සහරාන්ගේ රුපියල් කල්ලියේ කෝටි 113 ක මුදල්-දේපළ අත්හිටුවයි

(08.08.2019 – 16:22 +0530 – lankadeepa.lk)

පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලු එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.

මේවා අතර රුපියල් කෝටි 100 ක දේපළ හා රුපියල් කෝටි 13 ක් වටිනා මුදල් හා බැංකු ගිණුම් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසීය.

අත්හිටවු කෝටි 100 දේපළ අතර වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන් භාණ්ඩ වන බවද ඒ මහතා පැවසීය.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ ඔවුන් අතර කාන්තාවන් ද සිටින බව ඒ මහතා පැවසීය.

මේ පිරිස රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද ශානි අබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 41 කගේ බැංකු ගිණුම් අත්හිටුවයි

(09.08.2019 – 09:31 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 41 දෙනෙකුට අයත් බැංකු ගිණුම් අත්හිටුවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ රුපියල් මිලියන 134 කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම් මෙලෙස අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම ඔවුන්ට අයත් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුතු වත්කම් පිළිබඳවද අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

ජනපති අපේක්ෂකයා ගැන භික්ෂූන් වහන්සේ කතා කරයි

(08.08.2019 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ කිහිප නමක් කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ කළා.

***************************************

මහේන්ද්‍රන් ගොනු කළ අභියාචනය ජාත්‍යන්තර පොලිසිය ප‍්‍රතික්ෂේප කරයි

(08.08.2019 – 23:03 +0530 – lankadeepa.lk)

තමන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බවට සඳහන් කරමින් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර තිබූ අභියාචනය ජාත්‍යන්තර පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසීය.

තමන් වරදක් සිදුකර නොමැති බවත් එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් තමන් වෙත රතු නිවේදන නිකුත් කිරීම නීති විරෝධී බව පවසමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලිසිය වෙත මෙම අභියාචනාව ඉදිරිපත් කර තිබූ බවද අබේසේකර මහතා කියා සිටියේය.

මෙම රතු නිවේදනය නිකුත් කිරීමට හේතුව හා යොමුකර තිබු ලේඛන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර එය නිවැරදි ආකාරයෙන් ඉදිපත් කර ඇති බවට තොරතුරු තහවුරු කරගෙන මහේන්ද්‍රන් මහතාගේ අභියාචනය ප‍්‍රතික්ෂේප කර ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් එලෙසින්ම කි‍්‍රයාත්මක වෙමින් පවතින බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරෙන්තු

(09.08.2019 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර වංචාව පිළිබද නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින බවයි.

එසේම අධිකරණය මඟ හැර සිංග්පූරුවේ වෙසෙන නඩුවේ 10 වන විත්තිකරු වන පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අජාන් ගාර්දිය පුංචිහේවාට සිතාසි භාර දී නඩුව යළි කැදවන දෙසැම්බර් 4 වන දා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කළා ෴

+++++++++++++++++++++++++++++++++++

අර්ජුන් අලෝසියස්ගේ ඇප කොන්දේසි ලිහිල් කරන්න නියෝග

(08.08.2019 – 16:58 +0530 – lankadeepa.lk)

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් වර්ෂ 2015 වර්ෂයේදී බැදුම්කර නිකුත් කිරීමෙන් අක‍්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් මහතාගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (08) නියෝග කළාය.

මෙම සැකකරු සම්බන්ධයෙන් ති‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණයෙන් විශේෂ ඇප කොන්දේසියක් පනවා නොමැති අතර, නිතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බැවින් සහ සැකකරු අධිකරණය මඟ නොහැර සිටීමත් ඇප මත සිටියදී මොනයම් හෝ වැරැද්දක් අනාවරණය නොවීමත් යන කරුණු හේතුවෙන් ඇප කොන්දේසි ලිහිල් කරනු ලබන බවට මහේස්ත‍්‍රාත්වරිය සදහන් කළාය.

ඒ අනුව, සෑම ඉරුදිනකම පෙරවරු 9.00 ත් – 12.00 ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය නියම කර තිබූ ඇප කොන්දේසිය ලිහිල් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරුදින පමණක් එම දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම ප‍්‍රමාණවත් ලෙසට දැනුම් දෙමින් එම ඇප කොන්දේසිය ලිහිල් කළාය ෴

***************************************

ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් මත්තලට

(08.08.2019 – 20:55 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම හේතුවෙන් සිදුවී ඇති හානි පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඒ ගුවන් තොටුපළට සිදුව ඇති අලාභය පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීම සඳහායි.

මත්තල ගුවන් තොටුපළ භාවිතයට නොගැනීමෙන් එහි වී ගබඩා කිරීමට වත්මන් රජය තීරණයකට එළැඹ තිබුණා.

එම තීරණය යටතේ ගුවන් තොටුපළ පරිශ්‍රයේ වී ගබඩා කෙරුණා.

කෙසේ වෙතත් ඒ සමග ගුවන් තොටුපළ දේපළවලට අලාභ හානි සිදුව ඇති බවට චෝදනා මතුවීමත් සමග 2015 -2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් වුණා.

ඒ යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අදාළව එම කොමිෂන් සභාවේ පොලිස් ඒකකය මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වී කරුණු කිහිපයක් නිරීක්ෂණය කර තිබෙනවා.

ගුවන් තොටුපළ වායු සමනය කරන පද්ධතියට ගොඩනැගිලි උපකරණවලට විදුලි පද්ධතියට, ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගුවන් පථය පෙන්වා දෙන ආලෝක පද්ධතියට, හානි සිදුව ඇති බවට එහිදී නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව රජයේ තක්සේකරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සමග පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මත්තල ගුවන් තොටුපළේ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ ඒ පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීම සඳහායි.

***************************************

ජනපති අපේක්ෂක චරිත ගොඩනැගීමට අධික මුදල් වැය කරන බවට සන්ධානයෙන් රජයට චෝදනා

(08.08.2019 – 19:59 +0530 – hirunews.lk/sinhala)

වැටුප් ගෙවීමට පවා නොහැකි වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ චරිත ගොඩනැගීම සඳහා අධික ලෙස මුදල් වැය කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර චෝදනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද එක්වුණා.

***************************************

හෙටත් (09) සවස් වනතුරු කොළඹ කුණු එකතු කිරීමක් නැහැ

(08.08.2019 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ස්ථාන රැසක ගොඩගැසී පවතින කැලි කසළ ඉවත් කිරීමේ කටයුතු හෙට පස්වරුව වනවිට සිදුකිරීමට අපේක්ෂා කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද රාත්‍රියේ සිට පුත්තලම – අරුවක්කාලු කසල අංගනයට, කොළඹ මහ නගර සභාවේ කසළ එක්රැස් කරන රථවාහනවල ගොඩගැසී තිබෙන කසල ප්‍රවාහනය කරන බවයි.

කොළඹ නගරයේ තැන තැන කසළ ගොඩගැසීම හේතුවෙන් මේ වනවිටත් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

ඊයේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වයට ද එමගින් එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්.

කොළඹ මහ නගර සභාවේ කසළ ඉවත් කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පවසන්නේ කසළ එකතු කිරීමට නිසි ස්ථානයක් නොමැති වීම හේතුවෙන් තමන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, වර්ෂාවෙන් බාධා එල්ල වූවද අද රාත්‍රියේ සිට පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට කසළ බැහැර කිරීම ආරම්භ කරන බවයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර කියා සිටියේ.

මෙම කැලි කසළ ගැටළුව සම්බන්ධයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹදී අද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වා සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ මහ නගර සභාව කසළ බැහැර කිරීම සඳහා මැදිහත්ව කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත්, දින ගණනාවක් තිස්සේ කසළ ඉවත් නොකිරීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *