත්, ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය ෴

+++++++++++++++++++++

සාෆි විමර්ශනයේදී පොලිස් ලොක්කන් දෙදෙනෙක් විනය විරෝධී වැඩ කරලා – ශානි අබේසේකර

(08.08.2019 – 18:18 +0530 – lankadeepa.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් අධිකාරිවරයා අතින් විනය විරෝධී කටයුතු සිදුව ඇති බව සඳහන් කරමින් පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කරුණු අනුව සිදුකළ පරීක්ෂණවලදී මොවුන් අතින් විනය විරෝධී කටයුතු සිදුව ඇති බවට හෙළි වූ බව ශානි අබේසේකර මහතා කියා සිටියේය.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නොපවත්වන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මොවුන් මෙම කි‍්‍රයාවන් සම්බන්ධයෙන් හෙළි වු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා කියා සිටියේය.

මෙම වාර්තාවේ කරුණු අනුව පොලිස්පතිවරයා ඉදිරි කි‍්‍රයාමාර්ග ගනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ ප‍්‍රධානාත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ බව පැවසීය ෴

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව කල් යයි

(09.08.2019 – 12:58 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට කුරුණැගල මහේස්ත්‍රාත්වරයා අද (09) නියෝග කළේය.

ඒ හතරවැනි දිනටත් එම නඩුව අද පෙරවරුවේ කැඳවු අවස්ථාවේදීයි.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි පැවරූ නඩුව අද සිව්වන දිනට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනුණි.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි අද පෙරවුරු 10 ට පමණ අධිකරණ සංකීර්ණය වෙත පැමිණියේය.

නඩු විභාගය ආරම්භයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාළව පිටු 12 ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම වාර්තාව හරහා ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ අධිකරණය දැනුවත් කර ඇත.

අනතුරුව විත්තිකාර පාර්ශ්වය හා අගතියට පත් පාර්ශවයද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

කරුණු සලකා බැලු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කර ඇත.

+++++++++++++++++++++

සිංහල අම්මලාට එක මැහුමක්? මුස්ලිම් අම්මලාට මැහුම් දෙකක්? – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(09.08.2019 – 14:18 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විත්තිකරුවා වෙනුවෙන් පෙනී සිටීම කණගාටුදායක තත්ත්වයක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

අද (09) කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට කුරුණැගල මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

එම අවස්ථාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි :

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

(15.08.2019 – colombotoday.com)

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනත් සමග තම ජීවිතයටද තර්ජනයක් එල්ල වී ඇති බවත් එම නිසා තමාට පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙසත් ඉල්ලමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කඳන්ගමුව මහතා ඊයේ (14 දා) කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී රෝහලේ නි. අධ්‍යක්‍ෂවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතාගේ පවුලේ තොරතුරු දැනගෙන ඒ සම්බන්ධයෙන් හෙළිකර ඇතැයි පවසමින් තිසේරා මහතාද පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමග තමාගේ නිවස අසල සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනකු ගැවසී ඇති බවත්, සැකකටයුතු යතුරුපැදි තමා පිටුපස පැමිණෙන බවත් පවසමින් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පොලිසියට පැමිණිලි කළ බව නීතිඥ චානක අබේවික‍්‍රම මහතා ඊයේ (14 දා) පැවැසීය.

මෙවැනි සිදුවීම් නිසා තම ජීවිතයට තර්ජනයක් එල්ල වී තිබෙන බවත් එම නිසා බාධාවකින් තොරව තම රාජකාරි කරගෙන යාමට හැකි ආකාරයෙන් පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බවද කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීය.

වෛද්‍යවරයා සමඟ නීතිඥවරුන් වන ඉන්ද්‍රසිරි සේනාරත්න, සමන් දිසානායක, නිලුක්‍ෂි උයන්වත්ත යන මහත්ම මහත්මීන්ද පැමිණිලි කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත ගොස් ඇත ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *