මැරිච්ච කොටින්ට පණ දෙන්න දඟලපු පලෙයි ‍‘දොස්තර කොටියා’ ගෙන් රහස් එළියට එයි

(31.08.2019 – mawbima.lk)

සිවුවැනි ඊළාම් යුද්ධයෙන් රට බේරාගෙන ගත වූයේ මාස කිහිපයකි. ඉන් අනතුරුව අප රටට මුහුණ දෙන්නට වූයේ ජාත්‍යන්තරය විසින් ඇති කරන ලද විශාල පීඩනයටය. එයත් නිරාකරණය කරගත් මුත් අදටත් එදා යුද ජයග්‍රහණය පිටුපස සිටි නායකයන් ඝාතනය කිරීමට දිවුරා සිටින්නන්ගෙන් අඩුවක් නැත. යුද ජයග්‍රහණයට අණදුන් හිටපු සේනාධිනායක හා ජනපති මහින්ද රාජපක්‍ෂ හා යුද ජයග්‍රහණය පසුපස ත්‍රිවිධ හමුදාවම මෙහෙයවූ හිටපු ආරක්‍ෂක ලේකම් මෙකී පාදඩයන්ගේ ප්‍රධානතම ඉලක්කයන් වේ. දැන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරි ජනපති සටනට පැමිණ ඇති බැවින් ඩයස්පෝරා කොටි පාදඩ රැල මරු විකල් වී ඇති වගක් පෙනෙන්නට තිබේ. යම් හෙයකින් ඔහු මැතිවරණය ජයග්‍රහණය කළහොත් පසුගිය යහපාලන රජය සමයේ නැටූ නැටුම් සියල්ලම අවසන් වන බව ඔවුහු හොඳින්ම දනිති.

ඒ එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් දිනයයි. සෑම වසරකම මැයි මස 13 වැනිදා ඔවුන්ගේ මහවිරු සැමරුම යැයි කියවේ. මේ කියවෙන මහවිරු සිදුවීමට අදාළ වන වසර 2017 වසරයි. මෙවන් දිනවලට යාපනය අර්ධද්වීපයට යම් තරමක ආරක්‍ෂාව වැඩි කරන්නට ආරක්ෂක අංශ කටයුතු යොදනු ලැබේ. සුපුරුදු පරිදි එදිනද පොලිස් හා හමුදා ජංගම රථ වැඩිකොට තිබිණි. කිලිනොච්චි ප්‍රදේශයේ එලෙස ජංගම රථ යොදවන්නට පලෙයි පොලිසියටද නියෝග නිකුත් විය. දිනය අවසන් වී තල් අරඹට ඉහළින් හිරු බැස යන්නට ඔන්න මෙන්න තිබියදී පලෙයි පොලිසියේ ජංගම මුර රථයකට හිටි අඩියේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

වෙඩි ප්‍රහාරය සැඟව සිට එල්ල කළ අතර ප්‍රහාරය එල්ල කළවුන් සැණෙකින් සැඟව ගියේය. ඒ පිළිබඳ පොලිසිය හා බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලදී එක් විශේෂිත අනාවරණයක් සිදුවිය. අත්අඩංගුවට ගත් හා හමුදා / පොලිස් බුද්ධි අංශ හරහා ප්‍රහාරයේ මුල් සොයා යද්දී ‘වෛද්‍යවරයකු’ පිළිබඳ කියැවෙන්නට විය. සෑම තැනකදීම “ඩොක්ටර් කිව්වා…..” “ඩොක්ටර්ගේ තමයි ආයුධ” “ඩොක්ටර් තමයි ඕඩර් කළේ” ආදී ලෙස කවුදෝ ‍දොස්තර කෙනකු ගැන කියැවෙන්නට විය. මේ කියනා ඩොක්ටර් සොයා ගොස් අවසානයේ අදාළ ‘ඩොක්ටර්’ සින්නයියා සිවරූබන් නමැති එවකට පලෙයි රෝහලේ සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් නමුත් පොලිසිය අවසානයේ සාක්‍ෂි නොමැති වීමේ හේතුව මත ඔහුව මුදාහැරීමට කටයුතු කරනු ලැබිණි.

එසේ වුවද බුද්ධි අංශවල අවධානය දිගින් දිගටම සින්නයියා සිවරූබන් පිළිබඳ යොමුවී තිබිණි. ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී ස්නයිපර් ගිනි අවි දෙකක් අතුරුදන් වීම සහ ඉන්පසුව ආනන්දරාසා නමැති කොටි ත්‍රස්තවාදියකු වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේදී බෝම්බ මල්ලක් අතහැර දමා පලා යෑම ආදී මේ වනවිට බුද්ධි අංශවල දැඩි අවධානය යොමු වී තිබීමද සින්නයියා සිවරූබන් පිළිබඳ අමතක නොකිරීමට ප්‍රබල හේතු බවට පත්විය. මේ සියල්ල මැද රටටම හොරා ප්‍රතිසංවිධානය වෙමින් පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විදේශගත කොටි ත්‍රස්තවාදීන්ගේ සැලසුමකට අනුව ප්‍රභූ ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරක් බුද්ධි අංශ වෙත ලැබෙනුයේ මේ අතරතුරය.

ඒ අනුව එතෙක් තමන් සන්තකයේ තිබූ සියලු තොරතුරු විශ්ලේෂණය කිරීමට බුද්ධි අංශ පියවර ගනු ලැබීය. එහිදී බුද්ධි අංශවලට පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි සින්නයියා සිවරූබන් පිළිබඳ මතු වන්නේ ප්‍රබල සැකයකි. යාපනය ප්‍රදේශයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසුව මඩකළපුව ප්‍රදේශයට ගොස් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ එක්වී ත්‍රස්තවාදී පුහුණුව ලැබූවකු බවත් පසුව යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ අයෙකු බවත් ඔහුගේ ඉතිහාසය සොයා බැලීමේදී බුද්ධි අංශ ඒ වනවිටද අනාවරණය කරගෙන තිබුණකි. ඔහු කෙරෙහි බරපතළ සැකයක් මතුවීමට එම ඉතිහාස කතාව ප්‍රබල හේතුවක් විය. ඒ අනුව වෛද්‍ය සින්නයියා සිවරූබන් පිළිබඳ බුද්ධි අංශ ඇස යොමු කිරීමේදී ස්විස් කොටි ජාලය ඇතුළු විදේශගත කොටි ත්‍රස්තවාදීන් හා සබඳතා පවත්වමින් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ‘සිරංජි මාස්ටර්’ගේ සැලසුම් අනුව එල්.ටී.ටී.ඊ.ය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ මහ මොළකරු ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින්නේ පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් බව අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සමත් විය. එකී හෙළිදරව්වත් සමඟ සින්නයියා සිවරූබන් නමැති කොටි ත්‍රස්තවාදියා කොටු කර ගැනීමේ ක්‍රියාන්විතයක් බුද්ධි අංශ සහ පොලිස් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මඟින් ආරම්භ කෙරිණි. එහිදී ආරක්‍ෂක අංශවල පළමු උත්සාහය වූයේ ඔහුව පලෙයි රෝහලේදීම කොටු කර ගැනීමයි. එහෙත් බුද්ධි අංශ ගනු ලැබූ එම උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ මෝටර් රථයකින් යාපනය දෙසට යමින් සිටියදී පොලිස් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය සහ බුද්ධි අංශ එක්ව අලිමංකඩ ප්‍රදේශයේදී සින්නයියා සිවරූබන් කොටු කරගනු ලැබීය.

සින්නයියා පිළිබඳ වඩාත් වැදගත් තොරතුරු හෙළි වන්නේ ඉන්පසුවය. මෙලෙස අත්අඩංගුවට ගත් සින්නයියා සිවරූබන් අන් කිසිවකු නොව ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ අයකු වග මුලින්ම හෙළි විය. මෙරට වෛද්‍ය සභාවේ අංක 25649 යටතේ ලියාපදිංචිව සිටිනා ඔහු සිය වෛද්‍ය උපාධිය ලබාගන්නේ යාපනය විශ්වවිද්‍යාලයෙනි. ප්‍රභාකරන් මියයෑමෙන් පසු පුනරුත්ථාපනය වූ හා විදෙස් රටවලට පැනගොස් සිටිනා ‘රාධා’ බළකායේ අණදීමේ බලය ලැබී ඇත්තේද සින්නයියාට බව ඉන්පසු හෙළි විය. කොටි ත්‍රස්තයන් අතර සිටි පුහුණුව හා තාක්‍ෂණය වැඩිම පිරිස වූයේ රාධා බළකායයි. රාධා බළකායේ සියල්ලන්ම ඕනෑම මොහොතක මරාගෙන මැරෙන්නට දිවුරුම් දුන් පිරිසකි. ඔවුන්ට භාර වූ වගකීම වූයේ මහ කොටියා වූ ප්‍රභාකරන්ගේ ආරක්‍ෂාවයි. 2009 දී ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු නොනැසී සිටි රාධා කොටි බළකායේ සාමාජිකයන් එකතු කිරීම ‍දොස්තර සිවරූබන්ගේ සැලසුම විය. ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් ප්‍රංශයේ දෙමළ ඩයස්පෝරාවෙන් ලැබිණි. පාර්ශ්ව දෙකම එකතු කර රාධා සාමාජිකයන් ලවා ප්‍රභූ ඝාතනයකට මඟ සැදුවේ ‍දොස්තර සිවරූබන්ය.

මෙතරම් වගකීමක් ‍දොස්තර සිවරූබන්ට ලැබෙන්නටද හේතුවක් තිබේ. එනම්, සිවරූබන් යනු ප්‍රභාකරන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා යැයිද කියැවේ. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවකු ලෙස පුහුණු වීමේදී මෙම පුද්ගලයාට වියදම් කර ඇත්තේ කොටි සංවිධානය යැයි බුද්ධි අංශවලින් හෙළි කරගෙන තිබිණි. ඊට අමතරව වෛද්‍යවරයාගේ පවුලේ අයටත් කොටි සංවිධානය විසින් විශේෂ පහසුකම් සපයනු ලැබ ඇත. සෑම දෙමළ පවුලකම සිටිනා තරුණ හෝ ළමා පිරිමි අයවලුන් සංවිධානයට බැඳිය යුතුය යන නීතිය සිවරූබන්ගේ පවුලට තිබුණේ නැත. ප්‍රභාකරන් හමුවීමට ඕනෑම මොහොතක යෑමට හැකියාව තිබූ සීමිත කිහිපදෙනා අතර සිවරූබන් සිට සිට ඇතිමුත් මෙතෙක් කලක් ඔහුව හඳුනාගන්නට නොහැකිව ඇත්තේද අපූරු හේතුවක් නිසාවෙනි. එනම්, සිවරූබන් ප්‍රභාකරන් මුණගැසෙනා තැන, වේලාව ඔවුන් දෙදෙනා පමණක් දන්නා කරුණක්ව තිබී ඇත. එය අවම වශයෙන් ප්‍රභාකරන්ගේ ආරක්‍ෂාව භාරව සිටි රාධා කර්නල්වරයා හෝ නොදැන සිටි රහසකි. ප්‍රභාකරන්ගෙන් පසුව සංවිධානය නැවත සක්‍රිය කිරීමට බොහෝ ඩයස්පෝරා සාමාජිකයන් ‍දොස්තර සිවරූබන්ට මැදිහත් වන්නැයි ආරාධනා කළද පැවැති රජයට තිබූ බිය නිසා එසේ සිදුකර නැත. යහපාලන රජය යටතේ දෙමළ ජාතික සන්ධානය හරහා කොටි ඩයස්පෝරාවට ලැබුණු අසීමිත බලය සමඟ සිවරූබන් සිය මෙහෙයුම් ආරම්භ කොට තිබේ.

යම් හෙයකින්, ඉදිරි මැතිවරණයකදී යහපාලන රජයේ බලය ගිලිහී ගියහොත් තම සැලසුම් කඩා වැටෙන බැවින් ඊට අභියෝගයක් වන අයවලුන් ඝාතනය කළ යුතු යැයි ඩයස්පෝරාව තීරණය කර ඇත. සිවරූබන් රාධා බළකායේ සාමාජිකයන් ලවා ප්‍රභූ ඝාතනයකට සූදානම් වන්නේ ඒ අනුවය. ඔඩ්ඩුසුඩාන්වල පසුගිය ජුනි 22 වැනිදා අසු වූ එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්වලට අයත් දිනේෂ්, කරන් ගෙන් කොටි ජාලයේ ප්‍රබල චරිතයක් ලෙස මෙම වෛද්‍යවරයා කටයුතු කර ඇතැයි හෙළි වී තිබේ. ඔඩ්ඩුසුඩාන් කොටි කණ්ඩායම යටතේ මෙහෙය වූ කණ්ඩායම් විසින් නවීකරණය කරන ලද ස්නයිපර් අවියක් ඇතුළු ස්නයිපර් අවි දෙකක් ප්‍රභූ ඝාතනයකට යොදා ගැනීමට සූදානම් වූ බවට අනාවරණය වූ අතර එය පොහොට්ටුවේ ජනපති අපේක්ෂක හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනයට යෙද වූ බවටද හෙළි විය. එම ඉලක්ක අතර නැඟෙනහිර හිටපු කොටි සන්නද්ධ නායක කරුණා අම්මාන්ද වූ බව බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණි. ස්නයිපර් අවි ක්‍රියාත්මක කිරීම සඳහා වෙඩික්කරුවන් තෝරා ඇත්තේ මෙම වෛද්‍යවරයා බවට බුද්ධි තොරතුරු ඇති අතර ඔහු සීෆෝ වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ඉදිරි ප්‍රහාරයන් සඳහා එකතු කරමින් යන බවටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හා බුද්ධි අංශවලටද තොරතුරු ලැබී තිබිණි. එම තොරතුරු අනුව යමින් වෛද්‍යවරයාගේ කටඋත්තර අනුව මුහුදේ ගිල්වා තිබූ සීෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය තොගයක් පසුගියදා සොයා ගැනිණි. මෙහි සීෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ පහළොවක් ඇති බවට තොරතුරු මත නාවික හමුදා යාත්‍රා යොදවා මුහුදට දමා තිබූ බෑගය සොයාගෙන ඇත. වැලිත් සමඟ කලවම් වී ඇති නිසා මේවා රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා විට සේවය කළේ යාපනය, පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙසය. රිවිරැස මෙහෙයුමේදී තුවාල ලබන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හට ප්‍රතිකාර ලබාදීමද කර ඇත්තේ සිවරූබන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියයි. යුද සමයේ කිලිනොච්චියට පැන සිටි ඔහු වන්නි අවසන් සටනින් පසු අවතැන් කඳවුරක සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි අයෙකි. පසුව පුනරුත්ථාපනය වී නැවත සමාජගත වී තිබේ. මෙම වෛද්‍යවරයා අල්ජසීරා රූපවාහිනියට ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කරන බවට ප්‍රකාශ පවා ලබාදී තිබූ අයකු ලෙස හඳුනාගෙන තිබෙන අතර එම කාලසීමාවේදී ඔහු මුලතිව් ප්‍රදේශයේ වැඩ බලන අධිකරණ වෛද්‍යවරයා ලෙස සේවය කොට තිබේ. මුලතිව් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් සිදු කරන ලද සමූහ මිනීවළක් යුද හමුදාවේ ගිණුමට බැර කරන්නටද මොහු උත්සාහ කර ඇත. ඒ රොයිටර් පුවත් සේවයට ව්‍යාජ සාක්‍ෂි ලබාදෙමිනි.

ඔහුගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ එතෙක් නොකියැවුණු කාරණා රැසක්ම එළියට එන්නට විය. ඔහු විසින් සඟවනු ලැබ තිබූ ආයුධ රැසක් අත්අඩංගුවට ගන්නේ පසුගිය 27 වැනිදාය. පලෙයි, කරණ්ඩිය ප්‍රදේශයේ වළදමා තිබූ ඒ.කේ. 47 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් එම ගිනි අවියට යොදන මැගසින් 02 ක්, ජීව උණ්ඩ 120 ක්, අත්බෝම්බ 11 ක් සහ පී.ඊ. 10 වශයෙන් හඳුන්වන අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 10 ක් ඇතුළු අවි ආයුධ තොගයක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගියදා (26 දා) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය තොගයට අමතරව දුරදක්නයක්ද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

ඒ අනුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එලෙස ප්‍රවාහනය කිරීමට භාරදුන් අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය වළදමා ඇති පලෙයි, කරණ්ඩිය ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳ තොරතුරු හෙළි කොට ගෙන ඇති අතර ඔහුගේ මඟපෙන්වීම යටතේ පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ ස්ථානයක් හාරා සිදුකළ සෝදිසියකදී අදාළ පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගය සොයාගෙන ඇත. සිවරූබන් විසින් සිදු කරන ලද හෙළිදරව් අතර තවත් අපූරු කතාවක් වූයේ යුද සමයේ ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනයයි. ඒ සඳහාද ‘වෛද්‍යවරයා’ යන්න තමන් භාවිත කළ බව ඔහු පිළිගෙන තිබේ. එසේම ඒ සඳහා රජයේ රෝහල්වල තිබූ ගිලන් රථ භාවිත කොට ඇද්ද යන සැකය දැන් මතුව ඇත. එසේම, මානුෂීය මෙහෙයුමේ අවසන් සමයේ, කොටු වූ ත්‍රස්ත නායකයා ගිලන් රථයක් භාවිත කොට පැන යන්නට උත්සාහ කළ වග කියැවිණි. එම සැලැසුමේ පිටුපසද සිවරූබන් සිටි බවට සැක පහළ වෙමින් තිබේ. සිවරූබන්ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සිදුව ඇත්තේ 2009 වසරේ වීම මෙහිදී සැලකිල්ලට ලක්ව ඇත. මානුෂීය මෙහෙයුම සමයේ යුද ප්‍රදේශවල පවා සෞඛ්‍ය සේවා ලාංඡන සහිත රථවලට හා පුද්ගලයන්ට විශාල නිදහසක් ලබාදෙන්නට ආරක්‍ෂක අංශ කටයුතු යොදා තිබිණි. කොටි ත්‍රස්තයන් මෙලෙස වාසි ලබාගෙන ඇත්තේ එකී නිදහසෙනි.

සිවරූබන් සිය රෝහල් රැකියාව අතරතුර තම සැලැසුම් ක්‍රියාත්මක කරමින් සිට ඇත. ඒ වෙනුවෙන් ඔහුට සේවය සැපයූ පුද්ගලයන්ගේ නම්ද සිවරූබන්ගේ කටින් කියැවෙන්නේ ඉන්පසුවය. සින්නමනී කනේෂ්වරන්, ඉරත්තිනම් ක්‍රිෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්නතුරේ හා විනයාගමූර්ති නෙජිලන් යන අය අත්අඩංගුවට පත්වන්නේ එලෙස කියැවුණු නම් නිසාවෙනි. මේ සියල්ල මැද ඉදිරියටත් පරීක්‍ෂණ කටයුතු සිදුවෙමින් තිබේ.

– ප්‍රසාද් අබේවික්‍රම

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාට කුරුමානම් ඇල්ලූ අප්පන්-අයියාර් කොටි පිල්ලි

(24.08.2019 – mawbima.lk)

ඉදිරි ජනාධිපතිවරණයේ උණුසුමින් දැනටමත් රට වෙළී ගොස් අවසන්ය. ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු දැනටම කරළියට පැමිණ සිටිනා අතරේ තවත් අපේක්ෂකයකු ඒ සඳහා සිය පක්ෂය සමඟ සටනේය. මේ අතරින් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණය අපේක්ෂකයකු වශයෙන් නම් විය. වත්මන වනවිට ඔහු ජනපති අපේක්ෂකයකු වුවද, අමතක නොකළ යුතු කාරණය වන්නේ ඔහු සිවුවැනි ඊළාම් යුද්ධය අවසන් කළ ආරක්ෂක ලේකම්වරයා වගය. එකල ඔහුට සැදුණු සතුරන් අදටත් ඔහු පසුපස එන්නේ කිසියම්ම මොහොතක හෝ සිය පාදඩ අපේක්ෂාවන් සපුරා ගැනීමේ අභිලාෂයෙන් විය හැකිය. ගෝඨාභයගේ ආරක්ෂාවේ හිස්තැනකින් ප්‍රයෝජන ගන්නට පැමිණි කපටි කොටියකු මෙරට ආරක්ෂක බුද්ධි අංශවලට හසු වූයේ පසුගියදාය.

ඔඩ්ඩුසුඩාන්, පුලියන්කුලම් යන ප්‍රදේශවලින් අවි ආයුධ හමුවීම්, චාවකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හමුවීම, ගෝපි, අප්පන් තේවියන්ගේ කණ්ඩායම් හිස එසවීම ඇතුළු සිදුවීම් ගණනාවකට පසුව නිද්‍රාශීලී කොටි ත්‍රස්තයන් ඇහැරවන්නට උත්සාහ ගත් හත්වැනි අවස්ථාව එළියට එන්නේ ‘කූගන් සාමි’ හෙවත් ‘අයියර්’ ආරක්ෂක දැලට හසුවීමත් සමඟය. කූගන් සාමි හෙවත් කනපති කදිරවේලි යනු ඊ.පී.ඩී.පී. පක්ෂයෙන් දේශපාලනයට පිවිස, විග්නේශ්වරන් උතුරේ මහ ඇමැති වෙද්දී දෙමළ සන්ධාන ඡන්ද කැඩීමට ස්වාධීනව ඡන්දයට පිවිසුණු අයෙකි.

අපචාර හා වංචාව සම්බන්ධයෙන් සිරගතව සිටියදී කූගන් සාමි හෙවත් අයියර්ට, වේන්ද්‍රන් හෙවත් අප්පන් හා කාර්තික් යන කොටි ක්‍රියාකාරීන් මුණගැසෙන්නේ වැලිකඩ සිරගෙදරදීය. අයියර් අත්අඩංගුවට ගන්නා මෙහෙයුම රාජ්‍ය ඔත්තු සේවාව හා කොළඹ අපරාධ කොට්ඨාසය එක්ව ක්‍රියාත්මක කරන්නට යෙදුණි. අයියර් අත්අඩංගුවට ගන්නට පෙර එම කණ්ඩායමේ ප්‍රබලයා වන වේන්ද්‍රන් හෙවත් අප්පන් කොටු කරන්නේ පෙබරවාරි 28 දා මන්නාරමේදීය. අප්පන් අල්ලන්නට දින තුනකට කලින් පසුගිය පෙබරවාරි 25 දා ආරක්ෂක අංශ කිලිනොච්චියේ වට්ටකච්ච නිවෙසකදී අල්ලාගත් කල්‍යාණි කුමාරි ශෂිකලා හෙවත් රූබි මාර්ගයෙන් කිලෝ දහයක ක්ලේමෝ බෝම්බයක්ද සොයා ගත්තේය.

අප්පන්ගේ තොරතුරු මත වේයන්ගොඩදී අල්ලාගත් කොටි පිස්තෝලකරුවකු ලෙස පුහුණුව ලද බව කියන අයකු අත්අඩංගුවට පත්විය. ඔහු නම් වීරාය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ අපූරු කරුණක් විය. එනම් කොටි පිස්තෝලකරුවා වූ වීරා දකුණේ ඝාතන සඳහාද ඒ වන විටත් යොදාගෙන තිබූ බවය. 2017 ජනවාරි 05 දා පාතාල කල්ලිවල කොන්ත්‍රාත් ඝාතනයකටද වීරා නමැති කොටි පිස්තෝලකරු යොදාගෙන ඇත්තේ අංගොඩදී රත්තරන් නමැති අයෙක් ඝාතනය කරන්නටය.

කඩුවෙල සමයංගේ කල්ලියට සම්බන්ධ ගොත අසංකලාගේ ඉල්ලීම මත රත්තරන් නමැත්තා ඝාතනය කරන්නේ දැනට ඩුබායිහි සැඟව සිටින බවට සැක කෙරෙන අංගොඩ ලොක්කා ගෙන් පළිගන්නටය. අතුරුගිරියේදී අංගොඩ ලොක්කාගේ කල්ලියේ සිටි අතුරුගිරියේ බණ්ඩාට සැලුන් මංජුලාගේ සහායෙන් වෙඩි තබන්ට වීරා හා අප්පන් යොදවන්නේ ඒ වන විට ජීවතුන් අතර සිටි කඩුවෙල සමයංය. සැලුන් මංජුලාද සිය ජිවිතයෙන් වන්දි ගෙවන්නේ මෙකී සහායට මැදිහත් වීම නිසාය. කළුතර එතනමඩලදී මාකඳුරේ මධුෂ්ගේ සහාය ඇතිව අංගොඩ ලොක්කා කල්ලිය බන්ධනාගාර බස් රථයට පහරදී සමයං ඇතුළු පිරිසක් ඝාතනය කරන්නේත් රත්තරන් හා බණ්ඩාගේ ඝාතනවල පළියගන්නට බවද කියැවේ. ඊට අමතරව මධුෂ්ගේ ප්‍රාණසම මිතුරා වූ මාතර යසස් ඝාතනයද මෙලෙස සමයං එලොව යන්නට හේතුවන බව කියැවේ.

2009 යුද ජයග්‍රහණයට පෙර අයුරින්ම දකුණේ පාතාල කල්ලි අතරට එල්ටීටීඊයේ අවි ආයුධ හා වෙඩික්කරුවන් රිංගන්නේ කොටි ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුමක් මතය. ඒ අනුව දකුණට අවි ආයුධ රැගෙන යෑම හා යුද සමයේ කොටි ත්‍රස්තයන් වළ දැමූ අවි ආයුධ එක් රැස්කිරීම ඩයස්පෝරාව විවිධ කණ්ඩායම්වලට පවරා තිබුණේය. මෙම කල්ලිය මෙහෙයවීම භාරදී තිබුණේ ඉන්දියාවේ සිට පැමිණි ආනන්ද රාසා හා ශංකර්ටය. කූගන් සාමි හෙවත් අයියර් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියෙකි. මුලින් කී පරිදි ඔහු මෙරටට පැමිණෙන්නේ පූජකයකු ලෙස කටයුතු කරනා මුවාවෙනි. කූගන් සාමිට ඒ වන විට වැලිකඩ බන්ධනාගාරයේදී හඳුනාගෙන සිටි කාර්තික් කොටි සංවිධානයේ නිද්‍රාශීලී ත්‍රස්තයන් නැඟිට්ටවන මෙහෙයුමට ආනන්ද රාසා හා ශංකර් සමඟ එක්වූ කොටි ත්‍රස්තයකු වන්නේය. කාර්තික් හා එක්ව දකුණේ දේශපාලකයකු ඝාතනය කරන්නට සැලැසුම භාර වන්නේ වේන්ද්‍රන් හෙවත් අප්පන් හා අයියර්ටය.

ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි හෙවත් අප්පන් නෙරන්ජන් නමැත්තා වේන්ද්‍රන් නමින්ද පෙනී සිටි අයෙකි. අප්පන්ගේ ළඟම සගයා කඩුවෙල පාතාලයට සම්බන්ධ විත්තා හෙවත් විදුරංගය. කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරබත් කද්දී දෙමටගොඩ චමින්ද, අප්පන්ට ගහන්නට යද්දී බේරාගෙන ඇත්තේ විත්තා නිසා අප්පන් හෙවත් වේන්ද්‍රන්ගේ සිරුරේ බිරියගේ, මවගේ නමට අමතරව විත්තාගේ නම පවා කොටාගෙන තිබුණේය. වේන්ද්‍රන්, විත්තා මාර්ගයෙන් ගණේමුල්ල සංජීවගේ පාතාල කණ්ඩායම සමඟ සබඳතා ඇති කරගෙන උතුරට හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය විකුණන ජාවාරමක් ආරම්භ කළේ මේ අතරේය. මෙකී ජවාරම් වෙනුවෙන් උතුරට නිතර යන එන වේන්ද්‍රන්, උතුරේ කොටින් විසින් එකල වළ දමා තිබී ගොඩගන්නා අවි ආයුධ දකුණට රැගෙනවිත් ගණේමුල්ල සංජීව හා විත්තාට ලබා දෙන්නේ මුදල්වලටය. දැනට ඇති තොරතුරුවලට අනුව ඉදිරි ප්‍රයෝජන සඳහා ගිනි අවි විස්සක් සංජීවට ලබාදී ගොත අසංකගේ පාතාල කණ්ඩායමටත් රුපියල් ලක්ෂ දෙකහමාරකට අවි ආයුධ දෙන අතරේ විත්තාටත් මයික්‍රෝ පිස්තෝලයක්ද දී ඇත්තේ වේන්ද්‍රන්ගේ හිතවත්කමටය.

වේන්ද්‍රන් උතුරේ අවි ආයුධ එක්රැස් කර පාතාලය හා බෙදන ජාවාරමට අමතරව යුරෝපා රටවලට දෙමළ ජාතිකයන් මුහුදෙන් පටවන ජාවාරමද කරගෙන ගොස් තිබුණේය. නාවික හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් පවා අප්පන්ගේ මිතුරන් කරගෙන තිබුණේ මෙම ජාවාරම්වලටය.

වේන්ද්‍රන් මෙලෙස ඉලක්කයක් කරා යද්දී කුගන් සාමි හෙවත් අයියර්ට පැවරී තිබුණේ වඩාත් භයානකම ඉලක්කයක් විය. එනම් පොදුජන පෙරමුණට එක්වී ඉදිරි ඉලක්කයක් සඳහා පිරිස සූදානම් කරවීමටය. කොටි ජාත්‍යන්තර ජාලය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කරන්නට වූ සැලසුමක් ඔඩ්ඩුසුඩාන්වලදී පසුගිය වසරේ ජුනි 22 දා අවි ආයුධ සමඟ අල්ලාගත් කොටි ත්‍රස්තයන් සම්බන්ධ කළ විමර්ශනවලදී අනාවරණය විය. ජාතික ආරක්ෂක කවුන්සිලයේදී පවා ඔඩ්ඩුසුඩාන්හි කොටි හිස එසවීම කල්තියා හෙළි කර තිබුණද යහපාලන රජය සංහිඳියාව ඉදිරියට දමා කොටි හිස එසවීම යට ගැසීමට පටන් ගත්තේය.

එල්ටීටීඊයේ කිසිදු ප්‍රතිසංවිධානය වීමක් නොමැති බවත්, හමුදා බුද්ධි අංශය රාජපක්ෂවරුන්ගේ වුවමනාවට මෙවැන්නක් නිර්මාණය කරන බවත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජාතික ආරක්ෂක කවුන්සිලයට කීවේය. නාවක්කුලි ඇතුළු උතුරේ විහාරස්ථානවලට ක්ලේමෝ බෝම්බ අටවන්නට කොටි ත්‍රස්තයන් කළ සැලසුම් හමුදා බුද්ධි අංශ අනාවරණය කරද්දී ත්‍රස්ත විමර්ශන අංශයේ ඇතැමුන් එයත් කණපිට හැරෙව්වේය.

කොටින්ගේ ඕනෑකමටදෝ, කොටි ත්‍රස්තයන්ගේ පදයට නටමින් රට දෙකඩ කරන්නට තතනන දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් ඝාතනය කරන්නට සැලසුම් කළ බව පමණක් ත්‍රස්ත විමර්ශන ලොක්කා කියා සිටින්නට වූ අතර ඒ හරහා මැස්සෙක්වත් වහන්නේ නැති අයකුගේ ආරක්ෂාව තර කෙරිණි. ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත කොටි ත්‍රස්තයන්ගේ ප්‍රතිසංවිධානය වීමක් නොමැති බව පුන පුනා දැක්වූ ත්‍රස්ත විමර්ශන අංශයට අන්තිමේදී කටඋත්තර නැතිවිය. ඒ මාකඳුරේ මධුෂ් සමඟ එක්ව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කරන්නට කළ සැලසුමක් කරළියට ඒමත් සමඟ එහි ප්‍රධානියාව සිටි නාලක සිල්වා අත්අඩගුවට පත්විය. එනමුත් ගෝඨාභය රාජපක්ෂ ඝාතන උත්සාහය තවමත් අවසන් නැති බව හෙළිවන්නේ අයියර්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟය.

අයියර් සමඟ කොටි ජාත්‍යන්තර ජාලය මෙහෙයවූ කොටි ත්‍රස්තයන් ඇතුළු ‍දොළොස් දෙනකු දැන් කොළඹට ගෙනවිත් විමර්ශනය කරමින් තිබෙන්නේය. කූගන් සාමි හෙවත් අයියර්ගේ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන කාරණා බියජනක පුදුමයක් ගෙනුදෙනු ඇත. ඔහුට අනුව, ඔහු පොහොට්ටු සාමාජිකත්වය ගත් පසුව ප්‍රධාන රැස්වීම් රැසකදීම ඔහුට පූජකයකු නිසා මුල්පෙළේම පුටු ලැබී ඇත. පසුගිය රැවීම්වල ප්‍රභූවරුන්ට ලැබෙන විශේෂ ආසන කූගන් සාමිට ලැබී ඇත. පූජකකමට මුවාවී රැස්වීම්වලට පැමිණි කූගන් සාමි ජාත්‍යන්තර කොටි ජාලයේ සැලසුමට අනුව කාර්තික් නමැති කොටියාට හා වේන්ද්‍රන් නමැත්තාටත් පොහොට්ටු පක්ෂ සාමාජිකත්වය ලබාදී ඇත. එපමණක් නොවේ, තම සාමාජිකයන්ට හැඳුනුම්පත් පහක් සාදා දෙන්නැයි කාර්තික් ඉල්ලා සිටි බැවින් කොටි ජාලයට සම්බන්ධ තවත් පස්දෙනකුට හැඳුනුම්පත් ලබාදී ඇත.

තමා චාවාකච්චේරියෙන් පළාත් පාලන ඡන්දයට පෙනී සිටියදී අප්පන් හෙවත් වේදන් මුදල් වියදම් කළ නිසා ඔහුට පක්ෂ සාමාජිකත්වය ලබාගෙන දුන් බව කූගන් සාමි හෙළි කරන්නේය. වේන්ද්‍රන් එලෙස වියදම් කළ මුදල් ගලා එන්නේ කොටි ජාත්‍යන්තර ජාලය පසුපස සිටින දෙමළ ඩයස්පෝරාවෙන්ය. බුද්ධි අංශ කළ විමර්ශනයට අනුව තහවුරු වන්නේ දීර්ඝකාලීන සැලසුමක් මත කූගන් සාමි හෙවත් අයියර් දේශපාලනයට එවා ඇති බවය. ඉදිරි පෙළ අසුන් ලැබෙන අයියර්, තමා විසින් පක්ෂ සාමාජිකත්වය ලබාදුන් කොටි ත්‍රස්තයන් දිගින් දිගටම රැස්වීම්වලට රැගෙනවිත් ආරක්ෂක අංශවලට නිරන්තරයෙන් හුරු කරවීම එහි මුල් සැලසුමය. දිගින් දිගටම එද්දී සැකයට පත් නොවන නිසා මොවුන් යොදවා ඡන්ද රැස්වීමකදී ප්‍රබල ඉලක්කයක් ගැනීම ජාත්‍යන්තර කොටි ජාලයේ සැලසුම වූ බව බුද්ධි අංශ අනාවරණය කරන්නේය.

බුද්ධි අංශ සැකකරන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරි ජනපතිවරණයට ඡන්ද වේදිකාවට එද්දී ඉලක්කයක් ගැනීම ඔවුන්ගේ සැලසුම විය හැකි බවය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිත තර්ජනය පහව ගොස් නොමැති බවය. බුද්ධි අංශ අනතුරු අඟවන්නේත් මේ නිසාය. ඉදිරියේදී ඡන්ද රැස්වීම්වලදී මෙම ප්‍රභූවරුන් ජනතාව අතරට යද්දී ඉලක්ක ගැනීමට මේ කියන පාතාල කොටි සෙවණැලි උත්සාහ ගත හැකි බව බුද්ධි අංශවල සැකය වී තිබේ.

– ප්‍රසාද් අබේවික්‍රම

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *