රට වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව ජනාධිපතිවරණයයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(28.08.2019 – 19:40 +0530 – sinhala.adaderana.lk)

එළබෙන ජනාධිපතිවරණය රට වෙනුවෙන් මෙරට ජනතාවට තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ‘රට රකිමු – රට හදමු – රට වැසියනි එක්වවු’ මැයෙන් ‘යුතුකම සංවාද කවය’ අද පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින්ය.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

පන්නල රක්ෂිතයෙන් බෝම්බ හමුවෙයි

(28.08.2019 – 21:08 +0530 – sinhala.adaderana.lk)

පන්නල පොලිස් වසමේ පරගම්මල රක්ෂිතයේ (කිරිමැටිය මූකලාන) ගසක් යට තිබී පැති බෝම්බ 3ක් හා කුඩා පීඩන බෝම්බයක් සොයා ගෙන ඇත.

අද දින පස්වරු 4 ට පමණ පන්නල පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

පන්නල පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙවවයි ෴

***************************************

මඩකළපුවේ සිද්ධියට වියාලේන්ද්‍රන් ඇතුළු 4 කට නොතීසි

(28.08.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ (27) සිදුකළ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

පොලිසිය පැවසුවේ විරෝධතාව සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් පසු ඊට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් සහ තවත් සිව් දෙනකුට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කළ බවයි.

ඉකුත් අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු වූ දින මඩකලපුව සියෝන් කිතුණු දේවස්ථානයද මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ඉලක්කයක් වුණි.

එම ප්‍රහාරය සිදු කරනු ලැබුවේ මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියා බව පසුව අනාවරණ කරගැනුණි.

ඔහුගේ හිස කොටස මෙතෙක් කල් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබූ නමුත් එය කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් ඊයේ (27) සවස ප්‍රෙද්ශවාසීන් විරෝධතාවක් පැවැත්වුවේය.

විරෝධතාකරුවන් මඩකළපුව – කොළඹ මාර්ගය අවහිරවන සේ ටයර් පුළුස්සා දමමින් සිය විරෝධය දැක්වූ අතර ඊයේ සවස් වනවිට කල්අඩි පාලම මත විරෝධතාවය පැවැත්වීම නිසා ප්‍රධාන මාර්ගයද අවහිර වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතාද ඊට එක්ව සිටියේය.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ දැඩි මාර්ග තදබදයක් පැවතීම නිසා විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේය.

පොලීසිය සඳහන් කළේ විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කරන අතරතුර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලැබූ බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා අද පෙරවරුවේ මඩකළපුව රෝහලට ගොස් නොසන්සුන්කාරී වාතාවරණය අතරතුර තුවාල ලැබූ තුවාලකරුවන්ගේ සුවදුක් විමසු බව වාර්තා වෙයි.

එසේම ත්‍රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරීමට විරෝධය පළකරමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක්ද පැවැත්වුවේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා :

“අපේ ජනතාව මරපු තැනටම ඇවිත් ත්‍රස්තවාදීයාව භූමිදාන කරලා තියෙනවා. කිසිම නීතියක් න්‍යායක් නැතුව කරපු වැඩක්. පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් දැනුවත්ව තමයි මේ දේ සිද්ධ වුණේ. මේක අපේ ජනතාවට කරපු ද්‍රෝහිකමක්. ත්‍රස්තවාදියාව මෙතන වලදාපු අයම මේක මෙතනින් අයින් කරන්න කටයුතු කළ යුතුයි.”

කෙසේවෙතත් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරයා :

“මට එල්ලවන චෝදනාවලට මට කියන්න තියෙන්නේ , මම කටයුතු කළේ හරියාකාරව කියලා කියන්න මට සාක්ෂි තියෙනවා. දැන් මේ අය කියනවා මම වැරදී කියලා මට චෝදනා කරනවා.මේ ශරීර කොටස් වලදාන්න ඕනේ තැනක් ගැන මම කිසිම තැනක යෝජනා කරලා නැහැ.”

***************************************

ඇමති සජිත්ට රවී නගන අලුත්ම චෝදනාව

(28.08.2019 – 18:59 +0530 – sinhala.adaderana.lk)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රෙගුලාසි කඩකරමින් සේවකයින් 4500 ක් අයථා ලෙස බඳවා ගැනීමට විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇතැයි කියන සිද්ධිය පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලැබී ඇති පැමිණිල්ල විභාග කිරීම අද (28) ආරම්භ වුණි.

මේ අතර නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120 ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුවත්පත් කිහිපයක් අද වාර්තාකර තිබුණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් 4500 ක් ආයතනික රෙගුලාසිවලට එරෙහිව කොන්ත්‍රාත් පදනම මත අයථා ලෙස බඳවාගෙන ඇති බවට එම අධිකාරියේ ප්‍රගතිශිලි සේවක සංගමය මීට මාස 2 කට පමණ පෙර ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි කර තිබු බව වාර්තා වෙයි.

එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මානව සම්පත් කළමනාකරු ලලිත් එදිරිසිංහ මහතායි.

මේ අතර නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල අවභාවිත කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පසුගිය 22 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කළේය.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120 ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා විසින් සිය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති බව ජාතික පුවත් පත් කිහිපයක්ද අද වාර්තාකර තිබුණි.

එහි වැඩිදුරටත් දැක්වුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගියදා අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා තෛනිකායික එක්සත් සඟ පෙරමුණ අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය.

***************************************

සහරාන්ගේ තවත් කල්ලියක් ගැන තොරතුරු

(28.08.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – මුරුතවෙල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලමික් සංවිධානයේ නායකයා බවට පැවසෙන 60 හැවිරිදි රෂීඞ් අක්බාර් නැමැත්තා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇති ඔහු සහරාන් හෂීම්ගේ දෙවන කල්ලියේ නායකයා බවට අනාවරණ වී ඇති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ කල්ලිය මෙහෙයුම් ඒකකය බවත්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලමික් සංවිධානය ප්‍රහාරය සඳහා න්‍යායාත්මක දිරිගැන්වීම සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තහනම් සංවිධානවලට ආධාර අනුබල දීමේ චෝදනා මත ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලමික් සංවිධානයේ නායක බවට පැවසෙන රෂීඞ් අක්බාර් පසුගිය 25 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ මාවනැල්ල – මුරුතවෙල ප්‍රදේශයෙන්.

මේ අතර ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් කිලිනොච්චිය – පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන්, දෙමළ ඩයස්පෝරාව සමඟ ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

කැනඩාව, ප්‍රංශය, මැලේසියාව, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සිටින දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයින් සමඟ සමීප සබඳතා පවත්වා ඇති ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් සමඟද කටයුතු කර ඇති බව සඳහන්.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින සැකකරු ලබාදුන් තොරතුරු මත පසුගිය 26 වනදා අවි ආයුධ ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පලෙයි කරන්ඩි ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය සොයාගනු ලැබුවා.

එම සොයාගත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අතර ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක්, ජීව පතොරොම් 120ක්, ජීව අත්බෝම්බ 11ක් සහ පී.ඊ. 10 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් ඇතුළත්.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගෙන් තවත් එවැනිම තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි.

ඒ ඔස්සේද පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහයක් දැරූ බවට සැකකරන පුද්ගලයෙකු ද කල්මුණේ – නට්පිටිමුණේ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්.

මොහු කල්මුණේ ප්‍රදේශයේම පදිංචි තිල්ලේනාදන් ආනන්දරාජ් නමැත්තෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ‘නැගිටිවු දමිලයිනි’, නොහොත් ‘පිබිදෙව් දමිලයනි’ යන තේමාව යටතේ සංවිධාන කිීරීමට නියමිත එළුහ තමිල් වැඩසටහන ලබන සැප්තැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා.

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මෙය සංවිධාන කර ඇති අතර, ඊයේ ඔහු යාපනය නල්ලූර් කෝවිලේ පැවැත්වෙන දේව පූජාවකටද සහභාගිවී ඇත්තේ ඊට ආශිර්වාද ලබාගැනීම සඳහායි ෴

***************************************

මීගමුව බන්ධනාගාර නිලධාරිනියන් විදේශීය රැදවියන් දෙදෙනෙකුගේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකයි

(29.08.2019 – colombotoday.com)

සරිපා සහ අන්සායි යන ඊශායල් ජාතික කාන්තාවන් දෙදෙනෙකු විසා නොමැතිව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. මෙම කාන්තාවන් දෙදෙනා අධිකරණයේ නියෝග පරිදි 2019.08.13 දින මිගමුව බන්ධනාගාරයට ඇතුලත් කර ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාරයට ඇතුල් කරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ පවුම් 50 ක පමණ රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 03 මුදලක් බන්ධනාගාර නිලධාරිනියන් විසින් ලබාගෙන ඇති අතර මේ වන විට එම රන්භාණ්ඩ සහ මුදල් අස්ථානගතවී ඇත. මේ පිළිබඳව එම කාන්තාවන් දෙදෙනා බන්ධනාගාර පාලනාධිකාරියට පැමිණිලි කර ඇත.

මෙම කාන්තාවන් බන්ධනාගාරයට ඇතුලත් කරන අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිටි නිලධාරිනියන් එම භාණ්ඩ තමන් ගෙන් බලෙන් ලබාගත් බවට ඊශායල් කාන්තාවන් ප්‍රකාශ කර ඇති අතර මෙම මුදල් හා භාණ්ඩ බන්ධනාගාර නිලධාරිනියන් විසින් සොරාගෙන ඇති බවට මේවනවිට අනාවරණයවි ඇත ෴

***************************************

හංවැල්ලේ පස් ව්‍යාපාරිකයා සහ රියදුරා ඝාතනයට අංගොඩ ලොක්කාගේ ගෝලයින් තුන්දෙනෙකු අල්ලයි

(29.08.2019 – 15:56 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – පහත්ගම – විද්‍යා මාවතේ නිවසකදී පස් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියදුරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දැනට විදේශ ගතව සිටින පාතාල නායක මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ගේ සමීපතමයන් බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඝාතනය කළ ව්‍යාපාරිකයාට මරණ තර්ජනය සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා.

පසුගිය 25 වනදා රාත්‍රියේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ විජිත් ප්‍රේමලාල් හෙවත් සුමේධ නැමති 43 හැවිරිදි ව්‍යාපාරිකයා සහ ඔහුගේ රියදුරායි ෴

***************************************

සති දෙකක් තුළ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින්නැයි ඇමති රවී කරුණානායකට නියෝග

(29.08.2019 – 15:37 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අද (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළා.

ඒ, බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධියට අදාළවයි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අසම්පූර්ණ ප්‍රකාශයක් ලබාදී ඇති අතර, ඉන් පසුව යළි කැඳවීම් සිදුකළද ඔහු ප්‍රකාශ ලබාදීම සඳහා නොපැමිණි බවයි.

ඒ හේතුවෙන් අදාළ විමර්ශන අවසන් කිරීමේ හැකියාවක් නොමැති බවද මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අමාත්‍ය රවී කරුණානායකට නියෝග කළේ අද (29) සිට සති දෙකක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *