සතුරා ගැන අධ්‍යයනය කර ඇතැයි හමුදාපති කියයි

(15.08.2019 – 12:23 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී මුහුණදිය යුතු සතුරා පිළිබඳව නිවැරදි අධ්‍යනයක් සිදුකර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

මහනුවරදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

‘ආනමාලු රංග’ගේ ඝාතනයට අදාළව කඩු දෙකක් සමඟ පුද්ගලයින් 3 ක් STF අත්අඩංගුවට

(16.08.2019 – 08:04 +0530 – sinhala.adaderana.lk)

ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසලදී ඊයේ පස්වරු 04:15 ට පමණ මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින්, අවමංගල්‍ය කටයුත්තකට සහභාගී වීම සඳහා සුසාන භූමියට පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනකුට මන්නා පිහිවලින් පහරදී ඝාතනය කර තිබුණි.

පහරදීමෙන් අනතුරුව අදාළ පුද්ගලයින් ත්‍රිරෝද රථයකින් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

පහරදීමෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ආනමාලු රංග’ නමැත්තා බවට හඳුනාගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක පල කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අදහස් දැක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද දෙරණට පවසා සිටියේ, කනත්තේ දමා ගොස් තිබු ත්‍රීරෝද රථය ‘කුඩු රොෂාන්’ගේ බිරිඳට අයත් බවට තහවුරු වි ඇති බවයි.

ත්‍රීරෝද රථයේ තිබුණු ලිපිනය අනුව පරීක්ෂණ පැවැත් වීමට එම නිවස යෑමේ දි එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++++++++++++

15-08-2019

+++++++++++++++++++++

ආනමාලු රංග ඝාතනයට තුන් දෙනෙකු අත්අඩංගුවට

(16.08.2019 – 07:42 +0530 – hirunews.lk/sinhala)

පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ මොහොමඞ් ඉම්රාන් නැමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදියි. මෙහිදී වානේ කඩු දෙකක්, රබර් මිට සහිත මොට ආයුධයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් ද සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පාතාල සාමාජික ආනමාලු රංග සහ මොහොමඩ් ඉම්රාන් මාදම්පිටිය පොදු සුසාන භූමියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබුණා ෴

***************************************

රතු පොල් කුරුමිණියා මට්ටු කරන්න ලංකාවේ ඉංජිනේරුවන් දෙපලක් සුදානම්

(16.08.2019 – 08:50 +0530 – sinhala.adaderana.lk)

පොල් වගාව වනසන රතු පොල් කුරුමිණියා ගෙන් ගස්වලට වී ඇති හානිය කල් තබා හඳුනා ගත හැකි සංවේදක උපකරණයක් මෙරට ඉංජිනේරුවරුන් දෙපලක් විසින් නිර්මාණය කර තිබේ.

පොල් වගාව විනාශ කරන විවිධ කෘමීන් පිළිබඳව කලින් කල වාර්තා වන අතර එලෙස අලුතින්ම වගාවට බලපෑම් කළ බවට හඳුනාගැනුනේ රතු පොල් කුරුමිණියායි.

මෙම කුරුමිනියා පොල් ගසේ කඳ කොටසේ සිදුරුවල බිත්තර දමන අතර ඉන් බිහිවන කීටෑවන් පසුව පොල් ගසේ කඳට ඇතුළතින් හානි සිදු කරනු ලබයි.

එම හානිය හඳුනා ගැනීම අසීරුබැවින් එය දැනගතහැකි වන්නේ පොල්ගස මියගිය පසුවයි.

මෙරට ඉංජිනේරුවරුන් දෙදෙනකු මෙම රතු පොල් කුරුමිනියා බෝ වී ඇති පොල් ගස් කල්තබා හඳුනාගැනීම සඳහා සංවේදක උපකරණයක් නිර්මාණය කර සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබේ.

මෙහිදී අද දෙරණට අදහස් දක්වමින් ආචාර්ය ත්‍රිෂාන්ත නානායක්කාර මහතා පවසා සිටියේ, රතු පොල් කුරුමිණියා ලෝකයේ රටවල් 60 ක පමණ තාල වර්ගයේ ශාක 40කට පමණ හානි කරන බවයි.

ලංකාවේ පොල් ඵලදාවෙන් සියයට 10ක් පමණ මෙම කුරුමිණියා හේතුවෙන් විනාශ වන බවත් එය මුදල්වලින් නම් රුපියල් මිලියන 300 ක පමණ හානියක් බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මතුපිටින් පෙනෙන ලක්ෂණ හඳුනා ගැනීමේ දී ගසේ කොළ කහ පැහැති වීම හා ශ්‍රාවය ගැලීම වැනි ලක්ෂණ මතු පෙන විට ගස විනාශ වී අවසන් බවද ඔහු කියා සිටියේය.

ඉංජිනේරු හසිත බණ්ඩාර වේගිරිය මහතා මෙහි ක්‍රියාකාරීත්වය ගැන පහදමින් කියා සිටියේ, එම උපකරණය ශාකයට සම්බන්ධ කිරීමෙන් පසුව App එකක් මඟින් එහි ශබ්දයන් පටිගත කළ හැකි බවත් එයින් එම ගසට සෑදී ඇත්තේ රතු කුරුමිණි රෝගය ද කියා නිශ්චිතව දැන ගැනීමෙන් ප්‍රතිකාර කළ හැකි බවයි.

***************************************

නීති උපදෙස් අවශ්‍ය නම් සම්පූර්ණ ලිපිගොනු ඉදිරිපත් කරන්න – නීතිපතිගෙන් උපදෙස්

(15.08.2019 – 17:23 +0530 – sinhala.adaderana.lk)

උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යොමුකිරීමේදී අදාළ නෛතික ප්‍රතිපාදන අනුකූලව සම්පූර්ණ කරනලද ලිපිගොනු යොමුකරණ මෙන් සියලු පොලිස් ස්ථානවලට දැනම් දෙන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දි තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා සඳහන්කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට එවා ඇති ලිපි ගොනුවල අසම්පූර්ණතා ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි.

මේ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහන කණ්ඩායමක පුද්ගලයින් 17 දෙනෙකු ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගැරනීම, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීම යන සිද්ධිවල විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කරන ලෙසද නීතීපතිවරයා පොලීසියට උපදෙස් ලබාදී තිබේ ෴

***************************************

සහරාන්ගේ බිරිඳ ගෙන් අධිකරණයට, රහස් ප්‍රකාශයක්

(16.08.2019 – 07:22 +0530 – hirunews.lk/sinhala)

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඇය ඊයේ මෙලෙස එම ප්‍රකාශය ලබාදී ඇත්තේ මරාගෙන මැරුණු සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවැත් වූ අවස්ථාවේදීයි.

අදාළ මරණ පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට සහරාන් හෂීම්ගේ බිරිඳ, ඔවුන්ගේ දියණිය සහ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පියා සහ තවත් ඥාතියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ තවත් ගෝලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට

(15.08.2019 – 19:47 +0530 – hirunews.lk/sinhala)

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණුව ලැබූ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සාමාජිකයන් තුන්දෙනෙකු, අම්පාර පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මතයි.

ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු නුවරඑළිය කඳවුරේත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට කඳවුරේත් පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.

පසුගිය දින කිහිපයේ සහරාන් හෂීම් සමඟ පුහුණුව ලැබූ තවත් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම සිද්ධීන් වාර්තා වුණේ ද අම්පාර ප්‍රදේශයෙන් ෴

***************************************

බොරු සාක්ෂි දුන්නොත් අභියාචනාධිකරණයට – ජනපති කොමිසමෙන් අවවාද

(16.08.2019 – 07:12 +0530 – hirunews.lk/sinhala)

සාක්ෂිකරුවෙකු කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම අභියාචනාධිකරණය දක්වා ගෙන යා හැකි වරදක් බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති, විනිසුරු උපාලි අබේරත්න පවසනවා.

එම කොමිෂන් සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබාදුන් මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්‍යක්ෂ ජීවානන්ද වෛද්‍යදාසට අවවාද කරමිනුයි විනිසුරුවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

වත්මන් අමාත්‍යවරයෙකු වන හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ නියෝග මත මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනෙකු සහ ව්‍යාපෘති සඳහා උපදේශකවරුන් 102 නෙකු බඳවා ගැනීමට අදාළව සාක්ෂි විමසීම ඊයේ සිදුවුණා.

එහිදී එම පත්වීම් සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බව සාක්ෂිකරු කියා සිටිය ද, අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවලින් සහ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කමිටුව මගින් එම පත්වීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවශ්‍ය බවයි රජයේ නීතිඥවරයා කොමිෂන් සභාව හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ.

මේ අතර, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් ඊයේ දින කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ තමාට දුරකතනය මඟින් අමතා වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ ගබඩාව ලබාදිය හැකි දැයි විමසූ බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධව ගුවන් තොටුපළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු චරිත රත්වත්තේට, වී ගබඩා කළ හැකි බව ලිඛිතවම දැන් වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් ප්‍රකාශ කර ඇත්තේ.

වී ගබඩා කිරීමෙන් පසුව කැබිනට් අනු කමිටුවක අනුමැතියක් ඒ සඳහා ලැබුණු බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා තමාට දන්වා සිටි බවද ඔහු වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

හබරණ දී ටිපර් රථයක ගැටුණු වෑන් රියක සිටි, තුන් දෙනෙකු මරුට

(16.08.2019 – 06:53 +0530 – hirunews.lk/sinhala)

හබරණ – දඹුළු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොළොන්නරුව සිට දඹුල්ල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ පොළොන්නරුව දෙසට ධාවනය කරමින් තිබූ වෑන් රථයක්.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මහනුවර මහරෝහලට මාරු කර යවා තිබෙනවා.

ටිපර් රථයේ සහ වෑන් රථයේ රියදුරන් දෙදෙනාගේම අපරික්ෂාකාරී ධාවනය අනතුරට හේතු වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

***************************************

යුක්තිය ඉටු කිරීමට ආරක්ෂක අංශ නිර්භයව ක්‍රියාකළ යුතුයි

(15.08.2019 – 22:13 +0530 – hirunews.lk/sinhala)

කිසිදු බලපෑමකට යටත් නොවී මහජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් නිර්භයව ක්‍රියාකළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

නියෝජ්‍ය පොලිස්පති හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ත ත්‍රිත්වයක් එළිදැක්විමේ උත්සවයට අද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වුණා.

එහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් :

***************************************

හම්බන්තොටිනුත් රෝහල් අපද්‍රව්‍ය හමුවෙයි

(15.08.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – ගොන්නොරුව මහවැලි රක්ෂිත ප්‍රදේශයේ සායනික අපද්‍රව්‍ය වළදමා තිබියදී හම්බන්තොට පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව සායනික අපද්‍රව්‍ය හම්බන්තොට ප්‍රදේශය අවටින් හමුවූ තුන්වන අවස්ථාව මෙයයි.

හම්බන්තොට – ගොන්නොරුව – කැටන්වැව මහවැලි රක්ෂිතය ප්‍රදේශයට කිසියම් පිරිසක් විසින් සායනික අපද්‍රව්‍ය විශාල තොගයක් රැගෙන විත් වළදමා ඇති බවට ප්‍රදේශ වාසියෙකුගෙන් පොලීසියට ලද තොරතුරක් මත හම්බන්තොට මූලස්ථාන පොලීසිය, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හා මහවැලි නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී දැක ගත හැකිවුණේ මෙලෙස රක්ෂිත ප්‍රදේශය එළිකර විශාල වළක් කපා අපද්‍රව්‍ය වළදමා ඇති ආකාරයයි.

ඔවුන් කසල ගෙන ආ බවට සැකකෙරෙන බහාලුමක්ද මෙලෙස අත්හැර දමාගොස් තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මිට පෙර මොනරාගල සෙවනගල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව රෝහල් රසායනික අපද්‍රව්‍ය බැහැර කර තිබියදී හමුවුණා.

සෙවනගල – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ ඉඩමක සහ කුමාරපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළදමා තිබියදී හමු වූ රෝහල් අපද්‍රව්‍ය අතර මිනිස් සිරුරු කොටස් සහ රුධිර සාම්පල ලබාගත් සිලින්ජර ද දැකගත හැකිවුණා.

මේ අතර මුතුරාජවෙළ තෙත්බිමට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට වත්තල ප්‍රාදේශීය සභා සභාපතිවරයා අවසර ලබාදීම සම්බන්ධයෙන් ද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පලවුණා.

***************************************

වත්මන් රජය වැරදි සොයන්න කොමිසමක් පත් කළ යුතුයි – අජිත් ප්‍රසන්න

(15.08.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය රණවිරුවන් පිළිබඳව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සොයා බැලීමට මීළඟට පත්වන ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

***************************************

ගෝඨාභය ජනපති අපේක්ෂකයා කිරීම ගැන ෆොන්සේකා කළ ප්‍රකාශයට මන්ත්‍රී රෝහිතගෙන් පිළිතුරු

(15.08.2019 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරා ගැනීම පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අදහස් පළ කළේ රට ගැන සිතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදාගනී

(15.08.2019 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කතරගම ඵෙතිහාසික කිරිවෙහෙර, සෑරඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත්තා.

ඒ, මහනුවර සංචාරය නිමාකිරීමෙන් අනතුරුවයි.

ඔහු අද පෙරවරුවේ මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු පියතුමන් හමුවුණේ කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි උන්වහන්සේගේ නිල නිවසේදීයි. පසුව කතරගම පුදබිමට පැමිණි ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

පළමුව කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දුටු හිටපු ආරක්ෂක ලේකම්වරයා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගත්තා.

එහිදී පහන් 84,000 ක ආලෝක පූජාවක්ද සිදුකිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *