ගෝටාභය 65% කින් දිනනවා.. හැකි නම් පරදවනු.. – ප්‍රසන්න රණතුංග

(13.08.2019 – 13:20 +0530 – lankacnews.com)

වසර තිහකට පෙරාතුරව ක්‍රියාවට නැංවූ ගම් උදාව මත තවත් එල්ලී සිටින සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රටට කාර්මික විප්ලවයක් උදා කිරීමට සැරසීම පුදුමයට කරුණක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශත වර්ෂ කිහිපයකට පෙරාතුරව යුරෝපය කේන්ද්‍ර කොට ගනිමින් සිදු වූ කාර්මික විප්ලවයක් ගැන වර්තමාන තොරතුරු තාක්ෂණ යුගයේ කතා කරන සජිත් සාමාන්‍ය පෙළ නොව පහ වසරවත් සමත්දැයි සාධාරණ සැකයක් මතු වන බවත් රණතුංග මහතා පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදිය.

රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය :

“මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුවක් පසුගිය 11 වැනි දා ඉෂ්ට කෙරුණා. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් නොබියව පෙනී සිටින, කොන්ද පණ ඇති ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්නට බලාගෙන හිටපු ජනතාවට දැන් පොහොට්ටුවෙන් අභීත සෙන්පතියෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි අපි කවුරුත් හඳුනන ගෝඨාභය රාජපක්ෂ මහතා.

ගෝඨාභය කියන්නේ මේ රටේ කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන්නෙක් වගේම විනයගරුක නිලධාරියෙක්. එතුමාගේ පියා වගේම සොහොයුරන් තිදෙනා ශ්‍රී ලාංකේය දේශපාලනය නව මාර්ගයකට යොමු කිරිමට දායකත්වය දැක් වු ගෞරවණීය දේශපාලනඥයන් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වගේම ගෝඨාභය කියන්නේ තමන්ට පැවරුණු වගකීම් අකුරට ඉටු කළ නිලධාරියෙක්.

අද වෙන කොට රට වැටිලා තියෙන්නේ ආර්ථික අගාධයකට. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව බින්දුවට වැටිලා. තවත් පැත්තකින් රටම විනයක් නැති, පාතාලයට යටවුණු, මහ දවාලේ මිනී මරන චිකාගෝවක් බවට පත්වෙලා තියෙනවා. මේ සියලු විපත් රටට උදා වුණේ 2015 දී ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සෙයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ දියුණුවෙන් දියුණුවට යමින් හිටපු රට අන්තිමේ දී සෝමාලියාවටත් අන්ත රාජ්‍යයක් බවට පත් වුණා. හැබැයි දැන් සමහරු පෝස්ටර් ගහනවා ඉන්න හිතෙන රටක් කියලා. ඉන්න හිතෙන රටක් නෙමෙයි මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතෙනවා මේ කරපු අපරාදෙට. කොළඹ පාරක යන්න බැහැ කුණු ගඳ.

ළමයෙක්ට පාසල් යන්න නැහැ. අම්මා තාත්තා දෙන්නා බස් දෙකක කොළඹ එන යුගය ආයෙත් ආරම්භ වුණා. අහස උසට බදු ගහලා මිනිස්සු බදු බරෙන් මිරිකිලා ඉවරයි. වේල තුනක් කාලා හිටපු මිනිස්සු දැන් කන්නේ දෙවේලයි. ඕක තමයි යූ. ඇන්. පිකාරයන්ගේ ඉන්න හිතෙන රට. පෝස්ටර් ගහන්නම වටින රට. අපි කාගෙත් රට විනාශ කරපු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ.

මේ වගේ වාතාවරණයක තමයි ජනාධිපතිවරණය උදා වෙලා තියෙන්නේ. අවුරදු පහක් පස්සට ගිය රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙක් තමයි දැන් රටට අවශ්‍ය. එහෙම නැතුව ගිනි පෙට්ටි ගෙවල් හදලා ‘සදාදරණීය පියාණන්ගේ නාමයෙන්’ රට පුරා පෝස්ටර් ගහන පෝස්ටර් මාරයෙක් නෙමෙයි. හැමදාම අනුන් ඉස්සරහට දාලා ජනාධිපති අපේක්ෂකත්වය හිඟා කන කෙනෙකුත් නෙමෙයි.

මම දැක්කා සජිත් කියනවා කාර්මික විප්ලවයක් ආරම්භ කරනවා කියලා. මට නම් පේන විදියට එයා ඕලෙවල් විතරක් නෙමෙයි පහ ශ්‍රේණියත් අසමත් වගෙයි. නැත්නම් දෙයියනේ දැනගන්න එපැයි කාර්මික විප්ලවය කියන්නේ මීට වසර පන් හයසියයකට පෙර තිබුණු විප්ලවයක් කියන එක. මේ මනුස්සයා කතා කරන්නේ රට ආපස්සට අරගෙන යන්නයි.

හැබැයි පුදුමයකුත් නැහැ. මොකද ප්‍රේමදාස ජනාධිපතිවරයා වසර 30 කට ඉස්සර කරපු ගම් උදාවම තාමත් කරන සජිත්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අවුරුදු තිහකට ඉස්සර තිබුණ රට නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් කොහොමද අවුරුදු තිහකට ඉස්සර කරපු නිවාස ව්‍යාපෘති අදට ගැලපෙන්නේ? තාත්තාගේ වැඩේ කර කර ඉන්නවා මිසක් කිසිම අලුත් අදහසක් නැති ඇමැතිවරයෙක් තමයි සජිත් කියන්නේ. සජිත් ජනාධිපති කරන්න කථාකර කම්කරු ඇමති කියනවා මාධ්‍යවේදීන්ට පරිස්සම් වෙන්න කියලා. මාධ්‍ය වේදීන්ට පරිස්සම් වෙයල්ලා කියලා තර්ජනය කරන යහපාලන ආණ්ඩුවේ කම්කරු ඇමති කම්කරුවන්ට සලකණ විදිය අපිට හිතාගන්න පුළුවන්. ප්‍රේමදාස යුගයේ රඟ අපි හොදින් දන්නවා. ටයර් සෑයවල් වල තරුණ තරුණියෝ මරා දාපු කාලයක් ඒක. නැවත ප්‍රේමදාස යුගයක් ඇති වුවොත් අපේ රටේ තරුණ තරුණියන්ට දෙයියන්ගේම පිහිටයි.

අපි හිතන විදියට සජිත් ආවොත් ගෝඨාභය මහත්තයා දිනන්නේ සියයට 65 ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන කියන එකත් මතක තියාගන්න. පෝස්ටර් ටිකක් ගහලා, උස මිටි බලලා රස්සා ටිකක් දුන්නම සජිත් හිතන් ඉන්නේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. හැබැයි එයා තමන්ගේ ආසනෙත් සදා පරාජිතයි. ඔතැනත් උදා ගමක් හදන්න පුළුවන් ‘සදා ආසනෙත් පරාජිත ගම’ කියලා.

මේ රේස් එකට අපි දාලා තියෙන්නේ අශ්වයෙක් නම් සජිත් කියන්නේ ගොලුබෙල්ලෙක් කියලා මතක තියා ගන්න. අපේ අපේක්ෂකයා ජාතික ආරක්ෂාව, නව තාක්ෂණය, ආර්ථිකය කියන අංශ සියල්ලගෙන් රට ගොඩගන්න පුළුවන් අපේක්ෂකයෙක්. බොරු කයිවාරු නැති වැඩ කරලා පෙන්නපු අපේකෂකයෙක්. ගෝඨාභය කියන්නේ රටම ඉල්ලන ජාතික අපේකෂකයායි.

– ප‍්‍රදීප් අනුර කුමාර

***************************************

සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුධ දීලාද ?.. 60,000 ක් පාරවල්වල පුච්චලාද ?…

(13.08.2019 – 16:40 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් එදා තම ආරක්ෂාව සලසා ගත්තේ කොටි ත‍්‍රස්තවාදීන්ට ආයුධ ලබා දී මෙරට තරුණ තරුණියන් 60,000 ක් ‘ටයර් සෑයවල’ යවා යැයි වැඩිහිටි පරම්පරාවට අමතක නොමැති බවත් තම සදාදරණීය පියා ගිය මාර්ගයේ යන බවට වහසිබස් දොඩවන, සජිත් පේ‍්‍රමදාස මහතා, තමන්ට ජනාධිපති ධුරය ලැබුණොත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ද ඒ ආකාරයටම දැයි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රශ්න කර සිටී.

අද (13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

ඊයේ (12) බදුල්ලේ පැවති රැලියකදී සජිත් පේ‍්‍රමදාස මහතා දුප්පත්කම නැති කරන බවට කරන සුපුරුදු කථාවෙන් මිදී රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය, වෙළඳඳ ගිවිසුම් ආදිය ගැන කතා කළ බවත් එය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (11) කළ කතාවේ කොපියක් යැයි සිතෙන තරමට සමාන බවත් මෙහිදී මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

ඊයේ (12) ‘රටට අහිතකර වෙළෙඳ ගිවිසුම්වලට ඉඩ නොදෙමි’ කියූ සජිත් පේ‍්‍රමදාස මහතා තමා කැබිනට් අමාත්‍ය ධුරයක් දරන ආණ්ඩුව රටට ඉතාම අහිතකර ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම මෙරට වෘත්තිකයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සියලුදෙනාගේ දැඩි විරෝධය මැද අත්සන් කරන විට නිහඬව සිටියේ ඇයි දැයි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා ප‍්‍රශ්නකර සිටියේය.

එමෙන්ම ඊයේ ‘රටට අහිතකර ආරක්ෂක ගිවිසුම් අත්සන් තැබීමට ඉඩ නොදෙමි’ කියූ සජිත් පේ‍්‍රමදාස මහතා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවටත් හොරෙන් ඇමෙරිකාව සමඟ ඇක්සා ගිවිසුම අත්සන් කරන විටත් සෝෆා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම් කරන විටත් කළේ කුමක්දැයි යන ප‍්‍රශ්නය ද රටේ සිහි බුද්ධියක් ඇති ජනතාවට ඇති වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘ලිච්ඡවී පාලනයක්’ ගෙන එන බව කියමින් බලයට පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා වසර හතරහමාරක් තුළ රට ඇද දැමූ තැන අමුතුවෙන් කිවයුතු නැති බව ද ඒ මහතා සඳහන් කළේය. එසේ තිබියදී ඒ තත්ත්වයට රනිල් සේම වගකිවයුතු එම පක්ෂයේ නියෝජ්‍ය නායක ‘දසරාජ ධර්මයෙන්’ රට පාලනය කිරීමට තමන් සූදානම් බව පවසන බවත් එසේ බුදුදහමේ සඳහන් උතුම් සංකල්ප මේ ආකාරයට මේ අය අවමානයට ලක් කිරීම මුස්ලිම් ජාතිකයකු ලෙස වුවත් තමන් දැඩි සේ හෙළා දකින බවත් මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව සමයේ වැඩ ඇරඹූ රණාල ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ජනතාව වෙත භාර දීමේ වැඩසටහනක දී ඊයේ (12) රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල කතාව විකෘති කරමින් බොරු බේගලයක් ඇදබෑ බවත් ඉන් මේ අය ඉදිරි මැතිවරණයකදී එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡයාරූපයක් විකෘති කරමින් කළ සෙල්ලම වැනි ඒවා කිරීමට දැන් සිටම සූදානම් වන බව පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2010 හා 2015 ජනාධිපතිවරණවලට ඉදිරිපත් නොවී එජාපය ගෙන ආ අපේක්ෂකයාට සහයෝගය දුන් ජවිපෙ, මෙවර ඒ දෙය කිරීම දැඩි ජනතා පිළිකුලට හේතුවන නිසා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව ද මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය. කෙසේ වුවත් ඒ අපේක්ෂකයා, ජනාධිපතිවරණය අතරතුර දී එජාප අපේක්ෂකයාට බොරු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කොට ඉල්ලා අස්වීම මේ ජවිපෙ නාටකයේ අවසන් ජවනිකාව වනු ඇති බව ද ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

***************************************

එජාපයේ පොදු අපේක්ෂකයා ශක්‍රයා වුණත් 30% ක් ගන්න බෑ! – ආචාර්ය විජයදාස රාජපක්ෂ

(11.08.2019 – aruna.lk)

රනිල් පිල හා සජිත් පිල වශයෙන් එක්සත් ජාතික පක්ෂය දෙපිල බෙදී සිටින තත්ත්වයක් තුළ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිටින්නේ ඒ දෙපිල අතරමැදය. පක්ෂයේ අර්බුදය හා රටේ දේශපාලනය ගැන අපි ඔහු සමග කතා කළෙමු.

දැන් ඔබ නියෝජනය කරන්නේ කුමන දේශපාලන කණ්ඩායමද?

මේ මොහොතේ කිසිම කණ්ඩායමක් නියෝජනය කරන්නේ නැහැ. ස්වාධීනව කටයුතු කරනවා. 2007 ඉඳල 2010 දක්වා කාලය තුළත් මම එහෙම තමයි හිටියේ. තමන්ගේ හෘදසාක්ෂියට ගැළපෙන්නේ නැති වැඩ තමන් නියෝජනය කරන පක්ෂය කරනවා නම් මන්ත්‍රීවරයකුට අයිතියක් තියෙනවා ස්වාධීනව වැඩ කරන්න. හොඳ දෙයට හොඳයි කියන්නත් නරක දෙයට නරකයි කියන්නේ අපට ශක්තියක් තියෙනවා.

ඕක හරිම ජනප්‍රිය කතාවක්නෙ?

වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේදී මහජන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සත පහක දායකත්වයක් නොදුන් අයත් ඔය ජනප්‍රිය කතාව කියනවා. හැබැයි මම එහෙම නොවෙයි කියන්නේ. අපි කරපු සේවය අපි පෙන්නලා තියෙනවා. මේ රටේ අගමැතිවරුන්ට, ජනපතිවරුන්ට කරන්න බැරි දේවල් මම තනියම කරල තියෙනවා. මේවා කියන කොට ආත්ම වර්ණනා කියලත් හිතන්න පුළුවන්. එදා මම තනියම නඩු කිව්වෙ නැත්නම් අද රජයට ලංගම කියලා ප්‍රවාහන සේවයක් නැහැ. මරණීය තර්ජන තියෙද්දිත් කෝප් කාරක සභාව හරහා වාර්තා හදල තනි සටනක් කරලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඇපලෝ රෝහල සහ වරායේ ඉඩම් ටික අත්කරගත්තේ නැත්නම් අද ඒවාත් නැහැ. පාර්ලිමේන්තුවට අලුත් ආදර්ශ මම ඇතිකළා. කෝප් කාරක සභාව කියන නමවත් 2007 දී මේ රටේ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ හරහා රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා දූෂණ වළක්වන්න ක්‍රමවේදයක් හැදුවා. අවුරුදු 70 ක පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුමත කරපු කෝප් කාරක සභා දෙකයි අදටත් තවම තියෙන්නේ. ඒ දෙක තමයි 2007 ජනවාරි 12 සහ අගෝස්තු 27 මම ඉදිරිපත් කරපු වාර්තා දෙක. අද කෝප් කමිටුවට ඒකමතිකව වාර්තාවක් හදාගන්නවත් බැහැ.

ඔබ කතා කරන්නෙ කනගාටුවෙන්ද?

නැහැ. සිදුවූ දේවල් කියන්නයි උත්සාහ කරන්නෙ. 2013 දී දින 6 ක් පුරා අපි ලංකාවේ සියලු අධිකරණ ක්ෂේත්‍ර වසා තිබ්බා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. එදා එක්සත් ජාතික පක්ෂය ඔක්සිජන් නැතිව පණ ඇද ඇද හිටියේ. නමුත් ඒකට ගිහිල්ලා පණ ගහලා ගන්න කටයුතු කළා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට පාරේ ඉන්න කම්කරුවෙක්වත් බැඳෙන්නේ නැති කාලයක්. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව අපි දැක්ක නිසා එය ශක්තිමත් කළා. ඒ වෙලාවේ හිටිය නායකයා ආරක්ෂා කළා. අවුරුදු 4 ක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ආරක්ෂා කරන්න මම තනිවම සටන් කළා. ඒක අද මට හිතෙන්න පුළුවන් එදා කළ දේ වැරදියි කියලා; හැබැයි එදා අවශ්‍යතාව අනුව එය නිවැරදියි කියල මම පිළිගන්නවා.

දැන් ඔබට තියෙන්නේ අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ වගේ තත්ත්වයක් නේද?

ඒ මට නෙවෙයි ජනතාවට. මට අල්ලගන්න දෙයකුත් නැහැ. අත්හරින්න දෙයකුත් නැහැ. මම අල්ලගන්න දෙයට වැඩිය අත්හැරීම හොඳට පුරුදු කරපු කෙනෙක්. දේශපාලනයේදී මට ලැබුණු කොතෙකුත් අවස්ථා මම ප්‍රතික්ෂේප කරලා තියෙනවාද? චන්ද්‍රිකා මැතිනිය 2000 වසරේදී මට අත්තනගල්ල ආසනය පවා පිරිනැමුවා. එතුමිය කැබිනට් ඇමැතිකමක් එක්ක දුන් මන්ත්‍රීකම මම ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා දුන් ඇමැතිකම් ගත්තෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙනම හම්බන්තොට විකිණීමට විරුද්ධව සටන් කළා. වචන දෙකක් වෙනස් කරලා මගේ ඇමැතිකම තියාගන්න කියලා නායකයෝ යෝජනා කළත් මම ඒක කළේ නැහැ. මම හෘද සාක්ෂියට එකඟව ගන්න තීරණ වෙනස් කරන්න සක්‍ර දෙවියන්ටවත් බැහැ.

ඔක්තෝබර් 26 වෙනසත් එක්ක ගත් තීරණය ගැන දැන් කනගාටු වෙනවද?

මට කනගාටු වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒක මම දැනගෙන ගත් තීන්දුවකුත් නෙවෙයි. ඒක ජනාධිපතිවරයා ගත් තනි තීන්දුවක්. හැබැයි ඊට පෙර තිබුණු කැබිනට් රැස්වීමේදී මම තර්ජනය කරලා ආවේ මේ ආණ්ඩුව නම් විනාශ වෙන්නට ඕන කියලා. ඒ නිසා සමහරු හිතුවා මම ඒ තීරණයට ජනාධිපතිවරණයට උපදෙස් දෙන්න ඇති කියලා. හැබැයි මම උපදෙස් දුන්නා නම් හොලවන්න බැරිවෙන්න උපදෙස් දෙන්නේ. මම 2003 දී එහෙම චන්ද්‍රිකා මැතිනියට උපදෙස් දුන්නා. රනිල් මහත්තයාගේ ආණ්ඩුව ගෙදර යවන්න ගෙදර යැව්වා. කෝ ආවද? මේ සැරෙත් ජනාධිපතිතුමා නිකන් හරි අපිට කතා කළා නම් අපි ළඟ ඒවාට බෙහෙත් තිබුණා. ඒ නිසා මට දුක්වෙන්න දෙයක් නැහැ.

ඔබ ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා කියලා දැනුත් කතා බහක් තියෙනවා?

අනේ නැහැ. මම හිතන්නේ නම් ජනාධිපතිතුමාට ට්‍රම්ප්ටත් වැඩියෙන් දේශපාලනික අත්දැකීම් හා ඥානයක් තියෙනවා කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් තේරෙන්නේ නැහැ ජනාධිපතිතුමාට තරම්. මගෙන් නම් අවුරුදු තුන හතරකින් මුකුත් අහල නැහැ. උපදේශකවරුන්ගෙන් මුකුත් අහන්නෙ නැහැ කියල තමයි ඒ අයත් කියන්නේ.

ඔබ මෛත්‍රී එක්ක වගේම මහින්දත් එක්කත් ඩීල් දානව කියල සමහරු කියනවා?

මොකක්ද මම දාපු ඩීල් එක. ඔය මිනිස්සු දෙන්නාගෙන්ම මට සහ පහක ප්‍රයෝජනයක් වෙලා තියෙනවද අද වනතෙක්. ඔය මිනිස්සු දෙන්නට මම ප්ලේන් ටී එකකට තරම්වත් ණයක් නැහැ. මම මහින්දට උදව් කළා. 89 භීෂණ කාලේ එයාගේ නාමයෝජනා දෙන්න මිනිහෙක් හම්බන්තොටට යන්නේ නැති වෙලාවක මම ගිහිල්ලා නාම යෝජනා භාර දුන්නා. විපක්ෂ නායකකම මහින්දට දෙන්නේ නැති වෙන කොට චන්ද්‍රිකා එක්ක සටන් කළා. අගමැතිකම දෙන්නෙ නැතිකොට චන්ද්‍රිකා එක්ක රණ්ඩු කළා. ජනාධිපති අපේක්ෂකකම මහින්දට දෙන්නේ නැති වෙනකොට මහා ලොකු ජ්‍යෙෂ්ඨයෝ 20-30 ක් චන්ද්‍රිකාට බයේ කට ඇරියේ නැහැ බණියි කියලා. මම එතැනදීත් කතා කළා. මහින්දගේ නීතිඥවරයා විදිහටත් කටයුතු කළා.

ඉදිරි ජනාධිපතිවරණයේදි ඔබේ සහාය කාටද?

රටට ආදරය කරන ජනතාවට ආදරය කරන දූෂණයට වංචාවට විරුද්ධ කෙනෙක් කවුද ඉදිරිපත් වෙන්නේ මට පක්ෂය අදාළ නැහැ. හිතට එකඟව සහාය දෙන්න පුළුවන් චරිතයක් ආවොත් මම සහයෝගය දෙනවා.

ඔබේ යටි හිතේ එවැනි චරිතයක් ගැන ඉඟියක් තියෙනවද?

මම උපකල්පන මත අදහස් ප්‍රකාශ කරන්න කැමැති නැහැ. අපේක්ෂකයෝ එනකන් විශ්වාසයකුත් නැහැ. එක පැත්තකින්වත් කවුරු එයිද කියලා. අපිට හැමදාම මහජන සේවය කරන්න බැහැ. මන්ත්‍රීකමේ හැමදාම එල්ලිලා ඉන්න වුවමනාවකුත් මට නැහැ. ජනතා අවශ්‍යතාව මත පමණයි මම දැන් ඉන්නේ. අනික දැන් රටේ තියෙන මතය අනුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑම තක්කඩියෙකුත් මාත් එක ගානට සලකලා තමයි මාධ්‍ය වුණත් කතා කරන්නේ. ජනතාවත් එහෙම තමයි හිතන්නේ. 225 ටම බෝම්බ ගහ ලා මරන්න කියලා කියන්නේ. එහෙම සාපලත් තැනක මොකටද ඉන්නේ කියලා මගේ හෘද සාක්ෂියත් එක්ක මට සටනක් තිබෙනවා.

ඔබ ඇවන්ගාඩ් සිද්ධියට පක්ෂව කතා කළා. අද ඔවුන්ට එරෙහිව නඩු පවරලා. ඇයි වරදකරුවන් ආරක්ෂා කළේ?

ඇවන්ගාඩ් එක වෙනුවෙන් මම කවදාවත් කතා කරලා නැහැ. මාධ්‍යයත් මේක අවුල් කරගෙන තියෙන්නේ. එදා තිබුණේ ගාලු වරායේ ආයුධ නෞකාවක් සම්බන්ධව තිබුණු කාරණයකට ගෝඨාභය අත්අඩංගුවට ගන්න ඕනද කියන කාරණය විතරයි. ඇවන්ගාඩ් ප්‍රශ්නය සේනාධිපති බේරගන්න ඕනේ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවේ. නමුත් මේ ගිවිසුම අත්සන් කිරීමේ වරදට ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුද කියන කාරණය විතරයි අපි නිරාකරණය කළේ. මම බොහොම පැහැදිලිව එතැනදි කිව්වා ඔහු අත්අඩංගුවට ගන්න බැහැ කියලා. හේතුව ඔහුව අත්අඩංගුවට ගන්නවා නම් එදා ආරක්ෂක කවුන්සිලයේ සිටි සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුයි. ගිවිසුමට අනුමැතිය දීලා තියෙන්නේ ආරක්ෂක මණ්ඩලය. එහෙමනම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පවා අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද ඒකෙනුත් මෙයට අනුමැතිය දීලා තියෙන නිසා. අනික දැන් තියෙන නඩුව ඒකට අදාළ නැහැ.

හැබැයි මම ගෝඨාභය වෙනුවෙන් කතා කළා. ගෝඨාභය කියන්නේ රජයේ නිලධාරියෙක්. අමාත්‍යාංශ ලේකම්වරයෙක්. වගකිව යුතු සේවයක් කළ කෙනෙක්. අපිට බලාපොරොත්තු වෙන්න බැරි තරමේ සේවයක් වුණා යුද්ධය සම්බන්ධයෙන්. ආරක්ෂක අමාත්‍යාංශයට බලයක් නැත්නම් ආණ්ඩුවේ ගිවිසුම් අත්සන් කරන්න කාටද බලය තියෙන්නේ. ඒ ගිවිසුම නීත්‍යනුකූල නැත්නම් ඇයි 2015 නොවැම්බර් 05 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත අවුරුදු පහකට ඒක දුන්නේ. ගිවිසුම නීතිවිරෝධී නම් ඇයි දැන් තලතා ඇමැතිතුමිය ගෝඨාභය කුදලාගෙන ගෙනත් එල්ලන්නේ නැත්තේ. මම ගියාට පස්සේ එහෙම කවුරුවත් ගෙනාවද?

ත්‍රිපුද්ගල මහාධිකරණය කියලා විහිළුවක් කරනවා. ඔය විහිළුව මේ ආණ්ඩුව කරන්න ඕන නැහැ. ඒක අවුරුදු 100 කට පෙර ඉඳලා පනතේ තියෙනවා. 1978 අංක 2 දරන නැවත පණගැන්වුණු අපරාධ විධි විධාන සංග්‍රහයක් තියෙනවා. උඩතලවින්න නඩුව, යාපනයේ විද්‍යා දැරියගේ නඩුව, ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඇහුවේ. ඒක නීති පොතේ තියෙනවා. අලුතින් පනත් ගෙනාවා කියලා නීතියේ කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. අගවිනිසුරුගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලූ කිසිම අවස්ථාවක නීතිපතිවරයා එය ප්‍රතික්ෂේප කර නැහැ.

ඔබ එකපාරටම ගෝඨාභය ගැන හොඳ කියන්න පටන් අරන්.?

මම කවදාවත් විශේෂ වර්ණනාවක් කරලා නැහැ කළ​ හොඳ දේවල් ගැන කතා කළා.

ඇයි ගෝඨාභය ගැන වැඩියෙන් කතා කරන්නේ?

වැඩියෙන් ගෝඨාභය ගැන අහපු නිසා. ගෝඨාභය ගැන ඔබ ඇහුවේ නැත්නම් මම ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඔබ මාධ්‍යවේදිනියක් විදිහට ඒ ගැන අහන එක සාධාරණයි.

කොහොම වුණත් අවසානයේදී ඔබ තමයි ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළක්වලා තියෙන්නෙ?

ඒක වුණේ මෙහෙමයි. මේක කවුරුත් නොදන්නවා වෙන්න පුළුවන්. ​මේ ආණ්ඩුව ඇතුළේ තිබුණා දූෂණ විරෝධී ඔස්තාර්ලගේ කමිටුවක්. ඒකේ නායකත්වය දැරුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මමත් ඒකේ සාමාජිකයෙක්. ඒ කියන්නේ මමත් එක ඔස්තාර් කෙනෙක්. ඒකේ හිටියා මංගල සමරවීර, රවී කරුණානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික හා අනුර කුමාර. එදා ඔය තීරණය ගන්න රැස්වූ කමිටුවට සහභාගි වුණා චන්ද්‍රිකා මැතිනිය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු තවත් එන්.ජී.ඕ. නඩයක්. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාකච්ඡා කරලා සියලු දෙනා ඒකමතිකව තීරණය කළා මේක රත්තරන් අවස්ථාවක් ගෝඨාභය අත්අඩංගුවට ගන්න. ඒ නිසා නඩුව මොකක් වුණත් ඔහුව අත්අඩංගුවට ගත යුතුමයි කියලා. එතැනදි මම පෙන්වා දුන්නා ගිනි අවි ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභයව අත්අඩංගුවට ගන්න බැහැ කියලා. ඒ නිසා තමයි මට ඔය චෝදනාව එල්ල වුණේ. අවි ආයුධ රජයේ ඒවා නම්, පුපුරන ද්‍රව්‍ය රජයේ ඒවා නම්, ගිවිසුමට ආරක්ෂක මණ්ඩලය අනුමැතිය දීලා නම්, ඒවයේ ලාභයෙන් 30% ක් ආණ්ඩුවට දුන්නා නම් ගිවිසුම නීති වි​රෝධී වෙන්නේ කොහොමද? ආණ්ඩුව ලාභ ලබනවා. හැබැයි ගිවිසුම නීති විරෝධීයි කියනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අවුල ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?

ගිය පාරත් ඔය අවුල නිරාකරණය කරන්න මම තමයි වැඩිම දායකත්වයක් දුන්නේ. දැන් කරන සෙල්ලම් ටික ඔක්කොම එදත් කළා. නායකත්ව මණ්ඩල දැම්මා. ව්‍යවස්ථා හැදුවා. මමම යෝජනා කරලා අවුරුදු 6 කට රනිල් නායකයා කළා. ඊට පස්සේ මෛත්‍රීපාල මහත්තයා මේ පැත්තට ගේනකොට ඇතිවුණ ආරවුල් හුඟාක් නිරාකරණය කළේ මම. ඒ නිසා පක්ෂ අභ්‍යන්තරය ගැන මට තියෙන අත්දැකීම අවුරුදු 30-40 ක් පක්ෂය හිටපු අයටවත් ඇති කියලා මං හිතන්නේ නැහැ. පක්ෂයේ අලුත් ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න එදා සාමාජිකයෙක් හිටියේ නැහැ. ඒ වගකීම භාර අරගෙන මම ඒකත් කළා. මම අද කිව්වා කියලා ලියන්න එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විදිහට සක්‍ර දෙවියෝ ආවත් 30% ක් ඡන්ද ගන්න බැහැ. මුළු රටේම ඇවිදින අපිට මහජන මතය තේරෙනවා.

නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමක් නැද්ද?

එක්සත් ජාතික පක්ෂය කියලා ක්‍රියාකාරී දේශපාලන පක්ෂයක් ඇත්තටම දැන් මහපොළොවේ නැහැ. 1977 න් අවුරුදු ගණනකට පස්සේ එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් විදිහට ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවා ගත්තා. ජේ.ආර්.ගෙන් පස්සේ බලය දියවෙලා ගිහිල්ලා 93 දී නැත්තටම නැතිවෙලා ගිහිල්ලා නැවත ඒ වගේ බලයක් ගොඩනගා ගත්තා. ජනාධිපති ආවෙත් යූඑන්පී අපේක්ෂකයා විදියට. හැබැයි ඒ වගේ බලයක් තියෙද්දි තිබුණු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගත් ඡන්ද ප්‍රතිශතය 30% යි. පසුගිය කාලයේ සිදුවුණු පිරිහීමත් එක්ක ඔබ හිතනවද එක දශමයක් වත් ඡන්ද පදනම වැඩි වෙලා කියලා. මේ මැතිවරණයේ තවත් තීරණාත්මක සාධකයක් වෙන්නේ එජාපයට තිබුණු නියත ඡන්ද පදනමත් 8% කට වඩා තිබුණු කතෝලික ක්‍රිස්තියානි ඡන්ද පදනමත් ගැලවිලා යාම.

ඔබ දේශපාලනයෙන් සමු ගන්නවද?

මගේ පළමු කැමැත්ත තමයි සමු ගැනීම. මම විශ්‍රාම වයසට කිට්ටු වෙලා ඉන්නේ. ඕනෑම වගකීමක් දැරීමට පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පස්සේ නිදහසේ ඔළුව තියාගන්න එක මගේ ප්‍රාර්ථනයක්.

නීතිඥ වෘත්තියේ යෙදෙනවා එය මගේ ජීවිතය හා බද්ධ වූ දෙයක් නිසා. ඒ වගේම ජාතියේ සංවර්ධනයට තරුණ නීතිඥවරුන්ට මග පෙන්වීමට විශාල දායකත්වයක් එයින් ලබා දෙන්න පුළුවන්. ඒ සේවය මම පුළුවන් තරම් කාලයක් ලබා දෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසු රට ශීඝ්‍රයෙන් ගොඩනැගෙනවා නේද?

කොහොමද එහෙම වෙන්නේ. අපේ දවසක වියදම බිලියන 7 යි. දවසේ ආදායම බිලියන 5 යි. හැම දවසකටම බිලියන 2 ක් ණය වෙන ජාතියක් අපි. ඒ නිසා අපි කොයි පැත්තකින්වත් ගොඩ ඇවිල්ලා නැහැ. 2016 නොවැම්බර් 18 මම කිව්වා අයි.එස්. කාරයෝ 32 ක් පුහුණුව ලබල ඒ අය මේ රට පුපුරවන්න බලාගෙන ඉන්නවා කියලා. එදා ඉඳලා පක්ෂයේ අය මට ගැහුවා. පක්ෂයේ ආයුෂ තියෙන්නේ මුස්ලිම් කොංග්‍රසයේ සහාය තියෙන තුරු. ඔය බෝම්බය පිපිරුවේ නැත්නම් මම තවමත් ත්‍රස්තවාදියෙක් සහ ජාතිවාදියෙක්.

ඔබේ පවුලේ කිසිවෙක් දේශපාලනයට එයිද?

කවුරුත් නැහැ. දේශපාලනය කරන්න තරම් හොඳ වාතාවරණයක් අපේ රටේ නැහැ. ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් තියෙන්නේ. මේවාට කිසිම කෙනෙක් සම්බන්ධ කරන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.

ඉදිරි දේශපාලන වාතාවරණය ඔබ දකින්නේ කොහොමද?

මේ රටේ මෙපමණ කලක් තිබුණේ වමේ කඳවුරයි දකුණේ කඳවුරයිනේ. හැබැයි ඒ වුණාට දැන් මේ නව ලිබරල් ක්‍රමය යටතේ අවුරුදු 40 ක් පුරා වම දකුණ මිනිසුන් දන්නෙත් නැහැ.

අඩුම ගණනේ ජවිපෙ අයවත් දන්නේ නැහැ වම කියන්නෙ මොකක්ද කියලා. ඇත්තම කතාව නම් මේ මැතිවරණයේදී කඳවුරු 2 ක් තියෙනවා. මම මේ කියන දේ දැන් කවුරුත් පිළිගන්න එකක් නැහැ. ඒත් අවසානයේදී තේරුම් ගනීවි. ඒ කඳවුරු දෙකම අපේ නෙවෙයි. ඔයගොල්ලන්ගෙත් නෙවෙයි. ඒ කඳවුරු දෙක චීනයයි, ඇමෙරිකාවයි, මැතිවරණයට සල්ලි එන්නේ ඒ රටවලින්. ඒක හොඳට මතක තියාගන්න.

මම හිතන්නේ නම් ජනාධිපතිතුමාට ට්‍රම්ප්ටත් වැඩියෙන් දේශපාලනික අත්දැකීම් හා ඥානයක් තියෙනවා කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් තේරෙන්නේ නැහැ ජනාධිපතිතුමාට තරම්.

ගෝඨාභය කියන්නේ රජයේ නිලධාරියෙක්. අමාත්‍යාංශ ලේකම්වරයෙක්. වගකිව යුතු සේවයක් කළ කෙනෙක්. අපිට බලාපොරොත්තු වෙන්න බැරි තරමේ සේවයක් වුණා යුද්ධය සම්බන්ධයෙන්.

– දීප්ති ප්‍රමිතා අධිකාරී

***************************************

සහරාන්, සාෆි හොර සල්ලි ගෙනාවේ කොහොමද? – කල්‍යානන්ද තිරාණගම

(11.08.2019 – aruna.lk)

ඕනෑම රටක මුදල් සංසරණය විනිවිදභාවයකින් සිදුවිය යුතුය. උපයාගත හැකි ආකාරයක් පැවසිය නොහැකි මුදල් පොදුජන ව්‍යවහාරයට එක්ව ඇත්තේ ‘කළු සල්ලි’ නමිනි. ඒවා කළු සල්ලි ලෙස නම් කරන්නේ විනිවිදභාවයකින් තොර වන බැවිනි. පසුගිය කාලය පුරාම සහරාන්ලට, සාෆිලට මුදල් ආ හැටිත්, මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ආ හැටිත් පිළිබඳ බොහෝ මතිමතාන්තර ඉදිරිපත් විය. ඒ මතවාද සැලකිල්ලට ගත් ආණ්ඩුව, එම මූල්‍ය ගනුදෙනු සිදු වූ ආකාරය සහ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැනද කරුණු සෙවීමට පාර්ලිමේන්තු කාරක සභාවට පැවරුවේය. එහිදී මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කරුණු දැක්වූ අතර, අලුත් විදේශ විනිමය පනත යටතේ විදේශ රටවලින් හා විදේශීය නීති විරෝධී සංවිධානවලින් රුපියල් බිලියන ගණන් මුදල් ලැබුණු ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට කළ නොහැකි බවට එහිදී කරුණු දැක්වීය. ශ්‍රී ලංකා මහ බැංකුව යනු ලංකාවේ සිදුවන සෑම මූල්‍යමය ගනුදෙනුවක් පිළිබඳ වගකිව යුතු ආයතනය වෙයි. එම ආයතනයටත් එහා ගිය මූල්‍යමය කටයුතු පිළිබඳ නව ව්‍යවස්ථා ක්‍රියාවලිය කුමක්ද යන්න සහ ඉන් ලංකා ආර්ථිකයටත්, ලංකාවේ ජන සමාජයටත් සිදුවන බලපෑම කුමක්ද? යන්න පිළිබඳ කතා කිරීමට නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කල්‍යානන්ද තිරාණගම මහතා සම්බන්ධ කර ගත්තෙමු.

රටක විදේශ විනිමය පිළිබඳ නෛතිකමය ක්‍රියාදාමය කුමක්ද?

දුප්පත් මිනිස්සු අමාරුවෙන් උපයන විදේශ විනිමය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවකට තිබෙනවා. ඒ නිසාම විදේශ විනිමය පාලන පනත නමින් පනතක් 1953 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒ පනත යටතේ විදේශ විනිමයේ වැදගත්කම සලකලා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යටතේ තමයි විදේශ විනිමය පාලනය වුණේ.

මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න මහ බැංකුවේත් වෙනම අංශයක් හදලා තිබුණා. විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුව කියලා. කෙනකුට ඕන ඕන විදියට රටට විදේශ විනිමය ගේන්නත් බෑ. ගෙනියන්නත් බෑ. ඒ හැම දෙයක්ම සිදුවුණේ මහ බැංකුවේ දැඩි අධීක්ෂණයක් යටතේ.

මේ ක්‍රමවේදය වෙනස් වන්න පටන් ගත්තේ කොහොමද?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි විවෘත ආර්ථිකය. එයින් ඉවක් බවක් නැතිව ඕනම කෙනකුට රටට පැමිණිලා සම්පත් මංකොල්ලකාගෙන යන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ 2001 සිට 2003 දක්වා බලයේ සිටි කාලයේ විනිමය පාලන පනත අවලංගු කිරීම සඳහා පනතක් ගෙනාවා. ඒ පනත ගෙනාපු වෙලාවේ ඊට විරුද්ධව මම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා. එහිදී මම මේ පනත රටට ඉතාම අහිතකර බවට සාධක සහිතව ශ්‍රේෂ්ඨධිකරණයට කරුණු ඉදිරිපත් කළා. විශේෂයෙන්ම විදේශ විනිමය රටක සංව​ර්ධනයට අත්‍යවශ්‍ය හා වැදගත් බවත්, එය දේශපාලකයන්ගේ හිතේ හැටියට මංකොල්ලකන්න ඉඩ දෙන්න පුළුවන් දෙයක් නොවන බවත් මම පෙන්වා දුන්නා. සී.වී. විග්නේෂ්වරන්, අශෝකා ද සිල්වා, ටී.බී. වීරසූරිය කියන විනිශ්චයකරුවන් තිදෙනා ඉදිරි​යේ කරුණු ඉදිරිපත් කළේ. මුලින්ම මෙම පනතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දුන්නා. මහබැංකුවට පැවරී තිබුණ විදේශ විනිමය පාලනය මහබැංකුවෙන් ඉවත් කරලා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් යටතට ගැනීම – ඉන් රටේ විදේශ විනිමයේ අනාගතය දේශපාලකයන් තීන්දු කිරීමයි සිදුවන්නේ. මෙවැනි සමහර වගන්ති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමයි සිදුවන්නේ. ඒ වගේම ඉන් ජනතා පරමාධිපත්‍යය නැතිවෙනවා. එවැනි තත්ත්වයකදී මේ පනත සම්මත කරනවා නම් තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරලා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි ආදී ලෙසට මම කරුණු දැක්වූවා. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් තිදෙනා තීන්දුවක් දුන්නා. මෙය සම්මත කරනවා නම් තුනෙන් දෙකක ඡන්ද ලබාගෙන ජනමත විචාරණය අනුමැතිය ලබාගත යුතුයි කියලා. මේ තීන්දුව නිසා එදා ඒ ආණ්ඩුවට මෙය කරගත හැකි වුණේ නෑ.

වර්තමානය වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා නේද? අද තිබෙන නෛතිකමය තත්ත්වය කෙබඳුද?

2003 බැරි වුණු කර්තව්‍යය ඔවුන් 2017 ගෙනාවා. ඒ වෙලාවේ මට අධිකරණය හමුවට ගොස් කරුණු දැක්වීමට නොහැකි වුණා. හැබැයි යම් යම් පිරිස් ඊට වෙහෙසිලා තිබුණා. ඒත් මේ පනත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දී තිබෙනවා. එය සිදුවන්නේ නීතිඥවරුන් කරුණු දැක්වීම මතයි.

එදා තිබුණ පනතට වඩා අද තිබෙන පනත භයානකයි. එය අද 2017 අංක 17 දරන විදේශ විනිමය පනත ලෙස සම්මත වෙලා රටේ නීතියක් බවට පත්වෙලා තිබෙනවා.

නව පනතේ අන්තර්ගත රටට අහිතකර තත්ත්වයන් මොනවාද?

මේ පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තේ ජූලි මාසේ 25 වැනිදා. එය කථානායකත් කඩිමුඩියේ අත්සන් කළා. 2017 ජූලි 28 සිට (දවස් තුනකින්) මෙය ක්‍රියාත්මක වුණා.

මේකෙන් වෙලා තිබෙන බරපතළම හානිය තමයි, විදේශ විනිමය මංකොල්ලකෑම්වලට, දූෂණයට, හොර ජාවාරම්වලට, මුදල් විශුද්ධිකරණයට දොරවල් විවෘත කරලා එය නීතියක් බවට පත්කිරීම.

විදේශ විනිමය පාලනය පිළිබඳ අද මහබැංකුවට තිබෙන බලතල මොනවාද? ඒ පිළිබඳව අද නෛතිකව කටයුතු කරන්නේ කවුද?

පසුගිය දවස්වල සහරාන්ලට හිස්බුල්ලට සල්ලි ආව ආකාරය ගැන ගොඩක් ගැටලු මතුවුණා. ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව මහබැංකු අධිපතිගෙනුත් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්ෂ ඩී.එම්. රූපසිංහ, බැංකු නොවන මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ආර්. ජයරත්න යන මහත්වරුන් සාක්ෂි ලබා දුන්නා.

එහිදී මහ බැංකු අධිපතිතුමා ගොඩක් ගනුදෙනු බැංකු හරහා නොයන බව පැවසුවා. ඉස්සර විදේශ විනිමය ගේන්න බෑ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියෙන් ​තොරව; ඒ වගේම විනිමය පාලන අධිකාරියේ අනුමැතියෙන් තොරව. මොන බැංකුවකින් සල්ලි ගත්තත්, කාගෙන්ද ආවේ, කොහොමද ආවේ, කොහෙන්ද ආවේ කියලා තොරතුරු වාර්තා වෙන්න ඕන.

මීළඟට මහබැංකු අධිපතිතුමා හෙළිදරව් කළ කාරණය වූයේ මේ මූල්‍ය පනත සකස් කිරීමේදී මහ බැංකුවේ අදාළ නිලධාරීන් සහභාගි කර නොගත් බව.

මේ අනුව පෙනී යන්නේ මේ පනත මහ බැංකුව පැත්තකින් තියල ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර අරමුදලේ අවශ්‍යතාව මත සැකසූ බවයි. ඉන් රටේ විදේශ විනිමය මංකොල්ල කන්න පුළුවන්. ඒ වගේම හොර ජාවාරම්කරුවන්ට මේ රටේ දොරවල් විවෘත වෙලා තිබෙනවා. මින් ​හොරකම් කරන අය ආරක්ෂා කිරීමයි සිදුවන්නේ.

මේ කතාබහෙන් තවත් දෙයක් පැහැදිලි වුණා. නව පනතට අනුව, 2017 නොවැම්බර් මාසයට කලින් සිදුවූ ගනුදෙනු ගැන විමර්ශනය කිරීමටත් නොහැකි වෙනවා. ඊට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නෑ. සාෆිලට සල්ලි ආව හැටි, හිස්බුල්ලා විශ්වවිද්‍යාලයට කොච්චර සල්ලි ආවද, ත්‍රස්ත කටයුතු සඳහා කොච්චර සල්ලි ආවද ආදී කිසිවක් පිළිබඳ සොයා බැලීමේ හැකියාවක් මහ බැංකුවට නෑ. මින් හොරුන්ට දොරවල් සම්පූර්ණයෙන්ම විවෘත වෙලා තිබෙනවා.

මූල්‍ය විශෝධන පනතින් ඉටුවුණු සේවාව කුමක්ද?

දූෂිත, දාමරික, රාජ්‍ය විරෝධී, ත්‍රස්තවාදී ක්‍රියාවලින් උපයන මුදල් රට තුළට ඒම වැළැක්වීමයි මින් සිදුවුණේ.

සරලව පැවසුවොත් නීතිවිරෝධී කටයුතුවලින් උපයන මුදල්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිරීතිවලට පටහැනිව උපයන මුදල්, ආයුධ වෙළෙඳාමෙන් උපයන මුදල් ආදිය මෙරටට ගෙන ඒම මේ පනත නිසා වැළකුණා.

ඊළඟට බැංකු පනතේ 83 වැනි වගන්තියට පටහැනිව බැංකුවලට වංචනිකව ගේන මුදල්, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් ගෙන එන මුදල්, අන්තර්ජාල අපරාධ මගින් උපයන මුදල්, ළමයි අලෙවි කර උපයන මුදල්, මිනිස් ජාවාරම්වලින් උපයන මුදල් වසර 7 ක සිරදඬුවමක් හෝ මරණීය දණ්ඩනය සහිත වරදක් සිදු කිරීමෙන් උපයන මුදල් ආදී ක්‍රමවලින් උපයන මුදල් ගෙන ඒමයි තහනම් කර තිබුණේ.

ඒත් දැන් මේ පනත වලංගු නෑ. විදේශ විනිමය පාලන පනතම අවලංගු කිරීම ඊට හේතුවයි.

මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ ඉහතින් සඳහන් කළ වැරදි 11 න් යම් වරදක් කළොත් හා මහාධිකරණයේ නඩු අහලා වැරදිකරු වුණොත්, ඒ වරදේ ස්වභාවය අනුව වසර 5 ට නොඅඩු 20 ට නොවැඩි සිරදඬුවමකට යටත්වීම, ළඟ තබාගෙන සිටි මුදලට සමාන දඩයකට යටත් වීම, දේපොළක් ඇත්නම් ඒ හා සමාන තුන් ගුණයක දඩයකට යටත් කිරීම හා දේපොළ සියල්ල රාජසන්තක කිරීම ආදී දඬුවම් ක්‍රියාත්මක කළා.

පසුගිය කාලයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සිදුවීම්වලින් වාසි ලබාගත් පිරිසකුත් ඉන්නවා නේද?

පසුගිය කාලයේ රවි කරුණානායකට විරුද්ධව නඩුවක් තිබුණා. නඩු අංකය HC4648/2009. ඇමෙරිකාවේ ඉන්න රාජ් රාජරත්නම් කියා අපරාධකරුවකු හිරේ ඉන්න පුද්ගලයකුගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන තුනක් රවි කරුණානායක ලබාගැනීම පිළිබඳවයි එය ගොනු කර තිබුණේ. 2006 එම මුදල රවි කරුණානායකගේ ගිණුමට ඇවිත් තිබෙන්නේ. ඒ කාලේ ඩොලර් එකක් රුපියල් 107 යි. එතකොට මේ මුළු මුදල රුපියල් තිස් දෙකෝටි දස ලක්ෂයක මුදලක්. එය ඇවිත් තිබුණේ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ ගිණුමකට. මේ අය මහබැංකු අවසරයකින් තොරව මහබැංකුවට අනාවරණය නොකරමින් තමයි මේ මුදල තැන්පත් කර තිබුණේ. ඒ සම්බන්ධයෙනුයි නඩුව දැම්මේ. 2009 තමයි නීතිපති මහාධිකරණයේ නඩුව දැම්මේ. 2015 විදේශ විනිමය වංචාවක චූදිතයෙක් වෙලා. ඔහු මුදල් ඇමැති ලෙස පත්වුණා. පසුව කොළඹ මහාධිකරණයේ නඩුව කැඳෙව්වා. ඒ මාර්තු මාසයේදී. එදා නීතිඥයා දැනුම් දුන්නා මොහු යහපාලන ආණ්ඩුවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. ඒ නිසා උසාවි ඒමට නොහැකියි කියලා. නඩුව 2015 මැයි 18 ට කල් ගියා. මැයි 18 නඩුවේදී නඩුකාරතුමිය මෙයා මුදා හැරියා. ඊට හේතු වුණේ චෝදනා පත්‍රයේ දිනය වැරදියට සඳහන් කර තිබීම. දිනය නිවැරදි කර නැවත නඩුව යළි ගොනුකරන ලෙස නඩුකාරතුමිය ප්‍රකාශ කළා.

ඒත් නීතිපති එය සිදු කළේ නෑ. වාසුදේව නානායක්කාර මහතා ලියවිල්ලක් ඉදිරිපත් කර නැවත නඩුව දාන ලෙස ඉල්ලා සිටියා. ඒත් දැන් වෙලා තිබෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. අලුත් පනතින් ඊට විරුද්ධව කවදාවත් නඩුවක් දාන්න බෑ. හේතුව එහි පනත සම්මත වීමට පෙර සිදුවූ වැරදි සම්බන්ධයෙන් නඩු දැමීමක් කළ යුතු නම්, එය නව පනත සම්මත කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත නඩු දැමිය යුතු බවට සඳහන් කර තිබීම.

ඒ අනුව 2017 ජූලි 28 පනත සම්මත කළේ. නඩු දානවා නම් ඒ සියලු නඩු 2018 ජනවාරි 28 පෙර දැමිය යුතුයි.

දැන් සාෆිලා, සහරාන්ලා හොර සල්ලි, මේ රටට ගෙනාවානම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු දැමිය නොහැකියි. මේ තමයි හොරු ආරක්ෂා කරපු හැටි. මේ ක්‍රමවේදය අනුමත කරන්න 96 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ටී.එන්.ඒ. 10 ක්, මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිය 11 ක් සහ එක්සත් ජාතික පක්ෂයේ පිරිස.

මීට වඩා භයානක තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි නව පනතට අනුව සීමාරහිතව විදේශ විනිමය ගෙන ආ හැකියි. ඉස්සර රේගුවෙන් පිටරට සල්ලි ගේන ඒවා අල්ලනවා. ඒත් නව පනතෙන් සීමාවක් දක්වලා තිබෙනවා. එය ඉක්මවා ගියොත් දඬුවමක් නෑ.

ඒ වගේම දැන් විදේශ විනිමය පිළිබඳ තීරණ ගන්නේ මහ බැංකු මූල්‍ය මණ්ඩලය නෙවෙයි. ඇමැතිතුමයි ඒ ගැන තීරණ ගන්නේ. මහබැංකුවේ පැවැති බලය දේශපාලනය අත්පත් කර ගෙන තිබෙනවා.

මීළඟට යමෙක් ලංකාවට විදේශ විනිමය ගෙන එනවා නම්, එය ආදායම් බදු කොමසාරිස් දැනුවත් කිරීමකින් තොරව ගෙන ආ හැකි බවට නෛතිකමය තත්ත්වයක් හදලා තිබෙනවා. ඔවුන්ට සියයට එකක මුදලක් ගෙවලා අදාළ මුදල රට තුළට ගෙන ආ හැකියි. (8 වැනි වගන්තිය, 3 කොටස) සීයට එක ගෙව්වට පස්සෙ කිසිදු දඬුවමක් දඩයක් නෑ. මහාපරිමාණ හොරකම් කරන ඕන කෙනකුට කරදරයක් නැතිව ලංකාවට මුදල් ගේන්න පුළුවන්. ඒ වගේම තමා කැමැතිනම් විදේශ මුදල් විදියටමත් ඒවා තබාගන්න පුළුවන්. මෙය කළු සල්ලි සුදු කිරීමේ පනතක් ලෙසයි මා දකින්නේ.

මීළඟට කෙටුම්පතේ නොමැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ඇතැම් ​තොරතුරු පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා. මෙය බිහිසුණු අපරාධයක් ලෙසයි මා දකින්නේ. මෙය හොරුන්ගේ, තක්කඩියන්ගේ, මංකොල්ලකරුවන්ගේ අවශ්‍යතා සඳහා ලයිසන් දීමක්.

– කුමාරි හේරත්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *