දින 89 කින් බන්ධනාගාර ගත වෙන්න බලාගෙන ඉන්න – පියල් නිශාන්ත

(22.08.2019 – 14:10 +0530 – sinhala.adaderana.lk)

මුළු රටම අර්බුදයකට ලක් කරපු එක්සත් ජාතික පක්ෂය අද වන විට විශාල අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂයට දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසම් දී ඇති බවද පැවසු ඒ මහතා, රට ගොඩනඟනවා යැයි පවසමින් බලයට පැමිණි බවද කියා සිටියේය.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානතම ගැටළුව බවට පත්ව ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම බවද පැවසු පියල් නිශාන්ත මහතා, සජිත්, රනිල්, කරු, නවීන්, රාජිත සියලු දෙනා ජනාධිපති අපේක්ෂක තරඟයට පොර බඳිනව බවද පැවසීය.

මේ සියලු දෙනාගෙන් කුමන අපේක්ෂකයා පැමිණිය ද පරාජය කල හැකි බවද පැවසු ඒ මහතා, අද වෙන විට එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි විසිර ගොස් අවසන් බවද කියා සිටියේය.

එම පක්ෂය තව වසර ගණනාවකට ගොඩ නැඟිය නොහැකි බවත් බවත් පැවසු ඔහු ඉදිරි ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ, දින 89 ක් බවත් නාම යෝජනා භාරදීම සඳහා තව දින 59 ක් බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පියල් නිශාන්ත මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය :

“ඔය අතරේ අමාත්‍යාංශ තුනක කිසිම විළිලැජ්ජාවක් නැතුව අහිංසක ජනතාවගේ මුදල් නාස්ති කරමින් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න යන අයගේ අමාත්‍යාංශවල ඉතාමත්ම නරක ආකාරයෙන් ජනතාවගේ මුදල් නාස්ති කරනවා.

ජනාධිපති අපේක්ෂක වේයැයි සිතා ගෙන තම තමන්ගේ ප්‍රතිරූපය නැංවීම සඳහා මේ මුදල් විවිධ ප්‍රචාරක කටයුතු සඳහා වැය කරනවා. මම මේ අමාත්‍යාංශවල මුදල් සම්බන්ධ සියලුම නිලධාරීන්ට කියන්න කැමතියි තව දවස් 89 කින් බන්ධනාගාර ගත වෙන්න සූදානමින් ඉන්නේ කියලා.

රාජිත සේනාරත්න ඇමතිතුමා අධි මානසිකත්වයකින් මේ දවස් වල විවිධ පුරාජේරු කථා කියමින් ඉන්නවා. මම එතුමාට අභියෝග කරනවා රට දිනවන්න කතා කරන්න කලින් පුළුවන් නම් බේරුවල ආසනය දිනා ගන්න කියලා.

අද බේරුවල ප්‍රදේශයේ තිබෙන තත්ත්වය හැමදෙනාම දන්නවා. මුස්ලිම් සහ සිංහල ජනතාව මේ ආණ්ඩුව පලවා හරින්නේ කොයි විනාඩියේ ද කියලයි බලාගෙන ඉන්නේ.

අකිල විරාජ් කාරියවසම් කියන්නේ අධ්‍යාපනයට ලැබුනු විකෘති ම අමාත්‍යවරයායි. අපේ අතීතයේ අධ්‍යාපන ඇමතිවරු කොයිතරම් වැඩ කොටසක් සිදු කළාද කියලා අපි දන්නවා.

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. ලලිත් ඇතුලත්මුදලි මහත්මයා මහපොළ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩ කොටසක් කළා. රිචඩ් පතිරණ කියන්නේ කීර්තිමත් අධ්‍යාපන අමාත්‍යවරයෙක්.

බන්දුල ගුණවර්ධන මහත්මයා ගමට තාක්ෂණය ගෙන ගියා. නමුත් අකිල විරාජ් කාරියවසම් කියන මේ විකෘති ඇමතිවරයා යටතේ වැඩියෙන් බදු ගෙවන අයගේ ළමයින්ට ජාතික පාසල් දෙනවා කියලා කියනවා.

එතකොට පාසල අවට ඉන්න අහිංසක දෙමාපියන්ගෙන් දරුවන්ට කාගේ පිහිටක්ද ලැඛෙන්නේ. අද අපේ රටේ අධ්‍යාපනයට ඇතිවෙලා තිඛෙන තත්ත්වය ඛේදනීයයි.

ඒ වගේම අනිත් අමාත්‍යාංශ වල තත්ත්වයක් මේ වගේමයි. ‘මේ ආණ්ඩුවට තව දවස් දෙක තුනක් වත් ආණ්ඩු කරන්න දෙන්න සුදුසු නැහැ’ කියන එක මම කියන්න කැමතියි.”

***************************************

කුවෙට් යන අයට යන්න එපාලු .. ඒජන්සි වලට විකුණනවලු .. එහෙ ඒජන්සියෙන් මෙහෙ ඒජන්සියට කතා කරාම ගහලා දෙට්ට දාපන් කිවලු .. එතෙර ගිය කාන්තාවන්ගේ කඳුළු කතාව

(22.08.2019 – webgossip.lk)

https://www.facebook.com/watch/?v=474339433296301

***************************************

නව යුද්ධ හමුදාධිපතිතුමන් මව්බිමේ ආරක්‍ෂාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවට සහතික වෙයි

(22.08.2019 – army.lk)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මව්බිම සියළු තර්ජන වලින් ආරක්‍ෂා කිරීමට පොරොන්දු වන බව එතුමන් නිකුත් කල නිවේදනයේ සඳහන් කර ඇත.

නව යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ :

• Click on each image to enlarge.
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size (and font size) of the Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size (and font size) of the Image.

***************************************

සැප්තැම්බරයේ බිහි වෙන දේශපාලන සන්ධානයක් ගැන විමල්ගෙන් ඉඟියක්

(22.08.2019 – 20:39 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවා ජනතා අභිලාෂයන් ඉටු කරලීම සඳහා වන දැවැන්ත දේශපාලන සන්ධානය ‘ශ්‍රි ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ’ නමින් සැප්තැම්බර් මාසය තුළ නිල වශයෙන් බිහි වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

අද (22) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ දැනටමත් අත්සන් කර ඇති ඇක්සා ගිවිසුම ක්‍රියාත්මක වීම නතර කිරීම, සෝෆා, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යන ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීම සඳහා ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ග මෙනවාදැයි යන්නට මෙහිදී විශේෂ අවදානය යොමු වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය ගෙන එන ඕනෑම අපේක්ෂකයකු පැරදවීමට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව පෙළගැසෙමින් සිටින බවත් එය මේ රටට ජාතික ආරක්‍ෂාව, ආර්ථික සංවර්ධනය හා සතුට යළි ගෙන ඒමටනම් අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් බවත් ජානිපෙ නායකවරයා සඳහන් කළේය.

ඉහත සාකච්ඡාවේදී ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා ‘රටට නව මාවතක්’ නම් වූ තම පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර, ප්‍රියංගා කොතලාවල, ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත, අනිල් සොයිසා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

+++++++++++++++++++++

ගිවිසුම් තුනකින් රට වනසන ඇමෙරිකන් කුමන්ත්‍රණය පැරදවීමට ජානිපෙ – ලසසප එක්වෙයි

(22.08.2019 – YouTube > Wimal Weerawansa)

***************************************

නුවරඑළිය පොලිසිය ගැන පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණයක්

(22.08.2019 – 21:18 +0530 – lankadeepa.lk)

පාස්කු ප‍්‍රහාරයට පෙර සහරාන් ඇතුලු පිරිසක් නුවරඑළිය නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය පුහුණු කඳවුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය දැනුවත් කළ ද පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොකළ බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ තොරතුර අනුව පොලිසිය එහි ගොස් නිසි පරීක්ෂණයක් සිදුකළේද එම නිවාඩු නිකේතනය පරීක්ෂා කර ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

සිංහල රාවය සංවිධානයේ මහාලේකම් මාගල්කන්දදේ සුදත්ත හිමියන් ඇතුලු පිරිසක් පසුගියා දා නුවරඑළියේ පිහිටි එම නිවාඩු නිකේතනය වෙත ගොස් පරීක්ෂා කර තොරතුරු විමසීමේ දී එම නිවාඩු නිකේතනය බාර පුද්ගලයා දන්වා සිටියේ මෙම නිවසේ සැකකටයුතු පිරිස් සිටින බවට ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිසිය ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කළ බවත්ය ෴

***************************************

සති 2 ක් තුළ JMI ක්‍රියාකාරීන් 16 ක් අත්අඩංගුවට

(22.08.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ජේ.එම්.අයි. සංවිධානයේ තවත් ක්‍රියාකාරී සාමාජිකයෙකු අද අම්පාර පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව පසුගිය සති දෙක තුළ අම්පාර පොලීසිය අත්අඩංගුවට ගත් ජේ.එම්.අයි. ක්‍රියාකාරීන් ගණන 16 කි.

සහරාන් හෂීම් සමඟ පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි. සංවිධානයේ තවත් සාමාජිකයෙකු අද අත්අඩංගුවට ගත්තේය.

මොහොමඩ් රෆයිඩීන් මොහොමඩ් අලි නැමැති අදාළ පුද්ගලයා ගම්පොළ වටදෙණිය වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය ඇතුළු සිද්ධීන් 5 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ වාර්තාව අද නීතිපතිවරයා වෙත භාර දී ඇත.

***************************************

UTV නාලිකාවට සතොසෙන් මුදල් ගෙවූ බව කෝප් කමිටුවේ දී හෙළි වෙයි

(22.08.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk)

දේශපලනඥයෙකුට සම්බන්ධ රූපවාහිනී නාලිකාවකට සතොස ආයතනය මඟින් මාසිකව රුපියල් ලක්ෂ ගණන් මුදල් ගෙවා ඇති බව ඊයේ (21) කෝප් කමිටුව හමුවේ අනාවරණ වුණි.

කෝප් කමිටු සමාජික මහින්දානන්ද අලුත්ගමගේ මහතා විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලංකා සතොස ආයතනයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී ඩිලන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ UTV නාලිකාවට මාසිකව ලක්ෂ 15 ක් මුදලක් ගෙවීම සිදු කර ඇති බවයි.

මේ අතර මෙරටට ආනයනය කරන ලද සහල් තොගයක් රේගුව තුළ වසරක පමණ කාලයක් ගබඩා කර තැබීම තුළින් සතොස ආයතනයට බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේ 2015 වසරේදී මෙරටට ආනයනය කරන ලද අදාල සහල් තොඟය සිතා මතාම රේගුව තුළ රදවා තැබීමට කටයුතු කර ඇති බවයි.

+++++++++++++++++++++

***************************************

හිරු සී.අයි.ඒ. : ලංගම නිලධාරීන් වැරැද්ද වහන හැටි

(22.08.2019 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට චීනයෙන් ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සුත්‍ර භාවිතයට ගැනීමටත් පෙර අක්‍රීය මට්ටමේ පවතින බව හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 13 වනදා හෙළි කළා.

එම අනාවරණයත් සමග එම යන්ත්‍ර මෙරටට ගෙන්වීමට දායක වු ලංගමයේ ඉහළ නිලධාරීන් කලබල වී ඇති අතර ඔවුන් තම වරද නිවැරදි කර ගැනීමට එහි සේවකයන්ට බලපෑම් කරන බව වාර්තා වනවා.

අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.

ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් ලංගමට අයත් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට බාල තත්ත්වයෙන් යුතු යන්ත්‍ර සුත්‍ර ආනයනය කර ඇති බව අප හෙළි කලේ පසුගිය 15 වැනිදායි.

රුපියල් කෝටි 5 කට අධික මුදලක් වැයකර බාල තත්ත්වයෙන් යුතු, එන්ජින් බෝර් කිරීමේල හෙඩ් ෆේස් කිරීමේ හා පට්ටල් කටයුතු සිදුකිරීමේ යන්ත්‍ර ස්ථාපනය කිරීමට නව යන්ත්‍රාගාරය නමින් ස්ථානයක් ද වෙන් කර තිබෙනවා.

එහෙත් මෙම බාල තත්ත්වයෙන් යුතු යන්ත්‍ර සුත්‍ර සේවා කටයුතු සිදුකිරීමටත් ප්‍රථම අක්‍රීය වී ඇති අතර හොර රහසේ ඒවා සැකසීමට උත්සාහ කරන අයුරු අප සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.

අප ප්‍රවෘත්තිය විකාශය කිරීමට පෙර යන්ත්‍ර ගෙන්වීම සදහා චීන සංචාරයට එක් වු නිලධාරියෙකු අප මෙලෙස දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

***************************************

එජාපය දෙකඩවීම ස්ථීරයි – විපක්ෂ නායක කියයි

(22.08.2019 – 19:10 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවරෙකු වුවත් එම පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකි බව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද පැවති පළාත් පාලන ආයතන නියෝජිත හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බවයි.

එමෙන්ම, විශේෂ හමුවක් සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පස්වරුවේ බත්තරමුල්ල – නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.

එහිදී ඉදිරි මැතිවරණ කටයුතු මෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ රාත්‍රි පැවැත්වූ භෝජන සංග්‍රහයට නිදහස් පක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගි වුණා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාදයට නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට සහභාගි වී සිටියේ නැහැ.

ඒ පිළිබදව නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ තමන්ටද ඒ සඳහා ආරාධනාවක් ලැබුණු බවයි.

***************************************

පරිවර්තනය කර ඇමෙරිකානු තානාපතිට දෙන්න

(23.08.2019 – divaina.com – කතුවැකිය)

ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද අපරාධ ලොවට හෙළිකළ විකිලීක්ස් (WikiLeaks) වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ (Julian Assange) විසින් 2010 වසරේ ‘ලීක්’ කරන ලද “Collateral Muder”නම් වීඩියෝ පටය ඇමෙරිකා එක්සත් ජනපදයේ ම්ලේච්ඡුත්වය ලෝකයට ගෙනගිය කදිම සාක්‍ෂියකි. වීඩියෝ පටයේ දැක්වෙන්නේ 2007 ජුලි 12 වැනිදා AH-64-Apache හෙලිකොප්ටරයේ නැඟුණු ඇමෙරිකා සෙබළු දෙදෙනෙක් M230 නමැති ස්වයංක‍්‍රීය ගිනි අවියෙන් බැග්ඩෑඞ් නගරයේ ගමන් කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකු ඇතුළු 12 දෙනකු අමු අමුවේ ඝාතනය කරන අයුරුය. විනාඩි 39 ක් පුරා දිවයන මෙම වීඩියෝපටයේදී එක් ඇමෙරිකානු සෙබළකු ගිනිඅවිය ක‍්‍රියාත්මක කරන සෙබළාට පණ බේරාගැනීමට දිවයන මිනිසුන් පෙන්වන්නේ ”අන්න තව කුරුල්ලෝ දෙන්නෙක්” (Hey, There another two birds) යනුවෙන් පවසමිනි. ඇමෙරිකානු සෙබළුන්ට මිනිසුන් මැරීම කුරුල්ලන් ඝාතනය කිරීම තරම් සරල ක‍්‍රියාවක් බව කීමට මීට වඩා සාක්‍ෂියක් තවත් තිබේද?

පුලිට්සර් සම්මාන දිනූ ඇමෙරිකානු ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වූ සෙමෝර් හර්ෂ් (Seymour Hersh) විසින් ගල්ෆ් යුද්ධයේදී හෙළි කළ තොරතුරුවලට අනුව ඉරාකය ආක‍්‍රමණය කළ ඇමෙරිකානු 24 වැනි පාබල සේනාංකය විසින් නිරායුද ඉරාක සෙබළුන් 350 දෙනකු ඝාතනය කර තිබේ. සෙමෝර් හර්ෂ් යනු 1968 වසරේ මාර්තු 16 වැනිදා වියට්නාමයේදී ඇමෙරිකානු සෙබළුන් විසින් නිරායුද වියට්නාම් වැසියන් 504 දෙනකු ඝාතනය කිරීම ලොවට හෙළි කළ මාධ්‍යවේදියාය. මයි ලායි සංහාරය (My Lai Massacre) යන මෙම මනුෂ්‍ය සංහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු සෙබළුන් 26 දෙනකුට චෝදනා එල්ල වුව ද වරදකරු කරනු ලැබුවේ ලූතිනන් විලියම් කැලී පමණි. වියට්නාම් වැසියන් විසිදෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වූ කැලීට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණු නමුත් ඔහු සිරදඬුවම් වින්ඳේ වසර තුනහමාරක් පමණි. සිරියානු යුද්ධයේදී ඇමෙරිකානු ප‍්‍රහාරක ගුවන් යානා විසින් මාස පහක කාලයක් ඇතුළත රාකා නගරයට ෂෙල් ප‍්‍රහාර තිස්දහසක් එල්ල කරනු ලැබීය. යුද්ධයට පෙර රාකා නගරයේ ජීවත් වූ සිවිල් වැසියන්ගේ ජනගහණය තුන්ලක්‍ෂ හතළිස් දහසක් වූ අතර ඇමෙරිකානු ෂෙල් ප‍්‍රහාරවලින් පසු මෙම පිරිසෙන් දෙලක්‍ෂ හතළිස් දහසකට සිදු වූ දේ දන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ නියමුවන් පමණි. ඇමෙරිකානු හමුදාවේ භාෂාවෙන් කිව්වොත් රාකා නගරයේ ජීවත් වූ කුරුල්ලන් 2,40,000 ක් ෂෙල් ප‍්‍රහාරවලින් අතුරුදන් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් මහත් සේ කලබලයට පත්ව සිටින්නේ මෙවැනි ම්ලේච්ඡ යුද අපරාධ ඉතිහාසයක් ඇති ඇමෙරිකා එක්සත් ජනපදය ය. ශ‍්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ පත්වීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු එක්සත් ජනපදය පවසන්නේ “සංහිඳියාව හා සමාජ සමගිය අතිශය වැදගත් වන මෙවැනි අවස්ථාවක අදාළ පත්කිරීම ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමය, යුක්තිය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම හෑල්ලුවට ලක් කරයි.” යනුවෙනි. ශ‍්‍රී ලංකාවේ ජීවත්වන මිලියන 21 ක ජනතාවගේ නිදහස වෙනුවෙන්, ත‍්‍රස්තවාදය පරාජය කිරීමට මරණය පපුවේ තබාගෙන සටන් කළ රණවිරුවකු යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීමෙන් රටේ සංහිඳියාව සහ සමාජ සමගියට සිදුවන හානිය කුමක්ද? අපගේ මතය නම් මෙම පත්වීමෙන් සංහිඳියාව, ජාතික සමගිය පමණක් නොව රටේ කීර්තිනාමය ද ආරක්‍ෂා වූ බවය. මේ සියලූ ගුණාංග ආරක්‍ෂා වන්නේ රටේ ජාතික ආරක්‍ෂාව සහතික වුවහොත් පමණි. රජය විසින් යුද හමුදාපති ලෙස පත්කර ඇත්තේ එම ආරක්‍ෂාව සහතික කර ඇති හමුදා නිලධාරියෙකි. ලංකාවේ සිවිල් ජනතාව ගැන මේ තරම් කැක්කුමක් ඇමෙරිකාවට තිබේ නම් ඔවුන් කළ යුත්තේ රටේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා තීන්දුවට සහයෝගය ලබාදීමය. නමුත් ඇමෙරිකාව එම ක‍්‍රියාවලිය අඩපණ කිරීමට යෑමෙන් පැහැදිලි වන්නේ ඔවුන් වෙනත් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරමින් සිටින බවය.

මේ දේශපාලන න්‍යාය පත‍්‍රය සැකසෙන්නේ ‘සෝෆා’ නොහොත් ‘Status of forces agreement’ කඩිනමින් අත්සන් කර ගැනීම සඳහාය. මෙම ගිවිසුමේ අරමුණ දකුණු ආසියාවේ ඇමෙරිකන් යුද කඳවුරක් (Base) ලෙස ශ‍්‍රී ලංකාව පවත්වාගෙන යෑමය. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 480 ක් නොහොත් රුපියල් කෝටි 8000 ක ආධාර මල්ලක් ද සූදානම් කර තිබේ. මෙම ඩොලර් මල්ලට ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව බිලිදිය යුතුද?

ඇමෙරිකානු ව්‍යාප්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ කශේරුකාව ක‍්‍රියා කරන ආකාරය රටේ පුරවැසියෝ සියුම්ව නිරීක්‍ෂණය කරමින් සිටිති. එම නිසා මෙම අර්බුද ඉතා සාමකාමීව විසඳා ගැනීමට ඇමෙරිකාව කටයුතු කළ යුතුය. මෙහිදී ඇමෙරිකාවේ කේවල් කිරීමේ බලයට (Bargain Power) වඩා ශ‍්‍රී ලංකාවේ ජනබලය බලවත් බව ඔවුන් හොඳින් මතක තබාගත යුතුය ෴

***************************************

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීමේ නඩුව සමතයකට පත් වේ

(23.08.2019 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන් එම පීඨයේ සිසුවෙකුට සහ සිසුවියන් සිව් දෙනෙකුට එරෙහිව පනවා තිබූ නඩුව සමථයකට පත් කරනු ලැබුවා.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී දෙපාර්ශවයේ එකඟතාවය අනුව වින්දිත සිසුවියට රුපියල් හය ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමෙන් අනතුරුව නඩුව සමථයකට පත් කර තිබුණා.

පළමු විත්තිකරු සහ දෙවන, පස්වන යන විත්තිකාරිනියක් වන්දි මුදල ගෙවූ අතර, තුන්වන සහ හතරවන විත්තිකාරියන් දෙදෙනා වන්දි ගෙවීමකින් තොරව, අදාළ නඩුව සමතයකට පත් කර තිබෙනවා.

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන වින්දිත සිසුවිය 2018 මැයි 14 වනදා නවක වදය හිරිහැරය හේතුවෙන් පාඨමාලාව හැර දමා ගොස් තිබුණා.

නඩුව සමතයකට පත් කරන අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් විත්තිකාර සිසුවාට සහ අනෙක් සිසුවියන් 4 දෙනාට දැඩි ලෙස අවවාද කර තිබෙනවා ෴

***************************************

කන්ජිපානි ඉම්රාන්හට වසර 6 ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

(23.08.2019 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල පාතාල කල්ලි නායක මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට කොළඹ මහාධිකරණය, බරපතල වැඩ සහිත වසර 6 ක සිර දඬුවමක් අද නියම කළා.

ගංජා ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කරමින් කංජිපානි ඉම්රාන්ට මෙම දඬුවම නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින්.

2013 වසරේ සැප්තැම්බර් 13 වන දා මාළිගාවත්ත ප්‍රදේශයේදී ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම මොහුට එල්ල වී තිබූ චෝදනා වනවා.

අද දිනයේ ඔහු එම චෝදනා දෙකටම වරද පිළිගත් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඔහුට එක් වරදකට වසර තුන බැගින් වසර 6 ක් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබුවා.

පසුගිය පෙබරවාරි පස්වනදා කංජිපානි ඉම්රාන් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් සංවිධාන කර තිබූ සාදයකදීයි.

පසුව ඔහු දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

කංජිපානි ඉම්රාන්ගෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා ෴

+++++++++++++++++++++

23-08-2019

***************************************

දඹුල්ලේ දිගම්පතහදී CTB බස් රථයක් සහ වෑන් රථයක් ගැටෙයි – 4 කට බරපතළයි

(23.08.2019 – 08:50 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද අලුයම ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මහරගම සිට කින්නියා බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ රියදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් දඹුල්ල-හබරණ මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවූවා.

අණතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=qJ8Yhvmti9k#t=5

***************************************

අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි නීතිපති වැඩබලන පොලිස්පතිට දැනුම් දෙයි

(23.08.2019 – 18:42 +0530 – hirunews.lk/sinhala)

අවිනිශ්චිත වාර්තා තමත් වෙත ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත්, විමර්ශන භාරව කටයුතු කිරීමට සුදුසු නිලධාරින් පත් කරන ලෙසත්, උපදෙස් ලබාදෙමින් නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 5 ක් සම්බන්ධයෙන් පෙරේදා නීතිපතිවරයා වෙත වැඩබලන පොලිස්පතිවරයා යොමුකළ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇති වාර්තා අවිනිෂ්චිත බැවින්, අසතුටුදායක තත්ත්වයක් උද්ගතවී ඇති බව නීතිපතිවරයා එම ලිපියෙන් සදහන් කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න කියා සිටියා.

ඒ අනුව, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන උදෘත ගොනු පමණක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *