අපේ හමුදාපති ගැන අමෙරිකාවට තියෙන රුදාව මොකක්ද? – ඥානසාර හිමි

(25.08.2019 – 23:35 +0530 – sinhala.adaderana.lk)

හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම පිළිබඳව ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පල කර සිටියි.

ත්‍රස්ත ප්‍රහාරය ඇති වීමට පෙර ඒ පිළිබඳ දැනුම් දුන්න ද පසුගිය ආණ්ඩුවෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වු බවට ද ඒ හිමියන් චෝදනා එල්ල කරයි.

හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම ගැන උන්වහන්සේ ජනාධිපතිවරයාට ස්තුතිය පල කල අතර නව යුධ හමුදාපති තෝරා ගැනීමේ දී අමෙරිකාව එල්ල කළ චෝදනා පිළිබඳව සිය විරෝධය ද පල කළේය.

දුර්වල පාලකයන් රට තුළ පහළ වු විට ඇස් පනා පිට දැකගත හැකි සත්‍ය මෙය බවත් උන්වහන්සේ ප්‍රකාශ කරයි ෴

***************************************

කම්බි 15 ක් මගේ කකුලට ගැහුවා – සෞදි ගිහින් දුක් විඳි මවකගේ කඳුළු කථාව

(25.08.2019 – 22:47 +0530 – sinhala.adaderana.lk)

සිහින පොදි බැඳගෙන සෞදි රට බලා ගොස් අනේක දුක් විඳි කාන්තාවක් පිළිබඳ පුවතක් දිඹුලාගලින් වාර්තා විය.

ඇය මහවැලි නිවසක පදිංචිව සිටින තිදරු මවකි. 43 වියැති ඇය නමින් එච්. ජී. නිලන්ති ප‍්‍රියංගිකා විජේසිංහයි.

ගොවිජන සේවා ආයතනයේ සේවය කරමින් සිටියදී දේශපාලන පළිගැනීමකට ලක්ව ඇය ඉවත් කිරීමත් සමඟ ප‍්‍රශ්න කන්දරාවක් ඇගේ හිස මතට කඩා වැටුනේ ස්වාමියාද දරුවන් තිදෙනා සමඟ තමන්ව අතහැර ගියාට පසුවයි.

2013 මාර්තු 15 වෙනිදා සෞදි රට බලා ඇයට පියසර කිරීමට වුයේ තම රැකියාවේ සිටියදි ගත් බැංකු ණය සහ තම දරුවන්ගේ ඉගෙනිම් කටයුතු වලට අවශ්‍ය මුදල් සොයා ගැනීමට හා දරුවන්ට නොතෙමි ඉන්න ස්ථිර නිවසක් තනා ගැනිමේ බලාපොරොත්තු පොදි බැදගෙනය.

2015-මාර්තු-04 වෙනිදා මේ අසරණ මාතාව සියලූ වද වේදනා විද වසර දෙකකින් ලංකාවට ගොඩ බැස්සේ තම ජිවිතයේ තිබු සියලුම බලාපොරොත්තු සුනු විසුනු වි දෙපයින් තනිව ඇවිද ගැනීමටවත් නොහැකිවය.

ලංකාවට පැමිණි විගස පොලොන්නරුව මහරෝහලට ඇතුලත් කර සෞදියෙන් ගැසු කම්බි කුරු 15 න් 12 ක් කකුල පලා ඉවත් කර මැහුම් 58 ක් දැමීමට සිදු වුයේ කකුල කිහිප පොලකින්ම මෙම කම්බි කැබලි ඇන තිබු හෙයිනි.

වම් පාදයේ තවමත් බරක් දී වැඩ කිරිමට මෙම මාතාවට නොහැකිය.

ඒ තවත් කම්බි කැබලි 03 ක් ලේ මස් ඇට නහර වලට දැඩි සේ සම්බන්ධ විම හේතුවෙන් බව පොළොන්නරුව වෛද්‍යවරුන් පවසා ඇත.

එම කකුලේ වේදනාව එදා සිට මේ දක්වා දරාගෙන නොයෙකුත් කුලීවැඩ වලට යැමට උත්සහ කළේ බැංකු වලින් ඇයට දුන් ණය මුදල් නොගෙවෙීම නිසා නිතිමය ක‍්‍රියාමාර්ග ගෙන නිලධාරින් නිවසට පැමිණිමත් සමඟය.

හිස හැරුන අතේ ගොස් කුලියක් කිරිමට හිතේ ශක්තිය ඇතුවට මෙම කකුලේ අධික වේදනාව නිසා කිසිම රැකියාවක් නිසි අයුරින් කිරිමට ඇය අපොසත් වි ඇත.

කිහිප වරක් විදේශ සේවා නියුක්ති කාර්යංශය , විදේශ කටයුතු අමාත්‍යංශයට , මානව හිමිකම් එකේ මෙන්ම සියලු බලධාරින් නිලධාරින් ළග දනින් වැටුනද ඇයව තඹ දොයිතුවකට මායිම් නොකිරිමත් සමඟ පෙර විදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යව සිටි තලතා අතුකෝරල මහත්මිය මේ වේදනාවට රුපියල් 25,000 ක මුදලක් නියම කළද එය බස් වියදම් වලටවත් මදි බව ඇය පැවසුවේ අසරණකම මුදුන්පත් කරගෙනය.

ජිවිතයේ මහ දුක්කම් කටෝලු රාශියක් මැද අසරණකමින් ගිලන්ව දිවි ගැට ගහගන්න වෙරදරන මෙම නිලන්ති ප‍්‍රියංගිකා මහත්මිය අප සමඟ මෙලෙස ඒ කටුක අත්දැක්ම කදුළු හලමින් පැවසීය.

“මම ඉස්සර ගොවිජන සේවා එකේ වැඩ කලා. ඇත්තටම මම හොද පඩියක් අරං කාටවත් බරක් නොවි ජීවත් වුනා.

මම තව දියුණු වෙන්න අවශ්‍ය නිසා බැංකු ණය ගත්තා මේ වෙද්දි පොලියත් සමඟ රුපියල් ලක්ෂ 15 ක් විතර ගෙවන්න වෙලා.

දවසක් පොහොර සල්ලි බැංකුවට දාන්න තිබිබා. මම යද්දි බැංකුව වහලා. මම සල්ලි ටික අරං ගෙදර ආවා.

ඒ ඉන්න අතරේ අපි මේ ලඟකට ගිහින් එන්න ගිය වෙලේ අපේ ගේ හොරු කඩලා සියලුම දෙවල් සහ අර සල්ලිත් හොරකම් කලා.

මට කියන්න කරන්න දෙයක් නැති වුනා. මම අපේ නෑදැයෙකුගේ කුඹුර උගස් කරලා ඒ පොහොර සල්ලි ගෙවුවා.

හැබැයි දේශපාලන පලිගැනිමක් නිසා මට මගේ රැකියාවත් නැති වුනා.

මම ඒ වෙද්දි බැංකු වලට ණය වෙලා හිටියේ. මගේ රැකියාව නැති වෙනවාත් එක්කම මගේ මහත්තයා මාව දාලා ගියා.

එයා වෙන කසාදකයක් කර ගත්තා. ඒ පවුලේ වුන ප‍්‍රශ්ණයක් නිසා එයා බෙල්ලේ වැල දාගෙන මැරුණා.

මේ ප‍්‍රශ්ණ නිසා අවසානේ මම රට යන්න කල්පනා කරලා කොළඹ ඒජන්සියකින් රට ගියා.

ඒ ගෙදර හිටියා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත ගැණු කෙනෙක්.

එයාට වෙලාවකට පිස්සු හැදෙනවා. දවසක් එයයි මමයි විතරයි ගෙදර හිටියේ සියලු වැඩ ඉවර කරලා මම ගියා ටිකක් නිදා ගන්න.

ඇඟේ තිබ්බ මහන්සියත් එක්ක මට හොදටම නින්ද ගියා. මට එක පාරම ඇහැරුනා. මගෙ කකුලට මොකක් හරි අනිනවා දැනුනා.

ඒ වෙද්දි මගේ කකුල් ගැට ගහලා කටටත් ප්ලාස්ටර් එකක් ගහලා. මගේ වේදනාව කඳුලු වලින් පිට කරනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නැ.

කම්බි 15 ක් මගේ කකුලට ගැහුවා. මගේ කණට සබන් කුඩු දාලා ගෑරුප්පුවකින් ඇන්නා.

ඒ කන තාමත් ඇහෙන්නේ නැ. දොස්තරලා කිව්වා කන්බෙරය පුපුරලා කියලා.

මහ පුදුම දුක් ගොඩක් විඳලා ලංකාවට එන්න මට පුලුවන් වුනා 2015-03-15 වෙනිදා.

ආපු ගමන් මාව එක්කන් ගියා ඔපරේෂන් එකක් කරන්න.

කම්බි 12 ක් ගත්තා තව තුනක් තියනවා ගන්න. ඒවා ගන්න බැරිලු කකුලට සම්බන්ධ වෙලා කියලා.

කකුල කපලා මැහුම් 58 ක් ගැහුවා. මට තාමත් ඇවිදින්න බැහැ හරියට. මහ වේදනාවක් දැනෙනවා.

නින්දක් නෑ රෑට. වේදනාවයි මේ ප‍්‍රශ්ණයි නිසා.

මට වුන මේ අසාධාරණකම් මම විදේශ සේවා එකට ගිහින් පැමිණිලි කලා. කිසිම සහනයක් ලැබුනේ නෑ.

එවයේ සීත කාමර වල ඉඳගෙන සැප විදින මහත්වරුන්ට මේ අහිංසක අපේ කඳුලු විහිලුවක් විතරයි.

මානව හිමිකම් එකටත් පැමිණිලි කලා. එයාලා කියනවා විදේශ සේවා එකෙන් ලියකියවිලි දෙන්නේ නැහැ කියලා.

මම අද උපරිමව අසරණයි. මට කියන්න කරන්න දෙයක් නැ.

මේ මහවැලි නිවසෙනුත් අපිට යන්න කියලා තියෙන්නේ.

මට මහ පාරට තමා බහින්න වෙන්නේ.

ජනපතිතුමා ගෙන් මං බැගෑපත්ව ඉල්ලන්නේ පුලුවන්නම් මගේ මේ අසරණකම තේරුම් අරන් මට සාධාරණයක් කරලා දෙන්න. ඔබතුමාට පිං අයිති වෙයි.”

එච්.ජී. නිලන්ති ප‍්‍රියංගිකා විජේසිංහ – 078 929 0891

***************************************

ත්‍රස්තවාදීන්ට එරෙහි නඩුවලට වඩා දේශපාලන නඩුවලට මුල් තැන දෙනවා

(25.08.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම වෙනුවට නීතිපතිවරයා දේශපාලන නඩු වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

වස්කඩුවේ පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“බිය සැක නැති රටක් – සමෘද්ධිමත් හෙටක්” යන තේමාවෙන් වියත් මඟ සංවිධාන කළ තවත් සම්මන්ත්‍රණයක් ඊයේ (24) පස්වරුවේ කලුතර වස්කඩුව ප්‍රදේශයේදී පැවැත් විය.

වත්මන් ආණ්ඩුව ලබා ගත් ණය වලට සිදු දෙයක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ණය ප්‍රමාණය වැඩිවීමක් පමනක් සිදු වු බවත් ඒ සියල්ල මංකොල්ලකාලා දැමු බවත් ඒ මහතා එහිදි පැවසීය.

+++++++++++++++++++++

https://www.facebook.com/nalaka.godahewa/videos/10156116097851986/

***************************************

සිංහල ව්‍යාපාර විනාශ වෙන්නේ සුහද බව නැති වීමෙන් – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

(25.08.2019 – 15:54 +0530 – sinhala.adaderana.lk)

වර්තමානයේ සිංහල ව්‍යාපාර බිඳ වැටීමට මූලික හේතුව සුහදත්වය නොමැති වීම බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

කළගෙඩිහේන එක්සත් වෙළෙඳ සංගමය අද පෙරවරුවේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

රටක් විදිහට පොහොසත් නොවීමට හේතුව සම්පත් අහිමි කර ගැනීම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ,

“සල්ලි ඇරන් ඇවිත් සම්පතක් බවට පත් කරගත්තාම ලෝකෙ කොහේ හිටියත් පෝසත් වෙන්න පුළුවන් කියලා චීනා දන්න හින්දා තමයි එහෙන් සල්ලි ඇරන් ඇවිත් වරාය ඇරගෙන “සල්ල වරාය” බවට පත් කළේ.

අපි වරාය සල්ලි බවට පත් කරනකොට චීනා සල්ලි වරාය බවට පත් කරනවා.

අපි සම්පත් ආරක්ෂා කරගෙන අපේ ව්‍යාපාර කටයුතු කරන්න ඕනෙ.

ව්‍යාපාරය දරුවන්ට භාර දීලා ව්‍යාපාරය කෑලිවලට කැඩුව ගමන් බඩු ඉතුරු වෙන්නේ නෑ.

මුට්ටි බිඳලා වළං කෑලි ගත්තාට වැඩක් තියෙනවාද?” යනුවෙන් ප්‍රකාශ කළේය.

***************************************

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් දෙදරු මවකට අතවර කළ සිසුවා රිමාන්ඩ්

(26.08.2019 – mawbima.lk)

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් දෙදරු මවක් අතවරයට ලක් කළ පාසල් ශිෂ්‍යයෙක් කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉකුත් 23 දා නියෝග කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන ගලිගමුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යයෙකි.

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ශිෂ්‍යයාගේ පියා මියගොස් ඇති අතර ඔහුට වැඩිමහල් සහෝදරයෙක් පමණක් සිටියි. මවත් සහෝදරයාත් සමඟ නිවෙසේ පදිංචිව සිටින මෙම ශිෂ්‍යයා ගමේ පාසලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබාගෙන කෑගල්ල නගරයේ පාසලකට ඇතුළත්ව තිබිණි.

මෙම ශිෂ්‍යයාගේ නිවෙසට යාබද නිවෙසක සිවු දෙනකුගෙන් යුත් පවුලක් ජීවත්වෙමින් සිටින අතර එම පවුලේ සැමියා සංචාරක වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිය තිස් හැවිරිදි කාන්තාවකි. මෙම තරුණයාගේ පවුලේ අය අසල්වැසි මේ ව්‍යාපාරික පවුල සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි. ඒ හේතුවෙන් පාසල් ශිෂ්‍යයා දෙදරු මවගේ ජංගම දුරකථන අංකයද කලක සිට දැනගෙන තිබූ බව පොලිසිය කියයි. මෙම දෙදරු මව වකුගඩු ආසාදනයක් හේතුවෙන් ඉකුත් අප්‍රේල් මස දින කිහිපයක් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ තිබිණි. යළි දින කිහිපයකින් කාන්තාවට රෝහලට පැමිණෙන ලෙස වෛද්‍යවරු දන්වා ඇත. පාසල් ශිෂ්‍යයා මේ සියලු තොරතුරු කාන්තාවගේ නිවෙසට ආ ගිය අවස්ථාවේදී දැන ගෙන තිබේ.

කාන්තාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණි පසු කලකට ඉහතදී මාර්ගයේ වැටී තිබී අහුලා ගත් දුරකථන අංකයකින් කට හඬ වෙනස් කරමින් ශිෂ්‍යයා කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පවසමින් කාන්තාවට ඇමැතුමක් ගෙන තිබිණි. එමඟින් ශිෂ්‍යයා කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ තමන් කෑගල්ල රෝහලේ වෛද්‍යවරයකු බවත් අසනීප තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා වයස අවුරුදු 16 ත් 20 ත් අතර තරුණයකුගේ පුරුෂ බීජ අවශ්‍ය බවත් එය ලබා ගන්නා තරුණයා අතේම පුරුෂ බීජ රෝහලට ගෙනත් භාරදෙන ලෙසත්ය. කාන්තාවද තම අසනීප තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යායාගේ නිවෙසේ මිදුලට ගොස් ශිෂ්‍යයාට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දී ඇත.

පාසල් ශිෂ්‍යයාද කිසිම දෙයක් නොදන්නා සේ කාන්තාවගේ නිවෙසට පුරුෂ බීජ ලබාදීමට එදිනම දහවල් ගොස් තිබිණි. එදින කාන්තාවගේ සැමියා වෙළෙඳාම් කිරීමට නිවෙසින් බැහැර ගොස් තිබුණු අතර දරුවන් දෙදෙනාද පාසල් ගොස් තිබිණි. කාන්තාව පාසල් ශිෂ්‍යයා ඇඳට රැගෙන ගොස් කාන්තාව විසින්ම තරුණයාගේ පුරුෂ බීජ කුප්පියකට ලබාගෙන තරුණයා අතේම රෝහලට යැවීමට කටයුතු කර ඇත.

පසුදා වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් ශිෂ්‍යයා යළි කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ තරුණයා සමඟ ලිංගිකව හැසිරී තරුණයාගේ පුරුෂ බීජ පිට වන්නට මොහොතකට පෙර ලබා ගන්නා බීජ තරුණයා අතේම ගෙනත් භාර දෙන ලෙසය. මෙම පාසල් ශිෂ්‍යයා මෙලෙස අවස්ථා කිහිපයකදීම ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ ආකාරයෙන් කාන්තාවට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.

පසුව කාන්තාවට මේ සම්බන්ධයෙන් තරුණයා කෙරෙහි සැකයක් පහළ වී ඇත. තරුණයාටද එය වැටහී තිබිණි. තරුණයා නිවෙසට නොපැමිණීමත් සමඟම කාන්තාවට තවදුරටත් සැක පහළ වී අප්‍රේල් මස දිනක කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ලට අනුව පොලිසිය දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර ශිෂ්‍යයා ඉකුත් 22දා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී තරුණයා පොලිසියේදී තමා බොරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කාන්තාව අතවරයට ලක් කර ඇති බව අනාවරණය කර ඇත. පසුගියදා 23 දා ශිෂ්‍යයා කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කර ශිෂ්‍යයා පිළිබඳ කරුණුද අධිකරණයට වාර්තා කෙරිණි. එහිදී සැකකාර ශිෂ්‍යයා අගෝස්තු 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා ඒ.එම්. යසන්ති කුමාරි, උප පොලිස් පරීක්ෂිකා ගයනි, කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (5594) සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබිණි.

දමුණුපොළ – චමින්ද ජයලත්

***************************************

අත්ඩංගුවේ සිටින තිස්සමහාරාම රජමහා විහාරයට අයත් අලියාට අසාධ්‍යයි…

(26.08.2019 – 12:40 +0530 – lankacnews.com)

හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මත වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2015 වසරේ දී අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ බී/172/15 යටතේ නඩුපවරා ඇති තිස්සමහාරාම රජමහා විහාරයට අයත් අලියා (වයස අවු 20 පමණ) දැඩි ලෙස රෝගීව මේවන විට පින්නවල අලි අනාතාගාරයේ සිටී. මෙම අලියා අත්අඩංගුවටගත් දින සිටම කිසිදු සැලකිල්ලක් නොදක්වන ලද බවත්, නැවීමක් හෝ ගස් ලිහීමක් පවා සිදුකර නොමැතිබව වාර්තාවේ (‘අලි පැටියෝ ඔයයි මමයි’ චිත්‍රපටයේ මීට වසර 13 පෙර සිටි අලියා). මේ ආකාරයටම වනජීවී දෙපාර්තමේන්තුව මගින් මහනුවරදී අත්අඩංගුවට ගත් හොරණ වරුණ කන්නංගර මහතාට අයත් අලි පැටියෙකු ද උඩවලව ඇත් අතුරු සෙවනේ දී රෝගීව මියගොස් ඇති අතර, මේවන විට විවිධ හේතු සාධක මත විහාරස්ථාන හා පුද්ගලයන් සතු හීලැ අලි ඇතුන් 38 පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර එම සතුන්ගේ තත්වය ද යහපත් නොවන බව අප සංගමයට වාර්තාවේ. (අධිකරණ මගින් පින්නවලට හා උඩවලව ඇත් අතුරු සෙවනට භාරදි ඇති අලි ඇතුන් නඩු භාණ්ඩ බැවින් නිලධාරීන් ද මෙම සතුන් සම්බන්ධව කටයුතු කරන්නේ ඔවුන්ගේ රාජකාරි සීමාවේ සිටය, නමුත් මෙම සතුන් එම සතුන්ගේ භාරකරුවන් ලඟ සිටියදී පෞද්ගලිකව එම සතුන්ගැන අවධානයෙන් සිටඇත.)

ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඕ. සංවිධාන විසින් මෙරට පෙරහැර සංස්කෘතියට හා විහාරස්ථාන දේවාල, හා ‍මහා සංඝරත්නයට විරුද්ධව පසුගිය වසර කීපය තුළ ගෙනගිය මෙම විවිධ නඩු කටයුතු හා හොරෙන් වනයෙන් රැගෙන ආ අලි බවට වැරදි තොරතුරු ජනගත කිරීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇත. එහෙත් මේවන විට අධිරණය මගින් තහවුරු වෙමින් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හා ඊනියා පරිසර සංවිධාන ගෙනගිය ප්‍රචාර සම්ප්‍රර්ණයෙන්ම අසත්‍ය බවත් මෙරට බෞද්ධ සංකෘතියට හා මෙරට ප්‍රකට භික්ෂුන් වහන්සේලා හා බෞද්ධ ප්‍රභුන් ඉලක්ක කරමින් විදේශීය අන්‍යාගමික සංවිධාන මගින් විශාල ලෙස මුදල් ලබා ගනිමින් සිදුකරන ලද මහා පරිමාන ව්‍යාපරයක් ලෙස මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඕ. සංවිධාන කටයුතු කර ඇති බවයි.මෙවුන්ගේ ඉලක්කය වී ඇත්තේ පෙරහැර සංස්කෘතිය මෙරටින් අතුගා දැමීම බව අප සංවිධානයට වාර්තාවී ඇත.

මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඕ. සංවිධාන මැදිහත් වීම මත මේවනවිට මහනුවර අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමිපාණන්, තඹුල්ලේ සීලක්කන්ද හිමිපානන්, දරණාගම කුසලදම්ම හිමියන්, කොලොන්නාවේ සුමංගල හිමියන් තිස්සමහාරාමාධිපති දේවාලේගම ධම්මදින්න හිමියන් ඇතුලු නායක හිමිවරුන් කීප නමකටම හා බෞද්ධ අලි ඇතුන් හිමියන් 20 කට පමණ මේවන විට විවිධ අධිකරණවල නඩු ගොනුකර ඇත. මෙම මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඕ. සංවිධාන වල අපේක්ෂාව වී ඇත්තේ මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් පවරා ඇති එක් නඩුවක් මගින් හෝ කිසිවකු වරද කරුවෙකු වනු දැකීමය. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒ හරහා අනෙක් නඩුවලටද බලපැමක් සිදුකිරීමත් මේ වන විට විහාර දේවාලවල සිටින අනෙක් අලි ඇතුන්ට ද එම නඩු තීන්දු උපයෝගිකර නඩු පැවරීමට මාර්ගයක් උදාකර ලීමය.

පසු ගියදා මහනුවර ඇසල පෙරහැරේ ගමන්ගත් ටිකිරි ඇතින්න ගැන කිඹුල් කඳුළු හෙලු ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඕ. සංවිධාන පින්නවල අලි අනාතාගාරයේ පණ අදින හීලැ අලි පිලිබදව කිසිවක් කථා නොකරන්නේ ඔවුන්ගේ අපේක්ෂාව හීලැ අලින් අප පෙරහැර සංස්කෘතියෙන් ඇත්කීරීම පමණක් බවත් එම සතුන්ගේ සුභ සාධනය හෝ ආරක්ෂාව / ආදරය ගැන අනුශුමාත්‍ර හැගීමක් නොවන නිසා බව හොදින්ම පැහැදිලිය.

– හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යපාරය

***************************************

අඩි 30 ක මාරක පිම්මකින් අනතුරුව සිඟිත්තියක් බේරාගත් වීරයා…

(25.08.2019 – divaina.com)

තම ජීවිතය පරදුවට තබමින් තවත් වෙනත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම පිණිස පෙරමුණ ගන්නා මිනිසුන් විරලය. එවැනි විරල මිනිසකු පිළිබඳ කථාවක් ඉකුත් දිනක වාර්තා විය. ගැඹුරු ළිං පතුලක් තුළ මරණයත් සමග පොර බදමින් සිටි දෙහැවිරිදි සිඟිත්තියක් මරණයෙන් ගලවාගත් නාඳුනන පුද්ගලයෙක් පිළිබඳ වූ එම කතා පුවත වාර්තා වන්නේ මතුගම – පිටිගල ප‍්‍රධාන නගර දෙකට මැදිව පිහිටි පැලවත්ත ප‍්‍රදේශයෙන්ය. පැලවත්ත ගොරකදූව ප‍්‍රදේශයෙන් වාර්තා වන එම සිදුවීම පෙළ ගැසෙන්නේ පහත සඳහන් පරිදිය.

දිනය ඉකුත් ඉරිදාය. වේලාව පස්වරු. 03:00 ත් 04:00 ත් අතරය. පැලවත්ත ගොරකදූව ප‍්‍රදේශයේ එක්තරා නිවසක් අසල දුව පැන දඟලමින් සිටින සිඟිත්තන් දෙදෙනෙකි. වරෙක වැලි දූලි මත බලි රූප අඳින පොඩිත්තන් තවත් වරෙක සමනලයෙක් පසුපස දුව යයි. පොඩිත්තන්ගේ ස්වභාවය එසේය. සුරතල් ළමා විය සීමාමායිම්වලින් තොරය. අවදානම පිළිබඳ වගේ වගක් නොමැත.

මද වේලාවක් තම ගෙමිදුල මත කෙලි දෙලෙන් පසුවන සිඟිත්තන් දෙදෙනාට නිවැසියන්ගේ අවධානයෙන් මිදෙන්නට ගත වන්නේ මොහොතක්ය. ඔවුන් ඉන් අනතුරුව ළඟා වන්නේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක් අසලටය. එය අඩි කීපයක් උස බැම්මකින් වටකොට මනාව ඉදිකරන ලද අඩි 30 ක පමණ ගැඹුරකින් යුත් ළිඳක්ය. එයට යා වෙන්න හතරැස් කොටුවක් වැනි තවත් ඉදිකිරීමක්ය. එය ඉදිකර තිබෙන්නේ ළිඳ අසල සවිකර තිබෙන වතුර මෝටරයේ ආරක්‍ෂාව පිණිසය. ඒ මතට ගොඩවන සිඟිත්තියක් ඉන් අනතුරුව ළිඳ ඇතුළත ඇත්තේ කුමක්දැයි විපරම් කර බැලීමට උත්සාහ දරනවා පමණි. ශරීරයේ සමබරතාවය ගිලිහෙන සිඟිත්තිය ඉන් අනතුරුව ඇද වැටී ඇත්තේ ගැඹුරු ළිං පතුල වෙතය. නිවස ආසන්නයේ පිහිටි ළිඳ දෙසින් යම් ශබ්දයක් නිකුත්වන හඬ ඇසෙන නිවැසි කාන්තාවක් ඒ පිළිබඳ විමසිලිමත්වීමත් සමග ඇයට දකින්නට ලැබී ඇත්තේ අසල නිවසක පදිංචිව සිටි කුඩා දියණියක් ළිඳට වැටී තිබෙන දසුනකි.

එම සිදුවීමත් සමග ඇයට කළ හැකි වන්නේ උදව් ඉල්ලමින් යටිගිරියෙන් කෑ ගැසීම පමණි. ඇගේ විලාපය ඇසීමත් සමග ඒ අසලට ලංවන කීපදෙනෙකුටද දකින්නට ලැබී ඇත්තේ අඩි 15 කට අධික ජල මට්ටමකින් යුත් ළිඳ තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින කුඩා සිඟිත්තියකි. ඇයව කෙසේ හෝ බේරාගත යුතුව ඇතත් ක්‍ෂණිකව ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයක් තීරණය කිරීමට ඔවුන් අපොහොසත්වීම සිඟිත්තියගේ ජීවිතය බේරාගැනීමට වූ ප‍්‍රධානම බාධාව බවට පත්වී ඇත. ඊට හේතුව බවට පත්වන්නේ අඩි 30 ට අධික ගැඹුරකින් යුත් ළිඳට බැසීමට කුමන හෝ ආධාරකයක් අවශ්‍ය වීමය. ඒ සඳහා ගතවන කාලය සිඟිත්තියගේ ජීවිතය මරණයයෙන් නිමාවීමට හොඳටම ප‍්‍රමාණවත්ය.

ගාමිණී චමින්ද මහතා

මේ අතර එම නිවස ආසන්නයේ ඇති පැලවත්ත පිටිගල ප‍්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් පැමිණෙන තරුණයෙකි. රත්නපුර කලවාන වැද්දාගල ප‍්‍රදේශයේ පදිංචි ඔහු එදින පැලවත්ත ප‍්‍රදේශයට පැමිණෙන්නේ ව්‍යාපාර කටයුත්තක් පිණිසය. එය නිමාකොට නැවත කලවාන දක්වා යතුරු පැදිය ධාවනය කරන තරුණයාට දකින්නට ලැබෙන්නේ ළිඳක් අසල කලබලයෙන් හැසිරෙන එක්තරා පිරිසක්ය. ඉන් පෙර කෙදිනකවත් පැලවත්ත ප‍්‍රදේශයට පැමිණ නැති මෙම තරුණයා තම ගමන මදක් බාලකොට ළිඳ අසල සිදුවෙමින් පවතින සිදුවීම පිළිබඳ මදක් විපරම් කරන්නේය. අවට රැස්ව සිටි පිරිස විසින් නගන විලාපය විසින් සිදුවෙමින් පවතින අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පුවත තරුණයා වෙත රැගෙන ආවා විය යුතුය. මොහොතකින් යතුරු පැදි නතර කරන තරුණයා ළිඳ අසලට ලංවූවා පමණි. ඔහුට දකින්නට ලැබෙන්නේ වරක් දිය මතුපිටට පැමිණි මල් කැකුලක් බඳු සිඟිති දියණියක් නැවත ජලයේ නොපෙනී යනවා පමණි. මිනිස් වෙස් ගත් දෙවිකෙනෙකු බදු පුද්ගලයකුගේ හදිසි පැමිණීම එවෙලෙහි ලිද අසල රැස්ව සිටි පිරිස පවා කිසිසේත් අපේක්‍ෂා නොකල සිදුවීමකි. කිසිවෙකුගේ පෙළඹවීමකින් තොරව තමන් හැඳ සිටි ජැකට්ටුව, මුදල් පසුම්බිය හා දුරකථනය පසෙකින් තබන හේ ඉන් අනතුරුව කිසිදු ආධාරකයකින් තොරව ගැඹුරු ළිං පතුල වෙත පනිනු ලබන්නේ තම ජීවිතය පිළිබඳ තුට්ටුවකට මායිම් නොකරමිනි. ළිඳ අසල සිටි පිරිස තුෂ්නිම්භූත කරවමින් එම වීර ක‍්‍රියාව සිදුකරන නාඳුනන පුද්ගලයා ඉන් මද වේලාවකින් අනතුරුව ගැඹුරු ළිං පතුල තුළ සැඟවෙන්ට දෙවන වරටද යට යමින් සිටි සිඟිත්තිය දිය මතුපිටට රැගෙන එනු ලබන්නේ පරිස්සමට නෙළාගත් මල් කැකුලක් පරිද්දෙන්ය.

වීරයාගේ කථාව එතෙකින් නගර වන්නේ නැත. තම දිවිය පරදුවට තබමින් දියයට ගිලෙමින් සිටි සිඟිත්තිය ළිඳ මතුපිටට රැගෙන ඒමටද ඔහුට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත. ළිඳ අසල රැස්ව සිටි පිරිසට ඉනිමං, කඹ ආදිය ළිඳ අසලට රැගෙන ඒම පිණිස විනාඩි දහයක් පහලොවක් අතර කාලයක් වැයවී ඇත. ජල මට්ටමින් ඉහළ කොටස අඩි 15 ක් පමණ වන බැවින් ආධාරකයකින් තොරව එම අසීරු මග තරණය කළ නොහැක. එතෙක් වේලාවක් සිඟිත්තියව දිය මතු පිට තබා ගැනීම අසීරු කටයුත්තක්ය. ඇගේ ජීවිතයටද එය අවදානමක් සහිතය. මේ කථාවේ එන වීරයාගේ සිත දැඩිය. මහත් වෙහෙසක් දරමින් එම තීරණාත්මක විනාඩි කීපයද ඔහු ගෙවා දමන්නේය. පාදයක් ළිං බිත්තිය මත තබමින් සිඟිත්තිය දියමතුපිට තබා ගන්නා අපගේ වීරයා ඉන් අනතුරුව ගොඩබිම රැස්ව සිටින පිරිසගේ ආධාරයෙන් සිඟිත්තියට නැවත ජීවිතය ලබාදෙන අතර එම වීර ක‍්‍රියාව නිමාකිරීමට ඔහුට මිනිත්තු 20 ක පමණ කාලයක් වැයවී ඇත.

තමන් ගැන පමණක් සිතන්නට බලකරමින් සිටින සමාජ වටපිටාවක් තුළ වීරයන් බිහිවන්නේ කලාතුරකින්ය. ඔවුන් පිළිබඳ වැඩි වැඩියෙන් ලියා තැබිය යුතු වන්නේ එවැන්නන් සමාජය හමුවේ පරමාදර්ශී චරිත වන හෙයින්ය. එනයින් මේ කියන නාඳුනන වීරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට .දිවයිනට හැකි විය. ඔහු නමින් කලවාන වැද්දගල පාර දම්වල පදිංචි විසිනව හැවිරිදි ගාමිණී චමින්ද ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාමිණී චමින්ද සඳහන් කළෙ එම මොහොතේ තමන්ට කළ හැකි එකම දෙය දියෙහි ගිලෙමින් සිටි සිඟිත්තිය බේරා ගැනීම බවත් ඒ සඳහා ජීවිත අවදානම නොතකමින් ගැඹුරු ළිං දියට පනින්නට සිදුවූ බවත්ය. මින් පෙරද තමන් විසින් ජීවිත කීපයක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් පැවසූ ගාමිණී චමින්ද අවසන් වශයෙන් සඳහන් කර සිටියේ මෙවරද තමන්ට තවත් ජීවිතයක් බේරා ගැනීමේ උතුම් පිංකමක කොටස්කරුවකු වීමට හැකිවූ බවත්ය.

නාඳුනන ප‍්‍රදේශයක නාඳුනන පිරිසක් මැද සිය ත‍්‍රාසජනක වික‍්‍රමය සිදුකල ගාමිණී චමින්ද ඉන් අනතුරුව සිඟිත්තියව ප‍්‍රතිකාර පිණිස ඇතුළත් කළ රෝහල වෙත ගොස් ඇයගේ සුවදුක් දැන ගැනීමෙන් අනතුරුව නැවත සිය ගම්බිම් බලා පිටව ගොස් ඇති අතර සිද්ධිය ඇසින් දුටු බොහෝ දෙනෙක් පවසා සිටින්නේ දෙවියන්ද ජීවත්ව සිටින්නේ මිනිසුන් අතර බවත් ඉහත සිදුවීම හරහා ඒ බව මැනවින් ඔප්පු වූ බවත්ය.

– රුවන් ජයවර්ධන

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *