පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි අතුරුදන් කරලා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(29.08.2019 – 18:24 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂි මෙරටට යළි ලබා ගත නොහැකි වන ආකාරයට අමෙරිකාව සහ එෆ්.බී.අයි ආයතනය එම සාක්ෂි ඔවුන් සතු කරගෙන ඇතැයි වාර්තා වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අනාවරණ කරයි.

අද කොළඹ පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය :

“ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සහ බටහිර බුද්ධි කාර්යාංශවල භූමිකාව යන ලිපියේ බටහිර බුද්ධි කාර්යාංශ ගැන කතාකරද්දි පැහැදිලි කරනවා, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දුරකථන සහ අනෙකුත් උපකරණ දේශීය විමර්ශකයින්ට නැවත ලබා ගත නොහැකි ආකාරයෙන් මුල් අවධියේදීම ඉවත් කර ගැනීමට එෆ්.බී.අයි. නිලධාරීන් විසින් කටයුතු කර ඇති බව විශ්වාස කිරීමට හේතුවක් තිබෙන බව.

ඇමරිකාව සහ එෆ්.බී.අයි. සහරාන් ඇතුළු කල්ලි කණ්ඩායම් බෝම්බ ප්‍රහාරයට තිබුණ සාක්ෂි ලබාගෙන.

දේශීය විමර්ශකයින්ට ඒවා ලබා ගැනීමත් වළක්වලා. තොරතුරු හා දත්ත අතුරුදන් කරලා.

කාදිනල්තුමා කිව්වා ඇත්ත හෙළිකරගන්න ඕන කියලා.

නමුත් සත්‍ය සොයා ගැනීමේ මාර්ග වසා දමලා. ඒ නිසා මෙහි මුලටම යන්න වෙනවා”

+++++++++++++++++++++

+++++++++++++++++++++

30-08-2019

***************************************

ශානි අබේසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියයි

(29.08.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් මස 12 වනදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වගකීම පැහැර හැර ඇති හෙයින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් රත්නපුර – ගොඩකවෙල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ.

***************************************

ඇමති සජිත්ගේ අමාත්‍යංශයට අනුමත සේවක සංඛ්‍යාවට වඩා බඳවාගෙන ඇතැයි හෙළිදරව්වක්

(29.08.2019 – 21:07 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු එම අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300 කට වැඩි පිරිසක් බඳවාගෙන ඇති බව එම අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ රජයේ ආයතනවල සිදූ වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ ආයතනික රෙගුලාසි උල්ලංඝනය කර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගෙන ඇති බවට එම ආයතනයේ ප්‍රගතිශීලී සේවක සංගමය පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එම පැමිණිල්ල ප්‍රථම වරට විභාග කිරීම ඊයේ ආරම්භ කළා.

එහි සාක්ෂි ලබාදීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනි එල්.එච්.ටී. ප්‍රියා පෙරේරා මහත්මිය කැඳවා තිබුණා.

ඇය සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ සිය ආයතනයේ දිස්ත්‍රික් කාර්යාල 25 ට අනුමත සේවක සංඛ්‍යාව 2164 ක් වුවත් මේ වනවිට සේවකයින් 4500 කට වඩා වැඩි පිරිසක් සිටින බවයි.

එම අතිරික්ත සේවකයින් 2300 කට වැඩි සංඛ්‍යාවෙන් 95‍% ක් ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවද ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

තවද, සිය ආයතනයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයට අනුමත සේවක සංඛ්‍යාව 77 දෙනෙකු වුවත්, එහි සේවකයින් 1400 කට වැඩි පිරිසක් සේවය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනිය සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

ඇය පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි සේවකයින් 31 දෙනෙකු ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු ඇති බවයි.

එවැනි පුද්ගලයින් බඳවා ගන්නේ නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් මෙම බඳවාගැනීම් සිදු කිරීමේදී එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

හිටපු පරිපාලන නිලධාරිනිය සාක්ෂි දෙමින් කියා සිටියේ උදාගම්මාන සඳහා දේශපාලනික වශයෙන් උපකාර කළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බොහෝ සේවකයින්ට සහ පිටස්තර පුද්ගලයින්ට චක්‍රලේඛනවලට පටහැනිව උසස්වීම්ල වැටුප් වර්ධක හා විශේෂ වාසි ලබා දී ඇති බවයි.

අයථා ලෙස සේවකයින් බඳවා ගැනීම හා ආයතනය දේශපාලනීකරණය වීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට පැවරෙන බවද එම අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනිය සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත්
පැවසුවා.

ඇය එහිදී සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කිසිඳු නීති රීතියක් අනුගමනය නොකරන දේශපාලනීකරණය වූ ආයතනයක් බවට පත්ව ඇති බවයි.

මේ අතර, මෙම සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගී වූ අදාළ පැමිණිල්ල සිදුකළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සාමාජිකයින් අදහස් පළකළා.

මේ අතර, සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසමට හා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි දෙකක් ගොනු කළා.

ඒ, අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින්.

මේ අතර දේශපාලනමය ප්‍රචාරන කටයුතු සඳහා රජයේ සේවකයන්, වාහන හා උපකරණ යොදා ගැනීම සම්බන්ධයෙන් සහ මහජන මුදල් විශාල වශයෙන් වැය කර දැන්වීම් ප්‍රචාරණය කිරීම හා එමගින් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට ඇති කරනු ලබන බලපෑම යන මැයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදන දෙකක් යොමු කර තිබෙනවා.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අදාළ නිවේදන යොමු කර ඇත්තේ සියලු අමාත්‍යංශල පළාත් සභා, දිස්ත්‍රික්, පළාත් ආණ්ඩුකාර, පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන්, පාළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ කොමසාරිස්වරුන් වෙතයි.

රජයේ සංවර්ධන කාර්යයන් පිළිබඳව විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීමෙන්ල පුවරුල බැනර්ල ධජ හා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තුලින් අනියම් ආකාරයේ ප්‍රචාරණ කටයුතු සිදු කරනු ලබන බවත් එමගින් අදාළ සංවර්ධන කටයුතු හෝ ව්‍යාපෘති පිළිබඳව කෙරෙන දැනුවත් කිරීමට වඩා වැඩි අවධානයක් දක්වන්නේ ඒ හා සම්බන්ධිත දේශපාලඥයින්ගේ ප්‍රතිරූපය ඔසවා තැබීම පිණිස බවට සිය කොමිසමට ලැබී ඇති පැමිණිලි බැහැර කළ නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

දේශපාලන ප්‍රචාරන රැළි වෙනුවෙන් ප්‍රචාරන හා සැරසිලි කටයුතු සඳහා රජයේ සේවකයන්, වාහන සහ උපකරණ යොදා ගන්නා බවට ලැබී ඇති පැමිණිලි වල සමහර කරුණුද සත්‍ය බව කොමිසම පෙන්වා දෙනවා.

මැතිවරණ උණුසුම පැතිරණ යන මෙම කාලසීමාව තුල මෙවැනි අනීතික ක්‍රියාවලට කිසිදු ආකාරයක දායකත්වයක් ලබා දීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මැතිවරණ කොමිසම සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.

ඉන් වැඩිදුරටත් සඳන් කරන්නේ දේශපාලනමය කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

***************************************

2019 – 2020 මූල්‍ය වර්ෂය සඳහා ‘ඇස්තමේන්තු ගත ආදායම් ප‍්‍රකාශ’ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදීම ප්‍රමාද කළ අයට දඩ පැනැවේ

(22.08.2019 – nethnews.lk)

= වාර්තා තවත් ප්‍රමාද වුණොත් දඩ පනවන බව දැනුම් දෙයි =

2019 – 2020 මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත ආදායම් ප‍්‍රකාශ නියමිත කාලයේදී ලබාදී ඇත්තේ අපේක්‍ෂිත තැනැත්තන්ගෙන් ආසන්න වශයෙන් සියයට 26 ක් පමණක් බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ පිළිබද කළ විමසීමකදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ තනි පුද්ගලයින් හෝ තනි පුද්ගල ව්‍යාපාර 267,843 දෙනෙකුගෙන් මෙම ප‍්‍රකාශ කැදවූ බවයි. එහෙත් ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ ලබාදී ඇත්තේ තනි පුද්ගලයින් හෝ තනි පුද්ගල ව්‍යාපාර 64,063 දෙනෙකු එනම් ආසන්න වශයෙන් සියයට 25 ක් පමණක් බවද ඔවුන් පැවසුවා.

සමාගම් 53,577 කින්ද ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ කැදවූ බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ. එහෙත් ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ සමාගම් 21,781 ක් පමණයි. එහි ප‍්‍රතිශතය සියයට 40 ක් වනවා.

ඇස්තමේන්තු ගත ආදායම් ප‍්‍රකාශ ලෙස හැදින්වෙන්නේ කිසියම් මූල්‍ය වර්ෂයක් සඳහා අපේක්‍ෂිත සිය ආදායම සහ ගෙවිය යුතු බදු පිළිබඳ තමන් විසින්ම සකස් කර ගනු ලැබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු ලේඛණයයි.

2019 – 2020 මූල්‍ය වර්ෂය සඳහා මෙම ප‍්‍රකාශ ඉකුත් (2019 අගෝස්තු) 15 වැනිදාට පෙර භාරදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.

එසේ තිබියදීත් මෙතෙක් මෙම ප‍්‍රකාශ ලබා නොදුන්නේ නම් දැන්වත් ඒවා ලබාදීමට කඩිනම් වන ලෙසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. එසේ නොවුනහොත් ප‍්‍රකාශ ලබා නොදෙන්නන්ට දඩවලට යටත්වීමට සිදුවන බවද සිහිපත් කෙරුණා.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්, කුඩා හා මධ්‍ය පරිමාණ බදු පරිපාලන එම්. ජේ. ගුණසිරි මහතා කියා සිටියේ නීතිය අනුව වාර්තා නොසැපයීම මත දඩ පැනවීමට සිදුවිය හැකි බවයි.

බදු ගෙවීමකට යටත් නොවන ඇතැම් තැනැත්තන්ටද ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ ලබාදෙන්නැයි ලිපි ලැබී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එවැන්නන් දැක්විය යුතු ප‍්‍රතිචාරය පිළිබදවද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

එවන් අය තමන් මේ බද්ධට යටත් නොවන බව සඳහන් කරමින් අදාළ ප්‍රකාශය එවිය යුතු බවයි සඳහන් කෙරුණේ.

ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ නියමිත කාලයේදී ලබා නොදුනහොත් යටත් විය හැකි දඩ පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

ආදායම් බදු ගෙවන්නන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු ඇස්තමේන්තු ගත ආදායම් ප‍්‍රකාශය පිළිබද මෙම නීති සම්පාදනය කෙරුණේ 2017 දේශීය ආදායම් පනතින්.

***************************************

CIB ආයතනයේ නවතම ශාඛාව මහරගමදී විවෘත කෙරේ

(27.08.2019 – nethnews.lk)

CIB ආයතනයේ නවතම ශාඛාව මහරගම පමුණුව ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ, CIB ඇක්සසරීස් නමින්. ඇඳුම් නිර්මාණයට, ඇඟලුම් ක්ෂේත්‍රයට සහ විලාසිතාකරණයට අවශ්‍ය සියලුම වර්ගයේ අමුද්‍රව්‍ය එම ආයතනයෙන් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වනවා.

මේ, ඒ පිළිබද අදහස් දැක්වූ සීමාසහිත විජය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, කළමණාකාර අධ්‍යක්ෂ විජේසුන්දර මහතා :

***************************************

ගෝඨාට සහාය දෙන ගම්මන්පිලගේ සමුළුව සැප්තැම්බර් 01 දා

(30.08.2019 – mawbima.lk)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා පැවැත්වෙන ‘පිවිතුරු හෙළ උරුමය’ විශේෂ මහ සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 01 දා ප.ව. 02:00 ට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

‘උරුමයක උදාව’ තේමාව යටතේ පැවැත්වෙන මේ සමුළුව සඳහා මහජන නියෝජිතයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය ෴

***************************************

විහාරස්ථාන විසිඑකක් (21) බින්ද හිටපු උපාධිධාරී ගුරුවරයා කොටුවෙයි; කැසිනෝ ගසමින් දානපති වෙස්ගෙන සුබසාධක කටයුතුවලටත් මුදල් යොදලා

(30.08.2019 – divaina.com)

රද්දොළුව ශ‍්‍රී අමර මහා විහාරයේ පසුගිය දිනක විහාරාධිපති ආවාස ගෙයට දිවාකාලයේ ඇතුල් වී සැදෑවතුන් විසින් පූජාකරන ලද රුපියල් ලක්ෂ 12 ක පමණ රන් බඩු සහ මුදල් සොරාගෙන ගොස් සිටි සැකකරු වන ‘සිරස’ නමින් කැසිනෝ සූදුකරුවන් සහ අපරාධකරුවන් අතර ජනප‍්‍රිය උපාධි ගුරුවරයෙක්වූ විහාරස්ථාන 21ක් බින්ඳ මිනීමැරුම් චූදිතයකු බඩුත් සමග සීදූව පොලිසිය විසින් කොළඹ ප‍්‍රදේශයේදී කොටුකරගෙන ඇත.

මෙකී සැකකාර ගුරුවරයා විසින් සොරාගෙන ඇති රන් භාණඩ සහ මුදල්වල දළ වටිනාකම රුපියල් ලක්ෂ 19 යක් පමණ වන අතර ඉන් රුපියල් ලක්ෂ 12 ක රන්භාණ්ඩ උගස්කර තිබියදී සීදූව පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සොරාගත් මුදල් කැසිනෝවලට සහ වෙනත් දේවලට සැකකරු වියදම්කර ඇති බව පැවසේ. මෙම සැකකරු 41 වන වියේ පසුවන විවාහක එක්දරු පියෙක් වන අතර දිවයිනේ විවිධ පළාත්වල ඇති විහාරස්ථාන 21 ක මේ ආකාරයෙන් සොරකම් සිදුකර සොයා ගන්නා ලද මුදල් අන්තර් ජාලයෙන් නවතම ක‍්‍රමයකට කැසිනෝ ක‍්‍රීඩාවට යොමුවී මුදල් උපයාගෙන කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල තරු පහේ හෝටල්වල නැවතී සිටිමින් ඉතා සුඛෝකභෝගී ජීවිතයක් ගත කර ඇත.

මෑතකදී ඔහු විසින් සිදුකළ විහාරස්ථාන බිඳීම්වලදී මිනුවන්ගොඩ සහ යක්කල විහාරස්ථාන දෙකක් ද අයත් වෙයි. මොහු ප‍්‍රසිද්ධ සමාජ සේවකයෙක් සහ දානපතියෙක් ලෙස විවිධ සුබසාධක කටයුතු සඳහා මුදල් වියදම් කිරීමටද මහත් රුසියෙක් බව අනාවරණය වේ.

මෙම සැකකරු අවසානයට සොරකම සිදුකරන්නේ රද්දොළුව ශ‍්‍රී අමර මහා විහාරයේ නායක ස්වාමීන්වහන්සේ වන සීදූව සුමණවංස නාහිමිගේ සංඝාවාසයට ඇතුලුවී එහි තිබූ ඉතා දුර්ලබ රන් පිළිමවහන්සේ නමක්, රන් කරඩුවක්, ඇතුලු කොම්පියුටර් ලැප්ටොප් පරිගණකය, සී.සී.ටී.වී ඩී.වී.ආර්. රෙකෝඩරය, මුදල්, විද්‍යුත් උපාංග අතුළත් රුපියල් ලක්ෂ 12 ක පමණ සඟසතු දේපල රැගෙන යෑම බව සීදුව පොලිසිය පවසයි.

මෙදින මෙම සැකකරු විසින් සොරකම සිදුකර පලායන දර්ශන විහාරස්ථානය ආසන්නයේ නිවෙස්වල ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතීන් වලින් සීදුව පොලිසිය ලබාගෙන ඇති අතර මෙදිනම මෙම විහාරය ආසන්නයේ ඇති රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයට සුදුපැහැති වැගන්-ආර් වර්ගයේ කාර් එකකින් පැමිණ ඉතා කලබලයෙන් පිටව ගිය පුද්ගලයෙක් ගැන සැක සිතී එම පුද්ගලයාගේ පැමිණිම සඳහන් සී.සී.ටීවී දර්ශන පොලිසිය වෙත එම විහාරයෙන් ලබාදීමෙන් පසු සිදුකළ විමර්ශන වලින් සීදූව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් එම සැකකරු අදාල ශ‍්‍රී අමර මහා විහාරයේ සොරකම සිදුකර ඇති සැකකරු බව තහවුරු කරගෙන අනතුරුව මහත් කැපවීමක් කර තම ජීවිතය පවා අවධානමකට පත්කර ගනිමින් මෙම වාහනයේ තොරතරු මත යමින් මෙකී සැකකරුව කොළඹ ප‍්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ ප‍්‍රදේශයට විත් මොරටුව ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිවී කාලයක් චීවරයේ රැදීසිට පසුව චීවරය හැරදමා ගොස් මොරටුවේ පාසලකින් අධ්‍යාපනයද ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් බව පවසා ඇත ෴

***************************************

බොරු නඩුවකින් තරුණයා මුදා ගත් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්නට නීති ප‍්‍රජාවේ පැසසුම් …

(30.08.2019 – divaina.com)

  • සැමියාගේ සහෝදරයාගේ පුතා තම පුතුට ලිංගික අතවර කළැයි බොරු පැමිණිල්ලක් දැමූ කතට දඬුවම් නියම කිරීම ඔක්. 9 දා
  • තරුණයා නිදොස් කොට නිදහස් කරයි

සිය සැමියාගේ වැඩිමහල් සහෝදරයාගේ තරුණ පුත‍්‍රයා වසර 4 1/2 වයසැති තම පුත‍්‍රයාට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ කාන්තාවකට දඬුවම් නියම කිරීම ලබන ඔක්තෝබර් 9 වැනිදා දක්වා කල් තැබු කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකාර තරුණයා එකී අධි චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

එකී කාන්තාව 2014.1.24 වැනිදා වැලිකඩ පොලිසියට කළ එකී අසත්‍ය පැමිණිල්ල නිසා එවකට 19 හැවිරිදි අවිවාහක තරුණයකු වූ විත්තිකරුගේ සම්පූර්ණ ජීවිතයම අඳුරට වැටී බලවත් නින්දාවක් අත්විඳීමට සිදු වී ඇති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකාර තරුණයාට රුපියල් ලක්‍ෂ දෙකක වන්දියක් හා නඩු ගාස්තුවක් ගෙවන ලෙසට මෙරික්‍ඳ්ක්‍ඳගේ ඉරේෂා නිශාන්ති නමැති සැකකාර කාන්තාවට නියම කළේය.

එකී නඩුව විභාගයට ගැනීමට දින නියම කොට තිබියදී පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාරිය ලෙස නම් කොට තිබූ සැකකාර කාන්තාවගේ හැසිරීම හා ඇය පොලිසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සැක පහල කළ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීමේ වගකීම පැවරුන රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ඇයගෙන් යළිත් ප‍්‍රකාශයක් සටහන් කරනා ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව වැලිකඩ පොලිසිය විසින් පසුගිය 23 වැනිදා ඇයගෙන් ප‍්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගෙන තිබූ අතර රජයේ අධිනීතිඥවරිය විවෘත අධිකරණය හමුවේදී නැගූ ප‍්‍රශ්න කිරීම් හමුවේදී තමා අසත්‍ය පැමිණිල්ලක් කළ බව ඇය පිළිගෙන තිබිණි.

සිය සැමියාව කෙසේ හෝ ඔහුගේ මවගෙන් වෙන්කර වෙනම නිවසක පදිංචියට යෑමේ අරමුණින් තමා එම අසත්‍ය පැමිණිල්ල කළ බව ද රජයේ අධිනීතිඥවරියගේ ප‍්‍රශ්න කිරීම් හමුවේදී පිළිගැනීමට ඇයට සිදු වී තිබිණි. විත්තිකාර තරුණයාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුවේ චෝදනා අධිකරණය හමුවේදී සනාථ කිරීමේ කාර්යභාරය පැවරුන රජයේ අධිනීතිඥවරිය නිර්දෝෂී පුද්ගලයකු එකී වරද කළ බවට ඒත්තු ගැන්වීම පසෙක තබා ඔහුට එරෙහිව නඟා තිබූ අසත්‍ය චෝදනාවලින් මුදා ගැනීමට පියවර ගැනීම අධිකරණයේ හා නීතිඥ ප‍්‍රජාවගේ බලවත් ප‍්‍රශංසාවට ලක් වූ කරුණක් විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *