කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත හෙළි කරයි

= මේ පිටුවේ සිරස්තල =

• කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත හෙළි කරයි

• රනිල් ජාතිවාදීන්ට කප්පම් දීලා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

• ගෙදර බුදු කුටියක් හැදුව හින්දා මගේ ගෙට ගිණි තිබ්බා – පාතිමා

• ඉරාජ් පෙන්නපු බෞද්ධ වුන පාතිමාට සිංහල නිළධාරින් කරන කුප්ප වැඩ … ගේ හදන්න අවසර නෑ…

• බුදු දහම වැලඳගත් ඉස්ලාම් අම්මව මරාගෙන කන්න හදපු මුස්ලිම් පල්ලිය

• එජාප ජනපති අපේක්ෂකයා හෙළි කිරීම ප්‍රමාදයට හේතුව විපක්ෂ නායක කියයි

• සියොන් ප්‍රහාරකයාගේ සිරුරු කොටස් සුදුසු ස්ථානයක වලදමන්නැයි අධිකරණ නියෝගයක්

• ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස ඩලස් සහ කෙහෙළිය පත් කෙරේ

• ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය නමින් නව සන්ධානයක් බිහිකිරීමට ඒකාබද්ධ විපක්ෂයෙන් තීරණයක්

• ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝම්බර් පළමු සතියේ

• ඇමති දයා ගමගේගේ ප්‍රකාශයක් අක්මීමන දයාරතන හිමියන් ප්‍රතික්ෂේප කරයි

• එජාපය රැක ගැනීමට නම් අගමැති දෙවන පෙළකට අවස්ථාව ලබාදිය යුතුයි – එක්සත් නීතිඥ සංගමය

+++++++++++++++++++++++++++++++++++

කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත හෙළි කරයි

(30.08.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk)

මාවනැල්ල බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් දෙදෙනා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් පොලිසියට භාර දුන්නා නම් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකියාව තිබූ බව කෑගල්ල දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා චෝදනා කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, ‘ටෝක් විත් චතුර’ වැඩසටහනට එක්වෙමින්ය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානිකිරීමේ සිද්ධිය 2018 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා වාර්තා වුණි.

එය වඩාත් සමාජය තුළ කතාබහට ලක්වූයේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි.

කෑගල්ල බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමග සබඳතා පවත්වා ඇති බවට පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වෙයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය බුදුපිළිම විනාශය සම්බන්ධයෙන් මොහොමඩ් ඊබ්‍රහීම් ශාදික් හා මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් යන සහෝදරයින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

එම මෙහෙයුම සිදුවන්නේ එවක කෑගල්ල දිසාව භාරව සිට මේ වන විට විශ්‍රාම ගොස් සිටින නියොජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින්ය.

ටෝක් විත් චතුර වැඩසටහනට එක්වූ සිරිවර්ධන මහතා අවධාරණය කළේ, මාවනැල්ලේ සැකකරුවන් එවක අත්අඩංගුවට ගත්තේ නම් පාස්කු ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබූ බවයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=0COeQRPGeUA

***************************************

රනිල් ජාතිවාදීන්ට කප්පම් දීලා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(30.08.2019 – 19:44 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුවට මුවා වූ දේශාපනඥයින් විසින් මුහුදු මහා විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (30) එහි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව පැවසීය :

“මේක පුරාවිද්‍ය රක්ෂිතයක්. අක්කර 14 ට සීමාවෙලා. ඉඩම් නැත්තම් ඉඩම්වල පදිංචි වුණාට විරුද්ධ නෑ. පුරාවිද්‍යා භූමි බලහත්කාරයෙන් ආක්‍රමණය කරලා. බුදුපිළිම හා සඳකඩ පහන් කඩන්න දෙන්න බෑ. දේශපාලන හයියෙන් ආක්‍රමණය. සුද්දන්ටත් බුදුසසුන ආරක්ෂා කරන බවට පිළිගන්න වුණා. කළු සුද්දන්ට පිළිගන්න බෑ. රනිල් ජාතිවාදීන්ට කප්පම් දීලා“

මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද එම විහාරස්ථානට වැඩම කළේය.

එහිදී උන්වහන්සේ විහාරස්ථානයට අයිති භූමිය නිරීක්ෂණ කළේය.

අනතුරුව රතන හිමියන් සමග පොතුවිල් පොලීසියට වැඩම කළ මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් වත්මන් තත්ත්වය පිළිබඳව පැමිණිල්ලක් ගොණු කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

28-08-2019

***************************************

ගෙදර බුදු කුටියක් හැදුව හින්දා මගේ ගෙට ගිණි තිබ්බා

(28.08.2019 – YouTube > Noize TV)

මම උපතින් මුස්ලිම්. එත් මම බෞද්ධ ආගමට හැරුන හින්ද මාවයි මගේ දරුවෝ දෙන්නවයි මගේ මහත්තයාවයි මරන්න හදනවා. දිගින් දිගටම, රෑට නිදාගෙන ඉද්දි සර්පයෝ ගෙනත් දානවා මගේ දරුවෝ දෙන්න නිදාගෙන ඉන්න තැනට. මම හරි බයකින් ජීවත් වෙන්නේ – ෆාතිමා

https://www.youtube.com/watch?v=nbFulwW3PK8

+++++++++++++++++++++++++++++++++++

ඉරාජ් පෙන්නපු බෞද්ධ වුන පාතිමාට සිංහල නිළධාරින් කරන කුප්ප වැඩ … ගේ හදන්න අවසර නෑ…

(29.08.2019 – YouTube > Sinhala Network)

https://www.youtube.com/watch?v=U_M9lcbR6Ww

+++++++++++++++++++++++++++++++++++

බුදු දහම වැලඳගත් ඉස්ලාම් අම්මව මරාගෙන කන්න හදපු මුස්ලිම් පල්ලිය

(31.08.2019 – mawbima.lk)

ඇගේ සම්පූර්ණ නම මොහොමඩ් ආදන් මොහොමඩ් ෆාතිමා හාසියා ය. වයස අවුරුදු 29 කි. උපතින් ඉස්ලාම් ආගමික කාන්තාවක් වූ ඇය දැන් බෞද්ධය. ඇය බෞද්ධ කාන්තාවක් වන්නේ මීට අවුරුදු දෙකකට පමණ ඉහතදීය. 2008 වසරේදී සිංහල ජාතික තරුණයකු සමඟ හාද වී විවාහ දිවියට පිවිසෙන ඇය ඒ විවාහ චාරිත්‍ර ඉටු කරන්නේත් ඉස්ලාම් දහම අදහන අතරතුරේදීමය. එපමණක්ද නොව ඇය පල්ලියේ දහම් පාසලේද එම දහම ඕනෑකමකින් යුතුව ඉගැන්වූවාය.

“මේ විධියට තමයි මගේ ජීවිතය ගෙවී ගියේ. ඒත් මීට අවුරුදු දෙකකට විතර කලින් මගේම ඕනෑකමට මම බුදුදහම මොකක්ද කියලා හොයන්න හිතුවා. ඒ මහත්තයගේ බල කිරීමට නෙවෙයි. මට හිතුණ හින්දා.

ඉතින් ඔහොම හොයලා බලද්දි මට ඇතිවුණු පැහැදීමත් එක්ක මම මහත්තයට කියලා පන්සලකට යන්න සූදානම් වුණා. ගමේ පන්සලට යන්න බැහැ. මොකද එතකොට ප්‍රශ්න ඇතිවේවි කියලා හිතපු හින්දා. අනෙක ප්‍රසිද්ධියේ එහෙම යද්දි අපේ මුස්ලිම් ජාතිකයන්ගේ හිත රිදේවි කියලත් මම කල්පනා කළා.”

ෆාතිමා හාසියා ඒ අනුව තම ස්වාමිපුරුෂයා සමඟ කැලණි පන්සල් භූමියට ගියාය. මේ ආකාරයට ඇය වරක් දෙවරක් නොව කිහිප අවස්ථාවක කැලණි වන්දනාවේ ගොස් ආගමික වැඩකටයුතුවලට සහභාගි වූවාය.

මේ කතාවේ අභාග්‍යසම්පන්න කාලපරිච්ඡේදය ආරම්භ වන්නේ එයින් පසුවය. ෆාතිමා හාසියා ඒ දුක්බර එමෙන්ම කාලකණ්ණි යටගියාවේ තොරතුරු ‘මව්බිම’ට කිව්වේ මෙහෙමය.

“මම මගේ ස්වාමිපුරුෂයා එක්ක කැලණි පන්සලට ගිය එක අපේ ගමේ කවුරුහරි දැනගෙන තිබුණා. ඒ දැනගෙන ඒක තවත් මුස්ලිම් කිහිපදෙනකුට කියලා තිබුණා.

ඒ අනුව මා එක්ක විතරක් නෙවෙයි මගේ මහත්තයා එක්කත් ප්‍රශ්න ඇති කරගන්න ඔවුන් කටයුතු කළා. එක දවසක් කට්ටියක්ම ඇවිත් අපි එක්ක වචන හුවමාරුවක් වෙද්දි ඔවුන් අපේ මහත්තයට පහර දෙන්නත් පටන් ගත්තා.”

මේ පහරදීම නිසා ෆාතිමා පොලිසියට යන්නට සූදානම් වුණත් අවසානයේදී අසල මුස්ලිම් පල්ලියේ නායකයා පැමිණ ඉල්ලීමක් කළේ සමාදාන වන ලෙසටය. ඒ අනුව ඔවුහු සමාදාන වූහ.

මේ ආකාරයට තවත් කාලයක් ගතවිය. ඊළඟ දවසක ෆාතිමා තම දරුවාගේ උපන් දිනය නිමිති කොටගෙන ගෙවත්තේ බුදු මැඳුරක් හදන්නට සූදානම් වූවාය. ඒ දරුවාගේ උපන් දිනය දා ඔහු අතින් එය විවෘත කරන්නටය.

“ප්‍රශ්නය උච්චතම දවස වුණේ එදා. අපි කණුවක් ගෙනැවිත් මේ වැඩේ ආරම්භ කරන්න හදද්දිම මුස්ලිම් ජාතික පිරිසක් අපේ ගෙවත්තට ආවා. ඒ ඇවිත් අපි එක්ක රණ්ඩු කළා. ඉදිකිරීම් නවත්වන ලෙස දැනුම් දී අපට පහර දුන්නා.”

ෆාතිමා හාසියා සවිමත් ගැහැනියක්. යකඩ හිතක් ඇති තැනැත්තියකි. ඇය මේ ගෝරණාඩුවලට යටත් වූයේ නැත. නැවතත් බුදු මැඳුර හදන්නට සිතා ගත්තාය. එහෙත් පෙර කී මුස්ලිම් ජාතිකයන් ඊට ප්‍රතිචාර දැක්වූයේ වෙනදා වගේමය.

මේ සියල්ල සිදුවන්න පටන් ගන්නේ 2018 ජූලි මාසයේය. ඒ අනුව ඒ පහරදීම්, බිය වැද්දවීම් හා තාඩන පීඩන හා නිවෙසට ගිවි තබා විනාශ කිරීම පවා සිදුවන්නේ මේ ආගමික ප්‍රශ්නය මුල්කරගෙනය.

“අවසානයේදී ඔවුන් මගේ ගෙදර ඩෝසර් කරනවා. ඒ කරන්නේ පල්ලිය සතු ඉඩමක් මම බලෙන් අත්පත් කරගෙන ඉන්නවා කියලා චෝදනා කරමින්.

මගේ පුංචි දරු පැටව් විලාප දෙද්දී මහලු අම්මා හඬා වැලපෙද්දී ඔවුන් මගේ නිවෙස කුඩු පට්ටම් කරනවා. කිසිම මනුස්සකමක් නැතිවයි ඔවුන් ඒ තර්ජනය, පීඩාව හා විනාශය අපට කළේ.”

මුලදී ෆාතිමාගේ නිවෙස ගිනි තැබුවේය. ඊළඟට ඩෝසර් කළේය. එහෙත් මේ යකඩ ගැහැනිය නැවතුණේ නැත. ඇය යළි යළිත් නිවෙස ගොඩනැඟුවාය. එක් කාමරයක් බ්ලොක් ගල්වලින් තනා එහි පදිංචි වූවාය. නිවෙසේ බුදු පහනද ඇය දැල්වූවාය. ඒ ගැන ඇය කියන්නේ මෙහෙමය.

“මම බුදු දහම අදහන්න පටන් ගන්නේ මගේ ස්වාමිපුරුෂයා හින්දා නෙවෙයි. මම පොත්පත් බලලා ඉගෙන ගත්තා, බණ ඇහුවා. ඉතින් මට සත්‍ය වැටහුණා. ඒක නවත්වන්න කාටවත් බැහැ. ඒ අයිතිය හැම ආගමකම තිබෙනවා. ඒ නිදහස තිබෙනවා.”

ෆාතිමා උගත් ගැහැනියකි. ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හොඳින් සමත්ය. එමෙන්ම වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබූ ඇය පෞද්ගලික ආයතන දෙකක වෙළෙඳ සහායිකාවක්, සහාය කළමනාකාරිනියක් ලෙසද රාජකාරි කොට ඇත.

“මම විදේශගතවත් රැකියාවක් කළා. දැන් වෙද්දී රාජ්‍ය භාෂා අමාත්‍යාංශයට සම්බන්ධව ස්වෙච්ඡාවෙන් දමිළ භාෂාව උගන්වන ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඉතින් මට මේ දේවල් දරාගන්න වගේම සටන් කරන්න හයිය තිබෙනවා.”

ෆාතිමා අපේ භාෂාවෙන් කියනවා නම් ‘වැඩේ අත අරින්නේ නැති’ ගැහැනියකි. ඒ නිසාම ඇය විටින් විට නීතියේ පිළිසරණ පතමින් උසාවි, පොලිසි පවා යන්නට සිතුවාය.

“මගේ මේ හැම පැමිණිල්ලක්ම බියගම පොලිසියේ සඳහන් වී තිබෙනවා. මම මළත්, මැරුවත් මේ අසාධාරණයට විරුද්ධව සටන් කරනවා. දැනටත් මට මරණ තර්ජන එනවා. මම ඒවාට බය නැහැ. මට දුක මගේ දරුවෝ සහ ස්වාමිපුරුෂයා ගැන විතරයි. මේ වෙද්දි ඔහුවත් මම හංගලා වගේ ජීවත් කරවන්නේ.”

ෆාතිමාගේ ජීවිතයට මරණ තර්ජන එන්නෙත්, නිවෙසෙන් පන්නා දැමීමට කටයුතු කරන්නෙත් ඔවුන් ජීවත් වන නිවෙස පිහිටි ඉඩම පල්ලියට අයිති බව පවසමිනි. එහෙත් මේ අයිතිය සඳහා ඔවුන් ඉදිරිපත් වන්නේ ෆාතිමා බුදු දහම වැලඳගත් පසුවය.

“මේ ඉඩම අයිති අපේ සීයා කෙනකුට. ඒ අනුව තමයි අපේ තාත්තා 1993 අවුරුද්දේ මෙහි පදිංචි වී තිබෙන්නේ.

තාත්තා අම්මත් එක්ක පවුල් කෑවෙත් මේ ඉඩමේ තිබුණු ගෙදර. ඒ ගෙදරම තමයි මමත් පුංචි කාලේ ඉඳලා හැදුණේ, ඉස්කෝලේ ගියේ.

එතකොට විවාහ වෙලා ආවෙත් මේ ගෙදරට. එහෙම ඇවිත් පර්චස් 74 ක් විතර තිබෙන මේ ඉඩමෙන් කෑල්ලක්වත් පල්ලියෙන් ඉල්ලන්නවත්, එයින් කොටසක් වෙනත් පවුලකට දෙන්න පුළුවන්ද කියලා අහන්නවත් ආවේ නැහැ. දැන් අයිතිවාසිකම් කියනවා.” ෆාතිමා සටන්කාමී ස්වරූපයෙන් පවසන්නීය.

ඇය පවසන ආකාරයට මේ ඉඩමේ ආරවුල ඇති වී තිබෙන්නේ ඇය ප්‍රසිද්ධියේ බුදු දහම ඇදහීමට පටන්ගත් නිසාය.

“මට මේ නිසාම විඳින්න සිද්ධවුණු අපහාස හා අරියාදුවලට සම්බන්ධ ඇතැම් පින්තූර හා වීඩියෝ දර්ශන මා සතුව තිබෙනවා. ඒවා නීතිය හමුවට අරන් යන්න මට බාධාවන් නැහැ.”

මෑතකදී ෆාතිමා තම නිවෙසට විදුලිය ලබාගැනීමට සිතුවේත් පෙර කී සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටි අදිටන නිසාමය. එහෙත් ඒ ගැහැනියගේ මානසික වේදනාව තේරුම් නොගත් තවත් ගැහැනියක් මේ කතාව තුළ සිටින බව ෆාතිමා පවසන්නේ දැඩි වේදනාවකින් හා පිළිකුලකින් යුතුවය.

“ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ ග්‍රාම සේවිකාව. ඇය මගේ පදිංචිය තහවුරු කරන සහතිකය මට දෙන්නේ නැහැ. මම ඒ ඉඩමේ තිබෙන ලිපිනයේ පදිංචි නැතිලු. පුංචි කාලේ ඉඳලා හිටපු, ඡන්ද නාම ලේඛනවල පවා තිබෙන, ඒ වගේම මීට පෙර 2016 වසරෙදි පදිංචිය සහතික කරලා මට ග්‍රාම සේවක සහතික ලබා දීපු ඇය දැන් කියනවා මම ඒ ලිපිනයේ පදිංචි නැතිලු.”

“ඇය මෙහෙම කරන්නේ කාගේ වුවමනාවටද? කාගේ බලපෑමටද? මම වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන සොයා බලන්න කියලයි.

අපේ පළාතේ දිසාපතිතුමා පවා මේ අවනඩුව දන්නවා. මට තේරුම් ගන්න බැහැ සිංහල ජාතික තැනැත්තියක් වෙලත් ඇය මෙහෙම මට සලකන්නේ ඇයි කියලා.”

ෆාතිමා පවසන්නේ තමන් මේ නිවෙසේ පදිංචිව සිටි බවටත්, එය තම සීයාගේ දේපොළක් බවටත් ඔප්පු කළ හැකි සාක්ෂි තමන් සතුව තිබෙන බවටය.

අද වනවිට මේ සිදුවීම වඩාත් උග්‍ර අතට පත්වී ඇති බව ප්‍රදේශවාසීහු බොහෝදෙනෙක් දැන සිටිති. ඒ ෆාතිමාගේ සහයෝගයට මෙරට ජනමාධ්‍ය ඉදිරිපත් වී ඇති නිසාය.

“මේ කතාව මම ජනමාධ්‍ය ඔස්සේ කියන්නේ ජාතිවාදය අවුස්සන්න නෙවෙයි. අපි හැමෝම එකා වගේ ඉන්න ඕන.

ඇයි මම බෞද්ධ වුණා කියලා මට මෙහෙම සලකන්නේ. ඒකට මට අයිතියක් නැද්ද?

මම ඉපදුණේ මුස්ලිම් කාන්තාවක් විධියට. හැදුණේ වැඩුණේ ඉස්ලාම් දහමත් එක්ක. මම ජමාත් ඉස්කෝලේ ගුරුවරියක් විධියටත් හිටියා.

දැන් මම බුදු දහම අදහනවා. ඒකද මේ ප්‍රශ්නවලට මුල. මම කැමැති දහමක් අදහන්න අයිතියක් නැද්ද?” ෆාතිමා දැඩිව ප්‍රශ්න කරන්නීය. ඇගේ ප්‍රශ්න කිරීමේ ස්වරය ශක්තිමත්ය. බලවත්ය. ඇය තවමත් මල්වාන, වඩුවේගම අබලන් නිවෙසේ පදිංචිව සිටින්නේ ඒ නිසාය.

– සමන් ප්‍රියංකර නම්මුනිගේ

***************************************

එජාප ජනපති අපේක්ෂකයා හෙළි කිරීම ප්‍රමාදයට හේතුව විපක්ෂ නායක කියයි

(30.08.2019 – 16:26 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කරනු ලබන්නේ පක්ෂය තුල ඇති අර්බුධය හේතුවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියාසිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළේ, සුදුසුම අවස්ථාවේ බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

***************************************

සියොන් ප්‍රහාරකයාගේ සිරුරු කොටස් සුදුසු ස්ථානයක වලදමන්නැයි අධිකරණ නියෝගයක්

(30.08.2019 – 15:38 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා ඇති සියොන් දේවස්ථාන ප්‍රහාරකයාගේ සිරුරු කොටස් ලබන සඳුදා දිනයේ යළි ගොඩගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් අනුව, එම නියෝගය ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඒ අනුව, අදාළ සිරුරු කොටස් දැනට මිහිදන් කර ඇති ස්ථානයෙන් ගොඩගෙන නිෂ්චිතව එය මිහිදන් කිරීම සඳහා ස්ථානයක් හඳුනා ගෙන එම ස්ථානයේ එය තැන්පත් කරන ලෙසට මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර, සියොන් දේවස්ථාන ප්‍රහාරකයාගේ සිරුරු කොටස් මඩකලපුව – කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළ දැමීමට එරෙහිව පසුගියදා විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ඇතුළු 5 දෙනෙකු ඇප මත මුදා හැරීමට ද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මතයි. එදින පැවති විරෝධතාවයේදී පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා ෴

***************************************

ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස ඩලස් සහ කෙහෙළිය පත් කෙරේ

(30.08.2019 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ, ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත් කර තිබෙනවා.

එම පෙරමුණේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඊයේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය නමින් නව සන්ධානයක් බිහිකිරීමට ඒකාබද්ධ විපක්ෂයෙන් තීරණයක්

(30.08.2019 – 21:14 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය’ නමින් නව සන්ධානයක් බිහිකිරීමට ඊයේ (29) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කල බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

එමෙන්ම එම සන්ධානයේ ව්‍යවස්ථාව පිලිබදව අවසන් තීන්දුව සතියක් ඇතුළත ගන්නා බවද මන්ත්‍රීවරයා සදහන් කළා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සති පතා රැස්වීම ඊයේ රාත්‍රීයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේදී පැවැත්වුණා.

ඊට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ද සහභාගී වී තිබෙනවා.

***************************************

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝම්බර් පළමු සතියේ

(30.08.2019 – 18:30 +0530 – sinhala.adaderana.lk)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය එලඹෙන ඔක්තෝම්බර් මස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත අද (30) නියෝග කර තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය ලබා දුන් බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එමෙන්ම ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය භාර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියෝග කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත්වීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි විභාගය අවසන් වන තෙක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි.

+++++++++++++++++++++

***************************************

ඇමති දයා ගමගේගේ ප්‍රකාශයක් අක්මීමන දයාරතන හිමියන් ප්‍රතික්ෂේප කරයි

(30.08.2019 – 21:17 +0530 – hirunews.lk/sinhala)

විහාරස්ථානවල පිං කැටවලින් ලැබෙන මුදල් එකතුකර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විහාරස්ථානවලට මූල්‍ය ආධාර ලබාදුන් බව අමාත්‍ය දයා ගමගේ මහතා ඊයේ (29) පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, සිංහල රාවය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සඳහන් කළේ තම විහාරස්ථානය වෙත රජය විසින් එවැනි කිසිදු ආකාරයක මූල්‍ය ආධාරයක් සිදුකර නොමැති බවයි.

***************************************

එජාපය රැක ගැනීමට නම් අගමැති දෙවන පෙළකට අවස්ථාව ලබාදිය යුතුයි – එක්සත් නීතිඥ සංගමය

(30.08.2019 – 21:36 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමටනම් නායකත්වය දරණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්වී දෙවන පෙළට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් නීතිඥ සංගමය පවසනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් මේ බව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *