රතන හිමියන් මඩකලපුවෙන් අරගලයක් අරඹයි

(18.08.2019 – nethnews.lk)

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, රජයට පවරා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව මෙතෙක් කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා.

මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුව, කිරාන ප‍්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ජනතාව එක්ව ගොඩනැගූ රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට (19) දිනයේ පැවැත්වෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ නීතිවිරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් ඉදිරි රජයකදී හෝ පියවර ගැනීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

***************************************

දුක් කම්කටොළු මැද දිවිගෙවනා අසරණ පවුලට හිරු අනාවරණයෙන් පසු බලාපොරොත්තුවක්

(17.08.2019 – 21:36 +0530 – hirunews.lk/sinhala)

දහසකුත් එකක් දුක් කම්කටොළු මැද දිවිගෙවනා, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ සමත්කම් දක්වන නිල්මිණී දිල්රුක්ෂි පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා අනාවරණය කළා.

අද වන විට ඇය වෙනුවෙන් උපකාර කරන්නට බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටිනවා.

රත්නපුර නගරසභාගම ජීවත් වන නිල්මිණි දිල්රුක්ෂි බර්තලමියුස් හා ඇගේ පවුල පිලිබද අප අනාවරණය කලේ පසුගිය 14වනවදායි.

අනේකවිඳ සුන්දර බලාපොරොත්තු පොදි බැදගෙනල දරිද්‍රතාවයෙන් මිරිකෙමින් දිවි ගෙවන මේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සරණක් වන්නට බොහෝ පිරිසක් මේ වන විට ඉරිදිපත්ව සිටිනවා.

මේ පවුලේ සාමාජිකයන්ගේ පැවැත්ම වෙනුවෙන් අම්බලන්තොට ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රදීප් විදානායක මහතා පසුගිය දිනෙක රුපියල් 75,000 ක මුදලක් පරිත්‍යාග කළා.

හිටවූ උන බටවලට ඉටි රෙදි ගසා පැල් කොටයක දිවි ගෙවූ නිල්මිණීලාට, තමන්ගේම නිවසක් පිලිබද බලාපොරොත්තුවක් ඇති කරමින් ඔවුන්ටම කියා ඉඩමක් ලබා දෙන්නට පුජ්‍ය කොටපොළ සුධම්ම හිමියන් ඉදිරිපත් වුනා.

පවුල් පසුබිම තුළින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ සමත්කම් දක්වන නිල්මිණීට අද වන විට රැකියාවක නිරත වීමට නොහැකිවී ඇත්තේ තම දරු දෙදෙනා හා ඔත්පලව සිටින සැමියාගේ වගකීම් ඇය කර මතට පැටවී ඇති නිසායි.

***************************************

‘හිරු CIA’ හෙළිකළ මුතුරාජවෙල කඩොලාන විනාශය ගැන සොයාබැලීමට පරිසරවේදීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක

(17.08.2019 – 21:02 +0530 – hirunews.lk/sinhala)

හිරු සී.අයි.ඒ. හරහා හෙළිකළ මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ කඩොලාන විනාශය පිළිබඳව සොයාබැලීමට ‘සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ’ නියෝජිතයන් හා පරිසරවේදීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී ගම්පහ අඩවි වන නිලධාරීවරයා ප්‍රකාශ කළේ එම හෙළිපෙහෙළි කිරීම් සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයාට අවසරයක් නොමැති බවයි.

හිරු සී.අයි.ඒ. හරහා පසුගිය 14 වැනිදා අප හෙළිකලේ සංවිධානාත්මක පිරිසක් යාන්ත්‍රික කියත් උපයෝගී කරගනිමින් මුතුරාජවෙල කඩොලාන පරිසරය විනාශකරන අයුරුයි.

අපගේ අනාවරණයෙන් පසුදිනම ගම්පහ අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එය නිරීක්ෂණය කිරීමට පැමිණියා.

එහිදී ඉඩම් හෙළිපෙහෙළි කිරීමට අනුබල දුන් කාන්තාවක් හා වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආර්ගවිජයකුමාර් මහතා ප්‍රකාශ කලේ වත්තල පොලිසිය මේ සදහා අවසර ලබාදුන් බවයි.

මෙහි සිදුව ඇති කඩොලාන විනාශය නිරීක්ෂණට පරිසරවේදීන් ඇතුළු පිරිසක් මුතුරාජවෙල ප්‍රදේශයට ඊයේ දින පැමිණි අතර එහිදී පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

***************************************

තමා ඝාතන සැලැස්මක් ඇතැයි ගෝඨාභයගෙන් පැමිණිල්ලක්

(18.08.2019 – gossiplankanews.com)

ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් තමන් දැනුම්වත් කර ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

තමන් වෙත ලැබී තිබෙන තොරතුරු අනුව තමන්ටත් ඩග්ලස් දේවානන්ද මහතාට සහ ‘කරුණා අම්මාන්’ටද මෙම තර්ජනය එල්ල වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් කළ බව සතිඅන්ත පුවත්පතක් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබේ. ස්නයිපර් ගිනි අවියක් සහ මැලේසියාවෙන් ගෙන්වන ලද විශේෂිත වර්ගයක තුවක්කු මෙම ප්‍රහාරය සඳහා යොදවා ගැනීමේ උත්සාහයක් ඇතැයිද හෙතෙම සඳහන් කර තිබේ.

රාජපක්ෂ මහතාගේ පැමිණිල්ලෙන් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන අධ්‍යක්ෂවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇතැයි ආරංචි මාර්ග කියයි ෴

***************************************

අඹු දරුවන් සමඟ දිවි ගෙවමින් සිටි ශ්‍රමණවේෂධාරී පුද්ගලයෙකු අත්අඩංගුවට

(14.08.2019 – lankadeepa.lk)

මාතර පඹුරණ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිව වැඩවසන අතරතුර සිය විවාහක බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු සමඟ අතුරුගිරිය ප‍්‍රදේශයේ නිවසක දිවි ගෙවමින් සිටි ශ්‍රමණවේෂධාරී පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පැවැසීය.

නිකිණි පොහොය යෙදුනු අද (14) දින සිය විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ වැඩ නොසිටීම පිළිබඳව විමසිලිමත් වූ එම විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත නවගමුව පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත එම පොලිස් නිලධාරීන් අතුරුගිරිය ප‍්‍රදේශයට ගොස් නිවසක් සෝදිසි කිරීමේදී සිවිල් ඇදුමින් සැරසී සිටි සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සැකකරු අදාල මාතර පඹුරණ ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට යන විට සිවුරකින් සැරසී එහි ගොස් වැඩවසන බවත් අතුරුගිරියේදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමත් එම විහාරස්තානයේ දේපළ විකුණා ඇති බවත් දායක සභාවෙන් ලද පැමිණිලි මත සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් නවගමුව පොලිසිය පවසයි.

සැකකාර ශ්‍රමණවේෂධාරියා කාන්තාවක් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන ඇති බවත් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත බාරදීමට නියමිත බව නවගමුව පොලිසිය පැවැසීය ෴

***************************************

පාරේ ත්‍රීවීල් උස්සා මස් කර විකිණූ ටෙලි නළුවා බඩුත් සමග මාට්ටු

(17.08.2019 – gossiplankanews.com)

මහ මග නතර කර තිබෙන ත්‍රීරෝද රථ සොරාගෙන ඒවා ව්‍යාජ අයුරින් වෙනස් කර විකිණීමේ සංවිධානාත්මික ජාවාරමක නිරතවූ බවට සැකකෙරෙන ටෙලි නාට්‍ය නළුවකු ඇතුළු තිදෙනෙකු රුපියල් කෝටියකට අධික ත්‍රිරෝද රථ සමග ඊයේ (16) අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.

එලෙස සොරාගත් ත්‍රිරෝද රථ දහ තුනක් පොලිසිය සොයාගෙන ඇත. මීට වසරකට පමණ පෙර සිට රාත්‍රී බදුරලිය, පිළියන්දල, පානදුර, හොරණ, කැස්බෑව හා බොරැල්ල ආදි ප්‍රදේශවලින් මෙම ත්‍රිරෝද රථ සොරාගෙන තිබූ බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී හෙළිවූ බව පොලිසිය කියයි. මෙම ජාවාරම ප්‍රධාන සැකකරු වන ටෙලි නාට්‍ය නළුවා මහරගම ප්‍රදේශයෙන් සොයාගත් ත්‍රිරෝද රථයක් විකිණීම සඳහා අන්තර් ජාලයෙන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු නොරච්චෝල ප්‍රදශෙයේ පදිංචිකරු වකු මේ ගැන විමසා පසුව ඔහුව දැන හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි. එම දැනහැඳුනුම්කම වර්ධනය වීමෙන් පසු සැකකරු සොරාගත් සියලුම ත්‍රිරෝද රථ එම සැකකරු වෙතට ඉතා අඩු මුදලට ලබා දී ඇතැයි පොලිසිය කියයි.

සොරා ගත් ත්‍රිරෝද රථවලින් බහුතරයක් ත්‍රිරෝද රථ සතිපොළවල් අසල නවත්වා තිබියදී සොරාගෙන තිබූ ඒවා බව පොලිසිය කියයි.

ධාවනයෙන් ඉවත් කරන ලද දහසය, දෙසීය, දෙසිය එක හා දෙක කාණ්ඩයේ ත්‍රිරෝද රථවල ලියාපදිංචි සහතික විවිධ පුද්ගලයන් ඉතා අඩු මුදලට ලබාගෙන එහි සඳහන් චැසි හා එන්ජින් අංක සොරාගත් ත්‍රිරෝද රථයේ වැසි හා එංජිම ඇතුළත් කර වෙනස් කරමින් මෙම ජාවාරම සිදු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අයුරින් ත්‍රිරෝද රථ සොරාගත් ත්‍රිරෝදවලින් එකොළහක්ම නොරොච්චෝලේ සැකකරුට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. ඉතිරි ත්‍රිරෝද හලාවත, පිළියන්දල. බණ්ඩාරගම ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට විකුණා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගත් බව පොලිසිය කියයි. මෙම සංවිධානාත්මක ජාවාරමේ ප්‍රධාන සැකකරු පානදුර අධිකරණය අසලදි සැකපිට අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකිව ඇත.මෙම ප්‍රධාන සැකකරු වන ටෙලි නාට්‍ය නළුවා කහතුඩුව පදිංචිකරුවෙකු වන අතර සෙසු පුද්ගලයන් දෙදෙනා හලාවත හා නොරොච්චෝලේ පදිංචිකරුවෝය.

වසරකට ආසන්න කාලයක් සිදු කර ගෙන ගොස් තිබූ ත්‍රිරෝද රථ ජාවාරමක් උපයා ගත් මුදල් සැකකරුවන් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා යොදා ගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර තිබූ බවද වාර්තාවිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තොරතුරු- බිමල් ශ්‍යාමන්

***************************************

ප්ලාස්ටික් මල් ගනුදෙනුවකින් නළුවා ගොඩ දමා රේගුව නොමග යැවූ නිලධාරින්

(17.08.2019 – gossiplankanews.com)

ප්‍රසිද්ධ නළුවෙකු විසින් චීනයේ සිට මෙරටට ගෙන්වූ ප්ලාස්ටික් මල් තොගයක් රේගු බදු නොගෙවා වංචා කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ලැබී ඇති ආරංචි අනුව මෙම සිද්ධියට සම්බන්ධව සිටින්නේ ටෙලි හා සිනමා නළු අජිත් වීරසිංහයි.

බිත්ති කාපට් ගෙන එන මුවාවෙන් ගෙනැවිත් තිබූ ප්ලාස්ටික් මල් තම නිෂ්පාදන ආයතනය වන අජිත් ෆිල්ම්ස් ආයතනයට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වෙනුවෙන් භාවිත කරන බව නළුවා රේගුවට පවසා තිබේ. එහෙත් දිගින් දිගටම මේ ආකාරයට බිත්ති කාපට් ගෙන ඒම ගැන සැක සිතූ රේගු නිලධාරීන් අදාළ නළුවාගෙන් මේ ගැන විමසා බහාලුමක් විවෘත කර බැලීමේදී අදාළ බහාලුමේ තිබී ඇත්තේ බිත්ති කාපට් නොව ප්ලාස්ටික් මල්ය. මේ ගැන නළුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන බැවින් අදාළ මල් අවශ්‍යවූ බවයි.

මෙම බහාලුම 2018 ඔක්තෝබර් මාසයේදී එළියට ගෙන යෑමට උත්සාහ කිරීමේදී රේගු නිවාරණ අංශය මඟින් නවතා ඇත. එම බහාලුම වරායෙන් පිටමං කිරීමට නොදී එම අවස්ථාවේ රේගු නිවාරණ අංශයේ අත්අඩංගුවට පත්විය. කෙසේ හෝ බහාලුම පිටතට ගෙන යෑමට නොදී රේගු නිවාරණ අංශය විමර්ශන අරඹා මුලින්ම අනාවරණය කරගෙන තිබුණේ වෝල් කාපට් ලෙස නම්කොට ප්ලාස්ටික් මල් ගෙනැවිත් තිබෙන්නේ සෙස් බදු හා අනෙකුත් බදුවලින් බේරීම සඳහා බවය. ලංකාවට ගෙන එන ප්ලාස්ටික් මල් කිලෝවක් සඳහා රුපියල් දහසක සෙස් බද්දක් රේගුව අයකර ගනී. නමුත් අජිත් ෆිල්ම්ස් ආයතනය ප්ලාස්ටික් මල් ගෙනැවිත් වෝල් කාපට් ලෙස නම් කර අඩු බද්දක් රේගුවට ගෙවා බඩු පිටමං කිරීමට උත්සාහ දරා ඇත..

විමර්ශන කටයුතුවලදී අදාළ ටෙලි නළුවාගෙන් රේගුව විමසා ඇත්තේ අදාළ නැති භාණ්ඩවලට අයත් අංකයක් යොදාගෙන ප්ලාස්ටික් මල් ගෙන ආවේ ඇයිදැයි කියාය. එහිදී ටෙලි නළුවා කියා ඇත්තේ මීට පෙරද භාණ්ඩ ගෙන ඒමේදී අනුගමනය කළේ එම ක්‍රියා මාර්ගය බවයි.

මෙහිදී ඇති වූ වාදයත් සමඟ නළුවාම ඉල්ලා ඇත්තේ මේ ගැන වැඩිදුර විමර්ශනය කරන ලෙසයි. එහිදී රේගුව මේ සම්බන්ධව සොයා බලා තීන්දු ලබාදෙන වර්ගීකරණ අංශය වෙත භාරදෙන ලදී. එහිදී වර්ගීකරණ අංශයේ නිගමනය වූයේ ටෙලි නළුවාට වෝල් කාපට් මුවාවෙන් ප්ලාස්ටික් මල් ගෙන ඒමට ලබාදී තිබූ අංකය වැරැදි බවයි.

මේ ගෙන ආ ප්ලාස්ටික් මල් එකින් එකට ගැලවිය හැකි පරිදි ගෙන විත් ඇත්තේ සිනමා නිෂ්පාදන සඳහා යෙදවීමට නොව ව්‍යාපාරයකට බව පැහැදිලි යැයි ශ්‍රී ලංකා රේගුව ඉන් අනාවරණය කරගෙන තිබිණි. මේ හේතුවෙන් තවදුරටත් වැඩිදුර විමර්ශනය කිරීමේදී රේගු නිලධාරීන් සොයාගෙන තිබුණේ නළුවාට අයත් සමාගම හරහා මීට පෙර ගෙනැවිත් තිබූ බහාලුම් සඳහාද නිසි තීරු බදු නොගෙවා වංචා කොට ඇති බවකි.

මෙහි ඇති හොරකම සහ වංචනික ක්‍රියාව ඔප්පු කර ගැනීමට රේගු විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. අජිත් ෆිල්ම්ස් සමාගමට අමතරව ප්ලාස්ටික් මල් විකුණන ව්‍යාපාරයක් සිදු කරන ලංකා ලීඩර්ස් පෞද්ගලික සමාගමද හිමි ජනප්‍රිය ටෙලි නළුවා ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන නිලධාරීන් නොමඟ යවා තිබුණි.

මේ කාර්යයේදී නළුවාට රේගුවේ විශ්‍රාම ගිය නිලධාරියකුගේ සහ ඇතුළේම සිටින නිලධාරීන් පිරිසක් උදවු කර තිබේ. තම සේවාදායකයා අතින් වරදක් සිදුවී නැති බව කියමින් අදාළ නිලධාරීන් රේගුවේ ඉහළ නිලධාරීන් වෙතද දැනුම් දී ඇත.

මේ නළුවා මෙතෙක් ගෙන ආ ප්ලාස්ටික් මල් බහාලුම් වෙනුවෙන් කරන ලද වැරැදි ගැන රේගුව විශේෂ අවධානය යොමු විය. එහිදී ඔහු විසින් කළ පෙර වැරැදී කිහිපයක් හසු වී තිබේ. ඒ අනුව මින් පෙර ලංකාවට ගෙන ආ බහාලුම්වලට අදාළ රේගු බදු පැහැරහැරීම මත රුපියල් හැටලක්‍ෂ විසි තුන්දහස් එකසිය අනූනවයක් ගෙවීමට රේගුව නියම කරන ලදී. නමුත් එහිදී අදාළ නළුවා රේගුව හමුවේ ඉල්ලා ඇත්තේ තමන් ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයකු බවත් මේසා අසාධාරණයක් නොකර සාධාරණ ගණනක් නියම කරන ලෙසය. එහිදී රේගුවේ විමර්ශන නිලධාරියකු රුපියල් හැට ලක්‍ෂ විසිතුන් දහස් එකසිය අනූනවයක් ගෙවනවා වෙනුවට රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ගෙවීමට නියම කළේය.

එසේ තිබියදී ලංකා ලීඩර්ස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන මේ නළුවා කළේ තමන්ට ප්ලාස්ටික් මල් අවශ්‍ය නැති බව රේගුවට ලිඛිතව දැනුම් දුන් අතර ඔහු හේතු සාධක ලෙස පෙන්වා ඇත්තේ තමන් මල් ගෙන ආ චිත්‍රපටය පටිගත කර අවසන්ව ඇති නිසා මේ මල් ටිකෙන් වැඩක් නැතැයි කියාය. ඉන්පසු ශ්‍රී ලංකා රේගුව විමර්ශන තාවකාලිකව නවතා ඉදිරි පියවර ගැන බැලීය. ප්ලාස්ටික් මල් තොගය නිදහස් නොකර ගන්නා නිසා මේ සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරි තීන්දු කළේ අදාළ මල් තොගය විකිණීමටය. ඒ හරහා රජයට හිමිවිය යුතු මුදල ලබා ගැනීමටය. මල් ගෙන ආ නළුවා මල් බහාලුම රැගෙන නොයන නිසාත් ඔහු එය නිදහස් කර ගැනීමට අකැමැති වූ නිසාත් ටෙන්ඩර් පටිපාටියකට යටත්ව මල් තොගය විකිණීමට සැලසුම් සකස් කෙරිණි. හිටපු රේගු නිලධාරීන් කිහිපදෙනකු එකතුව මේ මල් සඳහා ඒ අයගේ තක්සේරුවක් ගෙන තිබිණි.

ඔවුන් මේ තක්සේරුව කර තිබුණේ හරි අපූරු ආකාරයටය. නළුවාට අදාළ බහාලුම නිදහස් කර ගැනීමට රුපියල් ලක්‍ෂ 25 ක මුදලක් නියම කර තිබියදී රේගු මධ්‍යම අපහරණ අංශයේ නිලධාරීන් එය රුපියල් එක්ලක්‍ෂ පනස්හය දහසකට තක්සේරු කර ඇත. අනෙකුත් බදුද සහිතව ප්ලාස්ටික් මල් ඇසුරුම් බහාලුම රුපියල් එක්ලක්‍ෂ අනූපන් දහසකට විකිණීමට එම නිලධාරීන් තීරණය කොට විකුණා ඇත.

එම මල් තොගය නළුවාටම විකුණා තිබේ. එම බහාලුම නිදහස් කරගෙන ඇත්තේ අජිත් වීරසිංහ හෙවත් ඩබ්ලිව්.ඒ.ඒ. වීරසිංහ යන නළුවාගේ නමින්මය. ඒ පසුගිය ජූලි 5 වනදාය. නිලධාරීන් සමඟ ඇති කරගත් යටිකූට්ටු වැඩක ප්‍රතිඵලයක් ලෙස එය විකුණා ඇත.

එය සිදු කර ඇත්තේ ප්ලාස්ටික් මල් අඩංගු බහාලුම ජපානයේ වෙයාර් හවුස් එකකට විකුණුවා යැයි කියමිනි. අදාළ ජපාන වෙයාර් හවුස් එකේ හිමිකරු ලෙස ප්ලාස්ටික් මල් තොගය මිලදී ගන්නේද නළුවාම වීමද විශේෂත්වයකි. රේගුව රවටා රේගු නිලධාරීන් විසින්ම මේ වංචාව කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණයවේ.

තොරතුරු – ප්‍රගීත් සම්පත් කරුණාතිලක

ටෙලි හා සිනමා නළු අජිත් වීරසිංහ :

***************************************

මුරපද මගඩියකින් යුනියන් පෙදෙසේ සුපිරි වෙළඳසලේ කෝටියකට විදලා

(16.08.2019 – gossiplankanews.com)

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුපිරි වෙළඳ සලක මුදල් කවුන්ටරය භාර කළමනාකරුගේ මුරපදය (පාස්වර්ඩ්) හොර රහසේ යොදා ගෙන මුදල් කවුන්ටරයෙන් රුපියල් එකෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන මුදල් අයකැමිවරියක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. මුදල් යන්ත්‍රයේ තිබූ රුපියල් 41,000 ක මුදලක් සැකකාරිය සපත්තුවේ සගවා ගන්නා අන්දම ආයතනයේ සී සී ටී වී කැමරාවල පටිගත වීම හේතුවෙන් ආයතනය සැකකාරිය අත්අඩංගුවට ගෙන එම මුදල සොයාගනු ලැබිය.

මුදල් ගෙවීමේ යන්ත්‍රයේ යම් දෝෂයක් සිදු වුවහොත් කවුන්ටර් භාර කළමනාකරු පැමිණ යන්ත්‍රයන්ට මුරපදය ඇතුළත් කර එය යථා තත්ත්වයට පත් කරන බවත් එම අවස්ථාවේ මුදල් යන්ත්‍රයේ සඳහන් බිල අක්‍රිය වන බවද පොලිසිය කියයි. සැකකාරියගේ මුදල් යන්ත්‍රය අක්‍රිය වූ අවස්ථාවක එය යථා තත්ත්වයට පත් කරීම සඳහා කළමනාකරු ලබාදුන් මුරපදය මතකයේ තබාගෙන ඇය මෙම වංචාව සිදුකර ඇති බවට පොලිසිය පවසයි.

මෙම සුපිරි වෙළදසලට විදේශිකයන් පැමිණි දිනකට රුපියල් ලක්ෂය, 50,000 අතර මිලකට භාණ්ඩ මිලදී ගන්නා බවත් විදේශිකයන් එම භාණ්ඩ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවූ පසු සැකකාරිය මුරපදය යොදා එම බිල අක්‍රිය කර එම බිලෙහි සියලු මුදල් ඇය සඟවා ගන්නා බවට පරික්ෂණවලදී හෙළි වී ඇත.සැකකාරිය මාස කිහිපයක සිට මෙම වංචාව සිදුකර ඇති අතර රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක අඩුවක් ඇති බවට විගණන වාර්තාවලින් හෙළි වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 38 ක මුදලක් ඇගේ මවගේ ගිණුමට බැරකර තිබූ බවද පොලිසිය කියයි. ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම තරුණිය මීටර වසර 2කට පමණ ඉහත දී ආයතනයේ සේවයට පැමිණ ඇති බවද සඳහන් වේ. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

-ඉන්දික රාමනායක-

***************************************

ආරක්ෂිත නායකත්වයක් එනකල් රට ගැන අවදියෙන් සිටිය යුතුයි – විමල් විරවංශ

(18.08.2019 – 12:01 +0530 – sinhala.adaderana.lk)

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ මේ මොහොතේ සිටින සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.

සීදුව රද්දොළුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

උතුරේ ජනතාවට මෙන්ම සියලු ජාතීන් එක්ව සමඟියෙන් ජීවත් වීමට සිතන සියලු දෙනාට අද ආරක්ෂාව අවශ්‍ය වන බවත් සහරාන් නිර්මාණය කළ මෙරට අමෙරිකානු අධිරාජ්‍යවාදී මෙහෙයුමෙන් ද ආරක්ෂාවක් අවශ්‍ය බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

බටහිරට ගැති නොවී ස්වාධින රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමට අවශ්‍ය බවත් අප රට සතු සම්පත්වලින් මෙරටට ප්‍රතිථල අත්කර දිය හැකි වෙනස් විදිහට හිතන නායකයෙකු අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ සඳහා වඩාත්ම සුදුසු නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ඉදිරි මාස කිහිපය තුළ කිනම් ආකාරයේ උප්පරවැට්ටියක් සිදු කරයිදැයි නොදන්නා බවත් ආරක්ෂිත නායකත්වයකට රට භාර දෙන තෙක් සියලු දෙනා අවදියෙන් සිටිය යුතු බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

+++++++++++++++++++++

***************************************

අපිට අභියෝගයක් නෑ – කනක හේරත්

(18.08.2019 – 11:29 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂය තුළ ඇතමුන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනිමට කුමන්ත්‍රණ සිදුකරමින් සිටින බව එක්සත් ජානතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ඕනෑම පක්ෂයකින් ඕනෑම නායකයෙකු ඉදිරිපත් කළ ද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තම පක්ෂයට අභියෝගයක් නැති බව කනක හේරත් මහතා පැවසීය.

රට පුරා බැනර් කටවුට් ගසා හෝ පුවත්පත්වල ප්‍රචාරය සිදු කරමින් තමන් විසින්ම චරිතය පුම්බා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු කතාවෙන්ම ඔහු ප්‍රකාශ කලේ බැනර් කටවුට් මඟින් දේශපාලන ප්‍රචාර සිදු කරමින් පරිසර දූෂණය අවශ්‍ය නොවන බවත් යන්න ඒ මහතා සිහිපක් කර සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *