අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු තුනක්

(20.08.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙනවා.

ඉන් ඉල්ලා තිබෙන්නේ විත්තිකාර ශානි අබේසේකර මහතා සිය රාජකාරි කටයුතු වලදි අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට විරුද්ධව ගොනු කර ඇති නඩු දෙකක් ඊයේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉන් එක් නඩුවක් ගොණුකර ඇත්තේ පතාල නායක මාකදුරේ මදුෂ්ගේ නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතායි.

2018 අංක 5 දරණ පනතින් බලාත්මක කෙරුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජත්‍යාන්තර සම්මුතියට අනුව තමන්ට සේවාලාභියා හමුවීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා අධිකරණය සඳහන් කළේ ඒ සඳහා තමා කළ ලිඛිත ඉල්ලීම ශානි අබේසේකර මහතා විසින් ලිඛිතව ප්‍රතික්ෂේප කළ බවයි.

එසේම 2019 ජුලි මස 13 වන දින සැකකාර රුදවියා හමුවීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදි කුමන හේතුවක් මත හෝ සැකකරු මුණගැසීමට අවස්ථාවක් නොදෙන බවත්, ඔවුනට කරදර නොකර ඉවත්ව යන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැවසු බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

මෙසේ සිය සේවාලාභියා හමුවීමට ඉඩ ලබා නොදීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 332 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

එසේම ඉන් අනතුරුව කැඳවනු ලැබු දෙවන නඩුවට අදාළව කරුණු දක්වමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා සඳහන් කළේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැය 48ක් තුළ දැන්විය යුතු වුවද, මධුෂ් ලක්ෂිත අත්අඩංගුවට ගැනීමෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නියෝගය පිළිපැද නොමැති බවයි.

එසේ නොදැන්වීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවටද නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙහිදි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ කුමන හේතුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරු රඳවාගෙන සිටින්නේද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ප්‍රභු ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරු රඳවුම් භාරයට ගෙන තිබුණද, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකරුවෙකු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පවා ඇප මත මුදා හැර සිටින පසුබිමක මධුෂ් ලක්ෂිත මේ දක්වා රුඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ කුමන කරුණක් මතද යන්න තමාද නොදන්නා බවයි.

මෙම නඩු විභාගයන්ට සහභාගි නොවි විත්තිකාර ශානි අබේසේකර මහතා විදෙස් ගතවීමට උත්සහ දරන බවට තොරතුරු ලැබී ඇති බැවින් විත්තිකරු විදෙස් ගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් වූ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සහ නඩුව යළි කැඳවීම මේ මස 29 වැනි දින සිදුකරන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම්දුන්නා.

මේ අතර නීතිඥ ජාලිය සමරසිංහ, අසංක පෙරේරා සහ උද්දික මල්වාන යන මහත්වරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනු කර ඇති තවත් නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදි කැඳවනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ලෙස නම් කරන ලද සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඕනෑකමින් මගහරින බවට චෝදනා එම නඩුවෙන් චෝදනා එල්ල කර තිබුනා.

විත්තිකාර ශානි අබේසේකර මහතා මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සහභාගී නොවී නුදුරු අනාගතයේදීම විදෙස් ගතවීමට කටයුතු සූදානම් කර සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් විත්තිකරු විදෙස් ගතවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අදාළ තීරණය එළඹෙණ 23 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්දුන්නා.

මේ අතර ප්‍රවෘත්ති සාකච්චාවකදි නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කර තිබු පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ මනෝජ් ගමගේ මහතා අද කොටුව පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටියා.

***************************************

ශවීන්ද්‍රට විරුද්ධ වන බටහිරට එදා මහින්ද ඇඹිලිපිටියේදී දුවන්න දුන් උත්තරය ආචාර්ය නාලක ගොඩහේවා මතක් කර දෙයි..

(20.08.2019 – facebook.com/nalaka.godahewa)

ලංකාවේ නව හමුදාපති ලෙස ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ පෙරමුණේම සිටි විරෝධාර රණ විරුවෙක් වන ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා පත් කිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය විරෝධය පල කරලා තිබෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ ස්වාධින රටක්. මේ රටේ හමුදාපතිවරයෙක් පත් කල විට ඒ ගැන විරෝධය දක්වන්නට ලංකාව තුල තියෙන විදේශ තානාපති කාර්යාලයකට පුළුවන් වන තරමට අද ලංකාව බටහිර බලවතුන් ඉදිරියේ හෑල්ලු වෙලා තියෙනවා. මේකට හේතුව අද මේ රට පාලනය කරන නායකයන්ගේ නිවට නියාලු කම. මේ වගේ ප්‍රකාශයක් තනාපති කාර්යාලයකින් කල විට මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට හෝ විදේශ ඇමතිවරයට පුළුවන් වෙන්න ඕනේ අදාල තානපතිවරයා හෝ වරිය ගෙන්වා මේ ගැන ප්‍රශ්ණ කරන්න. ලංකාවේ මින් පෙර සිටි රාජ්‍ය නායකයෝ එහෙම කරල තියෙනවා. සුද්දට ඔහුගේ තැන කියල දීල තියෙනවා. අපට මතකයි 2009 අප්‍රේල් මාසේ ලංකාවේ යුද්ධය නතර කරන්න කියල පනිවිඩයක් ඇරන් ආපු එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට ඇඹිලිපිටියේ වැව් තාවුල්ලේ ඉදගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන්න අභීත උත්තරය. ඔහු කීවා “මතක තබා ගන්න මේ රට තව දුරටත් ඔබේ කොලනියක් නොවේ. මේක ස්වෛරී රටක්. මෙහි නායකයා විදියට මම කරන්නේ මගේ ජනතාවට අවශ්‍ය දේ මිස ඔබ කියන දේ නෙමෙයි” කියල. අද අපේ රටේ ඉන්න නායකයන්ට පුළුවන්ද කොන්ද කෙලින් තියාගෙන එසේ කියන්න ?

අනික් අතට ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ විරෝධය පල කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ථාවල තිබෙනවා කියලා ශවීන්ද්‍ර සිල්වා යුධ අපරාධ කල කියලා. මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා ගැන. නමුත් අපිට අමතක නැහැ 2018 ජනවාරි මාසයේ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අතිශයින්ම දූෂිත තැනක් කියා ඉන් ඉවත් වුනා. ඒ ඇමෙරිකාව ඊශ්‍රායායේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට සහාය දෙනවා කියා චෝදනාවක් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ විටයි. ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධනයේ නිත්‍ය නියෝජිත නිකී හේලි එදා කීවේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලන පක්ෂාග්‍රාහිත්වයෙන් පිරි මඩ වලක් කියලයි , “A cesspool of political bias” . එදා ඇමෙරිකාවට නරක් වූ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා අද ලංකාවේ යුධ විරුවෙක් සමබන්ධයෙන් නිවරදි වන්නේ කොහොමද කියා අපි අහනවා.

අනික් අතට ජෙනරාල ශවීන්ද්‍ර සිල්වා පමනක් නොවෙයි ත්‍රස්ථවාදයට එරෙහි යුධයට සහභාගී ලංකාවේ කීර්තිමත් යුධ හමුදාව යුධ අපරාධ කල ම්ලේච්චයන් පිරිසක් ලෙස හංවඩු ගැහුනේ කෙලෙසද කවදාද කියන එකත් අප අමතක නොකල යුතුයි. ලංකාවේ හමුදාව යුධ අපරාධ කලායැයි අතිශයින් අසත්‍ය සාක්කි මත පදනම් වූ වාර්ථාවක් 2015 සැප්තැම්බර් මාසයේ 15 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ අවස්ථාවේ යහපාලන රජයේ විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මේ වාර්තාව කියවන්නෙවත් නැතුව , එහි අඩංගු බොරු චෝදනාවල වගකිව යුතු රජයක් ලෙස පිළිතුරු දෙනවා වෙනුවට එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අගය කරමින් පිළිගත්තා. එපමනක් නොවෙයි එම වාර්ථාව පදනම් කරගෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ජිනීවා 30/1 යෝජනාවට ඇමෙරිකාව සමග එක්ව සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. කොටිම කියනවානම් ශවීන්ද්‍ර සිල්වලා යුධ අපරාධ කලා කියා මේ අමන යහපාලන ආන්ඩුව ලෝක ඉදිරියේ පිළිගෙන ඉවරයි. මානුෂික මෙහෙයුමට සහභාගී නිලධාරීන්ට පමනක් නෙවෙයි සොල්දාදුවෙකුට වත් අද එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක සේවය කරන්නට අවසර නැත්තේ ඒකයි.

අද අපේම ගේ දොරකඩ ඉද ගෙන ලංකාවේ හමුදා පත් පත් කිරීමට එරෙහිවෙමින් ඇමෙරිකාව අපේ ස්වෛරීත්වයට ගරහන කොට කටත් පශ්චාත්බාගයත් දෙකම වසා ගෙන ඉන්නට ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ ඒ නිසයි.

අපි තව දුරටත් දැක්කා දෙමල සංධනයේ නියෝජ්‍ය නායක සුමන්දිරම් මහතා කියනව ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ලෙස පත් කිරීම දෙමල ජනතාවට කල අවමානයක් කියා. ප්‍රභාකරන් දෙමල ජනතාව ලක්ෂ ගනනක් ආරක්ෂක පලිහක් ලෙස යුධ බිමේ යොදාගෙන සිටින විට කොළඹ සැඟවී ප්‍රබාකරන්ට සහාය දුන් සුමන්දිරම්ට අමතකවෙලා තිබෙනවා ජෙන‍රාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුලු රන විරුවන් යුධ බිමේ කොටි වී සිටි අහිංසක දෙමල ජාතිකයන් 290,000 පමණ ත්‍රස්ථවාදීන්ගේන් මුදවාගත් බව. එසේ ජනතාව මුදවාගත් නිසා තමයි අපි ඒ අවසන් සටනට මානුෂික මෙහෙයුම කීවේ. ඒ අහිංසක මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගලවාගත් හමුදාවට එදා පින් දුන්නා. ඔවුන් ගලවා ගත් විරුවන්ට ගැන මේ ආකාරයට බොරු කීම තුලින් අද දෙමල ජනතාවට අපහාස කරන්නේ ඔවුන්ගේ නියෝජිතයෙක් යැයි කියාගන්නා සුමන්තිරම්මයි.

+++++++++++++++++++++

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය හා එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරිය අප්‍රසාදය පලකිරිම ගැන මාධ්‍ය වේදියා ඇසූ ප්‍රශ්ණ වලට දුන් සම්පූර්ණ පිලිතුරු

Posted by Nalaka Godahewa on Tuesday, August 20, 2019

***************************************

ලක්ෂ්මන් යාපාගෙන් කතානායක කරු ජයසූරියට අභියෝගයක්

(21.08.2019 – 21:14 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ අර්බුදය අවසානයේ එක්සත් ජාතික පක්ෂය කොටස් තුනකට බෙදී වෙන් වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

***************************************

පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් මියගිය හමුදා සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක්

(21.08.2019 – 20:37 +0530 – hirunews.lk/sinhala)

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පුහුණුවීම් අතරතුර පැරෂුටය ක්‍රියාත්මක නොවීම නිසා යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

එම නිලධාරියා සමඟ පුහුණුවීම්වලට එක්ව සිටි ලාන්ස් කෝප්‍රල් හර්ෂ කුමාර අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කුඩා ඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ බලලත් නිලධාරි එච්.එච්.ඒ. චම්පික කුමාරසිරි නැමති නිලධාරියායි.

චමින්ද කුමාරසිරිල කිරින්ද පුහුල්වැල්ල, ඕවිටිගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මියගිය හමුදා නිලධාරි චම්පික කුමාරසිරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේදී පැවැත්වුණු අතර එහිදී විවෘත තීන්දුවක් ලබාදෙමින් ඔහුගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා.

***************************************

වසර 10 කදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි 24,000 යි

(21.08.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala)

2009 වසරේ සිට 2019 දක්වා කාලය තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුපියල් කෝටි 24,000 ක පාඩුවක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කොප් කමිටුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරිම සදහා 2013 සහ 2014 වර්ෂවලවලදි ඒ 350, 900 ගුවන් යානා 08 ක් අත්පත් කරගැනිමේ ගිවිසුම අවසන් කිරිම පිළිබදව වාර්තාවයි කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමට රුපියල් කෝටි 11,600 ක මෙහෙයුම් අලාභයක් ද මේ හේතුවෙන් සිදුව ඇති බව කෝප් කමිටුව අද ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම රාජ්‍ය බැංකු සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 146 ක් බවද එහි සඳහන්.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලිමට පත් කල පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නිල කාලය අනිද්දා දිනයෙන් අවසන් විමට නියමිතව තිබු අතර එහි නිල කාලය ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා දිර්ඝ කිරිමට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ප්‍රහාරය සිදුවී අදට මාස 4 ක්.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වුණා ෴

+++++++++++++++++++++

***************************************

බැඳුම්කර වංචාවට නොදෙවෙනි මහා කොල්ලයක් ගැන ඩලස් හෙළිකරයි

(21.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට නොදෙවෙනි මහා පරිමාණ කොල්ලයක් මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එක්වුණා.

+++++++++++++++++++++

***************************************

ව්‍යවස්ථාදායක සභාව ගැන පාර්ලිමේන්තුවේ විවාද

(21.08.2019 – 18:33 +0530 – hirunews.lk/sinhala)

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වුනා.

***************************************

ඇවන්ගාඩ් සිද්ධියට නීතිපතිගෙන් චෝදනා 7,573 ක්

(21.08.2019 – 17:18 +0530 – hirunews.lk/sinhala)

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව නිශ්ශංක සේනාධිපති ඇතුලු 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න කියා සිටියේ සිද්ධියට අදාළව නීතිපතිවරයා චෝදනා 7573 ක් ගොනුකර ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණ වූ කරුණු කෙරෙහි අවධානය යොමුකර අදාළ නීති කටයුතු ජූරි සභාවක් නොමැතිව විශේෂ මහාධිකරණයක් මගින් පවත්වනු ලබන නඩු විභාගයක් ලෙස පැවැත්වීම උචිත බව නීතිපති දප්පුලද ලිවේරා ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ

(21.08.2019 – 15:56 +0530 – hirunews.lk/sinhala)

කෙත්හේන පවිත්‍රාගාරයේ අලූත්වැඩියාවක් නිසා කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුන ඇතුළතදී ජල සැපයුම විටින් විට අත්හිටුවීමට සහ අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට මෙලෙස විටින් විට ජලසැපයුම අත්හිටවනු ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

එසේම පිලමිනාවත්ත, බෝම්ඹුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද එය ක්‍රියාත්මකයි ෴

***************************************

පොලීසියේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ එජාප මන්ත්‍රීවරිය රිමාන්ඩ්

(21.08.2019 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු, සහ ඇගේ වැඩිමහල් සහෝදරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව චෝදනා එල්ලවී වරෙන්තු ලබා සිටි මන්ත්‍රීවරියගේ පියා සහ 16 හැවිරිදි ඇගේ බාල සහෝදරිය මෙහිදී ඇප මත මුදා හැරුණා.

මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්‍රය සහ අනෙකුත් අවසර පත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුව – සීනෝර් මංසන්ධියේදී පෙරේදා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇයගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා.

***************************************

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වර්ජනය ස්ථිරයි

(21.08.2019 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (22) උදෑසන 8 සිට පැය 24 ක කාලයක් දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

බාල ඖෂධ සහ රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රමවේදයන් පිළිබඳ ගැටළු සහ නුසුදුස්සන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට ගන්නා උත්සාහය ඇතුලු කරුණු 8 ක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවීමට තීරණය කළේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ සේවාවන්හි පවතින සුවිශේෂී තත්වයන් සැළකිල්ලට ගෙන මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම වර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ කිසිදු සහයෝගයක් නොමැති බව එහි කමිටු සාමාජික වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා ෴

***************************************

බස්රථයකට යටවී කාන්තාවක් මියගිය අයුරු CCTV කැමරාවක සටහන් වෙයි

(21.08.2019 – 14:04 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම බස්නැවතුම් පොළ ප්‍රවේශයේ දී ඊයේ (20) සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

හංවැල්ලේ සිට හෝමාගම දක්වා ධාවනය වූ බස් රථයක ගැටී එම බස්රථයේම ඉදිරි පස රෝදයට යට වීමෙන් මෙම කාන්තාව මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරදු 85 ක් වු කොතලාවල, කඩුවෙල ලිපිනයේ පදිංචි කාන්තාවක්.

හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

අනතුර සිදුවන ආකාරය අසළ වෙළඳසැළක සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.

***************************************

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය – අවම වයස අවුරුදු 18 දක්වා ඉහලට

(21.08.2019 – 11:08 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ යෝජනාවට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව, මෙම පනතේ අන්තර්ගතව තිබූ විවාහ විය යුතු අවම වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධි විධාන ආදී කරුණු සංශෝධනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සමාජය තුළ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වූ අතර, ඒ සඳහා මුස්ලිම් ප්‍රජාවගෙන් සහ මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරින් විසින් ද යෝජනා ද ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව නව සංශෝධනය මගින් මුස්ලිම් ජාතිකයෙකු විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමෙන බවයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *