පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණය නිවැරදියි – සරත් ෆොන්සේකා

(13.08.2019 – 17:59 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා භාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණය නිවැරදි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද (13) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.

“නීතිය හා සාමය අමාත්‍යධුරය මට නිර්දේශ කළා. විවිධ හේතු දක්වමින් එය ප්‍රතික්ෂේප කළා. එදා ඒ වගකීම මට භාරදුන්නා නම් පාස්කු ඉරිදා ප්‍රහාරයට මම ඉඩ තියන්නේ නැහැ. 2018 වසරට ආරක්ෂක කවුන්සිලය. පවත්වා ඇත්තේ 8 වතාවයි. 2019 වසරේ අවස්ථා 2 කදී විතරයි

මම හමුදාපති ලෙස ඉද්දි. සෑම බදාදා දිනකම ආරක්ෂක කවුන්සිලය තිබ්බා. මරාගෙන මැරීමට අවි පුහුණුව ලැබු ත්‍රස්තවාදීන්. තාම අත්අඩංගුවට ගෙන ඇත්තේ 50%. හඳුනාගත් ලැයිස්තුවල 130 ක් ඉන්නවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 ක පමණ පිරිසක්. ත්‍රස්තවාදය තුරන් කිරීමට උපාය මාර්ගයක් නැහැ

ආරක්ෂාව භාර අයගේ ප්‍රමුඛතාවය දේශපාලනයට. ජනාධිපති අපේක්ෂකයෝ 2 ක් ගැන කතා කරනවා. පක්ෂය විසින් තෝරාගත් අපේක්ෂකයා. තමා විසින්ම තමා තෝරාගත් අපේක්ෂකයා. රැස්වීම්වල දැකපු දේ.

කලු ටී ෂර්ට් එකයි – ඩෙනිමයි ඇඳගෙන අඳින පළඳින හැටියෙන් විනය පේනවා. සියලු දෙනාගේ පඩිය 50,000 ක් කරනවලු. හොර සල්ලි අච්චු ගහන්නද?

පෝසතුන්ගේ සල්ලි දුප්පතුන්ට ලබාදෙනවා. සරදියෙල්ද ඉන්නේ? තාත්තා කරපු තැන සිට කරගෙන යනවලු. තාත්තා ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන්නා. පොලිස් නිලධාරින් 600 කට අණ දුන්නා ත්‍රස්තවාදීන්ට යටත් වෙන්න කියලා. අනිත් රැස්වීමේ කරුණා අම්මාන් හිටියා. එයා 600 දෙනාව ඝාතනය කළා. තාත්තා කරපු දේ කරන එක භයානකයි.”

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සදහන් කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළු ත්‍රස්තවාදීන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

+++++++++++++++++++++

***************************************

උඩරට මාර්ගයේ ධාවනයට චීනයෙන් ආ S-14 දුම්රිය කොළඹ වරායට ගොඩබායි

(13.08.2019 – biz.adaderana.lk)

චීනයෙන් ආනයනය කළ අති නවීන S-14 බලවේග කට්ටල දුම්රිය අද (13) කොළඹ වරායෙන් ගොඩබෑවේය. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10.3 කි. එනම් රුපියල් මිලියන 1839.5 කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන එයි.

අති නවීන S-14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වෙයි. භෝජන මැදිරියක්ද ඒ අතරේ ඇත. ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල ධාවනය කිරීම පහසු නොවන්නේ එම මාර්ගය බෑවුම් සහිත සහ වංගු සහිත වීම නිසාය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී දුම්රිය හිඟයකට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටී. ඊට පිළියමක් වශයෙන් එම මාර්ගයේ ධාවන කළ හැකි බලවේග කට්ටල නවයක් චීනයෙන් ආනයනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණ. අද මෙරටට ගොඩබෑවේ එයින් එක් කට්ටලයකි. ඉතිරි අට ඉදිරි දින කිහිපයේදී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ. එම බලවේග කට්ටල අතර වායු සමනය කළ මැදිරි හතරකින් යුක්ත බලවේග කට්ටල තුනක්ද වෙයි. එම බලවේග කට්ටල යොදා ගනිමින් නගරාන්තර දුම්රිය සේවාවක් ආරම්භක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි ෴

***************************************

Ven. Galagodaaththe Gnanasara Thero (12-08-2019)
මේ සිංහල අපගෙ රටයි – අප ඉපැදෙන මැරෙණ රටයි … (නන්දා මාලනී දේවිය)
රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි … (පණ්ඩිත් අමරදේව සූරින්)

***************************************

ලංගමය වලපල්ලට යවන්න හදන සටකපටයන් ගැන ‘හිරු CIA’ අනාවරණය

(13.08.2019 – 20:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පොදු ගමන් සේවාවල වැඩි කාර්යභාරයක් සිදු කරන ලද්දේ ලංකා ගමනා ගමන මණ්ඩලය හෙවත් ලං.ග.ම යි.

එහෙත් නිදහසින් පසු තට්ටු මාරු ක්‍රමයට මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ හා ලංගමයේ ඇතැම් නිලධාරීන් එම සාර්ථක පොදු ගමනාගමන සේවය වලපල්ලට යැවීමට කටයුතු කළ බව නොරහසක්.

අද CIA අනාවරණය ද ලංගමය තව තවත් අගාධයට ඇද දැමීම සදහා නිලධාරීන්ගේ සටකපට ක්‍රියාදාමයක් පිළිබදවයි.

දිවයින පුරා ඇති ඩිපෝවලට අයත් ලංගම බස් රථවල සිදුවන කාර්මික දෝෂ, නවීකරණ, පින්තාරු කටයුතු ආදී සේවාවන් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපළ තුළ සිදුකෙරෙනවා.

මෙතෙක් කලක් ලංගම බස් රථවල එන්ජින් බෝර් කිරීම, හෙඩ් ෆේස් කිරීම, පට්ටල් කටයුතු සිදුකරන ලැබුවේ මීට වසර 40 කට පමණ පෙර මෙරටට ගෙන්වන ලද යන්ත්‍ර සුත්‍ර හරහායි.

ජර්මනිය, එංගලන්තය ආදී රටවලින් ආනයනය කරන ලද ඉතා උසස් තත්ත්වයෙන් යුතු මේවා අදටත් කිසිදු දෝෂයකින් තොරව ක්‍රියාත්මක වනවා.

එහෙත් හිරු සී.අයි.ඒ.අනාවරණය කර ගත්තේ ඉතා උසස් තත්ත්වයේ ක්‍රියාත්මක මට්ටමේ පවතින මේ යන්ත්‍ර මෙසේම පවතිද්දී කොමිස් කුට්ටි හරහා තම මඩිය තර කර ගැනීමේ අරමුණින් නිලධාරීන් කිහිපදෙනෙකු චීනයෙන් තත්ත්වයෙන් බාල යන්ත්‍ර සුත්‍ර මෙම ප්‍රාදේශීය වැඩපලට ඇනවුම් කර ඇති බවයි.

එම යන්ත්‍ර සුත්‍ර ස්ථානගත කිරීම සදහා නව යන්ත්‍රාගාරය නමින් ස්ථානයක් ද අධික මුදලක් වැය කරමින් සකස් කර තිබෙන්නේ මෙලෙසයි.

එහෙත් විමතිය දනවන කරුණ වන්නේ නිලධාරීන් කොමිස් කුට්ටි ගිල දමා චීනයෙන් ආනයනය කර ඇති එම යන්ත්‍ර සුත්‍ර භාවිතයට ගැනීමටත් ප්‍රථම අක්‍රීය මට්ටමේ පැවතීමයි.

හිරු සී.අයි.ඒ.කළ ගවේෂණයේදී හෙළිවුයේදී මේ වනවිට ලහි ලහියේ මෙම බාල තත්ත්වයේ ආනයනික යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට ගැනීමට දිවා රෑ නොබලා අළුත්වැඩියා කටයුතු සිදුකරන බවයි.

***************************************

නාට්‍ය කලාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදෙන්න ‘ඩ්‍රාමා’ සඟරාව හරහා උත්සාහ කරනවා

(13.08.2019 – saaravita.lk)

‘Theatre works production’ හි ප්‍රකාශනයක් වන ඩ්‍රාමා ද්විමාසික සඟරාවේ මංගල කලාපය පසුගියදා එළිදැක්විය. මෙය නිමිති කර ගනිමින් එහි ප්‍රධාන සංස්කාරක ජෙහාන් ශ්‍රිකාන්ත් අප්පුහාමි මහතා අප සමග මෙසේ සම්මුඛ විය.

නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් සඟරාවක් නිර්මාණය කරන්න අදහස් කරන්නේ ඇයි?

ලංකාවේ නාට්‍ය කලාව තුළ ලොකු අර්බුදයක් තියනවා. මේ මොහොතේ ලංකාවේ සිටින බහුතර ප්‍රේක්ෂකයින් පිරිසක් වැළැඳගෙන සිටින්නේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින නාට්‍ය කිහිපයක් විතරයි. රාජ්‍ය නාට්‍යය උළෙලේ අවසන් වටය නියෝජනය කරන නාට්‍යවලට මේ තත්ත්වය මත පැවැත්මක් නැතිවෙලා තිබෙනවා. මේ නිසා රාජ්‍ය නාට්‍ය උළෙල හෝ යෞවන නාට්‍ය උළෙල නියෝජනය කර පසු එම නාට්‍ය වේදිකාගත කිරීම අවසන් වෙනවා. එම නාට්‍යය කොළඹින් පිට පළාත්වල වේදිකාගත වෙන්නේ නැහැ. දැන් නාට්‍ය සංවිධායකවරු තමයි නාට්‍ය ගැන තීරණ ගන්නේ. මේ ක්‍රියාවේදි ගුණාත්මක බවෙන් වැඩි නාට්‍යය දුර පළාත්වලට යන්නේ නැහැ. මේ ප්‍රේක්ෂකයින්ට සම්භාව්‍ය නාට්‍යය හරියන්නේ නැහැ, මේ අයට හරි යන්නේ කොමඩි නාට්‍යය කියලා ඔවුන් තමයි තීරණය කරන්නේ. ඒ ප්‍රවණතාවය මේ මොහොතේ ලංකාවේ පවතිනවා. අපිට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා අපි බැලුවා.

මුලින්ම ගුණාත්මකත්වයෙන් ඉහළ නාට්‍ය ගමට ගෙනියන වැඩපිළිවෙළක් ආරම්භ කළා. අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල නාට්‍ය පෙන්වන්න තමයි තීරණය කළේ. නමුත් රට තුළ ඇතිවූ වාතාවරණයත් සමගින් එය සිදුකරන්න නොහැකි වුණා. ඉන්පසුව අපි තීරණය කළා ‘Drama’ නමින් ද්විමාසික සඟරාවක් කරන්න.

‘Drama’ ද්විමාසික සඟරාවේ අන්තර්ගතය ගැන කතා කළොත්?

මේ සඟරාව තුළින් අපි ලෝක නාට්‍ය කලාව, ලංකාවේ නාට්‍ය කලාව ගැන කතා කරනවා. අපි මෙවර සඟරාවෙන්, ෂෝන් පෝල් සාත්‍රෙගේගේ දර්ශනය මත පදනම් වු නාට්‍ය,ඔහුගේ ජීවිතය ගැන තමයි කතා කරන්නේ. ඔහුගේ නිර්මාණ ඇසුරෙන් ලංකාවේ පරිවර්තන නාට්‍යය මොනවද ආදි බොහෝ කාරණා ගැන කතා කරනවා. උදාහරණයක් විදිහට ඔහුගේ නාට්‍යයක් තමයි ‘Men Without Shadow’ කියන වේදිකා නාට්‍යය. ඒ නාට්‍යය ඇසුරෙන් තමයි ධර්මසිරි බණ්ඩාරනායක ‘ධවල භීෂණ’ වේදිකා නාට්‍යය නිර්මාණය කරන්නේ. මේ නාට්‍යය පෙන්වූ වකවානුව ඒ නාට්‍යය පසුබිම් වූ කාලය ගැන ආදි දේවල් මේ තුළ විවරණය කරනවා. ධර්මසිරි බණ්ඩාරනායක, කෞෂල්‍යා ප්‍රනාන්දු, ජැක්සන් ඇන්තනී යන ඒ නාට්‍යයට දායක වූ අයගේ සම්මුඛ සාකච්ඡාවකුත් පළවෙනවා. ඒ වගේම පාසල් නාට්‍ය කලාව ගැනත් අවධානය යොමු කරනවා. මේ මොහොතේ පාසල් නාට්‍ය කලාවේ අර්බුද, ගැමි නාට්‍ය කලාව, ආලෝකකරණය, වේෂ නිරූපණය ආදි දේවල් මේ තුළින් සාකච්ඡා කරනවා.

මෙවැනි සඟරාවකින් පවතින තත්වයට යම් සාධනීය දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවද?

අපිට මේ සඟරාව සඳහා සංස්කෘතික අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සහයෝගයක් ලබාදෙනවා. විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අනූෂා ගෝකුල අධ්‍යක්ෂකතුමිය හා අධ්‍යාපන අමාත්‍යංශයේ නාට්‍ය හා රංග කලාව භාරව ඉන්න අලහකෝන් යන අය ලොකු සහයෝගයක් ලබාදෙනවා. මේ සඟරාව පාසල්වල ඉන්න ගුරුවරුන් අතට පත් කිරීමේ මාර්ගයක් අපි නිර්මාණය කරගෙන තියනවා. බොහෝ විට මේ ගුරුවරුන්ට නරඹන්න වෙන්නේ සිලබස් එකේ තිබෙන සරච්චන්ද්‍ර මහත්මයාගේ වේදිකා නාට්‍ය පමණයි. එසේත් නැත්තම් කොළඔ ඉන්න සංවිධායකවරුන් පෙන්වන ප්‍රමිතියෙන් බාල නාට්‍ය තමයි නරඹන්න සිද්ධවෙලා තියෙන්නේ. රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ නාට්‍යයක් බලන්න වෙන්නෙම නැහැ. එවැනි නාට්‍යය ප්‍රේක්ෂකයින් බලන්නේ නැහැ කියලා සංවිධායකවරු තීරණය කරලා ඉවරයි. අපි මෙම සඟරාව තුළින් මෙවැනි නාට්‍ය ගැන කතා කරනවා. ලෝක නාට්‍ය කලාව හා ලාංකේය නාට්‍ය කලාව ගැන කතා කරනවා. අපේ ඉලක්කගත පාඨකාගාරය කුඩා කුලකයක් වෙන්න පුළුවන්, නමුත් ඒ පිරිසට හරි මේ පවතින දේවල් ගැන නිවැරදිව ලබාදෙන්න පුළුවන් හොඳම මාධ්‍ය විදිහට තමයි මම මේ සඟරාව දකින්නේ..

‘Drama’ සගරාව පාඨකයින් අතට පත්වෙන්නේ කොහොමද?

ද්වි මාසික සඟරාවක් ලෙස තමයි මෙය නිකුත් වෙන්නේ. නාට්‍ය හා රංග කලාව හදාරන පාසල් ළමයින්, විශ්වවිද්‍යාලවල ඉගෙනගන්නා විද්‍යාර්ථයින්ට මෙය ඉතා වැදගත් සඟරාවක් වෙයි. ඉදිරියේදි අපේ ආයතනය මගින්, පාසල් ළමුන්ට සහ නාට්‍ය හා රංග කලාවට කැමැත්තක් දක්වන පිරිස්වලට වැඩමුළු පවත්වන්න කටයුතු කරනවා. එවන් අවස්ථාවල මේ සඟරාව ලබාගන්නත් පුළුවන්. ෆේස්බුක්හි පවතින ‘Drama’ යන අපේ ජේජ් එකට තොරතුරු ලබාදී තැපෑලෙන් සඟරාව ගන්නත් පුළුවන්. ඒ වගේම ඉදිරියේදි අපි මේ සගරාව ඊ බුක් එකක් විදිහට එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා.

දු.ක. අංක :
076 021 3077
076 027 4276

– නිදුක් මදුෂික

+++++++++++++++++++++

https://www.facebook.com/jehan.appuhami
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *