ස්වාමීන් වහන්සේලා පිරිසක් දුරකථන රැගෙන පොලිස් මූලස්ථානයට යාමේ දී උණුසුම් තත්වයක්

(23.08.2019 – 21:30 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිලි රැසක් ඉදිරිපත් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්යක් නොගැනීම පිළිබඳ විමසීමට රාවණා බලය සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණියා.

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සිය ජංගම දුරකතන රැගෙන පොලිස් මූලස්ථානයට ඇතුළුවීම සම්බන්ධයෙන් එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර ඊයේ දිනයේ කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට ලක්වූ සතොස ආයතනයේ හෙළිදරව් කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිංහලේ ජාතික සංවිධානය අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණියා.

එහිදී අදාළ කාර්යාලයේ නිලධාරීන් තමන්ව මග හැරි බවට එම සංවිධානය චෝදනා කළා.

***************************************

ජල සම්පාදනයේ සේවකයන්ට ඇමති හකීම්ගේ සම්බන්ධීකාරකවරුන් ලෙසට පත්වීම් ලබාදී ඇතැයි හෙළිවෙයි

(23.08.2019 – 21:13 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් විශාල ප්‍රමාණයකට අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සම්බන්ධීකාරකවරුන් ලෙස පත්වීම් ලබා දී ඇති බව පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාවේදී අණාවරණය වුණා.

එමෙන්ම විගණකාධිපති වාර්තාවට අනුව හෙළි වී ඇත්තේ 2015 වසරේ සිට 2019 වසර දක්වා රුපියල් මිලියන 162 ක් අදාළ සම්බන්ධීකාරකවරුන්ට ගෙවා ඇති බවයි.

මෙම කරුණු හෙළිවුණේ කෝප් කමිටුව හමුවට එම මණ්ඩලයේ නිලධාරීන් ඊයේ කැදවූ අවස්ථාවේදී.

පෙරදින කෝප් කමිටුවට කැදවා තිබුණත් ඊට සහභාගී නොවු සතොස ආයතනයේ නිලධාරීන් තිදෙනෙක් ඊයේ දිනයේ ඊට සහභාගී වී සිටියා.

***************************************

කථානායක කරු ජයසූරිය එජාපයේ ජනපති අපේක්ෂකයා වන බව කනක හේරත් කියයි

(23.08.2019 – 21:03 +0530 – hirunews.lk/sinhala)

කථානායක කරු ජයසුරිය මහතා තම ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත වශයෙන් ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළා.

***************************************

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව පොලිස් අණ නොතකා යන්න ගිය යතුරුපැදිය පොලිසිය ඉදිරියේම ඇද වැටෙයි

(23.08.2019 – 18:02 +0530 – hirunews.lk/sinhala)

අද පස්වරුවේ කාන්තන්කුඩි නගරයේදී ආරක්ෂක හිස්වැසුම් නොපැලඳ පොලිස් අණ නොතකා ධාවනය කල තරුණයන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් පොලිස් නිලධාරියෙක් විසින් නතර කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී ඇද වැටෙන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනා.

***************************************

මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දුන් බවට සැක හමුදා සෙබලෙක් අත්අඩංගුවට

(23.08.2019 – 17:25 +0530 – sinhala.adaderana.lk)

2008 වසරේ ජූනි මස 3 වන දින කිරුළපන ප්‍රදේශයේ දී මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීමේ සිදුවීමට ද සැක කරන අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධ වී ඇති සැකකරු වන්නේ ද මෙම පුද්ගලයා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙකු වශයෙන් සේවය කරන අයෙකි.

ඊයේ (22) දිනයේ දී මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නාමල් පෙරේරාට පහර දීමේ සිදුවීමට මෙම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

***************************************

ළමා නිවාසයේ සිටි දැරියට අතවර කළ මුරකරු අත්අඩංගුවට

(23.08.2019 – 14:39 +0530 – sinhala.adaderana.lk)

ළමා නිවාසයක රඳවා සිටි බාල වයස්කාර දැරිවියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ මුරකරු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි පද්ගලයෙකි.

අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව-ආඩිගම ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සිටි දැරිවියකි.

පසුගිය 21 වැනිදා රාත්‍රීයේ මෙම ළමා නිවාසයේ රැදී සිටි දැරිවියන් සිව් දෙනෙකු ඉන් පලා ගොස් ඇති අතර එම ළමා නිවාසයේ පාලිකාව විසින් මේ බව ආණමඩුව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ආණමඩුව පොලීසිය විසින් පලා යමින් සිටි දැරිවින් සිව් එදිනම රාත්‍රීයේ තම බාරයට ගෙන ඇති අතර එම දැරිවියන්ව ආපසු ළමා නිවාසයට බාර දීමට උත්සාහ කර ඇත.

නමුත් එක් දැරිවියක් ආපසු ළමා නිවාසයට යාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසන විට මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.

ළමා නිවාසයේ මුරකුරු විසින් අවස්ථා කීපයකදී තමන්ව දුෂණය කළ බව දැරිවිය මෙහිදී පොලීසිය හමුවේ පවසා ඇති බව වාර්තා වෙයි.

දුෂණයට ලක්ව ඇති දැරිවියගේ මව සහ පියා දෙදෙනාම නොමැති බවත්, ඇය අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් විමර්ශණ වලදී හෙළිවී තිබේ.

සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි ෴

***************************************

23-08-2019

***************************************

කසළ ටිපර් රථයකට හා ආරක්ෂාවට ගිය පොලිස් කැබ් රථයකට ගල් ප්‍රහාරයක්

(24.08.2019 – 10:47 +0530 – sinhala.adaderana.lk)

අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයකට හා ඒ සඳහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කළ පොලිස් කැබ් රථයකට අද (24) අලුයම ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙසේ ගල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ පුත්තලම මුලස්ථාන පොලීසියේ එල්.ඩි.6907 අංක දරණ මුර සංචාරක කැබ් රථයටයි.

කොළඹ සිට අරුවක්කාළුවට කසළ ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථ සඳහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කරමින් තිබු මෙම පොලිස් කැබ් රථයට ප්‍රහාරය එල්ල වී ඇත්තේ පුත්තලම තිල් අඩිය ප්‍රදේශයේදීය.

තිල් අඩිය ප්‍රදේශයේ සැඟවී සිටි පිරිසක් කසළ රැගෙන යමින් සිටි ටිපර් රථ වලට ගල් ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී මෙම පොලිස් ජීප් රියටද එකවර ප්‍රහාරය එල්ල වී ඇති බව අප වාර්තාකරු පවසයි.

කසළ ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථයකටද ගල් ප්‍රහාරයක් එල්ල වි තිබු අතර එහි ඉදිරියේ ප්‍රධාන වීදුරුවට හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධව ගල් ප්‍රහාරය සිදුවු අවස්ථාවේදිම සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිළධාරින් සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වාහනවලට පහර දීමට සඟවාගෙන තිබු ගල් කීපයක්ද ඔවුන් සතුව තිබී ඇත.

මෙම කසළ ප්‍රවාහන ටිපර් රථ වෙනුවෙන් ස්ථාන ගණනාවක යුධ හමුදාවද ආර්කෂාවට යොදවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

+++++++++++++++++++++

***************************************

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර, තේ කුඩු නිෂ්පාදනය කළ තුන් දෙනෙකු අත්අඩංගුවට

(24.08.2019 – 11:24 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර තේ කුඩු නිෂ්පාදනය කිරීමේ නිරත වූ පුද්ගලයින් තුන් දෙනෙකු දැරණියගල – සපුමල්කන්ද වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකය එක්ව තේ කර්මාන්තශාලාවක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී තේ කොළ වලට මිශ්‍ර කිරීමට සූදානම් කර තිබූ හඳුනා නොගත් සුදු පැහැති කුඩු කිලෝග්‍රෑම් 25 බැගින් අඩංගු කවර 42 ක් සහ හඳුනා නොගත් දියර ලීටර් 130 බැගින් අඩංගු බැරල් දෙකක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

ශවේන්ද්‍රට යුද අපරාධ චෝදනා එන රහස හෙලිවෙයි !

(24.08.2019 – divaina.com)

ඇමරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මුල් වූයේ හිටපු මේජර් ජෙනරාල්වරයකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් පිටු 200 ක දිවුරුම් ප්‍රකාශය නිසා බව අනාවරණය වී ඇත.

මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා වන්නි මෙහෙයුමේ සියලු මෙහෙයුම් කටයුතු සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දුන් විධාන භාරව සිටියේ තමා බව එම දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබේ.

මෙම දිවුරුම් ප්‍රකාශය ගැන හමුදා බලධාරීන්ට වසන් වී තිබණි.

මේ දිවුරුම් ප්‍රකාශය ලබාදුන් හිටපු මේජර් ජෙනරාල්වරයා 2015 ජනාධිපතිවරණ සමයේ මෙරටට පැමිණ සිය නම වෙනස්‌ කරගෙන ඇත.

පසුව යහපාලන රජය යටතේ ඔහුට තානාපති ධුරයක්‌ ද ලබාදී තිබුණි.

දකුණු පළාතේ හිටපු ශ්‍රීලනිප ඇමැතිවරයකුගේ මස්‌සිනා වූ මෙම නිලධාරියා තානාපති ධුරය ලබාගෙන ඇත්තේ සිය අලුත් නමින් බව හෙළි වී ඇත.

මේ අතර වන්නි මෙහෙයුමේ කටයුතු සහ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ විධානයන් භාරව තමා සිටි බවට ඔහු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක්‌ බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

මෙකී දිවුරුම් ප්‍රකාශය ගැන රජය හෝ හමුදාව ඔහුට එරෙහිව රාජ්‍ය රහස්‌ පනත යටතේ විමර්ශනයක්‌ ආරම්භ කර නැත.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *