ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පර්යේෂණ වලට රජයේ සහාය ලැබුණොත් එය විශාල ශක්තියක් – මහාචාර්ය චන්දන ජයරත්න

(21.08.2019 – mawbima.lk)

ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මඟින් සිදුකළ පරීක්‍ෂණවලින් සොයාගත් නව ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලට රජයේ සහාය ලැබෙන්නේ නම් එය පරීක්‍ෂණවලට විශාල ශක්තියක් වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ මෙම නව ග්‍රහලෝක පද්ධතිය සොයා ගැනීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් හිමිවන බව ද තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ තාක්‍ෂණය අතින් දියුණු යුරෝපීය රටවල් අතරට එක්වීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ කියා සිටිති.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා පශ්චාත් උපාධිය හදාරන ශිෂ්‍යයෙකු වන තරුණ තාරකා විද්‍යාඥ මහේෂ් හේරත්, තාරකා විද්‍යාඥ සරාජ් ගුණසේකර සහ මහාචාර්ය චන්දන ජයරත්න ඇතුළු ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් මාස නවයක පමණ කාලයක් තිස්සේ කළ පරීක්‍ෂණවලදී මෙම නව සෞරග්‍රහ මණ්ඩලය සොයාගත් බව ඊයේ (20 දා) මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී හෙළි කෙරිණි.

මෙම සොයා ගැනීම ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ලැබූ විශිෂ්ටතම සොයා ගැනීමක් යැයි ද එහිදී ආතර් සී. ක්ලාක් ආයතනයේ විද්‍යාඥයෝ කියා සිටියහ.

මෙම විශිෂ්ට සොයා ගැනීම මෙරට විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නව පෙරළියකට හේතු වන බවත් තරුවේ ලක්‍ෂණ නොව ග්‍රහලෝකයේ ලක්‍ෂණ පිළිබඳ සියුම් ලෙස කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහමණ්ඩලය සොයා ගැනීමට හැකි වූ බවත් තාරකා විද්‍යාඥ (ශිෂ්‍ය) මහේෂ් හේරත් මහතා එහිදී කියා සිටියේය.

ග්‍රහ මණ්ඩලයේ දීප්තියෙන් අඩු තාරකා පිළිබඳ තාරකා විද්‍යාඥයන් එතරම් සැලකිල්ලක් නොදක්වන නමුත් තමා මේ දීප්තියෙන් අඩු තාරකා පිළිබඳව දිගින් දිගටම කළ පරීක්‍ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහ මණ්ඩලය හඳුනා ගැනීමට හැකි වූ බවද හෙතෙම කීය.

මෙම නව ග්‍රහ මණ්ඩලය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටා ඇතැයි ද හෙතෙම කීය.

මෙම නව ග්‍රහ මණ්ඩලය තුළ තරුවක් (සූර්යයෙක්) සමඟ පාර ග්‍රහයන් දෙකක් පිහිටා ඇතැයි ද මේවායේ ජලය හෝ ජල වාෂ්ප තිබෙන්නට හැකි යැයි විශ්වාස කරන බවත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී සනත් පනවෙන්නගේ මහතා කීය.

ආතර් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා 2017 වසරේ දී සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇති තාරකාවලට අයත් ග්‍රහ මණ්ඩලය සොයා ගැනීම සඳහා නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම් දත්ත උපයෝගි කර ගෙන ඇත. මෙම පරීක්‍ෂණ කටයුතු ඒ මහතා ආරම්භ කළ පසු 2018 වසරේදී තරුණ විද්‍යාඥයකු වන මහේෂ් හේරත් මහතා මේ පිළිබඳ දිගින් දිගටම පරීක්‍ෂණ සිදුකර ඇත.

නාසා ආයතනයේ කෙප්ලර්-2 මෙහෙයුම මඟින් තරු 5,88,991 ක් පමණ නිරීක්‍ෂණය කර ඇත. එහිදී විශේෂ පරිගණක ඇල්ගොරිතමක් භාවිත කර ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු හඳුනාගෙන තිබූ බව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ පවසති.

2018 වසරේදී කෙප්ලර් – 2 මෙහෙයුමෙහි හය වැනි නිරීක්‍ෂණ සැසියේදී ආලෝක වර්ෂ 1133 ක් දුරින් පිහිටි EPIC 212737443 නමැති තරුව නිරීක්‍ෂණය කරනු ලැබීය. ඒ අනුව එම තරුව වටා භ්‍රමණය වන ග්‍රහලෝක දෙකක් තිබෙන බව පළමු වරට සොයා ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ සමත්ව සිටිති.

ඒ අනුව විදේශ රටවල විද්‍යාඥයන් 11 දෙනකුගේ සහාය ලබා ගනිමින් පාරා ග්‍රහයන්ගේ සහ අදාළ ජනක තාරකාවේ භෞතික ලක්‍ෂණය නිරීක්‍ෂණයට ලක්කර ඇත.

මේ වන විට මහේෂ් හේරත් මෙම පර්යේෂණය පාදක කර ගනිමින් දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇත.

මේ වන විට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් විසින් සොයාගත් මෙම නව ග්‍රහ මණ්ඩලය සම්බන්ධව බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ සඟරාවෙහි නිල වශයෙන් මෙම සොයා ගැනීම ප්‍රකාශයට පත් කර ඇතැයි ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියයි.

මෙම ග්‍රහලෝක දෙක වායු ගෝලයක්, ජලය සහිත මතුපිට පෘෂ්ඨයක් සහ පාෂාණ අභ්‍යන්තරයක් ඇතැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

මෙය පෘථිවිය මෙන් නව ගුණයක් පමණ විශාල වන අතර ගුරුත්වාකර්ෂණයද සමාන වේ. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය 1.4 ක් පමණි.

– ශිරාන් රණසිංහ

***************************************

21-08-2019

***************************************

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩ භාර ගනී – ඇමරිකාවෙන් යලි අනතුරු ඇඟවීමක්

(21.08.2019 – 10:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, අද පෙරවරු 09:52 ට යෙදුණු සුබ මොහොතින් හමුදා මූලස්ථානයේදී වැඩ භාරගත්තා.

ඒ, ආගමික වතාවත් මධ්‍යයේයි.

වැඩබාර ගැනීමට පෙර හමුදාපතිවරයා වෙනුවෙන් සාම්ප්‍රදායික හමුදා සම්මාන මුරයක් සහ ගජබා රෙජිමේන්තුවේ ආචාර පෙළපාලියක් ද පැවැත්වුණා.

ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ පළමුවන යුද හමුදාපතිවරයා ලෙසයි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හදුන්වන්නේ.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේදී යුධ හමුදාවට බැදුණු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා දියත් කෙරුණු මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, යුද්ධය නිමාවීමෙන් අනතුරුව නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළා.

ඉන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබුවා.

මේ අතර, ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට 23 වන හමුදාපතිවරයා ලෙස පත් වීමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 480 මුල්‍ය අධාරය ශ්‍රි ලංකාවට ලබා දිම සම්බන්ධයෙන් සලකා බැලීමට සිදුවන බව ඇමරිකාව පවසනවා.

රොයිටර් පුවත් සේවය කළ විමසීමකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති නිලධාරියෙකු හමුදාපති තනතුරට පත්වීමත් සමඟ දෙරට අතර යුධ සබදතාවලට මෙන්ම ආයෝජනවලටද බලපෑම් එල්ල විය හැකි බවයි.

ඇමරිකාව යුධ හමුදාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔවුන් කියා සිටියේ මෙම පත්වීම සංහිදියාවට බාධාවක් බවටයි.

මේ හේතුවෙන් දෙරට අතර සබදතා යම් සීමාවකට යටත් කිරීමට සිදුවන බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපද රජය සමඟ එළඹි සහයෝගිතා ගිවිසුම සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

කැබිනට් තීරණ දැනුම් දෙමින් ඔවුන් සඳහන් කළේ තිරසර සහ ආවරණික ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රදානයක් ලබා ගැනීම සඳහා 2011 වසරේදී ශ්‍රී ලංකා රජය, ඇමරිකාව සමඟ සහයෝගිතා ගිවිසුම් දෙකකට එළඹි බවයි.

එකී වැඩසටහන් සඳහා ලබාදෙන ලද දායකත්නව පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 35.95 සිට 47.81 දක්වා සහ ඩොලර් මිලියන 33.86 සිට 44.52 දක්වා වැඩි කරමින් වැඩසටහන් අවසන් කිරීමේ දිනය 2022 දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවද එහි දැක්වෙනවා.

+++++++++++++++++++++++++++++++++++

හමුදාපති ශවේන්ද්‍රට ගෝලීය සංසදයෙන් සුභ පැතුම්

(21.08.2019 – 17:17 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගෝලීය සංසදය විසින් සුභ පැතුම් එක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදය විසින් සුභ පැතුම් එක්කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීම සඳහා ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන සේනාංකය වෙත දුන් කැපී පෙනෙන හා ධෛර්ය සම්පන්න නායකත්වය පිළිබඳ ඉමහත් කෘතඥතාවෙන් සිහිපත් කරන බව එම සංසදය සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 300,000 කට ආසන්න සිවිල් වැසියන් බේරා ගැනීමේදී ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ආදර්ශමත් නායකත්වය සිදු වූ බව ශ්‍රී ලංකා ගෝලීය සංසදය පවසයි.

ශ්‍රී ලංකා ගෝලීය සංසදය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලාංකිකයන් ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂිත වනු ඇති බවට සහතික විය හැකි බවත් ය ෴

+++++++++++++++++++++++++++++++++++

From : https://www.facebook.com/nalaka.godahewa

අපූරු පරණ මතකයක්. 2010 ජෙනරාල් සරත් ෆොන්සේකා සුදු කොඩි චෝදනාව කල දවසේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ පුහුණු වැඩසටහනක ආරාධිත දේශණයකට පැමිණ සිටියා. මේ, මා එදා ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක ලෙස කී දෙයයි. ඒ අනුව සුදු කොඩි චෝදනාව ගැන පළමුවෙන්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලේ සමහරවිට මා විය හැකියි.

An old memory. The day Gen Sarath Fonseka accused Major General Shavendra Silva he was the chief guest at a SLIC program. Here is what I said as CEO of SLIC .I would have been the first person to comment on this publicly.

– නාලක ගොඩහේවා

අපූරු පරණ මතකයක්. 2010 ජෙනරාල් සරත් ෆොන්සේකා සුදු කොඩි චෝදනාව කල දවසේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිටියේ ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනයේ පුහුණු වැඩසටහනක ආරාධිත දේශණයට පැමිණය. මේ මා එද ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක ලෙස කී දෙයයි. ඒ අනුව සුදු කොඩි චෝදනාව ගැන පලමුවෙන්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලේ සමහරවිට මා විය හැකියි.An old memory. The day Gen Sarath Fonseka accused Major General Shavendra Silva he was the chief guest at a SLIC program. Here is what I said as CEO of SLIC .I would have been the first person to comment on this publicly.

Posted by Nalaka Godahewa on Wednesday, August 21, 2019
2010 දී …

***************************************

චක්‍රලේඛ පසෙක දමා ඇමති කිරිඇල්ල සහ දියණිය පත්වීම් දුන් බවට ජනපති කොමිසමේදී හෙළිවෙයි

(21.08.2019 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව යළි අගෝස්තු 29 වනදා වැඩිදුර විභාගයට පෙනී සිටින ලෙස 2015/2018 කාලයේ රජයේ ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට නියෝග කර තිබෙනවා.

ඒ, ඊයේ ඔහු ඊට අදාළව සාක්ෂි දීමට පැමිණි අවස්ථාවේදියි. අදාළ ගොඩනැගිල්ල කැබිනට් අනුමැතිය සහිතව නීතිපතිවරයාගේ අනුමැතිය මත ලබාගත් බවට එවක අමාත්‍යාංශ ලේකම්වරයා වාචිකව තමාට ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා ඊයේ (20) කොමිසම හමුවේ කියා සිටියා.

ඒ අනුව කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ නීතිපති අනුමැතිය ලබාදුන් ලිපිය ඉදිරිපත් කරන ලෙසයි.

මීට පෙර සාක්ෂි දුන් අමාත්‍යාංශ ලේකම්වරයා නීතිපතිවරයාගේ අනුමැතිය හෝ උපදෙස් නොමැතිව අමාත්‍යවරයාගේ නියෝගය පිට මෙම ගොඩනැගිල්ල ලබාගැනීමට කටයුතු කර ඇති බවද ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුවයි වැඩිදුර විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යළි කැඳවා ඇත්තේ.

මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහාමාර්ග සංවර්ධන අධිකාරියට නීතිවිරෝධී පත්වීම් සියයකට ආසන්න සංඛ්‍යාවක් ලබාදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයද ඊයේ සිදු කෙරුණා.

එහිදී සාක්ෂි දුන් එම අධිකාරියේ හිටපු පාලන අධ්‍යක්‍ෂ රංජිත් එදිරිසිංහ කියා සිටියේ අමාත්‍යවරයාගේ සහ දියණියගේ නියෝග මත අදාළ නිලධාරීන් බඳවාගත් බවයි.

ඊට අදාළව චක්‍රලේඛ අනුගමනය නොකළ බවත්, ඔවුන්ට පවරා තිබූ රාජකාරිය ගැන කිසිවෙකු දැන නොසිටි බවත් සාක්ෂිකරු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ ඌව පළාත් සභාවේ ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා තිබෙනවා ෴

***************************************

ෆේස්බුක් ගිණුම් යළි අවදානමක

(21.08.2019 – 07:40 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිත ෆේස්බුක් ගිණුම් හඳුනා නොගත් පාර්ශවයකගේ ග්‍රහණයට නතුවීමේ අවදානමක් මතුව ඇතිබව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් යොදාගෙන ෆේස්බුක් ගිණුමේ මුරපද සහ පරිශීලක නාමයන් ලබාගනිමින් මෙම කටයුත්ත සිදුකරන බවයි දැනට අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව නාඳුනන පාර්ශවය අදාළ ෆේස්බුක් ගිණුමට ඇතුළත් වී එහි ඊමේල් ලිපිනය සහ මුරපදය වෙනස් කරන අතර, එමඟින් ගිණුමේ හිමිකරුට එහි පාලනය නැතිවී යනවා.

මෙසේ නාඳුනන පාර්ශවයන්ගේ ග්‍රහණයට නතුවූ ෆේස්බුක් ගිණුම් නැවත ලබාගැනීමට නොහැකි වන බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රකාශ කළේ.

බොහෝ අවස්ථාවලදී යම් පුද්ගලයෙකුගේ අසභ්‍ය ඡායාරූප අඩංගු කර ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර ඇති බැවින් එය ඉවත් කිරීම සඳහා ඔවුන් ලබාදෙන ෆේස්බුක් ගිණුමට පිවිසෙන ලෙස මෙම නාඳුනන පාර්ශවය දැනුම්දෙන බව සඳහන්.

එම නිසා අදාළ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.

එසේම ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය නොකර තම ෆේස්බුක් ගිණුමට ඉහළ ආරක්ෂාවක් සළසා ගන්නා ලෙසද ඔවුන් සිහිපත් කරනවා ෴

***************************************

සහරාන්ගේ බිරිඳගෙන් තවත් ප්‍රකාශයක්

(21.08.2019 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැවතත් රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඊයේ යොමුකළා.

ඇය මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිනවා.

පසුගිය 15 වනදාද සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදුන්නා.

ඇය මෙලෙස එම ප්‍රකාශය ලබාදී ඇත්තේ මරාගෙන මැරුණු සහරාන් හෂීම් සහ මොහොමඞ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඞ් යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවැත් වූ අවස්ථාවේදීයි.

මේ අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ නිකවැරටිය තවුෆික් ජුම්මා පල්ලියේ සහ හෙට්ටිපොල දුල් අබ්හාර් ජුම්මා පල්ලියේ මවුලවිවරුන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා ෴

***************************************

යළිත් ජනපති ඝාතන කුමන්ත්‍රණයක්?

(21.08.2019 – 18:43 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරන බවට චෝදනා එල්ල වූ , මරණ දඬුවමට නියමවී සිටින රැඳවියන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම නියම වූ රැඳවියන් සිව් දෙනෙකු සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම නියම වු රැඳවියෙකු ජනපති ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළ බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෙවිසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.

ඒ අනුව අදාළ රැදවියන් පස් දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැන්නේය.

අගෝස්තු 26 වන දින සිට සැප්තැම්බර් 12 වන දින දක්වා කාලය අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 06 දෙනෙකුට එම රැඳවියන්ගෙන් අදාළ ප්‍රකාශ ලබාගැනීමට පහසුකම් සලසන්නැයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කළේය.

***************************************

හෙට (22) සිට කොළඹ කොටුවට යන්න බෝට්ටු 3 ක්

(21.08.2019 – 14:58 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය හෙට (22) දින සිදු කිරීමට නියමිතයි.

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව මෙම සේවාව කි‍්‍රයාත්මකයි.

මහානගර අමාත්‍යාංශය මඟින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි.

වර්තමානයේදී කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.

මෙම යාත‍්‍රා සේවාව හෙට දින මහනගර ඇමති චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

රථ වාහන තදබදයට විසඳුම් ලෙස මේ වන විටත් මහානගර අමාත්‍යාංශය මගින් බස් ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කර ඇති අතර සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ද කි‍්‍රයාවට නංවා තිබේ.

තවද මේ පිළිබඳව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පළකළ අදහස් ඇතුළත් හඬපටයක් ද විද්‍යුත් තැපෑලට යොමුකර ඇත ෴

+++++++++++++++++++++

22-08-2019

+++++++++++++++++++++

22-08-2019

***************************************

ආදායම් බදු ගෙවන අයගේ ළමයි ජාතික පාසල්වලට ඇතුළු කරන්න අවස්ථාවක්

(21.08.2019 – 14:23 +0530 – sinhala.adaderana.lk)

රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම පිණිස ඔවුන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කරයි.

රටේ ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම හා දිරි ගැන්වීම, මෙවැනි අවස්ථාවක් ලබාදීමේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්නායක සකස් කිරීමේ දී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා කියයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) මේ වැඩපිළිවෙල සම්බන්ධ මූලික සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ප්‍රමුඛ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ ෴

***************************************

විධායක නිලධාරියෙකු බිය ගන්වා ලක්ෂ දෙකක් කොල්ල කාලා

(21.08.2019 – 18:44 +0530 – lankadeepa.lk)

ගාල්ල නගරයේ පිහිටි මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙකු ණය වාරික එකතුකරගෙන එමින් සිටියදී පෝද්දල වව්ලගලකන්ද ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක් අද සවස (21) කොල්ලකා පලා ගොස් තිබේ.

විධායක නිලධාරියා එම ප්‍රදේශයේ ණය වාරික එකතු කරගෙන යතුරු පැදියෙන් එමින් සිටියදී මුහුණු ආවරණය කරගෙන තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයක් හිසට තබා තර්ජනය කර රුපියල් ලක්ෂ දෙකක මුදල කොල්ලකා පලාගොස් ඇත ෴

***************************************

‘සබීතාපාය’ කෘෂිකර්මෙට ගත්තෙ මට ඕන නිසා නෙමේ; ඇමතිවරු කිව්ව නිසා

(21.08.2019 – gossiplankanews.com)

සබීතගෙ ගොඩනැගිල්ල කෘෂිකර්මෙට ගත්තෙ මට ඕන නිසා නෙමේ ඇමතිවරු කිව්ව නිසා

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

එසේම එම ගොඩනැගිල්ල සඳහා නීතිපතිගේ අනුමැතිය ලබා දී ඇති බවට එවකට එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වාචිකව තමන්ට පැවසූයේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව පැවසීය.

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට රැගෙන ඒමට පාර්ලිමේන්තුව ගත් හදිසි තීරණය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මාරු කිරීමේ තීරණය ක්ෂණිකව ක්‍රියාත්මක වූ බවය.

ඒ අනුව ප්‍රමාණවත් ඉඩකඩක් පැවති බත්තරමුල් ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය රැගෙන ගිය බවත් , නව ගෙඩනැගිල්ලේ වැඩකිරීමේ දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් එවකට අමාත්‍යධූරය හෙබවූ කාලය තුළ තමාට කිසිඳු පැමිණිල්ලක් නොලැබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය.

කෙසේ නමුත් මේ වන තුරුත් පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට නැවත ස්ථානගත කිරීමට කටයුතු කර නැතැයිද ඔහු කොමිසම හමුවේ පැවසීය.

එම සාක්කි ලබා දුන් අවස්ථාවේදී සාක්කිකාර දුමින්ද දිසානායක මහතා ඇමතූ ජනාධිපති කොමිසමේ සභාපති , හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ මෙම ගෙඩනැගිල්ල සම්බන්ධයෙන් බොහෝ චෝදනා සාක්කිකරුට එල්ල වී ඇති බවත් , එම චෝදනා වලින් මිඳීමට නම් නීතිපති අනුමැතිය ලබා දුන් ලිපිය මීළඟ දිනට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දෙන ලදී.

ඒ අනුව මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය ලබන 29 වැනිදාට කල් තැබූ අතර එදිනට කොමිසම හමුවේ යළි පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට නියෝග කරන ලදී ෴

***************************************

ඇමෙරිකාව බ්‍රිතාන්‍යයේ කොලනියක් වූ බව තානාපතිනියට අමතකයි

(22.08.2019 – mawbima.lk)

“ඇමෙරිකානු තානාපතිනියගේ වගකීම් රහිත ප්‍රකාශ පිළිබඳව ජනාධිපති සහ අගමැති මේ රටේ ජනතාවට උත්තර බඳින්න ඕනෑ.” යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“ලංකාවේ ඇමෙරිකන් තානාපතිනිය අපේ රටේ හමුදාපතිවරුන් පත්කරන්න උපදෙස් දෙන්න ඇවිත් ඉන්නවා. අපේ රටේ හිටියා රොබට් ඕ බ්ලේක් වැනි බොහොම ගෞරවනීය තානාපතිවරුන්. අපේ රටේ බරපතළ ත්‍රස්තවාදී යුද්ධය තිබුණු අවස්ථාවේදී ඇමෙරිකාව අපට බොහොම උදවු කරපු රටක්. මේ අවස්ථාවේ ඇමෙරිකානු තානාපතිනියගේ මේ ක්‍රියාකලාපය අපි තරයේ හෙළා දකිනවා.

ඇමෙරිකානු තානාපතිනියට අමතක වෙලා එතුමියගේ ඇමෙරිකාව බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා තිබුණු බව. අපි ස්වාධීන ස්වෛරී රාජ්‍යයක්. අපි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අස්සන් කරලා තිබෙන්නේ ඇමෙරිකාව හා සමාන ස්වාධිපත්‍යයක් තියෙනවා කියල. ඒක රට ලොකු වුණත් කුඩා වුණත් හැම රටකටම සමානයි.

අපේ රටේ හමුදාපති පත්කිරීම පිළිබඳව තානාපතිනිය විමසිල්ලෙන් සිටින බව කියා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ සිදුවන බෝම්බ පිපිරවීම්, මිනීමැරුම් ආදිය සම්බන්ධයෙන් අපේ තානාපති ගිහිල්ල කිව්වොත් විමසිල්ලෙන් සිටිනවා කියලා මොකද වෙන්නේ.

අපට යුද අපරාධ චෝදනා තියෙනවා කියලා ඇමෙරිකාව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළා. අපේ රටේ මානව හිමිකම් පිළිබඳව එහෙම වගකීමක් තිබුණ නම් ඉදිරියට ගෙනයෑමට තිබුණා. අපිට විරුද්ධව චෝදනා කරපු ඇමෙරිකාව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වුණා. ඉතින් දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය.

අපේ රටේ විදේශ කටයුතු ඇමැතිතුමාගේ නිවටම නිවට ප්‍රතිපත්තිය නිසා – රණවිරුවන් පාවාදීමේ නිවට ප්‍රතිපත්තිය නිසා, සම අනුග්‍රහයක් අස්සන් කරලා ආවා. ඒක නිසා තමයි මේ මැදිහත් වන බව කියන්නේ.

හම්බන්තොට වරාය දෙනකල් චීනයේ තානාපතිවරයා හැම තැනටම ගිහිල්ලා, බලපෑම් කරලා, හම්බන්තොට වරාය ඩැහැගත්තා. ඒක දැනගෙනද කොහෙද, ඇක්සා ගිවිසුම, සෝෆා ගිවිසුම අස්සන් කරගන්න ඇමෙරිකානු තානාපතිනිය මේ අන්දමට බලපෑම් කරනවා.

අද අපේ රට එක් පැත්තකින් අරාජිකයි. ඒ නිසා තමයි බෝම්බ පිපිරෙන්නේ. අපි අවුරුදු තුනකට ඉස්සරවෙලා මේගැන කිව්වා.

අද විදේශ අමාත්‍යාංශයේ තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශයේ ඉඳන් සාකච්ඡා කරලා. අද රටත් අරාජිකයි. ආණ්ඩුවකුත් නැහැ. මේ ආණ්ඩුවේ වගකිවයුතු අංශ මේවට වගකියන්න ඕනෑ. ඇමෙරිකානු තානාපතිනියගේ වගකීම් රහිත ප්‍රකාශ පිළිබඳව ජනාධිපති සහ අගමැති මේ රටේ ජනතාවට උත්තර බඳින්න ඕනෑ” යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය ෴

***************************************

සහරාන්ගේ කදවුරේ පුහුණුව ලැබූ තවත් අයෙකු අත්අඩංගුවට

(22.08.2019 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් යටතේ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ පුද්ගලයෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වනු මොහු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරක් මත අද අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර පොලිසිය විසින්.

මොහොමඞ් රෆයිඩීන් මොහොමඩ් අලි හෙවත් අබු ඉක්‍රිමා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු ගම්පොල – වටදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

අනුර දිසානායක ජනාධිපති අපේක්‍ෂක වීම විශාල අභියෝගයක්..

(22.08.2019 – 08:40 +0530 – lankacnews.com)

ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු නම් කිරීම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට විශාල අභියෝගයක් වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කලේ රත්නපුර නව නගරයේ පැවති දේශපාලන ක්‍රියාකාරී හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,“ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරාවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ සුක්ෂම වැඩපිළිවෙලක තමයි නිරත වෙල හිටියේ. ආණ්ඩුව අස්ථාවර වෙනකොට කොහොමහරි ආරක්ෂා කිරීමට ඔවුන් ඉදිරිපත් වුණා. ගිය අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති කරන්න පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පුදුම කැපවීමකින් තමයි කටයුතු කලේ. දෙමල සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ එකට එකතුවෙලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව නැවත අගමැති පුටුවේ වාඩිකලේ.

ඒ වගේම පසුගිය කාලය පුරාවට ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ ආණ්ඩුව විවේචනය කරනවට වඩා මහින්ද රාජපක්ෂ කල්ලිය ගැනයි එතුමාගේ ආණ්ඩුවේ කරපු හොරකම් ගැනයි කිය කියා රට වටේ ගිය එක තමයි ජවිපෙ නායකයින් කලේ. කොටින්ම කියනවනම් ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් තමයි ජවිපෙ කලේ. දැන් කොහොමත් මෙවර ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්න තිබුණු ජේවිපී ඡන්දට ටික එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ නෑ. ඒ වගේම යූ.එන්.පී ඡන්ද වලිනුත් සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් මෙවර අනිවාර්යයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබා ගන්නවා. පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට කිසිම බලපෑමක් වෙන්නේ නෑ” යනුවෙන් පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්, “දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විශාල අර්බුදයක ඉන්නේ .රනිල් වික්‍රමසිංහ මහත්තයා හරිම සූක්ෂම දේශපාලඥයෙක්. එතුමා ඕනෑම ප්‍රශ්නයක් විසඳන්නේ කල මැරීමෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයත් බාලගිරි දෝෂය වගේ. ‘අද නොවෙයි හෙට’ කිය කියා කල්මරමින් සිටිනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා තමන් විසින්ම ජනාධිපති අපේක්ෂකත්වයට නම්කරගෙන රට වටේ යනවා” සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

***************************************

22-08-2019

***************************************

මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම් ඇරඹේ.

(20.08.2019 – megapolismin.gov.lk)

මාලඹේ කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු (Borehole Testing) සිදු කෙරෙමින් පවතී. මේ අනුව ස්ථාන 200 ක් පරීක්ෂා කරන අතර එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන 5 ක් විසින් සිදු කරනු ලබයි. ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධාවන් නොවන අයුරින් සිදු කරන අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මගින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කි. මී. 16 ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකරනු ඇති අතර, ඒ මත මෙම නවීන සුඛෝපභෝගී සැහැල්ලු දුම්රිය සේවාව ආරම්භ කරනු ඇත. දුම්රිය මාර්ගය දැනට පවතින මහාමාර්ගවල මධ්‍යයේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කුළුණු මත ඉදිකෙරේ. ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම් පොලවල් 16 ක් ඉදිකෙරෙන අතර, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු හා සේවා සඳහා අංගනයක් ද ඉදිකෙරේ. ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී සැහැල්ලු විදුලි දුම්රිය මෙහි ධාවනය සඳහා යොදාගනු ලබයි. ආරක්ෂාකාරී සහ සුවපහසු ප‍්‍රවාහන සේවාවක් මෙමගින් සැපයේ.

මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය 2025 වර්ෂය වන විට මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වනු ඇත. කණු මත ඉදිවන දුම්රිය මාර්ගය මීටර් 8.4 ක පළලින් සමන්විත ය. ධාවනය සඳහා දුම්රිය කට්ටල 25 ක් යොදා ගැනීමට නියමිත අතර, ඒවා දුම්රිය මැදිරි 4 කින් සමන්විත වරකට මඟීන් 800 ක් පමණ රැගෙන යාමේ ධාරිතාවකින් යුක්ත ය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නිම වූ පසුව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාලඹේ IT Park දුම්රිය ස්ථානයට ගමන් කිරීමට ගතවන කාලය මිනිත්තු 32 කි. කාර්ය බහුල වේලාවන් තුළ සෑම මිනිත්තු 3 කට වරක්ම දුම්රියක් දුම්රිය ස්ථානවලට ළඟාවනු ඇත. කාර්ය බහුල නොවන වේලාවන්වල සීමා සහිත නැවතුම් දුම්රියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, එය මිනිත්තු 28 ක් තුළදී කොළඹ කොටුව සිට IT Park දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇත. මෙම ව්‍යාපෘතිය කාන්තාවන්, දරුවන් සහ අනෙකුත් ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන සේවාවක් ලෙස ඒ සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුගත වෙමින් නිර්මාණය කරනු ඇත.

ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 පමණ වන අතර, එම මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක ප‍්‍රමාණයක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) විසින් සහනදායි ණයක් ලෙස ලබා දෙනු ලබයි. මෙම ණය මුදල සිවිල් වැඩ සහ උපකරණ සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.1% ක් ද, උපදේශන සේවා සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.01% ක් ද සහිතව ලබා දෙනු ලැබේ. මෙම ණය මුදල පියවීමට අවුරුදු 40 ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, අවුරුදු 12 ක සහන කාලයක් ඒ සඳහා ඇතුලත්ව ඇත.

මෙමගින් ජනතාව පෞද්ගලික වාහන භාවිතය වෙනුවට මෙම පොදු ප‍්‍රවාහන ක‍්‍රමය සමඟ සම්බන්ධ වීමත්, නාගරික රථවාහන තදබදය අඩුවීමත් හේතුවෙන් ඉන්ධන දහනය අඩු වී කාබන් විමෝචනය අඩුවනු ඇත. ඇස්තමේන්තුවලට අනුව ව්‍යාපෘතිය හේතුවෙන් කාබන් විමෝචනය වසරකට ටොන් 53,929 කින් අඩුවනු ඇත. ඒ අනුව කොළඹ සැහැල්ලු දුම්රිය සේවය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන අතරම එම ව්‍යාපෘතිය හේතුවෙන් රථවාහන අනතුරු ද අඩු වනු ඇත ෴

***************************************

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

(22.08.2019 – 16:08 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (22) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැවත සමීක්ෂණය සඳහා සිසුන් 97,895 ක් අයඳුම් කර තිබූ අතර, ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිඵල www. doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 278 4208 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *