‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන දූෂිතයි – වහාම නවත්වන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන දූෂිතයි – වහාම නවත්වන්න

• ක්‍රිකට් සරසවියක් ඉදිකිරීමට මල්වතු විහාරයට අයත් ඉඩමක් ලබාගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

• ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

• හිරුගේ පුවතින් නතර වූ බෝරා තදබදය

• පාස්කු ප්‍රහාරය සිදුවී දින 136 කට පසුව පාසල් යන දරුවන් තිදෙනා

• ගාල්ලේ වංචාවල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ගලක් ගසා බිඳ කළ අමුතු සොරකම

• තරුණ ඡන්දවලටත් අපේ අපේක්ෂකයා ආකර්ශනීයයි – ගම්මන්පිල

• අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරිම ගැන සලකා බලන බව සිංගප්පූරුව කියයි

• ලක් මාතාවගේ දුදරුවන්ට ලැබෙන අවසන් අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණය – විමල් වීරවංශ

• දවසෙන් ජාතික හැඳුම්පත දැන් ගාල්ලෙනුත්

+++++++++++++++++++++++++++++++++++

‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන දූෂිතයි – වහාම නවත්වන්න

(04.09.2019 – 19:38 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති ‘ක්‍රිකට් ඒඩ්’ ආයතනයේ ගිණුම් පරික්ෂා කර විගණනයක් කරන තුරු එහි ක්‍රියාකාරිත්වය මාස 2 කට අත්අහිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ට නියෝග කළේය.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරින් කෝප් කමිටුව ඉදිරියේ ඊයේ (04) පෙනි සිටි අවස්ථාවේදීය.

එහිදී අදහස් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසීය :

“ක්‍රිකට් ආධාර නමින් සමාගමක් ස්ථාපිත කරලා. එහි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. යාවජීව සමාජිකත්වය සමාජිකයින්ට දීලා. එදා ක්‍රිකට් ආයතනයේ හිටිය අය. තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, මතිවානන්. මොහාන් ඇන්තනී යන අය ව්‍යාපාරිකයින් ලෙස. පාලක මණ්ඩල සමාජිකයින් ලෙස නොව ජීවිත කාලයේ සාමාජිකයින් හැටියට සමාගම ලියාපදිංචි කරලා. ක්‍රිකට් ආයතනයේ ලයිෆ් ටයිම් මෙම්බර්ස්ලා නෑනේ.”

+++++++++++++++++++++++++++++++++++

ක්‍රිකට් සරසවියක් ඉදිකිරීමට මල්වතු විහාරයට අයත් ඉඩමක් ලබාගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

(04.09.2019 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝජනාවකට අනුව ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා මල්වතු විහාරයට අයත් මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ ඉඩමක් 2016 වසරේදී ලබාගැනීම සම්බන්ධයෙන් ඊයේ (03) කෝප් කමිටුවේදී අවධානයට ලක්වුණා.

ඒ, අදාළ ඉඩමට ගෙවීම් සිදුකළත් මෙතෙක් එහි කටයුතු කිසිවක් සිදු නොකර තිබීම හේතුවෙන්.

කෝප් කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විධායක කමිටු සාමාජික සුජීව ගොඩලියද්ද ඇතුළු නිලධාරීන් පිරිසක් එහි පැමිණ සිටියා.

***************************************

ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

(04.09.2019 – 20:52 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් මැතිවරණය නිවේදනය කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.

***************************************

හිරුගේ පුවතින් නතර වූ බෝරා තදබදය

(04.09.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

රටවල් 40 ක බෝරා මුස්ලිම් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බෝරා ගෝලීය සම්මේලනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන රථවාහන තදබදය පිළිබදව අප ඊයේ වාර්තා කළා.

ඒ අනුව අද දිනයේ රථවාහන තදබදය අවම කිරීම සදහා රථවාහන පොලීසිය ක්‍රියාකර තිබූ අයුරු දක්නට ලැබුණා.

බෝරා ගෝලීය සම්මේලනය සැප්තැම්බර් 02 වනදා සිට සැප්තැම්බර් 12 වනදා දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති බෝරා දේවස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සම්මේලනය සදහා රටවල් 40 ක බෝරාවරුන් 30,000 ක් පමණ මෙරටට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් තදාසන්න ප්‍රදේශ රැසක දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබෙන ආකාරය අප ඊයේ වාර්තා කළා.

කෙසේ වෙතත් අද දිනයේ එම තදබදය අවම කිරීම සදහා රථවාහන පොලීසිය ක්‍රියාකර තිබෙන අයුරු දක්නට ලැබුණා.

මේ අතර සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් බෝරා සමුළුව පැවැත්වෙන දේවස්ථානය අසලට අද වැඩම කර තිබුනේ ‘බෝරා ජාතිකයන් රථවාහන හැසිරවීම’ පිළිබදව සොයා බැලීම සදහායි.

***************************************

පාස්කු ප්‍රහාරය සිදුවී දින 136 කට පසුව පාසල් යන දරුවන් තිදෙනා

(04.09.2019 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සිදුවී දින සති මාස ගෙවී ගියත් මේ ප්‍රහාර මාලාව නිසා ජීවිතයේ අදුරු සෙවණැලි අතර සිරවූවන් අදටත් අප සමාජයේ සිටිනවා.

මෙම කුරිරු ප්‍රහාරයෙන් දිවි ගළවාගත් නමුත් ඉන් මව්සෙනෙහස අහිමිවූ දරුවන් තිදෙනෙකු අද නැවත සිය පාසල් ගමන ආරම්භ කළා.

ඒ හරියටම ප්‍රහාරය සිදුවී දින 136 කට පසුවයි.

මේ අතරතුර, හයක් හතරක් නොතේරෙන පුංචි සිතුකිද තමන්ගේ අම්මා පිලිබදව අවසන් වරට හිතේ ඇදුණු ඒ සිදුවීම වචන ඇහිදිමින් අප හමුවේ පැහැදිලි කළේ මෙලෙසින්.

***************************************

ගාල්ලේ වංචාවල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ගලක් ගසා බිඳ කළ අමුතු සොරකම

(05.09.2019 – 10:50 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වංචාවල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් බිඳ එහි භාණ්ඩ හා මුදල් කොල්ලකන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

වෙළඳසැලේ හිමිකරු ප්‍රකාශ කරන්නේ කොල්ලකා ඇති භාණ්ඩ සහ මුදල් ප්‍රමාණය රුපියල් හාරලක්ෂ හැටපන්දහසක් පමණ වන බවයි.

සැකකරු ප්‍රථමයෙන් යතුරු පැදියකින් පැමිණ එහි ඉදිරිපස වීදුරුවට ගලකින් පහරදී යළි ඉන් පිටත්ව යනවා.

අනතුරුව මිනිත්තු 15 ක පමණ කාලයකට පසුව එහි පැමිණෙන සැකකරු වීදුරුව බිඳී ගිය ස්ථානයෙන් වෙළඳසැලට ඇතුල්වී එහි මුදල් සහ භාණ්ඩ සොරකම් කර පලා යනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාල සොරකම දැක්වෙන CCTV දර්ශන :

***************************************

තරුණ ඡන්දවලටත් අපේ අපේක්ෂකයා ආකර්ශනීයයි – ගම්මන්පිල

(05.09.2019 – 12:47 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂකත්වය මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය අද වන විට කොටස් තුනකට බෙදි ඇති බව පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ පිහිටි සිය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට තුනට බෙදී රනිල්, සජිත් හා කරූ යනුවෙන් ඇණ කොටා ගන්නා බවත් පැවසු ගම්මන්පිල මහතා, ඇතැමුන් මේ තුන්දෙනාගෙන් කවුරු පැමිණියොත් වඩා හොඳ ද යනුවෙන් ප්‍රශ්න කර සිටින බවත් පැවසීය.

තුනම එකයි යනුවෙන් පැවසු ගම්මන්පිල මහතා, මේ පුද්ගලයින් තිදෙනාගෙන් කවුරුන් ආවත් මොවුන්ට රට කළ නොහැකි බව පසුගිය වසර කීපය තුළ පෙනී ගිය බවද කියා සිටියේය.

සොරකම්, මැරකම් පිළිබඳ විශේඥ දැනුමක් ඇති මොවුන්ට රට කළමනාකරණය කිරීම ගැන විශේඥ දැනුමක් ඔවුන්ට නැති බවද පසුගිය වසර 4 තුළ ඔවුන් ඔප්පු කර ඇතැයි ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

රටේ තරුණයින් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් පිට අයෙක් ජනාධිපති කළ යුතු බව පැවසු බවත් කියා සිටි ගම්මන්පිල මහතා, එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන සියලු දෙනා 225 අයත් බවද සඳහන් කළේය.

නමුත් තම අපේක්ෂකයා එවැනි අයෙක් නොවන නිසා 225 න් පිට අපේක්ෂකයෙක් බලාපොරොත්තු වන තරුණයින්ටත් ‘අපේ අපේක්ෂකයා ආකර්ශනීයයි’ යනුවෙන් ද ගම්මන්පිල මහතා පැවසීය.

***************************************

අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරිම ගැන සලකා බලන බව සිංගප්පූරුව කියයි

(05.09.2019 – 12:08 +0530 – sinhala.adaderana.lk)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරිම සම්බන්ධයෙන් වන ඉල්ලීම පිළිබඳ සලකා බැලීමේ හැකියාව පවතින බව සිංගප්පූරු රජය පවසයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ‍නියමිත ලිපි ලේඛන ලැබීමෙන් පසු පිටුවහල් කිරිමේ ඉල්ලීම පිළිබඳව සිංගප්පූරු නීතියට අනුකූලව කටයුතු කරන බවයි.

අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරිම සම්බන්ධයෙන් වන ඉල්ලීමට අදාල ලියකියවිලි ලබා දෙන ලෙස මේ වසරේ ජනවාරි මස 18 වනදා සිට ඉල්ලීම් සිදු කර තිබුණ ද ඒවා සිංගප්පූරු රජය වෙත මේ වන තෙක් ලැබී නොමැති බවට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ද තහවුරු කර ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරුවෙය.

ඒ අනුව එම නඩු විභාගය සඳහා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය උදර්පන ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පසුගිය දෙවනදා භාරදුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

එම උදර්පන ඉල්ලීමට අදාල පිටු 21,000 කින් යුතු ලේඛනය ඉදිරියේදී සිංගප්පූරු රජය වෙත භාරදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනු ඇති බවයි ඇය පැවසුවේය ෴

***************************************

ලක් මාතාවගේ දුදරුවන්ට ලැබෙන අවසන් අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණය – විමල් වීරවංශ

(05.09.2019 – 15:37 +0530 – sinhala.adaderana.lk)

අපේ රට 2015 ජනවාරියේ තිබු තත්ත්වයෙන් සෑම අංශයකින් පහළ ඇඳ වැටීමක් මිස ගොඩනැඟීමක් සිදුව නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (05) කොළඹ දී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එක් අතකින් ලෝකයේ වැඩිම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කරන රට, පිළිකා රෝගීන් වැඩියෙන්ම ඇති වෙන රට , වකුගඩු රෝගීන් වැඩි කර ගනිමින් රෝහල්වලට රෝගීන් පුරවන රට බවට පත්ව ඇතැයි ද පැවසු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, මහබැංකු වංචාව වැනි සොරකම් වැඩි පුරම ඇති වු රට බවට පත්ව ඇතැයි ද පැවසීය.

ණය බර කිසිදු පාලන කාලය මෙන් නොමැතිව දෙගුණයකින් ඉහළ ගොස් ඇති රටක් බවට අද වන විට පත්ව ඇතැයි ද සඳහන් කළ මන්ත්‍රීවරයා ජාතික ආරක්ෂාව බිංදුවටම ඇද වැටී ඇති බවත් කියා සිටියේය.

මරණ බය නැවතත් පසුගිය වසර 4 හමාර තුළ නිර්මාණය කර දුන් බවත් පැවසු වීරවංශ මහතා, ඒ ඉරණමෙන් ගැලවීමේ අවශ්‍යතාවය සිංහල, මුස්ලිම් හා දෙමළ සියලු දෙනාට තිබෙන බවත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සියලු අභියෝගයන්ට මුහුණ දිය හැකි අපේක්ෂකයා ලෙස තමා විශ්වාස කරන බවත් පැවසු මන්ත්‍රීවරයා කිසිදු භේදයකින් තොරව ලක්වාසී සියලුදෙනාට මෙම තත්ත්වය වෙනස් කිරීමට ලැබෙන අවසන් අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණය බවත් කියා සිටියේය.

රට දැය උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන්නැයි පැවසු මන්ත්‍රීවරයා ඒ සඳහා සියලු වැඩ සඳහා සියලු පක්ෂ සමඟ එකතු වී වැඩ කරන බවත් මෙහිදී අවධාරණය කළේය.

***************************************

දවසෙන් ජාතික හැඳුම්පත දැන් ගාල්ලෙනුත්

(05.09.2019 – 14:53 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දකුණු පළාත් හැඳුනුම්පත් කාර්යාලය හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 3.00 ට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති බව පුදගලයන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කරයි.

ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සේවාවන් විමධ්‍යගත කිරීමේ වැඩසටහන යටතේ ආරම්භ වන මෙම දකුණු පළාත් කාර්යාලය තුළින් සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත හා 2016 අංක 8 දරණ සංශෝධිත පනතේ විධිවිධාන ප්‍රකාරව සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලියාපදිංචි කර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යභාරය ඉටුකිරීම සඳහා දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක සාමාන්‍ය එක්දින සේවාවන් පළාත් කාර්යාල තුළ ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව හදිසි අවශ්‍යතාවයන් සඳහා එක් දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීම වැඩපිළිවෙළ පළාත් කාර්යාල වෙත පවරා දීමේ වැඩ සටහනේ පළමු අවස්ථාවට දකුණු පළාත් කාර්යාලය තුලින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම පළාත් කාර්යාලය මගින් දකුණු පළාතේ මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුරවැසියෙකුට එක් දින සේවාව යටතේ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ හැකියාව තිබේ.

තවද විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය කාර්යාල මේ වන විට වීපීඑන් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන කාර්යාලය දත්ත පද්ධතිය සමග ජාලගතව සම්බන්ධ කර ඇත.

මෙමගින් දකුණු පළාතේ ජනතාවට ද සාමාන්‍ය සේවය යටතේ හැඳුනුම්පත් ලබාගැනීම සඳහා නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් කාර්යාලයට යොමුකළ හැකිය.

එලෙස ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ සාමාන්‍ය සේවය යටතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරන සියලුම ඉල්ලූම්පත්‍ර අදාළ ජාතික හැඳුනුම්පත් සැකසීමේ ඉදිරි කටයුතු මෙම පළාත් කාර්යාලය හරහා සිදුකිරීමට නියමිතය.

එමෙන්ම එම ඉල්ලුම්පත් සම්බන්ධ විමසීම් කටයුතු හා ජාතික හැඳුනුම්පත් සම්බන්ධ කර අනෙකුත් සේවා අවශ්‍යතාවයන් මෙම කාර්යාලය යටතේ සිදුකර ගැනීමට හැකිවීම දකුණු පළාතේ ජනතාවට හිමිවන සුවිශේෂ පහසුවක් ද වනු ඇත.

දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පිහිටා ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශීය කාර්යාල අධීක්ෂණය පහසුකම් සැපයීම ජංගම සේවා සැපයීම හා පැවැත්වීම ඇතුළු සියලුම රාජකාරි කටයුතු මෙහෙයවීම ද දකුණු පළාත් කාර්යාලය මගින් සිදුකෙරේ.

නව තාක්ෂණය සමග මුසු වූ සුහුරු හැඳුනුම්පත නිකුත් කිරීමට මේ වනවිට දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන අතර වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල ද නැගෙනහිර පළාත් කාර්යාල මඩකලපුවේද උතුරු පළාත් කාර්යාල වව්නියාවේ ද පිහිටුවා ඇති අතර එමගින් ඉතා සාර්ථක මහජන සේවාවක් සපයමින් සිටී.

මෙම උත්සවය අවස්ථාව සඳහා අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මැතිතුමා ඇතුළු අමුත්තන් රැසක්ද සහභාගී වීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *