ඉලක්කය මෛත‍්‍රී සහ ගෝඨා…කොටි දොස්තර සියල්ල වමාරයි…. ප‍්‍රහාරවලට ස්නයිපර්කරුවනුත් සොයලා…!

(25.08.2019 – divaina.com)

  • මොසාඩ් ක‍්‍රමයට හමුදා ප‍්‍රධානීන් ඝාතනයටත් සැලසුමක්
  • කොටි පුහුණුව ගත්තේ මඩකලපුවේදී

පරගැති දේශපාලනික කෙරුවාවක් තුළ ගෙවී ගිය වසර පහකට ආසන්න කාලයේ මේ රටේ ජාතික ආරක්‍ෂාවට සිදු කළ විනාශය හමුවේ අපි දැන් යළිත් බිහිසුණු බවේ උච්ඡතම අවස්ථාවට ළඟා වී සිටිමු.

මේ රටේ ජනතාවගේ වැටහීම පිණිස ඒ බව අප සටහන් කරනුයේ ඉතා වගකීමෙනි. මිනිසුනේ සිහිතබා ගන්න. අවධානයෙන් සිටින්න. යළිත් අපට මරණය දෝතට ගෙන ජීවත් වීමට සිදුවන වටපිටාවක් නිර්මාණය වෙමින් ඇත.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අප යුදමය වශයෙන් මේ රට තුළ පරාජයට පත් කරනු ලැබුවේ ඉකුත් 2009 වසරේ මැයි මස 19 වැනිදාය.

එතැන් සිටි මේ රටේ ජීවත් වූවන්ගේ හදවත් හිරිවට්ටවා තිබූ මරණයේ භීෂණය ඉවතට ගියේය. එහෙත් ඒ නිදහස පැවතියේ දස වසරක කාලයක් පමණකි.

ඉකුත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය යළිත් අපට ඒ රුදුරු මරණයේ තරම සිහිකර දුන්නේය. ඒ අනුව දැන් කාගේත් මාතෘකාව බවට පත්ව ඇත්තේ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය සහ සහරාන් හෂීම්ය.

එහෙත් මේ මොහොතේ රට ඇත්තේ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය හා සහරාන් හෂීම්ගේ භීෂණයේ ගොදුරක් බවට පත්වී පමණක්ද?

නැත. ඊටත් එහා ගිය අතිශය බිහිසුණු මාවතක් දෙසට දැන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යළිත් මේ රට රැගෙන යමින් තිබෙන්නේය.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කෙසේ හෝ යළි හිස ඔසවන්නට උත්සාහ ගනු ලැබුවේ ප‍්‍රභාකරන්ගේ අවසානය සිදුවී තෙවසරක් ඇවෑමේ ඉකුත් 2012 වසරේ සිටය. ඒ ආරම්භය ගනු ලැබුවේ ප‍්‍රබල හමුදා ඔත්තුකරුවකු වූ ඊපීඩීපී මුත්තු නමැත්තා ති‍්‍රකුණාමලය වැව්බැම්ම මතට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කිරීමෙනි.

එතැන් සිට ඔවුන් ඉකුත් 2015 වසර දක්වා අවස්ථා තුනකදීම එසේ යළි මතුවීමට උත්සාහ ගනු ලැබීය. එහෙත් ඒ වන විට මේ රටේ ආරක්‍ෂක බුද්ධි අංශ ජාලය ඉතාම ශක්තිමත්ව පැවති නිසා ඒ සියල්ල ව්‍යර්ථ වී ගියේය.

ඉකුත් 2015 වසරින් පසු මේ රටේ බුද්ධි අංශවලට උදා වූයේ ඉතාම අවාසනාවන්ත යුගයකි. කාලකණ්ණි දේශපාලන වුවමනාවන් හමුවේ විවිධ චෝදනා එල්ල කරමින් එකාපිට එකා සිරගත කිරීමේදී ඔවුහු බිංදුවටම ඇද වැටුණාහ. එසේ වුවද බොහෝ තාඩන පීඩන දුක් කම්කටොළු මැද වුවද රටත් ජනතාවත් විපත දෙසට ඇදී යන බව දුටු කල්හි හැකි පමණින් උපන් බිමේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට ඔවුහු පෙරමුණ ගත්හ.

එසේ නොවන්නට මේ බිමේ යළි එක පෙළට මළ මිනී එසැවෙන්නට තිබුණේ සහරාන් හෂීම්ගේ ප‍්‍රහාරයට පෙරය. මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියකු වූ එඩ්වඩ් ජුලියන්ගේ නිවසේ තිබී ඉකුත් 2016 වසරේ මාර්තු මස 29 වැනිදා ආරක්‍ෂක අංශ මගින් සොයාගනු ලැබූ අධිබල ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගය පිපිරීමෙන් ජාතියට ඒ ඉරණම අත්වීමට බොහෝදුරට ඉඩ තිබිණි.

එසේම ඉකුත් 2018 වසරේ ජුනි මස 21 වැනිදා ඔඩ්ඩුසුඩාන් ප‍්‍රදේශයේදී අහම්බයකින් මෙන් හසු වූ ක්ලේමෝ බෝම්බය ඇතුළු පුපුරන ද්‍රව්‍ය යොදාගෙන එල්ල කරන එල්ටීටීඊ ප‍්‍රහාරයකින් ද එය සිදු විය හැකිව තිබිණි.

එහෙත් එසේ නොවීය. කොටි ඩයස්පෝරාවේ සහ විජාතික වුවමනාවන් අනුව යමින් රට පාලනය කළ මජර දේශපාලනය බුද්ධි අංශ අඩපණ කිරීම සඳහා කළ කී දේ අන්තිම නින්දිත වුවද ආණ්ඩුව තමන්ට එල්ල කරනු ලබන ප‍්‍රහාරය හමුවේ දිනෙන් දින එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යළි හිස ඔසවමින් තිබෙන බව අවබෝධ කරගත් බුද්ධි නිලධාරීහු බොහෝ බාධක මැද රටත් ජනතාවත් වෙනුවෙන් කි‍්‍රයාත්මක වන්නට වූහ.

එහිදී ‘ආරක්‍ෂක බුද්ධි අංශ මගින් නැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදයක් මවා පා ආණ්ඩුව පෙරළා දමන්නට කටයුතු කරමින් සිටින්නේ’ යැයි කියමින් ආණ්ඩුව නොමඟ යවා තවදුරටත් බුද්ධි අංශ අඩපණ කිරීමට පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ප‍්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇතුළු ඇතැම් නිලධාරීන් ගත් උත්සාහය ද සුළුපටු නොවීය.

ඔවුන් සම්පූර්ණයෙන් අසත්‍ය මත පදනම්ව කී එවන් කතා ආරක්‍ෂක මණ්ඩලය දක්වාම ගෙන ගියේය. එහිදී රජයේ සැකය එල්ල වූයේ ආරක්‍ෂක බුද්ධි අංශ වෙතටය. ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයෝ ප‍්‍රසිද්ධියේ බුද්ධි අංශ වෙත චෝදනා කරන්නට ද වූහ.

එසේ වුවද ඉකුත් 2018 වසරේ ජුනි මස 21 වැනිදා ති‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටි ත‍්‍රස්තවාදීන් පිරිසක් ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග කොටුවීමත් සමග මතුවෙමින් තිබෙන තත්ත්වය එතරම් සුබදායක නොවන බව බුද්ධි අංශ අවබෝධ කරගනු ලැබීය.

මෙකී ඔඩ්ඩුසුඩාන් සිද්ධිය පිළිබඳ බුද්ධි අංශ සිදුකළ විමර්ශනයේදී එහි මහමොළකරුවන් බවට පත්ව සිටියේ දිනේෂ් සහ කරන් නමැති කොටි ත‍්‍රස්තවාදීන් දෙදෙනකු බව බුද්ධි අංශ හෙළි කරනු ලැබිණි. එසේම ඔවුන් කි‍්‍රයාත්මක වූයේ අවසන් සටනේදී ඉන්දියාවට පැන ගිය එල්ටීටීඊ සන්නද්ධ නායකයකු වූ සිරංජි මාස්ටර්ගේ සැලසුමකට අනුව බව ද එහිදී අනාවරණය විය.

ඒ ඔස්සේ වැඩිදුරටත් බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ ඔඩ්ඩුසුඩාන් සිද්ධිය වන විට එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සඟවා තිබියදී ගොඩගනු ලැබූ ස්නයිපර් වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්ව ඇතැයි යන්නය. එකී ස්නයිපර් ගිනි අවි දෙක එල්ටීටීඊය විසින් නැවත ගෙන තිබුණේ ප‍්‍රභූ ඝාතනයක් සඳහා බවද හෙළි වී තිබිණි.

එය හෙළි වූයේදී ප‍්‍රබල එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකු වූ චන්ද්‍රමෝහන් නමැත්තකුගේ මවට කොටි ඩයස්පෝරාව මගින් කූමාන්කුලම් ප‍්‍රදේශයෙන් මිලට ගෙන දුන් නිවසක් පිටුපස බැරල් දෙකක ස්නයිපර් වර්ගයේ ගිනි අවි දෙකක් සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත එම අවි දෙක සොයා ගැනීමට බුද්ධි අංශ එහි ගිය අවස්ථාවේ ඒවා අතුරුදන්ව ඇති බව අනාවරණය වීමෙනි.

මෙම සිද්ධියත් සමග බිහිසුණු යමකට එල්ටීටීඊය සැරසෙන බව වටහා ගත් බුද්ධි අංශ ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළේය.

එහිදී ඔඩ්ඩුසුඩාන් කොටි ත‍්‍රස්තවාදීන් සමග වව්නියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්, ප‍්‍රභූ චරිත, දේශපාලනඥයන් ආදී වශයෙන් පුද්ගලයන් ගණනාවක් සබඳතා පවත්වා ඇති බවද බුද්ධි අංශ හෙළිකර ගනු ලැබීය.

මේ සියල්ල අනාවරණය වෙද්දී බුද්ධි අංශවලට විශාල ප‍්‍රහේළිකාවක් බවට පත්ව තිබුණේ එල්ටීටීඊ කාඩරයන් නැවත ප‍්‍රතිසංවිධානය කරමින් ප‍්‍රහාරයක් සඳහා සූදානම් කරනු ලබන සැලසුම් පිටුපස කි‍්‍රයාත්මක මහමොළකරු කවරෙක්ද යන්නය.

මේ අතරේ ඉකුත් 2017 වසරේ මැයි මස 13 වැනිදා එල්ටීටීඊ මහවිරු දින සැමරුම අතරතුරදී එක්තරා සුවිශේෂී දෙයක් සිදුවිය. එය වූයේ එදින මාර්ග මුර සංචාරයේ යෙදී සිටි කිලිනොච්චිය පලෙයි පොලිසියේ ජීප් රථයකට අවිගත් කණ්ඩායමක් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරීමය.

ඒ පිළිබඳ පොලිසිය හා බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලදී එක් විශේෂිත අනාවරණයක් සිදුවිය. එය වූයේ සින්නයියා සිවරූබන් නමැති වෛද්‍යවරයකු පිළිබඳ කියැවෙන්නට වීමය.

එවකට පලෙයි රෝහලේ සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් පොලිසිය අවසානයේ සාක්‍ෂි නොමැති වීමේ හේතුව මත ඔහුව මුදා හැරීමට කටයුතු කරනු ලැබිණි.

ඒ කතාව එතැනින් නිමාවට පත් විය. එසේ වුවද බුද්ධි අංශවල අවධානය දිගින් දිගටම සින්නයියා සිවරූබන් පිළිබඳ යොමුවී තිබිණි. ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී ස්නයිපර් ගිනි අවි දෙකක් අතුරුදන් වීම සහ ඉන් පසුව ආනන්දරාසා නමැති කොටි ත‍්‍රස්තවාදියකු වව්නියාව පුළියන්කුලම ප‍්‍රදේශයේදී බෝම්බ මල්ලක් අතහැර දමා පලා යෑම ආදී මේ වන විට බුද්ධි අංශවල දැඩි අවධානය යොමුවි තිබීම ද සින්නයියා සිවරූබන් පිළිබඳ අමතක නොකිරීමට ප‍්‍රබල හේතු බවට පත්විය.

එසේ වූයේ එල්ටීටීඊය සිදුකිරීමට සැරසෙන සියල්ලේ මහමොළකරු කවරෙක්දැයි අනාවරණය කර ගැනීම ඒ වන විට බුද්ධි අංශවල එකම ඉලක්කය බවට පත්ව තිබීම විය.

සියල්ල එසේ වෙද්දී යළිත් ප‍්‍රතිසංවිධානය වී එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විදේශගත කොටි ත‍්‍රස්තවාදීන්ගේ සැලසුමකට අනුව ප‍්‍රභූ ප‍්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරක් බුද්ධි අංශ වෙත ලැබෙනුයේ මේ අතරතුරය.

ඒ අනුව එතෙක් තමන් සන්තකයේ තිබූ සියලු තොරතුරු විශ්ලේෂණය කිරීමට බුද්ධි අංශ පියවර ගනු ලැබීය. එහිදී බුද්ධි අංශවලට පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි සින්නයියා සිවරූබන් පිළිබඳ මතුවන්නේ ප‍්‍රබල සැකයකි.

යාපනය ප‍්‍රදේශයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු අපොස උසස් පෙළ විභාගයෙන් පසුව මඩකලපුව ප‍්‍රදේශයට ගොස් එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සමග එක්වී ත‍්‍රස්තවාදී පුහුණුව ලැබූවකු බවත් පසුව ප‍්‍රභාකරන් විසින් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු ලෙස කටයුතු කෙරූවකු බවත්, ඔහුගේ ඉතිහාසය සොයා බැලීමේදී බුද්ධි අංශ ඒ වන විටද අනාවරණය කරගෙන තිබුණකි.

ඔහු කෙරෙහි බරපතළ සැකයක් මතුවීමට එම ඉතිහාස කතාව ප‍්‍රබල හේතුවක් විය. ඒ අනුව වෛද්‍ය සින්නයියා සිවරූබන් පිළිබඳ බුද්ධි අංශ ඇස යොමු කිරීමේදී ස්විස් කොටි ජාලය ඇතුළු විදේශගත කොටි ත‍්‍රස්තවාදීන් හා සබඳතා පවත්වමින් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින සිරංජි මාස්ටර්ගේ සැලසුම් අනුව එල්ටීටීඊය නැවත ප‍්‍රතිසංවිධානය කිරීමේ මහමොළකරු ලෙස කි‍්‍රයාත්මක වෙමින් සිටින්නේ පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් බව අනාවරණය කරගැනීමට බුද්ධි අංශ සමත් විය.

එකී හෙළිදරව්වත් සමග සින්නයියා සිවරූබන් නමැති කොටි ත‍්‍රස්තවාදියා කොටුකර ගැනීමේ කි‍්‍රයාන්විතයක් බුද්ධි අංශ සහ පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් ආරම්භ කරනු ලැබිණි. එහිදී ආරක්‍ෂක අංශවල පළමු උත්සාහය වූයේ ඔහුව පලෙයි රෝහලේදීම කොටු කර ගැනීම විය.

එහෙත් බුද්ධි අංශ ගනු ලැබු එම උත්සාහය ව්‍යර්ථ වීමත් සමග මෝටර් රථයකින් යාපනය දෙසට යමින් සිටියදී පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය සහ බුද්ධි අංශ එක්ව අලිමංකඩ ප‍්‍රදේශයේදී සින්නයියා සිවරූබන් කොටු කරගනු ලැබීය.

පසුව යාපනය ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත රැගෙන ආ සින්නයියා සිවරූබන්ගෙන් ප‍්‍රශ්න කිරීම ආරම්භ විය. මේ වන විට එල්ටීටීඊයේ ප‍්‍රධාන ඝාතන ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා බව එහිදී සින්නයියා සිවරූබන් හෙළි කරනු ලබන්නේ පොලිස් හා බුද්ධි නිලධාරීන් ද අන්දමන්ද කරමිනි.

ඒ සඳහා ස්නයිපර් වෙඩික්කරුවන් සම්බන්ධ කරගැනීම සහ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා තමන් විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යොදා ගැනීමට කටයුතු කළ බවද පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළි කරන්නේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දකුණේ දේශපාලන රැස්වීමකදී හෝ උතුරේදී ඝාතනය කිරීම සැලසුම වී තිබුණ බව ද ප‍්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරන සින්නයියා සිවරූබන් විදේශගත එල්ටීටීඊ සාමාජිකයන් විසින් මෙරට හමුදා ප‍්‍රධානීන් සහ ප‍්‍රභූන් මොසාඩ් ක‍්‍රමයට ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙන බව ද බුද්ධි අංශ සහ පොලිසිය ඉදිරියේ පවසන්නේය.

මෙම ඝාතන සැලසුම් සඳහා ඔහු විසින් එක්රැස් කරන ලද සී-4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය මුහුදේ සඟවා තිබියදී සොයා ගැනීමට ද පසුව ආරක්‍ෂක අංශ සමත් වන අතර නවීන ගිනි අවි දෙකක් ද සින්නයියා සිවරූබන්ගේ ප‍්‍රකාශ අනුව මේ වන විට සොයාගෙන ඇත.

සින්නයියා සිවරූබන් කියනු ලබන ඔහු සම්බන්ධ වූ ජාත්‍යන්තර කොටි ජාලය මේ වන විට හෙළි කළ නොහැකි තරමටම ප‍්‍රබලව තිබෙන්නකි. කීමට ඇත්තේ ඒ තුළ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට සහාය දක්වමින් මේ රට අරාජික කිරීමට සැරසෙන විදේශීය ඔත්තු සේවා කිහිපයක් ද කි‍්‍රයාත්මකව සිටින බවය. මෙහිදී සින්නයියා සිවරූබන් හෙළි කර ඇති තවත් විශේෂිතම කරුණක් වන්නේ වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඝාතනය කිරීමේ සැලසුමක් ද මේ වන විට එල්ටීටීඊය කි‍්‍රයාත්මක කර තිබෙන බවය.

මේ අනාවරණය වී තිබෙන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් පසුගිය කාලයේ බුද්ධි අංශ විසින් ‘ආණ්ඩු පෙරළීමට මවා පාන්නේ’ යැයි කියමින් බුද්ධි අංශවලට චෝදනා කළ ‘එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ’ තරමය.

එය අද මේ රටේ අනාගත ජාතික නායකත්වය වනසා දමන තැන දක්වා සැලසුම් සහගත වී ඇත. මෙවන් තත්ත්වයක් තුළ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තමන් බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය තුළින් සියල්ල අරඹන්නේ යැයි කීම ද සතුටට කරුණකි.

මේ මොහොතේ ආණ්ඩුවේ එකම දැක්ම වී තිබෙන්නේ සහරාන් හෂිම් පසුපස හඹා යෑමය. එහෙත් සින්නයියා සිවරූබන් මේ කරනු ලබන හෙළිදරව්ව අනුව දැන් ප‍්‍රමුඛ තැන දිය යුත්තේ සහරාන් හෂිම්ට ද නැතහොත් නැවත ප‍්‍රතිසංවිධානය වන එල්ටිටීඊ ත‍්‍රස්තවාදයටද?

මෙගා ටෙලියක් පරිදි දිනපතා සහරාන් හෂීම්ගේ ගෝලබාලයන් අත්අඩංගුවට ගනිමින් ආණ්ඩුව මේ කරමින් සිටින්නේ එල්ටීටීඊයට තව තවත් පෝෂණය වීමට මඟ විවර කරදීමක්ද?

සින්නයියා සිවරූබන් යළි ප‍්‍රතිසංවිධානය කළා වූ හිටපු කොටි ත‍්‍රස්තවාදීන් මතුවන්නේ කොතැනකින් විය හැකිද? අද රට ඉදිරියේ ඇති බරපතළම ප‍්‍රශ්නය එය නොවේද?

– සමන් ගමගේ

+++++++++++++++++++++

Dr Sinnaiah Sivaruban (R) with the Chief Minister of Northern Province C V Wigneswaran (L)

+++++++++++++++++++++++++++++++++++

මන්ත්‍රි ශ්‍රී ධරන්ගේ සොයුරාට අයත් ඉඩමක පුපුරන ද්‍රව්‍ය ඇතැයි සෙව්වේ ශිවරූබන් ‍ෙදාස්තරගෙන් ලැබුණු තොරතුරකටයි

(26.08.2019 – mawbima.lk)

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතාගේ සොහොයුරාට අයත් ඉඩමක කැණීම් කරමින් පුපුරණ ද්‍රව්‍ය ඇත්දැයි සොයන ලද්දේ ත්‍රස්ත මර්දන ඒකකය භාරයේ සිටින පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එස්. ශිවරූබන් වෛද්‍යවරයා ගෙන් ලැබුණු තොරතුරක් මත බව කිලිනොච්චියේ ආරක්ෂක නිලධාරියෙක් ඊයේ (25 දා) පැවැසීය.

ශ්‍රී ධරන් මන්ත්‍රිවරයාට හා ඔහුගේ සොහොයුරාට අයත් ඉඩම් හා නිවාස කීපයක්ම කිලිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ ඇති අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් වළලා ඇත්තේ ඒ එක් ඉඩමක බවට අත්අඩංගුවේ සිටින වෛද්‍යවරයාගෙන් ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

කොළඹ ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ යාපනයේ අලියාවලෙයි ප්‍රදේශයේ මුහුදේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාවේ නිලධාරීන්ගේද සහාය ඇතිව සොයාගන්නා ලද්දේද පලෙයි රෝහලේ වෛද්‍යවරයාගෙන් ලද තොරතුරක් මත බවට අනාවරණය වී තිබේ.

මෙම වෛද්‍යවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාලවකවානුවේදී පුපුරණ ද්‍රව්‍ය සඟවා තැබීමට හා ප්‍රවාහනයට බෙහෙවින් උදවු කළ අයකු බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර යුද ගැටුම් පැවැති පළාත්වලට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කොට ඇත්තේ ඔහුට අයත් වාහනවලින් බවද කියැවේ.

යුද්ධයේ අවසන් කාලයේදී මේ වෛද්‍යවරයාගේ අනුදැනුම මත පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ක්‍රමයෙන් මුලතිව් දෙසට පසුබසින ලද කාල වකවානුවේදී ඒවා කිලිනොච්චියේ සුරක්ෂිත කොට ඇත්තේද මේ වෛද්‍යවරයා විසින් බව කියැවේ.

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතාට සහ ඔහුගේ සහෝදරයන්ට අයත් ඉඩම්වල පුපුරණ ද්‍රව්‍ය වළලා ඇති බවට වෛද්‍යවරයාගෙන් තොරතුරු ලැබීමත් සමඟම ආරක්ෂක අංශ අධිකරණ නියෝගයක් ලබාගෙන කැණීම් කරන ලද නමුත් සැකකටයුතු කිසිවක් පළමු කැණීමේදී හමුවී නොමැත.

කිලිනොච්චියේ ආරක්ෂක අංශ ප්‍රධානියා කියා සිටියේ අත්අඩංගුවේ සිටින වෛද්‍යවරයාගෙන් ලැබී ඇති තොරතුරුවලට අනුව පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලිනොච්චියේ ඉඩමක ඇති නිසා විධිමත් පරීක්ෂණයකින් පසුව යළිත් කැණීම් සිදුකිරීමට පියවර ගන්නා බවයි.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ

+++++++++++++++++++++++++++++++++++

කිලිනොච්චි දොස්තර සතුව අවි ගබඩාවක්.. ගිනි අවි, බෝම්බ, පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් සොයාගනී..

(27.08.2019 – 12:00 +0530 – lankacnews.com)

දැනට අත්අඩංගුවේ පසුවන කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අනාවරණයකට අනුව පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ඇතුලු යුද උපකරණ රැසක් ඊයේ (26) සවස සොයාගත් බවට යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරූබන් පසුගිය 18 වනදා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබා රඳවාගෙන වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදු කොට ඇති අතර එහිදී ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම යුද උපකරණ පිළිබඳව අනාවරණය කොට ඇත.

එහිදී අදාල යුද උපකරණ සොයා විමර්ශනය කළ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පලෙයි පොලිස් වසමේ කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.

එහිදී ඒ.කේ.47 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක්, අත්බෝම්බ 11 ක්, පී.ඊ. වර්ගයේ බවට සැකකෙරෙන පුපුරණද්‍රව්‍ය කිලෝ 10 ක්, පතුරම් 120 ක්, දුරදක්නයක් ඇතුලු තවත් යුද උපකරණ රැසක් තිබූ සොයාගෙන ඇත.

මේ අනුව අදාල යුද උඵකරණ තොගය එම ස්ථානයෙ සඟවා තැබූ පුද්ගලයින් සමබන්ධයෙන් හා එම යුද උපකරණ ලැබුනු ආකාරය පිළිබඳවද යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් අරඹා ඇති අතරම අත්අඩංගුවේ සිටින අධිකරණ වෛද්‍ය වරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමටද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

පිවිතුරු හෙළ උරුමය යටි අරමුණ පහදයි

(26.08.2019 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිතවත් රාජ්‍ය නොවන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණේ දෙවන මනාපය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමේ යටි අරමුණක නිරත වී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Nb5TXKxRBZI
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *