ලෙයින් නැහැවුණු තවත් දවසකට කුරුමානම් ඇල්ලූ අක්බාර් කල්ලිය

(31.08.2019 – mawbima.lk)

බංග්ලාදේශය මුස්ලිම් රටකි. එහි ප‍්‍රධානම ආගම වන්නේද ඉස්ලාම් ආගමයි. එහෙව් බංග්ලාදේශය 2013 වසරේදී ලෝකයේම අවධානයට ලක්වූ නඩු තීන්දුවක් දුනි. එරට ප‍්‍රධානතම ආගමික සංවිධානයක් වූ “ජමාතේ ඉස්ලාමි” සංවිධානයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කෙරිණි. එපමණක්ද නොවේ රට තුළ ආගමික ඇදැහීම්වලට මුවා වී සිදුකළ අපරාධ වෙනුවෙන් අදාළ සංවිධානයේ නායකයන්ට අපරාධ නඩු අසා දඬුවම්ද දුන්නේය. බංග්ලාදේශය එසේ වෙද්දී මේ කියනා ජමාතේ ඉස්ලාමි සංවිධානයේ ඉන්දියානු ශාඛාවද ඉන්දියාව තුළ වරක් නොව, දෙවරක්ම තහනම් විය. තහනම් වූ අවස්ථාවන්හි අධිකරණයේ පිහිටෙන් නැවත තහනම ඉවත් කරගන්නා සංවිධානය දෙවැනි වරටද තහනම් වේ. ඒ සියල්ල මැද ජමාතේ ඉස්ලාමි සංවිධානයේ ශ‍්‍රී ලංකා ශාඛාවේ ලොකු තැන අත්අඩංගුවට පත්වන්නේ පසුගිය සතියේය.

අයි.එස්.අයි.එස්. සංවිධානය ඇතුළු අන්තවාදී ගරිල්ලා සංවිධාන සමඟ සබඳකම් පවත්වමින් රටවල් හැත්තෑනවයක් පුරා විහිදී ඇති ජමාත් ඊ ඉස්ලාම් සංවිධානයේ ශ‍්‍රී ලංකාව නියෝජනය කළ නායකයා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද බුද්ධි තොරතුරක් මත මෙම පුද්ගලයා මාවනැල්ල, මුරුතවෙල පිහිටි ඔහුගේ නිවෙසේදී පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙරට අන්තවාදී කණ්ඩායම් මෙහෙයවූ නායකයකු බව හෙළිවී ඇත. පනස් නව හැවිරිදි රෂි හජ්පුල් අක්බාර් නමැති මෙම නායකයාගේ මෙහෙයවීමෙන් සහරාන් සමඟ පුපුරුවාගත් අන්තවාදීන් සමඟ මොහුගේ කණ්ඩායම්ද විදෙස් පුහුණුවට යවා ඇති බව අනාවරණය කරගෙන ඇත. සිරියා, තුර්කි, චෙච්නියා රටවලදී ගරිල්ලා පුහුණුව ලබාදීමට මෙරටින් මුස්ලිම් තරුණ කණ්ඩායම් යවා ඇත්තේද මවුලවිවරයකුද වන රෂි හජ්පුල් අක්බාර් වන මෙම සැකකරු බවට හෙළිවී තිබේ. එලෙස පුහුණුව ලැබූවන් මේ වෙද්දී රට පුරාම විවිධ ස්ථානවලින් අත්අඩංගුවට ගනිමින් සිටී. අම්පාර, මාවනැල්ල, මඩකළපුව, හම්බන්තොට ආදී ලෙස රට පුරාම විහිදී ඇති පරිදි මෙලෙස පුහුණුව ලැබූවන් ස්ථානගත කර තිබේ. අත්අඩංගුවට පත්වෙන්නන් පවා තමන් සමඟ පුහුණුව ලැබූ පිරිස් ගැන නිවැරදි තොරතුරු ලබාදෙනවා යැයි විශ්වාස කළ නොහැකිය. පුහුණුව ලැබූවන් ප‍්‍රමාණය සියයයක් නම් ඔවුන් ඉන් දහදෙනකුගේ පමණ නම් කියා නිහඬ වේ.

මෙකී කාරණා සියල්ලටම අවශ්‍ය මුදල්ද මෙරටට ලැබෙන්නේ වෙනත් අභිලාෂයන් ලෙස පෙන්වමිනි. පසුගිය සතියේ රටේ ජාතික මාධ්‍ය වාර්තා කළේ හිස්බුල්ලාගේ මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය හදන්නට යැයි කියා මෙරටට එවූ කෝටි 400 කට ආසන්න මුදලට සිදුවූ දෙයක් නැති බවය. රාජ්‍ය බැංකුවක අදාළ මුදල් තිබූ ගිණුමේ වර්තමාන ශේෂය රුපියල් පනස් දහසකටත් අඩු බව එලෙස වාර්තා විය. අවස්ථා 800 කට වැඩි ප‍්‍රමාණයකදී එම මුදල් පිටතට ගෙන තිබේ. ‘ඉන් සිදුවූයේ කුමක්දැයි සොයා බලව්. මේ රට නැවතත් කාලකණ්ණි යුද්ධයකට ඇද නොදමව්’ වැනි වදන් දැන් කියා පලක් තිබේද යන්නත් ප‍්‍රශ්නයකි.

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ කණ්ඩායමට නායකත්වය දුන් ඉබ‍්‍රාහිම් සාදික් හා ඉබ‍්‍රාහිම් සාදිත් යන අයියා-මලෝ දෙදෙනාගේ පියාගේ අයියා වන්නේ මෙම සැකකරුය. අක්බාර්ගේ බාල සොහොයුරා වූ මවුලවිවරයකු වන ඉබ‍්‍රාහිම් මාවනැල්ලේ බුදුපිළිම කැඩූ සිද්ධියට අත්අඩංගුවට ගත්තේ සාදික් හා සාදිත් ගැන විමර්ශනවලදීය. ඉබ‍්‍රාහිම් සාදික් සිරියා හා තුර්කි බලා පිටත් කර 2014 දී චෙච්නියානු ගරිල්ලා පුහුණුව ලබාදී ඇත්තේ අක්බාර් විසින් මුදල් වියදම් කරමින් බව හෙළිවී ඇත. අත්අඩංගුවට ගත් අක්බාර් හමාස් සංවිධානයේ නායකයන් හා සබඳකම් පවත්වා ඇති බවත් ඇෆ්ගන් යුද්ධයට පවා සහභාගි වී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි උදය හේමන්ත යටතේ සිදුකරන විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවේ පසුවන හජ්පුල් අක්බාර් හමාස් නායකයා ටියුනීසියා ජනාධිපතිවරයා සමඟ ගත් ඡායාරූපයක්ද ඔහු සතුව තිබී හමුවී ඇත. ඔහු ජමාත් ඉස්ලාම් සංවිධානයේ ශ‍්‍රී ලංකා නායකයා ලෙසින් විදෙස් නායකයන් හමුවී ඇතැයි හෙළිවී තිබේ. විදෙස් රටවලින් උණ්ඩියල් ක්‍රමයට මෙම සංවිධානයට මුදල් පොම්ප කර ඇතැයි හෙළිව තිබේ.

1985 දී මවුලවිවරයෙක් ලෙස එක්වී අන්තවාදී දේශනා පවත්වමින් ගිය හජ්පුල් අක්බාර් දෙමටගොඩ, මරදාන පාරේ තම ආගමික මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. මෙම මවුලවිවරයා අනෙක් ආගම්වලට එරෙහිව අන්තවාදී මතවාද පතුරන තරුණයන් විදෙස් රටවල අන්තවාදී පුහුණුවීම් වලට යවා ඇති බවත් මොවුන්ගේ ඉලක්කය වී ඇත්තේ 2027 දී මෙරට දේශපාලනික, ආර්ථික හා සන්නද්ධ අතින් බලය පැතිරවීම බවත් වැඩිදුරටත් විමර්ශනවලදී හෙළිවී ඇත. සහරාන් හදිසියේම පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමත්, මොවුන්ගේ ඉදිරි රහස් සැලසුම් හෙළිවන්නට පටන්ගෙන ඇතැයි දැනට කරන විමර්ශනවලදී හෙළිව තිබේ.

මෙකී සංවිධාන එකිනෙක සම්බන්ධ වෙමින් සිය ආගමික ඉගැන්වීම්වලට රුධිරය කා වැද්දීම කරමින් සිටින වග රටේ බොහෝ පාර්ශ්වයන් කියද්දී ඒ වග සහජීවනයෙන් හා සුළු ජාතික ඡන්දවලට කෑදරකමින් අමතක කළ රජයකින් කුමක් බලාපොරොත්තු විය හැකිද යන්නද ගැටලුවකි. ජමාතේ ඉස්ලාමි සංවිධානය හා සම්බන්ධ ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයාත් නැඟෙනහිර පළාත් නායකයාත් අත්අඩංගුවට ගන්නේ පසුගිය කාලයේය. ඒ අම්පාරේදී සහ කල්මුණේදීය. සන්නද්ධ අංශ නායකයා වන්නේ මොහොමඩ් ස්මයිල් මොහොම්මදු සල්මාන්ය. කහටගස්දිගිලියේ සම්පත්ගම පදිංචිකරුවකු වන ඔහු ප‍්‍රබල දේශපාලනඥයකුගේ ළඟම ඥාතියෙකි. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා විසින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට දුන්, ආන්දෝලනයට තුඩුදුන් දුරකථන ඇමතුමට පාදක වන්නේද ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ සන්නද්ධ අංශයේ මේ පුද්ගලයාට සම්බන්ධ ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගැනීමකි.

ඕලුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ අරාබි පීඨයේ තුන්වැනි වසරේ සිසුවකු වන ඔහුට සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකත්වය ලැබෙන්නේ සාර්ථක අවි පුහුණුවකින් පසුවය. එම පුහුණුව ඔහු ලබා ඇතැයි කියැවෙන්නේ ජාතික තව්හිද් ජමාත් නායක සහරාන්ගේ නුවරඑළියේ බ්ලැක්පූල්හි පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදීය. ටී 56 සහ පිස්තෝල භාවිත ගැන මූලික පුහුණුව එහිදී ලබා ඇති සල්මාන් වැඩිදුර පුහුණුව ලබා ඇත්තේ හම්බන්තොට පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදීය. සල්මාන්ගේ පුහුණු උපදේශක ලෙස කටයුතු කර ඇත්තේ මොහොමඩ් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් හක්ය. මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමට නායකත්වය දුන්නේද ඔහුය. වනාතවිල්ලුවේ පිහිටි පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් තිබුණේද ඔහුගේ අධීක්ෂණයෙනි. ගොවිපොළක් ලෙස පිටතට පෙනෙන්නට පවත්වාගෙන ගිය ඒ කඳවුර යොදාගෙන තිබුණේ කැලෑ සටන් පුහුණුවටය. ඒ කඳවුරේ පුහුණුකරු සාදික්ගේ සහෝදරයාය. මොහොමඩ් ඉබ‍්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් නමැති ඔහු සිරියාවට ගොස් දින 58 ක් අයි.එස්.අයි.එස්. සටන් පුහුණුව ලබා මෙරටට පැමිණි අයෙකි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු කෙරුණු මෙහෙයුම්වලදී ගම්පොළ පැත්තේ සපත්තු වෙළෙඳසලක් තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නේ ඔවුන් දෙදෙනාවය.

ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයට විශ්වවිද්‍යාල සාමාජිකයන් වැඩි පිරිසක් බඳවාගැනීමේ අරමුණින් පසුගිය සමයේ ඕලුවිල් විශ්වවිද්‍යාලය තුළ දේශන පවා සල්මාන් විසින් සංවිධානය කර ඇත. ප‍්‍රධාන දේශකයා ලෙස සිසුන්ගේ ඔළුගෙඩි අන්තවාදී අදහස්වලින් පුරවා ඇත්තේ සාදික්ය.

සල්මාන් සමඟ අත්අඩංගුවට ගැනුණු ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ නැඟෙනහිර නායකයාද සාදික් යටතේ නුවරඑළිය බ්ලැක්පූල් සහ හම්බන්තොට පුහුණු කඳවුරුවලින් පුහුණුව ලැබුවෙකි. මොහොමඩ් උස්නාර් මොහොමඩ් නවුෂාඩ් නමැති ඔහු වාලච්චේන ඔට්ටමාවඩි අබ්දුල් පාරේ පදිංචිකරුවෙකි. අවි පුහුණුවට අමතරව පුපුරන ද්‍රව්‍ය භාවිතය ගැනද සාදික් යටතේ ඔහු පුහුණුව ලබා ඇති බව සඳහන්ය. විශේෂත්වයක් වන්නේ නවුෂාඩ්ද විශ්වවිද්‍යාල සිසුවකු වන බැවිනි. ඔහු නියෝජනය කරන්නේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ මඩකළපුව පීඨයයි. ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ සැඟවුණු ප‍්‍රබලයන් දෙදෙනකු එසේ අත්අඩංගුවට පත්ව පැය කිහිපයක් යන්නට මත්තෙන් එම සංවිධානයේ තවත් ප‍්‍රබලයකු අත්අඩංගුවට පත් වන්නේ අනුරාධපුරයෙනි. ඔහුගේ නමත් සන්නද්ධ නායකයාගේ නමට මුළුමනින්ම සමානය. මොහොමඩ් ස්මයිල් මොහොමඩ් සල්මාන් නමැති ඔහු පදිංචිව සිටියේ අනුරාධපුරයේ ජයන්ති පාරේය. ස්ථිර රැකියාවක් නැති ඔහු විවිධ අධ්‍යාපන පාඨමාලා හදාරමින් සිටියෙකි. ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් අනුරාධපුර නායකයා ඔහුය.

මේ අය අත්අඩංගුවට ගෙන පැය විසි හතරක් ඉක්ම ගියේ නැත. ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ තවත් ප‍්‍රබලයන් රැසකගේ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයට ගලා එන්නට ගත්තේය. නුවරඑළිය බ්ලැක්පූල් සහ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානවලින් සටන් පුහුණුව ලැබූවන් රැසක් ඒ අතර වූහ. සාදික්ගේ දේශනවලට වහවැටී ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයට බැඳුණු ඕලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිපදෙනකුද ඇතුළු විශ්වවිද්‍යාල සිසුහු රැසක් ඒ අතර වූහ. රාජ්‍ය බුද්ධි සේවය විසින් ඒ අය හඳුනාගනිමින් එකිනෙකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ අම්පාර පොලිසියේද සහාය ඇතිවය. ඒ අනුව මුලින්ම අත්අඩංගුවට ගන්නේ ඕලුවිල් විශ්වවිද්‍යාල සිසුවකු වන මාවනැල්ලේ සහනගම පදිංචිව සිටි මොහොමදු තාහීර් හිදයතුල්ලාය. දෙවැන්නාද මාවනැල්ලේය. වල්පොළ දෙණියේ පදිංචිකරුවකු වන ඔහු මුස්තාක් අලි අම්හර්ය. ඔහු යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින්නෙකි. තෙවැන්නා ගෙලිඔය කලිගමුවේ මොහොමඩ් මන්සූර් සෙයිහුල්ලා හක්ය. රත්නපුර දිස්ත‍්‍රික් නායකයා වන්නේ ඔහුය.

තවත් අයකු අත්අඩංගුවට ගන්නේ පොළොන්නරුවේ කදුරුවෙල පිහිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවෙස ආසන්නයෙනි. පොළොන්නරුවේ දිස්ත‍්‍රික් නායකයා වන ඔහු මොහිදීන් බාවා මොහොමඩ් රූම්ය. මොහුත් විශ්වවිද්‍යාල සිසුවෙකි. ඒ නාවල විවෘත විශ්වවිද්‍යාලයේය. දෙවැන්නා මොහොමඩ් රියාද් මොහොමඩ් සාජිද්ය. ඔහුත් මාවනැල්ලේය. තෙවැන්නා වරකාපොළ තුල්හිරියේය. ඔහු මොහොමඩ් රම්සි අහමඩ්ය. ඔහුද නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවෙකි. මේ තිදෙනාද අවි භාවිතය ගැන පුහුණුව ලැබූවෝය. රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයට සම්බන්ධ අවි පුහුණුව ලැබූ තවත් කිහිපදෙනෙක්ම නිදහසේ සිටිති. රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර ඒකකයේ නිලධාරීන් මේ දිනවල සිටින්නේ ඒ අය කවුරුන්දැයි පැහැදිලිවම හඳුනාගැනීමේ මෙහෙයුමක නිරත වෙමිනි.

විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයද පුළුල්ව රට පුරා ව්‍යාප්ත වූ අන්තවාදී සන්නද්ධ සංවිධානයකි. මේ සංවිධානය නියෝජනය කරන වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය ලැබූවෝය. රාජ්‍ය බුද්ධි සේවයේත් හමුදා බුද්ධි අංශයේත් තොරතුරුවල සඳහන්ව ඇති ආකාරයට ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානය නිර්මාණය වන්නේ සමාජ ජාලා ඔස්සේ අන්තවාදී අදහස් හුවමාරු කරගත් ඉහළ අධ්‍යාපනයක් ලද තරුණයන් පිරිසක් මඟිනි. එම ජාලයට විදෙස් අධ්‍යාපනය ලබන මෙරට මුස්ලිම් තරුණයෝද සම්බන්ධව සිටියහ. පාස්කු ඉරිදා දෙහිවල ලැගුම්හලකදී බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු අබ්දුල් ලතීෆ් ජමිල් සහ මඩකළපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ මොහොම්මදු අසාත්ද මුල් වකවානුවේ නියෝජනය කළේ ජමාත් මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයයි. ගම්පොළ වෙලම්බඩ පැත්තේ තේ කර්මාන්තශාලා හිමිකරුවකුගේ පුතකු වන ජමිල් අන්තවාදී අදහස් දරන්නකු බවට පත් වන්නේ එංගලන්තයේදී ගුවන්යානා ඉන්ජිනේරු උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කර පශ්චාද් උපාධිය හැදෑරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදීය. පශ්චාද් උපාධි පාඨමාලාව නිම කර 2013 වසරේ මෙරටට පැමිණෙන්නේ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ගොඩනඟාගත් ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ ප‍්‍රබල ක්‍රියාකාරිකයකු බවට පත් වෙමිනි. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ඒ වන විටත් එම සංවිධානය හා එක්ව දහසකට වැඩි පිරිසක් සම්බන්ධව සිට ඇත්තේ අන්තවාදයේද අන්තයට යමිනි.

ඒ අතර සිටි වැඩි පිරිසක් ජමිල් මෙන් ධනවත් මුස්ලිම් පවුල්වල උගත් තරුණයෝය. මේ අය දරන්නට වූයේ අයි.එස්.අයි.එස්. අදහස්ය. ඔවුන් අයි.එස්.අයි.එස්. මතවාදය ව්‍යාප්ත කරන්න වූයේ අරගලයක පෙරනිමිති පෙන්වමිනි. බුද්ධි අංශය මේ අයගේ ක්‍රිියාකලාපයන් ගැන අවධානයෙන් සිටිමින් තොරතුරු රැස් කරන්නට ගන්නේ එබැවිනි. එකී තොරතුරුවලට අනුව ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ ආරම්භක නායකයා ලෙස සැලකෙන්නේ මොහොමඩ් මුහුසීන් සෆ්රාස් නිලාම්ය. සිරියාවට ගොස් 2013 වසරේ අගෝස්තු 13 වැනිදා අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වූ පළමු ශ‍්‍රී ලාංකිකයා වන ඉෂාක් අහමඩ් මොහොමඩ් මුහුසීන් නිලාම්ගේ වැඩිමහල් සහෝදරයාය. එදා ඔහු ඕමානයට ගොස් තුර්කිය හරහා සිරියාවට ඇතුළු වන්නේ බිරියත් දරුවන් පස් දෙනාත් සමඟිනි. අදටත් ඔහු රැඳී සිටින්නේ සිරියාවේය. ඒ අයි.එස්.අයි.එස්. සංවිධානයේ අධ්‍යාපන අංශයේ ප‍්‍රධානියකු ලෙසය. ඒ වන විට නිලාම් සිටින්නේ අයි.එස්.අයි.එස්. මතවාදය සමාජ ජාල ඔස්සේ පතුරවමින් ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානය ශක්තිමත් කරමිනි. සිය සහෝදරයාගේ අඩිපාරේ යමින් වැඩි කල් නොගොස් ඔහුද සිය ගැබිනි බිරියත් දරුවන් හයදෙනාත් සිය මවුපියන් සහ බිරියගේ මවත් රැගෙන තුර්කිය හරහා සිරියාවට පැනගත්තේය. ඒ 2015 වසරේ ජනවාරි 15 වැනිදාය. මේ ආකාරයට ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ 40 කට ආසන්න පිරිසක් සිරියාවට ඇතුළු වී සිටියහ. ඒ අය අතර ජමිල් සමඟ ඕස්ටේ‍්‍රලියාවේදී අන්තවාදී මත සමාජගත කරමින් සිටියකු වූ මොහොමඩ් සුහෙයිර් අරූස්ද සිටියේය. ඕස්ට්‍රේලියාවේද පුරවැසිභාවය හිමි ඔහු සිරියාවට එන්නේ අයි.එස්.අයි.එස්. රෝහලක භෞත චිකිත්සකයකු ලෙසිනි. ඔහු විවාහ වන්නේ ඉෂාක් අහමඩ් ගේ දියණියක සමඟිනි.

සිරියාවේ සිටියද සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නිලාම් අයි.එස්.අයි.එස්. මතවාදය වපුරවමින් ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානය පෝෂණය කර ඇති බව සඳහන්ය. ඊට නැවතීමේ තිත තැබෙන්නේ 2015 වසරේ ජූලි 11 වැනිදා ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාරයකින් නිලාම් මරුමුවට පත් වන බැවිනි. ඔහු ඉතිහාසයට එක්ව ඇත්තේ සිරියාවේදී මරුමුවට පත් වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදියා ලෙසිනි. එදා නිලාම් සමඟ ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයන් දෙදෙනකු සිරියාවට ඇතුළු වීමට තුර්කියට ගොස් තිබිණි. ඒ පකීර් ඉමාඩ් සිද්ධි ෂාම් නමැත්තෙක් සහ ජමිල්ය. එදා නිලාම් සිය පවුලේ සාමාජිකයන් සමඟ සිරියාවට රිංගුවත් ජමිල්ට සහ ඉෂාඩ්ට තුර්කියෙන් එහාට අඩියක්වත් තබන්නට ඉඩක් නොවීය. ඔවුන් ආපසු හැරී එන්නේ ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානය මෙරට ශක්තිමත් කිරීමට සිතාගෙනය. බුද්ධි අංශ හෙළි කරන ආකාරයට අනුව ඉෂාඩ්ගේ මව යුරෝපීය රටක මෙරට තානාපති කාර්යාලයක වීසා අංශයේ සේවයේ නිරතව සිටි තැනැත්තියකි. ඉෂාඩ් සහ නිලාම් මිතුරෝය. ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානය සමඟ ඉෂාඩ් සම්බන්ධ වන්නේ නිලාම් සමඟ ඇති ඒ සම්බන්ධකම නිසාය. ඔහු දැන් සිටින්නේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයේය.

පසුගිය පාපකාරී පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මෙරට තහනම් වූයේ ඉස්ලාම් සංවිධාන දෙකක් පමණි. එනම් ජාතික තව්හිද් ජමාත් හා මිල්ලතේ ඉබ‍්‍රාහිම් යන ඒවා පමණි. නමුත් රට තුළ මේ ලියවෙනා මොහොතේත් අවම වශයෙන් ඉස්ලාම් සංවිධාන දහසකට වැඩි ප‍්‍රමාණයක් ක්‍රියාත්මක වේ. විටෙක ඔබ පුදුම විය හැකිය. දහසක් සංවිධාන රටේ මහ ජාතිය බවට මුස්ලිම් ජාතිය පත්කර ඉස්ලාම් ආගමිකයන් නොවන්නවුන් ඔවුන්ගේ ආගමේ ප‍්‍රකාශිත ආකාරයට කඩු ගා මරා දමන්නට සූදානම් වෙද්දී සංවිධාන දෙකක් තහනම් කොට කුමක් සිදුකරන්නේද යන්න ඕනෑම සිහි බුද්ධියක් ඇති අයකුට සිතිය හැකි කරුණකි. කොළඹ ත‍්‍රස්ත කොට්ඨාසයේ පරීක්ෂණ අනුව හෙළි වූ බොහෝ කරුණු තිබියදීත් අත්අඩංගුවට ගත් ඉහත පුද්ගලයා වෙනුවෙන් රටේ දේශපාලකයන් කොපමණ ආරක්ෂක අංශවලට කතා කළේදැයි යන්න සොයාබැලුවහොත් ඔබ ඊටත් වඩා පුදුම වනු ඇත. මෙකී පුවත වාර්තා කළ සමහර මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට හා හිමිකරුවන්ට පවා ඉහළ තැන්වලින් බලපෑම් එල්ල වූ බව පොදුවේ රටවැසියා දන්නේ නැත. නැවතත් ලෙයින් නැහැවූ දිනක් එනතුරුම පාදඩයන්ගේ දෑස් නොඇරෙනු ඇත.

– ප්‍රසාද් අබේවික්‍රම

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *