රට බේරගන්න දියසෙන් කුමාරයෙක් අහසෙන් වැටෙන්නේ නෑ – මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(10.08.2019 – 07:51 +0530 – sinhala.adaderana.lk)

අන්තවාදින්ගේ සහාය ලබානොගන්නා අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දි නිර්මාණය කළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ ඊයේ (09) මේ බව සඳහන් කළේ ජාතික වියත් පවුර වැඩසටහනට එක් වෙමින්ය.

අභියෝගයෙන් රට ගලවා ගැනීමට කිසිදු දියසෙන් කුමාරයෙක් අහසෙන් නොවැටෙන බවත් දියසෙන් කුමාරයෙක් අපි තුළින් නිර්මාණය කරගත යුතු බවත් මහචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් වැඩිදුරටත් පැවසීය.

මේ අතර විද්වතුන්ගේ සහයෝගය රටේ පාලනය සඳහා දායකකර ගත යුතු බව මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දෙයි.

උන්වහන්සේ පවසන්නේ කෙසේවෙතත් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට මෙරට පාලකයින් සුදානනම් නොමැති බවයි.

උගතුන්, වියතුන්, ප්‍රවීණයන් පෙරටු කොටගත් ජාතික වියත් පවුර සංවිධානය ජනගත කිරීම ඊයේ පස්වරුවේ කැලණිය මානෙල්වත්ත බෞද්ධ විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දි සිදු කෙරුණි.

+++++++++++++++++++++

***************************************

හක්මන සණස බැංකුව කොල්ලකයි

(09.08.2019 – 22:01 +0530 – lankadeepa.lk)

හක්මන ගම්මැදපිටිය සණස බැංකුව අද (09) සවස පැමිණි අවි ගත් පුද්ගලයින් දෙදෙනෙක් විසින් මංකොල්ලකා පලාගොස් ඇතැයි හක්මන පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණ ඇති මංකොල්ලකරුවන් බැංකු සේවකයින් බියගන්වා රුපියල් 170,000 පමණ මුදලක් මංකොල්ල කා ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩා කොටසද රැගෙන පලාගොස් ඇති බව හක්මන පොලිසිය පවසයි ෴

***************************************

ශ්‍රී ලංකාවෙන් පැමිණි අන්තවාදීන් දෙදෙනෙකු, සොයා පිලිපීනයෙන් මෙහෙයුම්

(10.08.2019 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ත්‍රස්තවාදීන් යුවළක් පිලිපීනයට ඇතුළු වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කරනවා.

මොවුන් බෝම්බ සෑදීම සහ එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බවයි ස්ට්‍රේට්ස් ටයිම්ස් වාර්තා කළේ.

පිලිපීනයේ – මැනිලා ගුවන්තොටුපල ආගමන විගමන වාර්තාවලට අනුව මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඔවුන් දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ලෙස ලැයිස්තුගත කර ඇති බව සඳහන්.

ඉකුත් අප්‍රේල් 21 වනදා මෙරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ මාර්ක් කෙවින් සැම්හූන් සමීප සබඳතා පවත්වා ඇති බවත්, ඔහුගේ පිලිපීන ජාතික මව ඩුබායිහි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බවට මේ වනවිට කරුණු අනාවරණ වී තිබෙනවා.

මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා අතර සමීප සබඳතාව පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පිලිපීන ආරංචි මාර්ග සඳහන් කළේ.

පිලිපීන සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දරණ ඇය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පිලිපීනයට ගොස් ඇති අතර, සැම්හූන් පැමිණ ඇත්තේ මේ වසරේ ජුනි මාසයේදියි.

ඉස්ලාමීය අන්තවාදීන් විසින් පිලිපීනයේ – මැනිලා අගනුවර ඇතුළු ලූසොන් දිවයිනේ ජනාකීර්ණ නගර රැසක් ඉලක්ක කර ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවටයි එරට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

මොවුන් දෙදෙනා සොයා පිලිපීන ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා ෴

***************************************

අධ්‍යාපන ඇමතිගේ හිතවතුන් දස දහසකට, උසස් වීම් ලබාදීමට තැත් කිරීමක් ගැන, ජනපති කොමිසමේදී හෙළිදරව්වක්

(10.08.2019 – 07:29 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට දේශපාලනික වශයෙන් උපකාර කළ ගුරු සංගම් නියෝජිතයින් සහ කථිකාචාර්යවරුන් ඇතුළු 10,000 කගේ නාමලේඛන ලබාදී ඔවුන්ට උසස් වීම් ලබාදීමට අමාත්‍යවරයා තමාට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී ඉලංගසිංහ මහතා ඊයේ (09) ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

ඒවා නීත්‍යානුකූලභාවයක් නොමැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව සිදුකිරීමට නොහැකි බවට ඇමතිවරයා දැනුවත් කළ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා තමා සමඟ විරසක වීමට ද මෙය හේතුවූ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වුවත්, තමා උසස් වීම් ආදී කටයුතුවලදී ඉතාම නීත්‍යානුකූලභාවයකින් නිසියාකාරව අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කළ බව 2015 / 2018 රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ කේ.බී.ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළා.

දේශපාලන වශයෙන් අමාත්‍යවරයා ලබාදුන් නාම ලේඛණය අනුව කටයුතු කළේ නම් රටට විශාල හානිදායක තත්ත්වයක් ළඟා වන බවට තමා විශ්වාස කළ බවටයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා දුන් නාමලේඛන ද ඔහු විසින් කොමිෂන් සභාවේ දැන ගැනීම සඳහා එහි ඡායාරූප සහ වීඩියෝ පට සමඟ කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරයා තමාට එරෙහිව නීත්‍යානුකූල නොවන ආකාරයට කිසිදු කටයුත්තක් නොකළ අතර, අමාත්‍යවරයා වෙත තමාගේ ස්ථාන මාරුවට අදාළ ලිපිගොනු රැගෙන ගියේ ද අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු විසින් බවයි ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමචන්ද්‍ර හේවගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනි වික්‍රමතිලක යන අය ඊයේ (09) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබූ අතර ඔවුන්ට යළි ලබන 21 වනදා දින කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්‍ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතාට ආයතනික අංශයට ලබාදී තිබූ ස්ථාන මාරුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මොවුන් ඊයේ (09) කොමිසම හමුවේ කැඳවා තිබුණා.

මතභේදයට තුඩු දී ඇති ස්ථාන මාරුව සම්බන්ධයෙන් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා පසුගියදා කොමිසම හමුවේ පැමිණිලි කළ අතර, පසුව ඔහු පෙර සේවය කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ තනතුරෙහිම පිහිටුවීමටයි ජනාධිපති කොමිසම නියෝග කරනු ලැබුවේ.

පාසල් පෙළපොත් සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය ඇතුළත් කර නිවේදනයක් පළ කිරීම හරහා සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි ඔහුට මෙලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබුණේ.

කෙසේ වෙතත්, පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතාගේ පෞද්ගලික ලිපි ගොනුවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සටහනක් යොදා ඇතත්, එය තමා හරහා අමාත්‍යවරයාට යොමු නොකළ බවයි.

අතිරේක ලේකම්වරුන් හරහා අදාළ ලිපි ගොනුව අමාත්‍යවරයාට යොමු වී ඇති බවට තමන් විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

නිලධාරීන් ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් සම්බන්ධයෙන් සියළු බලතල ඇත්තේ ලේකම්වරයාට මිස අමාත්‍යවරයාට නොවන බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පිළිගෙන තිබුණා ෴

***************************************

සෝෆා ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක්

(09.08.2019 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබා ඇති ඇක්සා, සෝෆා සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් පැවැත්වුණා.

මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු පළමු වරට අද මාධ්‍ය වෙත විවෘත කළා.

අද පස්වරු 2 ට එහි කැමරා පද්ධතිය විවෘත කෙරුණු අතර, කමිටුවේ කටයුතු පස්වරු 2.30 සිට ආරම්භ වුණා.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහ රජයේ මුද්‍රණ සංස්ථාවේ නිලධාරීන් අද දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ බවයි එහි සිටි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

සෝෆා අවොත් හමුදා විරෝධයකුත් එයි – පාර්ලිමේන්තුවේදී අනතුරු ඇගවීමක්

(09.08.2019 – nethnews.lk)

විදේශ රටවල් හෝ විදේශ සංවිධාන සමඟ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට කටයුතු නොකළ යුතු බවට වූ කල්තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුණා. යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේපාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි. ප්‍රශ්නගත ‘ඇක්සා’ සහ ‘සෝෆා’ ගිවිසුම් පිළිබඳව ද අමෙරිකාව සමග එළඹීමට යෝජනා වී තිබෙන ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අදහස් පළ කෙරුණා.

අමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාවේ නීති අභිභවා ඔවුන්ගේ නීති අදාළ කරවන පරිදි වූ විධිවිධාන ද ප්‍රශ්නගත ගිවිසුම්වල ඇතුළත්ව තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී ප්‍රශ්න කළා. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා සහ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

යෝජනාව ස්ථිර කරමින් විවාදයට එක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරයි.

යෝජිත ගිවිසුම්වලට ආණ්ඩුව හිතුවක්කාරී ලෙස එළඹුන හොත් ඇතිවිය හැකි බියකරු තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විවාදයට එක් වුණා.

ප්‍රශ්නගත සෝෆා ගිවිසුමට වත්මන් ආණ්ඩුව ගෙන ආ සංශෝධන අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී කියා සිටියා.

***************************************

සෞඛ්‍ය ඇමතිට මැතිසබයේදී චෝදනාවක්

(09.08.2019 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක පවතින ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙතෙක් අපොහොසත් වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය අද (09) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින්.

ඊට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පිළිතුරු ලබාදීමේදී උණුසුම් තත්ත්වයක් ද ඇති වූ අතර, ඊට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ද මැදිහත් වුණා.

එමෙන්ම, රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු ජනමාධ්‍ය විවෘත කිරීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 05 අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ, කථානායක කරු ජයසුරියගේ සහ කෝප් කමිටුවේ සභාපති ජනතා විමුත්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්.

***************************************

ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන 71 ක අමතර වැයක්

(09.08.2019 – 07:33 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ජගත් චන්ද්‍රගුප්ත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදී තිබෙනවා.

ඒ, ප්‍රතිජීවක ඖෂධ ආනයනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩල තුළ සිදුව ඇති අක්‍රමිකතා දූෂණ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති පැමිණිල්ලකට අදාළවයි.

එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ජගත් චන්ද්‍රගුප්ත සඳහන් කර ඇත්තේ අවම මිලකට ඖෂධ ලබාගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස ඉටුකිරීමට නොහැකි වූ බවටයි.

අදාළ ඖෂධ තොගය ආනයනය කිරීමේදී මහජන මුදල් රුපියල් මිලියන 71 ක් පමණ අමතර වැයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරා ඇති බව කොමිෂන් සභාවේ අදහස වී තිබෙනවා ෴

***************************************

පොළොන්නරු යුගයට අයත් රන් මුදු – කරඬු අභයගිරියෙන් හමුවේ

(09.08.2019 – 16:39 +0530 – lankadeepa.lk)

අනුරාධපුර අභයගිරි ස්ථූපයේ සංරක්ෂණ කටයුතුවල දී කැණීමකින් සොයාගත් පුරාවස්තු අතර රනින් නිමකළ බවට සිතිය හැකි ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසට අයත් කුඩා කරඬුවක්, මුද්දක් හා කර්ණාභරණ ඇතුළු පුරාවිද්‍යත්මක සාධක රැසක් සොයාගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය ටි.ජී. කුලතුංග මහතා පවසයි.

මෙම පුරාවස්තු අතර අභයගිරි දාගැබේ පහළ පේසා වළල්ලක ඉදිරිපස වැළලී තිබූ මැටි පාත්‍රයක මුද්ද හා අනෙකුත් පූජා වස්තු හමු වී ඇත. කරඬුවද එම ස්ථානයට නුදුරේම හමුවී ඇත. තුනී තහඩු කැබැලි, අස්ථි කොටස්, අස්ථියකින් තැනූ වළලු කොටසක්, රන් දඟර ආදිය හමුවී තිබේ.

අභයගිරි ව්‍යාපෘතියට අයත් පර්යේෂණාගාරයේ දි කරන ලද මූලික පර්යේෂණයේ දී මෙම පුරාවස්තුවල ස්වභාව ‍හඳුනාගෙන ඇති අතර මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කොළඹ ප්‍රධාන කාර්යාලයේ අවසරයකින් පසු කරඬුවේ අභ්‍යන්තරයේ ඇති වස්තුව කුමක්දැයි එක්ස්රේ පර්යේෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව මහාචාර්යවරයා පවයි.

‘‘මෙම රන්පාට කරඬුව විවෘත කිරීම ඉතා අසීරුයි. කැඩීයන්නට ඉඩ තිබෙනවා. ඒනිසා අපේ ප්‍රධාන කාර්යාලයේ අවසරයක් ඇතිව එහි අභ්‍යන්තරය එක්ස්රේ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පොළොන්නරු යුගයට අයත් බවට සැලකෙන්නේ, අවසන් වරට 12 වන ශතවර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා ස්ථුපයේ සංකරක්ෂණයක් කර තිබෙනක නිසා. ඒ ගැන සඳහන් ලේඛන මුල දි හමුවී තිබෙනවා. මෙම භාණ්ඩ එක් කරඬුවක බහාලූ තවත් කරඬුවක් ඇතුළේ තැන්පත් කර තිබුණා. ඒ කරඬුව තිබුණේ මැටි පාත්‍රාවක’’ යැයි ද මහාචාර්යවරයා පැවැසුවේ ය.

***************************************

“අරුවක්කාලු හැදුවෙත් ගෝඨා, ගෝඨා කසළ සමග දේශපාලනය කළේ නෑ” කොළඹ කුණු ගැටලුව මැද ගෝඨාගේ කළමණාකරණ හැකියාව එජාප නාගරික මන්ත්‍රීන්ගේත් ප්‍රශංසාවට

(10.08.2019 – nethnews.lk)

කොළඹ නගරය පුරා එක්රැස් වී ඇති කසල තවත් දින 02 ක් පමණ ඇතුළත සම්පූර්ණයෙන්ම අරුවක්කාලූ සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කිරීමට හැකි වනු ඇතැයි කොළඹ මහ නගර සභාව විශ්වාසය පළ කරනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර.

මේ අතර කොළඹ නගරයේ එක්රැස් වන කසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීමට අදාළ පෞද්ගලික ආයතනය වෙත කරන ගෙවීම් සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ශව කිහිපයක් චෝදනා එල්ල කළා. අදාළ ගණුදෙනුවලදී මූල්‍ය වංචාවක් සිදුවන බවට සැක මතුවන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ඊයේ පස්වරුවේ නාගරික මන්තී‍්‍රවරුන් පිරිසක්ද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ කොළඹ නාගරික මන්තී‍්‍ර රෝයි බෝගහවත්ත.

මේ අතර කොළඹ නගරයේ ගොඩගැසී ඇති කසල අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කිරීමට බාධා නොකරන්නැයි අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා. කොළඹ නගරයේ කසල මීට පෙර බැහැර කෙරුණේ කෙරවලපිටිය කසල අංගනයටයි. එහෙත්, ඒ වෙත කසල බැහැර කිරීම මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉකුත් දා නතර කිරීමට තීරණය කළේ එහි ධාරිතාව උපරිම මට්ටමට පැමිණීමත් සමගයි. කොළඹ නගරය පුරා කසල ගොඩගැසී ගැටලූව උග‍්‍ර වූයේ ඉන් පසුවයි ෴

***************************************

කටුනායක අලුත් පර්යන්තයෙන් ගුවන් මගීන් ලක්ෂ 90 කට ඉඩ

(08.08.2019 – gossiplankanews.com)

ගුවන් මගීන් මිලියන නවයකට පහසුකම් සැලසෙන පරිදි ඉදිකරන කටුනායක ගුවන්තොටුපළ නව ගුවන් පර්යන්තයේ කටයුතු ලබන නොවැම්බර් මාසය පමණ වනවිට අවසන් කරන බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය. ගුවන්තොටුපළ මගීන්ගේ පහසුකම් සඳහා ගුවන් ටිකට්පත් කවුළු 84 ක් දක්වා වැඩි කරන බවත් ආගමන විගමන කවුළු 6 ක් අලුතින් ස්ථාපිත කරන බවත් ඔහු සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඉකුත්දා (06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මෙයට පෙර කටුනායක ගුවන්තොටුපළ මගීන් වසරකට ගුවන් මගීන් මිලියන හයක් හැසිරවීම සඳහා පහසුකම් සලසා තිබුණි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි දෙවනි ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු පැකේජය යටතේ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 9 ක් මෙහෙය විය හැකි ගුවන් මගී පර්යන්තයක් ඉදිවනු ඇත.

ගුවන්තොටුපළ යාත‍්‍රා අංගනය (Apron) නවීකරණය කිරිමෙන් පසුව අතිරේක ගුවන් යානා 23ක් සඳහා නැවතුම් පහසුකම් සැලසෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. ගුවන් මගීන්ට පහසුකම් සැලසීම මෙන්ම ආදායම් ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය ෴

***************************************

ගෝඨාභයට සහාය දෙන්න උතුර, නැගෙනහිර හා වතුකරයේ දේශපාලන නායකයන් එක්වේ..

(10.08.2019 – 15:50 +0530 – lankacnews.com)

ශ්‍රි ලංකාවාසි ජනතාට හෙට (11) අයිතිහාසික දිනයක් වන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දා නන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ අද (10) නාවලපිටියේ පිහිටි මහින්දා නන්ද පදනම් කාර්යයාලයේ පැවති මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේ අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමු‍ණේ නායකත්වය හෙට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දි 2020 ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවයි.

හෙට දින රටේ ජනතාව ජාතික කොඩිය අතතිව ප්‍රධාන මාර්ග වලට පිවිස කැවුම් කිරිබත් කා ප්‍රිති වන දවසක් බවට පත් වන බව මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට වගකිය නොහැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ වන විට කොටස් පහකට කැඩි ඇති බවත්, කිසිසේත් එම බෙදිම තුල එක්සත් ජාතික පෙරමුණට සන්ධානයක් ගොඩනැගිමට හෝ ජනාධිපති අපෙක්ෂකයෙකු නම් කිරිමට නොහැකි බව මන්ත්‍රිවරයා කියා සිටියි.

2020 ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර ඇතුළු වතුකරයේ දේශපාලන නායකයන් සහයෝගය දැක් විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, රට ගොඩනැගිමට සුදුසුකම් නැති මේ රටේ එකම ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

***************************************

ගෝඨා හෙට (11) පොහොට්ටු වේදිකාවේ.. ජනාධිපති අපේක්‍ෂක වී මුලින්ම කැලණි පන්සලේ.. අනතුරුව රුවන්මැලියට.. ශ‍්‍රී මහා බෝධියට.. දලදා මාලිගාවට.. කතරගමට.. සතියක් රට වටා..

(10.08.2019 – 10:00 +0530 – lankacnews.com)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනයේ පළමුවරට දේශපාලන වේදිකාවට පිවිසීමට නියමිතය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වනු ඇත.

ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සංධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහු පොදු ජන පෙරමුණේ සම්මේලනය ඇමතීමට නියමිතය.

එදිනම පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරයේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.

ඊට පසුදා (12) අනුරාධපුරය බලාගෙන ඒ මහතා රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන බුද්ධ පූජාවකට ද සහභාගී වන ඔහු 13 දින ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට ද නියමිතය.

14 වෙනිදා මහනුවර බලා පැමිණෙන රාජපක්ෂ මහතා ශ‍්‍රී දළදා වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබාගැනීමට සංවිධානය කර තිබේ.

15 වනදා කතරගම කිරිවෙහෙර අභියස පැවැත්වෙන අසූහාරදහසක මහා පහන් පූජාවට ඔහු සහභාගී වෙයි.

ඉන්පසු කතරගම දේවාලයට ද එදින ම දහවල් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට ද ඔහු පැමිණෙනු ඇත.

ඒ ආකාරයේ සතියක පමණ දීර්ඝ වැඩසටහනක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබේ ෴

+++++++++++++++++++++

***************************************

සුවසැරියට පළමු ජාත්‍යන්තර ගෞරවය පුදකරමින් එහි නිර්මාතෘ ආචාර්ය හර්ෂට අළුත් තනතුරක්

(10.08.2019 – 08:02 +0530 – lankacnews.com)

මෙරට පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව අති විශිෂ්ට තලයකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවයට පළමු ජාත්‍යන්තර ගෞරවය ලබාදෙමින් එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳ පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ ASEAN-WHO කළාපීය ජාලයේ (ASEAN-WHO Regional Network for Road Safety Legislators) උප සභාපතිවරයා සහ එම ගෝලීය ජාලයට අයත් කවුන්සලයේ සාමාජිකයෙකු ලෙස ඒකමතිකව පත්කර ගෙන තිබේ. මෙම ගෞරවය ඔහුට ලබාදීමට හේතුවී තිබෙන්නේ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ඔහු විසින් ලබාදුන් නායකත්වයයි.

1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තරව හිමිවූ මෙම ගෞරවය පිළිබඳව එම සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය :

“මෙම සේවාවට ජාත්‍යන්තරව හිමිවූ මෙම ගෞරවය පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. බින්දුවෙන් පටන් අරන් මෙතෙක් දුරක් එන්න ලැබීම පිළිබඳව අපි කණ්ඩායමක් ලෙස ආඩම්බර වෙනවා. දිවා රෑ වෙහෙසී අපේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටින අපගේ සුවසැරිය සාමාජිකයින් සියළු දෙනා වෙත මා මෙම ජයග්‍රහණය පුද කරනවා.”

දිවයින පුරා නොමිලේ ක්‍රියාත්මක 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් මේ වනවිට දිනකට රෝගීන් 700 ක් පමණ රෝහල් ගත කරන අතර මෙම සේවාව ක්‍රියාත්මකවූ වසර තුනක කාලය තුළදී මේ දක්වා රෝගීන් දෙලක්ෂ විසි දහසක් (220,000) පමණ රෝහල් ගත කර තිබේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින රෝගියෙකු වෙත සාමාන්‍යයෙන් විනාඩි 12 කට අඩු කාලයක් තුළ මෙම ගිලන් රථයක් පැමිණ තිබෙන අතර මාර්ග අපහසුතා නොමැති නාගරික ප්‍රදේශ වලදී මෙම කාලය මෙයට වඩා අඩු අගයක් ගනී.

මේ වනවිට, සුවසැරිය ගිලන් රථ 297 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

– මාධ්‍ය ඒකකය

***************************************

හලාල් නීතිගත කිරීමේ සුදානමක් – තිලංග හෙළිකරයි

(10.08.2019 – nethnews.lk)

හලාල් සහතිකය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා චෝදනා කරනවා.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතය හරහා හලාල් සහතිකය නීතිගත කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *