හිරු සී.අයි.ඒ. : ටෙන්ඩර් මගඩියේ අලුත්ම බිල්ල

= මේ පිටුවේ සිරස්තල =

• හිරු සී.අයි.ඒ. : ටෙන්ඩර් මගඩියේ අලුත්ම බිල්ල

• අමාත්‍යාංශ තුනක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් උලපනේ සුමංගල හිමියන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

• රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය

• රන් මාල සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

• වසර 4000 ක් පැරැණි ජනාවාසයක් නකල්ස් රක්ෂිතයෙන් සොයාගැනේ

• ගෝඨාභය ජයග්‍රහණය කිරීමේ වගකීම දෙඋර මතට ගත යුතුයි – විමල් වීරවංශ

• මහජන බැංකුවේ දූෂිතම කාලය උදා කළේ හේමසිරි ප්‍රනාන්දු – රුසිරුපාල තෙන්නකෝන්

• ආර්ථිකය ගොඩගන්න පැහැදිලි සැළැස්මක් තියෙනවා – ගෝඨාභය

• උකුසු ඇසට හසුවු අධිවේගයේ කප්පම් ගැනිල්ල

• වසර 200 කින් පසු පෘථිවිය බේරාගන්නා මෙහෙයුමට එක්වූ මේඝ

• නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි – ගෝඨාභය

හිරු සී.අයි.ඒ. : ටෙන්ඩර් මගඩියේ අලුත්ම බිල්ල

(30.08.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය යාන්ත්‍රණය තුල සිදුවන ක්‍රියාකාරකම් සදහා ටෙන්ඩර් කැදවීමේදී රාජ්‍ය ආයතන නොසලකා පෞද්ගලික අංශය වෙත වැඩි මුදලට ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ අවස්ථා වාර්තා වුයේ වරක් දෙවරක් නොවේ.

තාක්ෂණික ඇගයීම් කමිටු හරහා සිදුකෙරෙන මේ මගඩියේ අළුත්ම බිල්ල බවට පත්ව ඇත්තේ රජයේ ප්‍රචාරක ආයතනය හෙවත් සැලසිනේ ආයතනයයි.

අද ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබදයි.

මුදල් අමාත්‍යාංශය සංවිධානය කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සදහා අවශ්‍ය සුවිසල් කූඩාරම්ල වේදිකාවල විදුලි ආලෝක ජනන පද්ධති කුලී පදනම මත සැපයීමට මෙම දැන්වීම පුවත්පත්වල පල කර තිබුනේ පසුගිය ජුලි මාසයේදී.

ටෙන්ඩරයට අදාල සියළු සුදුසුකම් සපුරමින් රජයේ ප්‍රචාරක ආයතනය වන සැලසිනේ ආයතනය මේ සදහා මිල ගණන් ඉදිරිපත් කර තිබුනේ තවත් ලංසුකරුවන් තිදෙනෙකු සමග තරගකාරීවයි.

ඒ අතරින් රුපියල් අටකෝටි තිස් හතර ලක්ෂ පනස් එක්දහස් එකොලහයි සත පනස් එකක් වූ අවම ලංසුව ඉදිරිපත් කර තිබුණේ සැලසිනේ ආයතනයයි.

කෙසේ වෙතත්ල තාක්ෂණික ඇගයීම් කමිටුවේදී අවම මිල ගණනන් ඉදිරිපත් කර තිබු රජයේ ආයතනය නොසලකා හැරෙන්නේ එම ලංසුව හරවත් ලෙස නිරවද්‍ය අවම ලංසුව නොවන බවට තීරණය කරමින්.

ඒ අනුව සැලසිනේ ආයතනයට වඩා රුපියල් මිලියන විසි පහක් වැඩි ලංසුවක් ඉදිරිපත් කළ පෞද්ගලික ලංසුකරුවෙකුට අදාල කොන්ත්‍රාත්තුව ප්‍රදානය කෙරෙනවා.

මෙහි පුදුම සහගත කරුණ වන්නේ ටෙන්ඩර් කැදවීමේදී සලකා බැලෙන විශේෂ උපමාන ටෙන්ඩරය ප්‍රධානය කළ පෞද්ගලික සමාගමේ උපමානයන්ට සහමුලින්ම ගැළපීමයි.

සාමාන්‍යයෙන් වේදිකාවක් සදහා ටෙන්ඩර් කැදවීමේදී සම්මත වේදිකා පරිමාණයන් එනම් අඩි 60 – 40, අඩි 70 – 50 හෝ අඩි 60 – 80 සලකා බැලෙනවා.

නමුත් මෙම ටෙන්ඩර් කැදවීමේදී වේදිකාව දිග අඩි 64 කුත් පලල අඩි 56 කුත් විය යුතු බවට කොන්දේසි පනවා තිබීමත්, කාප්ප සහිත වහලයේ ප්‍රමාණය සහ වේදිකාව පසුපස ඇති එල්.ඊ.ඩී. රූපවාහිනී දර්ශන පුවරු ද අදාල ඉල්ලුම්කරුගේ සැපයුමට අදාලවම නිර්ණය කර තිබීම විශ්මිත කරුණක්.

මෙම කරුණු සලකා බැලීමේදී මුදල් අමාත්‍යාංශය හිතා මතා සැලසුම් සහගතව අදාල ටෙන්ඩරය මෙම පෞද්ගලික ඉල්ලුම්කරුට ලැබෙන ලෙස පිරිවිතරයන් සලසා ඇති බව පැහැදිලියි.

රජයේ ටෙන්ඩර් කැදවීම්වලදී රජයේ ආයතන වෙත ප්‍රමුඛතාව දක්වන බව බලධාරීන් පුනපුනා ප්‍රකාශ කළද, භූමියේ යථාර්ථය වන්නේ අඩු මිල ගණන් ඉදිරිපත් කරන රජයේ ආයතන නොසලකා හැර පෞද්ගලික අයදුම්කරුවන්ටම ටෙන්ඩර ලබාදී ඔවුන්ගේ සහ බලධාරීන්ගේ මඩිය තරකර ගැනීමයි.

මේ හරහා දිනපතා මකර කටට යැවෙන්නේ මේ රටේ බදු ගෙවනා දුප්පත් ජනතාවගේ මුදල් බව මුදලට වග කියනා මුදල් අමාත්‍යාංශයම නොතකන්නේ ඇයි ?

ටෙන්ඩර් ප්‍රධානයේදී සිදු වු අක්‍රමිකතා පිළිබද සැලසිනේ ආයතනය අභියාචනයක් ඉදිරිපත් කර ඇති පසුබිමක ටෙන්ඩරය ලබාගත් පෞද්ගලික ඉල්ලුම්කරු මේ වනවිටත් යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය සහ ඒ අවට ඇති ඉඩම්වල මුලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ කුමන බලපරාක්‍රමයකින් ද?

රජයේ මුදල් අවභාවිතය පිළිබද මීටත් වඩා සාක්ෂි කුමට ද ?

සිදුවු වරද නිවැරදි කරන තෙක් ‘හිරු සී.අයි.ඒ.’ අවධි නෙත නිරන්තර විමසිල්ලෙන්.

***************************************

අමාත්‍යාංශ තුනක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් උලපනේ සුමංගල හිමියන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

(30.08.2019 – mawbima.lk)

අමාත්‍යාංශ තුනක අමාත්‍යවරුන් සිදුකළ මුදල් අවභාවිතය සම්බන්ධව එම අමාත්‍යවරුන් තිදෙනාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මහජන සභාවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් පැමිණිලි තුනක් ඊයේ (29 දා) කරනු ලැබීය.

මහාමාර්ග සංවර්ධන අධිකාරියට නීති විරෝධී ලෙස සම්බන්ධීකරණ නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධව ලක්ෂ්මන් කිරිඇල්ල විෂය භාර ඇමැතිවරයාට හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට එරෙහිව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ අතර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය සඳහා නීති විරෝධී ලෙස 85 දෙනකුට රුපියල් මිලියන 160 ක වැටුප් ලබා දීම සම්බන්ධව විෂය භාර ඇමැතිවරයා වන රවුෆ් හකීම් හා සම්බන්ධිකරණ නිලධාරීන් සඳහා සහ ලංකා සතොස ආයතනයේ මුදල් යූ.ටී.වී. නමැති රූපවාහිනි නාළිකාවට නීති විරෝධි ලෙස රුපියල් ලක්ෂ 15 ක් පමණ ගෙවීම සම්බන්ධව එහි විෂය භාර අමාත්‍යවරයා වන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාටද එරෙහිව මෙම පැමිණිලි ගොනු කළ බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.

බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එම හිමියෝ මෙම පැමිණිලි තුන ඊයේ ඉදිරිපත් කළහ.

රාජ්‍ය මුදල් අවභාවිතය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම පියවර ගත යුතු බව සඳහන් කරන එම හිමියෝ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයථා ලෙස බඳවා ගත් 85 දෙනකුට මසකට රුපියල් 250,000 ඉක්මවූ මුදලක් එක් අයකුට ගෙවා ඇති බවත් පැවැසූහ.

මෙම විමර්ශන මෙම ආණ්ඩුව යටතේ සිදු නොවන්නේ නම් ඉදිරි ආණ්ඩුවකදී හෝ මෙම විමර්ශන කටයුතු සිදුකර රාජ්‍ය මුදල් අවභාවිතයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා මහජන සභාව කටයුතු කරන බවත් ඉදිරියටද මෙලෙසම වංචා දූෂණ හෙළි කරන බවත් එම හිමියෝ පැවැසූහ ෴

***************************************

රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය

(31.08.2019 – 16:40 +0530 – lankadeepa.lk)

වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහංගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

රිෂාඩ් බදුයුදීන් මහතාට විරෝධය පල කිරිම සඳහා අද අහංගම නගරයේ වෙළදසැල් වැඩි ප්‍රමාණයක් වසා දමනු ලැබ තිබිණ. භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුලු විශාල පිරිසක් අහංගම නගරයේ සිට සටන් පාඨ කියමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගාලු මාතර මාර්ගය ඔස්සේ පාගමනින් කිලෝ මීටරයක් පමණ දුරින් තිබු හෝටල් පාසැල විවෘත කිරිමේ උත්සව භූමිය කරා පාගමනින් පැමිණියහ.

විරෝධතාකරුවන් උත්සව භූමිය අසලට පැමිණෙන විට ඔවුන් අසලට ගිය පොලිසිය මෙම උත්සවයට රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා නොපැමිණෙන බව විරෝධතා කරුවන්ට දන්වන ලද නමුත් ඒ ගැන නොතකා විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිටට පැමිණියහ. පසුව විරෝධතාකරුවෝ සටන් පාඨකියමින් උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ විරෝධතාවයේ යෙදි සිටියහ.

මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන‍, හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත යන මහත්වරුන් උත්සව භූමියට ඇතුලුවන විට විරෝධතාකරුවෝ‍ නොකඩා හූ හඩ නැගූහ. පසුව විරෝධතාවය මැද උත්සවය ආරම්භකරන ලදී.

ඒවන විට මහා සංඝරත්නය ඇතුලු විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ සිට උත්සවයේ කථිකයින් විසින් රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයාගේ නම සදහන් කරන විට නොකඩා හූ හඬ නැගූහ. කෙසේවෙතත් ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා මෙම උත්සවයට පැමිණියේ නැත. එහෙත් ඇමතිවරයා පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් විරෝධතාකරුවෝ උත්සවය අවසන්වන තෙක් උත්සව භූමිය අසල රැඳී සිටියහ.

විරෝධතාකරුවන්ට උත්සව භූමියට ඇතුලුවීමට නොහැකිවන පරිදි පැය 2 ක පමණ වේලාවක් උත්සව භූමියට ඇතුලුවන දොරටුව ඉදිරිපිට පොලිස් නිලධාරීහු රැඳී සිටියහ.

හබරාදුව කොක්වත්ත නිග්‍රෝධාරාමාධිපති අත්තරගොඩ පියනන්ද හිමියන් ප්‍රධාන භික්ෂූන්වහන්සේලා ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. උත්සවය අවසන්වූ පසු විරෝධතාකරුවෝද සාමකාමිව විසිර ගියහ.

රටට ආදරය කරන ජනතාව නැමැති සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

***************************************

රන් මාල සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

(31.08.2019 – 17:31 +0530 – hirunews.lk/sinhala)

හක්මණ නගරයේ ස්වර්ණාභරන අලෙවිසැලකින් රන් මාලයක් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරා දර්ශණවලට අනුව සැකකරු හඳුනා ගැනීමෙන් පසුවයි.

පිත්තල භාණ්ඩ අලෙවි කරන අයෙකු ලෙසට පැමිණි සැකකරු ස්වර්ණාභරන අලෙවිසැලේ හිමිකාරිය වෙළඳසැල ඉදිරිපස කොටසට ගමන් කළ අවස්ථාවේ මාලය සොරකම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුනු පැමිණිල්ලකට අනුව සිදුකළ මෙහෙයුමකදී 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

ලෝවැඩ සඟරාවෙන් …

79
බලයෙන් වත් කිසියම් සොර සිත කින්
සියතින් වත් දැන්වූ උප දෙස කින්
පරසන් තක දෙය ගත සොරකම කින්
නිරයෙන් නිරයට පැමිනෙයි එතෙ කින්

80
ලොබිනා මිහිරිව සොරකම් කළ සත
විඳිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා ඒ දැක දැක ඉන් නොනැ වත
ඉඳිනා කල කිකලෙක වේදෝ සෙත

***************************************

වසර 4000 ක් පැරැණි ජනාවාසයක් නකල්ස් රක්ෂිතයෙන් සොයාගැනේ

(31.08.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

වසර 4000 ක් පමණ පැරැණි මනුෂ්‍ය ජනාවාසයක් නකල්ස් රක්ෂිතය ආශ්‍රිත කඳුකරයේ පැවති බවට සාක්ෂි හමුවී ඇත.

කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ මෙම ජනාවාසය මධ්‍යම අමෙරිකාවේ ඉපැරණි මායාවරුන්ගේ දේවාලවලට සමාන විය හැකි බවයි.

මෙම ගවේෂණයට මුල පිරෙන්නේ, දස වසරකට පෙර සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන්.

එවක කරන ලද පර්යේෂණයකදී බලංගොඩ, හල්දුම්මුල්ල හා ඉලුක්කුඹුර ප්‍රදේශවල මිනිස් ජනාවාස පැවති බවට වූ සාක්ෂි හමුවෙයි.

ඉන් නොනවතින පුරාවිද්‍යාඥයින් පුරාවෘත්තවලට අනුව නකල්ස් රක්ෂිතයද ගවේෂණය කිරීම අරඹයි.

දින 10 ක් පමණ එහි ගතකරන ඔවුන්ට ජනාවාසයක් පැවැති බවට වූ සැකය තහවුරු කරගැනීමට හැකිවෙයි.

ඒ මෙහිදී සොයාගන්නා ලද ඉපැරණි ගෘහයක කොටස් හේතුවෙන්.

එමෙන්ම මේ ප්‍රදේශය අවට යකඩ උණු කළ බවට සාක්ෂි ද හමුවී තිබෙනවා.

මිනිස් ජනාවාස පැවති බවට තවත් බොහෝ දෑ මෙහි සාක්ෂි දරයි.

***************************************

ගෝඨාභය ජයග්‍රහණය කිරීමේ වගකීම දෙඋර මතට ගත යුතුයි – විමල් වීරවංශ

(31.08.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

සිංහල මුස්ලිම් සමඟියක් ගොඩනැගිමට නම් යළි ත්‍රස්ත ප්‍රහාරයකට ඉඩ නොතබන ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයෙක් ජනාධිපතිවරයා බවට පත් කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

‘රකින්නට මව්බිම එකතු වන ජනපවුර’ නමින් අද පිළියන්දලදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය :

“හදිසි තත්තවයකදී ඇමරිකානුවන්ට ලංකාවට කඩා වඩින්න ඉඩ දීලා තියෙනවා. හදිසි තත්ත්වය හදන්න බෑ හදන්න ඕනෙ. ඒකට අලුත් ත්‍රස්තවාදියෝ ඕනෙ.

දෙමළ ජනතාව නැවත ත්‍රස්තවාදයකට ඇද දමන්න ලේසි නෑ. මුස්ලිම් සමාජයෙන් ත්‍රස්තවාදය උපද්දවන්න සහරාන් ප්‍රහාර එල්ල කළාම හදිසි තත්වය ඇති වෙයි කියලා මෙයාලා හිතුවා.

නමුත් ප්‍රතිප්‍රහාරයකට සමාජය නොගිය නිසාකන්ටේනර් 3 ක කඩු එලියට ගැනිමට නොහැකිවීම නිසා දෙවැනි ප්‍රහාරයට සිටි අය සයින්දමරුදු හීදි මරාගෙන මැරුන නිසා, පන්සලට ඇවිත් ප්‍රහාර එල්ල කිරිමට නොහැකි වූ නිසා, 3 වැනි ප්‍රහාරයට සිටි අය අත්අඩංගුවට ගත් නිසා, අමෙරිකාව සිතපු තරමට හදිසි තත්වය නිර්මාණය කරගන්න බැරිවුණා.

හදිසි තත්වය ඇති කිරිමට ඇති ඉඩකඩ පරාජයට පත් කරමින් ජනාධිපතිවරණයේදී ඡන්ද බෙදීමට ඉඩ නොදී ගෝඨාභය මහතාව ජයග්‍රහණය කරවීමේ වගකීම ගත යුතුයි.

මුස්ලිම් සමාජයට ඕනේ බියෙන් සැකෙන් තොර රටක් නම් එවැනි රටක් හැදිය හැක්කේ ගෝඨාභය මහතාටයි.”

+++++++++++++++++++++

***************************************

මහජන බැංකුවේ දූෂිතම කාලය උදා කළේ හේමසිරි ප්‍රනාන්දු – රුසිරුපාල තෙන්නකෝන්

(31.08.2019 – 18:53 +0530 – sinhala.adaderana.lk)

හේමසිරි ප්‍රනාන්දු මහතා සභාපතිව සිටියදී මහජන බැංකුව මඟින් විදෙස් රටවල් සඳහා නිකුත් කළ ණය තවමත් අය කරගැනීමට නොහැකිව ඇතැයි ප්‍රගතිශීලි වෘත්තීය එකමුතුව අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළ කළේය.

ලංකා බැංකු සේවක සංගමයේ හිටපු සභාපති රුසිරුපාල තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එලෙස ණය ලබාදුන් ඇතැම් විදෙස් සමාගම්වල ලිපිනය පවා මහජන බැංකුව නොදන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“මහජන බැංකුවේ දූෂිතම කාල පරිච්ඡේදය උදා කලේ හේමසිරි ප්‍රනාන්දු නැමැති සභාපතිවරයා හා එම අධ්‍යක්ෂ මණ්ඩලය.

2015 දී බිලියන 17 ක්ව පැවති අක්‍රමික ගණයේ ණය අද බිලියන 39 ක් දක්වා නැඟලා තියෙනවා.

2018 දී සියෙරා ලියෝන් රාජ්‍යයේ උක්වගාවක් සඳහා ඇ.ඩො.මි. 15 ක ණයක් දෙනවා.

මාලදිවයිනේ හෝටල් සංකීර්ණයක් සඳහා 2017 දී බිලියන 2 කට ආසන්න ණයක් දීලා.

2018 දීම ඒක නොගෙවත හැකි එය නොගෙවත හැකි අක්‍රමික ණයක් වෙනවා.

අද බැංකුව එම ණය අය කරගැනීම සම්බන්ධව එන්තරවාසී යවන්න ලිපින හොයනවා. මුන් ඉන්නේ මාලදිවයිනේ.

හෙට අනිද්දා අගමැති යන්නේ ඒකටද දන්නෑ.

ඒ අනුව අක්‍රමික ගණයට වැටුණ මුදල බිලියන 17.4 යි.”

+++++++++++++++++++++++++++++++++++

***************************************

ආර්ථිකය ගොඩගන්න පැහැදිලි සැළැස්මක් තියෙනවා – ගෝඨාභය

(31.08.2019 – 17:29 +0530 – sinhala.adaderana.lk)

ආර්ථිකය ගොඩගැනීම සඳහා පැහැදිලි සැළැස්මක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුව පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (31) කොළඹදී පැවැත්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ත්‍රිරෝද රථ රියදුරු සංවිධාන අතර හමුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එක් කොටසකට පමණක් සීමා නොවු ජනතාව කේන්ද්‍ර කරගනිමින් සකස් වු ආර්ථික සැළැස්මක් පොදු ජන පෙරමුණ සතුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

හොඳ ආර්ථික සැළැස්මක් නම් සෑම ජන කොට්ඨාශයක්ම ඉහළට ගෙන ආ හැකි විය යුතු බවත් සංඛ්‍යාලේකන වලින් පමණක් ආර්ථිකය දෙස බැලිය නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඉදිරියේ දී පත්වන රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට ජනතා අවශ්‍යතා පිළිබඳ සලකා බලා ඒ සඳහා ගැළපෙන ආකාරයේ ආර්ථික සැළැස්මක් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

උකුසු ඇසට හසුවු අධිවේගයේ කප්පම් ගැනිල්ල

(31.08.2019 – 19:00 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බස් නැවතුම් පොලේ දෛනිකව සිදුකෙරෙන බස් රථ ගමන්වාර සංඛ්‍යාව 60 කට අධිකයි.

මේ සෑම ගමන් වාරයක්ම ආරම්භ කරන්නේ, කප්පම් ලබාදීමෙන් බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

එම ස්ථානයට යන අපට එය තහවුරු කරගැනීටම වැඩි වේලාවක් ගතවූයේ නැත.

එක් ගමන් වාරයකින් කම්පම්කරුවන් ලබාගන්නා මුදල රුපියල් 200 ක්.

එම ස්ථානයේ ක්‍රියාත්මක වන්නේ එක් කප්පම්කරුවෙකු නොවේ.

මෙම කප්පම් ගැනීම මාතරට පමණක් සීමා වූවක් ද නොවේ.

සෑම ප්‍රධාන බස් නැවතුම්පොළකම පාහේ මෙවැනි සිද්ධීන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙයි.

බස් රථවලින් කප්පම් ගැනීම වැලැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය, පොලිසියට හෝ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ගෙන ඇති පියවර මොනවා ද?

සමාජය ඉදිරියේ අමු අමුවේ සිදුවන මෙවැනි මුදල් ගසාකෑම් නවත්වන්නේ කවදා ද?

මේ පිළිබද අද දෙරණ උකුස්සා අවධානයෙන්…

***************************************

වසර 200 කින් පසු පෘථිවිය බේරාගන්නා මෙහෙයුමට එක්වූ මේඝ

(31.08.2019 – 20:50 +0530 – hirunews.lk/sinhala)

විද්‍යාඥයින් ලෙසින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය බුද්ධිමතුන් ගණන අපේ ඉතිහාසයේ සුලභ නැහැ.

නමුත් නාසා ආයතනය හා සම්බන්ධවී සඳ තරණයේදී පවා අපේ රටේ නාමය සනිටුහන් කළ විද්‍යාඥයින් සිටිනවා.

මේ එවන් දිගු ගමනකට පියවර තබන දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික දරුවෙකු පිළිබඳ තොරතුයි.

අහස, සඳ, තරු පිළිබඳව දෑස් අයා බලා සිටින්නට අපි කවුරුත් කැමතියි.

නමුත් ඒ අජීවි වස්තූන් අතර පවතින විද්‍යාත්මක සබඳතා පිලිබද සොයා බලා ඒ නොතිත් ආශාව සංසිඳුවා ගන්නට හැකිවන්නේ කීයෙන් කීදෙනාටද ?

මේ කුඩා වයසේදීම ඒ නොතිත් ආශාව සපුරාගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය අවුරුදු 9 ක් වන මේඝ මහීම විජේවර්ධන.

ඔහු ඕස්ට්‍රේලියාවේ සිටින ලාබාලතම ව්‍යවසායකයා විතරක් නෙවෙයි නාසා ආයතනයේ, ඕස්ට්‍රේලියාව සදහා පත් කර ඇති එකම ලාබාලතම අභ්‍යාවකාශ ව්‍යාපෘති තානාපතිවරයායි.

***************************************

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි – ගෝඨාභය

(01.09.2019 – 10:15 +0530 – sinhala.adaderana.lk)

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට පිහිටුවා ඇති ආයතන ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරිම වෙනුවට දේශපාලනික අවශ්‍යතා සඳහා භාවිතා කිරිමට ඉඩනොදිය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතීඥවරුන්ගේ සංගමයේ පළමු සම්මේලනය අමතමින්.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතීඥවරුන්ගේ සංගමයේ පළමු සම්මේලනය එම පක්ෂයේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

“නීතිය යන සංකල්පය ශිෂ්ඨාචාරවත් සමාජයක අත්තිවාරම යැයි කිවතොත් එය නිවැරදියි.

නීතියේ අධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය යන ඉතාමත් ස්වර්ණමය සංකල්පය ජනතාවගේ සුභ සිද්ධිය හා දියුණුව සඳහා අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යැයි පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා සඳහා යෙදවීමට තවදුරටත් ඉඩ දිය නොයුතුයි.

ඒ වෙනුවට ඒ ආයතනවලට සැබෑ ස්වාධීනත්වයක් ලබා දී ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමට නීතිඥයෙන්ගේ උපදෙස් හා සහාය බලාපොරෙත්තු වෙනවා.

එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි.

පුරවැසියා හැම විටම නීතිගරුක විය යුතුයි. නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හා පුද්ගලයන්ට බයනම් එහි ගැටලුවක් තියෙනවා.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින් නීතියට යටත්ය කියන කාරණය මතක තබා ගත යුතුයි”

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *