පන්සලට ඇවිත් සෙරෙප්පුත් දාලා පැනලා දුවපු පිරිස ගැන එළියට ආ CCTV සාක්ෂිය

(12.08.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය – ගල්පොත්ත පාර – දම්දිය අසපුවට වෑන් රථයකින් පැමිණි සැකකටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබදව විහාරාධිපති පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් අතුරුගිරිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

විහාරාධිපති හිමියන් පවසන්නේ වෑන් රථයෙන් පැමිණි එක් පුද්ගලයෙකු සතුව බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී තවත් භික්ෂූන්වහන්සේලාගේ ඡායාරූපද තිබූ බවයි.

අතුරුගිරිය – ගල්පොත්ත පාර දම්දිය අසපුවට පෙරේදා පෙරවරු 11:32 ට පමණ අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම අසපුවේ විහාරාධිපති පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් පිළිබදව තොරතුරු විමසා තිබෙනවා.

පසුව කළ සොයා බැලීමේදී මෝටර් රථයෙන් පැමිණි එක් පුද්ගලයෙකු අත තිබූ ලිපිගොනුවක බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේද ඡායාරූප තිබී ඇති අතර ඒ පිළිබදව විමසීමත් සමග පිරිස මෝටර් රථයෙන් පළා ගොස් තිබෙනවා.

+++++++++++++++++++++

17-08-2019

***************************************

අපේක්ෂකයා නම්කළ පොහොට්ටුව අද UNPයට කළ ආරාධනාව

(12.08.2019 – 20:52 +0530 – hirunews.lk/sinhala)

කිසිදු ගැටුමකින් තොරව හැකිනම් ජනාධිපති අපේක්ෂකයෙක් රටට ඉදිරිපත් කර පෙන්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද එක්සත් ජාතික පක්ෂය වෙත ආරාධනාවක් සිදු කළා.

අද පෙරවරුවේ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා.

***************************************

18 ට ඡන්ද අයිතිය ඉල්ලා තරුණයින් පිරිසක්, මැතිවරණ කොමිසමට

(12.08.2019 – 19:58 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණයෝ සංවිධානය අද විරෝධතාවක නිරත වුණා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දීයි.

පසුව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසී තම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඔවුන්ට අවස්ථාව හිමි වුණා.

එහිදී එක් නියෝජිතයෙකු තම ගැටළුව සම්බන්ධයෙන් පැහැදිලි කළ අතර, ඊට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පිළිතුරු ලබාදුන්නා.

***************************************

ජනපති අපේක්ෂක ගෝඨාභය අනුරපුරයට – රටපුරා අදත් සැමරුම් උත්සව

(12.08.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට පැමිණියා.

එහිදී ඔහු ප්‍රථමයෙන් පැමිණියේ රුවන්වැලි මහා සෑ පුදබිමටයි. අනුරාධපුර පුජා නගරයට පැමිණි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එහි සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

එමෙන්ම, රුවන්වැලි මහා සෑ පුදබිමේදී ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශීර්වාද පතා සෙත් පිරිත් සජ්ඣායනයක් ද අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් අදත් බොරලැස්ගමුව, ගාල්ල, අම්බලන්ගොඩ, හෝමාගම, බලපිටිය ඇතුළු ස්ථාන රැසක විවිධ සැමරුම් වැඩසටහන් පැවැත්වුණා.

+++++++++++++++++++++

මාතෘභූමිය පෙරටු කරගත් නායකත්වයක් රටට අවශ්‍යයි

(13.08.2019 – 05:56 +0530 – sinhala.adaderana.lk)

අනාගත නායකත්වය අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා මාතෘභූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාවය දිය යුතුව ඇතැයි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පවසයි.

ඊයේ (12) රුවන්වැලි මහ සෑ මළුවේදී පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාවක් එක්වෙමින් පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් මෙසේ අනුශාසනා කළේය.

අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම ආශිර්වාද පූජාව, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවූ අතර භික්ෂූන් වහන්සේ 1500 ට අධික ප‍්‍රමාණයක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

රුවන් වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කළාවියේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම ආශිර්වාද පූජාවට එක්විය.

තිස් වසරක යුද්ධයක් අවසන් කර රෝස මලක් මෙන් පිබිදෙමින් පැවැති රට ගෙවුනු වසර හතරහමාරක කාලය තුළ කුණුගොඩක් බවට පත් කර ඇතැයි ආශිර්වාද පූජාව මෙහෙයවූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ එහිදී අනුශාසනා කළහ.

රටේ ජනතාවට මෙන්ම මහා සංඝරත්නයටද පසුගිය කාල සීමාවේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවූ බව සිහිපත් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් රුවන් වැලි සෑ භූමියට වැඩම කර සිටින භික්ෂූන් වහන්සේගේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ වැටී තිබෙන ආගාධයෙන් රට මුදවා ගෙන සියලු දෙනාගේ මුහුණුවල සිනාව රැදි ලස්සන රටක් බිහිකිරීමේ අධිෂ්ඨානය යැයිද අනුශාසනා කරමින් සදහන් කලේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි ශක්තිමත් අභිමානවත් නායකයෙක් රටට අවැසි මොහොතක් උදාවී ඇති හෙයින් ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින් හිමිවන බවද උඩුවේ ධම්මාලෝක හිමියෝ වැඩිදුරටත් අනුශාසනා කරමින් සදහන් කලහ.

මෙම ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු, මන්තී‍්‍රවරුන්, හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු අති විශාල ජනකායක් එක්ව සිටියහ.

+++++++++++++++++++++

13-08-2019

+++++++++++++++++++++

13-08-2019

***************************************

ගෝඨා පරාජය කළ නොහැකි බව ගම්මන්පිළ කියයි

(12.08.2019 – 19:44 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය කවර අපේක්ෂයෙකු ඉදිරිපත් කළ ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ නොහැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

මීලග නියක ජනාධිපති ගෝටාභයයි.. මහින්ද කිවුවේ ජනාධිපතිගේ නම මිස අපේක්‍ෂකගේ නම නොවේ..- ගෝටාභය ගැන අනාවැකියක්..

(13.08.2019 – 06:28 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

වසර හතරක් පුරා අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ජනාධිපති අපේක්ෂකයා වන්නේත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවට අපි කිව්වා. නමුත් එක්සත් ජාතික පක්ෂය වගේම ජවිපෙත් ඒකාබද්ධ පච මෝල කැට තියලා කිව්වා ගෝඨාභය මැතිතුමාට අපේක්ෂකයා වෙන්න බෑ කියලා. ඒකට හේතු හතරකුත් කිව්වා. එතුමාට ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගන්න ඇමෙරිකාව ඉඩ දෙන්නේ නෑ කිව්වා. ඇමෙරිකානු පුරවැසිකම අත්හරින එක ඇමෙරිකානු ආණ්ඩුවට කිසිසේත්ම නතර කරන්න බෑ කියලා අපි නීති පොත් පෙරලලා පෙන්වලා දුන්නා. අද ඒක ඇත්ත වෙලා. ඊට පස්සේ ඇමෙරිකාවේත් ලංකාවේත් නඩු පවතින නිසා ඡන්දය ඉල්ලන්න බෑ කිව්වා. බොරු නඩු දාලා ඡන්දය ඉල්ලන එක නවත්වන්න බෑ කියලා අපි නීති පොත් පෙරලලා කිව්වා. ඒකත් අද ඇත්ත වෙලා. අද ඉහල අධිකරණවලින් එතුමන්ට දාපු නඩු සියල්ලම පදනම් විරහිත හේතු මත බව පෙන්වමින් එම නඩුවල ඇති අඩුපාඩු පිළිගනිමින් එම නඩු නතර කිරීමට කටයුතු කර තියෙනවා.

ගෝඨාභය මැතිතුමා දැන් ලෙඩෙක්. ඒ නිසා ඡන්දය ඉල්ලන්න බෑ කිව්වා. බයි පාස් සැත්කමකින් පසු හිටියාටත් වඩා තරුණ වන බව අපි කිව්වා. දැක්කනෙ ඊයේ ජවසම්පන්න තරුණයෙකු වගේ වේදිකාවට නැග්ග හැටි. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ගෝඨාභය මැතිතුමන් එකම වයසේ. නමුත් දෙන්න එකට ඉද්දි තාත්තයි පුතයි වගේ. අවසාන වශයෙන්, රාජපක්ෂ පවුල අතරේ ගැටුම්. ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම්. බහුතරය ගෝඨාභයට විරුද්ධයි කිව්වා. එතකොට ‘නෑ අපි හැමෝගෙම ඒකමතිකත්වයෙන් ගෝඨාභය මැතිතුමා අපේ අපේක්ෂකයා වන බව’ අපි කිව්වා. තමුන්නාසේලා ඊයේ දැක්ක සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා පොදු ජන පෙරමුණේ සියලු දෙනාම එකතු වෙලා ඒ වගේම රාජපක්ෂ පවුලේ සියලු දෙනාම එකතු වෙලා ගෝඨාභය මැතිතුමාට ආශිර්වාද කලා. සහය දැක්වූවා. එතුමාගේ සුභ මොහොතේදී එතුමන් එක්ක හිට ගත්තා.

අවසානයේ දී එජාප – ජවිපෙ ඒකාබද්ධ පචමෝල බොරු වෙලා අපි කියූ දේ සැබෑ වෙලා තිබෙනවා. ඒ නිසා අපි අද ඊළඟ අනාවැකියත් කියන්නම්. ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රසිද්ධ කලේ ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකගේ නම නොවේ. මේ රටේ ඊළඟ ජනාධිපතිගේ නමයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මී ළඟ ජනාධිපති වීම කාටවත්ම නතර කරන්න බෑ.

මුළු රටම ජනාධිපතිවරණයට ලැහැස්ති වන විට ජනාධිපතිතුමා පලාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය ඉඩක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව ආරංචියි. ඡන්ද කල් දාන්න නීති ගෙනැල්ලා අපේ විරෝධය මැද පලාත් සභා මැතිවරණය කල් දාපු ආණ්ඩුවට හදිසියේ පලාත් සභා මැතිවරණය සිහිපත් වී තිබෙන්නේ ජනාධිපතිවරණ උණුසුම අවුල් කරන්න මිස වෙන දෙයකට නොවේ. අපේ බලවත් විරෝධය මැද 2017 පලාත් සභා මැතිවරණ සංශෝධණ පණත ගෙනල්ලා පලාත් සභ මැතිවරණය ජනතාවගෙන් උදුර ගත්තේ වත්මණ් ආණ්ඩුවයි. වසර දෙකක් තිස්සේ පලාත් සභා මැතිවරණය නොපවත්වා ඉදලා හදිසියේම පලාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සිහිපත් වෙලා තිබෙන්නේ මතුවී ඇති ජනාධිපතිවරණ උණුසුමට අයිස් බකට් ප්‍රහාරයක් එල්ල කරන්නයි. පලාත් සභා මැතිවරණ පනත අණුව පලාත් සභ මැතිවරණය පැවැත්වීමට අවම වශයෙන් සති හතක් අවශ්‍යයි. අද සිට සති හතක් ගත්තම අප සිටින්නේ ඔක්තෝම්බර් මාසයේයි. සැතැම්බර් 07 සිට ඕනෑම දවසක ජනපතිවරණය ප්‍රකාශයට පත්කල හැකියි. ඒනිසා පලාත් සභා මැතිවරණයක් අද දින ප්‍රකාශයට පත්කලත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කලින් එම මැතිවරණය පවත්වා අවසන් කරන්න බෑ. ඒ නිසා පලාත් සභා මැතිවරණය දැන් පැවැත්වීමෙන් සිදු වන්නේ ජනාධිපතිවරණය අවුල් වීම පමණයි.

උණ හැදුනාම කොත්තමල්ලි බිව්වාට උණසන්නිපාතයට කොත්තමල්ලි බීලා වැඩක් නෑ. අන්න ඒ වගේ අද පවතින දේශපාලන අස්ථාවර බවට උත්තරේ ජනාධිපතිවරණය මිස සිල්ලර පලාත් සභා මැතිවරණ නොවේ. ඒ නිසා මේ ආණ්ඩුව රට අවුල් කළා හොඳටෝම ඇති. දැන්වත් ජනතාවට තමන්ට අවශ්‍ය නායකයාට රට භාර දෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා අපි කියනවා.

– අරවින්ද අතුකෝරල

***************************************

සම්මේලනයට ගිය නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිළිතුරු

(12.08.2019 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට සහභාගි වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුකරන බවට පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සම්මේලනයට සහභාගි වූ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරනවා.

පොදුජන පෙරමුණේ සම්මේලනයට නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සහ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද එක්ව සිටියා.

නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන් කියා සිටියේ විනය පරීක්ෂණ සිදුකිරීමට පෙර මධ්‍යම කාරක සභාව රැස්වී එහිදී මේ පිළිබදව තීන්දු කළ යුතු බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනය පියවර ගත යුත්තේ ඊයේ තම පක්ෂයේ සම්මේලනයට සහභාගි වූ අයට නොව, එක්සත් ජාතික පක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව බවයි.

***************************************

වෑන් රථයට යටවු පුද්ගලයාගේ සිරුර ලඳු කැළෑවක සැඟවු පාපතරයා

(12.08.2019 – 21:42 +0530 – sinhala.adaderana.lk)

පා පැදිකරුවෙකු අනතුරට පත් කර පසුව අනතුර සිදුකළ වෑන් රථයේම දමාගෙන ගොස් ළඳු කැළෑවකට දැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත්ව ඇත.

අනතුර සිදුව ඇත්තේ අද අළුයම 05:50 ට පමණයි.

අනතුරින් මියගොස් ඇත්තේ මාරවිල ලංසිගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම්මානුවෙල් ප්‍රනාන්දු (81) නමැති තිදරු පියෙකි.

මියගිය පුද්ගලයා ඉරිදා දිව්‍ය පුජාව සඳහා සහභාගිවීම සඳහා මාරවිල ප්‍රදේශයට යමින් සිටියදී අනතුරට පත්ව ඇත.

මේ අනතුර සිදුවූ වහාම වෑන් රථයේ රියදුරු ප්‍රදේශවාසින් දෙදෙනෙකුගේ සහය ඇතිව තුවාලකරු රෝහලට ගෙන යන බව පවසමින් මහවැව ලුනුඔය ආසන්නයේ පිහිටි ලදු කැළෑවකට සිරුර ගෙනවිත් දමා ඇත.

සැකකරු ආපසු කොළඹ දෙසට යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බව මේ වන විට ආනාවරණය වී ඇත.

මාරවිල පොලිසියේ රථවාහන අංශයේ හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මරණය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

***************************************

අනූ නවයෙන් බේරුණු ජීවිතයක්

(12.08.2019 – 20:17 +0530 – sinhala.adaderana.lk)

ඇල්ලන්ද කළුගහකඳුර මාර්ගය ඔස්සේ, මීගහකිවුල උඩරඹුක්කැටිය ගම්මානයට සිමෙන්ති තොගයක් රැගෙන ගොස් ආපසු එමින් තිබූ ලොරි රථයක් එක්වරම මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 75 ක් පමණ පහළින් වූ ප්‍රපාතයක පිහිටි නිවසක වහල මතට කඩා වැටී අනතුරට ලක්ව ඇත.

එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පිටතට පැන දිවි ගලවාගෙන ඇත.

අද (12) පස්වරුවේ සිදුවු අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය වන අවස්ථාවේ ලොරිය කඩා වැටුණු නිවසේ සාලයේ සිටි කාන්තාවක් ලොරිය පෙරළෙන හඬ ඇසී නිවසින් පිටතට පැන දිවි ගලවා ගෙන ඇත.

අනතුරින් ලොරි රථයට හා නිවසේ බරපතළ හානි සිදුව ඇත.

ලොරි රථයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *