අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

***************************************

= මේ පිටුවේ සිරස්තල =

• අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

• සහරාන් ගැන වාර්තා 97 ක් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි

• සීනුව නාදකරලා ගෙට පැනපු හොරා – CCTV දර්ශන සහිතයි

• ටී-56 ක් සඟවාගෙන ගිය හමුදා සෙබළෙක් හා සේවකයෙක් අත්අඩංගුවට

• මහත්තයාට අසනීප වුණොත් පහුවදාට දරුවො බඩගින්නේ

• මිලේනියම් උගුල

• ලාදුරු රෝගය යළිත් පැතිර යාමේ අවදානමක්

• ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උලෙළ අමතමින් ජනාධිපති කළ කථාවෙන් උපුටාගත් කොටසක්

• බෝරා මුස්ලිම්වරුන් ගෙන් ගේම ඉල්ලන්න එපා.. ඔවුන් සුන්නි අන්තවාදීන්ට විරුද්ද ෂියා මුස්ලිම්වරුන්..

***************************************

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

(02.09.2019 – colombotoday.com)

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇති අතර අජ්ජුල් අක්බාර් ලෙස හඳුන්වන මෙම පුද්ගලයා අන්තවාදී මුස්ලිම් තරුණයන් රැසක් පසුගිය කාල සීමාවේදී තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලට යවා ඔවුන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා යොමු කර ඇති බවද අනාවරණය වී තිබේ.

මේ අතර මෙම පුද්ගලයා පසුගිය කාලයේදී රට පුරා සිදුකල දේශනා සඳහා ‘මුස්ලිම් කටයුතු අමාත්‍යංශය’ යටතේ ඇති ‘මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව’ මගින් අනුග්‍රය දක්වා ඇති බවට තොරතුරු වාර්තා වේ. මොහු සමග එක්ව දේශනා පැවැත්වීම සඳහා නලීමීවරු ලෙස හඳුන්වන බේරුවල පිහිටි ‘නලීමීයා’ මුස්ලිම් අධ්‍යාපන ආයතනයෙන් උපාධි ලබාගත් පුද්ගලයින්ද සහභාගි වී ඇත.

මෙලෙස පැවැත්වූ දේශනයක් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ දැන්වීමක් :

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ගේ සොහොයුරාගේ දරුවන් සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් අරාබි රටවලට යවා ඔවුන්ට අන්තවාදී ත‍්‍රස්තවාදී පුහුණුවක් ලබාදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථානවල බුදු පිළිම කඩා විනාශ කිරීම සඳහා අන්තවාදී අදහස් දරන මුස්ලිම් තරුණයන් යොමු කර ඇත්තේ ද මොහු විසින් බව පොලිසිය පවසයි.

මුස්ලිම් තරුණයන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා අරාබි රටවලට යැවීමට මුදල් වැය කර එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ද මොහු විසින් බව හෙළි වී ඇත.

ලංකාවට ප්‍රථමවරට ඉස්ලාමිය ත්‍රස්තවාදය හදුන්වා දුන්නේ ජමාත්තේ ඉස්ලාමි සංවිධානය විසින්ය. 80 දශකයේ සිට ජිහාත් පුහුණුව සඳහා ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් වැනි රටවල්වලට තරුණ සාමාජිකයන් මෙම සංවිධානය විසින් යවා ඇත.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයට අයිති මාදම්පේ ඉස්ලාහියා මද්‍රසා පාසලේ ප්‍රථම විදුහල්පති වන A.G.M. නතීර් මව්ලවි, පාකිස්තාන් රටට ජිහාත් පුහුණුව සඳහා තමා ගිය බව ගුවන්විදුලි වැඩසටහනකදී පිළිගෙන ඇත.

එම වැඩසටහනදී නතීර් මව්ලවි මෙසේ පවසා ඇත :

“ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම බව එම සංවිධානයේ පුහුණු කඳවුර වල හා දේශනාවල පැවසුවා. 1996 වසරේදී මම සහභාගීවූ නේවාසික පුහුණු කඳවුරක හජ්ජුල් අක්පර් විසින්ම එම කරුණු අපහට උගන්වනු ලැබුවා, තවද රටේ නීතියට යටත්වෙලා ජීවත් වීම අල්ලාහ් දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් ලෙසත් අපහට උගන්වනු ලැබුවා.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ සාමාජික තරුණයන් සෑහෙන පිරිසක් මෑත කාලයේදී තුර්කි රටට ගියා, සාහිඩ් අබ්දුල්ලාහ් හක් ද, එලෙස සිරියාවට ගිහින් ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්.”

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ එදා සිට අද දක්වා කාලය ඇතුළත ක්‍රියා පටිපාටිය පිළිබඳව සම්පූර්ණ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම ආරක්ෂක අංශවල වගකීමයි ෴

***************************************

සහරාන් ගැන වාර්තා 97 ක් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි

(03.09.2019 – 14:35 +0530 – hirunews.lk/sinhala)

2016 සිට 2019 තෙක් ජාතික තවුහිඩ් ජාමඩ් සංවිධානයේ නායක සහරාන් ගැන වාර්තා 97 ක්, රාජ්‍ය බුද්ධි සේවය මඟින් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට ලබාදී ඇති බව අධිකරණයේදී හෙළිව තිබෙනවා ෴

***************************************

සීනුව නාදකරලා ගෙට පැනපු හොරා – CCTV දර්ශන සහිතයි

(02.09.2019 – 12:45 +0530 – sinhala.adaderana.lk)

මාතර-වල්ගම සද්ධාතිස්ස මාවතේ පිහිටි නිවසකට පුද්ගලයෙක් හොරෙන් ඇතුළු වෙන ආකාරය නිවසේ ඇති සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබේ.

පසුගිය අගෝස්තු 28 වන දින මෙය සිදුව ඇත.

පෙරවරු 11 ට පමණ පුද්ගලයෙක් පැමිණ නිවසේ සීනුව නාද කරන අතර, කිසිවෙකු ගෙදරින් පිටතට නොපැමිණීම හේතුවෙන් මෙම පුද්ගලයා එතැනින් පිටත්ව යයි.

පසුව නැවත වතාවක් නිවෙසට පැමිණ තාප්පයෙන් නිවෙසට ඇතුළුවන මෙම පුද්ගලයා නිවසේ තිබු රුපියල් ලක්ෂ 4 හමාරකට ආසන්න මුදලක් සහ ස්වර්ණාභරණ තොගයක් සොරකම් කර තිබේ.

සැකකරු නිවසට ඇතුළු වන ආකාරය CCTV කැමරාවේ සනිටුහන්ව ඇත්තේ මේ ආකාරයෙනි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක : 041 222 2227 / 071 858 0200

***************************************

ටී-56 ක් සඟවාගෙන ගිය හමුදා සෙබළෙක් හා සේවකයෙක් අත්අඩංගුවට

(03.09.2019 – mawbima.lk)

කුරුණෑගල, ලෝවාකොටුව හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, සජීවී පතරොම් දහයක් සහිත මැගසිනයක් සමඟ යුද හමුදා සෙබළකු සහ යුද හමුදා සිවිල් නිලධාරියකු කුරුණෑගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී යුද හමුදා සෙබළා හැඳ සිටි ජැකැට්ටුවේ මෙම ආයුධ සඟවා ගෙන තිබී ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, දානිගමුව, මොන්ඩෑරමුල්ල ප්‍රදේශයේ පදිංචි බුත්තල යුද හමුදා කඳවුරේ සේවයෙන්හි නියුතු කුලතුංග මුදියන්සේලාගේ තුෂාර චන්දිමාල් (46) සහ කුඩාගල්ගමුව, විජේ ජනපදය පදිංචි නිට්ටඹුව, වතුපිටිවල විජයබා පාබළ රෙජිමේන්තුවේ සේවයෙන් නියුතු සිවිල් සේවකයකු වන කරුණාධිපති දේවලාගේ චමින්ද සිරිජයලත් (37) යන සැකකරුවන් දෙදෙනාය.

යුද හමුදා සෙබළා මීට ඉහතදී යුද හමුදා අවි ගබඩාවක සේවය කර ඇති බවද පොලිසිය කියයි.

ඉකුත් 31 වැනිදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර මොවුන් පාතාලයට අවි ආයුධ සපයන්නන්ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් පෙරේදා (01 දා) දහවල් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලත් නිල සුනඛයකු යොදවා විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත.

එහිදී යුද හමුදා සෙබළාගේ නිවෙසේ තිබී තවත් ටී 56 ගිනි අවියක්, ටී 56 ගිනි අවි පිරිසුදු කිරීමේ කට්ටලයක්, ඉතාලියේ නිෂ්පාදිත වායු රයිපලයක්, අවි සඳහා භාවිත කරන දුරදක්නයක්, බෝර 12 පතරොම් තුවක්කු සඳහා භාවිත කරන හිස් පතරොම් කොපු 06 ක්, යුද හමුදා නිලධාරීන් භාවිත කරන පැක් 02 ක්, හනස් කට්ටල 01 ක්, බෙල්ට් ඕඩර් 02 ක්, පූචස් 02 ක්, අවිපටි 04 ක්, වතුර බෝතල් 02 ක්, හෙල්මට් 01 ක්, කළු ඉණ පටි 01 ක්, කැප් තොප්පි 01 ක්, මෙස් ටින් 01 ක්, ඔයිල් බෝතල් 01 ක්, පිස්තෝල අවි මැගසින් දැමීම සඳහා භාවිත කරන හොස්ටර් 01 ක්, නිල මුද්‍රා 01 ක් හා උපකරණ දැමීම සඳහා භාවිත කරන කොළ පැහැති බෑග් 02 ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (01 දා) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

වයඹ සහ උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන, කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන්ත, පොලිස් සැරයන් සේනානායක (27361) ඇතුළු නිලධාරීහු විසින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.

***************************************

මහත්තයාට අසනීප වුණොත් පහුවදාට දරුවො බඩගින්නේ

(03.09.2019 – mawbima.lk)

කුඩා දරුවන් හයදෙනකු (06) ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරන මවක සහ පියකු නාඋල පිලිහුඩුගොල්ල පහළගම ප්‍රදේශයේ ජීවත්වෙයි.

නන්දන කුමාර බණ්ඩාර (42) මහතා, අනූෂා චාන්දනී පොඩි මැණිකේ (35) මහත්මිය මේ දරුවන්ගේ මවුපියෝ වෙති.

මෙම යුවළට දරුවන් හය දෙනෙකි. වැඩිමහලු දියණිය දහතුන් හැවිරිදිය. දෙවැනි දරු උපත ලෙස මෙම යුවළට නිවුන් පුත්තු දෙන්නෙක් වෙති. ඒ දෙදෙනා තවමත් අටවැනි වියේ පසුවෙති. හතරවැනි දියණිය වයස අවුරුදු පහකි. පස්වැනි දියණියට වයස අවුරුදු තුනහමාරකි. හයවැනි දියණියට වයස අවුරුදු එකහමාරකි.

මේ දරුවන් හයදෙනා සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත් වන අනූෂා චාන්දනී පොඩිමැණිකේ සොයා අපි නාඋල පිලිහුඩුගොල්ල පහළගමට ගියෙමු.

අප ඒ නිවෙසට යනවිට දරුවන්ගේ පියා කුලී වැඩ සඳහා නිවෙසින් බැහැරව ගොසිනි. එක් පුතකුද සිය මිත්තණිය සමඟ වෙනත් ප්‍රදේශයකට ගොසිනි. ඉතිරි දරුවන් පස්දෙනා සහ මව නිවෙසේ සිටියහ.

මේ පවුලට තමන්ගේම කියා නිවෙසක් තවමත් අහිමිය. ඔවුන් ජීවත් වන්නේ චාන්දනී පොඩිමැණිකේගේ වැඩිමහලු සහෝදරියකගේ නිවෙසේ තාවකාලිකවය.

ඔවුන් සතුව තිබුණු කුඩා නිවෙස වැස්සට කඩාගෙන වැටීමත් සමඟ සහෝදරියගේ නිවෙසේ තාවකාලිකව ජීවත්වීමට ඉඩ දුන් බව ඇය හැඬූ­ කඳුළින් කීවාය.

දියණියන් හතරදෙනකු සහ පුතුන් දෙදෙනකු ජීවත් කිරීමේදී පාසල් යන දියණිය සහ පුතුන් දෙදෙනාත්, පෙර පාසල් යන දියණියත් තවමත් පාසල් නොයන කුඩා දියණියන් දෙදෙනාත් එක වේලක් හැර වේලක් ආහාර ගනිමින් ජීවත් වෙති.

තේ කහට කෝප්පයක විස්කෝතුවක් පොඟවාගෙන එක වේලක් පිරිමහගන්නා අයුරු එහි ගිය අපටද දැක ගැනීමට ලැබිණි. බොහෝ දියණියන් තම දෙකනට තෝඩු දෙකක් දමා ගැනීමෙන් දැඩි සතුටට පත්වෙයි. එහෙත් මෙම දියණියන්ට ඒ අවස්ථාවද අහිමි වී තිබේ.

මේ මවගේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ දරුවන් 6 දෙනා හට ජීවත් වීම සඳහා නිවෙසක් තනා ගැනීමත් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමත් පමණකි.

ප්‍රදේශයේ බොහෝ දෙනකුගේ උදව්වෙන් දරුවන්ට අඳින්නට ඇඳුම් ලැබුණද අලුත් ඇඳුමක් ලබාගැනීම මෙම කුඩා දරුවන්ගේ සිහිනයකි.

බොහෝ අය තමාට දරුවන් වැඩියෙන් හැදූ බවට උසුළු විසුළු කරන බවත් එහෙත් කිසිදු දරුවකු තමා වෙනත් අයකුට ලබා නොදී කෙසේ හෝ උස් මහත් කරන බවත් ඒ මව පැවැසුවාය.

තම දරුවන් හයදෙනා හදාගැනීමට විඳින දුක් කරදර පිළිබඳව අදහස් දැක්වූ මව වන අනූෂා චාන්දනී මහත්මිය,

“අපි ජීවත් වෙලා හිටියෙ අපේම කියලා පුංචි ගෙදරක. වැස්සට හුළඟට අපේ පුංචි ගේ කඩා වැටුණා. පස්සේ අපේ අක්කා රට ගියා. එයා අපිට කිව්වා තාවකාලිකව අක්කලාගේ ගෙදර ඉන්න කියලා. මේ අපි තවමත් ඉන්නේ අක්කගේ ගෙදර තාවකාලිකව”

“මහත්තයා කුලී වැඩ කරන්නේ. එයා හොයාගෙන එන මුදලෙන් තමයි දරුවන්ට උගන්වන්න, කන්න බොන්න බෙහෙත්වලට ඔක්කොටම වියදම් කරන්නේ. ළමයි පාරේ එක්කගෙන යනකොට මිනිස්සු මට ‍ෙදාස් කියනවා. දරුවන්ට දුක දෙනවා කියලා. ඉතින් මම හිතාගත්තා මට දරුවෝ වැඩි නෑ, කොහොම හරි එයාලා ලොකු මහත් වුණහම ඔය එපා කියලා බනින හැමෝටම ඕන වෙයි කියලා”

“මගේ දරුවන්ට උගන්වන්න තිබ්බනං මට ඇති. ඒ වගේම තමයි මේ අයට ආහාර පාන ටිකක් අමාරුයි. පිටිකිරි එකක් මේ දරුවන්ට දීලා නෑ. මම කොහොම හරි මගෙම කිරි දීලා තමයි දරුවො ලොකු මහත් කළේ. බැරිවෙලාවත් මහත්තයට එක දවසක් හරි අසනීපයක් වුණොත් පහුවදාට දරු පැටව් ටික බඩගින්නේ”

සමෘද්ධිය හදාගන්න වසර ගණනාවක් දුක් වින්දා. කියලා දැන් අවුරුද්දක් විතර වෙනවා. අහළ පහළ අයගෙන් පොඩි පොඩි උදවු ලැබෙනවා කන්න බොන්න. දරුවන්ට ඒ අය ඇඳලා අයින් කරන ඇඳුම් හම්බ වෙනවා. හැබැයි මම මහත්තයත් එක්ක ඔය ළමයි ගොඩක් ඉන්න අයට උදවු කරනවා කියපු බොහෝ දෙනකුට දුරකථනයෙන් කතා කළා. කිසිම කෙනෙක් අපි ගැන බැලුවේ නෑ. කොහොම හරි මගේ දරුවෝ ටික ලොකු කරගන්න උදවු කරන්න කියලයි මම ඉල්ලන්නේ. මට ඉන්න තැනක් නෑ. ලොකුම අවශ්‍යතාව දරුවෝ වැඩිවියට පත් වුණහම ඉන්න තැනක් නැති එක”

මේ කුඩා දරුවන්ට සහ පවුලේ අයට යම්කිසි ආකාරයකින් පිළිසරණක් වීමට හැකි නම් එය මහත් පිනකි.

ඔවුන්ගේ ලිපිනය වන්නේ :

යූ.ජී. අනූෂා චාන්දනී පොඩිමැණිකේ, පිලිහුඩුගොල්ල, පහළගම, නාඋල.

දුරකථන අංකය : 070 284 4532

ලංකා බැංකුවේ නාඋල ශාඛාවේ ගිණුම් අංකය : 9664416

දඹුල්ල – කේ.කේ. ආරියදාස

***************************************

මිලේනියම් උගුල

(03.09.2019 – divaina.com – කතුවැකිය)

ශ‍්‍රී ලංකාව ස්වෛරී රටකි. එහෙත් එම ස්වෛරීත්වයට විවිධ බලපෑම් එල්ල කරමින් ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට විවිධ ගිවිසුම් හරහා ඇඟිලි ගැසීම් සිදු කිරීම මේ වන විට බොහෝ දැඩි වී තිබේ.

ජනාධිපතිවරයා මෙන්ම රටේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇති ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම (Millennium Challenge Corparation) කෙසේ හෝ හැකිතාක් ඉක්මනින් අත්සන් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ගන්නා උත්සාහය තවමත් අත්හැර නොමැති බව පෙනෙන්නට තිබේ.

ආර්ථිකමය වශයෙන් ශ‍්‍රී ලංකාව තම ග‍්‍රහණයට ගැනීමේ ඇමෙරිකා එක්සත් ජනපද අභිප‍්‍රාය ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම මගින් පිළිබිඹු වන බව මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම යටතේ ඉදිකෙරෙන ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ලබාදීම සඳහා නව නීති ඇති කරන්නටත් ත‍්‍රිකුණාමලය සිට කොළඹ දක්වා කිලෝ මීටර් 200 ක් දිවෙන ඉඩම් අක්කර ලක්ෂ 12 ට ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන්, පරිසර සංවේදී කලාප ඇතුළත් වන සේ මිනුම් කටයුතු සිදු කරන බවටත් බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ. මේ යටතේ මෙරට ඉඩම් වෙළඳපොළ විදේශිකයන්ට විවෘත වන බවටත් ඉඩම් සංවර්ධන විශේෂ පනත මගින් බලපත‍්‍රලාභීන්ට ඉඩම් හිමිකම් ලබාදීම තුළින් හා රජයේ ඉඩම් බැංකුවකට පැවරීම හරහා ඇමරිකාවට මෙම ඉඩම් කිසිදු අපහසුවකින් තොරව අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසෙන බවටත් චෝදනා එල්ලවෙමින් තිබේ.

එම නිසා මෙවැනි ඉඩම් පනත් ගෙන ඒමට ප‍්‍රථම මෙරට කිසිදු ඉඩමක් ශ‍්‍රී ලාංකික පුරවැසියන් නොවන අයට සින්නක්කරව මිලදී ගත නොහැකි වන ලෙස නව නීති රීති ගෙන ආ යුතු බව අපගේ අදහසයි.

එසේම ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට, නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත‍්‍රාත්කරුවන්ට ඇමරිකාවේදීවත් නැති වරප‍්‍රසාද ඉල්ලමින් සෝෆා ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව උත්සහ කරමින් සිටී.

ශ‍්‍රී ලංකාවට වීසා නොමැතිව පැමිණෙන්ටත්, ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කිරීමෙන් තොරව මෙරටට ගෙන එන්නටත්, නිදහසේ ශ‍්‍රී ලංකාව තුළ සැරිසරන්නටත්, අධිආරක්ෂිත කලාපවලට ඇතුළු වීමත් ඇතුළු බොහෝ කාරණා එය තුළ තිබේ.

එසේම මෙම ගිවිසුම් දෙකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි බව සාමාන්‍ය නීතිමය දැනුමක් ඇති අයකුට වුවද පෙනේ. ඒ අනුව මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡුන්දයෙන් සම්මත කර ගෙන ඉන් පසුව රටේ ජනතාව වෙත ගොස් ජනමත විචාරණයකින් ද සම්මත කර ගත යුතුය. එම නිසා වර්තමාන පාර්ලිමේන්තු ව්‍යුහය තුළ මෙන්ම රට තුළ ද එය යථාර්ථයක් බවට පත් කර ගැනීම පහසු කටයුත්තක් නොවේ.

මේ අතර Millennium Challenge Corparation ගිවිසුම යනු සංවර්ධනය සඳහා සහායවීමේ ආධාරයක් බවටත්, ඉදිරි කටයුතු කරගෙන යාමටත්, ගිවිසුම අත්සන් කිරීමටත් අවසාන අනුමැතිය ලැබෙන තුරු තමන් බලා සිටින බවටත් ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.

ඉඩම් හිමිකම් තොරතුරු පරිගණක ඩිජිටල්කරණයට භාජන කිරීම මගින් ඉලෙක්ට්‍රොනික පිටපත් ඇති කිරීම, රජයේ ඉඩම් සිතියම්ගත කිරීම ආදිය සිදුකරන බවත් මෙරට ආර්ථික වර්ධනයට බාධකයක්ව පවතින්නේ ප‍්‍රවාහනයේ අඩුපාඩු, යටිතල පහසුකම් හා ඉඩම් පරිපාලනය බවත් ඇය පවසා තිබේ.

ශ‍්‍රී ලංකාවට බලහත්කාරයෙන් ආධාර ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදයට ඇති වුවමනාව අපට බරපතළ ප‍්‍රශ්නයකි. එය තමන්ට අවශ්‍ය පරිදි ශ‍්‍රී ලංකාව හසුරුවා ගැනීමේ ක‍්‍රමවේදය යැයි බොහෝ දෙනා සැක කරන්නේ එම නිසාය.

මේ බලපෑම් අතරතුර අපේ රටේ නව යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පවා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට බලපෑම් කරන්නට පටන් ගෙන තිබීමද බරපතළ සැක උපදවන කාරණයකි.

අවසානයේ කිව යුතුව ඇත්තේ රටට අහිතකර මෙවැනි ගිවිසුම් අත්සන් නොකරන බවට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ප‍්‍රතිඥාවක් රටේ ජනතාවට වහාම ලබා දිය යුතු බවය ෴

***************************************

ලාදුරු රෝගය යළිත් පැතිර යාමේ අවදානමක්

(03.09.2019 – 09:18 +0530 – lankadeepa.lk)

ලාදුරු රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

දිවයින පුරා වසරකට ලාදුරු රෝගීන් 1700 – 2000 අතර පමණ හමුවන බවත් මින් වැඩිම පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවට හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා පැවසීය.

ජනගහනය අධික ප්‍රදේශවලින් රෝගීන් හමුවීම සිදුවන බව හඳුනාගෙන තිබේ.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 16 අනුව මෙම වසරේදී 54 ක් වන රෝගීන් වැඩිම පිරිසක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද, වත්තල කොට්ඨාසයෙන් රෝගීන් 29 ක්, කටාන රෝගීන් 23 ක්, ජාඇල රෝගීන් 21 ක්, කැලණිය 21 ක්, දිවුලපිටිය 14 ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් රෝගීන් 9 දෙනෙකු ද සෙසු කොට්ඨාස 9 හි සුළු වශයෙන් රෝගීන් සිටින බව වෛද්‍ය සමරවීර මහතා කීය.

2018 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති ප්‍රතිකාර ලබන ලාදුරු රෝගීන් අතරින් ළමයින් 27 දෙනෙකු සහ කාන්තාවන් 79 කු ඇතුළු රෝගීන් 223 දෙනෙකු වන බව වෛද්‍යවරයා පැවසීය.

ලාදුරු රෝගය ස්වසන මාර්ගයෙන් බෝවන බව පැහැදිලි කළ වෛද්‍යවරයා යම් පවුලක අයෙකු හට රෝග ලක්ෂණ පවතින බවට හඳුනාගත හොත් එම පවුලෙහි සැවොම පරීක්ෂාවකට භාජනය කෙරෙන බවත් සමාජයේ 90% ක් පිරිසකට ලාදුරු රෝගයෙන් වැළකී සිටීමේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් පවතී.

මෙම රෝගය බෝවීමක් වුවද පැතිරීම විශාල වශයෙන් සිදු නොවන බවත් කුඩා දරුවන් සහ වයස්ගත අයට මෙන්ම ක්ෂය රෝග තත්ත්වයෙන් පසුවන අයට බෝවීම වැඩියෙන් සිදු විය හැකි බවද කීය.

සමෙහි සංවේදනය නොමැති ලප කැළැල් තැනින් තැන ඇතොත් වහාම චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලකින් පමණක් ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතු වේ.

කිසියම් අයකුගේ සිරුරෙහි එවැනි ලප කැළැල් පහකට වඩා අඩු නම් මාස හයක කාලයක් තුළද , ලප කැළැල් පහකට වඩා වැඩි නම් මාස 12 ක කාලයක් ද නිසියාකාරව ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය සමරවීර මහතා කීවේය.

ලාදුරු රෝගය නිට්ටාවටම සුවකළ හැකි බැවින් සැකසහිත රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවත් නියමිත කාලය තුළ වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ලැබිය යුතු බවත් රෝගීන් සමාජයෙන් වෙන් කර තැබීමකින් තොරව ප්‍රතිකාර කළ හැකිය.

මෙම රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද වැඩිදුරටත් කීය.

ලාදුරු රෝගීන් සිටින බවට වාර්තාවන ප්‍රදේශ ආශ්‍රිතව රෝගීන් වේදැයි හදුනාගැනීමට චර්ම රෝග ජංගම සායන පැවැත්වීමට ද අදාළ සෞඛ්‍ය අංශය මගින් පියවර ගෙන තිබේ ෴

***************************************

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උලෙළ අමතමින් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කථාවෙන් උපුටාගත් කොටසක්

(03.09.2019 – pmdnews.lk – සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී)

“අද රටට ගැළපෙන දේශපාලනඥයා කවුද කියා සොයා ගැනීම ඉතා අවශ්‍ය වෙනවා. මගේ වසර පහකට ආසන්න පාලන කාලය තුළ මේ ආණ්ඩුවට කරන්න තිබුන ලොකුම නින්දාව, අපහාසය, ලොකුම හුනියම, භීෂණය සිදු කරපු මහබැංකු කොල්ලයේ වගඋත්තරකරුවන් මේ රටේ දේශපාලනයෙන් වහ වහා ඉවත්විය යුතුයි. අද සුද්දවන්ත මහත්තුරු විදියට ඉදිරි ජනාධිපතිවරණය ගැන කථා කරනවා. තව බොහෝ දේ ඉදිරි දිනවලදී හෙළි වෙයි. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම සකස් කරලා අවසන්. අර්ජුන් මහේන්ද්‍රන්ට වැඩිය ලොකු මහත්තුරුන්ට වගඋත්තරකරුවන් විදියට උසාවියේ කූඩුවට නගින්න ලිපි ගොනු හදලා ඉවරයි කියලා මම තමුන්නාන්සේලාට කියනවා.

රටේ ජනතාවගේ ඡන්ද බලයට කුමක් ද කෙරුවේ පළාත් සභා ඉවරයි. ආයෙත් පළාත් සභා ඡන්දයක් නැහැ මේ රටේ. නිලධාරින් දහස් ගණනක් පඩි ගන්වා. පළාත් සභාවල වත්කම් දේපළ ටි‍්‍රලියන් ගණනක් තිබෙනවා. පළාත් සභා ක‍්‍රමයටත්, පළාත් සභා ඡන්දයටත් ඇණ ගහලා එය අවසන් කරලා ඉවරයි. ඊට ප‍්‍රධාන වගඋත්තරකරුවා, ශ්‍රේෂ්ඨාධිකරණ මට දන්වා ඇති පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මත විමසුම අනුව පාර්ලිමේන්තුවේ අදාළ වාර්තාව අගමැතිවරයා විසින් ඉදිරිපත් කර නොමැති නිසා, පළාත් සභා ඡන්ද ඉවරයි. ආයේ එහෙම එකක් කවදා එයිද කියලා කියන්න බැහැ. පළවෙනි වගඋත්තරකරුවා අගමැතිවරයා. ඒ නිසාම මෙවර මෙම පොදු ජන දේශපාලන බලවේගය නැවත මතු කරගෙන සදාචාරවත් මෙන්ම ඓතිහාසික වගකීම ඉටුකිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඉදිරියට යාමේ වගකීම අපිට පැවරී තිබෙනවා.”

***************************************

බෝරුන් ගෙන් ගේම ඉල්ලන්න එපා .. ඔවුන් සුන්නි අන්තවාදීන්ට විරුද්ද ෂියා මුස්ලිමුන් ..

(04.09.2019 – 03:24 +0530 – lankacnews.com)

අපේ සෙට් එකට අලුත් පොයින්ට් එකක් අහු වෙලා. බුකිය ගන්න දෙයක් නෑ. ජාත්‍යාලය පිරිලා. බෝරා කියලා මුස්ලිම් එවුන් සෙට් එකක් බැහැල කියලා. ඇත්තටම කවුද මේ බෝරා කියන්නේ. මේකේ දාන පෝස්ට් දැක්කම හිතෙන්නේ ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නෑ වගේ.

අපේ බුද්ධාගමේ තියෙනවානේ මහායාන – ථෙරවාද කියලා කොටස් දෙකක්. ඒ වගේ ඉස්ලාම් ආගමත් නබිනායකගේ මරණයෙන් පස්සේ ප්‍රධාන නිකාය දෙහෙකට කැඩෙනවා.. සුන්නි – ෂියා කියලා.. සුන්නි කියන කොටස අතිශය සාම්ප්‍රදායික වෙනකොට ෂියා කියන කොටස නව්‍යත්වය අගය කරනවා. මේ දෙගොල්ලන්ගෙ කුරාණය පවා වෙනස්. වහාබ් වාදය, ශරියා, නිකාබය, බුර්කාව වගේ දේවල් සුන්නී අයගේ ආගමික හා සංස්කෘතික ලක්ෂණ වුනාට ෂියා අය මේවා ගොඩක් ප්‍රතික්ෂේප කරනවා. කෙටියෙන් කීවොත් සුන්නී වගේ අන්තවාදී මූලධර්මවාදී ප්‍රචන්ඩකාරී නෑ ෂියා.

බෝරා කියන්නේ මේ ෂියා නිකායේ අනු කණ්ඩයක්. මේ අය ගොඩක් රට වල ජීවත් වෙනවා සුලු ජාතීන් විදිහට. පිරිස අතින් ගත්තම සුලු පිරිසක් ඉන්නේ. පකිස්ථානය හා අරාබි රට වලත් අති මහත් බහුතරය ඉන්නේ සුන්නී අය.ඒ නිසා තමා ඒ රටවල් අන්තවාදී. ලෝකේම ගත්තත් වැඩියෙන්ම ඉන්නේ සුන්නි අය. මේ බෝරා අය අපි වගේම සහරාන් ලා ISIS වගේ සුන්නී උන් ගෙන් සෑහෙන තාඩන පීඩන වලට ලක් වෙන අය.

මුන් මුස්ලිම් වුනාට මුන් වෙනස් වීම් – ලෝක ප්‍රවනතා පිලිගන්න අය. ඒක නිසා ලෝකයේ මුස්ලිම් ව්‍යාපාර ගොඩක් අයිති මේ මිනිස්සුන්ට. ඒත් ප්‍රමාණයක් වශයෙන් අඩුයි. මුන් රටවල් අල්ලන්න ගර්භාශ යුද්ධ කරන්න යන්නේ නෑ. ISIS වගේ ත්‍රස්තවාදී සංවිධානය හදාගෙන රටවල් අවුල් කරන්න යන්නේ නෑ . මුස්ලිම් උන්ගේ ඉන්න අහිංසකම කොටස ඔය ඉන්නෙ. ලංකාවෙත් පාරම්පරිකව ව්‍යාපාර සාර්ථක කරගත්ත මිනිස්සු මේ බෝරා අය. මුන්ගෙ පවුල් වල සුන්නි උන්ගෙ වගේ ලමයි දුසිම් ගනන් නෑ. ඉන්නේ මොන රටේද උන් ඒ රටේ සංස්කෘතියට හුරු වෙනවා. උන්ගේ කුරාණය ලිහිල් ප්‍රතිපත්ති පිලිගන්න නිසා උන්ට මිනිස්සු එක්ක එකට ඉන්න පුලුවන්.

ඒක නිසා ඔය බෝරා උන් ගෙන් ගේම ඉල්ලන්න එපා. උන් ඔය සමුළුව කරලා උන්ගේ රටවල් වලට යනවා. උන් මේකෙ බින්න බහින්නේ නෑ. උන්ට ඕනෑ හැම රටක් එක්කම සුහදව ඉන්න.

අපේ රටේ සහරාන් ලා (සුන්නි උන්) කරපු විනාශය නිසා අපේ රට වැටුන වෙලාවෙ උන් එන්නේ සුන්නි උන්ට රිද්දන්නත් එක්ක. මොකද අපි වගේම සුන්නී උන්ගේ ඉස්ලාම් අන්තවාදයට උනුත් ගේම ඉල්ලනවා.

– යුගාන් සිල්වා FB

+++++++++++++++++++++++++++++++++++

බෝරුන්ගේ පැමිණීමෙන් කොළඹ හෝටල් මිල ඉහළට

(03.08.2019 – biz.adaderana.lk)

මේ වන විට කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව හේතුවෙන් කොළඹ හෝටල් හා සුඛෝපභෝගී මහල් නිවාසවල මිල ගණන් 20% සිට 80% දක්වා මිල ගණන්වලින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

හෝටල් හා සුඛෝපභෝගී මහල් නිවාස වෙන්කිරීම සඳහා ක්‍රියාත්මක වෙබ් අඩවි පිරික්සීමේදී මේ බව තහවුරු වේ.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමඟම කොළඹ ඇතුළු සමස්ත දිවයින පුරාවම තිබෙන හෝටල්වල මිල ගණන් සීඝ්‍රයෙන් පහළ වැටුණු අතර එහිදී රු. 8,000 ක පමණ මිල නියම වූ කොළඹ සාමාන්‍ය තරු පංතියේ හෝටල් කාමරයක මිල මේ වන විට රු. 12,000 සිට රු. 20,000 දක්වා මිල ගණන්වලට අලෙවි වන බව මෙම වෙබ් අඩවි ගවේෂණයේ දී පැහැදිලි වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා අද දෙරණ වෙත පැවසුවේ, මෙම බෝරා සමුළුවට සහභාගී වීම සඳහා 21,000 ක පමණ බෝරා ප්‍රජාවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් කොළඹ නගරයේ හෝටල් සහ මහල් නිවාස ඇතළු නවාතැන් ස්ථාන පිරී ඉතිරී ගොස් ඇති බවත්ය.

එසේම ඩොලර් මිලියන 51 ක ආදායමක් බෝරා සමුළුවට පැමිණි සංචාරකයින් හරහා ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති බව ද සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙහිදී කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

බෝරුන්ගේ ආහාර පිණිස එකවර මහා ගව සංහාරයක්..

(04.09.2019 – 06:26 +0530 – lankacnews.com)

‘සත්ව අවිහිංසා ජාතික එකමුතුව’ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

ඉස්ලාමීය බෝරාවරුන්ගේ ආහාර පිණිස එකවර සිදුකරන මහා ගව සංහාර පිළිබඳවයි

කොළඹ ප්‍රදේශය මූලික කරගෙන පවත්වනු ලබන ඉස්ලාමීය බෝරා නිකායේ දැවැන්ත සමුළුවට සහභාගිවීම පිණිස ලෝකයේ විවිධ රටවල්වලින් මුස්ලිම්වරුන් විසි එක් දහසක් (21,000) පමණට ලංකාවට පැමිණ සිටින බව ජාතික ජන මාධ්‍ය පසුගිය කාලය පුරා වාර්තා කරනු ලැබීය‍‍. කොළඹ නගරයේ විශේෂයෙන්ම කොල්ලුපිටිය සිට ගල්කිස්ස දක්වා වූ ප්‍රදේශය පුරා පවතින සංචාරක හෝටල්වල සහ විවිධ ලැගුම්හල්වල ඔවුන් නවාතැන් ගෙන සිටින බවද ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

දින දහයක් පමණ පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා සහභාගිවන ජන සමූහයාගේ ආහාර පහසුකම් සපුරාලීම උදෙසා ප්‍රධානතම ආහාරයක් වන ගව මාංශ සපයාදීම වෙනුවෙන් අති විශාල ගවයින් ප්‍රමාණයක් දිනපතා එකවර ඝාතනය කිරීම සිදුකරමින් සිටින බව අපට ඉතා විශ්වාසකටයුතු ආරංචිවලින් දැනගන්නට ලැබී තිබේ.

නීත්‍යානුකූල නොවන අකාරයෙන්, ගෝඝාතක පණත පවා අමු අමුවේම උල්ලංඝණය කරමින් සිදුකරන මේ මහා ගව සංහාරය පිටුපස මෙම රජයේ ප්‍රබල ඇමතිවරුද සිටින බව දැනගන්නට ලැබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිදැල්ලේ හැසිරෙන වසු පැටවුන්, එළදෙණුන්, ගැබ්බර එළදෙණුන්, රෝගාතුර වී සිටින ගවයින් කිසිදු නීත්‍යානුකූල තත්වයකින් තොරව පොලු මුගුරු, පිහි හා දිගු අඬු වැනි ආයුධ භාවිතා කරමින් අති අමානුෂික අයුරින් දැඩි හිංසනයකට ලක්කර වෑන් හා කුඩා ලොරි රථවලට පටවාගෙන ස්ථිර ඝාතකාගාර හා තාවකාලික ඝාතකාගාර වෙත හොර රහසේම රාත්‍රී කාලයේ ප්‍රවාහනය සිදුකරන බවද පසුගිය දින කිහිපය පුරාම දැනගන්නට ලැබිණි.

ගෝ ඝාතනය සම්බන්ධයෙන් දැනට පවතින නීතිරීති නොතකමින්, සොබාදහම පවා කම්පාවන තරමේ අමානුෂික වධ හිංසාවන්ට ලක්කර සංහාරයට ලක්කරන අහිංසක ගවයින්, ගහලයන් අතින් මැරුම්කන මොහොතේ සොබාදම් වා තලයට මුසුකරන ඒ වේදනාත්මක ලතෝනිය සාපයක් වී, මෙවන් මරණීය සමුළු සඳහා අවසර ලබාදුන් පාලකයන්, ඒවාට අනුග්‍රහය ලබාදුන් හා බොර දියේ මාළු බා ගන්නා ඇතැම් ව්‍යාපාරිකයන් මෙන්ම මෙම පාපකර්ම සඳහා දායක වූ සැමට විඳවීමට සිදුවන බව සොබාදම් නියමය බව සිහිපත් කර සිටිමු.

ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ
සම ලේකම්
සත්ව අවිහිංසා ජාතික එකමුතුව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *