අමරපුර සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කෙරේ

අමරපුර-රාමඤ්ඤ නිකායන් එක්වෙයි

(16.08.2019 – 16:52 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන් අද (16) එක් සංඝසභාවක් බවට පත්කෙරුණි.

මේ අනූව එම නිකායන් ‘ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ ලෙසින් අද සිට ක්‍රියාත්මක වනු ඇත.

අති පූජ්‍ය වැලිතර ඥානවිමලතිස්ස මහ නා හිමියන් බුරුමයේ අමරපුරයේදී උපසම්පදා වී මෙරටට වැඩම කොට 1802 දී ‘ශ්‍රී ලංකා අමරපුර නිකාය’ ආරම්භ කළ අතර ‘ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය’ මෙරට බිහි වූයේ‍ 1863 දී බුරුමයේ රාමඤ්ඤ දේශයේ සිට වැඩම කළ අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර ඥානසාමි නා හිමිගේ මූලිකත්වය ඇතිවයි.

එම නිකායන් දෙක අතර වසර කිහිපයක් මුළුල්ලේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රටේ ජාතික, ආගමික හා ශාසනික කටයුතු වලදී එක්ව ක්‍රියාකිරීම සඳහා ‘ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ පිහිටුවීමට තීරණය කෙරුණු අතර ඊට අදාල සම්මුතියට අද කොළඹදී අත්සන් තැබුණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පෙමසිරි හිමියන් විසින් මෙම සම්මුතියට අත්සන් තබනු ලැබුවේය.

+++++++++++++++++++++

***************************************

සැක සහිත ඉන්දීය බෝට්ටුවක් දෙහිවල වෙරළට

(16.08.2019 – 20:04 +0530 – hirunews.lk/sinhala)

සැක සහිත බෝට්ටුවක් දෙහිවල මුහුදු තීරයට ගොඩ ගසා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ වයි.ආර්.සේරසිංහ කියා සිටියේ මෙම බෝට්ටුව ඉන්දියාවේ සිට ගසාගෙන පැමිණි ධීවර බෝට්ටුවක් බවට සැක කරන බවයි.

සැක සහිත මෙම බෝට්ටුව ගොඩගසා තිබුණේ ඊයේ රාත්‍රි 10 ට පමණ දෙහිවල මුහන්දිරම් පටුමග ආසන්නයේ ඇති වෙරළ තීරයටයි.

මේ පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ පොලිසිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

එහි තිබී ඩීසල් සහිත බූලියක් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයක් පොලිසිය සොයාගත් අතර, අදාළ බෝට්ටුවේ එන්ජිමක් දක්නට ලැබුණේ නැහැ.

බෝට්ටුවේ බඳෙහි කිසිවෙකුගේ ලිපියක් සහ දුරකතන අංකයක් සටහන්ව තිබූ අතර, අප කළ විමසා බැලීමේදී හෙලි වුණේ එය තමිල්නාඩු ප්‍රාන්තයේ කාදියාපට්ටනම් ප්‍රදේශයේ බෝට්ටු නිෂ්පාදන ආයතනයක ලිපිනයක් බවටයි.

පොලිසිය සඳහන් කළේ එම බෝට්ටුවෙන් කිසියම් අයෙකු පැමිණ ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවයි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව බෝට්ටුවේ සඳහන් තොරතුරු පිළිබඳව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ වයි.ආර්.සේරසිංහ කියා සිටියේ පසුගිය දිනවල පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙය තමිල්නාඩුවේ සිට මෙරටට ගසාගෙන විත් ඇති බවට සැක කරන බවයි.

බෝට්ටුව මේ වනවිට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන අතර, මේ සම්බන්ධයෙන් නාවික හමුදාවද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

***************************************

සියලු අපේක්ෂකයින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න සංඝරත්නය ඉදිරියේ පෙරොන්දු විය යුතුයි

(17.08.2019 – 06:42 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට සංඝරත්නය ඉදිරියේ පෙරොන්දුවිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ ඔවුන් සියලු දෙනා තම ප්‍රතිපත්ති ප්‍රකාශය කඩිනමින් එළිදැක්විය යුතු බවයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඇල්ලේ ගුණවංශ හිමි මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමි කියා සිටියේ 13 වන ව්‍යවස්ථාව හේතුවෙන් ජිවිත රැසක් විනාශ වූ බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් තවත් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

(16.08.2019 – news.navy.lk)

නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් 2019 අගෝස්තු 15 වන දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසලින් ගලා බසින කටු ඇල පිරිසිදු කිරීම සඳහා කටයුතු කරන ලදී.

එම ඇළ මාර්ගය අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලඡ පැලෑටි වලින් අවහිරව තිබූ අතර, එමඟින් ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව ද නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇත. ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම ඇල මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර, මෙම කර්තව්‍ය සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් යෙදවිමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලඡ පැලෑටි වලින් අවහිරව ඇති ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර අලංකාරවත් අයුරින් සහ ප්‍රයෝජනයට ගත හැකි පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරන අතර, ඒ සඳහාම වෙන්වු විශේෂ ඒකකයක් නාවික හමුදාව තුළ ස්ථාපිත කර ඇත. ඒ අනුව එම ඒකකය මඟින් විනාශයට ලක්වෙමින් තිබෙන ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.

***************************************

රට සංවර්ධනය කළ හැකි ප‍්‍රායෝගික සැළැස්මක් අප සතුයි

(16.08.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (16) උදෑසන තිස්සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිපති, මාතර කඳබොඩපත්තුව ඇතුලු හම්බන්තොට ප‍්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනතා පිළිගැනීම් රැසකට සහභාගි විය.

ජනතා හරසර හා ආශිර්වාද මධ්‍යයේ පිළිගැනීම් රැසකට එක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අම්බලන්තොට හන්දියේදී ජනතාව අමතමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජාතික මහා සම්මේලනයේදී අනාගත ජනාධිපතිධූර අපේක්ෂකයා වශයෙන් තමන්ගේ නම යෝජනා කළ අවස්ථාවේදී සදහන් කළ ආකාරයටම රටේ ආර්ථිකය නගා සිටුවිය හැකි, ආරක්ෂාව තහවුරු කළ හැකි, සංවර්ධනය ඉක්මන් කළහැකි ප‍්‍රායෝගික ක‍්‍රමවේදයක් ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

සියලු ජාතීන්ට සමානාත්මයෙන් ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමද තමන්ගේ වගකීමක් කොට සලකන බව ද හෙතෙම සදහන් කළේය.

විශේෂයෙන් කෘෂිකර්මාන්තයෙන් සහ ධීවර වෘත්තීයෙන් යැපෙන ජනතාවගේ ආර්ථිකය යහපත් කළ හැකි ක‍්‍රමවේදයක් සැකසීම කෙරෙහි අවධානය යොමු කරන බවද එහිදී ඒ මහතා පැවසීය.

එසේම රන්මිනිතැන්න, මුරපොල කඩේ හන්දිය, තිස්ස මහාරාම නගරය, දෙබරවැව ඔරලෝසු හන්දිය, වීරවිල නගරය, පල්ලෙමලල හන්දිය, ගබඩා හන්දිය, එම්. ආර්. සී. සී. හන්දිය, අම්බලන්තොට නගරය, අගුණකොලපැලැස්ස හන්දිය ආදී ස්ථානවලදී ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා උත්සව රැසක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද එක්ව සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ති‍්‍රවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මුල් තැන දෙමින් අනුරාධපුරයේ ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව මහනුවරට පැමිණ ආගමික වතාවත්වල නියැලිනි.

ඊයේ (15) කතරගම පූජාභූමියේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව අද තිස්සමහාරාමයට පැමිණියේය.

***************************************

නව තනතුරක් ගැන වාසුගෙන් යෝජනාවක්

(16.08.2019 – 18:18 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයටත්, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයටත් පත්වන ආණ්ඩුව තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් පල කළේය.

මේ අතර පළාත් සභාවද ජනාධිපතිවරණය ද මේ මොහොතේ පැවැත් විය යුත්තේ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් නානායක්කාර මහතා කියා සිටියේ, මේ මොහොතේ ජනාධිපතිවරණයට මුළු රටම පෙළ ගැසී ඇති බවත්, එනිසා ජනාධිපතිවරණය පැවැත් වීම මේ මොහොතේ සුදුසුයි යනුවෙනි.

කෙසේ වෙතත් ඒ සමඟ පළාත් සභා ඡන්දයත් පැවැත් විය හැකි නම්, එහි වරදක් නොමැති බවත් පැවසු නානායක්කාර මහතා, එය සංකූල තත්ත්වයක් ඇති කරයි යනුවෙන් ද පැවසීය.

අධිකරණයට ගොස් තීන්දුවක් බලාපොරොත්තු වීමෙන් ජනාධිපතිවරණයක් කල් දැමෙන්නේ නැති බවද පැවසු නානායක්කාර මහතා, ජනාධිපතිවරණයෙන් පසුව හෝ එයත් සමඟ පළාත් සභා මැතිවරණය පවත්වනු බව සඳහන් කළේය.

එසේත් නැතිනම් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වෙයි යනුවෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත කල් දැමෙන්නේ නැති බවද පැවසු ඒ මහතා, එවැනි තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හෝ බලයක් නොමැති බව පැවසීය.

එජාපයේ සන්ධානය ගැන සෙනසුරාදා පල කිරිම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කර සිටි අතර, එයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, එජාපය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය නුදුන්නොත්, එක්සත් ජාතික පක්ෂය ‘මහා භූමිකම්පාවකට’ හසුවන බවයි.

කෙසේ හෝ සජිත්ට අපේක්ෂකත්වය දුන්නොත් එක්සත් ජාතික පක්ෂය තුළ විශාල කැලඹීමක් ඇති වෙන බවද මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.

***************************************

‘සීලිං ෆෑන්’ වලට නව නීතියක්. ප්‍රමිතියට නැති ඒවා වෙළෙඳපොළෙන් ඉවතට

(16.08.2019 – biz.adaderana.lk)

දැනට වෙළෙඳපොළේ තිබෙන ‘සීලිං ෆෑන්’ සම්බන්ධයෙන් පවතින නීතිය බලාත්මක කරනු ලබන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අසංක රොද්‍රිගෝ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා කැඳවන ලද මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, දැනට වෙළෙඳපොළේ තිබෙන ‘සීලිං ෆෑන්’වල බලශක්ති කාර්යක්ෂමතාවය දැක්වෙන ‘ස්ටාර්’ ලේබලය අනිවාර්යයෙන් තිබිය යුතු බවත්, එසේ ‘ස්ටාර්’ ලේබල් නොමැති ‘සීලිං ෆෑන්’ වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අසංක රොද්‍රිගෝ මහතා මෙසේ කියා සිටියේය.

“ලංකාවේ ‘සීලිං ෆෑන්’ වලට නියාමනයක් සහ ප්‍රමිතියක් 2013 සිට හඳුන්වා දී තිබෙනවා. නමුත් මේ සඳහා අවශ්‍ය පරීක්ෂා කිරීමේ පහසුකම් ලංකාවේ නොතිබුණු නිසා ප්‍රමිතිය අපි දැනට බලපැවැත්වුවේ නැහැ. නමුත් ජනවාරි 01 සිට ප්‍රමිති ආයතනයේ මෙම පරීක්ෂා කිරීමේ පහසුකම් ස්ථාපිත කරලා තිබෙනවා. එම නිසා මෙම ‘සීලිං ෆෑන්’, විශේෂයෙන්ම මිලිමීටර 1,400 ‘බ්ලේඩ්’ එක තිබෙන ‘සීලිං ෆෑන්’ වලට මේ නියාමනය බලපවත්වනවා. ඒ අනුව වෙළෙඳපොළේ තිබෙන සෑම ‘සීලිං ෆෑන්’ එකක්ම ‘ස්ටාර්’ ලේබලයකින් යුක්ත වෙන්න ඕනේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂා කරලා ඒවායේ තිබෙන බලශක්ති කාර්යක්ෂමතාවය කොපමණද කියන එක ගැන මේ ‘ස්ටාර්’ ලේබලයේ සඳහන් වෙනවා.”

ඃඒ අනුව මෙම ‘ෆෑන්’ එකක බලශක්ති කාර්යාක්ෂමතාවය ‘ස්ටාර්’ මට්ටම් එකක්වත් තිබෙන්න ඕනේ. වැඩිම ‘ස්ටාර්’ මට්ටම තිබෙන්නේ 5. ‘ස්ටාර්’ මට්ටම වැඩිවෙන තරමට එහි බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළයි. අඩුම තරමින් වෙළෙඳපොළේ තිබෙන ‘සීලිං ෆෑන්’ එකකට තරු එකක්වත් තියෙන්නේ ඕනේ. තරු නැති, ‘ස්ටාර්’ ලේබල් එක නැති ‘සීලිං ෆෑන්’ වෙළෙඳපොළේ තිබෙනවා නම්, එම ‘සීලිං ෆෑන්’ පරීක්ෂා කරන ලද සහ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතු ඒවා නොවෙයි. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තියෙන බලය අනුව අපිට පුළුවන් ඒ ‘ෆෑන්’ වෙළෙඳපොළෙන් ඉවත් කරන්න. අද සිට මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක වෙනවා.”

ඒ අනුව ලංකාවට ගෙන්වන මිලිමීටර 1,400 ‘බ්ලේඩ්’ එක තිබෙන ‘සීලිං ෆෑන්’ එකකම මෙම ‘ස්ටාර්’ ලේබලය තිබීම අනිවාර්ය වෙනවා” ෴

***************************************

හෙට (17) සිට ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කෙරෙන අලුත්ම වාහනය මෙන්න

(16.08.2019 – biz.adaderana.lk)

රුපියල් බිලියන 3 ක පමණ ආයෝජනයකින් කළුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) සුබ මොහොතින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත වේ.

මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවේදී එහි ප‍්‍රථම අදියර ලෙස මහින්ද්‍රා KUV100 නමින් නවීන අංගෝපාංග සහිත SUV රථයක් එකලස් කරන බව එම සමාගමේ සභාපති මෙන්ම අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතා පැවසීය.

මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික‍්‍රමසිංහ, ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු, ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ කළනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය පවන් ගොඑන්කා යන මහත්වරු ප‍්‍රමුඛ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතා :

“මෙම කර්මාන්තශාලාව ආරම්භ වීමත් සමග සෘජු රැකියා අවස්ථා මෙන්ම වක‍්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය වෙනවා. මෙරට එකලස් කෙරෙන මහින්ද්‍රා KUV100 SUV රථයේ ආසන, බැටරිය, ටයර් සහ එක්ස්හෝස්ට් පද්ධතිය මෙරට නිර්මාණය කරනවා. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉදිරියේදී බොහෝ ප‍්‍රයෝජන ලබාගත හැකියි.

එමෙන්ම මෙම කර්මාන්තශාලාව මගින් ඉදිරියේදී මහින්ද්‍රා විදුලි මෝටර් රථය, ඩීසල් ඩබල් කැබ් රථය, ස්කෝපියෝ ජීප් රථය මෙන්ම මහින්ද්‍රා සමාගමේ බොහෝ නිෂ්පාදන සිදු කිරීමට හැකියාව ලැබෙනවා.

වැලිපැන්න ප‍්‍රදේශයේ අක්කර 65 ක පමණ වූ විශාල ප‍්‍රමාණයක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා. මෙහි සියයට 65 ක පමණ කොටස් අයිඩියල් සතු අතර ඉතිරි සියයට 35 ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම සතු බවත් නලීන් වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රට එකලස් කිරීමට නියමිත මහින්ද්‍රා KUV100 SUV රථය :

***************************************

‘හිරු CIA’ අනාවරණයෙන් පසු කළබල වූ රාජ්‍ය නිලධාරීන්

(16.08.2019 – 20:31 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ කඩොලාන විනාශයක් පිළිබඳව හිරු සී.අයි.ඒ. හරහා පසුගිය 14 වැනිදා අනාවරණයක් සිදුකළා.

එම ප්‍රදේශයේ කළ හෙළි පෙහෙළි කිරීම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පොලිසිය ලබාදුන් උපදෙස් මත සිදුකළ බවයි ඉඩමේ හිමිකම වෙනුවෙන් පෙනී සිටි කාන්තාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව සතු වැදගත්ම නාගරික තෙත්බිම් කලාපය වන්නේ මුතුරාජවෙල තෙත් භූමියයි.

කොළඹ නගරයට වරින්වර ඇතිවන ගංවතුර තර්ජනය පාලනය කරනා මුතුරාජවෙල කඩොලාන පරිසරය පසුගියදා යෙදුනු රජයේ නිවාඩු දින කිහිපයේදී සංවිධානාත්මක පිරිසක් යාන්ත්‍රික කියත් උපයෝගී කරගෙන සුනුවිසුනු කරන බව අප හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළා.

අපගේ අනාවරණයත් සමග ගම්පහ අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එම කඩොලාන විනාශය නිරීක්ෂණයට ඊයේ පැමිණියා.

ඒ වනවිටත් වටිනා කඩොලාන පරිසරයේ අක්කර ගණනාවක් වන සංහාරකයින් විසින් විනාශ කර අවසන්.

මෙම හෙළිපෙහෙළි කිරීම් සදහා අනුබල දුන් කාන්තාවක් වන නිලධාරීන් හමුවේ අදහස් දක්වද්දී වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආර්. විජයකුමාර් නම් මහතා පැමිණ ප්‍රකාශ කලේ දින 10 ක් තුල මෙම හෙළිකිරීම් සිදුකර අවසන් කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.

***************************************

ඩිලාන් පෙරේරා ගෝඨාභය වෙනුවෙන් ස්නානය කරයි

(16.08.2019 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් අද (16) විශේෂ දේව පූජාවක නිරත වුණා.

ඒ හපුතලේ – බෙරගල – කුරුමානිඅම්මාන් කෝවිලේදීයි.

මෙහිදී මන්ත්‍රීවරයා වතුර කල ස්නානය කරමින් එම දේව පූජාවේ නිරත වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *