ගැටලුවලට විසඳුම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයයි – ගම්මන්පිල

= මේ පිටුවේ සිරස්තල =

• ගැටලුවලට විසඳුම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයයි – ගම්මන්පිල

• අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ නීති විරෝධී උද්ඝෝෂණ තහනම්

• මලයාසියාවෙන් ප්‍රතික්ෂේප වූ බෝරා සමුළුව මෙරට පැවැත්වීම ගැන ආගමික සංවිධානවල විරෝධය

• කැලණිය විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති ඉවතට

• ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මුදල් ගන්න කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන – බන්දුල ගුණවර්ධන

• ආර්ථික දියුණුවට, අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට ගෝඨාභයෙන් ප්‍රකාශයක්

• දන්ත පිරවුම්වලට නව විසඳුමක් චීනයෙන්

• බදාදා (04) රජයේ විධායක නිලධාරීන් ලෙඩින්

ගැටලුවලට විසඳුම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයයි – ගම්මන්පිල

(01.09.2019 – 20:04 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රට මුහුණ පා ඇති සියලු ගැටලුවලට විසඳුම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගය බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ පැවති පිවිතුරු හෙළ උරුමයේ විශේෂ මහා සම්මේලනය එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළ අතර එම අවස්ථාව සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිධුර අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක් ව සිටියා.

මෙම සම්මේලනය සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණමත් සමඟ සම්මේලනය ආරම්භ වුණා.

සම්මේලනය ආරම්භයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමේ විශේෂ යෝජනාවක්ද පිවිතුරු හෙළ උරුමය විසින් සම්මත කර ගත්තා.

+++++++++++++++++++++

***************************************

අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ නීති විරෝධී උද්ඝෝෂණ තහනම්

(01.09.2019 – 11:58 +0530 – sinhala.adaderana.lk)

අද (01) සිට මේ මස (10) දින දක්වා අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පවත්වන්නට යෙදෙන උද්ඝෝෂණ, රැස්වීම, පෙළපාලි සඳහා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කරු පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ රාවණා බලයේ කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි හා අනෙකුත් හිමිවරු ඇතුළු පිරිස වෙතයි.

එවැනි උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලියක් පවත්වාගෙන යාමේදී සාමකාමීව හා නිත්‍යානුකුල ලෙස පවත්වාගෙන යාමට බධාවක් නොමැති බවටත්, කැරැල්ලක්, කළහයක්, ඇතිවන කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත්, මහජනතාවට, වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් ඇතිවන ආකාරයේ රැස්වීමෙන් ගමන් කිරීමෙන් වැලකිය යුතු බවටත් සාමය කඩවන සුළු ආකාරයේ කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් නිත්‍යානුකූලව සේවයේ නියුතු තැනැත්තන් හට බධාවක් වන අයුරින් රැස්වීමෙන් හෝ ගමන් කිරීමෙන් වැළැකිය යුතු බවටත් මෙම අධිකරණ නියෝගයෙන් නියෝග කර තිබේ.

එහි උද්ඝෝෂණ, පෙළපාලි සඳහා සහභාගි වන සියළු ජනතාව වෙත මෙම නියෝගය බලාත්මක වන බවද පොලීසිය දන්වා ඇත.

+++++++++++++++++++++++++++++++++++

මලයාසියාවෙන් ප්‍රතික්ෂේප වූ බෝරා සමුළුව මෙරට පැවැත්වීම ගැන ආගමික සංවිධානවල විරෝධය

(01.09.2019 – 19:13 +0530 – hirunews.lk/sinhala)

අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ අද සිට ලබන 10 වැනිදා දක්වා පැවත්වීමට නියමිත උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි සම්බන්ධයෙන් අලුත්කඬේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුලු භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත යොමු කෙරුණු එම නියෝගයෙන් දක්වා ඇත්තේ එවැනි උද්ඝෝෂණ, රැස්විම්, පෙළපාලි පවත්වන්නේ නම්, සාමය කඩ වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් නොවිය යුතු බවයි.

අලුත්කඬේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ අත්සනින් නිකුත් කර ඇති අදාල නියෝගය ලබාදී ඇත්තේ සිංහල ජාතික බලමුළුවේ කැදවුම්කරු පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි, රාවණා බලය කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසකටයි.

අදාළ නියෝගය අද දහවල් සිංහල ජාතික බලමුළුවේ කැදවුම්කාර පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් වෙත පොලීසිය භාර දී තිබෙනවා.

මේ අතර, ලොව වෙසෙන බෝරා ප්‍රජාව නියෝජනය කරමින් 2019 ජාත්‍යන්තර බෝරා සමුළුව අද සිට ලබන 10 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනවා.

රටවල් 40 ක අධ්‍යාත්මික නායකයින් ඇතුළු නියෝජිතයින් 21,000 ක් පමණ මෙම සමුළුව සදහා සහභාගි වන අතර, මෙවර එහි තේමාව වන්නේ ශ්‍රී ලංකාව ඔබ අප විශ්වාස කරනවා යන්නයි.

මෙම සමුළුවට සහභාගිවීම සඳහා බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන 53 වන සෙයියද්නාතුමා වන මුෆාද්දල් සෙයිෆුද්දීන් පසුගිය 28 වනදා දිවයිනට පැමිණියා.

එමෙන්ම, මෙම සමුළුව හේතුවෙන් කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගය පිළිබදව සිංහල ජාතික බලමුළුවේ කැදවුම්කරු පුජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ මැලේසියාවෙන් ප්‍රතික්ෂේප වූ මෙම සමුළුව මෙරට දී පැවැත්වීමට සංචාරක සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු රජය කටයුතු කළේ සුළු මුදලක් වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිදුකරන වගකීම් බැහැර හරිමින් බවයි ෴

***************************************

කැලණිය විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති ඉවතට

(01.09.2019 – 19:09 +0530 – hirunews.lk/sinhala)

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට අද දායක සභාවේ බහුතර අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අද පස්වරුවේ පැවති දායක සභා රැස්වීමේදීයි.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වුණේ විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට 100 කට වැඩි පිරිසකගේ අනුමැතිය හිමිවී ඇති අතර ඊට විරෝධය පළ කර ඇත්තේ 07 පමණක් බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසාන තීරණය කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ විධායක කමිටුව රැස්වීමෙන් පසු ගැනීමට නියමිතයි.

+++++++++++++++++++++

***************************************

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මුදල් ගන්න කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන – බන්දුල ගුණවර්ධන

(01.09.2019 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 400 ක මුදලක් ගම්පෙරළිය – 3 යටතේ හදිසි අවශ්‍යතා අරමුදලකින් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගෙන ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

ආර්ථික දියුණුවට, අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට ගෝඨාභයෙන් ප්‍රකාශයක්

(01.09.2019 – 19:03 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජාතික පෙර පාසල් ගුරු වෘත්තීය ජාතික සම්මේලනයට කොළඹ දී අද එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි රජයක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

අනතුරුව ජාතික පෙර පාසල් ගුරු වෘත්තිය සමිතියේ යෝජනාවලියක් සංදේශයක් ආකාරයෙන් සකස් කර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම ද එහිදි සිදුකෙරුණා.

පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සභාව අමතනු ලැබුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සියවසක් දුර විනිවිද දකී.. දැයේ මවුවරුනට ගෝඨාභය කල තෙදවත් දෙසුම මෙන්න..

(02.09.2019 – 03:23 +0530 – lankacnews.com)

ජාතික පෙරපාසල් ගුරු වෘත්තීය ජාතික සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සම්මේලනය පැවැත්විනි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස් :

නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුනත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළට යන්න අපේ දරුවන්ට අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් අපිට ඉදිරි ආර්ථික සැළැස්මක් ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. 21 වෙනි ශත වර්ෂය දැනුම හා ඥානය මුල් කරගත් ශත වර්ෂයක්. දැනුම හා ඥානය කෙරෙහි අවධානය යොමු නොකලොත් අපිට රැකියා උත්පාදනය කළ නොහැකියි.මේ නිසා අධ්‍යාපනය කියන්නේ රටක ජාතියක පැවැත්මට වඩාම වැදගත්වන ක්ෂේත‍්‍රයක්. අපේ දරුවන්ට පළමුවෙන්ම අයන්න කියලා දෙන පෙර පාසලේ අධ්‍යාපනයත් ඒ විදියටම වැදගත්. අධ්‍යාපනයට විශාල ආයෝජනයක වෙන් කළ යුතුයි. ඒ වගේම පෙර පාසල් සංවර්ධනය සඳහාත් අපි අවධානය යොමු කරනවා.

පෙර පාසල් සදහා දරුවන් වැඩි වැඩියෙන් යොමු කිරීමත් ඒ සදහා දෙමව්පියන්ගේ අවධානය යොමු කිරීමත් අවශ්‍යයි. දැනටත් අපේ සමහර අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු වීමේ ප‍්‍රවණතාවය අඩුයි. පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම දෙමව්පියන්ට අවබෝධ කරවිම සදහාත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. විශේෂයෙන් අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය සඳහා වූ ශිෂ්‍යත්ව ක‍්‍රමයක් ඇති කිරීම සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ වගේම පෙරපාසල් ගුරුවරියන්ගේ දැනුම වැඩිකර ගැනීම සදහා අවස්ථාවන් සැපයීමත් රජයක වගකීමක් ලෙස අපි සලකනවා. පෙරපාසල්වල ගුණාත්මකභාවය වැඩිකරන්න නම් ගුරුවරියන්ගේ දැනුම වර්ධනය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා.

ඇමරිකාව ඇතුලු විදේශීය රටවල් රැසක ආසියානු රටවල ගුරුවරු සේවය කරනවා. ඒ රටවල දරුවන්ගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම යොදන්නේ අපේ ගුරුවරු. ඒ රටවලදී අපේ ගුරුවරුන්ට විශාල පිළිගැනීමක් ලැබෙනවා විතරක් නෙවෙයි ඔවුන්ට දැනුම වැඩිකර ගැනීමේ අවස්ථාවන්ද ලැබෙනවා. මෙවැනි ක‍්‍රමවේදයන් අපේ රට තුලත් ක්‍රියාත්මක කිරීම මගින් ගුරුවරියන්ට දැනුම වර්ධනය කර ගැනීමේ අවස්ථාව සැලසිය යුතුයි.

මෙවැනි වෘත්තීය සමිතියක් කි‍්‍රයාත්මක වීම මගින් පෙර පාසල් ගුරුවරියන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කර පෙර පාසල් විධිමත් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. ආර්ථික සැලැස්ම සකස් කර ගැනීමට හැකි වෙන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුව තුළිනුයි.

උසස් පෙලට පෙනී සිටින සිසුන්ගෙන් ලක්ෂ දෙකක පමණ ප‍්‍රමාණයක් වසරකදි උසස්පෙල සමත් වෙනවා. ඉනුත් 35,000 ක පමණ පිරිසකටයි විශ්ව විද්‍යාලයට ඇතුල්වීමේ හැකියාව ලැබෙන්නේ. මේ ක‍්‍රමයත් අපි වෙනස් කළ යුතුයි. ඒ අයුරින් කිසියම් සිසු පිරිසකට අතරමං වෙන්න සිදුවෙන්නේ නිසි අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නැති නිසයි. විවිධ වෘත්තීන්වලට කුඩා කළ සිටම ළමා මනස යොමු වන අයුරින් අපේ අධ්‍යාපනය සකස් විය යුතුයි.

රටේ ව්‍යාපාර ක්සේත‍්‍රයේ සිටින බොහෝ දෙනෙක් සදහන් කරන්නේ රැකියා අවස්ථා තිබුණත් බොහෝ තරුණ තරුනියන් ඒ අවස්ථා ලබා ගන්නේ නැති බවයි. බොහෝ වෘත්තීන් පහත් කොට සලකන මානසිකත්වයක් අපේ සමාජයේ පවතිනවා. පෙර පාසල් අධ්‍යාපනයේ සිට මේ තත්ත්වයන් වෙනස් කිරීමේ වගකීම පවතින්නේ ඔබ මතයි.

ආසියාව ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා. ඒ නිසාම අපිට අවස්ථාවන් රැසක් හිමිව තිබෙනවා.රටේ ආර් ථිකය දියුණු කරමින් ඉහළ වේතනයක් ලබන තත්ත්වයක් අපිට උදාකර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සදහා අපේ තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි.

රට වෙනුවෙන් විශාල සේවයක් කරන ඔබ, රටේ ඉදිරි අනාගතය සැලසුම් කරන පිරිසක්. දරුවන්ගේ හැකියාවන් වගේම විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් ගැනත් ඔබලා අවධානය යොමු කරනවා. අපි ඔබගේ කාර්යය , සේවය අගය කරනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙනුත් විශේෂ වැඩපිළිවලක් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. ඔබේ සේවය වෙනුවෙන් අපේ රජයක් තුළ නිසි ගෞරවය හිමි වන බව සදහන් කරනවා.

– GR Midea

***************************************

දන්ත පිරවුම්වලට නව විසඳුමක් චීනයෙන්

(01.09.2019 – 19:05 +0530 – lankadeepa.lk)

දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත.

එනමලය නැවත වර්ධනය කිරීම සම්බන්යෙන් දශක ගණනාවක සිට විද්‍යාඥයෝ පර්යේෂණයවල නිරත වූහ.

දත්වල එනමලය මානව ශරීරයේ ඉතා දෘඩ කොටසක් වන අතර එය පළුදු වූ පසු නැවත යථා තත්ත්වයට පත්නොවන බැවින් දත් කුහර ඇතීවීම බොහෝ දෙනෙක් අතර දැකිය හැකි රෝගයක් බවට පත්ව ඇත.

මෙම නව ක්‍රමයෙන් කැල්සියම් පොස්පේට් ඉතා කුඩා බිඳිති පැය කිහිපයකින් මෘදු එනෙමලයක් ලෙස සකස් වීම සිදුවේ.

එනම් දන්ත එනෙමලයේ නිවැරදි ව්‍යුහය සැකසීම සඳහා කැල්සියම් පොස්පේට් ඉතා කුඩා බිඳිති භාවිත කිරීම සිදුකරනු ලබයි.

එය මාළු කොරපොතු හා සමාන වෙයි. එවා දත් මත තැබූ විට අලුතින් සකස් වන එනෙමලය ද සාමාන්‍ය එනෙමලය මෙන්ම ශක්තිමත් බව සොයා ගෙන ඇත.

දින දෙකක් පමණ වන විට එය මයික්‍රෝමීටර් තුනක් පමණ ඝනකමින් යුක්ත වේ තවමත් මෙය පර්යේෂණ මට්ටමේ පවතින අතර තවත් වසර දෙකකින් පමණ මෙය අත්හදා බැලීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

(ඩේලි මේල් ඇසුරෙනි)

***************************************

බදාදා (04) රජයේ විධායක නිලධාරීන් ලෙඩින්

(02.09.2019 – 09:43 +0530 – sinhala.adaderana.lk)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලබන 04 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයකට එක්වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේබව ප්‍රකාශ කළේය.

වැටුප් විෂමතා, දීමනා ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

4 වනදාට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනුවෙන් කිසිදු පියවරක් නොගතහොත් අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට වන බවත් එම කමිටුව ප්‍රකාශ කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *