පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

(11.08.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව වාර්තාවනවා.

ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පවත්වන්නේද යන අවසන් තීරණය ගත හැකිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන මත විමසුමේ ප්‍රතිඵලය මතයි.

සීමානීර්ණ ගැටලු සහ කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යමින් පැවතියා.

එසේ වුවත් අධිකරණ නියෝගයකින් සීමානිර්ණ ගැසට් කිරීමකින් හෝ පාර්ලිමේන්තුව සම්මත කරන පනතක් මගින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය තත්ත්වය පිළිබඳව මතය විමසීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පසුගියදා සඳහන් කළා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ වන විට විමසා ඇති අතර එය ලබන මස මුල් සතියවන විට ප්‍රකාශයට පත්වනු ඇති බවයි.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් එය සැප්තැම්බර් මාසය අවසන්වීමට පෙර සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුකරන ලද විමසීමට ලැබෙන ප්‍රතිචාරය මත ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තවදුරටත් අවස්ථාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද කොළඹ කුණු අරුවක්කාලුවට

(11.08.2019 – 18:31 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගර සීමාවේ එක් රැස්වන කසළ අරුවක්කාලු කසළ අංගනය වෙත රැගෙන එන ටිපර් රථවල මග අවහිර කරමින් ප්‍රදේශවාසීන් ඊයේ (10) රාත්‍රියේ විරෝධතාවක නිර විය.

ඒ කසළ රැගෙන ඒමට බාධා නොකළ යුතු බවට අභියාචනාධිකරණය නියෝගයක්ද ලබාදී තිබූ පසුබිමකයි.

කොළඹ නගර සීමාවේ එක් රැස්වන කසළ කෙරවලපිටිය අංගනයට බැහැරකිරීම නැවැත්වීමට ගත් තීරණයෙන් පසු මේ වන විට කසළ බැහැර කෙරෙන්නේ අරුවක්කාලු අංගනයටයි.

ඉකුත් දින කිහිපයේ මෙට්‍රික් ටොන් 3500 ක පමණ කසළ කොළඹ නගරයේ විවිධ ස්ථානවල ගොඩගැසී තිබූ අතර මේ වනවිට ඒවා ඉවත් කර තිබේ.

කොළඹ සිට දිනකට ටිපර් රථ 20 ක් පමණ කසළ රැගෙන අරුවක්කාලු කසළ අංගනය දක්වා ගමන් කරන අතර එලෙස ඊයේ රාත්‍රියේ කසළ රැගත් ටිපර් රථ කිහිපයකට පුත්තලම නගරයේදී ජනතාවගෙන් විරෝධය එල්ල විය.

යතුරුපැදි වල නැගුණු ප්‍රදේශවාසීන් කසළ ප්‍රවාහනය කරන ටිපර් රථ හඹා ගියේය.

කෙසේ වෙතත්, පසුව පුත්තලම පොලිසියේ මැදිහත්වීමෙන් කසළ ටිපර් රථ නැවත අංගනය දක්වා පිටත්කර යවා තිබේ.

මෙවන් පසුබිමක අරුවක්කාලු කසළ අංගනය ඉවත් කරන ලෙස බලකරමින් විරෝධතා පුවරුවක් අත්සන් කිරීම අද (11) පස්වරුවේ වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදු කෙරුණි.

ඒ අතර මෙම කසළ බැහැර කිරීමෙන් පරිසර ගැටලු මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක්ද උද්ගතවන බවට පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙන්ම විපක්ෂයේ පාර්ශ්වද චෝදනා කරයි.

කෙසේවෙතත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පැවසුවේ මහජනයාට පීඩාවක් නොවන අයුරින් කසළ ගෙන ඒමට පළාත් පාලන ආයතන වගබලා ගත යුතු බවයි.

මේ අතර අද දෙරණ කළ විමසීමකදී කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ අරුවක්කාලු අංගනයට කිසිදු ගැටලුවකින් තොරව කසළ බැහැර කිරීම සිදු කෙරෙන බවයි ෴

***************************************

එකළඟ සිදු වු අනතුරු 2 ක්

(11.08.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk)

කඩවත ගනේමුල්ල මාර්ගයේදී පසුගියදා යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී එක් පුද්ගලයෙක් මාර්ගඉවට විසි වි ගොස් බිම ඇද වැටෙන අයුරු සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබුණි.

පසුව අනතුරට ලක්වූ අය බේරාගැනීමට පැමිණේන තවත් අයෙකු ද මාර්ගයේ පැමිණි යතුරපැදියකම ගැටී අනතුරට ලක්වන අයුරු එහි සටහන් වි තිබේ.

පළමුවෙන්ම අනතුර සිදුකළ යතුරුපැදිකරු පලායන අයුරුද එහි සටහන් වි තිබුණි.

https://www.youtube.com/watch?v=jJBLMgukJP0

***************************************

කතකට බස් රථයේ දී මත් බීම පොවා ලක්ෂ ගණනක් කොල්ලකෑ පුද්ගලයෙක් මාට්ටු

(11.08.2019 – 17:10 +0530 – sinhala.adaderana.lk)

බස් රථයක ගමන්ගත් කාන්තාවකට මත්පෙති දැමු බීම වර්ගයක් පානය කිරීමට දී ඇඟේ මුදල් හා රන් භාණ්ඩ සොරා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

අද (11) කුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් පුද්ගලික බස් රථයක ගමන් ගත් මගී කාන්තාවකට එම බස් රථයේ කාන්තාව වාඩිවී සිටි අසුනට යාබඳ අසුනේ සිටි පුද්ගලයෙකු විසින් මෙලෙස සිදු කර ඇතැයි පොලීසිය පවසයි.

මත්පෙති දමන ලද බීම වර්ග බීමට දී එම කාන්තාව මත්වු පසු ඇගේ ගමන් බෑගයේ තිබු රුපියල් 129,000 ක් හා රුපියල් 550,000 ක් වටිනා රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙකු එම බස් රථයේ මගීන් විසින් අල්ලගෙන කන්තලේ පොලිස් ස්ථානයට බාර දී ඇත.

පසුව සිහි මුරුඡා වී සිටි වයස අවුරුදු 43 ක් පමණ වු ධීවරගම්මානය, කොඩිබේ, චීනවරාය ලිපිනයේ පදිංචි එම කාන්තාව කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 45 ක් වු රනවිරුගම, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සන්තකයේ තිබී සොරා ගන්නා ලද මුදල් හා රන් භාණ්ඩ පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු හෙට(12) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

***************************************

ලාභ නොලබන ආයතන ලෙස ලියාපදිංචි වූ සංවිධාන 3000 කට අධිකයි

(11.08.2019 – 14:58 +0530 – sinhala.adaderana.lk)

විවිධ ආකාරයෙන් මේ රටට මුදල් ගෙන ඒම සඳහා ලියාපදිංචි වී ඇති ලාභ නොලබන ආයතන පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයක් නොතිබීම බරපතල ගැටලුවක් වී ඇතැයි අභ්‍යන්තර හා ස්ව‌දේශ කටයූත සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති දිසාපති සමුළුවේ දී අදහස් දක්වමිනි.

අමාත්‍යරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ලාභ නොලබන ආයතන සහ සංවිධාන ලෙස ලියාපදිංචි වූ ආයතන 3000 කට වැඩි සංඛාවක් පවතින බවයි.

අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ රජය මේ ගැන අවධානය යොමු කර දැනටමත් අවශ්‍ය ලිපිගොනු සකස් කර තිබෙන බවයි.

එබැවින් දිසාපතිවරුන් ද දිස්ත්‍රික් මට්ටමින් ලියාපදිංචි වී ඇති භාර සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය තොරතුරු ලබාගත යුතු බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ සංවිධාන පවත්වාගෙන යන්නේ අපේ රට ‘සිලෝන්’ ලෙස හැඳිනුවූ කාලයේ සිට පැවත එන අණ පනත් අනුව. මේ අණ පනත් අද කාලයට ගැලපෙන්නේ නැහැ.

දැනට තියෙන නීතිය අනුව දිසාපති කාර්යාලයක මෙවැනි භාරයක් ලියාපදිංචි කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි භාර ලියාපදිංචි කරලා විවිධ ආකාරයේ මුදල් රටට ගෙන්වා ගන්නවා.

මේ ගැන සොයා බැලීමේ පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. දැනටමත් මෙය රටට ප්‍රශ්නයක් වෙලා. අපේ රටට ආධාර සහ ණය ලබාදෙන සංවිධාන සහ රටවල් මේ ගැන 2012 වර්ෂයේ සිට මෙරට රජයෙන් විමසා තිබෙනවා. නමුත් අපි කිසිම අවස්ථාවක පිළිතුරු ලබාදී නැහැ. රජය මෙයට පිළිතුරු දිය යුතුයි.

ඒ වගේම නියාමනයක් සකස් කළ යුතුයි. නැතිනම් අපේ රටට මූල්‍ය ආධාර ලබා ගැනීම පවා ගැටලුවක් වෙනවා. දැනට තිබෙන මූල්‍ය ක්‍රමවේදය සමග මෙරට භාර සම්බන්ධව ඇති නීතිය ගැලපෙන්නේ නැහැ.”

***************************************

***************************************

සෙවනගල අනාරක්ෂිතව සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමක්

(11.08.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල – සෙවනගල ප්‍රදේශයේ ස්ථාන දෙකක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව රෝහල් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුවතක් වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ අක්‍රමවත්ව බැහැර කර ඇති මෙම අපද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මේ වන තුරුත් බලධාරීන් නිසි පියවරක් ගෙන නොමැති බවයි.

මොණරාගල – සෙවනගල – සමගිපුර ප්‍රදේශයේ කිරිඉබ්බන්ආර වැව ඉස්මත්තේ ඉඩමක වළ දමා තිබූ මෙම රෝහල් සායනික අපද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණේ පසුගිය සිකුරාදායි. එම භූමියේ වළ දමා තිබූ රාජ්‍ය ලාංඡන සහිත රෝහල් අපද්‍රව්‍ය අතර මිනිස් සිරුරු කොටස් සහ ලේ සාම්පල ලබා ගත් සිලින්ජර් ද වනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ සිදුකළ දැනුම්දීමකට අනුව පොලීසිය, මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණියත් මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි.

තවත් එවැනිම අපද්‍රව්‍ය තොගයක් සෙවනගල – කුමාරපුර ප්‍රදේශයේ වළ දමා තිබියදී අද සොයා ගැනුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ අක්කර 50 ක පමණ පොල් ඉඩමක මීට මාස දෙකකට ප්‍රථම මෙම අපද්‍රව්‍ය බැහැර කර ඇති බවටයි.

කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව මෙම අපද්‍රව්‍ය බැහැර කර ඇති අතර, ප්‍රදේශවාසීන් කියා සිටියේ වැසි දිනවලදී අපද්‍රව්‍ය ප්‍රදේශයේ ජලාශවලට මුසු වන බවටයි ෴

***************************************

සේවකයෙකු ඝාතනය කර පොල්ගහවෙල ඉන්ධනහල කොල්ලකෑ අය සොයා CCTV ඔස්සේ පරීක්ෂණ

(11.08.2019 – 12:40 +0530 – hirunews.lk/sinhala)

පොල්ගහවෙල – කහවත්තේඇල ප්‍රදේශයේ ඉන්ධනහලක සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එහි සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කර මුදල්ද කොල්ලකා පලාගොස් තිබුණේ අද අලූයම 12:15 ට පමණයි.

අංක රහිත යතුරුපැදියකින් ජැකට් සහ හිස්වැසුම් පැළඳ කොල්ලකරුවන් පැමිණ ඇති අතර, ඔවුන් කොල්ලකන ලද මුදල් ප්‍රමාණය මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ එක් සේවකයෙකු පමණක් ඉන්ධන හලේ සේවය කරමින් සිට ඇති බවයි වාර්තාවන්නේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අරණායක – දෙයියංවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් ෴

***************************************

CCTV කැමරාවේ සටහන් වූ දුරකථන සොරකම

(11.08.2019 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මොරටුව දුම්රියපොළ පාර ප්‍රදේශයේ පිහිටි දුරකතන අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 2 කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන සහ උපාංග සොරා ගන්නා ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

***************************************

මුවෙකු ඇනීමෙන් සිවිල් ආරක්ෂක උප නියාමක මරුට

(11.08.2019 – 14:52 +0530 – lankadeepa.lk)

මහවිලච්චිය වම් ඉවුරේ කුඹුරු යායකදි මුවෙකු ඇනිම නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරයෙකු අද (11) දින මියගිය බව විලච්චිය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අංක 257, වම් ඉවුර, මහවිලච්චිය පදිංචිව සිටි ජි.ආර්. ලක්ෂමන් ප්‍රියංකර සේනාධීර (44) නැමති සිවිල් ආරක්ෂක බලකායේ උප නියාමක වරයෙකි.

ඔහු විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකායේ මහවිලච්චිය උප කාර්යාලයට අනුයුක්තව සේවය කල උප නියාමකවරයෙකි.

මියගිය මෙම උප නියාමකවරයා සිය කුඹුරේ වගා කොට ඇති වට්ටක්කා සහ වී වගාව පරික්ෂා කර බැලිම සදහා අද (11) දින කුඹුරට පැමින ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ මුවෙකු පිටුපස සුනඛයන් කිහිප දෙනෙකු ලුහුබැද යද්දි මෙම පුද්ගලයාද ඒ පසුපස දිව යාමේදි මුවා විසින් ඔහුට සිය අං තට්ටුවෙන් පපුවට ඇන ඇතැයි පොලිසිය කියයි.

පසුව කුඹුරැ යායේ සිටි පුද්ගලයන් හදිසි ගිලන් රථ සේවයට දුරකතන ඇමතුමක් ලබාදි ගිලන් රථයක් ගෙන්වා ගෙන තුවාලකරැ විලච්චියට රෝහලට ඇතුලත් කොට තිබේ.

විලච්චිය රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියදි ඔහු මියගිය බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් විලච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති ෴

***************************************

ගම්පහ ඒ.ටී.එම්. ජිල්මාට් එකට නයිජීරියානුවා රිමාන්ඩ්

(12.08.2019 – divaina.com)

ගම්පහ නගරයේ සිටින ති‍්‍රරෝද රථ රියැදුරකු සමඟ හිතවත් වී එම ත‍්‍රිරෝද රථ රියැදුරුගේ නමින් ගම්පහ නගරයේ පිහිටි බැංකුවකින් ගිණුමක් ආරම්භ කරගෙන ඒ.ටී.එම්. කාඞ්පත ලබාගෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ මුදල් වංචනිකව ලබාගත් නයිජීරියානු ජාතිකයකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා 09 වැනිදා නියම කළේය.

ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති සැකකාර නයිජීරියානු ජාතිකයා අන්තර්ජාලය හරහා ශ‍්‍රී ලංකාවේ පුද්ගලයන් සමග හිතවත් වී ජංගම දුරකථනයට හිමි වී ඇති රන් භාණ්ඩ අඩංගු ත්‍යාග මුදල් එවන බවට දන්වමින් ඒ සඳහා නියෝජිත ගාස්තු ත‍්‍රිරෝද රථ රියැදුරුගේ ගිණුමට බැර කරගෙන ඒ.ටී.එම්. යන්ත‍්‍රයෙන් ලබාගෙන මුදල් වංචා කර ඇති බවට අධිකරණයේදී සඳහන් විය. වැලිගම ජබුරේගොඩ පදිංචිකාරියකගෙන් රුපියල් තුන්ලක්‍ෂ විසිතුන්දහසක මුදලක් ගම්පහ බැංකුවක ගිණුමට බැර කරගෙන එම මුදල සැකකාර නයීජීරියානුවා ලබාගෙන ඇති බවට ද අධිකරණයේ පැවැති නඩු විභාගයේදී සඳහන් විය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පැමිණිල්ල මෙහෙයවීම මත ගම්පහ අදාළ බැංකුවේ කළමනාකාරු ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පවසා සිටියේ එස්. ඒ. කුමාර නමැත්තෙකුගේ නමින් සහ බී. අයන්ති සම්මානි යන නමින් ආරම්භ කර ඇති ගිණුම්වලට 2018 වර්ෂයේ ජූනි සහ ජූලි මාසවලදී අවස්ථා කිහිපයකදීම මුදල් ලැබී ඇති බවත් එම මුදල් ඒ.ටී.එම්. යන්ත‍්‍රය මගින් ලබාගෙන ඇති බවත් ය. එක් ගිණුමක හත්ලක්‍ෂ තිස්පන්දහසක් ඇති බවත්, තවත් ගිණුමක රුපියල් තුන්ලක්‍ෂ විසිතුන්දහසක් ඇති බවත් එම ගිණුම් අධිකරණ නියෝග මත අත්හිටුවා ඇති බවත් බැංකු ශාඛාවේ කළමනාකාරවරයා අධිකරණ යේදී පැවැසීය.

නඩු විභාගය සැප්තැම්බර් 20 වැනිදාට නියම වූ අතර, සැකකාර නයිජීරියානු ජාතික ක‍්‍රිස්ටෝපර් චිගෝසි නමැත්තා ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට පත් කෙරුණි. සැකකරු වෙනුවෙන් නීතිඥ රාජිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය ෴

***************************************

2019.08.09 දින පිවිතුරු ‌හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාව : ලංකාවට එන්න හදන ‌ලොව බිහිසුණුම හමුදාව

(10.08.2019 – YouTube > Udaya Gammanpila)

***************************************

වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් ජනපති විය යුතුයි – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි

(12.08.2019 – 12:59 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡන්දය ලබා දිය යුත්තේ පුද්ගලයෙක් ඉලක්ක කර නොව ප්‍රතිපත්ති වලට මුල්තැන දෙමින් බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ‘මහජන යුතුකම’ නමින් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය.

“අපි අවුරුදු 71 ක් තිස්සේම පුද්ගල නායකයෝ පිටිපස්සේ දුවගෙන ගියා.

අපි 2020 වත් පුද්ගල නායකත්වය කියන සාධකය අමතක කරලා ප්‍රතිපත්ති සහිත නායකත්වයක් රටට ගෙන්න උක්සහ කළේ නැත්තම් 2015 වුණු දේවල්මයි වෙන්නේ.

අපි අවධානයට ලක් කරන්න ඕනේ ප්‍රධාන කාරණය තමයි ඉදිරිපත් වන අපේක්ෂකයාගේ ඉදිරි වැඩපිළිවෙල ගැන.

ඒ වැඩපිළිවෙල මහාචාර්යවරයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා තේරෙන සරළව මිනිසුන්ට අවබෝධ වෙන සංකීර්ණ වැඩපිළිවෙලක් විය යුතුයි.

අපේක්ෂකයාට හොඳ වැඩපිළිවෙලක් තියෙනවානම් ඔහුගේ චරිතය හා ඔහු වටා ඉන්න අය ගැන හිතන්න ඕනේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සමඟ නිදහස් මතවාද ඇති ජාතික දේශපාලනය තුළ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ අදහස් ගැන අවධානය යොමු කළ යුතුයි”

***************************************

ඇමෙරිකන් රූකඩ ආණ්‍ඩුවක් හදන කුමන්ත්‍රණයක් – විමල් වීරවංශ

(10.08.2019 – lankadeepa.lk)

විදෙස් මැදිහත්වීම් හා රටේ ඉදිරි ගමන ආදිය විමසමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි :

ප්‍රශ්නය – ඔබ එක මතයක හිටියා ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා නොවෙයි. පොහොට්ටුව මුල් කරගෙන ගොඩනැගෙන සන්ධානයේ අපේක්ෂකයා විය යුතුයි කියලා?

පිළිතුර – මේ සිදුවෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂ සමුළුවේදී අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමයි. ඊළඟට ඒ අපේක්ෂකයා ජාතික නිදහස් පෙරමුණ පවත්වන සමුළුවටත් එනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 8 වැනිදා කරන්න. එතකොට ඒ සම්මේලනයේ දී ඒ ජාතික අපේක්ෂකයා අපේ පක්ෂය විසින් පිළිගැනීමට ලක් කරනවා. ඒ විදියට අපේ අනෙකුත් දේශපාලන පක්ෂ හා තවත් ජාතික සංවිධාන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව තමන්ගේ සමුළුවලට ගෙන්වලා තම පක්ෂයේ ද සහාය හිමිවන පොදු ජාතික අපේක්ෂකයා කියන පදනමට වැටෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයට පෙර දැනට ඒකාබද්ධ විපක්ෂය හැටියට ගොනු වී සිටින සියලු දේශපාලන පක්ෂත් තවත් අලුත් දේශපාලන පක්ෂත් එකට එකතුව මහා සන්ධානය ගොඩනැගීම සිදු කරනවා. ඒකේ ව්‍යවස්ථාවට අදාළ කටයුතු දැනට ආරම්භ වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – 2015 ජනවාරි දේදුනු විප්ලවයට විදෙස් බලපෑම තිබුණා කියලා ඔබ නිතර කිව්වා. මෙවර එවැනි බලපෑමක් නැද්ද?

පිළිතුර – 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජය කිරීමේ ක්‍රියාන්විතය පිටිපස්සේ හිටියේ විදේශ ඔත්තු සේවා ජාලයක් කියලා අපි කවුරුත් දන්නවා. ඔවුන් අපේක්ෂා කළේ නෑ නැවත මහින්ද රාජපක්ෂ ආගමනයක් වෙයි කියලා.

ප්‍රශ්නය – ඔබ හිතන විදියට ඔවුන්ගේ අරමුණ වුණේ?

පිළිතුර – ඔවුන්ගේ අරමුණ වුණේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්වා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම වගේ ගිහින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකතු වෙනවා. ඒ හරහා ජාතික ආණ්ඩුව හැදෙනවා. විරුද්ධව අපි වගේ කීප දෙනෙක් ඉඳියි. ඒ අයට නඩු දාලා හිරේ දානවා. එතකොට අපේ රටේ දේශපාලන ගමන බටහිරට ඕනෑ විදියට ලස්සනට යයි.

ප්‍රශ්නය – නමුත් ඒ සැලැස්ම අවුල් වුණා?

පිළිතුර – ඔව්. ඒ සැලැස්ම ඒ ගොල්ලෝ නොහිතපු විදියට අවුල් කළේ අපි. පෙබරවාරි 18 නුගේගොඩ මහ රැලිය පැවැත්වීමෙන්. මහජන අපේක්ෂාව නැවත මහින්ද රාජපක්ෂ සමග ගැට ගහලා ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසය හැදුණා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එන්න හිතපු ඇතැම් මන්ත්‍රීවරුන් නතර වුණා. අපි විපක්ෂයේ කණ්ඩායමක් විදියට ආණ්ඩුවේ ගමනට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ රැලි මාලාව රට පුරා ගමන් කළා. ආණ්ඩුවක් බලයට ඇවිත් මාස තුනක් යන්න කලින් ඒ ආණ්ඩුවට එරෙහිව හා පරාජය වුණු නායකයා අවශ්‍යයි කියන මතය තුළ රැඳුණු මහජන ක්‍රියාකාරීත්වයක් ගොඩනැගුණා. මේක අපේක්ෂා කළේ නෑ ඔත්තු සේවාවන්. ඒ අපේක්ෂා නොකළ දේ වෙච්ච නිසා තමයි අවුරුදු හතරහමාර යනකොට පරාජයේ සොහොන් ලකුණු කාටත් දකින්න ලැබිලා තියෙන්නේ.

ප්‍රශ්නය – මගේ ප්‍රශ්නය වුණේ 2015 දී ක්‍රියාත්මක වුණු විදේශ මැදිහත්වීම් මෙවර නොවෙයි ද කියලයි?

පිළිතුර – දැන් පසුගිය අප්‍රේල් 21 වැනිදා පුපුරා ගත්තේ සහරාන් වුණාට ඕකේ තිරපිටපත ලියන්නේ වෙන කවුරු හරිනේ. දවස් දෙකකට පස්සේ අයිඑස්අයිඑස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර ගත්තා කියලා කිව්වට ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉරාක පාර්ලිමේන්තුවේදීම කියලා තියෙනවා ඒ අයිඑස්අයිඑස් නායකයා තියාගෙන ඉන්නේ ඉරාකයේ කාන්තාර බද ප්‍රදේශයක ඇමෙරිකානු හමුදා කඳවුරක් ඇතුළේ කියලා. ඇත්ත වශයෙන් ගත්තොත් ඇක්සා ගිවිසුම ගත්තොත් අවුරුදු 10 කට පමණක් වලංගු වෙලා තිබුණ ඒ ගිවිසුම අනාගතයේ ඕනෑම දිනයක් දක්වා දිවෙන ගිවිසුමක් බවට මේ ආණ්ඩුව 2017දී පත්කර ගත්තා.

ප්‍රශ්නය – නමුත් ඇක්සා ගිවිසුම මුලින්ම අත්සන් කළේ ආරක්ෂක ලේකම් කාලේ ගෝඨාභය රාජපක්ෂයි?

පිළිතුර – ඔව්. ඒ ගිවිසුමේ තියෙනවා හදිසි තත්ත්වයක දී ඇමෙරිකාවේ අහවල් අහවල් අනු කණ්ඩවලට ලංකාවට එන්න පුළුවන් කියලා. හදිසි තත්ත්වය නිකම් එන්නේ නෑ. හදන්න ඕනෑ. අප්‍රේල් 21 සහරාන්ලාගේ ප්‍රහාරයෙන් ඔවුන් අපේක්ෂා කළේ අන්න ඒ හදිසි තත්ත්වය නිර්මාණය කර ගන්න එක. අර රියැදුරෙකුට පින් සිද්ධ වෙන්න දෙවැනි ප්‍රහාරයට ලෑස්ති වෙලා හිටපු සහරාන්ගේ බිරිය ඇතුළු පිරිස සෙයින්දමරුදුවල දී පුපුරවා ගත්ත නිසා ඒ දෙවැනි ප්‍රහාරය වැළැකුණා. ඒ දෙවැනි ප්‍රහාරය ආවා නම් මේ තත්ත්වය ඉතාම බරපතළ වෙනවා. ඒ අපේක්ෂා කළ තත්ත්වය නිර්මාණය නොවීමේ අවුල තියෙනවා. එතකොට මේ ඉදිරි මාස දෙක තුන අතර ජනාධිපතිවරණයට මෙහා මම නම් බරපතළ විදියට අනුමාන කරනවා ඔවුන්ට සාර්ථක කර ගන්න බැරි වෙච්ච හදිසි තත්ත්වය නිර්මාණය කර ගැනීමේ මෙහෙයුම ජනාධිපතිවරණයට පෙර ඔවුන් නැවත උත්සාහ කරලා බලන්න ඉඩ තියෙනවා කියලා.

ප්‍රශ්නය – දළදා පෙරහර සමයේ ප්‍රහාරයක් එල්ල විය හැකියි කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවලා තියෙනවා?

පිළිතුර – එහෙම අනතුරක් තියෙනවා. ඒ පරණ තිබුණ අනතුරු ඇඟවීම කොළඹ තියෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය කරන්න පටන් ගත්තා. ලෝකයේ අද තියෙන එක අධිරාජ්‍යවාදයක් තමයි ආපදා අධිරාජ්‍යවාදය. ආපදාව පාවිච්චි කරනවා ඇතුළු වෙන්න. දැන් මෙතැන මානව ආපදාවක් තියෙන්නේ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තියෙන්නේ. ඉන් අනතුරුව පශ්චාත් සමාජ ගැටුම් ඕක තමයි ආපදාව. ඒ ආපදාව ඕනෑ ඇතුළු වෙන්න. මොකද ලංකාව කියන්නේ පිහිටීම අතින් ඉතාම වැදගත් තැනක පිහිටවූ රටක්. ඒක ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට ඇවිත් ලක්ෂ්මන් කදිර්ගාමර් කේන්ද්‍රයේ තිබුණ කතාවක දී කිව්වා ‘ඔබේ රට පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවට, මධ්‍යම ආසියාවට හා නැගෙනහිර ආසියාව කියන කලාප තුනටම නාභිගත වන ස්ථානයේ’ කියලා. ජෝන් කෙරී කළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා ලංකාවේ පිහිටීම ගැන ඔවුන්ගේ තිබෙන තක්සේරුව මොකද්ද කියලා. ඒ නිසා ඔවුන් බලන්නේ ඔවුන්ට ඇතුල්වීම කියන තැනට ගිවිසුම අත්සන් කරගෙන හිටියත් වාතාවරණය හැදිලා නෑ තවම. වාතාවරණය හදන්න නම් සහරාන්ලා ඕනෑ. බලන්න සහරාන්ලා හදන්න නම් පිටරටින් සල්ලි ඕනෑ. අන්තවාදයට මුදල් එන්න ඕනෑ. මුදල් එන එක මහ බැංකුව මොනිටර් කරනවා. 2017 පනත් සංශෝධනයෙන් ඒක නැති කරනවා. එතකොට රාජ්‍ය අනුග්‍රහය ඇතිව වැඩිච්ච ත්‍රස්තවාදයක් මේක. සහරාන් අත්අඩංගුවට ගන්න ඕනෑ තරම් හේතු තිබුණා. නමුත් අරගත්තේ නෑ. එතකොට තව සහරාන්ලා කිහිප දෙනෙක් වගේ හොයාගන්න ඕනා.

ප්‍රශ්නය – ඒක ලේසි නෑ. ප්‍රතිඵලය කවුරුත් දන්නවනේ?

පිළිතුර – ඒ වුණාට වහබ්වාදය කියන විසකුරු මතවාදය පැතිරිලා තියෙන ප්‍රමාණයත් එක්ක හිතුවම තව සහරාන්ලා කිහිප දෙනෙක් හොයාගන්න එක අමාරු නෑ. ජනාධිපතිවරණය පවා පවත්වන්න බැරි වෙන විදියේ වාතාවරණයකට මේ රට තල්ලු කරලා ඊට පස්සේ රූකඩ භාරකාර ආණ්ඩුවක් කියන එක අටවාගෙන ඉතා භයානක අන්තයකට මේ රට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේක සිද්ධ වෙන එක වළක්වා ගැනීම තමයි අත්‍යවශ්‍ය දේ.

ප්‍රශ්නය – ඔබ හිතන විදියට එය සඳහා පාවිච්චි විය හැකි අය කවුද?

පිළිතුර – මෙතැන දී බලන්න! තවුහිද් ජමාත් සංවිධානය හැදෙන්නේ 2010 දී. හැබැයි වහබ්වාදය අපේ රටේ ප්‍රවර්ධනය කරන්න පටන් අරගෙන දශක කිහිපයක් වෙනවා. වහබ්වාදය කියන්නේ ඔටෝමාන් අධිරාජ්‍ය දුර්වල කරන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් පාවිච්චි කරපු මතවාදය. එතකොට මුස්ලිම්වරුන් අතරම බේදයක් හදලා ඒගොල්ලෝ අතර ගැටුම් හැදුවා. ඒකට තමයි වහබිෂන් බිහිවුණේ. එතකොට ඒ මතවාදය අපේ රටේ ක්‍රමානුකූලව පෝෂණය කළාම විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ ස්වර්ගයට යන්න, අල්ලා දෙවියෝ ගාවට යන්න, කන්‍යාවියන් 72 ක් මුණ ගැහෙන්න හිතන මොළේ අමාරුකාරයන් කිහිප දෙනෙක් නිපදවා ගන්න එක අමාරු වැඩක් නොවෙයි. ඉතින් ඒ නිසා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් බලාපොරොත්තු වෙච්ච හදිසි තත්ත්වය ඇති නොවුණ නිසා නැවතත් එවැනි හෝ එයටත් වඩා භයානක ප්‍රහාරයකින් ඒ හදිසි තත්ත්වය ඇති කර ගැනීමට ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් උත්සාහ නොදරණු ඇතැයි මට නම් කියන්න බෑ. ඉතින් ඒකට පාවිච්චි වෙන්නේ වහබ් අන්තවාදී මතවාදය දරන පිරිස් තමයි.

ප්‍රශ්නය – මේ තත්ත්වය පාවිච්චි කරලා විදෙස් හමුද‌ා ආක්‍රමණයක් පවා සිදුවිය හැකි යැයි ඔබ කියා තිබුණා?

පිළිතුර – ඇක්සා ගිවිසුමේ තියෙනවා මේක වසර 10 කට පමණයි වලංගු කියලා. ඔබ මගෙන් මීට පෙර ප්‍රශ්න කළා මේ ගිවිසුම අත්සන් කළේ‍ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා කියලා. ඔව්! හැබැයි ඒක වලංගු වසර 10 කටයි. ඒ විතරක් නොවෙයි ඒකේ තිබුණ වගන්තියක් මේ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ ඊට අදාළ තව ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව කියලා. ඒ කියන්නේ මුලින් ගිවිසුම අත්සන් කළ පමණින් එය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාවට නංවන්න තව ගිවිසුමක් අත්සන් කළ යුතුයි. ඒ නිසා ඒ ගිවිසුමේ තියෙන වගන්තිවලින් බලපෑමක් නෑ. හැබැයි දැන් තියෙන එකෙන් ඒ වගන්තිය අයින් කරලා. ඊළඟට මේකේ දාලා තියෙනවා ඇමෙරිකානු හමුදා අනුඛණ්ඩ ලැයිස්තුවක්. හදිසි තත්ත්වයක දී ඒ හමුදා අනුඛණ්ඩවලට එන්න පුළුවන් කියලත් තියෙනවා. එතකොට දැන් හදිසි තත්ත්වය විතරයි නැත්තේ. හදිසි තත්ත්වය හදා ගත්තොත් එන්න පුළුවන්. ගිවිසුම ගහලා තියෙන්නේ.

ප්‍රශ්නය – මේ තත්ත්වය වළක්වා ගැනීමත් අනිවාර්යයි. ඒ සඳහා ඔබගේ යෝජනාව?

පිළිතුර – එකක් මහජනයා දැනුම්වත්ව ඉන්න එක. ඒ වගේම එවැනි හදිසි තත්ත්වයක් ඇති වුණොත් ඒ ගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ සිංහල, මුස්ලිම් මරා ගැනිල්ලක්. ඒක ඇතිවෙන එක කෙසේ හෝ වළක්වා ගන්න එක. ඒ වගේම එවැනි තත්ත්වයක දී ඇතිවන මහජන විරෝධය අරලියගහ මන්දිරය දෙසට රැගෙන යන එක. ඒක තමයි අපිට තියෙන උත්තරය එවැනි තත්ත්වයක් ඇති වුණොත්.

ප්‍රශ්නය – මේ භීතිය හමුවේ ජනාධිපතිවරණය පවා කල් දැමීමට ඉඩ තියෙනවා?

පිළිතුර – ඒ අවදානම තියෙනවා. ඒ කියන්නේ බිහිසුණු ලේ වැකි කම්පනකාරී තත්ත්වයක් රටක් තුළ නිර්මාණය කළොත් ජනාධිපතිවරණය පවත්වන්න බැරි තත්ත්වයක් හැදුවොත් එතකොට ඒ තත්ත්වය ඇතුළේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නවා. නීතියට පටහැනියි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් තාවකාලිකව බාරකාර ආණ්ඩුවක් හරි අටවයි. ඒ ආණ්ඩුව රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙනකම් කියලා කියයි. නමුත් රට සාමාන්‍ය අතට පත්වෙන්නේ නැහැනේ. දිගටම තවත් නරක අතට යනවා මිසක්. එතකොට ඡන්දත් නෑ. මුකුත් නෑ. අර රූකඩ ඇමෙරිකානු බාරකාර ආණ්ඩුව ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි යයි. එහෙම කරපු රටවල් තියෙනවා ලෝකයේ.

ප්‍රශ්නය – මම මේ ප්‍රශ්නය ඔබෙන් මුලිනුත් ඇහුවා. මට සෘජු උත්තරයක් ලැබුණේ නෑ. ඔබේ කඳවුරට එරෙහිව මේ විදෙස් බලවේග ක්‍රියාත්මක නොවී ඉඳීද?

පිළිතුර – කොයි රටවලුත් දැන් පිළිගන්නවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරන්නේ අපේ අපේක්ෂකයා බව. ඒ නිසා ඒ රටවලටත් ඝනීභූත වෙච්ච ස්ථාවර තියෙන්න විදියක් නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ ආණ්‍ඩුවෙන් ලැබෙන අවස්ථාව වෙන කාගෙන්වත් ලැබෙයි කියලා එක්සත් ජනපදය හිතන්නෙත් නෑ. මේ ගොල්ලෝ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ තියෙනවා ත්‍රිකුණාමලයේ ඉඳන් කොළඹ වරාය දක්වා කිලෝ මීටර 200 ක් අක්කර ලක්ෂ 12 ක් විශේෂ ආර්ථික කොරිඩෝවක් ඒකට අයත් වෙනවා. ඓතිහාසික ස්ථාන, පරිසර සංවේදී ප්‍රදේශ, ඔය දැන් ඉඩම් පනත සංශෝධනය කරන්න එන්නෙත් ඔන්න ඕවට. ඉඩම් පවරා ගන්න ලේසි කරගන්න. එතකොට රටේ ඉතිහාසය, සංස්කෘතිය මේ රටේ උරුමය ගැන කිසිම තැකීමක් නැති අගමැතිවරයෙක් ආයෙත් ලැබෙන්නේ නැහැනේ. එතකොට මේ කාලය ඇතුළත කරගන්න තියෙන සියල්ල කරගන්නනේ මේ අය බලන්නේ. දැනට ඇක්සා එක අත්සන් කර ගත්තට සෝෆා ගිවිසුම හිරවෙලා තියෙනවා. සෝෆා ගිවිසුම ගැහුවොත් මේක මුළුමනින්ම ඇමෙරිකන්කාරයට අයිති වෙනවා. අපිට වෙන කොහේ හරි යන්න වෙනවා. මිලේනියම් චැලේන්ජ් ගිවිසුමත් එක්තරා දුරකට හිරවෙලා තියෙනවා. ඉදිරි මාස 4 – 5 ඇතුළත ඇමෙරිකාව උත්සාහ කරන එකක් නැද්ද රනිල්ගේ අගමැතිකම නැති වෙන්න පෙර මේ සියල්ල කරගන්න. උත්සාහ දරන්නේ නැහැ කියලා අපි කොහොමද හිතන්නේ. ඒ අනතුර තියෙනවා. එහෙම නැත්නම් ඡන්දයකට ගියොත් තමන්ගේ සුවච කීකරු ගෝලයා වෙච්ච රනිල්ට බලය නැති වෙනවා. එ් නිසා ජනාධිපතිවරණය තියන්න බැරි තත්ත්වයක් ඇති කරන්න ඕනෑ. එහෙම වෙන්න නම් හදිසි තත්ත්වයක් ඇති වෙන්න ඕනෑ. මේ විදියේ ගණන් බැලීමක් තියෙන්න බැරිද? එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ ඉරණම් කතාවට අදාළව නම් ඉදිරි මාස 4-5 අතිශය තීරණාත්මක සංවේදී කාල පරාසයක්. ඒ කාල පරාසය තුළ සිදුවන සමහර ​දේවල් විසින් අපේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරන්න ඉඩ තියෙනවා.

ප්‍රශ්නය- මේ මොහොතේ දී ජනාධිපති මෛත්‍රීගේ භූමිකාවත් තීරණාත්මකයි?

පිළිතුර – මම නම් හිතන්නේ නෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත ජනාධිපති අපේක්ෂකත්වයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඒ වගේම එතුමා එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඒකෙන් රටට වෙච්ච අගතිය කොච්චරද කියන එක ගැන පශ්චාත් අවබෝධයක් දැන් ඇති වී ඇතැයි මම සිතනවා. ඉතින් ඒ නිසා නැවත එජාපයට උදව්වන විදියේ පියවරකට යන්න ඔහු තීරණය කරන එකක් නෑ කියලා හිතනවා.

ප්‍රශ්නය – ඔබ ජනාධිපති මෛත්‍රී එක්ක මේ ගැන කතා කළා ද?

පිළිතුර – නෑ. මම එහෙම හිතන්නේ පෞද්ගලිකව ඔහු ගැන තියෙන තක්සේරුවකට නොවෙයි. ජනාධිපතිවරයාගේ මල්ලටම බැහැලා කල්පනා කළොත් ගන්න තියෙන පියවර මොනවද කියලා. තියෙන එකම පියවර හැටියට මට පේන්නේ සාමකාමීව සුහදව වේදිකාවෙන් නික්ම යාමයි. ඒ සටනට අපේ කඳවුර සමග යම්කිසි දේශපාලන මිත්‍රත්වයක් තබා ගැනීම. ඒ හැරෙන්න වෙන තෝරාගත හැකි සුදුසු විකල්පයක් තියෙනවා කියලා මට පෙන්නේ නැහැ.

ප්‍රශ්නය – ජවිපෙත් බලගතු දියුණු සන්ධානයක් ගොඩනගන බව කියනවා?

පිළිතුර – ඒවා ගැන කල්පනා කරන්න තරම්වත් වටිනාකමක් නෑ.

සාකච්ඡා කළේ – ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *