නුවරඑළියෙන් එළියට එන සහරාන්ගේ වත ගොත …

(20.08.2019 – 19:19 +0530 – sinhala.adaderana.lk)

මොහොමඩ් සහරාන් ඇතුළු පිරිස පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය උසස් පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව නව සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.

එහි ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළේ අදාළ නිවස වෙත අද (20) පැමිණ එය භාරව සිටින පුද්ගලයා සමඟ සිදු කළ සාකච්ඡාවකින් පසුවයි.

පාස්කු දින ප්‍රහාරයට නායකත්වය සැපයූ මොහොමඩ් සහරාන් නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් සම්බන්ධයෙන් ප්‍රහාරයට පසුව කරුණු අනාවරණ විය.

නව සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් අද එහි ගොස් එම නිවස භාරව සිටින පුද්ගලයා හමු වී ඒ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය.

එහිදී ඇති වු කථා බව පහතින් දැක්වෙයි :

හාමුදුරුවෝ : දැන් කොච්චර කාලයක් විතර මේ ගේ ‘රෙන්ට්’ එකට අරන් හිටියද?

නිවස භාරකරු : දවස් 5 කට ගත්තා; දවස් තුනයි හිටියේ; ඊට පස්සේ පොලීසියේ මහත්තයෙක් හවස ආවා; හවස ඇවිල්ලා බැලුවා.

හාමුදුරුවෝ : පොලීසිය ඇවිල්ලා ගේ පරීක්ෂා කළාද?

නිවස භාරකරු : ඔව් ගේ පරීක්ෂා කරලා එළියට ආවා. විනාඩි 10 ක් වත් පරීක්ෂා කළේ නැහැ ඒගොල්ලෝ. බුදු පිළිම වහන්සේ දෙකක් තිබ්බා දෙකම අනිත් පැත්ත හරවලා තිබ්බේ. යන දවසේ පිළිම වහන්සේ කෙනෙක් නැතුව තිබුණා.

හාමුදුරුවෝ : දැන් ඔයත් හිතන විදිහට අර ඉලේසිංහ මහත්තයා මේ පොලීසියට පැමිණිලි කරපු වෙලාවේ නිසියාකාරව මේ ගේ පරීක්ෂා කළානම් මේ අපරාධය වළක්වාගන්න තිබුණා?

නිවස භාරකරු : වළක්වාගන්න තිබුණා.

හාමුදුරුවෝ : ඔයත් ඒක හිතනවා?

නිවස භාරකරු : අපේ හාමුදුරුවනේ, 25 දෙනෙක් විතර මේක ඇතුළේ හිටියා විනාඩි 10 ට ඔක්කෝම පරීක්ෂා කරන්න බැහැනේ. මේ වගේ නිවසක් විනාඩි 10 න් පරීක්ෂා කරන්න බැහැනේ.

ලක්ෂ 10 ක් සල්ලි තිබුණා කියලා ඒ පොලීසියේ මහත්තයා ඇවිල්ලා කිව්වේ අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ. මැයි මාසේ හයවෙනිදා ආයි ආවේ; ඒ ඇවිල්ලා කිව්වේ මේක අස්සේ ලක්ෂ 10 ක් සල්ලි තිබුණා කියලා.

ගිය හයවෙනිදා ඇවිල්ලා පොලීසියේ මහත්තයා තමයි කිව්වේ මේක අස්සේ තමයි සහරාන් ඉඳලා තියෙන්නේ කියලා. එතකොට තමා අපි දන්නේ මේක අස්සේ හිටියා කියලා.

හාමුදුරුවෝ : පුහුණුවීම් වගේ මොනවාහරි වෙනවා කියලා එහෙම …?

නිවස භාරකරු : ආපු කට්ටිය කිසිම සද්දයක් නැතුව හිටියා හාමුදුරුවනේ. වෙන කට්ටිය ආවහම මේකේ සින්දු කියනවා එළියේ සින්දු කියනවා. ඒ නිසා තමයි අපිට සැක හිතුණේ. අපේ මහත්තයාට මම කෝල් එක්ක දුන්නා. කියලා විනාඩි පහක් නැහැ පොලීසිය ආවා. අර ඉලේසිංහ මාමා දුන්න කෝල් එකට තමයි පොලීසිය ආවේ.

හාමුදුරුවෝ : දැන් ඒ කියන්නේ ඔයාලාගෙන් විය යුතු යුතුකම් ටික වෙලා තියෙන්නේ? ඔයාලා හිතනවාද පොලීසියෙන් යම් අතපසුවීමක් වෙලා තියෙනවා කියලා?

නිවස භාරකරු : අපේ හාමුදුරුවනේ, අරගෙන ගියපු ‘අයි.ඩී. නම්බර්ස්’ ටික තිබුණානම් අතහැරිච්ච කෙනෙක් හරි අල්ලාගන්න තිබුණානේ අපේ හාමුදුරුවනේ. පොලිස් පොතෙත් ලියාගෙන දැන් පොලිස් පොත නැහැ කියනවානේ.

23 ක් හිටියා; 23 දෙනාගෙම ලියාගත්තා තුන්දෙනෙක්ගේ අයිඩින්ටි නම්බර් නැතිව තිබ්බා; ඒවත් පොතේ ලියාගත්තා හාමුදුරුවනේ. ඒ තුන්දෙනාගේ නමුත් ලියාගත්තා .

හාමුදුරුවෝ : ඒ පොත නැහැ?

නිවස භාරකරු : ඒ පොත නැහැ කියනවා.

හාමුදුරුවෝ : පොලීසියෙන්?

නිවස භාරකරු : ඔව්

හාමුදුරුවෝ : මාර කතන්දරයක්නේ මේක ඉතින්.

නිවස භාරකරු : පස්සේ එක්කන් ආවා හාමුදුරුවනේ මාංචු දාලා; එක්කගෙන ආවා. ඒයා තමයි කිව්වේ ටී.56 දෙකක් කාමරේ තිබ්බා කියලා; ඒකෙන් තමයි අපිත් දන්නේ ආයුධ තිබ්බා කියලා.

හාමුදුරුවෝ : වාහන හතර තියෙනකොට තමයි ඉලේසිංහ අංකල් පැමිණිලි කළේ ?

නිවස භාරකරු : ඔව් තුනක් ගිහින් එකක් ඉතිරිව තිබ්බා. ඊට පස්සේ තමයි පොලීසිය හවස ආවේ.

හාමුදුරුවෝ : ඒ කියන්නේ අවශ්‍ය කරන දේවල් පිටකරාට පස්සේ ආවා කියලනේ ඔයගොල්ලෝ කියන්නේ? ඇත්ත කතාව ඒකනේ වාහන 4 ම තියෙද්දි එන්න තිබුණානේ එහෙමනම්? මේ ‘ඉන්ක්වයර්’ එකට යන්න පරීක්ෂා කරන්න කියලා පොලිස්පතිතුමා කියලත් උදේ කියපු එකට හවසයි ආවේ. ඉතින් එතනින්ම පැහැදිලියිනේ මෙතන මොකක් හෝ යට ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා කියලා.

අගමැතිතුමා කියනවා දැන් ඉවරලු; ඔක්කෝම අත්අඩංගුවට අරන්. අගමැතිතුමාට කියනවා මේ ‘ටොම්පච’ අතාරින්නේ නැතුව මේකේ ඇත්ත තත්ත්වය රටට හෙළිදරව් කරන්න; පච කියන්න එපා; මේ අනතුර තවම පහව ගිහින් නැහැ. සරත් ෆොන්සේකා මහත්තයා ඉතාම පැහැදිලිව කියනවා මේක ඉවර නැහැ කියලා. අපි ඒක අනුමත කරනවා; මොකද හේතුව නිකම් මිනිස්සුන්ව ගන්නේ නැහැනේ අත්අඩංගුවට. ඒක නිසා ඉස්ලාම් අන්තවාදය – ත්‍රස්තවාදය තවම මේ රට තුළ පහව ගිහිල්ලා නැහැ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සහරාන් සමඟ පුහුණු වූ මවුලවිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

(20.08.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala)

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ නිකවැරටිය සහ හෙට්ටිපොල ජුම්මා මුස්ලිම් පල්ලි දෙකෙහි මවුලවිවරුන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද (20) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා ෴

***************************************

හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් – විදේශ අමාත්‍යාංශයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු

(20.08.2019 – 17:52 +0530 – hirunews.lk/sinhala)

නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා, ජාත්‍යන්තර ප්‍රජාව අනුගමනය කරන ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඇතැම් ද්විපාර්ශවික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් එම පත් කිරීමට එරෙහිව සිදුකරන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි එම අමාත්‍යාංශය මේ බව කියා සිටියේ.

මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, හෙට (21) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.

ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ලට් සහ දෙමළ ජාතික සන්ධානය ඊයේ නිවේදන නිකුත් කරනු ලැබුවා.

කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලයද ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව යුද සමයේ මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබදව චෝදනා එල්ල වී ඇති බවයි.

ඔහුගේ පත්වීම සංහිදියා සහ වගවීමේ ක්‍රියාවලියට එරෙහි පියවරක් ලෙස කැනඩාව හඳුන්වනු ලැබුවා.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙරට යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවයි.

විදේශීය පාර්ශවයන් මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලින්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය එමගින් අවධාරණය කළා.

මේ අතර නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට එරෙහිව සිදු කරන ප්‍රකාශ පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමු සහ උත්සව කිහිපයකදී අදහස් පළවුණා.

මේ අතර හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසුණා.

ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවේදී ජනාධිපතිවරයා හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ඨ සේවය අගය කරමින් සුහද කථාබහක නිරතවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා.

+++++++++++++++++++++

***************************************

පැරෂුටය ක්‍රියාත්මක නොවී අවසන් ගමන් ගිය දක්ෂතම පැරෂුට් සෙබළා

(20.08.2019 – 19:33 +0530 – sinhala.adaderana.lk)

විශේෂ කාර්ය බලකායේ සුපිරි දක්ෂතා දැක්වූ පැරෂුට් සෙබළෙකු අද පුහුණුවකදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් මියගියේ බළලත් නිලධාරී චම්පික කුමාරසිංහ නමැති නිලධාරියායි.

පිමි 900 කට ආසන්න සංඛ්‍යාවක් පැන ඇති ඔහු යුද හමුදාවේ දක්ෂතම පැරෂුට් සාමාජිකයෙක්.

අද (20) පෙරවරු 8 ට පමණ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පුහුණුවීම් කටයුතු සිදුව තිබේ.

අදාළ පුහුණුවීම් සඳහා වයි 12 කුඩා ගුවන් යානයට නැගි චම්පික සහ තවත් පැරෂුට් සෙබළෙකු බිමට පැන ඇත්තේ, අඩි දස දහසක පමණ උඩක සිටයි.

එහිදී චම්පික කුමාරසිංහ නැමති බලලත් නිලධාරියාගේ පැරෂුටය ක්‍රියාත්මක වී නැහැ.

යුද හමුදා පැරෂුට් කණ්ඩායමේ පුහුණුකරු කර්නල් විජිත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, උහන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි පැරෂුට් පතිත කලාපයේදී චම්පික කුමාරසිංහ සොයාගැනීමට හැකි වූ බවයි.

ඔහු අම්පාර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.

දෙදරු පියෙකු වන 42 හැවිරිදි චම්පික කුමාරසිංහ කඹුරුපිටියේ පදිංචිකරුවෙක්.

පැරෂුට් කණ්ඩායමේ වසර 12 ක පමණ පළපුරුද්දක් ඇති ඔහු, මහා බ්‍රිතාන්‍ය, ඉන්දුනීසියාව සහ ඩුබායි රාජ්‍යවලදී ජාත්‍යන්තර පැරෂුට් සංදර්ශනවලට සහභාගි වී තිබේ.

අවසන් වරට ඔහු පැරෂුට් භටයෙකු සිදුකරන දුෂ්කරම පාඨමාලාව වූ ‘බේස් ජම්ප්’ හදාරා ඇත්තේ, ඔස්ට්‍රියාවේදීයි.

ඉන් පසු එය අත්හදා බලා ඇත්තේ, ගාලු මුවදොර පැවති පසුගිය නිදහස් උළෙලේදී ෂැන්ග්‍රිලා හෝටලයේ සිට බිමට පනිමින්.

මෙහිදී තෙවැනියා ලෙස බිමට පනින්නේ අද අනතුරින් මියගිය චම්පික කුමාරසිංහ මහතායි :

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

පැටලුම ලිහා ගත්තත් චම්පිකගේ පැරෂුටය දිගහැරුනෙ බාගෙට

(21.08.2019 – mawbima.lk)

“අපි ඊයේ උදේ (20 දා) පැරෂුට් පතිත වීම් සඳහා අඩි 10,000 ක් පමණ උඩට ගියා. අපි තුන්දෙනා බැගින් තමයි පැරෂුට් පතිත වීම් සඳහා ගුවන් යානයෙන් පනින්නේ. මම මුලින්ම පැන්නා. ඊට පස්සේ තමයි මියගිය චම්පික කුමාරසිංහ පැනල තියෙන්නේ. මගේ පැරෂුට් එකේ උඩ ඔහු පැටලෙනවා දුටු මම කලබල වුණා. ඒ අවස්ථාවේ ඔහු මට කිව්වා කලබල වෙන්න එපා මේක හදාගන්න පුළුවන් කියලා. ඉන් පසුව අපි පැටලුම ලිහා ගත්තා.

පැටලුමෙන් නිදහස් වුණත් කුමාරසිංහගේ පැරෂුටය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නෑ. ඔහුගේ පැරෂුටය බාගෙට දිග හැරුණෙ. ඒ නිසා ඔහුට පැරෂුටය පාලනය කරගන්න බැරිව වේගයෙන් පහළට ඇදී ගියා. මගේ පැරෂුටය පාලනය කරගනිමින් මම නිසි ලෙස පැරෂුටය සමඟ අදාළ ස්ථානයට ගොඩ බැස්සා” යැයි ගුවන් හමුදා කෝප්‍රල් සුදේශ් කුමාර මහතා පොලිසියට පැවැසූ බව අම්පාර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති නිලන්ත විජේසිංහ මහතා පැවැසීය.

ඊයේ (20) උදෑසන පැරෂුට් පුහුණුවකදී අඩි 10,000 ක පමණ ඉහළ සිට වැටී අනතුරට ලක්ව මියගිය බලලත් නිලධාරි එම්.ඒ. චම්පික කුමාරසිංහ මහතා සමඟ පැරෂුට් පතිත වීම් සඳහා සහභාගි වූ ඔහු තමා දුටු දේ එසේ පවසා ඇත.

ලංකාවේ යුද හමුදාවේ පැරෂුට් කණ්ඩායමේ ‘බේස් ජම්ප්’වල යෙදෙන පුද්ගලයන් තිදෙනකු සිටි බවත් මියගිය බලලත් නිලධාරි කුමාරසිරි මහතා ඉන් එක් අයකු බවත්, ඔහු විදේශීය රටවල් කීපයක පුහුණුව ලබා ඇති දක්‍ෂ අයකු මෙන්ම එබඳු ‘පැනීම්’ 680 ක පමණ යෙදී ඇති අයකු බවත් එම පැරෂුට් කණ්ඩායමේ මේජර්වරයකු වන යූ.ආර්.අයි. පෙරේරා මහතා පවසයි.

ජාතික නිදහස් උත්සව අවස්ථාවලදී කුමාරසිරි මහතා ඇතුළු තිදෙනකු ‘බේස් ජම්ප්’වල යෙදුණු බවත් ඔහුගේ හදිසි මියයෑම හේතුවෙන් ඉදිරි නිදහස් දිනවලදී ඒ සඳහා දෙදෙනකු පමණක් යොදවා ගැනීමට සිදුවන බවත්, පැවැසූ මේජර් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ අත්දැකීම් බහුල මෙම අති දක්‍ෂ නිලධාරියාගේ ජීවිතය තප්පර කීපයකදී නැතිවීම යුද හමුදා පැරෂුට් අංශයට විශාල පාඩුවක් බවත්ය.

ඔවුන් මෙසේ ප්‍රකාශ කළේ අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුව ලබමින් සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බලලත් නිලධාරි ධ්ධ් චම්පික කුමාරසිංහ (42) මහතා ඊයේ (20) ජීවිතක්ෂයට පත්වීම පිළිබඳවය.

ඊයේ පෙරවරු 8.00 ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත.

චම්පික කුමාරසිංහ මහතා 3 වැනි යුද හමුදා විශේෂ බළකායේ නිලධාරියකු වන අතර ඔහු කඹුරුපිටිය, පුහුල්වැල්ල, ඕවිටිගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගොස් ඇති බලලත් නිලධාරියා නිදහස් දින පෙළපාළි සහ විජයග්‍රාහි පෙළපාළිවලදී ඉහළ අහසේ සිට පැරෂුට් සන්දර්ශන ඉදිරිපත් කළ යුද හමුදා පැරෂුට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවත් කමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පාඨමාලා උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ බවත් යුද හමුදාව පවසයි.

සිද්ධියත් සමඟ සැරයන්වරයා ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක මහතා පැවැසීය.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව සිරුර ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියකු පැවැසීය. සිද්ධිය සම්බන්ධව උහන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත ෴

+++++++++++++++++++++

පුහුණුවට ගිහින් පැරෂුටයේ වරදින් ඇදවැටී මියගිය රණවිරුවාගේ ඛේදාන්තය

(21.08.2019 – mawbima.lk)

ජීවිතය ජීවත් කරවන්න නොව තම මවගේත් සහෝදරයන් දෙදෙනාගේත් එකම සහෝදරියගේත් ජීවිත ජීවත් කරන්නට පියාගේ වියෝවෙන් පසු නිවෙසේ බර කරට ගත් ඔහු අද ජාතියම හඬවමින් මොලොවින් සමුගත්තේ වීරෝදාර රණවිරුවකු ලෙසින්ය.

ඒ කඹුරුපිටිය ඕවිටිගමුව පදිංචිව සිටි රණවිරුවකු ලෙස මෙලොවින් සමුගත් එච්.කේ. චම්පික කුමාරසිරි විරුවාය. ඒ.එච්.කේ. අන්දිරිස් සහ කොළඹගේ විමලාවතී යන මාපිය යුවලට දාව මෙලොව එළිය ලැබූයේ පවුලේ වැඩිමලා ලෙසය. ඔහු 1977 ජනවාරි මස 13 වැනි දින කඹුරුපිටිය රෝහලේදී මොලොව එළිය දුටු අතර කඹුරුපිටිය ඕවිටිගමුව ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික සිප් සතර හැදෑරීය. වැඩිදුර අධ්‍යාපය සඳහා මාර කිරින්ද පුහුල්වැල්ල මහ විදුහලට ඇතුළත් වූ අතර අ.පො.ස. උසස් පෙළ සඳහා එම පාසලේ අධ්‍යාපන කටයුතුවල යෙදුණේය. පවුලේ දෙවැනි සහෝදරයා සහ තෙවැනි සහෝදරයාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙන්ම බාල නැඟණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩිදුර උසස් අධ්‍යාපනය අතහැර දැමූ කුමාරසිරි තරුණයා මවගේ සහ සහෝදර සහෝදරියන්ගේ කුසගිනි නිවීමට පියෙක් විය. පසු කාලීනව සමෘද්ධි සංවර්ධන නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ කුමාරසිරි තරුණයා එවක පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හමුවේ ගමට වී සිටීමට නොහැකි යැයි නිතර නිතර කියන්නට විය.

එහෙත් පවුලේ සහෝදර සහෝදරියන් තම වැඩිහිටි සහෝදරයා නිවෙසින් බැහැර දුර පළාතක යනවාට අකැමැති හෙයින් හමුදාවට යෑමට ඔහුට පහළ වූ සිතට බාධා එල්ල විය. එහෙත් තමාගේ යුතුකම රට වෙනුවෙන් සේවය කිරීම බව හොඳින් සිතට ගත් කුමාරසිරි පවුලේ සැමට හොරෙන් හමුදාවට බැඳීමට සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගි විය. එහෙත් පොලිස් වාර්තාව ලබා දීමේදී පොලිස් නිලධාරියකු නිවෙසට පැමිණ තොරතුරු විමසන විට පවුලේ සියල්ලන්ම විමතියට පත් විය. එහෙත් මවගේ ආශිර්වාදය මැද 2005 වර්ෂයේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. එයින් පුරා දහ හතර වසරක් සේවයේ සිටි චම්පික කුමාරසිරි මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන විශේෂ බළකායේ බලයලත් පුහුණු නිලධාරියකු ලෙස කටයුතු කරද්දී ඊයේ (20 දා) අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම නිසා බිම ඇද වැටී මියගොස් ඇති බව හමුදාව වාර්තා කළ බව පවුලේ ඥාතීහු පවසති.

අගෝස්තු 02 දා දින හතක නිවාඩුවකට කඹුරුපිටිය තම නිවහනට පැමිණියේ දහසක් බලාපොරොත්තු තම ආදරණීය බිරියට පැවිසීමටය.

චම්පික කුමාරසිරි මහතාට දාව දරුවන් දෙදෙනකු සිටින අතර වැඩිමහල් දියණිය පාසලේ තෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. බාල පුතණුවන් පළමු ශ්‍රේණියේය. මෙම පවුලට එක්වීමට සිටින තෙවැනියා තවත් මාස දෙකකින් මොලොව එළිය දැකීමට නියමිතය. තෙවැනියා ගැන බිරිය පවසන ඒ සෙනෙහසේ බස් ඇසීමට ඔහු නිවෙසට පැමිණියේ අගෝස්තු 02 වැනිදාය. එහෙත් දරුවන්ගේ සුරතලයට සම වැදුණු කුමාරසිරිට දින හතක් ගෙවී ගියේ ඔහුට නොදැනීය.

ඒ අනුව ඔහු යළිත් රාජකාරියට අගෝස්තු 10 පිටත් විය. එලෙස යන අතර බිරියට දුන් බලාපොරොත්තුව වූයේ තමා මේ වසරේ දෙසැම්බර් මස විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද තවත් වසර දෙකක් දීර්ඝ කර ගත් බවත් ඊළඟ මාසයේ පැමිණ ඉඩමක් මිලදී ගන්නා බවත්ය.

ඒ වගා කටයුතු කිරීම සඳහාය. වගාවට උපන් හපන් දස්කම් පෑ කුමාරසිරි රණවිරුවා මේ වනවිටත් නිවෙස වටේ වගා කටයුතු කර හමාරය. මඤ්ඤොක්කා, මිරිස්, මෑකරල් වැනි බෝග මේ වන විටත් ඔහුගේ ගෙවත්තේ වගා කර ඇත්තේ නිවාඩුවට එන දින කිහිපය තුළදීය. ‘සත්විරු සංහිඳ’ අපි වෙනුවෙන් අපි අරමුදලේ ප්‍රතිපාදනවලින් කුමාරසිරි පවුලට නව නිවහනක් හිමිවූයේ 2016 ඔක්තෝබර් 12 වැනි දිනය. එම නිවෙසේ ජීවත් වූ කුමාරසිරි මහතාගේ බලාපොරොත්තුව වූයේ ඉඩමක් මිලට ගෙන එය අස්වැද්දවීමයි. කුමාරසිරි මහතාගේ දෙවැනි සහෝදරයා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතුව සිටියදී පලාලි ප්‍රදේශයේදී රුදුරු ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරකට ලක්ව ආබාධිත රණවිරුවෙකු ලෙස සිටී. ඔහුගේ දෙවැනි සහෝදරයා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන අතර ඔහුගේ එකම නැඟණිය නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම ගෙන ඇත.

කොළඹගේ විමලාවතී මෑණියන්ට තම දරුවන් සිවු දෙනාම රට දැය රැකීමට දේශයට දායාද කිරීම නිසා ඇය වීරමාතා පදක්කමින්ද පිදුම් ලබා ඇත. හක්මන කෝංගල පදිංචිව සිටි නිරෝෂා ප්‍රියදර්ශනී සමඟ විවාහ වන විට ඇයට වයස විස්සකි.

තම ජීවිතයේ වැදගත්ම මොහොතේ තම ස්වාමිපුරුෂයාට සිදුවූ විපත මෙනෙහි කරන්නට තරම් ශක්තියක් ඇයට නොමැති. ඒ අටමස් ගැබිනියක් වූ බැවිනි. සිදුවූ දේ සිතා ගැනීමට නොදන්නා මේ දරුවන්ට තම පියාගේ වියෝව හරි හැටි නොතේරෙන අතර මවගේ හඬා වැටීම හමුවේ මේ කිරිසප්පයන් ද හඬා වැටෙමින් සිටී ෴

***************************************

ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි

(20.08.2019 – 22:56 +0530 – lankadeepa.lk)

යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 08:30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *