ආණ්ඩුව මේ රටට කළ විනාශයට රනිල්-සජිත්-කරු තිදෙනාම වගකිව යුතුයි – උදය ගම්මන්පිළ

(17.08.2019 – mawbima.lk)

= උදය ගම්මන්පිළ මහතා සමග කළ සාකච්ඡාවක් =

ජනාධිපතිවරණයට තියෙන්නේ තව දින 100 ටත් අඩු කාලයක්, කොහොමද ඒ සඳහා ඔබතුමාලාගේ සූදානම?

අපි තරම් ජනාධිපතිවරණයට සූදානම් වුණු වෙනත් පක්ෂයක් ලංකා ඉතිහාසය පුරාම නැතිව ඇති. බොහෝ විට විපක්ෂය තම අපේක්ෂකයා තීරණය කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මාසෙකටත් වැඩි කාලයක් තිබියදී විපක්ෂය කිසිම ගැටුමකින් තොරව ඒකමතිකව තමන්ගේ අපේක්ෂකයා තෝරාගෙන තිබෙනවා. මොකද මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සම කළ හැකි අපේක්ෂකයෙක් රට තුළ නැහැ. මේ මොහොතේ රටේ ප්‍රමුඛතම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ජාතික ආරක්ෂාව. විපක්ෂයේ අය වගේම ආණ්ඩු පක්ෂයේ උදවියත් එය එක සේ පිළිගන්නවා. ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් ඒ සඳහා හොඳම පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මහතා කියන එකයි.

අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉක්මන් වුණා වැඩි නැද්ද?

මුලින් සඳහන් කළ ආකාරයට සාමාන්‍යයෙන් විපක්ෂයේ අපේක්ෂකයාව ප්‍රකාශයට පත් කරන්නේ නම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම. එයට හේතුවක් තිබෙනවා. දීර්ඝ කාලීනව මැතිවරණ උණුසුම පවත්වාගෙන යෑමට තරම් විපක්ෂයට සම්පත් නැහැ. අපිටත් ඒ අවදානම තිබුණා. එහෙම තිබිලත් අපි ඉක්මනින් අපේ අපේක්ෂකයාව නම් කළා. අපිට ඒ සඳහා යම් කාලයක් ගතවුණා.

මේ ආණ්ඩුව බලයට පත්වුණු මොහොතේම තීන්දු කළා අනාගතයේ ඔවුන්ට වැඩිම තර්ජනයක් විය හැකි පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව. 2015 පෙබරවාරි මාසයේ ‘ඇවන්ගාඩ්’ නමින් පදනම් විරහිත නඩුවක් ගොනු කිරීමටත් පදනම් විරහිත පරීක්ෂණයක් ආරම්භ කිරීමටත් ආණ්ඩුව ක්‍රියා කළා ඔබට මතක ඇති. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ආදී කාරණා පිළිබඳව එතෙක් චෝදනා නැඟී තිබුණේ වෙන අයට බව අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණා ලසන්ත ඝාතනයේ වගකීම සරත් ෆොන්සේකා දැරිය යුතු බවත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳව චෝදනා එල්ල වුණේ පා.ච. රණවක ඇමැතිතුමාට බවත්. නමුත් මේ සියල්ල අනපේක්ෂිත ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උර මත කඩාගෙන වැටුණා.

ඊට අමතරව මිග් යානා ගනුදෙනුව, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ආදී අලුත් චෝදනා ගණනාවක්ම නැඟුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ද්විත්ව පුරවැසිකම ඉවත් කර ගැනීමට කටයුතු කළා කියන කාරණාවත් සමඟ මේ තත්ත්වය තවත් තීව්‍ර වුණා. එතුමා අනාගත ජනාධිපති අපේක්ෂකයා යන්න අනුමාන කරමින් පදනම් විරහිතව එජාපය ඔහුව වටකිරීමට උත්සාහ කළා. එවැනි තත්ත්වයකදී එතුමා එවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ අපේක්ෂකයා යැයි අනුමාන කරගෙන නම් අපි ඒ මොහොතේ එතුමාව අපේක්ෂකයා විධියට නම් නොකිරීමෙන් අපි ඔහුව දුර්වල කිරීමක් සිදුවෙනවා. ඒ වගේම ඔහුව ඒ ආකාරයට චෝදනාවලට ලක්වීම තුළ ඔහු වටා විශාල ජනකායක් ආරක්ෂාවට එකතු වෙනවා. ඒක එතුමාට ශක්තියක් වෙනවා. ඒ ආකාරයට එජාපයෙන් කරන වටලෑමට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට තමයි අපි කලින්ම එතුමාව අපේක්ෂකයා ලෙස නම් කළේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඔබලා ලබාගත් ප්‍රතිඵල අනුව තමයි ඔබලාගේ මෙවර ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇස්තමේන්තු කොට තිබෙන්නේ. ඒ අනුව ඔබලාට ජයග්‍රහණය උදෙසා ලක්ෂ 65 ක ඡන්ද ප්‍රමාණයක් පූර්ණ කර ගැනීමට නම් තව ඡන්ද ලක්ෂ 14 ක හිඟයක් තිබෙන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ?

මම ඔබෙන් අහනවා කොහෙන්ද දැන් ඔය 65 ගන්න ඕනෑ. කවුද ඔහොම කියන්නේ? මොන පොතේද ඕක තියෙන්නේ?

ඔබලාගේ පාර්ශ්වයේ අය වගේම ශ්‍රී ලනිප කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රිවරුන් මෙවැනි මතයක් සමාජගත කොට තිබෙනවා නේද?

එහෙම මතයක් සමාජගත කිරීමට උත්සාහ දරනවා නම් එය මිථ්‍යාවක් බව කිවයුතුමයි. ඔබ සඳහන් කළ ආකාරයට බොහෝ දෙනකු විශ්වාස කරනවා 50% ක් ලබා නොගත්තොත් ජනාධිපති වෙන්න බැහැ කියලා. මම එහෙම කියන අයගෙන් පෙරළා අහනවා කොහෙද එහෙම දෙයක් සඳහන් කොට තිබෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මැතිවරණ ඉතිහාසය ගත්තම අපි ඡන්දය ලබා දෙන්නේ කතිරයක් ලකුණු කිරීමෙන්. නැතිව ජනාධිපතිවරණ පනතේ සඳහන් ආකාරයට 1, 2, 3 ආදී වශයෙන් මනාප ලකුණු කිරීමක් සිදුකොට නැහැ.

ඔබ, මම ඇතුළු මුළු රටම එහෙමයි ඡන්දය ප්‍රකාශ කළේ. නමුත් ජනාධිපතිවරණ පනතේ තිබෙන්නේ 1, 2, 3 කියලා ප්‍රමුඛතාව අනුව තුන්දෙනකුට ඡන්දය දෙන්න කියලයි. 1982 දී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයේදී 2% ක් පමණ ඒ ආකාරයට සිදු කළත් ඉන්පසු මැතිවරණවලදී කවුරුත් එහෙම කළේ නැහැ.

ඒ වගේම ජනාධිපතිවරණ පනතේ තිබෙනවා ඡන්ද ගණන් කොට අවසන් වූ විට කිසිම අපේක්ෂකයෙක් 50% ට වඩා ඡන්ද අරගෙන නැත්නම් එහිදී අර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පසෙකින් තබා ඉතිරි අපේක්ෂකයන්ගේ දෙවැනි හා තුන්වැනි මනාප ගණන් කරලා අර ප්‍රධාන දෙන්නට එකතු කරන්න කියලා. ඉන් අනතුරුව 50%කට වඩා වැඩි වුණත් නැතත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් කෙනා ජනාධිපතිවරයා බවට පත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඔය ලක්ෂ 65 ක් ගන්න ඕනෑ 50% ක් ගන්න ඕනෑ ආදී වශයෙන් මා මිත්‍ර දුමින්ද දිසානායක මැතිතුමාලා වගේ අය මතුකරන තර්කවලට කිසිම පදනමක් නැහැ. ඔවුන් මැතිවරණ නීතිය පිළිබඳව දන්නා බව පෙන්වීමට ගොස් නොදන්නාකම තමයි පෙන්වන්නේ.

ඒ මොහොතේ ඔබලාගේ ජයග්‍රහණය උදෙසා දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහායත් ලැබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා වීම තුළ මෙවර එම සහයෝගය ලැබෙයි කියලා හිතන්න බැහැ නේද? එහෙම වුණොත් කොහොමද ජයග්‍රහණය කරන්නේ?

මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී මුස්ලිම් ඡන්ද අඩුවීමට බලපෑ එක් හේතුවක් තමයි 2014 වර්ෂයේ ජුනි මාසයේදී සිදුවූ අලුත්ගම සිදුවීම. එතෙක් පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ වසර 9½ ක ආණ්ඩු කාලය ඇතුළත මුස්ලිම් ජනතාවට පහරදීම් සිදුවී තිබෙන්නේ එකම එක වතාවක පමණයි. නමුත් මේ ආණ්ඩුවේ වසර 4½ ක කාලය ඇතුළත මුස්ලිම් ජනතාවට හය වතාවක් පහරදී තිබෙනවා. එහෙම බලන විට මුස්ලිම් ජනතාව වඩාත්ම අනාරක්ෂිත වී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව යටතේයි. මුස්ලිම් ජනතාව වඩාත් සුරක්ෂිත වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළදීයි. එවැනි තත්ත්වයන් තිබියදී ඔවුන් නැවතත් මේ ආණ්ඩුවට ඡන්දය දෙයි කියලා හිතන්න අමාරුයි. ආර්ථික වර්ධන වේගය 3% දක්වා කඩා වැටීම තුළ ව්‍යාපාරික මුස්ලිම් ප්‍රජාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. එහෙම බැලුවම එම මුස්ලිම් ජනතාවගේ ඡන්දය අපිට අහිමි වීමට හේතුවක් නැහැ.

එතකොට දෙමළ ජනතාව?

2015දී දෙමළ ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය ලබා දුන්නේ බලය බෙදීම අරමුණු කරගෙන. ෆෙඩරල් රටක් හදා ගැනීම සඳහා ඔවුන් එදා හංසයාට කතිරය ගැහුවා. මහින්ද රාජපක්ෂ සමයේදී උතුරේ පාරවල් හැදුණා, රැකියා ලැබුණා, ඇළ මාර්ග, රෝහල්, පාසල්, ජලය, විදුලිය ලැබුණා. නමුත් මේ ආණ්ඩුවට බලය ලබාදීමෙන් පසුව ඒ කිසිවක් සිදුවුණේ නැහැ. දෙනවා කියපු බලය බෙදීම දුන්නෙත් නැහැ. අඩුම තරමේ මහින්ද රාජපක්ෂ මහතා උතුරට ලබාදීපු පළාත් සභාවත් ඒ අයට නැති වුණා. ‘ඩිවලූෂන්ස්’ පස්සේ ගිහින් තිබුණු ‘ඩිවලෝප්මන්ට්ස්’ පවා නැති කරගත්, අපේක්ෂා භංගත්වයට පත් ජනතාවක් තමයි අද උතුරේ ඉන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජා. ස. යාපනය දිස්ත්‍රික්කය තුළ ලබාගත්තු අන්ත පරාජය. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය හිස එසවීමත් සමඟ දමිළ ජනතාව තීරණය කොට තිබෙනවා ඊට එරෙහිව සිංහල ජනයා සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු බව. ඒ වගේ වාතාවරණයන් තුළ ඔබ මාව විශ්වාස කරන්න. මේ මැතිවරණයේදී උතුර-නැඟෙනහිර විප්ලවීය වෙනසක් සිදුවන බව මම විශ්වාසයෙන් කියනවා.

ගෝඨාභය රාජපක්ෂව පරයමින් කරු ජයසූරිය වැනි සිංහල බෞද්ධ නායකයකුට සුළු ජාතික ඡන්ද ලබාගත හැකි බවට එජාපය විශ්වාස කරනවා නේද?

එහෙන් එන්නේ කරු ජයසූරිය මැතිතුමා නම් අපිට පුළුවන් මෙහෙන් පබාව (උපේක්ෂා ස්වර්ණමාලිව) දාන්න. ඔය කියන සිංහල බෞද්ධ නායකයා එදා ගම්පහ දිස්ත්‍රික්කයේ පබාටත් පරාද වුණා.

18 දා ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවාලු. එහෙම වුණොත් ඒ කැඩෙන්නෙත් සිංහල, බෞද්ධ, සිංහල කතෝලික ඡන්ද ටිකම නේද?

කිසිසේත්ම නැහැ. මෙවර ජනාධිපතිවරණයට ඔවුන්ගෙන් ඉදිරිපත් වෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා. එතුමා ප්‍රමුඛ ජවිපෙ 2010 ත් 2015 දීත් සහාය දුන්නේ එජාපයට. මහින්ද රාජපක්ෂ මහතා ඒ මොහොතේ 58% හිමිකරගෙන ජයග්‍රහණය කරන කොට ජවිපෙට හිමි ඔය කියන සිංහල ඡන්ද කුට්ටිය හම්බ වුණේ එජාපයට. අපි හිතමු එය ලක්ෂ 7 ක් වගේ ප්‍රමාණයක් කියලා. ඉතින් මේ වතාවේ ඔවුන් වෙනම තරඟ කරනවා නම් ඒ ඡන්ද ප්‍රමාණය අහිමි වෙන්නේ එජාපෙට මිසක් අපිට නෙවෙයි. ඒ නිසා ඒකෙන් අපිට අවාසියක් නැහැ.

ඔබලා ශ්‍රී ලනිපය සමඟ එකතු වෙලා හදනවා කියපු සන්ධානයට දැන් මොකද වෙන්නේ?

ශ්‍රී ලනිපය සමඟ සන්ධානගත වෙන්න අපි සූදානම්. සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කළාට පසුව අනෙකුත් පක්ෂවලට තීරණය කළ හැකියි අපිට සහාය දෙනවද නැද්ද කියලා. මේ වනවිට ශ්‍රී ලනිප ප්‍රබලයන් පවසා තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන බව. ශ්‍රී ලනිපය කියන්නේ සෙසු පක්ෂවලට වඩා විශාල පක්ෂයක්. 2018 වනවිට ඔවුන් සමඟ සිටි බොහෝදෙනා මේ වනවිට අප සමඟ එක්වී අවසන්. නමුත් එය අදටත් විශාල පක්ෂයක්. ඒ නිසා ඔවුන් අප සමඟ එකතු වෙනවා නම් ඔවුන්ගේ වපසරියට ගැළපෙන ගෞරවනීය තැනක ඔවුන්ව තැබීමට අපි සූදානම්.

ඒ කියන්නේ එසේ එකතු වීමක් වනවා නම් සන්ධානය තුළ මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවන ස්ථානය පිළිබඳව මේ වනවිට යම් තීන්දුවක සිටිනවා කියන එකද?

එතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එකෙන් එතුමා දේශපාලනයෙන් සමුගැනීමට ඉඩ තිබෙන බවක් හැඟවෙනවා. නමුත් එතුමා දේශපාලනයෙන් සමුගන්නවාද නැද්ද කියන එක එතුමාගේ තීරණයක්. එතුමා තවදුරටත් දේශපාලනයේ ඉන්නවා කිව්වොත් තමයි අපි එතුමාව කොතැනද ස්ථානගත කරන්නේ කියන එක ගැන තීරණය කළ යුත්තේ. එහෙම නැතිව දැන්ම ඒ ගැන කතා කිරීම කල් වැඩියි.

ශ්‍රීලනිපය සන්ධානය තුළට එක් නොවී, ස්වාධීනව සිට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වෙනම ගිවිසුමකට යන බව පවසනවා. මේ තත්ත්වය කුමන ආකාරයකින් ඔබලාට බලපායිද?

මේක වෙනත් අය දකින ආකාරය. කොහොම වුණත් මටත් විමල් වීරවංශ මන්ත්‍රිතුමාටත් මෙය සාමාන්‍ය තත්ත්වයක්. මේ ගැන අප දෙදෙනාට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. 2005 ජනාධිපතිවණයේදී විමල් වීරංවශ මන්ත්‍රිවරයා සිටි ජවිපෙත් මා සිටි ජාතික හෙළ උරුමයත් කළේ ඔය දේමයි. අපි ශ්‍රීලනිපය සමඟවත් එජනිස සමඟවත් ගිවිසුම් අස්සන් කළේ නැහැ. අපි ගිවිසුම් අස්සන් කළේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සමඟයි. ඒ ආකාරයට ජනාධිපති අපේක්ෂකයා සමඟ ගිවිසුම් අස්සන් කිරීම අතිශය ප්‍රායෝගික දෙයක් සහ පූර්වාදර්ශ තිබෙන දෙයක් නිසා ඒ ගැන අපිට කලබලයක් නැහැ.

මාධ්‍යවල දැක්වුණා වත්මන් ජනාධිපතිවරයා පො.ජ.පෙ. අපේක්ෂකයා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව. එහෙම නම් ඇයි මේ එකපාරටම අවුරුද්දකුත් මාස 11 කුත් කල්දාපු පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වෙන්නේ. වක්‍රාකාරව ඔබලාව අධෛර්යවත් කිරීමට එහෙම කරන බවක් තමයි දේශපාලන විචාරකයෝ පවසන්නේ?

ශ්‍රීලනිපයේ පැත්තෙන් ගත්තොත් එයින් ශ්‍රී ලනිපයට වාසියක් තිබෙනවා. ඇත්තටම එයින් අපිට එවැනි වාසියක් නැහැ. මේ තත්ත්වය අපි දකින්නේ මේවනවිට ගොඩනැඟීගෙන ආපු ජනාධිපතිවරණ උණුසුමට ගහන අයිස් බකට් ප්‍රහාරයක් විදිහටයි. මෙය ශ්‍රීලනිපය අපිව අධෛර්යට පත් කිරීමට හා තරහට කරන දේකට වඩා මෙය ඇත්තටම ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන දෙයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයේ සිටියදී පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් ශ්‍රී ලනිපයට පුළුවන් අතරින් පතර හරි දිස්ත්‍රික්කවලින් එක මන්ත්‍රිවරයා ගාණේ හරි පත් කරගන්න. හැබැයි ඔවුන් දන්නවා වත්මන් ජනාධිපතිවරයාගේ බලය ගිලිහුණාට පසුව ශ්‍රී ලනිපය වෙනම තරඟ කළත් ඔවුන්ට මන්ත්‍රි ධුර ලබා ගන්නට බැරි බව. ඒ නිසා මේක ඔවුන්ගේ පැත්තෙන් බලන විට සාධාරණ තීන්දුවක්.

හදිසියේවත් පළාත් සභා පැවැත්වුවහොත් අපේක්‍ෂකකම්, ඇමැතිකම් ලබා ගන්න ඔබලා අතරත් තරඟයක් ඇති වෙයිනේ. සමහර විට ඒ ඇතිවෙන අමනාපකම්, හිත් රිදවීම් වක්‍රකාරව ශ්‍රී ලනිපයට හා ආණ්ඩුවට ප්‍රතිලාභයක් වෙන්නත් පුළුවන්නේ නේද?

ශ්‍රී ලනිපය මේ වේලාවේ අපිට ප්‍රශ්න ඇති කිරීමට වඩා ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ දරන බවයි පේන්නේ.

පසුගිය දිනෙක පොහොට්ටුවට සම්බන්ධ වුණා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 10 ක්. එදින ඒ අවස්ථාවට පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් සහභාගි වුණේ නැහැ. එදින ඔබලා සහභාගි නොවුණේ ඒ කටයුත්තට විරෝධය පෑමක් විදිහටද?

විශාඛා සිටු කුමරිය විවාහ වන දවසේදී ඇගේ පියා ඇයට අවවාද 10 ක් ලබා දුන්නා. එයින් පළමුවැනි එක තමයි ‘ගෙයි ගිනි පිටතට දෙන්න එපා’ කියන එක.

ඒ කියන්නේ ගින්නක් ඇතුළේ තිබුණා කියන එකනේ නේද?

ඔව්, අපේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. අපි ඒක ඉතා සුහදව දැන් විසඳාගෙන තිබෙනවා. මට කිවහැක්කේ එපමණයි.

මෙවැනි සුළු පක්ෂ එකතු වීම හරහා කැපකිරීම් කරපු ඔබලාගේ පක්ෂවලට යම් අසාධාරණයක් සිදුවේ යැයි කියන ප්‍රශ්නයක් එතැන තිබුණාද?

අපිට ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. අපිට මේ මොහොත වනවිට වැදගත් වෙන්නේ ජනාධිපතිවරණයට තරග කරලා ජයග්‍රහණ ලබාගැනීම විතරයි. පුළුල්තම සන්ධානයන් හදනවාට අපි එකඟයි. ඒ සියලු බලවේග එකතු කරගන්නවාටත් අපි එකඟයි. නමුත් අපි නිශ්චිතව සඳහන් කරනවා රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි වැනි අයව එකතු කරගන්නවා නම් අපි ඒ ආණ්ඩුව තුළ සිටින්නේ නැති බව. ඒ හැර වෙනත් බලවේගයන් එකතුවීම අපිට ගැටලුවක් නෙවෙයි.

ඉදිරි ආණ්ඩුවක් තුළ අනාගත ජනාධිපතිවරයාට බලතල හීන වන බවත් පාර්ලිමේන්තුවට වැඩි බලයක් හිමිවන බවත් පැවැසෙනවා. එවැනි තත්ත්වයන් තුළ ඇයි නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීමට උත්සාහ කරන්නේ?

අවාසනාවකට මේ රටේ එක් නීති විශාරදයෙක් ජුනි මාසයේ එක්තරා ඉංග්‍රීසි පුවත්පතකට ඔබ කියූ ආකාරයේ කරුණු සහිත ලිපියක් ලිව්වා. ඒක ලිව්වම අර ‘ලෝකෙ පෙරළනවා’ කිව්ව හාවා පිටිපස්සේ දිව්ව සත්තු රංචුව වගේ අපේ ඇතැම් නීතිඥවරු පවා මේ කාරණා උපුටා දක්වන්න පටන් ගත්තා. නමුත් මම නීතිඥයෙක් විදිහට ව්‍යවස්ථා නීතිය පිළිබඳව දන්නා නිසා ඉතා වගකීමෙන් කියනවා එය පට්ටපල් බොරුවක් බව. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන සියලුම බලතල අනාගත ජනාධිපතිවරයාටත් ඒ ආකාරයෙන්ම හිමිවෙනවා.

හදිසියේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඔහුට එරෙහිව තිබෙන නඩුවලට වරදකරු කොට රක්ෂිත බන්ධනාගාර කළොත් ඔහුට නාම යෝජනා ලබාදීමට නොහැකි වන බවත් ඒ ආකාරයට තමාගේ අතින්ම නාම යෝජනා භාර නොදීම තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි අවස්ථාව අහිමි වන බවට මතයක් සමාජගත වී තිබෙනවා?

ඔව්.

මෙහි සත්‍ය අසත්‍යභාවය ගැන නීතිඥවරයෙක් ලෙසින් ඔබට ජනාධිපති පනතට අනුව පැහැදිලි කිරීමක් කළ හැකිද?

එජාප, ජවිපෙ ආදී පච මෝලවල් පතුරපු තවත් එක් මිථ්‍යාවක් තමයි ඕකත්. ‘ගෝඨාභය රාජපක්ෂ මහතාව අනපේක්ෂිත අයුරින් සිරගත කළොත් එතුමාට නාම යෝජනා ලබාදීමට නොහැකි වෙනවා. එවිට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරිවෙනවා’ ආදී ලෙසින් පතුරුවන කතාව බොරුවක්. ඇත්තටම සාමාන්‍යයෙන් සිදුවන්නේ අපේක්ෂකයාම ඇවිත් තමන්ගේ නාම යෝජනාව භාරදීම තමයි. නමුත් හදිසියෙන් හෝ අපේක්ෂකයාට එන්න බැරිවුණොත් පක්ෂයේ මහ ලේකම්වරයාට හැකියාව තිබෙනවා නාම යෝජනාව භාරදීමට. ඒ වගේම ස්වාධීනව තරඟ කරන කෙනෙක් නම් ඔහුගේ නම යෝජනා කරන අයටත් නාම යෝජනා භාරදීමට පුළුවන්.

ඒ ආකාරයට අපේක්ෂකයාව රක්ෂිත බන්ධනාගාරගත කළොත් ඔහු ජනාධිපතිවරණයට නුසුදුසු පුද්ගලයෙක් වන බවටත් මතයක් නිර්මාණය වී තිබෙනවා?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තියේ සඳහන් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වීම සඳහා බලපාන නුසුදුසුකම්. එවා ජනාධිපතිවරයකුටත් ඒ අයුරින්ම බලපානවා. එහි සඳහන් වෙනවා යම් පුද්ගලයෙක්ට වසර දෙකකට නොඅඩුව සිර දඬුවමක් නියම වෙලා එයින් මාස 6 ක් ඔහු සිරදඬුවම ගෙවා ඇත්නම් අන්න ඒ පුද්ගලයාට වසර 7 කට මැතිවරණයකට තරග කිරීමට නුසුදුසු බව. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට එය ආදේශ කරලා බලමු. ගෝඨාභය රාජපක්ෂ මහතාව ඒ ආකාරයට සිරගත කිරීමට අවශ්‍ය නම් ඔවුන් මුලින්ම කරන්න ඕනේ නඩුව අහලා වසර දෙකක සිර දඬුවමක් ලබා දීම. ඊට පසුව එතුමා නාම යෝජනා ලබා දෙන දිනය වන විට මාස 06 ක් සිරගත ජීවිතය සම්පූර්ණ කොට තිබීම වැදගත් වෙනවා. මෙහෙම හිතමුකො හෙට උදේට නඩුව අහලා එදා සවසම එතුමා හිරේට දැම්මත් නාම යෝජනා දෙන දිනේ වෙනකොට මාස 06 ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. උපරිම මාස 02 යි සම්පූර්ණ වන්නේ. එහෙම බලනකොට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිර දඬුවමක් ලබාදී එතුමාව නුසුදුස්සෙක් කිරීමටත් හැකියාවක් නැහැ.

ඔබලාගේ පාර්ශ්වය නිතරම කොළඹ – ත්‍රිකුණාමල ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් ගැන චෝදනාත්මකව කතා කරනවා. නමුත් පාඨලී චම්පික ඇමැතිවරයාට අනුව එය ලංකාවේ විද්වතුන් 3000 ක් එකතු වී හදපු ආර්ථික සැලැස්මක්?

මා මිත්‍ර පා.ච. රණවක ඇමැතිතුමා තමාගේ දන්නා තරම ප්‍රදර්ශනය කිරීමට ගිහින් අවසානයේ පෙන්වන්නේ තමන්ගේ නොදන්නාකම. 2019 අප්‍රේල් 25 දා ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නම් ඇමෙරිකානු ආයතනය ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබාදීම ගැන කොංග්‍රසයේ අනුමැතිය සඳහා ලිපියක් යවනවා. එය පිටු 11 ක වාර්තාවක්. එහි ඉතා පැහැදිලිව මෙම ආර්ථික කොරිඩෝව ගැන පැහැදිලි කරනවා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය 2017 වසරේදී පිටු 80 ක වාර්තාවකුත් නිකුත් කර තිබෙනවා. එහි තිබෙනවා මෙම ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය කිරීමේදී ශ්‍රී ලංකාව තුළ මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන්. ඒ වගේම 2017 දී ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යොදවලා මෙම ආර්ථික කොරිඩෝව ආරම්භ කිරීම සඳහා සැකසූ ශක්‍යතා අධ්‍යයන වාර්තාවකුත් නිකුත් කොට තිබෙනවා. මම මෙතෙක් හිතාගෙන හිටියේ මිලේනියම් චැලෙන්ජර්ස් කෝපරේෂන් කියන්නේ ඇමෙරිකානු ආයතනයක් කියලයි. ආසියානු සංවර්ධන බැංකුව කියන්නෙත් ඇමෙරිකානු ආධිපත්‍යයට යටත් වුණු ආසියාතික රටවලට ණය දෙන ජාත්‍යන්තර ආයතනයක් කියලයි මම හිතාගෙන හිටියේත්. හැබැයි දැන් පා.ච. රණවකට අනුව ඒක මේ ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ආයතනයක්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා වීම තුළ මෙරට බොහෝදෙනා අප්‍රසාදයෙන් බැහැර කළ පවුල්වාදය යන්න නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙය ඔබලාට අවාසිදායක තත්ත්වයක් නෙමෙයිද?

දේශපාලන ලෝකය තුළ එකම පවුලක අය දේශපාලනයේ යෙදීම සුවිශේෂී දෙයක් නෙමෙයි. වර්තමාන ආණ්ඩුව තමන්ගේ ගුරුවරයා සේ සලකන ඇමෙරිකාව ගත්තත් අපි දන්නවා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ලෙසින් ජෝර්ජ් බුෂ් සහ ඔහුගේ පුතු කනිෂ්ඨ ජෝර්ප් බුෂ් පත්වුණා. ඒ වගේම මේ වන විට ඇමෙරිකාවේ දේශපාලනයේ යෙදී සිටින්නේ තුන්වැනි කෙනඩි පරම්පරාව. ඉන්දියාවේ ගාන්ධි පවුල, පාකිස්තානයේ භූටෝ පවුල. සිංගප්පූරුව ගත්තත් එහි වර්තමාන අගමැති වෙන්නේ සිංගප්පූරුවේ නිර්මාතෘ ලීක්වාන් යූගේ පුතා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වීම ජනපතිවරණයට සුදුසුකමකුත් නෙවෙයි. නුසුදුසුකමකුත් නෙවෙයි. ඒ දෙදෙනා අගමැති හා ජනපති තනතුරුවලට සුදුසු නම් ඒ දෙදෙනා සහෝදරයෝ වුණත් ඒ සඳහා අවස්ථාව ලැබිය යුතුයි. ඒ වගේම ඒ දෙදෙනා එම තනතුරුවලට නුසුදුසුයි නම් ඒ දෙදෙනා සහෝදරයෝ වුණත් අවස්ථාව නොලැබිය යුතුයි. එය තීරණය කළ යුත්තේ ජනතාවයි.

පොදුජන පෙරමුණ මහා සම්මේලනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාව අපේක්ෂකයා කොට සමාජගත කිරීම දක්වා පැමිණි ඒ ගමන් මඟ තුළ ඔබලාගේ කැපකිරීම මත සිදුවූ ‘මහින්ද සුළඟ’ ගැන පුංචි සඳහනක්වත් තිබුණේ නැහැ. ස්තූති කිරීමක්වත් සිදුවුණේ නැහැ නේද?

පොහොට්ටුව නම් පැළය බිහිවුණේ ‘මහින්ද සුළඟ’ නමින් අපි පැළ කළ බීජයෙන් බව මුළු රටම දන්නවා. ඒ ගැන පොහොට්ටුවේ සම්මේලනයේදී සඳහන් නොවුණු බව ඇත්තයි. නමුත් එය විශේෂයෙන් සඳහන් කළ යුතුයි කියලත් මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඒක මේ මුළු රටම දන්න දෙයක්. ‘මහින්ද සුළඟ’ ආරම්භ කරලා මහින්ද රාජපක්ෂ මහතාව යළි දේශපාලනයට ගෙනාවේ කවුද කියන එකත් ශ්‍රී ලනිපයේ කොටස් කඩලා අරගෙන පොහොට්ටුව බිහිකිරීමට අවශ්‍ය පිරිස හදලා දුන්නේ කවුද කියන එකත්, ගෝඨාභය රාජපක්ෂ මහතාව අපේක්ෂකත්වයට ගෙන ඒමේ සටන කළේ කවුරු කවුරුන්ද කියන එකත් මේ මුළු රටම දන්නවා. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් යළි යළිත් සඳහන් කළ යුතු නැහැ.

මුල සිට ඒ කරපු කැප කිරීමට වචනයකින් හෝ ස්තූතිවන්ත නොවීම ගැන හිත් රිදීමක්වත් නැද්ද?

කිසිසේත්ම නැහැ. ජනතාවට ඒක අමතක කළා නම් තමයි හිත රිදෙන්නේ.

එ.ජා.ප ජනපති අපේක්ෂකයන් ලෙසින් විවිධ නම් ඉස්මතුවෙන බව පේනවා. මේ අය අතරින් ඔබලාට අභියෝගයක් දිය හැකි ප්‍රතිවාදියා කවුද?

අපි නම් වඩාත් කැමැතියි සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වෙනවට. දැන් සමාජ මාධ්‍ය ජාලා හඬා වැටෙනවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නික්ම ගියාම ඔවුන්ව සිනා සයුරේ ගිල්වීමට කෙනෙක් නැති වීම ගැන. ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා පැමිණුනොත් ඔහුට හැකිවෙයි නැවතත් ඔවුන්ව සිනා සයුරේ ගිල්වීමට. ඔහු සදා ‘වන්දනීය වූ පියාණන්ගේ නාමයෙන්’ ගම් මට්ටමින්, බිම් මට්ටමින්, තම්මැට්ටම් ගසාගෙන එන විට පේනවා එතුමා අපේක්ෂකයා වුණොත් අපිට ඉතාම විනෝදාත්මක මැතිවරණ ව්‍යාපාරයක් ලබාදෙයි කියලා. ඒ නිසා අපි වඩාත්ම කැමැති ඔහු අපේක්ෂකයා වෙනවාටයි. නමුත් ඊට අමතරව කරු ජයසූරිය කථානායකතුමා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නමුත් කියැවෙනවා. සජිත් ප්‍රේමදාස පක්ෂයේ නියෝජ්‍ය නායකයා. එහෙම බලනකොට මේ තුන්දෙනාම එ.ජා.ප යේ ප්‍රබලයෝ. ඒ නිසා මේ තිදෙනාම ආණ්ඩුව මේ රටට කළ විනාශයට වගකිවයුතුයි. ඔවුන් ජනතාව ඉදිරියට එන්නේ මේ රට විනාශ කළ නායකයන් විදිහටයි. ඒ අනුව මේ රට පිරිහී තිබෙන ආකාරය අනුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞරුෂය අනුවත් මේ ඉන්න එ.ජා.ප නායකයෝ නෙවෙයි. එදා හිටපු ඩී.එස්., ඩඩ්ලි, සර් ජෝන්, ජේ.ආර්. ප්‍රේමදාස යන පංචමහා නායකයෝ වළින් නැඟිටලා ඇවිත් එක පුද්ගලයෙක් බවට පත්වුණත් ඔහුටවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තර්ජනයක් වීමේ හැකියාවක් නැහැ.

– අරුණි මල්ලවආරච්චි

***************************************

සිංහලයා රැකගන්න සිවිල් සංවිධාන ගෝඨාභයට සහාය වෙන්න ඕනෑ

(16.08.2019 – mawbima.lk)

රටෙහි සිංහල ජනතාවගේ පැවැත්ම පිහිටා ඇත්තේ විශිෂ්ටත්වය මත බවත් එම විශිෂ්ටත්වය පවත්වාගෙන යෑමට ඉදිරි ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිවිල් සංවිධාන සහයෝගය ලබාදිය යුතු බවත් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.

අභයතිස්ස හිමියෝ එසේ පැවැසුවේ ඊයේ (15 දා) සිනමන් ලේක් හෝටලයේ පැවැති ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් හට කරුණු 11 කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවයේදීය.

එහිදී අභයතිස්ස හිමියෝ මෙසේද පැවැසූහ :

“ප්‍රතිපත්ති සම්පාදනයට සිවිල් සංවිධාන පැමිණ සිටීම යහපත් වැඩක්. ඒකට අපි ගරු කරනවා. ජාතික විද්වත් සංඝ සභාව ලෙස අපිත් දසපනත සකස් කරමින් ඉන්නවා ඉදිරි නායකයන්ට ඉදිරිපත් කරන්න. රට ගැන හිතන පතන විධිය වෙනස් කළ යුතු බව අපි කියනවා.

අපිට තියෙන්නේ මහින්ද රාජපක්‍ෂකගේ වටේ ඉඳලා ඔහුව විනාශ කළා වගේ ගෝඨාභයත් විනාශ කරන්න නොදී රැකගෙන, රට ඉදිරියට යෑමට හැකි වන සේ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීමයි. ඒ වගකීම ගෝලීය සංසදයට භාරයි. ඒ වගේම අනෙකුත් සිවිල් සංවිධානවලටත් අයිතියි. පවත්නා දේශපාලන ප්‍රවාහයෙන් මිදී ශක්තිමත් දේශපාලන ප්‍රවාහයක් ගොඩනැඟීමට සිවිල් සංවිධානවලින් සහාය දිය යුතුයි. ජනතා බලය ගෝඨාභයට ලබාදිය යුතුයි. පවතින ඊනියා යහපාලන ආණ්ඩුව යටතේ ජනතාවට වූ අසාධාරනය නැවත ඇති වීමට ඉඩනොදී මේ දේශපාලන නායකයා හරහා ජනතාවට සාධාරණය අත්පත් කර දියයුතුයි. ඔහුගේ ආණ්ඩුවක් යටතේ තමයි රටේ අනාගතය තීරණය වෙන්නේ.

මහින්ද රාජපක්‍ෂ වරාය හැදුවේ නැත්නම් අද ඒ ඉඩම අපිට ඉතිරි වෙන්න තිබ්බා. ත්‍රිකුණාමල වරාය හදලා තිබුණේ නැත්නම් ඒකත් අපට ඉතිරි වෙනවා. එහෙනම් මේ ආණ්ඩුව මේවා විකුණන්නේ නැහැ.”

– නුවන් හෙට්ටිආරච්චි

***************************************

18-08-2019

***************************************

වැඩි වැඩියෙන් බන්ධනාගාර හදන්නැයි රංජිත් සොයිසාගෙන් අභියෝගයක්

(18.08.2019 – 15:22 +0530 – lankadeepa.lk)

“බොරු චෝදනා කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වා ඔහු බන්ධනාගාර ගත කිරීමට කවුරුන් හෝ උත්සාහ කළහොත් ඒ වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව බන්ධනාගාරගත වීමට සූදානම්” යැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා අද (18) පැවසීය.

ඒ වෙනුවෙන් තවත් බන්ධනාගාර දහස් ගණනක් සෑදීමට සිදුවනු ඇතැයිද පැවැසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවේ කුමන්ත්‍රණකරුවන්ට අභියෝගය කරන බවද සඳහන් කළේය.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“වත්මන් එජාප ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ රාජපක්‍ෂවරු සමූල ඝාතන උත්සාහයක ඉන්නේ. මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ශිරන්ති රාජපක්‍ෂ, ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියන රාජපක්‍ෂවරු සමුල ඝාතනය කිරීමට නිත්දිත උත්සහයක නිරත වුණා.”

“ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරිමත් සමඟ හිතුවටත් වඩා ජනතාව ඔහු වටා එක් වෙමින් සිටිනවා. මේක ආණ්ඩුවට දිරවන්නේ නෑ. ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් තුන් දෙනෙක් රජයේම ආයතනයදී සාකච්ඡා කරලා තියනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව බොරු සාක්කි හරි දාලා චෝදනා ගොනු කරලා නඩු දාන්න කියලා. එහෙම කරලා ඔහු බන්ධනාගාර ගත කිරීමේ කුමන්ත‍්‍රණයක් ගැන ඉරිදා මාධ්‍ය මගින් හෙළි කරලා තිබුණා.”

“ප‍්‍රදීප් එක්නැළිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග, වසීම් තාජුඩීන් යන අයගේ ඝාතනයන් ගැන හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ ඝාතනයකට ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කරලා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබුණත් නැතත්, ඒ සඳහා සාක්කි හදලා හරි මොහු අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා ඒ දේශපාලනඥයින් තුන් දෙනා ඉල්ලීමක් කරලා තියනවා.”

“නීතිය අවනීතිය කරලා, කැලෑ නීතිය රජකරවන්න හැදුවොත් ජනතාව වීදි සටන්වලට අවතීර්ණවීම වළක්වාලිය නොහැකි දෙයක්. ගෝඨාභය කියන්නේ මේ රටේ සාමාන්‍ය දුක්විඳින ජනතාවගේ, රටට ආදරය කරන දේශපේ‍්‍රමී ජනතාවගේ හදවතේ ලැගුම් ගත්, ආශිර්වාදය හිමිකරගත්, ජනනායකයා මිස බන්ධනාගාරගත කළ යුතු චුදිතයෙක්, වැරදිකාරයෙක් නොවන බව දේශපාලනය නොදත් ආණ්ඩුවේ අත දරුවන්ට පැහැදිලි කර දිය යුතුයි” යැයි ද රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා කීය ෴

***************************************

චීන ඉඩම් ආධාර දෙනවැයි රවටා කනකර ගළවා ෆොටෝ අරන් රන්බඩු සොරකමේ ගිය ටියුෂන් ගුරා

(18.08.2019 – gossiplankanews.com)

ඉඩම් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් නිවෙස් වලට ගොස් උපායශීලී ලෙස නිවැසියන්ගේ කනකර ඔවුන් ලවාම ගලවාගෙන සොරකම් කිරීමේ අමුතු ජාවාරමක නිරතවූ ටියුෂන් ගුරුවරයෙකු යයි කියන පුද්ගලයෙකු දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා කටකාරයෙකු වූ අතර ඉතා පහසුවෙන් අන්අය නම්මවාගැනීමේ කතා කීමෙහි සමතෙකු විය. ඔහු ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ මධ්‍යම පාන්තික නිවාස ඉලක්ක කර මේ ජාවාරම කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබේ.

ඔහු නිවාඩු දින තෝරාගෙන නිවෙස්වලට යන අතර සුදු අත්දිග කමිසයක් හා කළු කලිසමකින් සැරසී ටයි පටියක්ද පැළඳ ආකර්ෂණීය ලෙස රජයේ ව්‍යාපෘතියක් භාර නිලධාරියෙකු වේශයෙන් පෙනී සිට ඇත. ඔහු අතේ රජයෙ මුද්‍රා සහිත ලියවිලිද තිබී ඇත.

මෙම පුද්ගලයා නිවෙස් වලට ගොස් එහි ගෙහිමියා සමග කතා කරන්නට ඕනෑ බව දන්වා ගෙහිමියා නම්මවා ගන්නා අපූරු කතාබහක් සිදු කරන්නේය. එහිදී ඔහු පවසන්නේ තමා රජයේ ඉඩම් නිලධාරියෙකු බවත් නිවාඩු දින තෝරාගෙන නිවෙස්වලට පැමිණ මෙම දැනුවත්කිරීම සිදු කරන බවත්ය. චීන සංවිධානයක් මගින් ආදායම් අඩු පවුල් වලට නිවාස හා ඉඩම් ලබා දෙන ව්‍යාපෘතියක් සඳහා පිරිස් එකතුකරගැනීමට තමාට භාර රාජකාරිය බවයි. මේ සඳහා අදාළ ප්‍රදේශයේ තෝරාගත් පවුල් වලට පමණක් අවස්ථාව සැලසෙන බවත් ඒ සඳහා අයදුම් කිරීමට කැමති නම් විස්තර ලබාදෙන ලෙසත්ය.

එම කතාබහට රැවටී අයදුම්පතට අදාළ විස්තර ගෙහිමියාගෙන් අසාගනිමින් මෙම පුද්ගලයා නිවසේ සිටම අයදුම්පත පුරවන්නේය. ඒ සමගම ඔහු පවසන්නේ මෙම නිවසේ විස්තර සඳහා සාක්ෂි වශයෙන් ඡායාරූප කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය බවකි. ඒ සඳහා නිවසේ ඇතුළත හා නිවැසියන්ගේ ඡායාරූප තමාට අවශ්‍ය බවද ඔහු පවසයි.

එයට ගෙහිමියාගේ අනුමැතිය ලද පසු පවුලේ ඡායාරූපය ගන්නට සූදානම් වෙද්දී ඔහු පවසන්නේ “ඔයාලාගෙ රත්තරන් බඩු දැක්කොත් මේ අධාර ලැබෙන්නෙ නෑ. අමාරුවෙන් ජීවත්වෙන බව පෙන්වන්නයි ඕනෑ .. ඒනිසා ඔය රත්තරන් බඩු ගලවල මෙතැන පැත්තකින් තියන්න” ලෙසිනි. එම කීමට අවනතව නිවැසියන් රත්තරන් බඩු ගලවා පැත්තකින් තියා තවදුරටත් කතාබහේ නිරතව සිටියදී මෙම පුද්ගලයා ගෙහිමියාගෙන් වතුර වීදුරුවක් හෝ වෙන යමක් ඉල්ලා ඔහුගේ අවධානය වෙනස් කිරීමට උපායශීලී වන අතර එ සැණින් පැත්තක තිබූ රත්තරන් බඩු රැගෙන නිවසින් පළායාම සිදු කර තිබේ.

තමා මේවෙනතුරු කතාකරමින් සිටියේ රැවටිලිකාරයෙකුට බව නිවැසියන් දැනගන්නා විට ප්‍රමාද වැඩිය. ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් සයිකලයකින් වේගයෙන් ඉගිල යන ඔහු ගැන ඉන්පසු කිසිදු තොරතුරක් නැත.

මේ ආකාර සිද්ධි රාශියක් පසුගිය කාලයේ ගම්පහ හා දිවුලපිටිය ස්ථාන ගණනාවකදී වාර්තාවී තිබේ. පොලීසියට ලද පැමිණිළි මත අරක්ෂක කැමරා පද්ධති උපයෝගී කරගනිමින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුව සොයාගත් කරණු ඔස්සේ ඉදුරාගාර චාර්ලිස් මාවත ප‍්‍රදේශයේදී මෙම පුද්ගලයා පොලීස් අත්අඩංගුවට පත්වීය.

මෙම සැකකාර උපකාරක පන්ති ගුරුවරයා මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ඉංග‍්‍රීසි උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස පන්ති පවත්වන්නෙකු බවත් කටුනායක කුරණ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් කටුවාපිටිය ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි බවත් වාර්තා විය.

අත්අඩංගුවට පත් ඔහු තමා කළ වරද පිළිගත් අතර තම රෝගීව සිටින මව ජීවත් කරවීම සදහා නිවෙස් වලට ඇතුලූ වී නිවසියන් රවටා ඔවුන් සතු සවර්ණාභරණ සොරාගන්නා ජාවාරම සිදු කළ බවත් පාපොච්චාරණය කර ඇත.

මොහු සන්තකයේ තිබූ බැංකුවලට උකස් තබන ලද රන් භාණ්ඩ වල රිසිට් පත් සහ හැදුනුම් පත් තොගයක්ද මොහු භාවිතාකල බවට සැකකෙරෙන යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත. උකස් කරන ලද රන් භාණ්ඩ පිළිබඳ වාර්ථාවක් ලබාගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගත යුතු බව පොලීසිය දන්වා ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

***************************************

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ අහිතකර තත්ත්වය නිසි පරිදි රට හමුවේ හෙළි වී නැතැයි රතන හිමි කියයි

(19.08.2019 – nethnews.lk)

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හරහා රටට ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිඵලය කිසිවෙකුත් නිසි පරිදි මේ දක්වා රට හමුවේ අනාවරණ කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කළේ මෙම විශ්ව විද්‍යාලයේ ඇති අනතුර නිවැරදි ලෙස රටට අනාවරණ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වහාම රජයට පවරා ගන්නා ලෙසට අඛණ්ඩව බලපෑම් කරන බව ද උන්වහන්සේ සඳහන් කළා.

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වූ විශේෂ රැස්වීම අද (19) පැවැත්වෙන්නේ මඩකලපුව කිරාන් ප‍්‍රදේශයේදීයි. රතන හිමියන් සඳහන් කළේ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඇති අනතුර ජාතිය හමුවේ හෙළි කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවයි.

***************************************

ලක්දිව පහලවන්නට නියමිත අධ්‍යාත්මික නායකයා පිළිබඳ දීගොඩ කුමාරයන්ගෙන් ප්‍රභල හෙළිදරව්වක්

Exclusive Interview With Deegoda Kumara Who Has Amazing Healing Powers

17-08-2019

+++++++++++++++++++++

https://youtu.be/DHoZZ4Veyfw

+++++++++++++++++++++

https://www.facebook.com/dewsuwasewalk/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *