කංජිපානි ඉම්රාන්ගේ පොලිස් විමර්ශන කෙරෙන හැටි ගැන සුදත්ත හිමි කළ අනාවරණය

(10.08.2019 – 19:27 +0530 – sinhala.adaderana.lk)

දැනට රැඳවුම් නියෝග ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ට එරෙහිව පොලිස් විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට සාධක ඇතැයි නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

අද කළුතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිදරව් කළේය.

එහිදී සුදත්ත හිමි විසින් වීඩියෝ දර්ශනයක් පෙන්වනු ලැබු අතර එය කොළඹ කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළත දර්ශනයක් බවත් ඒ හිමියන් ප්‍රකාශ කළේය.

වීඩියෝ දර්ශනයේ සිවිල් ඇඳුමින් සැරසී කන්ජිපානි ඉම්රාන් නැමැත්තා සිටින බවත් එහිදී ඔහු පිළිබඳ විමර්ශන භාර දී ඇති උප පොලිස් පරීක්ෂක නිශාන්ත නම් නිලධාරියා හා උප පොලිස් පරීක්ෂක දුනුසිංහ නැමැත්තා ඔහු සමඟ ලෙංගතුකමින් සාකච්ඡා කරන බවත් සුදත්ත හිමි විස්තර කර සිටියේය.

ඒ ආකාරයෙන් කංජිපානි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ තොරතුරු බෙදා ගැනීමට මෙම පොලිස් නිලධාරීන්ට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්දැයි සුදත්ත හිමි ප්‍රශ්න කර සිටියේය.

මෙමඟින් කංජිපානි ඉම්රාන් සම්බන්ධ විමර්ශන කටයුතු සාධාරණ නොවන බව පෙන්නුම් කරන බවත් මෙය සිදු නොවුවක් බවට හැකිනම් පෙන්වන ලෙසත් සුදත්ත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයට අභියෝග කර සිටියේය.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් ඒ හිමියන් ප්‍රකාශ කර සිටියේ කන්ජිපානිගේ උපන්දිනය පසුගියදා යෙදී තිබු අවස්ථාවේ ඔහුගේ ඥාතීන් හා පොලීසිය එක්ව කේක් කපා උපන්දිනය සැමරූ බවයි.

කාපු කේක් දැන් වමාරන්න සූදානම් වෙන ලෙස උන්වහන්සේ ප්‍රකාශ කර අතර අදාළ වීඩියෝව ඉදිරියේදී එළියට දාන බවත් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළ යුතු බවත් සුදත්ත හිමි කියා සිටියේය.

එසේම තමන් ඉදිරි සඳුදාට පොලිස් මූලස්ථානයට මේ පිළිබඳ පැමිණිලි කරන බවත් කන්ජිපානිගෙන් පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කර ඇති හඬපටයක් ද තමන් සතු බව කියා සිටියේය.

අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන හොඳට කරපු නිලධාරීන්ව මාරු කර යවා ඇති බවත් කන්ජිපානිගේ හයිය පෙන්වා ඇති බවත් මාගල්කන්දේ සුදත්ත හිමි ප්‍රකාශ කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේය.

එහිදී ඔහු කියා සිටියේ අදාළ වීඩියෝවේ දැක්වෙන කතාබහ සිදුවන්නේ අපරාධ කොට්ඨාසය තුළ බවත් එම අවස්ථාවේ දී කංජිපානි ඉම්රාන්ට අත්විලංගු දා තිබෙන බවත්ය.

ඔහු සමඟ පොලිස් නිලධාරීන් කුමක් හෝ දෙයක් කතා කරන දර්ශනයක් පමණක් එහි ඇති බවත් ඒ හැර කිසිවක් නැති බවත්ය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

සුදත්ත හිමි කංජිපානි ඉම්රාන්ගේ පරීක්ෂණ ගැන වාර්තාවක් ඉල්ලයි

(13.08.2019 – 15:00 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ලිපියක් භාර දෙනු ලැබුවා.

එහි පිටපත් ඉන් පසුව පොලිස්පතිවරයාට සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දීමටද උන්වහන්සේ කටයුතු කළා ෴

***************************************

විහාරස්ථාන 10,000 කට කුරාන බෙදන්න සූදානමක් – රිසාම් අරූස් ගෙන් හෙළිදරව්වක්

(10.08.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශ සිදුකළ රිසාම් අරූස් යන පුද්ගලයා අද මාධ්‍ය හමුවකට සහභාගි වී තමා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශයක් රිසාම් අරූස් යන පසුගියදා පුද්ගලයා සිදුකරනු ලැබුවේය.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඉදිරියේදී සිදුකිරීමට නියමිත තවත් අන්තවාදි ක්‍රියා හෙළිදරව් කරනු ලැබුවේය.

එහිදී සිය අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශය හරහා තමා විසින් වරදක් සිදු කළ බවත් ඒ වෙනුවෙන් සමස්ථ බෞද්ධ ජනතාවගෙන් හා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටින බවයි.

මින් ඉදිරියට එවැනි ක්‍රියා නොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහිදී තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ කරුණු හෙළිදරව් කරමින් ඔහු කියා සිටියේ ඔවුන් විහාර 10,000 කට කුරාන බෙදා දීමට සූදානමක් ඇති බවයි.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය :

“තවුහිද් ජමාඩ් සංවිධානය අලුත් වැඩක් කරනවා විහාර 10,000 කට කුරානය රහසිගතව බෙදන්න. ඒ සඳහා ඔවුන් සතුව මධ්‍යස්ථ පිරිසක් ඉන්නවා. පන්සලට යන ඉස්ලාම් ධර්මය වැළදගත් හාමුදුරුවරු ඒ අය ළඟ ඉන්නවාලු. ඒ සම්බන්ධ හඩපට මා ළඟ තියෙනවා. වගකීමෙන් කියන්නේ. ඒ අය උපයෝගි කරගෙන කුරානය පන්සල් ඇතුළට යවන්න පුළුවන්.

දැනටමත් මුදල් අඩක් විතර යවලා තියෙනවා. කල්කටා සිට මාස 2 ක් ඇතුළත කුරානය ලංකාවට එන්න නියමිතයි. ලංකාවට එන්න තහනම් කළ පුද්ගලයෙක්, අබ්දුල් රාසික්ගේ ගුරුවරයා හරහා තමයි කුරාන ගෙන්වා ගන්නේ. විකෘති කළ දෙයක් තමයි සමාජගත කරන්න හදන්නේ. ඒ හරහා ප්‍රශ්න අවුලවන්න තමයි හදන්නේ. ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ එකම සිතුවිල්ල ඡන්දය හන්දා මේ දේවල් යට යාවි.”

මුස්ලිම් දේශපාලනඥයින් නැවතත් අමාත්‍යධූර භාරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රැවටීමක් සිදු වු බවත් ත්‍රස්ථවාදයට අනුබලදෙන මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත්ය. නම් වශයෙන් තමන් හිස්බුල්ලා පිළිබඳ හෙළිකළ බවත් රිෂාඩ් ගැන ඔප්පු කරගන්න බැරිවු බවත් ඔහු කියා සිටියේය.

එසේම තවුහිද් සමාජිකයින් ලක්ෂ 6 කට ආසන්නව සිටින බවත් දේශපාලකයන්ට එම ඡන්ද වැදගත් බවත් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වු සිංහලේ සංවිධානය ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව ප්‍රකාශ කළේ රිසාම් අරූස් නැමැත්තා විසින් ඔහු විසින් සහරාන්ට 2006 දී ලැබුණු ISIS ත්‍රස්ත සහතිකයක් තමන් වෙත ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව සහරාන් ISIS සංවිධානයත් සමඟ සම්බන්ධ බව ඔප්පු කළ හැකි ප්‍රධාන සහතිකයක් ලෙස එය හඳුනාගත හැකි බවත් වහාම රිසාම් අරූස් කැඳවා පරීක්ෂණ සිදු කරන ලෙසත් ඔහු දන්වා සිටියේය.

+++++++++++++++++++++

***************************************

මට්ටකුලිය පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකු මිය ගියේ පොලීසියේ පහර දීමකින්ද?

(10.08.2019 – 18:54 +0530 – sinhala.adaderana.lk)

මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මට්ටකුලිය පොලිස් ස්ථානය තුළදී අද (10) උදෑසන මියගොස් ඇත.

එම පුද්ගලයා ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුලු වී එහි තුන්වන මහළෙන් පහලට පැන තිබුණු පසුබිමක ප්‍රදේශවාසීන් විසින් අදාළ පුද්ගලයා පොලීසියට භාර දෙනු ලැබුවේය.

මට්ටක්කුලිය, කදිරානවත්ත, ෆාම් පාරේ පිහිටි මෙම නිවසේ තෙවෙන මහලට අදාළ පුද්ගලයා අනවසරයෙන් ඇතුල්වී ඇත්තේ අලුයම 01:45 ට පමණයි.

එම මහලේ නිදා සිටි කාන්තාවක් අවදි වී කෑගැසිමත් සමඟ අදාල පුද්ගලයා තුන්වන මහලෙන් බිමට පැන ඇත.

එම අවස්ථාවේ ඔහු ඒ ආසන්නයේ ඇති ගබඩා කාමරයක වහලය මතටත් පසුව බිමටත් ඇද වැටි ඇති බව වාර්තා වෙයි.

පසුව අදාල පුද්ගලයා නිවසේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඇද වැටි සිටියදී ප්‍රදේශවාසින් ඔහුව මට්ටක්කුලිය පොලීසියට භාර දී ඇත.

අනතුරුව අදාළ පුද්ගලයා අද උදෑසන 8 ට පමණ මට්ටක්කුලිය පොලීසිය තුලදී මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ 26 හැවිරිදි කදිරාන පාරේ පදිංචිව සිටි ජානක ගෝමස් නැමැත්තෙක්.

කෙසේ වෙතත් පොලිස් නිලධාරින්ගේ පහරදීම නිසා එම පුද්ගලයා මියගොස් ඇති බවට චෝදනා කරමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් මට්ටක්කුලිය පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධය පල කළේය.

මේ අතරවාරයේ පොලිස් ස්ථානය තුලදීම මහේස්ත්‍රාත් පරික්ෂණයද සිදුකෙරුණි.

+++++++++++++++++++++

ගම්වාසීන් අල්ලා දුන් සැකකරුවෙකු මට්ටක්කුලිය පොලීසියේදී මියයයි

(10.08.2019 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය – කදිරාන වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලීසිය තුළදී හදිසියේ මියගොස් තිබෙනවා.

සොරකමේ පැමිණි බවට සැකකරන ඔහු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් කෑ ගැසීමේදී එහි 3 වන මහලෙන් බිමට පැන ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් සැකකරු තමන් භාරයට ගෙන අද අලූයම මට්ටක්කුලිය පොලීසියට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද උදෑසන 8 ට පමණ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු හදිසියේ මියගොස් ඇති අතර, මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මට්ටක්කුලිය – කදිරාන වත්ත ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මියයාම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ අදහස් දක්වමින් කියා සිටියේ පොලිීසිය විසින් පහරදි මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

***************************************

අග්‍රාමාත්‍යවරයා ETI අධ්‍යක්ෂවරුන් ආරක්ෂා කරන බවට චෝදනා

(10.08.2019 – 19:58 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය මුදල් වංචා කළ ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් ආරක්ෂා කරන බව, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය චෝදනා කරනවා.

එහි කැඳවුම්කරු අනූෂා ජයන්ති සහ සාමාජික හේමන්ත ප්‍රනාන්දු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

කිරිබත්ගොඩ අවට නිවාස 10,000 කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණහිටී

(10.08.2019 – 17:28 +0530 – hirunews.lk/sinhala)

හුණුපිටිය ප්‍රදේශයේදී රැහැන් මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් කිරිබත්ගොඩ අවට ප්‍රදේශ රැසක නිවාස 10,000 කට අධික සංඛ්‍යාවක විදුලි සැපයුම බිඳවැටී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියා සිටියේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

***************************************

දිනන අපේක්ෂකයා රතිඤ්ඤා හඩින් දැනගත හැකි බව මන්ත්‍රී විමල් කියයි

(10.08.2019 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ශබ්දයේ හඬින් විශ්වාසභංග යෝජනා සම්මත කළ කථානායක කරූ ජයසූරිය මහතාට, හෙට දිනයේ පත්තු වෙන රතිඤ්ඤා හඬින් දිනන්නේ කුමන ජනපති අපේක්ෂකයාද යන්න තීරණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

10-08-2019

***************************************

ග්ලූකෝස් කලවම් කර කසල තේ නිෂ්පාදනය කළ කර්මාන්තශාලාවක් වටලයි

(10.08.2019 – 17:06 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු ග්ලූකෝස් සහිත විෂ රසායන ද්‍රව්‍ය යොදා තේ කොළ නිෂ්පාදනය කල රත්නපුර – කිරිඇල්ල – මිනිපුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක් වටලා එහි සිටි පුද්ගලයින් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර වතු අධිකාරිවරයෙකු, සහකාර වතු අධිකාරිවරයෙකු සහ කර්මාන්තශාලාවේ නිලධාරියෙකු සිටින බව සඳහන්.

ඊයේ සිදුකළ වැටලීමේදී එම කර්මාන්තශාලාවේ තිබූ ග්ලූකෝස් ද්‍රාවණය සහිත කවලම් කරන ලද කසල තේ කිලෝග්‍රෑම් 736 ක්, නිෂ්පාදනය කර බෙදා හැරීමට සැකසූ කසල තේ කිලෝග්‍රෑම් 840 ක් සහ කසල තේ වලට කවලම් කිරීමට යොදා ගන්නා ග්ලූකෝස් කිලෝග්‍රෑම් 142 ක් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *